Total Pageviews

Sunday, 7 July 2019

කැන්ගරු දේසෙට එන්න බලන් ඉන්න ඇත්තන්ට ආදරයෙනි...

Image result for migrating to australia


මේ වගේ ලිපියක් ලියන්න කාලයක ඉඳන් බලාගෙන හිටියට ඒක මොන විදියට කට්ටිය අතරට යයිද කියල හිතුනු නිසා හැමදාම වැඩේ පස්සට ගියා. ඒත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල අහපු දැකපු අත් විඳපු සමහර දේවල් නිසා හිතුනා දැන් නම් ලියන්නම ඕන කියලා. මේක ලියන්නෙ 'තොපි මෙහෙට අළුතින් ආවාම තොපිට අපි නැතුව මේකෙ පය ගහගන්න බෑ' කියන අදහස දෙන්න නම් නෙමේ කියලා මුලින්ම කියන්න ඕන. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔය ලංකාවෙ හිටිය මිනිස්සුම තමයි මෙහේ ඇවිත් ඉන්නෙ. ඒ කියන්නෙ කැලේ මාරු උනාට පුල්ලි ටික එහෙමමයි. ඒ හින්දා ලංකාවෙදි අපතයෙක් වෙච්ච කෙනා, මෙහේදිත් අපතයෙක්මයි. එහෙම අයගෙන් උදව් ගන්න ලොකුවට බලාපොරොත්තු තියන් ඇවිත් අර ගම් රටවලදි කරපු අපත වැඩ මෙහේදිත් කළාම හිත නරක් කර ගන්න ඉඩ තියාගන්න එපා. මොකද ගමේදි වගේ නෙවේ, මෙහේදි කාත් කවුරුවත් නැති රටේ තමුන්ගෙ රටේ එකෙක් එහෙම කළාම හිතට දැනෙනවා වැඩියි. නොසෑහෙන දුකක් දැනෙනවා වගේම ඒ හිත රිදවීම ජීවිතේට අමතක වෙන්නෙ නෑ.



මේ දවස්වල මෙහේ සමහර යුනි වලට ළමයි ගන්නකොට IELTS අවශ්‍ය නොවෙන හින්දා මෑතකදි එන්න පටන් ගත්තු සංඛ්‍යාව වැඩිවුනා. ඒ ටෙස්ට් එක අයින් කරපු එක කොච්චර දෙයක්ද කියලා හිතුනට, එහෙම ඇවිත් මෙහේදි භාෂාව අල්ලා ගන්න බැරිව දඟලන පිරිසකුත් ඉන්න බව අහන්න ලැබුනා. ලෙක්චර්ස් වලදි කියන කිසිම දෙයක් ඔළුවට වදින්නෙ නැතිලු. කොහොමත් ඔසී ඇක්සන්ට් එක වෙනස් නිසා ඒක තවත් සංකීර්ණ වෙනවා ඇති. ඒ නිසා ටෙස්ට් එක අයින් කළා කියලා ඉංග්‍රීසි භාෂාව ගැන ප්‍රමාණවත් දැනුමක් නැතිව, ඔහේ එන එකෙන් නම් වෙන්නෙ ඒ වෙනුවෙන් සෑහෙන්න දඟලන්න වෙන එක. ඔය ප්‍රශ්ණෙ භාෂාව හොඳින් දන්න කෙනෙකුට උනත් මුලදි එනවා. ඒ නිසා ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරලා අධ්‍යාපන කටයුතු කරගෙන යන්නයි, මේ රටේ රැඳී ඉන්නයි ප්‍රමාණවත් තරමට ඉගෙන ගෙන, මෙහේ අයගෙ ඇක්සන්ට් එක ගැන යූටියුබ් එකේ වීඩියෝ වලින් හරි, නිකමටවත් අහලා එනවා නම් සෑහෙන උදව්වක් වෙයි කියලා මං හිතනවා. එක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් උනොත් ආයෙ සැරයක් අස්ප ගණන් ගෙව ගෙවා ඉන්න තමයි වෙන්නෙ. ඉංග්‍රීසි විභාගෙ අයින් කරලා, භාෂාව බැරි අය ගෙන්වාගෙන උන් විභාග ෆේල් වෙනවා කියන එක මෙයාලට ප්‍රශ්ණයක් නෙවේ. ඒගොල්ලන්ට ඕන සල්ලි. එයාලට මේක තවත් බිස්නස් එකක් විතරයි. එහෙම නැතුව අපේ වගේ රටවල් වලින් ආදරේට කට්ටිය ගෙන්ව ගෙන උගන්නලා මෙහේ නවත්තගන්න යනවා කියන එක නෙවේ. එහෙම ඉගෙන ගත්තත් දැන් නවත්තගන්න එක 'අපිට ඕන නම් විතරයි අපි උඹලව ගන්නෙ. ඒකත් කවදද කියන්න බෑ. කොච්චරකල් හිටියත් නවත්තගන්නව කියලා කිසිම ගැරන්ටියකුත් නෑ' කියන තැනට ගිහින්නෙ. EOI එක දාලා කට්ටිය අවුරුදු ගණන් බලන් ඉන්නවා සංක්‍රාන්ති සමයක. ඒ යථාර්ථයත් හොඳට දැනගෙනම එන්න.

අනිත් එක තමයි මෙහේ ඇවිත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගියාම අර ලංකාවෙ කතා කරන විදියට ඒක ගෙඩිය පිටින් ට්‍රාන්ස්ලේට් කරන්න යන්නෙ නැතුව, බොහොම ආචාරශීලී විදියට සන්සුන්ව කතා කරන්න වෙනවා. ඒ කියන්නෙ Thank you, Please වගේ වචන නිතර යොදාගන්න වෙනවා කතා කරද්දි. මට මතකයි දවසක් ලංකාවෙ කෙනෙක් සල්ලි වගයක් මාරු කරගන්න ගිහින් 'ප්ලීස්' කියන වචනෙ කිව්වෙ නෑ කියලා, කැෂියර් එකේ සුද්දා මාරු සල්ලි අතේ තියාගෙන කිව්වා, 'ප්ලීස්' කියලා කියන්න කියලා. එහෙම කිව්වට පස්සෙ තමයි එයා සල්ලි ටික අතට දුන්නෙ. ඒ දෙන ගමන් 'තෑන්ක් යූ' කියලා බලාපොරොත්තු වුනා අර කෙනාත් ඒකම කියාවි කියන එක. හොඳ වෙලාවට එයාට ඒක තදටම ඔළුවට වැදුනු නිසා එහෙම කිව්වා. මේ ළඟදි කෙනෙක් එයාගෙ වාහනේ කැඩිලා ඒක අරන් යන්න අදාල ආයතනයකට කතා කරනවා. මෙහේ අය ෆෝන් එක ගත්තු ගමන් අදාල ආයතනයේ නම කියලා, ඊට පස්සෙ තමුන්ගෙ නමත් කියලා, එයාගෙන් මොකක්ද කෙරෙන්න ඕන කියලා අහනවා. අර මනුස්සයට ඒක තේරෙන්නෙ නැතුව කතා කරන විදිය අහගෙන ඉඳලා ළඟ හිටිය කෙනෙක් ෆෝන් එක අතට අරන් කතා කරලා තමයි වැඩේ කරලා දුන්නෙ. අනිත් පැත්තෙ හිටියෙ තරුණ ගෑණු ළමයෙක් නිසා එයා හිනා වුනා මේ මනුස්සයා ළඟදි ආව කෙනෙක් කියලා සමාව ගත්තම.  ඒ උනාට හැමෝම එහෙම නෑ. සමහරුන්ට තරහා යනවා. එතකොට අවශ්‍ය වැඩේ හරියට වෙන්නෙ නෑ. අපේ අය බොහෝ වෙලාවට ආචාරශීලී බව පෙන්වන්නෙ කතා කරන ස්වරයෙන්. අපි එහෙම පුරුදු වෙලා හිටියට මෙහෙදි ආචාරශීලී වචන ටිකයි වැදගත් වෙන්නෙ. 

අනිත් එක තමයි මෙහේ ඉස්සෙල්ලම නවාතැනක් සොයාගන්න එක. තනි ළමයෙකුට නම්, යුනි යන තනි කෙනෙක් හරි ස්ථිරව ආව තනි කෙනෙකුට හරි කරන්න පුළුවන් හොඳම දේ තමයි, තවත් ළමයි නැවතිලා ඉන්න ගෙයක් යුනිය අසලින්ම සොයා ගන්න එක, මුලින්ම. පස්සෙ පුරුදු උනාම පුළුවන් තමුන්ට හරියටම හරි යන තැනක් සොයාගන්න. පර්ත්වල නම් කාමරේ ගානට අමතරව බිල් ටිකත් බෙදාගෙන ගෙවන්න වෙනවා. පවුලක් එක්ක ශිෂ්‍ය වීසා වලින් එන අයට තමයි මේක පොඩි ප්‍රශ්ණයක් වෙන්නෙ. ඒ අයට පොඩි ගෙයක් ගැලපුනාට එහෙම එක සැරේම මුල්ම ගේ සොයාගන්න බෑ. ටික දවසක් කොහේ හරි ජැක් එකක් ගහගෙන ඉඳලා තමයි වෙනම තැනකට මාරු වෙන්න සිද්ද වෙන්නෙ. ඉතින් කවුරු හරි අඩු ගානකට තමුන්ගෙ තැනකින් කාමරයක් සොයලා දුන්නම වටේ ඉන්න හැමෝටම කෝල් කරලා ගණන් හිලව් අහන්න යන්න එපා, අර උදව් කළ කෙනා තමුන්ට ඇරියද කියලා බලන්න. මොකද අර පරණ කට්ටියගෙන් අර මනුස්සයට ඒක ආරංචි වෙනවා. ඊට පස්සෙ ඒ මනුස්සයගෙ හිත රිදුනම ආයෙ උදව්වක් කරනවද සාන්ත? නෑනෙ. ඒ වගේ තැනකට යනකොට මාස තුනක වගේ කාලයකට තාවකාලිකව හිටියම, තමුන්ට හතර රියන අවබෝධ වෙන කාලෙ වෙනකොට වෙන තැනක් සොයාගෙන යන්න පුළුවන් කාගෙවත් හිත් නරක් නොවී.

ඊළඟට වෙන්නෙ වාහනයක් ගන්න ඕන වෙන එක. ඕකට ගොඩක් අය මෙහේ ඉන්න පරණ කෙනෙක්ගෙන් උදව් සොයනවා. ගන්න මුල්ම වාහනේ ගන්න වෙන්නෙ අතේ ඇති අඩු මුදලට. එහෙම ගන්න ගියාම ගන්න වාහනේ බ්‍රෑන්ඩ් නිව් එකක් වගේ වෙන්නෙ නෑ. එහෙමයි කියලා අර වාහනේ අරන් දුන්නු එකා තමුන්ට ඇරියා කිය කියා වටේට කියන්න යන්න එපා. ඒ මිනිහා කාලා බලන්නයැ. තමන්ම එලවලා බලලා සොයන්න තියෙන ඒවා සොයලා ගන්න. අඩු ගානට තියෙන්නෙ මොනව හරි ආබාධයක් හින්දා. නැත්නම් සෑහෙන්න දුවපු එකක් හින්දා. සමහර වෙලාවට ගත්තු අළුතම කැඩෙන්න පුළුවන්. ඒත් එහෙම උනොත් අර ලංකාවෙ ක්‍රමයට ඒක විකුණපු එකා ළඟට ගිහින් පොලිසියට කියනවා කියලා තර්ජනය කරලා උගෙන් ගාණක් ආපහු කඩා ගන්න යන එක මෙහේ වෙන්නෙ නෑ සාන්ත. අන්තිමට වෙන්නෙ තමුන්ට තර්ජනය කරනවා කියලා ඒ මිනිහම පොලිසියට කතා කළාම, ආව ගමන් කූඩුවේ ලගින්න. හැමෝම වගේ එන්නෙ මෙහේ ස්ථිරව නවතින්න බලාගෙන. මෙහෙම ඒවා කර ගත්තම අන්තිමට ඒකත් නෑ. ඔක්කොම කටු ගඟට කපාපු ඉනි වගේ. මෑතකදි ආව ගෑණු දරුවෙකුට කාර් එකක් ගන්න උදව් කරන්න උනා. අතේ තිබ්බ ඩොලර් දෙදාහට ගැලපෙන එකක් සොයලා කාර් බට්ටෙක් ගත්තට පස්සෙ ගෑණු දරුවා කියනවා ලංකාවෙදි එයා පාවිච්චි කරපු කාර් එකේ පිටිපස්ස පේන කැමරාවක් තිබ්බ නිසා ඒක බලාගෙනලු රිවර්ස් කළේ. ඒක නැතුව රිවර්ස් බෑලු. කාර් බට්ටගෙ රිවර්ස් කැමරාව නෑ. ඉතින් මොකද කරන්නෙ සාන්ත. අනේ ඉතින් මෙහේ ඇත්තන්ට පුළුවනෑ රස්සාවට යන එක නවත්තලා ගේවල්වල අනිත් වැඩ නතර කරලා ගෑණු දරුවට රිවර්ස් එක කියාදෙන්න. අනේ ඒත් මනූ දවසක් දෙකක් අපේ චූටි දුවත් එක්ක ගිහින් ඒ දරුවට පොඩ්ඩක් කියලා දුන්නම අල්ල ගත්තා.

අනිත් එක තමයි එනකොට ගේන ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් කාර් එලවන එක අවුලක් නැති උනාට ඒක පාරට දාන්න කලින් පොඩ්ඩක් අදාල වෙබ් සයිට් එකට ගිහින් මෙහේ නීති ගැන ඉගෙන ගන්න, ප්ලීස්. මෙහේ නීති ලංකාවට වඩා වෙනස්. ප්‍රාන්තෙන් ප්‍රාන්තෙටත් නීති වෙනස්. ඒ නිසා සුදූ එකපාරටම වාහනේ ෆ්‍රී වේ එකේ දාගෙන යන්න හදන්නෙ නැතුව, පොඩ්ඩක් ඉවසන්න. එහෙම නැති උනොත් පොඩ්ඩ වැරදුනු ගමන් ආව හැටියෙ අපවත් වෙන්න තමයි වෙන්නෙ. අනිත් එක තමයි සීට් බෙල්ට්ස්. ඕක ඉතින් නිකම්ම අමතක වෙනවනෙ දැනගෙන හිටියත්. එක සැරයක් ඔය වගේ ළමයයි නෝනයි අරන් ඇවිත් මොකක් හරි දේකට පොඩි එකාවත් පිටිපස්සෙ සීට් එකේ හංගාගෙන යන අතරෙ, මෙන්න ටික දුරක් යනකොට පොඩි එකා දඟලන්න පටන් ගත්තෙ නැතැයි. අම්මා නෙවේ දරුවව පාලනය කරන්නෙ. එයා ඔහේ බලන් ඉන්නවා. දරුවා ඉස්සරහ වාඩිවෙලා හිටිය තාත්තගෙ ඔළුවට ගහනවා කොණ්ඩෙන් අදිනවා. අම්මා ඔහේ ඉන්නවා. වාහනේට නගිනකොටම කිව්වට සීට් බෙල්ට්ස් දාගන්න කියලා ඒක දාගෙනත් නෑ. අන්තිමට වාහනේ පැත්තකින් නවත්තලා කියන්න සිද්ද වුනා සීට් බෙල්ට්ස් දාගන්න, ළමයව අල්ලගන්න කියලා.  පොලිසියට අහු උනොත් අද මේ දැන් ආවෙ කීවත් පංච දඩයක් වදිනවාමයි. ආව ගමන් ගේන තුට්ටු දෙකෙන් දඩ ගෙව්වම අනිත් ඒවා කරන්නෙ මොනවායින්ද සාන්ත? පොලෝසියට ලංකාවෙ වගේ අත යටින් දෙන ඒවා, වැරැද්දක් කරලා නෑ කිය කියා තර්ක කරන්න යන ඒවා අදාල නෑ. එහෙම කළොත් තව වැරදි හොයලා ඔළුව උස්සන්න බැරි වෙන විදියේ දඩයක් කන්න තමයි වෙන්නෙ. මතක තියාගන්න මෙහේ පගාව ගත්තු එකා වගේම දෙන්න හදන එකාත් වැරදියි. ඒ නිසා ඒකට නම් උත්සාහ කරන්න එපා. තමුන් වැරැද්දක් කළා නම් ඒක පිළි අරගෙන සමාවෙන්න කියලා හොඳට කතා කළාම බොහෝ වෙලාවට පොඩි වෝනිං එකක් එක්ක ගැලවෙන්න පුළුවන්, පළවෙනි වතාව නම්. ඒත් ඉතින් ඒක අදාල පොලිස් ඇත්තා අනුව තමයි. හැබැයි එංගලන්තෙන් ගොඩ බැහැපු එකෙක් අහු උනොත් නම් එව්වා සුම්මා. උන් නීතිය නම් නීතිය.

අනිත් වැදගත්ම දේ තමයි පැටව් ඉන්න කට්ටිය මතක තියාගන්න, වාහනේ වාඩි උනාම කකුල් බිම වැදෙන්නෙ නැති හැම පොඩි එකාටම කාර් සීට් එක අනිවාර්ය බව. ඒක නැතුව ගියොත් ලොකු දඩයක් වදිනවා. ඒ හින්දා ආව ගමන් මෙහේ ඇත්තොත් එක්ක ගිහින් එක, එක වැඩ කරගන්න යනකොට නෝනත් එක්ක පැටව් ටිකත් පේලියට අරන් යන්න එපා. ඒකෙන් උදව්ව කරන මනුස්සයා හෙන අමාරුවක වැටෙනවා. මොකද වාහනේ ගෙනිච්චොත් දඩේ ඒ මනුස්සයටනෙ. ඒ නිසා ඔය නෝනලා මහත්තයට තනියම ගිහින් ඒ වැඩ කරගෙන යන්න ඉඩ දීලා දරුවො ටිකත් බලාගෙන ගෙදර ඉන්නවා නම් ඒක ලොකුම ලොකු උදව්වක්. තමුන්ටම වාහනයක් අරගෙන කාර් සීට් ගත්තට පස්සෙ රට තොට බලන්න යන්න පුළුවන්. ආස හිතෙනවා තමයි. ඒ උනාට පොඩ්ඩක් ඉවසන්න. 

අනිත් එක තමයි මොබයිල් ෆෝන්. සමහරුන්ට ඕන අඩියෙන් අඩියට සිද්ද වෙන ඒවා ෆොටෝ අරන් මුහුණු පොතට දාන්න. ආසයි තමයි. ඒ උනාට වාහනේ යනකොට ඉවසන්න. නොදන්නා රටක, නොදන්නා පාරවල, නොදන්නා නීති අස්සෙන් ගිහින් පංච දඩයක් කන්න එපා. වාහන එලවන ගමන් ෆෝන් එකේ වැඩ කරන්න ගියොත් ලොකු දඩයක් කන්න වෙනවාමයි අහු උනොත්. ඒ ඉතින් අහුවෙන්න පණ පිටින් ඉතුරු උනොත්. එහෙම ගිහින් වෙන අනතුරු නිසා නීති දැන් හරිම තදයි.

අනිත් එක රස්සාවල්. ආව ගමන් ඔෆිස්වල රස්සාවල් නම් ලැබෙන්නෙ විභාග පාස් කරල එන දොස්තරලට විතරයිද කොහෙද දැන්. ඒ නිසා ඕන පුxක් කියලා ඕන දේකට ලෑස්ති පිට කාය ශක්තිය ඇතුව එන අයටත්, ඉස්සර ඕන තරම් පොඩි, පොඩි රස්සා කටු තිබ්බට දැන් නම් එහෙමට නෑ දෙයියො. ආර්ථිකේ පහතට වැටෙන්න පටන් ගත්තට පස්සෙ ක්ලීනිං කට්ටක්වත් සොයාගන්න ලේසි නෑ. ඉස්සර මිනිස්සු නෑ රස්සාවල් වලට. දැන් රස්සාවල් නෑ මිනිස්සුන්ට. ඒ නිසා මෙහේ පරණ ඇත්තන්ටත් ඔය වැඩේ නම් ටිකක් අමාරුයි. මං මේ කියන්නෙ පර්ත් ගැන. අනෙක් ප්‍රාන්ත ගැන නම් නෝ අයිඩියා. පොඩියට හරි එකක් ලැබුනොත් දෝතින්ම අල්ලලා බදාගන්නවා මිසක් හැලෙන්න නොදී, ඒකට බොරු කරලා ගාණ විතරක් අරන් පනින්න යන්න එපා. නියමිත කාලය ඉන්නෙ නැතුව කලින් වැඩේ ඉවර කළත් යන්න එපා. ඔය ගෙවල් වල ඉන්න නෝනලත්, මහත්තයට කවුරු හරි රස්සාවක් හොයල දුන්නම ඒ මනුස්සයගෙ පස්සෙන් එල්ලිලා යන්න දඟලන්නෙ නැතුව, ගෙදර ඉන්න බලන්න හාමිනේ. එයා වැඩ කරන තැනට මෙයාට එහෙම යන්න ලංකාවෙදිත් බෑනෙ, අනේ. ඒ කියලා ඉතින් ගෙදර ඉඳන් ඒ මනුස්සයා දැන් මොන පැත්ත හැරිලද ඉන්නෙ කියලා බලන්න විනාඩි පහෙන් පහට කෝල් දෙන්නෙ නැතුව ඉන්නවා නම් තමයි හොඳ. (මං මේ හාමිනේලට කියන්නෙ මං ඇහු දුටු දේ හින්දයි. නෝනා වැඩට ගියාම මහත්තුරු අවුලක් නැතුව ළමයි බලන් ඉන්නවා.) වැඩක් කරද්දි ෆෝන් එක කනේ ගහගන්න එකාගෙ වැඩේ කොලිටිය මැනගන්නවා වැඩේ දීපු එකා පළවෙනි දවසෙම. දෙවෙනි දවසෙ ඉඳන් නෝ ජොබ්. ඒ හින්දා මාස දෙක තුනක් ජොබක් නැතුව පණ රැකගන්න පුළුවන් විදියේ ගාණක්,ඒ කියන්නෙ ඩොලර් හත්දාහක්වත්  අතේ අරන් එන්න වෙනවා. ඇත්තම කිව්වොත් අළුතෙන් එන කෙනෙකුට හරියට මෙහේ පය ගහගන්න අවුරුදු දෙකක්වත් යනවා. එතකොට ඇතිවෙලා, නැතිවෙලා, වෙන්න ඕන ඔක්කොම ජාති වෙලා, පාඩම් ඉගෙන ගෙන හොඳට පදම් වෙලා ඉන්නෙ.

අනිත් එක තමයි සුදූ මෙහේ එනකොට ගන්න ඇඳුම්. මං නම් දෙන හොඳම උපදෙස තමයි, ආව ගමන් අඳින්න කිහිපයක් ඇරුනම ඉතිරි ඒවා මෙහෙන් ගන්න සල්ලි ඉතුරු කරන් එන්න කියන එක. විශේෂයෙන්ම ගැහැණු ඇඳුම්. කොහේටත් මහා පොදු සාධකය වෙච්ච විච්චූරණ වලින් තොර ඩෙනිම් වගේ ඒවා ඇරුනම අනිත් අඩු කොලිටියේ ඇඳුම් ඇඳන් පාරට බැස්ස ගමන් වෙනස දැනෙනවා දෙයියො. ඊට පස්සෙ හීනමානෙ. අඩු ගනන් වලට මෙහේට ගැලපෙන ඇඳුම් ගන්න තැන් තියෙනවා. මං මේක විශේෂයෙන්ම කිව්වෙ මෑතකදි ආව කෙනෙක් කීව කතාවක් නිසයි. ඒ මනුස්සයට ඒක දැනිලා තිබුනෙ එයාපෝර්ට් එකේදිම. වැඩිපුරම එහෙම වෙන්නෙ ඇඳුම් මහන ලාබ රෙදි හින්දයි. ඊළඟට බොත්තම්, රැලි පාලම්, රේන්ද මහා ගොඩක් විච්චූරණ. සපත්තු නම් අවුලක් නෑ.

තවත් වැදගත්ම දෙයක් තියෙනවා කියන්න. ටොයිලට් රෝල් භාවිතය පුරුදුවෙලා එන්න පොඩ්ඩක්. තමුන්ගෙ තැනකට ගියාම තමුන්ට ඕන විදියට දේවල් කරගන්න පුළුවන්. ඒ උනාට අනුන්ගෙ තැන්වල, පොදු තැන්වල ඉන්නකොට ඒ ගැන පොඩි අවබෝධයක් තියෙන්නෙ ඕන. සමහර තැන්වල බාත් රූම් එකත්, ටොයිලට් එකත් තියෙන්නෙ වෙන වෙනම. ඒවායෙ ටැප් නෑ. බාත් රූම් එකේම ටොයිලට් තියෙන තැනක නම් ගොඩ යන්න පුළුවන්. අනේ ඒ උනාට ඉස්කෝලෙ යන වයසෙ දරුවන්ට නම් ඒක තනියම කරගන්න කියා දෙන්න, අනිවාර්යයෙන්ම. මේ එක විකල්පයක්වත් නෑ ඉස්කෝලවල. ටොයිලට් රෝල් භාවිතය විතරයි. අවබෝධයක් නැති උනාම පොඩි උන් වැටෙන්නෙ මාර අමාරුවක.

එහෙනම් නෝනාවරුනි, මහත්වරුනි, තව කියන්න අටෝරාසියක් දේවල් තිබුනට මගේ කතාව මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. 




52 comments:

  1. මෙහෙට එන්න බලාපොරොත්තු වෙන අයට පමණක් නොවෙයි, අලුතෙන් මෙහෙට ඇවිත් ඉන්න අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි. ආචාරශීලී වීමට වියදමක් නොගියාට එයින් ලැබෙන ප්‍රතිලාභ බොහොමයි. හොඳ වෙලාවට හුඟක් ඉන්දියන් කාරයින්ගේ ඇඟේම තියන මැනර්ලස් කම හින්දා අපි එච්චර මැනර්ලස් ජාතියක් කියලා කියවෙන්නේ නැහැ. තව සමහරු 'සුද්දන් අපිට අකමැතියි' කියලා හැම වෙලාවේම හිතේ තියාගෙන ඉන්නවා. අපි කලයුත්තේ එහෙම අදහසක් ඔවුන්ගේ හිතේ තිබුනා උනත්, ඒක වැරදියි කියා ඔවුනටම හැඟෙන විදියට කටයුතු කිරීම මිසක් ඔවුන් හරි කියා ඔප්පු කර පෙන්වීම නොවෙයි. හරියටම නියමිත වෙලාවට වැඩ කටයුතු නොකරන එකත් අපේ අලුත් සංක්‍රමණිකයන් බොහොම දෙනෙකුට තියන අඩුපාඩුවක්.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි සෑම්. ඉන්දියන්කාරයො ගැන නම් කියල වැඩක් නෑ. මං හදිසියකටවත් ඉන්දියන් එකෙක් එලවන ටැක්සියකට නගින්නෙ නෑ උන්ගෙ ආචාරශීලී බව වැඩිකමටම. අර කිව්වා වගේ මෙහෙදි වෙලාවට වැඩ කරන්න, මෙහේ නීතිරීති වලට ගරු කරන්න නම් පුරුදු වෙන්නම වෙනවා. එහෙම නැති උනොත් හැම දේකදිම අවාසිය තමුන්ටමයි.

      Delete
  2. ම්ම් උදව් කරන්න ගිහිං ඇඩෙන්න කාල තීන හැඩයි.අත්දැකීම් නොවැ.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද සිරිබිරිස්. එහෙම කටු කාලා උදව් කරපු උන් අද නොදැක්කා වගේ යනවා. තව සමහරු මග හැරලා යන්න බැරිම උනු තැන අහනවා, 'මං කොහේදි හරි මීට කලින් දැකල තියෙනවා. කොහේදිද කියල බැලුවෙ' කියලා. තව සමහරු සුපර්මාකට් එකකදි දැක්කම රාක්ක අස්සෙ හැංගෙනවා, කතා කරන්න වේවි කියලා. සමහරුන්ගෙ ඇස් ෆෝන් එකට ඇලෙනවා, අහලින් පහලින් යනකොට. ඒ ගෙවල්වල දාගෙන උදව් කළ උන්. ඔය බොහොම අංශු මාත්‍රයක් විතරයි අපේ උන්ගෙ කළගුණ සැලකීම ගැන. ඉතින් සමහර පරණ අය මග හරින එක ගැන කාටවත් දොස් කියන්න බෑ. ඇත්තටම ඒ අය එහෙම කරන්නෙ තමුන් කලින් ලබාපු අත්දැකීම් හින්දා.

      Delete
  3. රස්නෙ සහ සීතල දරාගන්න බැරි අය තමන් යන නගරය ගැනත් පරිස්සම් වෙන්න ඕන නේද? ඔය මියුරු ඉන්න පර්ත් වගේම කැන්බරා, මෙල්බන්, සිඩ්නි, ඩාවින් එහෙම සමර් එකට හරිම රස්නෙයි. සීත කාලෙට හරිම සීතලයි. ඒක නිසා ලංකාව වගේ කාලගුණයක් ඕනනම් බ්‍රිස්බේන් යන්න.

    ReplyDelete
    Replies
    1. බ්‍රිස්බේන්වලත් බොහෝ දේවල් ගැන බලලා තමයි ඉන්න තැන ගැන හිතන්න ඕන, ඉයන්. රටේ අනිත් තැන් වලට සමර් එක වෙනකොට එයාලට වහින්න ගන්නවා. සමහර පළාත් සදහටම යට වෙනවා. බ්‍රිස්බේන් ටවුම බේසමක් ඇතුලෙ තියෙන එකක් වගේ. පහත් බිමක්. නිතරම වගේ වහිද්දි යට වෙනවා. ඒ මිනිස්සුන්ට ජීවිතයක් නෑ. මේ අවුරුද්දෙ යාන්තම් සුද්ද කරලා අරන් ඔළුව උස්සනකොටම ඊළඟ අවුරුද්දෙ ගංවතුර. එහේට හරියට සුළි සුළං වගේ ආබාධ. හැබැයි ටිකක් ඈතට යනකොට නම් වැඩේ වෙනස්. එතකොට ඉතින් රස්සාවල් එහෙම කොහොමද දන්නෙ නෑ. ඒ පැත්තෙ දැනට ඉන්න කෙනෙකුගෙන් විස්තරයක් ලැබුනොත් නම් ලොකු දෙයක්. එහෙම නැත්නම් කියාපු පැත්ත. ලංකාව වගේමයි වැවෙන ගහ කොළ පවා. මාත් පර්ත් ඇරුනම වැඩියම ආසා බ්‍රිස්බේන් ගෝල්ඩ්කෝස්ට් පැත්තට. ඒත් කාලගුණේට බයයි. ඒ හින්දා පර්ත්වලම ඉන්නවා. :D

      Delete
  4. මේක මරු.

    ෆැමිලීස් විදියට ඉන්නකොට ඉතින් තවත් ශ්‍රී ලාංකික පවුලක් හම්බුනාම උදවු නොකර ඉන්නත් බෑ නේද? මෙහේ මට ශ්‍රී ලාංකික කිසි කෙනෙක් නෑ ලඟින් ආශ්‍රය කරන්න තරම්. දන්න පවුල් කීපයක් තියනවා, නමුත් පවුලක් උනාම ඉතින් එයාලට එයාල ඉන්නවා නේ, ඒ නිසා එයාලට මට ලං වෙන්න තරම් මගෙන් වැඩක් නැති නිසා ඉතින් මාත් එක්ක කිට්ටු වෙනවා අඩුයි. මමත් ඉතින් වැඩිය කිට්ටු වෙන්නේ නැහැ, මොකද කෙල්ලෙක් තනියම ඉන්නකොට (සමහර) අපේ අය හිතනවා ටිකක් ටෝක් කරලා බලන්න. ඇයි ඉතින් ගියොත් වචනයක්, ආවොත් කෙල්ලෙක් නෙ. :D මම ටිකක් පොත පත කියවන පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් නිසා, ඉතින් ගොනා හැරෙනකොට එන්නේ පොල් පැලේ කන්න බව තේරෙන නිසා මමත් වැඩිය කතාවට යන්නේ නෑ කවුරුවත් එක්ක. ටිකක් පාලුයි වෙලාවකට, සිංහලෙන් කතා කරන්න කට්ටිය නැති නිසා, නමුත් ඒ එක්කම ඉතින් ඔය වගේ ප්‍රශ්න සෙට් වෙන්නෙත් නෑ ඒ නිසාම.

    ජපානෙදි නම් යාළුවො ගොඩක් අය හිටියා, ස්ටුඩන්ට්ස් ලා. එයාල නම් ගොඩක් හොඳයි අප්ප, එකතුයි, සමහර විට ඉංග්‍රීසි කතා නොකරන රටවල පාලු දැනෙනවා වැඩි නිසා වෙන්න ඇති.

    ඕස්ට්‍රේලියාවේ ඔය ප්‍රශ්න වැඩිපුර ඇති, ලංකාවේ අය ගොඩක් එහේ යන්න උත්සාහ කරන නිසාම. හැබැයි ඉතින් අම්ම තාත්තා දුර නොබලා වැඩ කරන කොට දරුවෝ දුක් විඳින එක නම් ඇත්තටම පවු.

    ඔය ඇඳුම් කතාව නම් මමත් දන්නවා අත්දැකීමෙන් ම. මමත් මුලින්ම ජපානේ යනකොට ඇඳුම් ටිකක් අරන් ගියා, නමුත් ගියාට පස්සේ මම එහෙනුත් ඇඳුම් ගොඩක් ගත්ත. ඇත්තටම හවුස් ඔෆ් ෆැෂන් හරි ඔඩෙල් එකෙන් හරි අරන් යනවට වඩා අඩු මුදලට (හෝ එම මිලටම) වගේ, ඊට වඩා ලේටස්ට් ෆැෂන් ගන්න පුළුවන් පිට රටවලින්. සමහර වෙලාවට ලංකාවේ කඩවල් වලත් බොරුවට ගණන් නේ. දැන් මමත් අහන අයට කියන්නේ ඇඳුම් මෙහෙ ඇවිත් ගන්න කියල තමයි. සපත්තුත් වින්ටර් බූට්ස් එහෙම මෙහෙ තියන ඒවා ගන්න එක හොඳයි, වැඩිකල් ඔරොත්තු දෙනවත් එක්ක. ඇඳුම් සපත්තු අඩුවෙන් ගෙනත්, ඒ හිස් වෙන ඉඩේ තුනපහ ටිකක් ගේන එක තමයි මම නම් දැන් දෙන උපදෙස. :)

    තුනපහ කිවුවම මතක් උනේ, මේක එච්චරටම අවුල් දේකුත් නෙවෙයි හැබැයි. අපේ ගෙවල් වල උයනකොට තුනපහ ගොඩක් දානවා නේ, ලංකාවේ වගේ ජනෙල් දොරවල් අරින්නත් බැරි, සීතලට දොරවල් වහගෙන හීටිං දාගෙන ඉන්න පෙට්ටි ගෙවල් ඇතුලේ උයනකොට ගොඩක් අයගේ ඇඳුම් වල තුනපහ සුවඳ බැඳෙනවා. මට ඕක මෙහෙ ආපු අලුතම අපේ බ්ලොග් ලියන ටික්කා තමයි අනතුරු අඟවලා කමෙන්ට් එකක් දැම්මෙ (ටික්කා දැක්කෙත් නෑ සැහෙන්න කාලෙකින්). මං ඊට පස්සේ කල්පනාවෙන් හිටියා, උයද්දී අඳින්න වෙනම ස්වෙටර් එහෙම තියාගෙන. මේක ටිකක් පහසු වුණා, දුප්පත් ස්ටුඩන්ට් accommodation වල අපි ගොඩක් වෙලාවට කුස්සිය ශෙයා කරන නිසා, කුස්සිය තියෙන්නේ කාමරෙන් ගොඩක් ඈත. ඔය ප්‍රශ්නේ ගොඩක් සිදු වෙන්නේ තමන්ගෙම තනි ගේක ඉන්නකොට, විශේෂයෙන් ගෙදර කුස්සියෙයි, කාමරෙයි දොරවල් ඔක්කොම ඇරල තියනකොට. මගේ බංගලි ලැබ් මේට් කෙනෙක් ඉන්නවා, එයා ලැබ් එකේ වැඩ කරනකොට එහා කෙලවරේ හිටියත් එයා ඉන්න බව දැනගන්න පුළුවන්, සුවඳ නිසා. බස් එකේ යනකොට ඉන්දියන් කෙනෙක් බස් එකට නැග්ගමත් බස් එකම සුවඳයි. තව ලංකාවේ අය ලඟත් මේ සුවඳ දැනෙනවා. මේක ඉතින් නරක දෙයක් නෙවෙයි, නමුත් ඉතින් ටිකක් හයිලයිට් වෙනවා, මොකද නේටිව් අය ළඟ මේ සුවඳ නැති නිසා (උන් ළඟ තියෙන්නේ ඇල්කොහොල් සහ සිගරට්, ගඳ තමයි ඉතින්, හපෝ) :P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මානවී මට මේ පෝස්ට් එක ලියද්දි ඔයාව මතක් වුනා. මං දැනගෙන හිටියා ඔයා මේක දැක්ක ගමන් කමෙන්ට් කරනවා කියලා. ඔහොම ඉන්න මානවී, මං අර ඔයා ඔය උඩින්ම කියල තියෙන එකට ඉක්මනටම පොස්ට් එකකින්ම එනවා. ඒ හින්දා ඒ ගැන මෙතන ලියන්න යන්නෙ නෑ.

      ලංකාවෙ අය ගොඩක් ඉන්න නිසා ඒ අය අතරෙ තියෙන්නෙත් අර ලංකාව ඇතුලෙ තියෙන ප්‍රශ්ණමයි. මෙහේ ආවා කියලා ට්‍රේඩ් මාර්ක් ලාංකික ගතිගුණ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. බෙදීම්, ඉරිසියාවල්, කුහකකම් එහෙමමයි. වෙන දෙයක් ඕන නෑ, කෙනෙකුගෙ දියුණුව දරාගන්න බැරි උනාම ඒ මිනිහට කුණුහරුප ලියලා ලියුම් පෙට්ටියට කොළ දාන මිනිස්සු ඉන්නවා. ඒ මෙහෙදිත් ඔය ලංකාවෙ උසස්ම යැයි සම්මත රස්සාවල් කරන කට්ටිය. අපේ උන් උඩ බලාගෙන කෙළ ගහගන්න බැරි නිසා ඒවට පොලීසි ගානෙ යන්නෙ නෑ. තමුන්ගෙම රටේ උනාම ලැජ්ජයිනෙ.

      ඒ වගේම තමයි ඔය සමහරු ලංකාවෙන් මෙහේ එනකොට මෙහේ ඉන්න අයගෙ අම්මලා තාත්තලා කිලෝ දහයක විතර පාර්සල් ඒ මිනිස්සු අතේ එවනවා. අනේ ඉතින් අර නවතින්න එන එකා පාර්සලේ අයිති එකාගෙන් උදව්වක්වත් ගන්න පුළුවන් වෙයිනෙ කියන බලාපොරොත්තුවෙන් තමුන්ගෙ බඩු ටිකක් පැත්තකින් තියලා හරි අරක කර ගහගෙන එනවා. සමහර අය ඒක අරගෙන කියනවා, 'එහෙනම් මල්ලි ඔයා ගේ අරගෙන ඉවර වෙලා මට කියන්නකෝ' කියලා. ඇයි යකෝ ඒකටනෙ ඌට උදව්වක් ඕන. ගේ ගත්තට පස්සෙ ඇටිකෙහෙලටයැ.

      මට හරි සන්තෝසයි ඇඳුම් කතාවට ඔයා දුන්නු බැක් අප් එක ගැන. මං හිතුවා සිය රට දේ සිරි සැප දේලා ඇවිත් මාව කන්න හදයි කියලා. ඒ සමහර ඇඳුම්වල පාටවල් දැක්කම හිතෙනවා ඇයි මේ මිනිස්සු මේවා ගන්නෙත් කියලා. සමහර මහත්තුරුත් එනකොට ඇඳන් එනවා තද රතු පාට, ලුමිනස් කොළ පාට කලිසම් එහෙම. ඒ වගේම අපේ අය ස්වභාවයෙන්ම අඳුරු පැහති නිසා, අඳුරු පාටවල් ගැලපෙනවා අඩුයි. රතුයි කළුයි මිශ්‍රණ ඇන්දම ගරා යක් නැටුමට වගේ. ඒ නිසා ළා පාට ඇඳුම්, විච්චූරණ නැති ඩෙනිම් (රිප්ඩ් ඩෙනිම් අවුලක් නෑ) වලින් ගොඩ යන්න පුළුවන් මුලදිම. ඔයා කියනකම් මට වින්ටර් බූට්ස් ගැන මතක් උනේ නෑ. ස්තුතියි ඒ ගැන ලිව්වට.

      //ඇඳුම් සපත්තු අඩුවෙන් ගෙනත්, ඒ හිස් වෙන ඉඩේ තුනපහ ටිකක් ගේන එක තමයි මම නම් දැන් දෙන උපදෙස.//
      ඇත්තටම ඒක තමයි හොඳම උපදෙස. මෙහේ විකුණන්න තියෙන ඒවා මිළ අධිකයි වගේම ගෙදර හදන ඒවා තරම් සුවඳ නෑ. මොනවා තියෙනවද දන්නෙත් නෑ. 'විජය' ලාගෙ බඩු හොඳයි. ඇඳුම්වල තුනපහ සුවඳ බැඳෙන එක මටත් වුනා. ඒ හාල්මැස්සො තෙල් දාලා. මං වැඩට යනකොට මගේ වින්ටර් කෝට් එක ඒ සුවඳයි. අපේ අයට ඒක සුවඳක් උනාට සමහර සුද්දො අකමැතියි. අපේ මනූ බත් එකටවත් තියාගෙන යන්නෙ නෑ කරවල හාල්මැස්සො, මයික්‍රොවේව් දාන්න බෑ කියලා. අපි මේ ඉන්න ගෙදරට ඇවිත් දවසකට දෙකකට පස්සෙ හවසක මෙන්න එනවා හොඳ කරවල තෙල් දාන සුවඳක්. අපි එළියට ගිහින් ඉව ඇල්ලුවට හිතාගන්න බැරි උනා කොයි පැත්තෙන්ද එන්නෙ කියලා. පස්සෙන්දා මෙන්න ලංකාවෙ පුංචි කෙලි පොඩ්ඩක් ඉන්නවා ගේ ඉස්සරහ බස් හෝල්ට් එකේ. මාත් එක්ක හිනා උනාම මං ඇහුවා ඔයා ඊයෙ හවස කරවල බැද්ද නේද කියලා. ආන්ටි කොහොමද දන්නෙ කිව්වම මං කිව්වා මට සුවඳ ආවා කියලා. ඒ දරුවා කියනවා එයා ඉන්නෙ අපේ ගෙදරට ගෙවල් දහයක් විතර උඩහින්, හරි පුදුමයිනෙ කියලා. මට මේක ලියනකොට මතක් උනේ කලකට ඉස්සර අරූගෙ අඩවියේ අරූ, ගෙදර බොම්බිලි කරවල බදින්න ගිහින් වෙච්ච වැඩේ.

      මෙහේ නේටිව් අයත් එහෙම තමයි මානවී. :D

      Delete
  5. ඩවුන් අන්ඩර් සංක්‍රමණය වෙන්න බලාගෙන ඉන්න අයට ඉතා වැදගත් උපදෙස් මාලාවක්...මම එහෙම යන්න බලන් ඉන්න මගෙ යාලුවො තුන් හතර දෙනෙකුටම මැඩම්ගෙ මේ සටහන ගැන කිව්වා...

    තව මෙල්බර්න් සිඩ්නි වලට යන්ට හිතාගෙන ඉන්න කීප දෙනෙකුටම කිව්ව "අඩේ ඔය මෙල්බර්න් අර බර්න් මේ බර්න් සිඩ්නි බිඩ්නි යන වෙලාවෙ පලයල්ල පර්ත්වලට. එහෙ ඉන්නව මියුරු කියල ඉතාම ගුණයහපත් කාන්තා රත්නයක්..බඩේ තියන එක හරි දෙයි එලියට අරගෙන..අන්න එයාව හම්බ වෙයල්ල ගිහිල්ල..." කියල...

    ReplyDelete
    Replies
    1. හී හී රවී….
      බඩේ තිබ්බ ඒවත් දුන්නා ඉස්සර නම්. ඒත් දැන් නම් ටිකක් පස්සටත් අඩියක් තියාගෙන තමයි උදව්වක් කරන්නෙ. නොකර ඉන්නෙත් නෑ. මට වඩා මගේ මහත්තයා. එයා හැබැයි මුලින්ම කියනවා එයා උදව් කළ කට්ටිය එයාට දැන් සලකන විදිය එහෙම. ඒ කියන්නෙ 'අපි කොච්චර කළත්, අපි දන්නවා ටිකක් පොළවේ පය ගහගත්තම උඹලා අපට සලකන විදිය, ඒක නොදැන නෙවේ මේ කරන්නෙ' කියන එකයි. ඒ කරන ගමන් එයා උන්ටත් කියනවා මේ විදියටම ලංකාවෙන් එන අළුත් මිනිහෙකුට පොළවෙ පය ගහගන්න උඹලත් උදව් කරාවි කියලා හිතාගෙනයි මං උඹලට මේ උදව්ව කරන්නෙ කියලත්. අනේ ඉතින් ඒක නම් කොහොම වෙනවද දන්නෙ නෑ.

      පොඩි උදාහරණයක් කියන්නම් රවී, මනූ බැඳගෙන උදව් කරපු කෙනෙක්, දැනට අවුරුදු දෙකකට විතර කලින් මනූ අසනීප වුනු වෙලාවක (හොඳටම වමනෙ ගිහින් කෙලින් ඉන්නවත් පණ නැතිව හිටිය වෙලාවක - මං වැඩට ගිහින්, අපට වැඩ කරද්දි ෆෝන් ළඟ තියාගන්න බැරි නිසා ඒ ගැන එයා මට කියන්න වද වෙලා නෑ) ඉස්පිරිතාලෙට එයාව ගෙනිහින් දාන එක මග ඇරියා කිව්වම. මිනිහා රස්සාවට කරන්නෙ ටැක්සි එලවන එක. උන්ට රස්සාවල් සොයාගන්න, වාහන ගන්න, ගෙවල් මාරු කරන්න, බඩු අදින්න, කොටින්ම මේ පොළවේ පය ගහගන්න හැම උදව්වක්ම කළ මිනිහටයි එහෙම කළේ. මට ඒක නම් කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. දැනටත් මගේ උගුර හිරවෙනවා මතක් වෙනකොට. මනූ සනීප වෙලත් මාසයක් විතර යනකම් ඌ කෝල් එකක්වත් දුන්නෙ නෑ. දැන් ආයෙ කතා කරනවා එයාගෙ වැඩ වලට උපදෙස් ගන්න.

      Delete
  6. මියුරු, බොහොම කාලෝචිතයි මේ පොස්ට් එක. මේ වගේ දහ දොළොස් ගුණයක් කියන්න පුළුවන් බව පෙනුණත් අවශ්‍යම ටික කෙටියෙන් කියලා තියෙන හැටි අපූරුයි. මාත් මගේ සත දෙක එකතු කරන්නද? මටත් අඩු වැඩි වශයෙන් ඔය වගේ මෙහෙ එන්න ඉන්න, ලඟදි ආව අයගේ කතන්දර ටිකක් තියෙනවා, ඒකයි.

    මුලින්ම කියන්න ඕන දේ තමයි ඔසී විතරක් නෙමෙයි කොයි රටට ගියත් දෙයියනේ කියලා නීති විරෝධී විදිහට එන්න එපා. එහෙම ඇවිල්ල හිරේ විලංගුවේ වැටිලා රටින් පිටුවහල් කළා ම වියදම් කරගත්තු සල්ලිත් ඉවරයි, ආයෙත් ලංකාවෙත් වසාලා හමාරයි. මං එහෙම කිව්වේ දැන් ලංකාවේ ඉන්නවාලු මයිග්‍රේෂන් ඒජන්ට්ස් ලා 'ටුවරිස්ට් වීසා හදාගෙන ගිහින් පනින්න!' කියලා උපදෙස් දෙන. ඒ උපදෙස් මත ලංකාවේ හොඳ රස්සාවල් දාලා පොඩි දරුවෙකුත් එක්ක ආව මං දන්න ජෝඩුවක් ඉන්නවා. (පස්සේ එහෙම බැරි බව තේරිලා ණය වෙලා ස්ටුඩන්ට් වීසා එකක් හදාගෙන) මෝඩකම තමයි. එහෙම හරිහමන් වීසා එකක් නැතිව ජීවත් වෙද්දී අර දරුවා ඉස්කෝලේ දාන්නේ කොහොමද? බෙහෙතක් හේතක් ගන්නේ කොහොමද? වාහනයක් ගන්නේ කොහොමද කියලා මතක් වෙලා නැහැ. ඒනිසා ඒක තමයි වැදගත්ම කාරණාව.

    වෙන රටකට ආවාම, විශේෂයෙන් ස්ටුඩන්ට් වීසා වගේ අරන් ආවාම සෑහෙන්න කට්ටක් කන්න වෙන බව බලාපොරොත්තුවෙන් ආවේ නැත්නම් මුල ඉඳන් ප්‍රශ්න තමයි. කෝස් එකට ගෙවන ගාණ හොයන්න දිවා රෑ නැතිව මහන්සිවෙන ළමයි හරියට මෙහෙ ඉන්නවා. ඊළඟට මෙහෙ සීතල කාල තියෙන නිසා යන්තම් පින්න වැදුණු ගමන් අතපය දරදඬු වෙන තත්ත්ව එහෙම තියෙනවා නම් දෙසැරයක් හිතන්න ඕන. මම ඉන්න මෙල්බර්න් නම් බහුතරයක් පැතිවලට හිම වැටෙන්නේ නැති වුණත් හීතල කාලෙට රෑට එහෙම සෘණ අගයට යනවා සමහර වෙලාවට. අපි ආව කාලේ මෙහෙ කලක් හිටිය කෙනෙක් උපදෙසක් දුන්නා ගෙදරින් එලියට යන්න ඉන්නවා නම් ගිහින් ආවාට පස්සේ නාන්න, නාලා යන්න එපා කියලා විශේෂයෙන් හීතල කාලෙට. මං හිතන්නේ ඒකෙ බලපෑමක් තියෙනවා ලෙඩ නොවී ඉන්න.

    ගොඩාක් ලංකාවේ ගෑණු අය ඉන්නවා තමන්ගේ ළමයා තමන්ට බලාගෙන පුරුදු නැති. එක්කෝ අම්මලා නැත්නම් සර්වන්ට්ස් ලා තමයි බලලා තියෙන්නේ. මෙහෙ ආවාම තමන්ගේ වැඩ තමන්ම ( ඒ කිව්වේ දෙන්නා දෙමහල්ලෝ) කරගන්න ඕන නිසාත්, සර්වන්ට්ස් ලා නැති නිසාත් එන්න හිතාගෙන ඉන්නවා නම් අඩු ගානේ ළමයාට කෑම කවාගන්න, නිදිකරවාගන්න හුරුවෙලා එන්න. නැත්නම් ළමයිනුත් නිකම් දුක් විඳිනවා. ලංකාවේ වගේ පාරේ වාහන පෙන්න පෙන්න කෑම කවන්න ගිහින් පුංචි දරුවෙක් පාරට දුවලා අවාසනාවන්ත විදිහට මැරුණා පහු ගිය කාලේ. ඒ පවුල එතකොට මෙහෙ ඇවිත් සතියයි ලු.

    ඇඳුම් ගඳ ගහන එක ගැන මානවිකා කිව්වා හරියටම හරි. අයිතිකාරයාට ඒක නොතේරුනාට අනිත් මිනිස්සුන්ට හොඳට දැනෙනවා. ඇඳුම් වලට අමතරව කොන්ඩේ ටත් ඔය කෑම සුවඳ තදින් කාවදිනවා. ඒනිසා උයද්දී උඩින් අඳින්න වෙනම ස්වෙටර් එකක් වගේ තියාගන්න එක, තමන්ගේ ජැකට්ස්, ඇඳුම් එහෙම උයද්දී කුස්සිය හරියේ නොතියා කාමරේකට දාලා දොරවහලා තියන එක වගේම උයද්දී ටවල් එකකින් වගේ දෙකින් කොන්ඩේ වහලා බැඳගන්න එක (උයලා ඉවරවෙලා නාන්න බලාපොරොත්තුවක් නැත්නම්) ප්‍රයෝජනයි. 'ඔච්චර නටන්නේ මොකද ආවත් එන්නේ හොදි වල සුවඳ නේ' කියලා හිතුනාට ඇත්තටම ජැකට්ස් වලට එහෙම ඒ සුවඳ කාවැදුනාම දවසකට දෙකකට පස්සේ එන්නේ මහා පිලුන් ගඳක්.

    ඇත්තටම හරි ක්‍රමයකට එනවානම්, මුලදී ටිකක් හුරුවෙන්න අමාරු උනත් මේ රටවල වැඩකටයුතු කරගන්න හරි ලේසියි. ඒකට හේතුව හැම දේකටම නියමිත ක්‍රමයක්, නීතියක් තියෙන නිසා, හැමෝම ඒ ක්‍රම අනුගමනය කරන නිසා. ඒ විදිහට තමනුත් ඒ රටේ ක්‍රම වලට ගරු කරලා ජීවත්වෙන්න හිතහදාගත්තාම කරදරයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මලී ඔයාට මගේ හද පතුලෙන්ම නැගෙන ස්තුතිය ඉස්සෙල්ලම පුදනවා මේ කමෙන්ට් එකට. ඔන්න අල්ල ගන්න. මට කියන්න බැරිවුනු ඒවා ඔයා කියලා. මේකට ලැබෙන ප්‍රතිචාර අනුවයි මං තව එකක් ලියනවද නැද්ද කියලා තීරණය කරනවා කියලා හිතන් හිටියෙ. දැන් ගොඩක් දේවල් කමෙන්ට් විදියටත් මේකෙම අතාරින්න පුළුවන්.

      ඔයා කියන ඔය මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලගෙ කතාව මං ඇහුවෙ පළවෙනි වතාවට. අනෙ අප්පේ වැඩි කොටසක් නැතිවුනා බෝට්ටුකාරයො හින්දා. එපාර ඉතිරි ටිකත් නැති කරන්නද කොහෙද හදන්නෙ. ඒ උනාට එහෙම එන්න හිතන එවුන්ටත් මොළයක් කියල දෙයක් තියෙන්න එපායැ. මේ වගේ මෝඩ වැඩ කළාම ආපහු හැරෙන්නත් බැරි තැනක නැවතිලා සදාකල් දුක් විඳින්න තමයි වෙන්නෙ.

      ඔයා ස්ටුඩන්ට් වීසා ගැන කියනකොට කියන්නම ඕන එකක් මට මතක් වුනා. ඉස්සර නම් ආව කට්ටියට පොඩි පොඩි ජොබ් කෑලි සොයාගෙන අම්බානක කටු කාලා රස්සාවල් කිහිපයක් දිවා රෑ නැතුව කරලා හරි ඊළඟ සෙමෙස්ටරේ ෆී එක ගෙවා ගන්න පුළුවන්කම තිබ්බා. දැන් පර්ත්වල නම් එහෙම බැරි හැටියකුයි පෙනෙන්නෙ. අන්තිමට දේපලත් විකුණන්න වෙනවා මෑතකදි ඩබල් වෙච්ච ෆී එක ගෙවන්න. අරම වැඩ කරනකොට පාඩම් කරන්න වෙලාව නෑ. ෆේල් වෙනකොට එකම සබ්ජෙක්ට් එකට ආයෙ ආයෙ ගෙවන්න ඕන. ඒකත් චාන්ස් එක දෙන්නෙ දෙපාරද කොහෙද මං දන්න විදියට. අර ඔයා ලෙඩ නොවී ඉන්න දීපු උපදෙස් ටික නම් හොඳටම වටිනවා.

      ළමයි ගැන ඔයා කියන කතාව හරියටම හරි. මගේ දරුවො දෙන්නත් මෙහේ එනකොට ඔය කියන තත්වයෙන් තමයි හිටියෙ. හැබැයි මට පුළුවන්කමත් හැකියාවත් තිබ්බා උන් දෙන්නා ආං බාං කරන්න. ඔයා ඔය කියන කතන්දරේ මට මතකයි. ඒක සිද්ද උනේ අපේ නංගිලා ඉන්න කිට්ටුව. ඒ කාලෙ ඒක හරිම කම්පනයක් උනා හැමෝටම.
      මටත් මතක නැතිවුනා කොණ්ඩෙ කෑම සුවඳ රැඳෙන එක ගැන. උයන වෙලාවට මාත් කරන්නෙ ඇඳුම් ටික කාමරේට දාලා දොර වහන එක.

      Delete
    2. හපූ මලී වැරදි අයගෙන්නේ උපදෙස් අරන් තියෙන්නේ..මගෙන් ගන්නයි තිබුනේ විසා එක බඩේ බත් වගේ ශුවර්..හි..හි..ඔය දෙන්නා ගැන පැහැදීමක් තියෙන නිසා මේක දාන්නේ හරිද? නැත්නන් කලන්තේ දාන්න එකක් ලියනවා..හි හි..මම මෙහෙට ලේසියෙන් එන විදිය ලිව්වා..වැඩි විස්තර සදහා $ 5000/- ගිණුමට දමා පහත බලන්න..අපේ මාමා මීමා මට දීපු ගේම ඇහුවොත් ඔයාලා අඬනවා...https://solitarycel.blogspot.com/2019/04/blog-post_17.html

      Delete
    3. මීමගෙ ගේම ගැනත් කියන්නකො අනේ. මෙතන බැරි නම් ඔයාගෙ බ්ලොග් එකේ දාන්න, පසන්.

      Delete
    4. ඔව් ඒක ලියන්නම ඕන.ඔයා කියනවා හරි තමන්ගේ කෙනෙක් එන්න කියලා පිටු පැවම දැනෙන වේදනාව ගැන කියන්න වදන් නැ..එතන නම් මුලිකවම තමන්ට වඩා තැනකට යාවි කියන එක තමයි මුල් වුනේ..ඒ වගේම තමන්ගේ අය පිටු පැවම උදව්කරපු අය ගැනත් ලියන්න අදහසක් තියෙනවා....එක දිගටම නෙගටිව් ඒවා දාන්නත් බැනේ..ටික දවසකින් බ්ලොග් එකේ ලියන්නම්..මේ මම සොලිටරි ඇ..අනිකා තමයි සෙල්..හිරේ ඉඳගෙන තමයි ලියන්නේ..හැක්..හැක්..

      Delete
    5. //ඔයා කියනවා හරි තමන්ගේ කෙනෙක් එන්න කියලා පිටු පැවම දැනෙන වේදනාව ගැන කියන්න වදන් නැ//

      Delete
  7. අද ආවේ මේ පැත්තට. දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විනීත පූ….

      Delete
  8. ඔය සාන්තයට කියලා වැඩක් නෑ.. ඕකා කරන්නෙම එපා කියන දේවල්..

    ReplyDelete
    Replies
    1. ඕකා ඔහොම්මයි සෙන්නා… කොච්චර කිව්වත් එච්චරයි...

      Delete
  9. යකෝ ඔට්ටේලියාවෙ බජාර් බාසාවෙන් ක් ලියලා තියෙන්නේ කන පැලෙන්නම

    ReplyDelete
    Replies
    1. නැත්නම් ලිවිල්ලෙන් වැඩක් නෑනෙ ඉවාන්. :D

      Delete
  10. Hi 😃
    MATA LANKWE EDALA ATHI WELA TIYENNE 😃. AUSTRALIA WATA ENNA KAMATHI 😃 ETH KISI DEYAK DANNE NAA 😃 ME POST 1N LOKU DEYAK DANA GATTA ❤️
    ME 2N MOKADDA HODAA 😃
    1) LANKAWE EGANA GANA JOB 1K TIKA KAALAYAL MEHE KARALA.EXPERIENCE 1K EKKA JOB 1K KARANNA AUSTRALIA ENA EKA
    2) STUDENT VISA WALIN AUSTRALIA ENA EKA
    .
    MONA WAGE FIELD 1KA JOB 1K KAROTH DA AUSTALIAA WALA SURVIVE WENNA PULUWAN ?
    <> KIYALA TIBBA NISA AHANNE ITHIN APITA BARIDA OHETA AWILLA PODI BUSINESS 1K KARANNA 😂 (EX:- LANKAWE MINISSU GODAK INNA NISA KOTTU/RICE/SRILANKAN FOOD WIKUNANA KADAYAK DA GANNA BARIDA) 😂 NODANUWATHLAMATA AHUWE HINA WENNA EPA 😂

    ReplyDelete
    Replies
    1. අනේ සුදූ මේ පෝස්ට් එකේ දාලා තියෙන ටිකත් බලාගෙන හොඳ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් හමු උනා නම් විස්තර කියයි. දැන් තියෙන වාතාවරණය අනුව කිසිම දෙයක ගැරන්ටියක් නෑ. පර්ත් වල නම් ගොඩ දෙනෙක් කඩ කතාව පටන් ගත්තට මං දන්න තරමින් සාර්ථක වුනේ කේටරිං බිස්නස් කිහිපයක් විතරයි. කඩ කුලී කතාවයි නීති රීතියි ටැක්ස් හින්දයි වෙන්න ඇති. ඒ ඇරෙන්න ඒ ගැන යමක් කියන්න තරම් දැනුමක් නෑ.

      Delete
  11. මම මේ රටට මුලින්ම එනකොට අපේ අයියා කෙනෙක්, එයා තමන්ගේ හැකියාවෙන් රස්සාවක් කරන රට රට වල ඇවිදලා නැති බොහොම සාමාන්‍ය කෙනෙක්. මට කිව්ව දේ තමා මල්ලි පුළුවන් තරම් ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කියන එක. එයාල එදිනෙදා මිනිස්සු එක්ක ගැටෙන හින්ද අපිට වඩා මිනිස්සු ගැන දන්නවා. මම කොහොමත් ගෙට වෙච්ච චරිතයක් නිසා මම කා එක්කවත් වැඩි ආශ්‍රයක් නැහැ. නමුත් ඒ කතාව 100% ඇත්ත.

    කොහොම වුනත් මේ ඇඳුම් ගැන සහ අනිත් විස්තර සැහෙන්න වටිනවා. මොකද අපේ ඔලුවේ තියෙන්නේ ලංකාවෙන් ඇදුම් අරන් යන එක ලාභයි හොදයි කියලනේ. සුවද වදින කතාවත් මේ කියනකම් මීටර් වෙලා තිබුනේ නැහැ ... :)

    ReplyDelete
    Replies
    1. පැතුම් කියන කතාව මට තේරුම් ගන්න පුළුවන්. අපට ප්‍රශ්ණ වලට වඩා හිත් රිදවීම් ඇතිවුනේ මගේ මහත්තයා මෙහෙට අළුතින් එන අයට උදව් කරන්න ගිහිල්ලා. ප්‍රශ්ණ ඇතිවුනේ නැත්තෙ අපි ආව දවසෙ ඉඳලා මේ දක්වා අපේ රටේ මිනිස්සු අහල පහල නැති ප්‍රදේශයක පදිංචි වීමත්, ලංකාවෙ කට්ටියත් එක්ක ආශ්‍රය මහත්තයා පමණක් කිරීම නිසාත්. මං සහභාගි වෙන්නෙ මග හරින්නම බැරි මහත්තයට තනියම ගියොත් ලැජ්ජ හිතෙන විදියේ අවස්ථාවක් ආවොත් විතරයි. හිතවත් අය හිටියට කෑම කන්න යන ඒවා, දෙන්න යන ඒවා, පිඟන් යැවිලි මම කරන්න යන්නෙ නෑ, විශේෂම අවස්ථාවක් උනොත් ඇරෙන්න. ඒකට ප්‍රධානම හේතුව දවස් පහක් නැහිල නැහිලා ලැබෙන නිවාඩු දවස් දෙකෙත් තවත් නහින්න බැරි නිසයි.

      බලන්නකො එහෙනම් කරවල හරි හාල්මැස්සො හරි තෙල් දාලා ඇඳුමකුත් අහල පහල තියන්. ආයෙ මොනවටද, බොම්බිලි කරවල ටිකක්ම ගන්නකෝ. හොඳට තේරේවි. :P

      Delete
    2. I think this depends on the area and the demographic. I'm in US, and I hangout with most other Sri Lankans in my city. Then again most of the people I know are either PhD students, or people who are working after there PhD. I'm in a smaller city, so the demographic might be skewed. There are not many people working in blue collar job.

      Before this when we was in a college town, we helped pretty much all new incoming PhD students to get settled. I'm happy to say everyone (except one) still acknowledges our help. They will come help us with anything as soon as I give them a call.

      When we came to US as PhD students, other students at the uni helped us a lot. We have all graduated and moved away to different state, but we still keep in touch with each other. Just thought I would add a positive comment to your story :-)

      Delete
    3. එහෙම තමයි වෙන්න ඕන DKP. එහෙම මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙන එකත් ලොකු දෙයක්.

      මේ කමෙන්ට් එක කියෙව්වම මට හිතුනා මං කියන ඒවායින් මෙහේ එන සියළුම දෙනා කිසිම කෙළෙහි ගුණයක් නැති හාල්පාරුවො කියලා කියවෙනවද කියලත්. බහුතරය එහෙම උනත් කලාතුරකින් හොඳ මිනිස්සුත් ඉන්නවා ගොම රිටි අතරින් මතුවෙන මැණික් වගේ.

      Delete
    4. මමත් ඇත්තටම අදහස් කලේ සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඈත් වෙලා ඉන්න කියන දේ නෙවෙයි. මම මෙහෙට ආපු වෙලාවේ මට උදව් කලෙත් ඒ කාලේ බ්ලොග් ලියපු අපේ ප්‍රසිද්ධ සිංහල බ්ලොග් කරුවෙක්. මට මෙහෙ ඉන්න යාළුවොත් ඔක්කොම ලංකාවේ තමා. අපිට සෙට් වෙන, එකට වැඩ කරන, එක වගේ කට්ටිය ගැන නෙවෙයි මම අදහස් කරන්නේ.

      නමුත් අපිට එදිනෙදා පාරේදී, ට්‍රෙන් එකේදී, විශේෂයෙන් එයාර්පෝට් එකේදී හම්බ වෙන ශ්‍රී ලාංකිකයෝ මම ආශ්‍රය කරන්නේ හෙන පරිස්සමින්. මොකද ඒ මිනිස්සු බොහෝ දෙනා අපි හිතන විදිය නොවෙන්න සැහෙන ඉඩ තියෙන නිසා.

      අනේ ලංකාවේ එකෙක්නෙ කියාගෙන බදාගෙන කරන්න යන්නේ නැහැ මම නම් නොදන්න මිනිස්සුන්ට. නමුත් සිරාවට ෆිට් වෙන කෙනෙකුට ඕනේ දෙයක් කරන්න ලෑස්තියි. උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නේ නැහැ කාට වුනත්. නමුත් ලංකාවේ කියල ව්ශේෂයෙන් කරන්න යන්නෙත් නැහැ. ඕනෙම කෙනෙකුට නැහැ බැහැ කියන්න පැකිලෙන්නෙත් නැහැ. නරක ගතියක් විදියට හිතන්න පුළුවන්. හැබැයි මම තේරුම් අරන් තියෙන්නේ අපි එහෙම ඉද්දි බොහෝ මිනිස්සු එක්ක දිග කාලයක් හොදින් ඉන්න පුළුවන් කියන එක.

      කොටින්ම කිව්වොත් මේ රටේ ලංකාවේ පන්සලේ හාමුදුරුවරු කියන්නෙත් මට නම් කකුලේ දුරෙන් වගේ තියාගන්න ඕනේ කට්ටිය හෙහ් හෙහ් .

      Delete
    5. හී… හී… පැතුම්…
      අපේ මනූට වෙලා තියෙන්නෙ කිසි කෙනෙක් උදව් කරන්න භාරගන්නෙ නැති, ලංකාවෙදිත් පට්ට ගූ පොරවල් විදියට නම් දරාපු උන්ව, ලංකාවෙ ඉන්න මෙයාගෙ යාළුවො රෙකමන්ඩ් කරලා එවනවා උදව් කරන්න කියලා. අන්තිමට වැඩේ අලවෙලා රෙකමදාරුකාරයට කිව්වම ඌ කළ වැඩේ, එතකොට තමයි උන් කියන්නෙ මුං ප්‍රසිද්ධ ලෝකපාළුවො කියලා. ඔන්න යාළුවො… :D

      Delete
    6. //අඩු ගානෙ සමහර හාමුදුරුවරුන්ට වැන්දහම තෙරුවන් සරණයි කියන්නවත් දිව නැමෙන්නෙ නෑ.// මට එක හාමුදුරුකෙනෙක් මෙහෙම කළාම මගේ ශ්‍රද්ධාව වාෂ්පවෙලා ගිහින් වැඳලා නැගිටින ගමන්ම දෙන්න හිතුනා හොඳ පාරක්…. සමාවෙන්න එහෙම කිව්වට. ඒ අවංකවම මගේ හිතට එවෙලෙ ආව හැඟීම. ඒ සිදුවීම වෙලා අවුරුදු ගාණක් ගතවෙලත් අදටයි කියලත් ඒක පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. එදායින් එදා මං අද වෙනකලුත් ඒ පන්සලට ගිහින් නෑ. අහම්බෙන් යන්න සිද්ද උනත් වඳින්නෙත් නෑ කියලයි හිතාගෙන ඉන්නෙ. ඒක මගේ පෞද්ගලික තීරණයක්.

      Delete
    7. What you said is so true about the temples. I think most good, decent monks from SL doesn't get the chance to come to western countries and establish temples. It's always the monks who are competitive and good with marketing that gets to come here. So we get all the bad apples. For most of them its just a business. Personally, I have never lived in a city with a Sri Lankan Buddhist temple. But when people invites monks from out of state temples, all they want to do is raise funds.

      Someone told me how to chief-monk in the Houston Buddhist Temple, never acknowledges student, as they don't have much money. But always keen to get the contact info and form relationships with the working crowd. It's not just in Houston, even some Monks who visited our city does the same thing.

      Delete
  12. මා පසුගිය වසරක සති හතරක් ඔබ දේශයට ඇවිත් ගියා.
    සත්තකින්ම ඔබ කියලා තියෙන හැමදේම මා අත් දැක්කා.
    මෙහෙන් යන බොහෝ එවුන්හට ඔහේ වසන අපේ එවුන් කියන කතාවක තමයි Just enough job කියන සංකල්පයට අනුව වැඩ කරණ්න කියන එක!
    ඒත් මගේ මිත්‍රයෙක් ඇත්තෙන්ම මට වඩා බොහෝ සෙයින් වයසින් අඩු අයෙක් පැමිණියා කැන්ගරු දේශයට. ඔහු පැමින සේවය කලේ මෝටර් රථ හා බැඳුණු ආයතනයක.
    ඔහු තමන්ගේ විවේක කලයෙදී නො එසේනම් වැඩ අඩු වෙලාවල් වලදී එම කාර්‍යාලයේම වෙනත් අංශයක සේවය කල ස්ව්දේශිකයෙකු වෙතට ගොස් උදව් කරණ්නට අසා තියෙනවා. ඒ නිසාම ඔහුට එනම් මගේ මිත්‍රයාට ටික කලකින් පෙර කී ස්ව්දේශිකයාගේ කාර්‍යය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමේ පරිචය ලැබිලා. තවත් මාස කිහිපයකින් පෙර කී ස්වදේශිකයා එම ආයතනයෙන් හිටිවනම අස්වී ගොසින්. මගේ මිත්‍රයාට නොමිලේම ඒ ස්ථිර රැකියාව ලැබිලා!
    මේ නිසාම මා මගේ පුත්‍රයාහටත් එම පාඩම කියාදී තමයි එව්වේ. එනිසාම ඔහු සේවා කරණ සේවා ස්ථාන දෙකෙන්ම ඔහුට වඩාත් හොඳ පිළිගැනීමක් තියෙනවා! ස්තූතියි බොහොමත්ම!

    ReplyDelete
    Replies
    1. තට්ටයගෙ කතාව මං සාමාන්‍යයෙන් අහන දන්න කතාවට වඩා වෙනස්. කොයි තරම් ලොකු දෙයක්ද එහෙම වුනු එක.

      Delete
  13. "අනිත් එක තමයි මෙහේ ඇවිත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගියාම අර ලංකාවෙ කතා කරන විදියට ඒක ගෙඩිය පිටින් ට්‍රාන්ස්ලේට් කරන්න යන්නෙ නැතුව, බොහොම ආචාරශීලී විදියට සන්සුන්ව කතා කරන්න වෙනවා."

    This is something I see mostly in Indians. They are not rude, but they try to do literal translations from Hindi to English. Once we were at a garage/thrift sale at a church (at that point we have only been in US for like 2 weeks) and an Indian guy was in-front of me to buy some electronic device. He was asking about the charger from the cashier, and she said that the charger was missing. Then the guy asked her "So how am I supposed to charge this?". Now this sounds incredibly rude. But luckily they are used to interacting with international students, and they know it was not meant to be rude.

    When I heard that I know what the student meant. In Sinhalese we would ask "එහෙනම් කොහොමද මේක චාර්ජ් කරන්නේ", but the literal translation was very rude. That is a hard thing to overcome. I don't think (again I'm not sure) we made any mistakes like that since I worked for a multi-national company in SL before I came to US. But for someone who was not exposed to that culture, it is hard. It's not simple as including "Please" or "Thank you" in a sentence. Phrasing of sentence is hard at the beginning. "I want the bag of chips" vs "Can you get me the bag of chips" has too different tones :-)

    ReplyDelete
    Replies
    1. ඔතැනදි ග්‍රැමටිකලි කරෙක්ට් විදියට කතා කරන්න උත්සාහ කරන්නෙ නැතුව ෂෝට් ඇන්ඩ් සිම්පල් විදියට කියලා අගට ප්ලීස් එකකුත් එල්ලුවම ගොඩ වෙලාවකට දෙකොණම ගොඩ දාගන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ. අර ඔයා සඳහන් කරපු අන්තිම වාක්‍යයේ වගේ අගට ප්ලීස් එල්ලුව නම් වාක්‍යය ලස්සන නැතුවට බල්ලා ගොඩ කියලයි මට හිතෙන්නෙ.
      I want the bag of chips, pl.
      බස් එකට නැගලා ඉලෙක්ට්‍රොනික් සීසන් එකට ඩ්‍රයිවර් ගෙන් ඩොලර් විස්සක ටොප් අප් එකක් ඉල්ලනකොට,
      Twenty Dollars top up, pl.
      Twenty Dollars? කියලා එයා ඒක තහවුරු කරගන්න ඇහුවම Yes, pl
      කියල ගොඩ යන්න පුළුවන්. එතකොට රූඩ් කියලා ඩ්‍රයිවර්ට තරහ යන්නෙත් නෑ. හැබැයි ඒක හැම වෙලාවෙම කරන්න බෑ. මේ බොහොම පුංචි උදාහරණයක් විතරයි.

      මගේ අත්දැකීමට අනුව ගොඩක් වෙලාවට සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න යන්නෙ නැතුව ඉංග්‍රීසියෙන්ම හිතන්න පුරුදු වෙනවා නම් ඒ තරම් අපහසුවක් නැතුව මේ දේවල් දිව අගට එනවා.

      බොහොම ස්තුතියි DKP පෝස්ට් එකට දායකවීම ගැන.

      Delete
    2. ඒක නම් ඇත්ත. සුවර් නැති වෙලාවට ප්ලීස් එකක් එල්ලුවානම් හරි

      Delete
    3. ඔව්. අනිත් කියන ටික කොහොම කිව්වත් සුද්දො දන්නව මේ කියන්නෙ මොකක්ද කියලා.

      ඒ උනාට අර අපේ අය අගට එල්ලන 'නේද?' කියන එක වගේ 'නෝ?' කියන එක මට නම් වස කැතයි. එහෙම කෙනෙක් මාත් එක්ක කතා කරනකොට මට ඇහෙන්නෙම ඒ සවුත්තු 'නෝ' එකම විතරයි. ඒක වෙන්නෙත් සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට හරවන්න යන නිසා වෙන්නැති.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මම නම් අදමයි මේ Blog එක පැත්තට ආවේ.
    ඉහළ කොමෙන්ටුවක් දාලා තිබෙන හෙල්මලී මගේ දුව. එයයි මට ඔබ ගැන කිව්වේ. ඔබ දී තිබෙන උපදෙස් සියල්ලම ඉතාමත් අවංක ලෙස දී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි ලෝකයේ වෙනත් රටවලට ගියත් අපේ අයගේ සමහර ගති ඔය ආකාරයටමයි. දැනට අවුරුදු 30 කට පමණ ඉහතදී මා සීෂෙල්ස් රටෙහි රැකියාවක් කළා. ඒ කාලේ හෙල්මලී දුව හිටියේ ප්‍රාථමික පන්තිවල. අලුතින් එන කෙනෙකුට උදව් කිරීමට කවුරුත් කැමැත්තක් තිබෙනවා. ඒ උනාට ඒ අය පසුව කල්ලි ගැහෙනවානෙ ලංකාවේ පුරුද්දට. එතකොට තමයි ඕපාදුප ඊර්ශියාවල් කුහක කම් ආදිය මතු වෙන්නේ. එහෙම උනහම කලින් උදව් කළ අය අමතක වෙනවා. අමතක වෙනවා විතරක් නෙමෙයි පුලුවන්නම් කැපිලි දාන්නත් හදනවා. ඒ රටේ පන්සලක් තිබුණේ නැහැ. කවුරුත් එකතුවී සෑම මාසයකම පසලොස්වක පෝය එන සති අන්තයේ එක ගෙදරක රැස්වී මල් පූජාවක් කර පිනක් දහමක් කර ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ගත්තා. කලක් යනකොට මේකට විරුද්ධ කණ්ඩායමකුත් ඇතිඋනා. අන්තිමට ඒ වැඩ සටහනට පස්සේ ඕපාදුප කතාබස් කරන්නටත් පටන් ගත්තා. ඔන්න ඔහොම ගිහින් ඒ වැඩේ කඩා කප්පල් උනා. දැනුත් අපේ අය එහේ සිටිනවා. දැන්නම් තත්ත්වය කොහොමද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය කල්ලි ගැහීම තමයි නරකම. එක ගෲප් එකක් අරන් බැලුවම ඒකෙ පුංචි, පුංචි කල්ලි කීයක් තියෙනවද? ඒක බිම් මට්ටමින් දෙන්නෙක් තුන්දෙන්නෙක් විතරක් ඉන්න පුංචි ගෲප් එකක් දක්වාම කැඩි, කැඩී ගිහිල්ලා. එක වෘත්තියක් මුල් කරන් පටන් අරගත්තම ඒක බෙදෙනවා විශ්වවිද්‍යාල අනුව. විශ්වවිද්‍යාල ඒවා බෙදෙනවා ඉස්කෝල අනුව, ගම් අනුව, මෙහෙදි කරන රස්සාව අනුව, එහෙදි කරපු රස්සාව අනුව, එකට පෑහෙන්න බැරි මිනිස්සු අනුව, තව එකෙක් සභාපතිකම කරනවා දරාගන්න බැරි එවුන් අනුව, දරුවො ගොඩ ගිය එවුන් අනුව, කරන්න පුළුවන් ක්‍රීඩාව අනුව. කියලා වැඩක් නෑ. පන්සලක් ගත්තම ඒකට අයිතිකාරයො ඉන්නවා. පන්සලේ හාමුදුරුවන්ටත් ස්ටුඩන්ට් කෙනෙක් එහෙම පුංචි වාහනයක ගියාම SUV වලින් ආව කට්ටිය මිසක් අර මිනිහා පේන්නෙත් නෑ. අඩු ගානෙ සමහර හාමුදුරුවරුන්ට වැන්දහම තෙරුවන් සරණයි කියන්නවත් දිව නැමෙන්නෙ නෑ. තව ගොඩක් දේවල් තිබුණත් නොලියා ඉන්නවා.

      මලීට වගේම දයාරත්න මහත්මයාටත් ගොඩක් ස්තුතියි පෝස්ට් එකට දායකවීම ගැන.

      Delete
  16. අක්කේ, ඇඳුම් කතාවටනම් මමත් එකඟයි...මොකද පාරකට බැස්ස ගමන් ඒක තේරෙනවා....අනික හිතන තරම් ගානකුත් නෑ...ඕෆ් සීසන් කාලේට ගත්තාම ඩිස්කවුන්ට් උනත් තියේ...
    ඇත්තම කතාව ලංකාවේ මිනිස්සු ලස්සනට අඳින්නේ නෑ...පාට එහෙම අනේමන්දා...ඇස් කඩන් යනවා....

    ReplyDelete
    Replies
    1. ඔව්. සීසන් එක ඉවර වේගෙන යනකොට සේල් දැම්මම ගන්න එක තමයි ලාබම. සීසන් එක පටන් ගන්න කාලෙට ඒකට අදාල ඇඳුම් ගොඩක් මිළයි. සපත්තු උනත් එහෙමයි. ලංකාවෙ මිනිස්සු ලස්සනට අඳින්නෙ නෑ කියන එකට යම් තරමකට මාත් එකඟයි. වැඩියම වෙලා තියෙන්නෙ එහෙම අඳින්න වුවමනාවක් නැති එක. ලංකාවෙ ඉන්දියාවෙ පිරිමි වැඩි දෙනෙක් ගත්තොත් අඳින්නෙ අර හරහට ඉරි තියෙන ටී ෂර්ට්. අනේ අර ලස්සන ඒවා තියෙනවා මෙහේ. අරන් ඇඳපල්ලකෝ. ගානත් අඩුයි. ඩොලර් පහේ ඉඳලම තියෙනවා. ඇඳලා විසි කරපල්ලකො. ඕවා තියෙන්නෙ සදහටම අඳින්න නෙවේනෙ. මං වැඩ කරන තැන ඉන්දියන් මනුස්සයෙක් ඉන්නවා හොඳ රස්සාවක් කරන. මං එතන අවුරුදු දහයකට වැඩිය දැන් වැඩ කරන්නෙ. එදා සිට අද දක්වාම ඒ මිනිහා අඳින්නෙ එකම රතුයි සුදුයි කළුයි හරහට ඉරි වැටුනු ටී ෂර්ට් එකක්. වැඩ කරනකොට යුනිෆෝම් එකට බහින නිසා මිනිහට වගේ වගක් නෑ.

      ගෑණු අයත් අනේ ලස්සනට අඳින්න වයස මොකක් උනත්. පුංචි මේකප් එකක් එහම දාලා ප්‍රසන්න විදියට පිරිසිදුව ඉන්න. මෙහේ ආච්චිලත් පාරට බහින්නෙ ලස්සනට මේකප් දාලා, අඳින ඇඳුමට ගැලපෙන විදියට මාල කරාබු දාලා එහෙම. හරිම පිළිවෙලයි.

      අනිත් එක තමයි ඔය ගෑණු පිරිමි දෙගොල්ලන්ටම කියන්නෙ ඩියෝඩරන්ට් පාවිච්චි කරන්න හැමදාම ප්ලීස්. මාත් එක්ක වැඩ කරන අපේ එකෙක් (මෙහේ කාලයක් හිටපු ) දාඩිය ගඳ නිසා සවුත්තු වෙන තරමක්. අනිත් අය කම්ප්ලේන් කරනකොට බොස් ගෙන්නලා කිව්වත් දවසයි දෙකයි. ආයෙත් ගඳ ගහනවා. ඇත්තම කිව්වොත් ගූ ගඳයි. සොරි. මං ඕක මනූට කිව්වම කියනවා කොච්චර කල් මෙහේ හිටියත් ඌ ටොයිලට් රෝල් පාවිච්චි කරන්න දන්නෙ නැති එකෙක් හින්දා ඇට්ටිම්බෙන් ඉන්නවද දන්නෙ නැතිලු. ;P අපිටත් එක්ක ලැජ්ජයි.

      Delete
  17. කැන්ගරු දේසෙ කියන්නේ මහද්වීපයක්නේ.අනේ ඉතින් ඔය ඔච්චර නිකම් ඉඩ කඩම් තියෙන එකේ කට්ටියව ගෙන්න ගන්න ආණ්ඩුවට බලකරන්නකෝ පාරට බැහැලා හිටං.:D

    ලංකාවෙන් පිට වැඩිම සංක්‍රමණික සිංහල ජනතාවක් ඉන්නේ මෙල්බර්න් වල කියලා මම අහලා තියෙනවා.කොහොමත් අපේ මිනිස්සු ආගන්තුක පරිසරයකට අනුගත වෙන්නේ බොහොම හෙමිහිටනේ.එක මාත් ඇතුළුව බොහෝ ලංකිකයන්ගේ ගති ස්භාවයක්නේ.රටින් පිට ගියත් ඔව්ව එක පාරට වෙන කර ගන්න බැරි ඒ හේතුව නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එක පාරටම නෙවෙයි මනෝජ්, සෑහෙන කාලයක් ඉඳලත් සමහරු වෙනස් වෙලා නෑ. සමහරුන්ට එහෙම වෙනස් වෙන්න වුවමනාවකුත් නෑ. විශ්වාස කරනවද මෙල්බර්න්වල කාලි අම්මා දේවාල හිටන් තියෙනවා කියලා. වශී ගුරුකම් කරන අය එහෙම අඩු නැතුව ඉන්නවා. මනෝජ්ටත් වශි ගුරුකමක් හෙම කරවාගන්න ඕන නම් මෙල්බර්න් පැත්තට ගියාම ලෝකල් ඒවට වැඩිය හොඳ ඒවා හම්බවෙයි මයෙ හිතේ. ;P රට ඒවා වඩා හොඳයි කියනවනෙ. පර්ත්වලත් සමහර විට තියෙන්න පුළුවන් හැබැයි මට නම් තවම අහන්න ලැබිලා නෑ.

      මං අහන්නෙ ඔව්වා ඔච්චරටම ඕන නම් ඇයි ඒවා ඕසෙට තියෙන ගම් රටවල් දාලා මෙහේ එන්නෙ. කවුරු උනත් පිටරටකට යන්නෙ තමුන්ගෙ රටේ ගත කළ ජීවිතේට වඩා හොඳ, තත්වයෙන් උසස් ජීවිතයක් ගත කරන්න කියලනෙ. ආයෙ එතනත් ගිහින් අර එහේදි කරපු අළුගුත්තේරු වැඩමයි කරන්නෙ. ඉතින් ඕවට ගෑවිලා හිටිය කෙනෙක් හරි මෙහේ ගොඩ බැහැලා තිබුනොත් කල්ල මරේ. දේවාල දාගෙන, බලහත්කාරයෙන් අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිත ආක්‍රමණය කරගෙන. බලන්න ඕන කෙරුවාව.

      Delete


  18. කියල තියන කරුනු බොහොමයක් හරි කියලා හිතෙනවා. නමුත් සමහරක් කරුනුවලට නම් එකග වෙන්න අමාරුයි ලිපිය හුඟක් දිග නිසා එකෙන් එකෙ විස්තර කරන්න අමාරුයි ඔබ පර්ත් නුවර පදිංචියට පැමින කොපමන කලක් වෙනවද

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඇනෝ. මං ලියන්නෙ මගේ අත්දැකීම් වලින්. ඇනෝ එකඟ නොවෙන්නෙ ඇනෝගෙ අත්දැකීම් වලින්නේ. අපි දෙන්නගෙ අත්දැකීම් එකම දේවල් නෙවෙයිනෙ අනේ. ඉතින් කොහොමද අපි හැම දේටම එකඟ වෙන්නෙ? :D

      Delete