Total Pageviews

Monday, 7 January 2019

කාක් දඩයම...

Image result for woman with a crazy hair cartoon

https://www.bigstockphoto.com/image-206592361

මගේ පරණ බ්ලොග් පෝස්ට් කියවලා තියෙන අයට මතක ඇති මං මේ කියන නැන්දව. අපේ ඔය නැන්දා ඉන්නව නේද? ඔහොම හිටියට හරි මොළකාරි. ඒ මොළෙන් හරි හමන් පොරෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුනෙ කලාතුරකින් වීමයි වස වැරැද්ද වුනේ. ඒකට හේතුව උනේ අපි. මොකක් හරි උනාම එයා ගියර් එක මාරු කරලා ඒක ස්ටාර්ට් කරගෙන එද්දි, අපි තුන්දෙනාම නැත්නම් එක්කෙනෙක්,  එයා කියන විදියට වැඩේ කාලා හරි, ගම කාලා හරි, දෙකම කාලා හරි. ඒ  නිසා එයාට ඒකෙන් වැඩක් ගන්න අවස්ථාවක් උදා උනේම නැති තරම්. ඉතින් ඔන්න ඔහොම අපේ නැන්දගෙ මොළේ පුස් කකා තියෙද්දි උදා වුනේ නැද්ද දවසක්.



මේ කියන කාලෙ අපේ ගේ හරියට වැඩ අවසන් කරලා තිබුනෙ නෑ. ඒ තිබුනු ගානට හදලා ඉවර කළේ මං විතරක් ඉන්දැද්දි උනාට නංගිලා දෙන්නෙකුත් ඇවිත් උන් දෙන්නා ඉස්කෝලෙ යන කාලෙ ඇවිත් තිබුනත් අපේ තාත්තා නෙවෙයි ඉතුරු වැඩවලට අත ගැහුවෙ. මට මතකයි වහිනකොට සිවිලිමක් නැතුව තිබ්බ උළු වහපු වහලෙ සිදුරු අතරින් වතුර බේරෙද්දි, අපි කුස්සියේ තියෙන හට්ටි, මුට්ටි, අත සෝදන කෝප්ප විතරක් නෙවෙයි මැටි කෝප්පෙ පවා ඒ තැන් වලට තියනවා. උයන්න ගිහින් පොල් ගාන්න මැටි කෝප්පෙ ඕන උනාම, නැන්දා ඇවිත් පොල් කටුවක් හරි තියලා ඒක අරන් යනවා. අපේ අම්මා ඒ කාලෙ අපේ ගෙදරට කිව්වෙ 'පතෝල මැස්ස' කියලා. අම්මට හොඳටම තරහා ගිහින් තිබුනෙ හැකියාවත් තියාගෙන තාත්තා ඒ ගැන මොකවත් නොකරන එක ගැන. ඒ කාලෙ වහලෙන් දිය ඇල්ලක් කඩා හැලුනත්, තාත්තා ඒක වටෙන් ගිහින් එයාගෙ වැඩේ කරගෙන එනවා මිසක් ඒකට පිළියමක් යොදන්නෙ නැති ගානට තමයි හිටියෙ.

ඉතින් වහින කාලෙට ගේ ඇතුලෙ පින්න. අපිට කිඹුහුම් යනවා කෙළවරක් නැතුව. අන්තිමේ කට්ටියටම පීනස් අමාරුව. කොහොම හරි අපේ අම්මා මට කිව්වෙ 'අපේ පීනස් දෙව්දුව' කියලා. අපි විතරක් නෙවේ, තාත්තත් උදේ පාන්දර නැගිටින්නෙ ඇඳන් උඩ නිදාගෙන ඉන්න එවුන් අඩි පහක් හයක් උඩ විසිවෙලා ඇඳෙන් බිමට වැටෙන සයිස් එකේ, පළාතම දෙදරවන කිඹුහුම් ඇරගෙන. තාත්තා පටන් ගත්තම මමයි නංගිලායිත් ඒකට තාල අල්ලලා තමයි නවත්තන්නෙ. ඒ කාලෙ ටිෂූ පාවිච්චියක් නැති නිසා ගෙදර හිටිය සෙමනේරිස්ලා ඔක්කොම ලේන්සු තමයි පාවිච්චි කළේ. තාත්තට අම්මා මහල දීලා තිබුනා තුවායක් විතර සයිස් ලේන්සු. ඒවා සෝදන්න දැම්මම, අල්ලන්න බැරි හින්දා අම්මා කරන්නෙ ලිං පඩිය උඩ පයින් අතුල්ලන එක සෙවෙල යන්න. ඊව්. මතක් වෙනකොටත් අප්පිරියයි. අම්මටත් අප්පිරිය උනාම ඒවා කැලේට විසි කරලා දාලා අළුත් ලේන්සු මහලා දෙනවා. මගේ ඒවා නම් මමම සෝදා ගත්තා. නංගිලාගෙ ඒවා නම් අම්මම සෝදන්න ඇති. තාත්තගෙ ලේන්සු නිකම්ම සුදු පාට උනාට, අපේ ලේන්සු ලස්සනට ලේස් එහෙම අල්ලලා තිබුනු පාට, පාට ඒවා. අම්මා මට ඕඩිකොලෝන් කුප්පියකුත් ගෙනත් දුන්නා ලේන්සුවට දාගෙන යන්න. මං ඒක ඉස්කෝලෙ අරන් ගියේ හරිම ආසාවෙන්. ලස්සනට නවලා සුදු ගවුමෙ බෙල්ට් එකේ එක පැත්තකින් වැලට රෙදි දානවා වගේ දාගෙන තමයි ගියේ. හොඳට හිරවෙලා තියෙනවා මිසක් ලේසියෙන් හැලෙන්නෙ නෑ. දාඩිය පිහිදගන්න ඕන උනොත් ඒක දිග අරින්නෙ නෑ. අර නවලා තියෙන විදියටම තියාගෙන එක පැත්තකින් පිහිදනවා. ටිකකින් ඒ පැත්ත කිළිටු වෙනකොට, ඩෙස්ක් එක උඩ ලේන්සුව දිග හැරලා කිළුටු පැත්ත ඇතුලට හිටින්න ආයෙ නවා ගෙන, ඉණේ ගහගන්නවා.

ඉතින් ඔය වගේ සිවිලිමක් නැති වහලවල් තියෙනකොට උළුවල යට පැත්තෙ, පරාල රීප්ප අස්සෙ බැඳෙන මකුළු දැල් අඩු ගානෙ මාස දෙක තුනකට වතාවක්වත් කඩන්න වෙනවනෙ. ඒවා කැඩුවෙ කෙළවර අමු පොල් අතු අගිස්සක් ගැට ගහපු දිග රිටකින්. ඒක හැමතිස්සෙම ගෙයි පිළිකන්නෙ පේමන්ට් එක අයිනෙ තමයි දාලා තිබුනෙ. එක සැරයක් අපේ පරණ රිට සොයාගන්න බැරුව හරි, කවුරු හරි ගෙනිහින් ආපහු ගෙනැත් දීලා නැතුව හරි අළුත් එකක් හදාගන්න ඕන වුනා. ඒ කාලෙ ඕවා කට්ටිය හයර් කරගෙනත් යනවා. හැමෝටම දිග රිටි කපන්න ගස් නැහැනෙ. අරගෙන ගිය එකා මතක නැතිවුනොත් ඉතින් ඊළඟ සැරේ මකුළු දැල් කඩන්න ගියාම ආයෙම එකක් හදාගන්නයි වෙන්නෙ. ආයෙ ඉතින් දෙයක් ඉල්ලන් ගියොත් දන්නවනෙ වෙන දේ. දීපු එකාම යන්න ඕන ඌට ඕන වෙනකොට දීපු දේ සොයාගෙන. එහෙම ගියත් කී දෙනෙක් පර සක්වල ගහනවද ඒක එදාම හරි ඊට පහුවදා හරි, කවදා හරි ආපහු දුන්නා කියලා. පොතක ලියාගෙන තියාගන්න ඕන, අහවලා අසවල් දවසෙ ඉල්ලගෙන ගියාය කියලා, උගේම අත්සනකුත් එක්ක. නැත්නම් ඔප්පු කරනවා බොරු. තාත්තට කණු කුණු ගෑවම, කිසිම දෙයක් බැහැයි නොකියන තාත්තා හොඳට පොරොන්දු වෙනවා එකක් හදලා දෙන්නම් කියලා. මොන පිස්සුද!

අන්තිමේ එයායි මායි විතරක් ගෙදර හිටිය දවසක අපේ නැන්දා තීරණය කළා රිටක් හදාගන්න. එයා කොට හින්දා එයාට උස්සන්නත් පුළුවන් වෙන එකක් වෙන්නත් එපැයි. අන්තිමට ඒක හදලා ගෙනාවම වහළටවත් උස නෑ. ඒ ගමන එයාම තීරණය කළා තව රිටක් කපාගෙන ඇවිත් කලින් රිටට ගැට ගහන්න. රිටවල් දෙක එකට ගැට ගහන්න ලණුවක් සොයාගන්න බැරුව අන්තිමට රෙදි වැල ලිහාගෙන ඇවිත්, දිව විකාගෙන අමාරුවෙන් ගැට හගලා රිටි දෙක පුරුද්ද ගෙන අරන් ගියා ගෙට. දැන් රිට උස්සන, උස්සන පාරට අර පුරුද්දපු රිට බෙල්ල කඩාගෙන හැලෙනවා වගේ නැවෙනවා වෙන පැත්තකට. ඒ මදිවට, මට පේනවා රිටේ බරට නැන්දගෙ මූණ හරියට කක්කා බර හැදිලා වගේ වෙලා තියෙනවා. එයා ඒක කරගහගෙන එක පැත්තකට යනකොට, කඩාගෙන හැලෙන කරටියෙ බරට ඒ පැත්තට ඇදීගෙන, ඇදීගෙන ගිහින් යාන්තම් බ්‍රේක් ගහලා නතර වෙනවා. ආයෙ යාන්තම් රිටි කෑලි දෙක කෙලින් කරගෙන වහළට කිට්ටු කරනකොටම අනිත් පැත්තට ඇදීගෙන, ඇදීගෙන ගිහින් යාන්තම් නතර වෙනවා. මේ සියල්ල මැද නොසැලී සිටි අපේ නැන්දා රිට ආයෙම බිම දාගෙන අළුත්වැඩියා කරලා උස්සා ගත්තට නැන්දව ඒ පැත්තටයි මේ පැත්තටයි ඇදීගෙන ගිය එක තමයි මොනවා කළත් සිද්ද වුනේ. අන්තිමට වැඩේ අතාරින්න තීරණය කරලා රිට එළියට දාන්න  යද්දි තමයි කුස්සියේ තිබුනු ග්‍රිල් එකක් නැති ජනේලෙන් මේ කොහෙද යන හොර කපුටෙක් ගෙට රිංගා ගත්තෙ.

"මියුරූ.... මියුරූඌඌඌඌ....!"
නැන්දගෙ මර හඬ ඇහෙනකොට මාත් ගාල කඩාගෙන කුස්සිය පැත්තට දිව්වෙ ඒ ගමන මොකක් උනාද කියලා බලන්න. මං යනකොට නැන්දා එළියට ගෙනියන්න ගෙනාව රිට එහෙමම බිම දාලා, දඩි බිඩි ගාලා කුස්සියේ ජනෙල් වහනවා.
"මොකද උනේ?" මං ඇහුවා.
"කාක්කෙක් රිංගුවා ගෙට. අපි ඌව අල්ල ගනිමු. වහන්න ඇරලා තියෙන ඔක්කොම ජනෙල් දොරවල් ටික."
කූඩුවක දාලා ඇති කරන කාක්කෙක් හිතේ මවා ගත්තු ඒ වෙනකොට අවුරුදු නමයක් දහයක් විතර වෙච්ච මම, නැන්දගෙ අණට කීකරු වෙලා, එහාට මෙහාට දුව දුවා වටේටම ඇරලා දාලා තිබුනු ජනෙල් දොරවල් ටික වහලා දැම්මා.

ගේ ඇතුලෙ හිර වෙච්ච කාක්කා දැන් බෙරිහන් දෙනවා. දනි පනි ගාලා රිටි කෑලි දෙක වෙන් කරගත්තු නැන්දා පොල් අතු අගිස්ස බැඳපු රිටි කෑල්ල අරගෙන කාක්කට අනිනවා. ඌ එහාට පියාඹනවා, මෙහාට පියාඹනවා, පිහාටු හලනවා, බෙටි දානවා එක යමරයයි. කාක්කා බේරිලා යනකොට නැන්දට කේන්තියි. එයා තවත් පන්නනවා.  ඌ එක කාමරයකින්, අනිත් කාමරේට පියාඹනවා. ඌ එක සැරයක් පහළින් පියෑම්බෙ මගේ ඉස් මුදුන ගාවින්මයි. බය වුනු පාර මං රිංගා ගත්තා සාලෙ තිබුනු මේසෙ යටට. මං දැන් බලන් ඉන්නවා නැවිලා, මොකක් වෙයිද කියලා. මට දැන් පේනවා අර කඩන්න බැරිවුනු මකුළු දැල් කෑලි කැඩිලා බිමට වැටෙනවා, බිත්තිවල සිමෙන්ති කෑලි වැටෙනවා, පොල් කොළ කෑලි වැටෙනවා, පිහාටු වැටෙනවා, කාක් බෙටි වැටෙනවා. ඒ අස්සෙ නැන්දගෙ බතල කකුල් දෙකත් එහාට මෙහාට වේගෙන් යනවා. කරව් සද්දෙයි, නැන්දගෙ කෑ ගැහිල්ලයි එකතුවෙලා නියම සංගීතෙ. පෙනුනු විදියට එක්කො නැන්දා, එක්කො කාක්කා.

එළියෙ කවුරු හරි එන සද්දයක් ඇහෙනවා. මට එළියට යන්න බයයි කාක්කා කොටයි හරි ඇඟට බෙට්ටක් දායි හරි කියලා. මං මේසෙ යටට වෙලා එහෙමම හිටියා. ආපු කෙනා හයියෙන් දොරට ගැහුවා.
"මොකක්ද ඔය සද්දෙ?"
අම්මා ඇවිත්!
නැන්දා රිට බිම දාලා දොර අරින්න යනවා මට පෙනුනා. කාක්කත් සුරූස් ගාලා පියාඹගෙන වෙන කොහාට හරි යනවා ඇහුනා. මං හෙමිහිට එළියට ආවා. අපොයි දෙයියනේ! නැන්දා දොර ඇරියම අම්මගෙ කට ඇරුනෙ යක්කු නටපු පිටියක් වගේ වෙලා තිබුනු ගේයි, කොණ්ඩෙත් අවුල් කරගෙන යස්සනියක් වගේ හිටිය නැන්දයි ඊට පිටිපස්සෙන් විරවගෙන හිටිය මායි දැකලා.
"මේ මොකක්ද කරලා තියෙන්නෙ?"
අම්මා වටපිට බල බලා ගෙට ගොඩ උනේ එහෙම අහගෙන. එතකොටම ගේ ඇතුලෙ හිරවෙලා හිටිය කාක්කා, වේගෙන් පියාඹගෙන එළියට ගියා.
"ඒ මොකෙක්ද, ඒ?" අම්ම ඇහුවෙ පුදුමෙන්.
"කාක්කෙක් රිංගා ගත්තනෙ ගෙට, කුස්සියෙ ජනේලෙන්," නැන්දා කිව්වා.
"ඉතින්?"
"මං ඌව පන්නන්න හදනකොට රිටෙන් ඇනලා, ඌ හැම තැනම පියාඹන්න පටන් ගත්තනෙ."
"කාක්කා පන්නන්න හැදුවෙ ජනෙල් දොරවල් වහගෙනද?"
"නෑ, නැන්දා ඌව අල්ලන්න හැදුවෙ, අපිට ඇති කරන්න," මං පැනලා කිව්වා.
අම්මා වටපිටාවයි නැන්දගෙ මූණයි දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා.
"අනේ බං උඹ වගේ ගොං ගෑණියෙක්!"
"ඒ?" නැන්දා ඇහුවෙ අම්මා කිව්ව දේ තේරුම් ගන්න බැරුව.



(Tip: ඔන්න කාට හරි ඕන නම් ගෙයි වහලෙ මකුළු දැල් කඩාගන්න, දාගනිල්ලා කාක්කෙක් ගෙට. හැබැයි ගේ ඇතුලට අත අරින්න ඉස්සෙල්ලා ඌට ඩයපර් එකක් අන්දලා හරි, එහෙම එකක් හොයාගන්න නැත්නම් ඔය පාංකඩයක් අරගෙන අමුඩයක් ගස්සලා හරි අතාරින්න වෙයි. නැත්නම් අපේ අහිංසක නැන්දට වෙච්ච දේ තමයි වෙන්නෙ. එයාට වෙච්ච හරිය කරගෙන කට්ටිය මට එහෙම කියනවා නෙමේ ඔන්න. ;P )

20 comments:

  1. //....එක්කො නැන්දා, එක්කො කාක්කා//
    හෙහ්..හෙහ්..නැන්දා නං නියමයි.

    ReplyDelete
    Replies
    1. නියමදත් කියලා අහනවා… :D

      Delete
  2. කාක්කා කෙටුවා නම් කොහොමද නැන්දාටයි දුවටයි.ඊට පස්සේ වහලේ මකුළු දැල් කඩලා ගේත් හෝදන්න වෙන්න තිබ්බා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මං කලින්ම මේසෙ යටට රිංගා ගත්තෙ. නැන්දත් පස්සෙන් දුව දුවා රිටෙන් ඇන්නෙ නැත්නම්, කෙටීම කෙසේ වෙතත් උන්දගෙ කොණ්ඩෙ තිබුනු විදියට ඌ පදිංචි වෙන්නත් ඉඩ තිබ්බා...

      Delete
  3. කාක්කන් ඇති කරළා උං සල්ලි හොරකං කරන්න පුරුදු කරනවාය කියා මං පොඩි කාලේ අසා තිබුණා!

    ReplyDelete
    Replies
    1. හප්පා, හොඳ වෙලාවට ඒ ගැන හාංකවිසියක්වත් අහලා නොතිබුනේ. නැන්දා හෙම ඕක දැනගෙන හිටියා නම්, එහෙම එකකට ට්‍රයි එකක් දීලා බලන්න ඉඩ තිබ්බා. එහෙව් නැන්දා...

      Delete
  4. ආ.. මම පස්සෙ කියවල කමෙන්ට් එකක් දාන්නම් හොඳේ. :)

    ReplyDelete
    Replies
    1. මම ඊයේ විභාග වැඩකට ගිහින් ඉන්න ගමන් ෆෝන් එකෙන් කමෙන්ට් එකක් කෙටුව, ඒක හරියට සෙන්ඩ් වෙලා නෑ මහිතේ. කලබලේට මගේ ඇත්ත නමින් තියන ගූගල් අකවුන්ට් එකෙන් ද දන්නෙ නෑ කමෙන්ට් වුණේ, එහෙම එකක් ස්පෑම් එකේ වගේ තිබ්බොත් ඉග්නෝ කරන්නකෝ, හොඳේ. :)

      මට මතක විදියට ඒකෙ මම ලිවුවේ මේ වගේ ඒව ටිකක්.

      *****
      අපේ ගෙදරත් අපි පොඩි කාලේ, කෑම කාමරෙයි කුස්සිය පැත්තෙයි සිවිලිම තිබුණේ නෑ, ඔය වගේම පොල් කොළ බැඳලා අපිත් මකුළු දැල් කැඩුව, සිවිලිම ගහල දෙන්න කිසි උනන්දුවක් නෑ කියල අපේ අම්මත් තාත්තට කුණු කුණු ගෑව. හැබැයි ඔහොම අපූරු නැන්දෙක් නම් හිටියෙ නෑ, මම අපේ මවු පිය පාර්ශව දෙකෙන්ම දරුවෝ අතරින් ටිකක් බාල වයස් කාරයෙක් නිසා (දෙගොල්ලොම ගත්තොත් මම ඉන්නේ අග ඉඳන් හය වෙනියට, ඔක්කොම ඉන්නවා විසි හයක්) මම ඉපදෙනකොට නැන්දලා, පුන්චිලා ඔක්කොම පවුල් පන්සල් වෙලා, වෙන වෙනම පදිංචි. ඒ වගේම, මමත් පොඩි කාලෙ මොකක් හරි වුනොත්, ඔයා වගේම කෙලින්ම යන්නේ මේසෙ යටට තමයි. හැබැයි ඒක මේ අපි විතරක් කරන වැඩක් නෙවෙයි හරිද, ජපානේ භූමිකම්පා එනකොට, මිනිස්සුන්ට උපදෙස් දීල තියෙන්නෙ ටක් ගාල මේසෙ යටට රිංගන්න කියල තමයි. :)

      නැන්ද අච්චර ගේ දෙක කරලා තියෙද්දිත්, ඔයාගේ අම්ම තරහ නොගෙන හිටිය කියන්නේ, අම්ම හරිම කූල් චරිතයක් වෙන්න ඇති.

      Delete
    2. චැහ්! ස්පෑම් එකෙත් නෑනෙ. මං හොඳට බැලුවේ මේ ඉග්නෝ කරන්න කියලා...
      මං මව් පිය පාර්ශ්ව දෙකෙන්ම වැඩිමලා. ඔක්කොම මට බාල දහ හතරක්... විසි හයක් කියන්න ජාතිනෙ.
      මාත් ජපානෙන් තමයි උපදෙස් ගත්තෙ..
      හික්ස්... ඔයා අපේ අම්මා කූල් චරිතයක් කියනකොට මට හරි හිනා. අපේ අම්මා ඒකෙ අනිත් පැත්ත. හැබැයි සෝඩා බෝතලේ වගේ තමයි. අපේ අම්මගෙ ලොකුම කූල්කම, අම්මට හිනා ගියොත් ඒක නවත්ත ගන්න බෑ. සමහර වෙලාවට තැන නොතැන නෑ. ඉස්සර රෑට පිරිත් අහන්න පිරිත් ගෙවල්වල ගියාම යාළුවොත් එක්ක එකතුවෙලා හිනාවෙලා හාමුදුරුවන්ගෙන් බැණුමුත් අහගන්නවා. අපි අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවට අපිටත් හිනා වෙනවා.
      ගේ දෙක කරපු එකටත් වැඩිය කාක් බෙටි ගඳ… :D

      Delete
  5. අපේ පීනස් දෙව්දුව

    මේක නම් මරු

    ReplyDelete
    Replies
    1. මං ගෙදරින් ආවට පස්සෙ අපේ ලොකු නංගිට නිකම්ම තනතුර ලැබුනා.

      Delete
  6. ලංකාවෙ කාක්කො ඇති කරන්නතහනම් කියලා නීතියක් තියනවා කිවලා අහලා තිබුනා මතකයි.


    මකුලු දැල් කඩන්න ගන්නේ පින්න අතු නේද?එතකොට කාලෙකට ආයෙ මකුලුවො දැල් බදින්නෑ කියකවා...


    තොපි දෙන්කා තමා දවසකට හරි නැක්දයි ලේලීයි..හැහ් 😜😜

    ReplyDelete
    Replies
    1. ඇත්තද? එහෙනම් අර කකා උඩින් කියලා තියෙන හේතුව හින්දා වෙන්න ඇති.

      පින්න අතු කතාව නම් අහලා නෑ. අපේ අම්මලා දැනගෙන හිටියද කියලා නම් දන්නෙ නෑ හැබැයි. මට මතක විදියට අපේ පැත්තෙ වැඩි දෙනා පාවිච්චි කළේ පොල් අතු කරටි. හොයාගන්න ලේසි හින්දා වෙන්න ඇති සමහරවිට.

      //තොපි දෙන්කා තමා දවසකට හරි නැක්දයි ලේලීයි.// :D

      Delete
    2. හපොයි... නිදිමතෙ කමෙන්ට් එක කෙ‍ටුවෙ... දැන්නෙ දැක්කේ විකාර ලියලා තියෙන්නේ කියලා.. :)

      Delete
    3. මං හිතුවෙ බීලා කියලා… :D

      Delete
    4. මේකිව කොටියම කාපිය..

      Delete
    5. අපොයි දෙයියනේ....
      නෑ, නෑ... මං කිව්වෙ මේ වතුර බීලා කියලා... ගිනි… ;P

      Delete
  7. @ එ.මා,
    හාකො, හාකො....

    තරහා වෙන්න එපා උත්තරේ යටින් එබුවට. රිප්ලයි බට්න් එක තවම වැඩ නෑ. :(

    ReplyDelete