Total Pageviews

Monday, 11 February 2019

රෙනාල්ඩෝ.........

Related image



මේ රෙනාල්ඩෝ කියන්නෙ වයස අවුරුදු හතළිස් පහක් විතර වෙන, මාත් එක්ක වැඩ කරන රොමේනියන් කාරයෙක්. මං මෙයා ගැන අපේ මනූට ඉස්සෙල්ලම කිව්වම, මනූ මට කිව්වා ඔය රොමේනියන් කාරයන්ගෙ කටවල් වලට බ්‍රේක් නැති හින්දා, ඒකට සූදානමින් මිනිහව ආශ්‍රය කරන්න කියලා, පස්සෙ ඤරු ඤුරු ගාන්නෙ නැතුව. එයා මොන රොමේනියන් කාරයෙක් ආශ්‍රය කරලා කිව්වද මන්දන්නෑ, කතාව කිරි ගහට ඇන්නා වගේ හරියටම හරි. පොර යමක් කියන්න ගියාම මේක කියන්නෙ කාටද, අහගෙන ඉන්නෙ කවුද කියලා වගේ වගක් නෑ, දඩාස් ගාලා කියලා දානවා. ඒ හින්දා මිනිහගෙ අවලම් කතා අහගෙන ඉන්න ගිහිල්ලා මට කර කියාගන්න දෙයක් නැතිවුනු වෙලාවල් අනන්තයි.


ඒ වගේම මිනිහා හරිම ජොලි පොරක්. එයාට පුළුවන් ඕනම කෙනෙක් හරියටම අනුකරණය කරන්න. අපිත් එක්ක එකට වැඩ කරන අයව ඉමිටේට් කරනකොට, ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ මේ කවුරු ගැනද කියන්නෙ කියලා. ඒ වගේම අඩු ගානෙ හැම සතියකටම එක සැරයක්වත් මිනිහට මොකක් හරි අන්දොස් වැඩක් වෙනවාමයි. මිනිහා ඇක්ටිං පාර දාලා ඒවා විස්තර කරනකොට අපිට හිනාවෙලා පණ යන හින්දා මං මිනිහට කියන්නෙ මිස්ටර් බීන් කියලා.

මේ දවස්වල මිනිහා එදිනෙදා ගේ දොර වැඩ තනියම කරගන්න මහා අරගලයක යෙදිලා ඉන්නෙ, අවුරුදු විසි තුනක් කසාද බැඳලා හිටපු නෝනාගෙන් ළඟදි දික්කසාද වෙච්ච නිසායි. මෙයා කියන දේවල්වල හැටියට ඒ මනුස්සයා මේ තරම් කාලයක් මුන්දත් එක්ක හිටියා ඇති කියලත් හිතෙනවා. පොර හැමතිස්සෙම සල්ලි, ගෙවල් දොරවල් වගේ ඒවා ගැන කියනකොට කියන්නෙ 'මගේ සල්ලි, මගේ ගේ, මගේ ඇඳ' කියලා හෙම. දික්කසාද උනාට පස්සෙ විතරක් නෙවේ, කසාද බැඳලා ඉන්දැද්දිත්. කසාද බැන්දට පස්සෙ 'අපේ' වෙන දේවල් අවුරුදු විසි තුනකට පස්සෙත් 'මගේ' වෙනකොට ඉතින්.... ඒ වගේම තමයි මිනිහට ගෙදර බිම කුණු කෑල්ලක්, දූවිලි කුඩක් තියෙන්න බෑ, බාත් රූම් එකේ වතුර හැලිලා තියෙන්න බෑ. ඔය වගේ චෝදනා ගොඩයි. හැබැයි හොඳට හරි, නරකට හරි මිනිහට දරුවො නෑ. ඒ හින්දද කොහෙද එයාට 'මගේ' දේවල් ඕන විදියකට තියාගන්න කියලා නෝනා බායි කියලා තියෙන්නෙ. මිනිහත් උඩ පැනගෙන ඒ වැඩේ කරගත්තට මොකද, ඊට පස්සෙ තමයි පොරට තේරුනේ තමන්ට තමන් විතරයි කියලා. මෙහේ දරුවෙකුත් නෑ, වෙන ඥාති කෙනෙකුත් නෑ, යාළු මිත්‍රයෙකුත් නෑ. ඉන්නෙ අපි වගේ වැඩ කරන තැනදි මුණ ගැහිලා කතා බහ කරලා, හිනාවෙලා යන අය විතරයි. මිනිහා සමාජශීලී කෙනෙක් නෙවේ. දවසක් මිනිහා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මට කියනවා, එයා කවදා හරි දන්වන්නෙ නැතුව වැඩට ආවෙ නැතොත් හෙම, සොයලා බලන්න, සමහර විට ගේ ඇතුලෙ මැරිලා ඉන්න පුළුවන් කියලා. :(

දික්කසාදෙන් පස්සෙ මිනිහගෙ ලොකුම අරගලය උනේ කෑම ටික හදාගන්න එක. එක සැරයක් ලෑම්බ් කිලෝ තුනක් විතර ගෙනත් අම්මගෙන් අහගෙන ඔක්කොම ටික එකසැරේ උයලා, ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන සති දෙකක් විතර තිස්සෙ කනවා, කනවා ඉවර වෙන්නෙම නෑ. අන්තිමට තමුන්ටත් බැටළුවෙක් වගේ 'බෑ' කියවෙන්න ගන්න ඉස්සෙල්ලා යාන්තම් ඉවර කරලා දැම්මා. ඊට පස්සෙ හදාගත්තා ඒ වගේම සොසේජස් තලියක්. ඒකත් තුන්වේලටම කාලා, කාලා වමනෙ යන්න ලං වෙන සයිස් එකක් වෙනකොට බොහොම අමාරුවෙන් හිත හදාගෙන විසි කරලා නිකම් හිටියා. දන් මේ පහුගිය සතියෙ අල කිලෝ දෙක තුනකින් 'පොටේටෝ මෑෂ්' හදාගෙන බිත්තර ස්ක්‍රෑම්බ්ල් කරලා ඒවත් එක්ක කනවලු. ඒක කියනකොටත් මට වමනෙට යන්න වගේ ආවා. ඊට පස්සෙ පව් කියලා හිතිලා මං ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම ජාතිවල රෙසිපි ටිකක් ගෙනිහින් දුන්නා. තවම හැදුවෙ නෑ, ඒවා කියවනවා විතරයි. බලමු මොනවා කර ගනීවිද කියලා.

රෙනාල්ඩෝ මොකක් හරි අමුතුවෙන් දෙයක් කරන්න ගියොත්, ආයෙ දෙකක් නෑ 'රිගෙන, ගගන' තමයි. මනූ ඕක අහලා කියනවා මිනිහගෙ නම මිනිහට හොඳටම ගැලපෙනවා කියලා. අර ඉස්සෙල්ලම ලෑම්බ් හදන්න ගිය වෙලාවෙ නැවතුනේ ඉස්පිරිතාලෙ. එයාගෙ ඔෆිස් සගයා කියන විදියට මිනිහා ගෑණු ළමයෙක් ගැන අරවා මේවා හිත හිතා ලෑම්බ් කෑල්ල චොපිං බෝඩ් එක උඩ තියලා ගැහුවලු පිහි පාරක්, දබරැඟිල්ලෙ පළ වෙනි පුරුක වෙන්වෙන්න. ඇත්තටම ඒක වෙන් වෙන්නෙ නැතුව බේරිලා තියෙන්නෙ අනූ නවයෙන්. මැහුම් තොගයක් දාලා යන්තම් ගොඩ ගත්තා. කොහොමින් හරි දැන් ඇඟිල්ල තියාගෙන ඉන්නෙ පිස්තෝලෙ වගේ, පළවෙනි පුරුක නැවෙන්නෙ නෑ. ඒකට ශල්‍යකර්මයක් කරලා හදන්න පුළුවන් කිව්වට යන්නෙ නෑ බයේ.

ඔය ඔපරේෂන් එකට බය වෙන කාරණාවක් හින්දා. මිනිහා කැමති නෑ ඇනස්තීසියා වලට. හිරි වට්ටනවට එහෙම. මෙයා ඒකට හේතුව විදියට කියන්නෙ එයාගෙ සීයා ලෝක යුද්දෙ කාලෙ (කී වෙනි එකද මන්දා) යුද්දෙට ගිහින් මැරුණලු. ඉතින් එයා වින්දාය කියන වේදනාවල් වල හැටියට මෙයා ඒකට ගෞරව කරන්නෙ ඇනස්තීසියා ගන්න ඕන ඒවට නොගෙන ඉඳලා. කටේ දත් ගලවන්නෙ හිරි වට්ටන්නෙ නැතුව. එහෙමයි කියලා පැනඩෝල් එකක්වත් ගන්නෙ නෑ. එදා ඇඟිල්ල කැපුනු වෙලාවෙ මැහුම් දම්මවගෙන තියෙන්නෙත් අමුවෙන්ම. ගෙදර ඇවිත් වේදනාවට කටට ජම්පරයක් ඔබා ගත්තලු කෑගැහෙනවට. මරි මෝඩකමද එහෙම නැත්නම් නුහුගුණේද මන්දන්නෑ...

ඔය ඇඟිල්ල කැපුනු වෙලාවෙ තවත් මිනිහට දුක හිතෙන දෙයක් වෙලා තියෙනවා. මෙයා දික්කසාද උනාට හිටපු නෝනත් එක්ක තවම හිතවත්. පහුගිය නත්තල ගත කළෙත් එයා එක්ක. ඔය සිද්දිය වෙන්න කලින් දවසෙ හිටපු නෝනගෙ කාර් එක කැඩිලා මෙයා තමයි ගිහින් ඒක හදලා දීලා තියෙන්නෙ. ඊට පස්සෙන්දා ඇඟිල්ල වෙන්වෙලා යන තරමට කපාගෙන, ලේ යන්න පටන් ගත්තම මිනිහා ගෑණිට කෝල් එකක් දීලා කියලා තියෙනවා මෙහෙම එකක් උනා කියලා. මෙයා යන තැනත් කියලා ඉස්පිරිතාලෙ ගිහින් බලන් ඉන්නවලු දොර දිහා ඒක ඇරෙන, ඇරෙන සැරේට දැන් නැතුවට දැන් හිටපු නෝනා දුවගෙන එයි කියලා. ගෑණි පැත්ත පලාතක ඇවිත් නෑ. ඒක කිව්වෙ හරිම දුකෙන්. වෙච්ච දේ කියන්න ඇත්තෙත් එයි කියලා හිතාගෙනනෙ. පව්. 

දැන් මේ දවස්වල මිනිහා ෆුල් ට්‍රයි එක නෝනා කෙනෙක් සොයාගන්න. වැඩේ තියෙන්නෙ කසාද බැඳලා ඉන්දැද්දි බලපු ගෑණුවත් දැන් නිකමටවත් බලන්නෙ නැති එක. පහුගිය දවස්වල මෙහේ මෙල්බර්න් කප් එක දවසෙ පොර කලින්ම නිවාඩු දාලා ලක ලෑස්ති උනේ මේ සැරේ නම් දෙඤ්ඤං කියලා. පොර කියනවා සෑහෙන කාලයක් වාරකන් හින්දා මොනවද මන්දා පැකට් එකක්ම අරන් ඒකෙන් හයක්ම සාක්කුවේ දාගෙනලු ගියේ. පොරගෙ වාසනාව කියන්නෙ පොර ගිහින් ලස්සනට ඇඳලා ඉන්න ලස්සන කෙල්ලො තලේ වාඩිවෙලා ඉන්නකොට අපිත් එක්ක වැඩ කරන පොඩි කොල්ලෙක් හෙමිහිට ගිහිල්ලා මිනිහට සෙට් වෙලා. රෙනාල්ඩෝ යන යන තැනට බැටළු පැටියා වගේ මූත් පස්සෙන් එනවලු. අන්තිමට මිනිහට වෙලා තියෙන්නෙ අරූට කවලා, පොවලා හිස් අතින්ම ගෙදර එන්න. නාකි ගෑණු දෙන්නෙක් විතරලු හලෝ කියලවත් කිව්වෙ. අනේ ඉතින් ආපහු ගෙදර ඇවිත් අර සාක්කුවේ දාන් ගිය හයම ආපහු පෙට්ටියට දාලා කබඩ් එකෙන් තිබ්බලු.

දැන් එයා රොමේනියන් ඩේටිං සයිට් එකක ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇම දාගෙන බලන් ඉන්නවා මෙහේ ගෑණු හරියන්නෙ නෑ කියලා. උන් බොනවලු, එයාගෙ සල්ලි ඉවර කරයිලු. මෙයා පතකඩයා උනාට හොයන්නෙ විසි ගණන්වල ස්ලිම්, ලස්සන කෙල්ලො. ඒකම වෙන්න ඇති නෝනව පැනලා දික්කසාද කරන්න ඇත්තෙත්. අනේ ඉතින් ඒ උනාට....



රොමේනියාවෙ පින්තූරය ගත්තෙ අන්තර්ජාලයෙන්.


19 comments:

  1. හි.. හි... මාර මනුස්සයෙක්නෙ...

    ReplyDelete

  2. මරු චරිතයක්. ඔය නැගෙනහිර යුරෝපීයයන් ගොඩ දෙනෙක් ඔයවගේ නේද?

    මියුරු දෙවන පරිච්ඡේදයේ 'අනුගමනය' කියන වචනෙ'අනුකරණය' වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. බොහොම සමීප චරිත ලක්ෂණ තියෙන්නෙ.

      ඇත්ත නේන්නම්, ඉයන්. බොහොම ස්තුතියි, වැරැද්ද පෙන්වලා දුන්නට. ඔන්න හැදුවා.

      Delete
  3. ආසාවෙන් කියවව්වා.

    ReplyDelete
  4. @ තුශානි,
    ඒ නම් මාර මනුස්සයෙක්ම තමා. දවසින් දවස තියෙනවා අළුත් කතා. පාළු නෑ...

    ReplyDelete
  5. @ Salitha,

    බොහොම ස්තුතියි. මටත් ඕන එච්චරයි.

    ReplyDelete
  6. පව්නෙ.. නැද්ද ඔය කව්රු හරි දන්න කියන කෙනෙක්....🙂

    ReplyDelete
    Replies
    1. මේකාට ගෑණු සෙට් කරන්න ගිහින් මටත් උන්ගෙන් ගුටි කන්නයි වෙන්නෙ, සෙන්නා. මේ වගේ මිනිස්සුත් එක්ක ගෑණුන්ට ඉන්න ලේසි නෑ අප්පා… :D

      Delete
  7. නෝනට හිතෙන්න ඇති පාඩමක් උගන්නන්න, ඒකයි නෑවිත් ඉන්න ඇත්තෙ. :)

    කොහොමත් අපි ඩෙස්පරේට් වෙලා හොයනකොට කවුරුවත් සෙට් වෙන්නේ නෑ නේ? වැඩේ අත ඇරියම තමයි පහක් හයක් සෙට් වෙන්නෙ, කලින් ඇරියස් එකටත් එක්කම. ඒ නිසා එයාටත් කෙනෙක් හම්බේවි හෙමීට.

    ඔය තප්පදෝරු පිරිමි ළමයි ස්ලිම් ගෑණු ළමයි හොයන එක නම් මම හිතන්නේ පිරිමි වර්ගයාගේ හැටි. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔහොමයි. කිසිම උවමනාවක් නෑ පෙනුම ගැන, තනිකඩයි කියල හැමදාම නාහෙන් අඬනව. හොයන්නෙත් ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලො. තව යාලුවෙක් හිටියා, නාන්නේ වත් නෑ. ජපානේ රෙස්ටුරන්ට් වලට යනකොට සපත්තු ගලවනවනේ. එතකොට එයාගේ මේස් වල ගඳට අපිට කන්න වත් බෑ. :D ඒ උනාට එයත් ඉතින් ලස්සන කෙල්ලෙක් තමයි හොයන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. //නෝනට හිතෙන්න ඇති පාඩමක් උගන්නන්න, ඒකයි නෑවිත් ඉන්න ඇත්තෙ. :)// එහෙමත් වෙන්න ඇති මානවී. ඒ උනාට මට ඇත්තටම දුක හිතුනා මිනිහා ඒ ගැන කියනකොට.

      මිනිහා කියන්නෙත් කසාද බැඳලා හිටිය කාලෙ සෙට් වෙනවලු ඕන තරම්. ඒ හින්දමත් වෙන්න ඇති දඩාස් ගාල ලිහලා දාන්න ඇත්තෙ. ඩිවෝස් උනේ රොමේනියාවට ගිහින්. එහේ හරි ලේසියිලු ඒක.

      අර ඔයා අන්තිමට කියලා තියෙන කතාව ගැන නම් කියලා වැඩක් නෑ. අයියෝ අර මේස් ගඳ... ෂිට්! සමහර වෙලාවට හිතෙනවා ඒ අය, වයසට ගිහින් කායිකව වෙනස් උනත්, තරුණ කාලෙ කසාද බඳින්න ඕන මේ වගේ කෙනෙක් කියලා හිතේ ඇඳිලා තියෙන චිත්‍රය වයසත් එක්ක අප්ඩේට් වෙලා නැතුව ඇති කියලා....

      Delete
  8. අහල තියෙන විදිහට රුමේනියාව හරි ලස්සන රටක්ලු.රට වගේම මිනිස්සුත් ලස්සනයි.

    මා කැමතිම දෙඋඅක් තමා මේ මිනිසුගෙ ජීවිත ගැන කියවීම. සමහරු නං ඕකට ඕපාදූප කියලත් කියනවා. ඒත් මං හිතන්නෙ ඒක වෙනස්, මං එව්වා කියවන්නෙ කාටවත් ගරහන්න නෙමෙයි, මට යමක් ඉගෙන ගන්න.

    Cleopatra Stratan - Ghita

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස්සා හරිම ලස්සනයි. මං මේ මනුස්සයා ගත්තු පින්තූරත් දැකලා තියෙනවා. පුදුම ලස්සනයි, හැම සීසන් එකකදිම. ලස්සන ගෑණු ළමයි හිටියට පිරිමි නම්.... මේ බූතයා වගේම තමයි ගොඩක් අයගෙ හැඩ වැඩ.

      අනේ ඒ පහලින් ලින්ක් කරල තියෙන වීඩියෝ එක හරිම ලස්සනයි බස්සා. තැන්කුයි කිව්වා..

      Delete
    2. හැබැයි ගොඩක් යුරෝපේ රටවල් වලට රුමේනියන් කාරයෝ කරදරයක් කියලා කියනවා අහලා තියෙනවා.

      Delete
    3. රෙනාල්ඩෝ මාත් එක්ක කියල තියෙනවා ඒ රටේ අය රස්සාවල් සොයාගෙන අනිත් යුරෝප් රටවල් වලට යන බව. උන් ගොඩක් වෙලාවට ඔය ක්‍රෙඩිට් කාඩ් වංචාවල් වගේ දේවල් වලට අහුවෙනවා නේද? අපේ රටෙත් අහු උනේ. අනිත් එක මේ රෙනාල්ඩෝ අපට එහෙම එකක් පෙන්නුවෙ නැති උනාට, රොමේනියන් උන්ට හරියට කේන්ති යනවා කියලා දවසක් මට හංගේරියන් අන්කල් කෙනෙක් කිව්වා. ඒ මනුස්සයා බැඳලා ඉන්නෙ රොමේනියන් ලේඩි කෙනෙක්. එයා කිව්වෙ ඒගොල්ලන්ගෙ රටවල් දෙකේම කට්ටියට හොස්ස ළඟින් මැස්සා යන්න බෑ කියලා. බස් එකේදි එහෙම කකුලක් පෑගුනොත් ඉවරලු. අනිත් රටවලට ගියාට පස්සෙ ඒ වගේ කට්ටිය සම්බන්ධ වලිත් ඕන තරම් ඇතිනෙ.

      Delete
    4. මියුරු බලාගෙන ආ.. ඕකුන් බෙල්ලෙන් ලේ උරා බොනවා.. මහ බයානක මිනිස්සු... :D

      මම දැකලා තියන කුකුල් කේන්ති කාරයෝ තමා තුර්කි එව්වෝ..

      Delete
  9. රුමේනියාව ගැන හයේ පන්තියෙ විතර සමාජ අධ්‍යයනයට ඉගෙන ගත්තට රුමේනියාව කියන නම මගෙ හිතට වැදුනෙ 1976 අවුරුද්දෙ.

    පළවෙනි කාරනේ ඒ කාලෙ තිබ්බ මැතිණිගෙ ආණ්ඩුව රුමේනියාවෙන් ගෙන්නුව අලුත් දුම්රිය මැදිරි. සමගි පරමුණු රජය සමාජවාදයට බර හින්ද ඒ කාලෙ සමාජවාදී රටවල් වලින් ලොකු පිළිගැනීමක් තිබ්බ ...

    මම ඒ කාලෙ කොහොමත් මාසෙකට වගෙ සැරයක් පොල්ගහවෙල අනුරාධපුර අතර යනව ඔය රුමේනියන් පෙට්ටිවල. එව්වගෙ සීට්වල තිබ්බ අලුත් සුවඳ මට තාමත් මතකයි. තවමත් මම හිතන්නෙ ලංකාවෙ දුම්රියවල බහුතරයක් පාවිච්චි වෙන්නෙ ඒ ගෙන්නෙපු රුමේනියන් මැදිරි තමයි.

    දෙවෙනි කාරණේ නදියා කොමනෙසි..ඈ රුමේනියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලෙදි ජිම්නාස්ටික් ඉසව්වෙන් රන් පදක්කම් හතරක් හෝ පහක් දිනාගත්ත.

    ඒ එක්කම ලෝකෙම මුල්ම වතාවට ඉසව් හතරකටද කොහෙද ඉසව්වට ලැබෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ලබා ගත්ත ඒ කියන්නෙ ලකුණු 10ම. (Perfect 10) ඒ වෙනකොට ඇගේ වයස අවුරුදු 14 වගෙ මට මතක.

    පස්සෙ කාලෙකදි ඇය අමරිකාවෙ දේශපාලන රැකවරණ ලබාගෙන මොකක්දෝ මහ ජංජාලයකුත් වුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී දිගම දිග විස්තරේට. දැනගෙන හිටියෙ නෑ ඒ කිසිම දෙයක්. උත්තරේ දැම්මෙ නදියා ගැන විස්තර ටිකකුත් කියවලා ඇවිත්. හරිම රසවත් කතාවක් වගේ. ආපහු බලන්න ඕන.
      අපොයි දෙයියනේ, එතකොට 2019 වෙනකොට තියෙන්නෙත් 1976 ගෙන්නපු මැදිරිද?

      Delete
    2. නාදියා කොමනාසි කියල තිබ්බා පොඩි ළමයින්ට කොච්චර හිංසා කරනවද කියලා රුමේනියාවේ ජිම්නාස්ටික් කඳවුරු වල. එයාට රුමේනියාවෙ ඒකාලෙ ජනාධිපතිගෙ පුතාව බඳින්න හරි එකට ඉන්න හරිත් සිදුවුනාලු නේද?

      ලංකාවේ තියෙන පරණ දුම් රිය මැදිරි 200 ක් ලංකාවෙම සමාගමක් වෙන තන්ත්‍රී මැරයින් සමාගමෙන් අළුත් වඩියා කරනවා. විස්තර මෙතන

      https://www.facebook.com/tantritrailers/

      Delete
    3. මං හදිසියෙන් කියවපු විස්තරේ ඉයන්ගෙ කතාව තිබුනෙ නෑ. හොඳ විස්තරයක් සොයාගෙන කියවන්න ඕන. ඔන්න ඉයන් පෝස්ට් එකකට නිමිත්තක් ලියනවා නම්... මේ පහුගිය කාලෙ ඇමරිකාවෙනුත් මතු උනා නේද ජිම්නාස්ටික් කරන ඔලිම්පික් මට්ටටමට ගිය ගෑණු ළමයින්ව ඇබියුස් කරපු කතන්දරයක් හෙම? මං හිතන්නෙ චීනෙ තත්වෙ මේ ඔක්කොටම වැඩිය අන්තයි. කලකට ඉස්සෙල්ලා මං වීඩියෝ එකක් දැක්කා චූටි ළමයින්ව පුහුණු කරවන හැටි. අනේ ඒ පැටව් අඬනවා. අඬ අඬා තමයි පුහුණුවීම් කරන්නෙ. මග හැරියොත් දඬුවම් කරනවා. මට මතක විදියට අම්මා කෙනෙකුට ඉවසාගන්නම බැරුව තමයි ඒක වීඩියෝ කරලා දාල තිබුනෙ. ලොකු වෙනකොට ඇබියුස් කිරීමෙ මට්ටමත් ඒ අනුව වෙනස් වෙනවා ඇති.

      අප්පා... අහන්නත් ආසයි අර අළුත්වැඩියා කිරීම ගැන. අනේ අර කෝච්චිවලට නගින්න තියෙන ෆුට්බෝඩ් එකත් ඊට වැඩිය නගින්න පහසු වෙන විදියට වෙනස් කළා නම් තමයි හොඳ. පුදුම අමාරුවක්නෙ ඒක නගින්න තියෙන්නෙ. මේ ලඟදි අපේ රටෙන් ඇවිත් මෙහේ ජීවත් වෙන බර්ගර් එක්කෙනෙක් අවුරුදු විස්සකට පස්සෙ ලංකාවට ගිහින් ඇවිත් කියනවා එයා වෙව්ල වෙව්ලලු නැග්ගෙ කෝච්චියට. වයසක අයට කොච්චර අමාරු ඇද්ද ඕක නැග ගන්න.

      Delete