Total Pageviews

Friday 28 October 2011

චන්ඩියා....!!



අපේ ගෙදර අපි පුංචි කාලෙ අම්මට අත් උදව්වටත්, අපිව බලා ගන්නත් අම්මට ටිකක් දුරින් නෑයො වෙන නංගි කෙනෙක් හිටියා.... එයාට අපි කිව්වෙ 'නැන්දා' කියලා... සමහර වෙලාවට ලොකුකම් පෙන්නන්න ආවට එයා අපිට හරි ආදරෙයි... එයා අපිත් එක්ක සෙල්ලම් කලා....රන්ඩු උනා....අපිව එයාට පාලනය කරගන්න බැරි උනාම අම්මලට කේලම් කියලා අපට ගුටි පූජාවලුත් ලැබෙන්න සැලැස්සුවා....
ඉතින් ඔය දවස්වල අපේ ගෙදර මෝටරයක් දාලා වතුර අරගෙන තිබුනෙ නෑ... ඒ නිසා රෑ වෙන්න කලින් ගෙදර තිබුනු කල ගෙඩි ටිකටයි අනිත් භාජන ටිකටයි වතුර පුරවලා තියන එක අපේ රාජකාරිය.... ඒ ටික හින්දගත්තු දාට රෑ මැදියමේ හරි ගෙට පල්ලෙහායින් තිබුනු ලිඳට ගාටන්න වෙනවා වතුර ගේන්න.... ඔය වැඩේ හෙන කෝස් එකක්... ගෙට එන පාරෙ පල්ලමේ කලුවරේම ඇවිදන් ගිහින් මගක් හරියෙදි ලිඳ ලඟට යන්න ගල් පඩිපෙලක් තමයි බහින්න තිබුනෙ...එහෙම වෙලාවට පිහිටට එන්නෙ අපේ ගෙදරයි, අහල පහල ගෙවල්වල දාලා තියෙන ලයිට්වල එලියයි, හඳපානයි තමයි.... ආ...තව අපේ තාත්තගෙ ටෝච් එක... ඒක නම් නල්ල මලේ ටෝච් එකක්.... කෝච්චර බැටරි දාලා හදලා තිබුනත් කවදාවත් ඕන වෙලාවට බැලුවාම එලිය නෑ.... අතේ පයේ ගස්වල ගහල තමයි පත්තු කරගන්නෙත්.... සමහර වෙලාවට මොනවට හරි එලියට යන්න ඕන උනාම තාත්තා මහ ලොකුවට කියනවා...'අර ටෝච් එකත් අරන් යන්න...' කියලා. ඒකෙ හැටි දන්න නිසා කවුරුත් නෑහුන ගානට කලුවරේම ගිහින් තමන්ගෙ වැඩේ කරගෙන එනවා...

Wednesday 26 October 2011

Disable Toilet...!!

මේක අපි මේ රටට ආව අලුත සිද්ද වෙච්චි දෙයක්.....
ඒ දවස්වල අපේ චූටි බබා මගේ ඇඟේ එල්ලිලාමයි හිටියෙ...අලුත්ම වටපිටාවක් නිසා එයා ගෙදරින් එලියට ගියාම අප්පච්චිගෙ අතටවත් ගියේ නෑ.... ඒ නිසාම එයාට නමකුත් වැටුනා 'අම්මි බබා' කියල.... ඉතින් ඒ දවස්වල ගෙදරින් එලියට ගියාම අප්පච්චි ලොකු දුවව බලා ගන්නවා.... මම චූටි බබාව බලගන්නවා.....
දවසක් අපි රෑ කෑමකට රෙස්ටොරන්ට් එකකට ගියා... ඉතින් අපි කෑම එහෙම අරගෙන ඉස්සර වෙලාම පොඩි උන් දෙන්නට කැව්වා.... අප්පච්චි ලොක්කට...මම පොඩ්ඩට... ඒ දෙන්නට කවල අපි කන්න ලැහැස්ති උනා විතරයි ලොක්ක කියපි 'අප්පච්චි, මට චූ බරයි....' කියලා....
එපාර මම විගහට කෑම එක පැත්තකින් තියලා දරුවව ටොයිලට් එකට එක්කන් යන්න ලැහැස්ති උනා විතරයි පොඩි එකා බෑඟිරි ගහන්න පටන් ගත්තා යන්න එපා කියලා...එයාටත් එන්න කියලා කතා කලත් ඒ එන්නත් බැරිලු.... සද්දෙට දැන් වටපිටාවෙ මිනිස්සුත් ටික ටික අපේ පැත්ත බලන්න පටන් ගත්තු නිසා වැඩේ වර්චස් වෙන්න කලින් අප්පච්චි කිව්වා 'මං එහෙනම් මෙයාව disable toilet එකට එක්කන් යන්නම්...' කියලා, මොකද ගෑනු  toilet එකට දරුවා අරන් යන්න එයාට බැරි නිසා.  ඔය disable toilets ඇතුලෙ හොඳට wheel chair එකක් හරවගන්න පුලුවන් වෙන තරමේ ලොකු ඉඩ කඩක් එහෙම තියලා තමයි හදලා තියෙන්නෙ....
ඉතින් මේ දෙන්නා එතැනට යනකොට ඒකෙ දොර වහලලු.... ඔහොම ටික වෙලාවක් දොර ලඟ හිටගෙන ඉන්නකොට එතැන වැඩ කරපු සික්කෙක් මේ දෙන්නව දැකලා ‘Hello...’ කියාගෙන ගියාලු.... දැන් මේ දෙන්නා හිටගෙන ඉන්නවා ඉන්නවා ඇතුලෙ ඉන්න එකා එලියට එන්නෙම නැතිලු.... ඔන්න එතකොට අර සික්ක ආයෙම එතැනින් යන්න ඇවිත් මේ දෙන්නා තවම හිටගෙන ඉන්නවා දැකලා.... ඒ මනුස්සයා අපේ දෙන්නට ‘Sorry...’  කියලා අර  disable toilet  එකේ දොරට හෙමිහිට තට්ටු කලාලු... නැතිලු කිසිම ප්‍රතිචාරයක් ඇතුලෙන්... ඒ ගමන සික්කා හය්යෙන් දොරට තඩි බෑවලු, ඇයි ඇතුලෙ ඉන්න එකාට කරදරයක්වත්ද දන්නෙ නෑනෙ.... ඔන්න එතකොට ඇතුලෙ හිටිය එකා දොර ඇරියලු.... බලනකොට පොලවෙ ගෑවෙන තරමට දිග සායකුයි, හැට්ටයකුයි ඇඳපු අවුරුදු පනහක විතර පෙනුම තියෙන ගෑනියෙක්.... දොර හොඳට ඇරපු නිසා ඇතුලෙ  wheel chair  එකක්වත් මොනවාවත් නැති බවත් පෙනිලා... සික්ක ඇහුවාම 'Are you ‘kay' කියලා, ගෑනි කිව්වලු ‘Yep, gimme a sec, please..’ කියලා... එහෙම කියලා ගෑනි ආපහු දොර වහගෙන... සික්කත් යන්නෙ නැතිව එතැනම ඉඳලා...
මෙන්න ටික වෙලාවකින් දොර ඇරගෙන එලියට එනවලු අවුරුදු තිස්පහක හතලිහක පෙනුම තියෙන මිනිහෙක්... ගෑනිත් එලියට ආවලු වගේ වගක් නැතිව... මේක දැකපු සික්කට 'What the f.....’ කියල කියවුනාලු.... පස්සෙ සික්කටයි අපේ එක්කෙනාටයි හිනාව නවත්තගන්න බැරි වෙලා අර දොර ඇරපු වෙලාවෙ ඒ මිනිහා ඉන්න ඇත්තෙ කොහේද කියල තේරෙනකොට....

Tuesday 25 October 2011

තාත්තගෙ කේන්දරේ....!!


අපේ අම්මයි, තාත්තයි කසාද බැඳලා තියෙන්නෙ ප්‍රේම සම්බන්ධයකින්.... ඉතින් ඕක දෙන්නගෙ ගෙවල් වලින් දැනගත්තු වෙලාවෙ දෙපැත්තෙම වැඩිහිටියන්ට ඕන වෙලා තියෙනවා කේන්දර බලන්න.... මේ දෙන්නා ඕවා විශ්වාස නොකලට කවුරුත් වගේ ඉතින් කසාදයකදි ඔය වැඩේ කරනවාමනෙ.... ඉතින් ඔන්න කේන්දර බැලෙව්වාම පොරොන්දම් ගැලපෙන්නෙ නැතිලු..... ඉතින් අත්තම්මා, ඒ කියන්නෙ තාත්තගෙ අම්මා කේන්දර දෙක, දන්න හොඳයි කියන කේන්දරකාරයො කිහිප දෙනෙකුටම බලන්න දීල තියෙනවා... ඉතින් හැමදෙනාම කියල තියෙන්නෙ මේ මංගල්ලෙ නම් කරන්න එපා, හරියන එකක් නෙවේ කියලා.... අත්තම්මල කිව්වලු තාත්තට කෙන්දර ගැලපෙන්නෙ නැති නිසා වෙන අතක් බලාගන්න කියලා..... ඉතින් තාත්තත් අත ඇරලා නෑ... තාත්ත කිව්වලු අල්ලපු ගමේ ඉන්න ප්‍රසිද්ධ කේන්දරකාරයා කිව්වොත් ඔන්න ගැලපෙන්නෙ නැහැ කියලා එයා ඒක පිලිගන්න බව...තාත්තගෙ බල කිරීමට අත්තම්මා කේන්දරෙත් අරන් එතැනටත් ගිහිල්ලා....
හොඳ වෙලාවට ප්‍රතිඵල ලේඛනය කේන්දරකාරයගෙන් අරගෙන එන්න ගිහින් තියෙන්නෙ තාත්තමයි....වැඩේ වෙන්න ඕන නිසා ගියාට තාත්තා දැනගෙන ඉඳලා නැහැ පොරොන්දම් බලනවා කියලා මොකක්ද කරන්නෙ කියලා..... ඉතින් කේන්දරකාරයා කිව්වාම ගැලපෙන්නෙ නැහැ කියලා, තාත්තා ඒ මනුස්සයට කිව්වලු 'එහෙනම් මහත්තයා ගලපලාම දෙන්න, මං එතකම් ඉන්නම්...' කියලා. මේක ඇහුනු ගමන් කේන්දරකාරයාට නහුතෙට තද උනාලු, ඒ මිනිහගෙ සාස්තරේට අවමන් කරනවා කියලා..... තාත්තත් වැඩේ ජෝන් බාස්ට යන්න කලින් පැන්න ගමන් කේන්දර දෙකත් අරගෙන වෙඩිල්ල වගේ එතැනින් පිට උනාලු.... මොකකින් හරි දමල ගහයි කියලත්  තාත්තට හිතිලා... මොකද ඒ තරමට පොරට කේන්ති ගිහින්... ගෙදර ආපු තාත්තා මේ කිසි දෙයක් අත්තම්මලාට කියලා නෑ... කට්ටිය රෑ නිදා ගන්නකම් ඉඳලා කුස්සියට රිංගගත්තු තාත්තා කේන්දර දෙකම ලිපේ දාලා පුච්චලා.... කොහොමින් හරි ඊට පස්සෙ බලන්න කේන්දරයකුත් නැති හින්දා පොඩි පොඩි කනු කුනු අස්සෙ මගුලත් කෙරිලා...ඉතින් ඒ දෙන්නට අදටත් කේන්දර නෑ.... කේන්දරකාරයා මොනවා කිව්වත් කසාදෙ නම් ඉතින් තවමත් බොහොම හොඳට පවතිනවා....
ඒ දෙන්නගෙ විශ්වාසයේ ප්‍රතිඵලයක් විදියට අපටත් කවදාවත් කේන්දර හදලා තිබුනෙ නෑ... උපන් වෙලාව විතරයි තිබුනෙ.... ඉතින් අපි තුන්දෙනාමත් කසාද බැන්දෙ කේන්දර බලලා නෙවෙයි.... උපන් වෙලාවලට අනුව තමයි පෝරුවෙ නැකැත් හැදුවෙ.... මගේ හබීට ඩිස්ප්‍රින් වේගයෙන් කසාදෙ කරගන්න උවමනා උනු හින්දත්, නගාලගෙ හබියො කවදද අරන් යන්නෙ කිය කිය ඒ වෙනකොට වසර දහයකටත් වඩා ඇඟිලි ගැන ගැන බලන් හිටිය නිසාත් (ඒවා වැලිකෙලියේ පටන් ඇතිවුනු ආලවන්තකම්...) කිසිම කේන්දර ප්‍රශ්නයක් නැතිව අපේ තාත්තා කඩේ වහල දැම්මා....දෙයියන්ගෙ පිහිටෙන් අපටත් so far, so good....

Friday 21 October 2011

අපේ තාත්තා හොරු අල්ලපු හැටි......!!

මේ සිද්දිය උනේ මම ඉස්කෝලෙ යන කාලෙ......හරියටම කියනවා නම් O/L වලට පාඩම් කරන කාලෙ....

අපේ ගෙදර නිදා ගන්න කාමර  තිබුනෙ තුනයි... ගෙදර සාමාජිකයෝ පස් දෙනෙක් හිටිය නිසා මමයි ලොකු නංගියි නිදා ගත්තෙ එක කාමරයක.... ඒ නිසා මට රෑට එයා නිදා ගත්තාට පස්සෙ ඒ කාමරේ ලයිට් දාගෙන පාඩම් කරන්න බැහැ.... ලයිට් දාලා තිබුනොත් ගෑනිට මල..... ඒ නිසා රෑට පාඩම් කරන්න විකල්ප වාසස්ථානයක් හොයාගන්න මට සිද්ද වුනා... ඒ හින්දා අපේ තාත්තා කලේ ගෙදර කෑම කාමරේ තියෙන තැන වෙනස් කරලා මට පාඩම් කරන්න පුලුවන් විදියට ඒක හදලා දීපු එකයි...

ඉතින් මේ කියන දවසෙ මම රෑ එතන පාඩම් කර කර ඉන්නකොට වැස්සක් වහින්න පටන් ගත්තා.... ටික වෙලාවක් යනකොට මගේ මේසෙ හේත්තුකරලා තිබුනු බිත්තිය දිගේ හීනියට වතුර පාරක් පහලට ගලාගෙන එන්න පටන් ගත්තෙ නැතැයි.... ගෙදර කට්ටිය ඇහැරවන්න බැරි නිසා මම ගෙදර එහාට මෙහාට දුවලා පාන්කඩ ටිකක් හොයාගෙන ඇවිත් වතුර බහින තැනට තිබ්බට වැඩේ out of control බව වැඩි වෙලාවක් යන්න කලින්ම මට තේරුනා... ඒ වෙනකොට හීනියට තිබ්බ වතුර පාර අඟල් දෙක තුනක් පලල් වෙලා... වෙන කරන්න දෙයක් නැති හින්දා මම දුවලා ගිහින් තාත්තට කතා කලා ඇවිත් බලන්න කියලා.... තාත්තාටත් හිතාගන්න බැරි උනා කොහෙන්ද වතුර පාර එන්නෙ කියලා...තාත්තගෙ පස්සෙන් දුවගෙන ආපු අම්මා බකට් එකක් උස්සගෙන ඇවිත් මට දීලා කිව්වා ඒකට රෙදි පාන්කඩ ටික මිරිකලා ඒවාම ආයෙ ආයෙ වතුර උඩට දාන්න කියලා.. තාත්තා හොඳ වෙලාවට අපේ ගේ ඇතුලෙ තිබුනු ගබඩා කාමරේ  තමයි ඉනිමග තියලා තිබුනෙ... මම වතුර පාර  control  කරන අතරෙ එයා ඒක අරන් ඇවිත් අම්මට අල්ලගන්න කියලා නැග්ගා සිවිලිම උඩට කොහෙන්ද වතුර පාර එන්නෙ කියලා බලන්න...

තාත්තා එහෙන් මෙහෙන් උලුකැට හොල්ලන සද්දෙ ඇහුනට මටයි අම්මටයි කිසිම දෙයක් කිව්වෙ නැහැ.... ඔය අතරෙ වතුර පාරත් නැවතුනා...
'මොකක්ද අනේ වෙලා තියෙන්නෙ....' ඉවසලා ඉවසලා බැරිම තැන අම්මා ඇහුවා... තාත්තා නෙවෙයි 'හ්ම්' කිව්වෙ... මටයි අම්මටයි ඉන්න බැහැ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දැනගන්නකම්... අන්තිමට තාත්තා ඉනිමගෙන් බැහැලා, ඒක ආපහු ගබඩා කාමරෙන් ගෙනිහින් තියලා, අපේ ඉවසීම රතු කට්ට ආසන්නයට ආවාට පස්සෙ තමයි විස්තරේ කියන්න ගත්තෙ....
'කවුරු හරි උලුකැට කිහිපයක් අයින් කරලා....' කියල තාත්තා කියනකොට අපිට ඉහලට ගත්තු හුස්ම පහලට දාන්න අමතක උනා....
'ඒ කියන්නෙ...?' අම්මට වැඩේ තහවුරු කරගන්න ඕනවෙලා.
'ඒ කියන්නෙ කවුරු හරි වහලෙන් ගෙට බහින්න හදල තියෙනවා...'තාත්තා තරහෙන්  කිව්වෙ ඕකවත් තෙරෙන්නෙ නැද්ද කියන්න වගේ....
මට හීන් දාඩිය වැටුනා...මොකා හරි බහින්න හදලා තියෙන්නෙ මම පාඩම් කරන තැනට.
අම්මා ඇස් උඩ තියන් බැලුවා මගේ මූන දිහා මං හිතපු දේ තේරුනා වගේ...
'හත්තිලව්වයි....!!' අම්මට කියවුනා...
'මොනවා අරගෙන ගිහිල්ලද දන්නෙ නෑ...' කියූ අම්මා දුවලා ගිහින් අල්මාරියයි තව ඔය වටින කියන දේවල් තියෙන තැනුයි උඩින් උඩින් බැලුවා...'ඇහැට පේන විදියට නම් මොකුත් දැන ගන්න නැහැ... ඒ උනාට එලිය වැටුනාම බලන්න ඕන'.
'මට හිතෙන හැටියට ආපු එකාට හරියට ඒ වැඩේ කරගන්න ලැබිලා නෑ... අයින් කරපු උලුකැට ටිකේ හිදැස බැලුවහම ඒකෙන් මිනිහෙකුට බහින්න පුලුවන් කියල හිතන්න බැහැ...' තාත්තා හිතනවා... 'මොකා උනත් කලබලෙන් ආපහු ගිහින් තියෙන්නෙ, කවුරු හරි අහලින් පහලින් යන්නවත් ඇති සමහරවිට.... '

පහුවදා උදේ තාත්තා කියනවා 'මට නම් හිතෙනවා වහලෙන් බහින්න හදපු එකා පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ආයෙ ඒවි' කියලා...
'මොකා ආවත් ඌ එනකොට මට නම් ඕන නෑ ගෙදර ඉන්න...හොඳ වෙලාවට පොඩි උන් ඉස්කෝලෙ... බඩු නම් හම්බකරගන්න බැරියැ' අම්ම කිව්වා.
එදත් අපි සුපුරුදු පරිදි ඉස්කෝලෙ ගියා... තාත්තයි අම්මයි වැඩට යන්නෙ අපි ගියාට පස්සෙ....
ඒ නිසා තාත්තා කල වැඩේ ගැන අපි දැනගත්තෙ ආපහු ගෙදර ආවට පස්සෙ....

අපි ගියාට පස්සෙ තාත්තා වැඩට යන විදියට ලැහැස්ති වෙලා මගක් දුරට ගිහින් සද්ද නැතිවම ආපහු ගෙදර ඇවිත් දොර වහගෙන ගේ ඇතුලට වෙලා ඉඳලා. පැයක් විතර ගියාට පස්සෙ තාත්තට පේනවාලු ඡායාවක් ඉස්සරහ දොර ලඟට එනවා. ආපු එකා දොරේ කොක්කත් කරකවලා බැලුවලු දොර ඇරෙනවද කියලා. ඉන් පස්සෙ තාත්තට ජනේල වලින් පෙනිලා තියෙනවා ඒකා ගෙයි පිලිකන්න පැත්තට යනවා.... ඉන් පස්සෙ ඡායාවක් පෙනුනෙ නැති නිසා තාත්තා කන ටියුන් කරගෙන ඉඳලා ඇහෙන සද්ද වලට.... අපේ ගෙදර ගෙයි වහලට කිට්ටු වෙන්න අතුපතර විහිදුනු ලොකු අලිගැට පේර ගහක් තිබුනා... දැන් තාත්තට සද්ද වලින් තේරෙනවලු ඒකා මේ ගහ දිගේ නැගලා වහලට ගොඩ වෙනවා.... උලු කැට ටික අයින් කරන සද්දෙ එනකොටම තාත්තා හෙමිහිට ඉස්සරහ දොර ඇරගෙන එලියට බැහැලා බැලුවලු මොකාද මේ වහල උඩ ඉන්නෙ කියලා... තාත්තට පෙනිලා තියෙන්නෙ ඉහල පහල යන ඔලුවක් විතරයි... තව ටිකක් හොඳට බලනකොට තාත්තා අඳුරගෙන කවුද කියලා... අපේ ගෙදරට නිතර යන එන මල්ලි කෙනෙක් බින්දු කියලා...මිනිහ ටිකක් autistic පොරක්...

දැන් තාත්තා මිදුලට වෙලා බලන් ඉන්න අතරෙ මිනිහා හොඳටම වැඩලු... ඇයි කවුරුවත් එන්න ඉස්සෙල්ලා උලු කැට ටික අයින් කර ගන්න එපැයි.... මිනිහා මීට කලිනුත් ඔයිට වඩා බරපතලකමින් අඩු නමුත් හොරකම් අතේ වැඩ කරලා අහුවෙලා තියෙනවා.... හැබැයි ඒවා ඒ ලමයගෙ අම්මට තාත්තට කිව්වට කවදාවත් එයාලගෙ පුතා ඒ වගෙ වැඩ කරනවා කියලා එයාලා පිලිගන්නෙ නැහැ...තාත්තට ඒ අල්ලපනල්ලෙ ඕකත් මතක් වෙලා... ඒ ගමන තාත්තා හෙමින් සැරේ උඩහ ගෙදරට ගිහින් එහේ අන්කල්වයි අක්කවයි විස්තරේ කියලා සාක්කියටත් එක්ක එක්කන් ඇවිත් වැඩේ බලන්න.... දැන් තුන්දෙනාම බලන් ඉන්න අතරෙ මිනිහා උලු අයින් කරනවාලු... මෙහෙම ඉන්න ගමන් තාත්තා හයියෙන් කතා කරලා ඇහුවලු 'බිංදු තවම ඕක අයින් කරලා ඉවර කර ගන්න බැරි උනාද...?' කියලා....  මිනිහා වැඩේ කරගෙන යන ගමන් කියනවාලු 'තව ටිකක් තියෙනවා...' කියලා. (අනේ ඒ වෙලාවෙ මං එතන හිටිය නම්... :)  ) ඒක ඇහුනාම කට්ටියටම හිනා ගිහින්.. ඒ සද්දෙට තමයි මිනිහ ඔලුව උස්සලා බලල තියෙන්නෙ audience එක දැක්කහම මිනිහට 'අහ්..' ගෑවුනාලු...
තාත්තා මිනිහට එහෙමම වහල උඩ ඉන්න කියලා අර අක්කව යවලා එයාගෙ අම්මව එක්කන් එන්න... මෙන්න ටික වෙලාවකින් අම්මා එනවලු මෙහෙම කියාගෙන,..'අයියෝ මගෙ පුතේ උඹ කොන්ද කඩා ගන්න හදනවද ඔය උඩවල් වලින් වැටිලා.... ඔයා වහල උඩින් වැටුන නම් එහෙම..... අනේ රත්තරන් පුතේ හොඳ පුතා වගේ දැන් පරිස්සමින් බහින්නකෝ....'
ඒ කිව්ව ගමන් බිංදුවත් අඩියට දෙකට බිමට පැනලා අම්මත් එක්ක කිසිම දෙයක් නොවුනු ගානට ගෙදර ගියාලු... අඩු තරමේ අර අම්ම (ගුරුවරියක්) නිකමටවත් අපේ තාත්තට sorry  කියලවත් නැහැ... ඕක අහපු අපේ ලොකු තාත්තා කිව්වෙ එක වචනයයි...
'නෙද්දකින්.....!!'

Thursday 20 October 2011

පුල්ලියා...!!

මේකත් මේ යාලුවෙකුට නමක් දාපු කතාවක්... එක කතාවක් ලිව්වට පස්සෙ නම් කතා හෝ ගාලා මතකයට එන්න පටන් ගත්තා....
අපේ මේ යාලුවගෙ ඇත්ත නම අදටත් මට මතක නෑ..
මිනිහගෙ එක කම්මුලක නහය කිට්ටුවට වෙන්න ලොකු උපන් ලපයක් තිබුනා... ලමයි ඒ නිසා මිනිහට කිව්වෙ 'ලපයා' කියලා...
මමත් ඒ දවස්වල ඕන එකයි නැති එකයි ඔක්කොම ගෙදර ගිහින් අපේ අම්මගෙ කනේ තියනවා. ඒක නිසා අම්මත් ඔය යාලුවො ගැන, එයාලගෙ අන්වර්ථ නාමයන් ගැන එහෙම හොඳට දන්නවා....
දවසක් මම හවස බත් කකා ඉන්නකොට අම්මා කඩේ ගිහින් ගෙදර ආවා... ඇඳුම් මාරු කරන ගමන් අම්ම කියනවා 'අද මට ටවුමෙදි ඔයාගෙ යාලුවෙක් හම්බුනානෙ...'
'කවුද අම්මෙ...?' කන ගමන්ම මාත් ඇහුවා...
'අර පුල්ලියා....' අම්මා කියපි.
මට හිනා ගිය පාර බත් ටිකත් ඉස්මොලේ ගියා.....
යාන්තම් සිහි එලවගත් ගමන් මං ආයෙ ඇහුව 'කවුද පුල්ලියා..?' කියලා.
 අම්ම කියනවා 'අර මූනෙ ලපයක් තියෙන්නෙ...' කියලා..
එතකොටයි මට තෙරුනේ අම්මා මේ කියන්නෙ 'ලපයා' ගැන කියලා...
'අය්යෝ අම්මෙ...ඒ පුල්ලියා නෙවේ, ලපයා...' කියලා මං කියනකොට අම්මටත් හිනාව නවත්තගන්න බැරි උනා...
පස්සෙන්දා මම ඕක ඉස්කොලෙ ගිහින් යාලුවන්ට කිව්වාම උන් පන ඇරගෙන හිනාවෙලා කතා උනා මින් පස්සෙ 'අපි ඌට පුල්ලියා කියමු' කියලා .
ඒ වෙනකොට පොර 'ලපයා' කියන එක ගැනත් කෙන්තියෙන් තමයි හිටියෙ... ඉතින් පුල්ලියා කිව්වාම ආයෙ කියන්න ඕනෙ නැහැනෙ... කට්ටියම හොඳ සිංහල ටිකක් අහගත්තා ඒක කියන්න ගිහින්.
පස්සෙ මිනිහට ආරංචි වෙලා කොහොමද නම ආවෙ කියලා.... ටික කාලෙකට පස්සෙ අපේ අම්මා කියනවා 'අනේ පුතේ අර ලමයා දැන් මගේ මූන බලන්නෙත් නැහැනෙ...' කියලා.
මූන බලාවියැ ඒ ලමයට නමක් හැදුවාම...
කොහොම කොහොම හරි අන්තිමට අපේ කට්ටිය නැති තැන මිනිහට කිව්වෙ පුල්ලියා කියලා....

ඔන්න ඔහොමයි අපේ අම්මා මගේ යාලුවෙකුට නමක් දැම්මේ....

රාලහාමි සුප්...!!

මේක මේ පැරනි රසාංගයක්. ඒ කියන්නෙ මම ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්.

මම ගියේ මිශ්‍ර පාසැලකට. අපේ ඉස්කෝලෙ හයේ පන්තියෙ ඉඳලා දහයෙ පන්තියට යනකම් කලේ අවුරුද්දෙන් අවුරුද්දට ඒ ඉන්න ලමයි ටික ඒ විදියටම ඉහල පන්තියට promote කරන එකයි. ඉතින් ඔය අවුරුදු පහම අපි එකම සෙට් එකක් තමයි එකට හිටියෙ. ඒ නිසාම හැමෝම වගේ එකිනෙකා ගැන හොඳට දැනගෙන හිටියෙ. අම්මා, තාත්තා, සහෝදර සහොදරියෝ පවා.

ඉතින් අපි ඉස්කෝලෙ නිවාඩු කාලවලට කිහිප දෙනෙක් එකතු වෙලා යාලුවොන්ගෙ ගෙවල්වල ගියා. හැබැයි නිකම් අත් දෙක වන වනා නෙවෙයි, සල්ලි එකතු කරලා තෑගි බෝග එහෙමත් අරගෙන. ඔය අතරෙ ජම්බු ගස් කේස් එහෙමත් තිබුනනෙ. ඒවට ගියේ කෙල්ලො විතරයි. (දවසක් එහෙම එකකට අපි සිද්දිය කියන්නෙ නැතිව කොල්ලෙක් එක්කන් ගිහින් ඒකා අපිව මරාගෙන කෑවෙ නැති ටික විතරයි.... ;)) ) ඔහොම ගියාම ඉතින් දවසම ගතකරලා, ඇට්ටි හැලෙන්න සෙල්ලම් කරලා, වේලකුත් ගිය තැනින් සප්පායම් වෙලා තමයි ආපහු ගෙදර එන්නෙ. කලින් කියලා arrange කරලාම තමයි හැබැයි ඒ ගමන් ගියේ. ගෙදරින් යන්න දුන්නෙ නම් දන්න කියන දිහාවල්වල විතරයි.ඉතින් ඔය ගිය ගමන් වලදි අර ගෙදර අයිති යාලුවගෙ එක එක හොරත් අහුවෙනවා. ගෙදරට විතරක් සීමා වෙච්චි රහසුත් තියෙනවානෙ, ඔය රහස් නම් ගම් එහෙම. අපි එන්න කලින් යාලුවා ගෙදර අයට ඒ සම්බන්ධව මොන තරම් උපදෙස් දීලා තිබුනත් ටික වෙලාවක් යනකොට ඒ ඇත්තන්ට ඒ බව අමතකයි. පැයක් දෙකක් යනකොට බඩු බනිස්.

ඉතින් ඔන්න ඔහොම දවසක අපි සෙට් එකක් එකතුවෙලා ගියා ජගත් කියලා අපේ යාලුවෙකුගෙ ගෙදර. ඉතින් දවාලට කාලා හමාර කරලා පිස්සු නට නටා ඉන්නකොට ජගත් එකපාරටම කිවුවා 'ඒයි, අජිත්ගෙ ගෙවල් තියෙන්නෙත් මේ ලඟ' කියලා. අජිත් කියන්නෙ අපේ පන්තියෙ හිටපු එක්තරා character එකක්. හැම වාරවසාන විභාගයකදිම bottom side එකෙන් පලවෙනියගෙ cup එක ගැහුවෙ අජිත්. ඒ උනාට පන්තියේ කොල්ලො එකතු වෙලා කරන කුප්ප වැඩ වලදි නම් මිනිහා මුල් තැනක් අරගෙන බැහැලා වැඩ කලා. ඒ මොනව කලත් මේ යාලුවන්ගෙ ගෙවල්වල යන වැඩේට නම් පොර කිසිම දවසක සම්බන්ධ උනේ නැහැ. ජගත් කිව්ව විදියට අජිත් පවුලෙ එකම දරුවා නිසා එයාගෙ අම්මා අජිත්ව ඇහැ පෙන මානෙන් එහාට යවන්නෙ ඉස්කොලෙ යන්න විතරයි.

අජිත්ගෙ ගෙවල් ලඟයි කියලා දැනගත්තහම ඔන්න කට්ටියටම ඕන උනා එහේ යන්න. මම මේ කියන දවස්වල ඉතින් දැන් වගේ නෙමෙයි telephone, mobile කියන ඒවා ගෙවල්වල තිබුනෙ හරිම කලාතුරකින් තැනක. ඒ නිසා කලින් කියලා කරලා යන්න විදියක් තිබුනෙ නැහැ. ජගත් කිව්වට ලඟයි කියල අපට හැතැප්මක් විතර පයින් ගාටන්න උනේ නැතැයි. විනෝදෙන් කෑගගහා ගිය නිසා ඒක එච්චරටම දැනුනෙ නැහැ. ඒ උනාට පායන කාලයක් නිසා අවුව හරිම සැරයි. අජිත්ගෙ ගෙදරට යනකොට හැමෝටම හොඳ ගානට පිපාසෙ. ගේ ඉස්සරහ ටැප් එකක් තියෙනව දැකලා කට්ටියක් එතැනට දිව්ව වතුර බොන්න.

අපි දොරට තට්ටු කලාම අජිත්ගෙ අම්මා ඇවිත් දොර ඇරියා. ජගත් ඇහුවා 'ඇන්ටි, අජිත් ඉන්නවද?' කියලා.
'ආ, ඉන්නවා....පොඩ්ඩක් ඉන්නකෝ..' කියපු අජිත්ගෙ අම්මා මිදුලට බැහැලා, 'රාලහාමී....' කියල කෑගහුවා.
අපිට මැරෙන්න හිනා.
'යකෝ, මූට රාලහාමි කියන වග මම දන්නෙත් අදනෙ...' ජගත් අපි දිහාට හැරිලා හෙමින් කිව්වා.
අජිත්ගෙ අම්මා ඉස්සරහ හිනා වෙන එක හරි නැති නිසා කට්ටිය ඉන්නවා හිනාව තද කරගෙන. මට තමයි කට්ටිය අතරින් හිනාවට බ්‍රේක් නැත්තෙම. ඉතින් හැමෝම මගේ දිහා බලනවා මම කොයි වෙලාවෙ පිපිරෙයිද කියලා.
අම්මා කෑගැහුවට නෑ සද්දයක්. ඒ නිසා එයා ආපහු කතා කලා.
'රාලහාමී...., පුතේ මෙන්න ඔයාගෙ යාලුවො වගයක් ඇවිල්ලා. එන්නෝ...'
අපට එකපාරටම ඇහුනා ලොකු සද්දයක් ගෙයි අනිත් පැත්තෙන්. අජිත්ගෙ අම්මා ඒ පැත්තට ඉක්මනින් යනකොට අපි ටිකත් ගියා ඒ පස්සෙන්. දැක්ක දර්ශනේට අපි හැමෝගෙම හිනාවල් එලියට පැන්නෙ මහා හයියෙන්.
බැලින්නම් ගෙදර වතුර ටැංකියෙන් පහලට දාලා තිබුනු ඉනිමග දිගේ දෙකන්සෙන් වතුර වෑස්සි වෑස්සි අජිත් බහිනවා පහලට ඇඳුමක්වත් ඇඟේ නැතිව...!!
අජිත්ගෙ අම්මා 'අයියෝ මේ දරුවා...' කියාගෙන වැලේ දාලා තිබුනු රෙද්දකුත් ඇදගෙන දුවල ගිහින් අජිත් ඉනිමගෙන් බහිනකොටම එයාගෙ ඇඟේ එතුවා. ගෙයි පිටිපස්සෙන් ගෙට පැනගත්තු අජිත් නෙවෙයි වරුවක් යනකම් එලියට ආවෙ...
අපිත් ඇරියෙ නෑ, මිනිහා එලියට එනකම්ම අපිත් හිටියා.
පස්සෙ අජිත්ගෙ අම්මාම තමයි අපට සීන් එක කිවුවෙ. ඒ දවස්වල පෑවිල්ල නිසා එයාලගෙ ලිඳේ වතුර තිබිල තියෙන්නෙ හරිම අඩුවෙන්. ඉතින් අම්ම ඒ වතුර ටික ටික එකතු වෙන්න ඇරලා ටැංකියට ගහගෙන ප්‍රවේසමෙන් පාවිච්චි කරලා ගෙදර වැඩ වලට.
අපේ අජිත් කරලා තියෙන්නෙ අර මනුස්සයා අමාරුවෙන් එකතු කරගත් වතුර තිබුනු ටැංකියට බැහැලා නිර්වස්ත්‍රයෙන්ම නාපු එකයි...
ඒක දැනගත්තට පස්සෙ අපේ අර ටැප් වතුර බීපු යාලුවො ටිකට හිතුනු දේ කියන්න ඕනෙ නැහැනෙ. උන්ගෙ මූනු ඇඹුල් වෙලා. සමහරු 'ඕක්...' ගානවා, සමහරු 'ඊයියා...' කියනවා, එක යමරයයි. අනිත් එවුන් උන්ට නෝන්ඩිය දානවා 'රාලහාමි සුප්' බිව්වා කියලා.....

එදායින් පස්සෙ අපි කවදාවත් අජිත්ට අජිත් කිව්වෙ නැහැ. මිනිහට 'රාලහාමි' කියන නම  register උනා.
මට මතකයි අපිට ගනන් උගන්නපු සර්නුත් මිනිහට කතා කලේ ' හේ, රාලහාමි...' කියලා. දහයෙ පන්තියට විතර එනකොට අජිත් කිව්වහම කවුරුවත් දන්නෙ නැහැ. අන්තිමට මිනිහා 'රාලහාමි' විදියටම ඉස්කෝලෙ ප්‍රසිද්ධ වුනා...
ලස්සන වැඩේ කියන්නෙ අන්තිමට අපේ අම්මා අජිත්ට කිව්වෙත් 'රාලහාමි' කියලා. අදටත් මිනිහව මගදි දැක්කදාට අම්මා මට කියනවා 'අන්න ඔයගොල්ලන්ගෙ රාලහමි අද ටවුන් එකේ හිටියා...' කියලා.

Wednesday 19 October 2011

මම ගැන.....!

මම මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්..... ජීවිතේ වැඩි කාලයක් ගත කලේ අධ්‍යාපන කටයුතු වලට... ඒත් දැන් නම් හරිම වෙහෙසයි. ඒ මදිවට වගකීම් සම්භාරය......!! හ්ම්ම්ම්...
හැබැයි ආපහු හැරිලා බලනකොට  මේ කෙටි ජීවිත කාලයට කරපු දේවල් ගැන පුදුමත් හිතෙනවා...
ජීවිතේ පොඩ්ඩක්වත් boring නම් නැහැ. අත්දැකීම් ගොඩයි.... ඉතින් මෙච්චර කාලයක් blogs කියවපු එක විතරක් කල එකේ මටත් හිතුනා මගෙ අත්දැකීම් ටිකත් ඔයාලත් එක්ක බෙදා ගන්න..
මෙච්චර කාලයක් කිව්වට එච්චරම කාලයක් නැහැ...ඒත් මටත් හරිම ආස හිතුන ලියන්න අනිත් අයගෙ  blogs කියවනකොට....
ඒකත් කරලා බලමුකො කොහොම වෙයිද කියලා...

මම මියුරු....ගෙදරට කිව්වෙ මිහිරි කියලා. නම වෙනස් කරන්න හේතුව, නිතරම සෙල්ලම් කරන්න ගොඩේ ගියහම අම්මා මියුරු කියලා කෑගැහුවට දුරට ඇහෙන්නෙ නැති එක... ඌ ශබ්දයට වඩා ඊ ශබ්දය ඈතට ඇහෙනවනෙ.... හිතාගන්න පුලුවන්නෙ කොහොමට ගොඩේ යන්න ඇතිද කියලා...හැබැයි ඒ පුංචි කාලෙ.... ඉන් පස්සෙ ආව කාලයක් අම්මට වැඳලාවත් මාව එලියට බස්සගන්න බැරි උනු....:)

ඉතින් ඔය කාලසීමාවත් පහුවෙලා, පොත් ගුල්ලෙක් බවට පත්වෙලා, උපාධි දෙකකුත් සම්පූර්නයෙන්ම වෙනස් fields දෙකකින් අරගෙන, fields හතරක එකිනෙකට වෙනස් රස්සාවල් හතරකුත් කරලා හිතුවෙවත් නැති තැනක තමයි අද නතර වෙලා ඉන්නෙ...

ඉතින් ඔය එකී මෙකී කාලය පුරාවටම ලබපු අත්දැකීම්..... හොඳ ඒවා වගේම නරක ඒවත් බොහොමයි. සමහර ඒවා අනිත් අයටත් හොඳ පාඩම් ජීවිතේට.... ඉතින් ඔන්න ඔය දේවල් ඔයාලත් එක්ක බෙදා හදාගන්න තමයි මගේ මේ සූදානම...
පුලුපුලුවන් කට්ටිය පුලුපුලුවන් හැටියට මාවත් follow කරයි කියලා බලාපොරොත්තු වෙනවා..... තවම මම මේ වැඩේ ඉගෙන ගන්නවා. පටන් ගත්තු හැටියෙම නිසා අඩුපාඩු බොහොමයක් තියෙන්න පුලුවන්. ඒවාට සමාවෙන්න ඕන....