Total Pageviews

Monday, 7 October 2019

අමුතු මිනිස්සු 1

Related image

Twitter.com


මට කාලෙක ඉඳන් හිති හිතී තිබුනු දෙයක් තමයි මේ දවසින් දවස මුණ ගැහෙන අමුතු මිනිස්සු ගැන ලියන්න. හැබැයි ඉතින් මෙහෙමයි. මේ 'අමුතු'කම බොහොම සාපේක්ෂ දෙයක්. මට අමුතු කෙනෙක් තව කෙනෙකුට අමුතු නොවෙන්න පුළුවන් වගේම මේක ලියන මමත් තව කෙනෙකුට අමුතු කෙනෙක් වෙන්න පුළුවන්. හරියට කෙනෙකුගේ ලස්සන වගේ.



අනුන් ගැන කියන්න ඉස්සෙල්ලා මං ගැන කිව්වොත් බොහොමයක් වෙලාවට මගේ අවට සිද්ද වෙන දේවල් ගැන අන්තිමටම දැනගන්නෙ මේ මං තමයි. සමහර නිව්ස් අවුරුදු ගානක් පරණ ඒවා, මට නිව්ස් උනාට. ඒක වෙලා තියෙන්නෙ අනිත් අය මටම කියන දෙයක් මිසක් එක එකාට කියන දේවල් රබර් කණ දාලා අහගෙන ඉන්න පුරුද්දක්වත් වුවමනාවක්වත් නොතිබීම. එහෙම එකක්  බලහත්කාරයෙන් උත්සාහයක් දරලා හරි අහගෙන ඉන්න ඕන කියලා කණ ටියුන් කරගත්තත් විනාඩියක් විතර යද්දි ඒක මතක නැතිවෙලා වෙන වෙන බහුබූත ජාති තමයි හිත හිතා ඉන්නෙ. ඒක පුංචි කාලෙ ඉඳන්ම තිබුනු ගතියක්.

ඔන්න උදාහරණයකට ගත්තොත්, අපේ අම්මා කඩේ යනවා පුංචි මාත් එක්ක. දන්නවනෙ ඉතින් ඒ කාලෙ දැන් වගේ නෙවෙයි යනකම් එනකම් පාර දිගේ හම්බුවෙන අයයි, ගෙවල්වල මිදුල්වල ඉන්න අයයි ඔක්කොම එක්ක කතා කර, කර භූමිතෙල් කරත්තෙ වගේ හෝල්ට් හැට පහක විතර නවත්ත නවත්තා තමයි කඩේට යන්නෙ. ඉතින් ඔන්න ඔහොම කතා කරන වෙලාවක අපේ පන්තියේ හිටිය එමිල්ගෙ අම්මා කතාව පටන් ගන්නවා.

"කඩේ යනවැයි?" අපේ අම්මා සාරියක් ඇඳගෙන මල්ලත් අරගෙන හැමදාම ඒ වෙලාවට කඩේ යන බව සහසුද්දෙන්ම දැනගෙන හිටියත් කතාවට එන්ටර් වෙන්නෙ එහෙම.

"ඒක ඉතින් චාරිත්තරේ වගේ හැමදාම කෙරෙන එකක්නේ," කියාගෙන අම්මත් නවතිනවා.

"දැන් මේ මියුරු ලොකුයිනෙ. එයාට පුළුවන්නෙ අම්මා නැතුව තනියම කඩේ ගිහින් එන්න," කියලා අර ඇන්ටි කිව්වම මං අම්මගෙ පිටිපස්සට වෙලා ඇඹරෙන්නෙ ඒ මනුස්සයත් එක්ක කේන්තියෙන්. එයාට මොකද අපේ අම්මා කඩේ ගියාම. මං කොහොමද තනියම යන්නෙ. මං තවම පොඩියිනෙ. බිල්ලෙක් ඇවිත් අරන් ගියොත් එහෙම. අපෝ කරවල වාඩියක් කරවල වේලන්න තමයි වෙන්නෙ එහෙම උනොත්. ඔන්න මට මැවිලා පේනවා පොල් අතු වලින් හදපු වෙරළක තියෙන කරවල වාඩියි, ඒ ඉස්සරහ වැල්ලෙ වේලෙන්න දාලා තියෙන කරවලයි, කරවල වේලන ළමයිනුයි. ඒ ළමයින්ට හරියට කන්න දෙන්නෙත් නැහැයිලු. හරියට ගහනවලු. ඔන්න මට පේනවා අර කරවල වේලන ළමයි අතරෙ මාත් ඉන්නවා වැරහැල්ලක් ඇඳගෙන, කෙට්ටු වෙලා කන්න දෙයක් නැතුව. මට මතක් උනේ මං හැමදාම ඉන්ටවල් එකට කන්න ගෙනියන බනිස් ගෙඩි දෙක. මං කොහොමද බනිස් නොකා ඉන්නෙ. උදේට ඉස්කෝලෙ යන ගමන් බනිස් දෙකක් බේකරියෙන් ගන්නකොට බේකරි අන්කල් හිනාවෙනවා ඒක කාලා ඉවර කරන්න පුළුවන්ද කියලා ඉන්ටවල් එකේදි. (ඒ කාලෙ තිබ්බ බනිස් දැන් තියෙන හින්නෙකිතර ඒවා වගේ නෙවේ. ලොකුයි. කිඹුලා බනිස් හූනා බනිස් දක්වා පරිණාමය වෙච්ච විදියටමයි නිකම් බනිසෙත් පරිණාමය.) එයාලට ඒ පැහිච්චකමෙන් වැඩක් නෑනෙ. කන්නෙ මමනෙ. ඒ උනාට ඊයෙ මගේ බනිස් ගෙඩි දෙකෙන් එකකට කාක්කෙක් වැහුවනෙ. ලක්මාලිගෙ නංගි මගේ කෑම පෙට්ටියේ තිබ්බ බනිසක් ඕනම කියලා ඇඬුවනෙ. එයා ගෙනාපු බටර් පාන් කෑල්ලක් දීලා මගෙන් බනිසක් ගත්තා. අපරාදෙ මං මෝඩය වගේ බනිසක්ම දුන්නෙ. මට තිබුනෙ බාගයක් දෙන්න.

".... පුතේ?"

ඊළඟ දවසෙ මං එයාලත් එක්ක කෑම කන්නෙ නැතුව තනියම කනවා.

"මියුරූ…!" මං උඩ ගිහින් බිම වැටිලා කටත් ඇරගෙන අම්මා දිහා බලන් ඉන්නෙ.

"ඈ…?" මොකක්ද ඇහුවෙ?

"කණ ඇහෙන්නෙ නැද්ද? මේ ඇන්ටි අහනවා අද එමිල්ට චක්කරේ බෑ කියලා මිස් ගැහුවද කියලා."

ඔන්න ඔහොමයි මම. අදට කියලත් කිසිම වෙනසක් වෙලා නෑ. මුල සිට අගටම හරියකට අහගෙන ඉන්නෙ දරුවො දෙන්නා කියන දේවල් විතරයි. මනූ ගෙදර ඉන්න දවසටත් ලෝකෙ නැති වැල් බයිලා ගහනකොට, කතාව දිග නම් මුල හරිය විතරයි ඇහෙන්නෙ. ඒ අතින් නම් අපි දෙන්නම එකයි. මං මොනවා හරි වැදගත් දෙයක් වරුවක් තිස්සෙ කියවලා, කියවලා අහනව නේද අන්තිමට ප්‍රශ්ණයක් "මං මොකක්ද දැන් ඒකට කරන්නෙ," කියලා…. මනුස්සයගෙ සද්දයක් නෑ. "ඇහුනද මං කියපු දේ?" මූණට එබිලා ඇහුවම මේ දැන් ඇහැරුනා වගේ, "මොකක්ද කිව්වෙ?" කියලා අහනවා. බලනකොට මං වරුවක් තිස්සෙ කියපුවා මොකුත් ඇහිලා නෑ. ආයෙ කියපංකො අර ඔක්කොම. වැඩේ ඩෙස්පරේට් නම් ඇරුනුකොට මං යනවා යන්න. සෙද්ද...




Image may contain: text



Facebook





8 comments:

  1. කියෙව්වත් මම නිතර..හ්ම්ම් තමා ඌ දන්න පිළිතුර...මේක නම් අනේ මන්ද. වෙලාවකට අනින්න හිතෙනවා දෙකක්.

    ReplyDelete
  2. ලස්සන කුඩා කාලයක්.
    හස්බන්ඩා කියන ඒවට කන් නොදෙන්නේ සංනිවේදන ගැටළුවක් නිසානෙ. කියනදේ කෙටියෙන් සහ උනන්දුව අඩු නොවන ආකාරයෙන් ඉදිරිපත් කරන්න එපායැ. අනික අන්තිම වෙනකම් නොඉඳ මැදින් ප්‍රශ්ණයක් දෙකක් ඇහුවාම උනන්දුව අඩු නොවී තියාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මැදින් ප්‍රශ්ණ අහනකොටත් 'මොකක්ද?' කියල අහනවනෙ අනේ. කතාවෙ ටිකයි නම් කියල තිබුනෙ අවුලක් නැතුව රිපීට්. ඒ උනාට මුළු කතාවම කියල ඉවර වෙනකොටත් එහෙම අහනකොට තමයි ඉතින් ඉවසන්න බැරි. අනිත් වෙලාවට බකමූණු මෝඩ් එකේ තමයි ඉන්නෙ. :D

      Delete
  3. මියුරැ ඔබේ ලිපිවල හරිම හුරැ පුරැදු ගතියක් දැනෙනවා, ලoකාවේ ගත කරපු සුන්දර අතීතය මතක් වෙනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි ඒන්ජල්.

      බොහොමයක් ඒවා අපි කාටත් පොදු අත්දැකීම් නිසා වෙන්න ඇති සුපුරුදු ගතියක් දැනෙන්නෙ.

      Delete
  4. භූමිතෙල් කරත්ත ඇත්තටම දැක තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. අර රතුපාට බැරල් එකේ පන්දම අරන් යන මිනිහා ඇඳලා හිටියෙ. ගොන් කරත්තෙක තමයි ගෙනිච්චෙ. පුනීලයක් තිබුනා ටැප් එක ඇරලා බෝතල් වලට ගැලුම් වලට වත් කරන්න. ඒ කාලෙ බෝතල්, ගැලුම්නෙ මිණුම් උනේ. මට මතක එහෙම.

      Delete