මේ වගේ ලිපියක් ලියන්න කාලයක ඉඳන් බලාගෙන හිටියට ඒක මොන විදියට කට්ටිය අතරට යයිද කියල හිතුනු නිසා හැමදාම වැඩේ පස්සට ගියා. ඒත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල අහපු දැකපු අත් විඳපු සමහර දේවල් නිසා හිතුනා දැන් නම් ලියන්නම ඕන කියලා. මේක ලියන්නෙ 'තොපි මෙහෙට අළුතින් ආවාම තොපිට අපි නැතුව මේකෙ පය ගහගන්න බෑ' කියන අදහස දෙන්න නම් නෙමේ කියලා මුලින්ම කියන්න ඕන. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔය ලංකාවෙ හිටිය මිනිස්සුම තමයි මෙහේ ඇවිත් ඉන්නෙ. ඒ කියන්නෙ කැලේ මාරු උනාට පුල්ලි ටික එහෙමමයි. ඒ හින්දා ලංකාවෙදි අපතයෙක් වෙච්ච කෙනා, මෙහේදිත් අපතයෙක්මයි. එහෙම අයගෙන් උදව් ගන්න ලොකුවට බලාපොරොත්තු තියන් ඇවිත් අර ගම් රටවලදි කරපු අපත වැඩ මෙහේදිත් කළාම හිත නරක් කර ගන්න ඉඩ තියාගන්න එපා. මොකද ගමේදි වගේ නෙවේ, මෙහේදි කාත් කවුරුවත් නැති රටේ තමුන්ගෙ රටේ එකෙක් එහෙම කළාම හිතට දැනෙනවා වැඩියි. නොසෑහෙන දුකක් දැනෙනවා වගේම ඒ හිත රිදවීම ජීවිතේට අමතක වෙන්නෙ නෑ.