Total Pageviews

Saturday, 16 July 2016

මතකය...



මං ලියන කතා බැලුවම අපේ පවුලෙ අයට හරි පුදුමයි මට මෙච්චර දේවල් මතක තියෙන්නෙ කොහොමද කියලා... ඒ සමහරක් ඒවා මං ගොඩාක් පුංචි කාලෙදි වුනු සිදුවීම්... සමහර මතකයන් සම්බන්ධව කියන්න තරම් දිග කතා නැත්තෙ ඒවා නිකම්ම සිදුවීම් දාමයන් හින්දයි... ඒ උනාට සමහර මෑත සිදුවීම් මතකයෙන් ගිලිහිලා තියෙන්නෙ පුදුම විදියට... සමහර පුද්ගලයොත් එහෙමයි... සමහරුන්ව දැක්කම හොඳට පුරුදු කෙනෙක් කියල මතක් උනාට කොහෙදිද මෙයාව දැක්කෙ, කතා කළේ, නම මොකක්ද කියන විස්තර මතකයට එන්නෙම නෑ... ටියුබ් ලයිට්... ඒක පත්තු වෙන්නෙ සමහරවිට ගෙදර ආවටත් පස්සෙ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි... ඒ වැඩේ නම් මහ සවුත්තුම දෙයක්....

Friday, 8 July 2016

ලොරියා...

ඒ කොල්ලට ලොරියා කියන නම කොහොම වැටුනද කියන්න මං අදටත් දන්නෙ නෑ... හැබැයි මිනිහා අපේ ගමේ මහා විද්‍යාලයේ දිවීමේ ශූරයෙක් කියන එක නම් දැනගෙන හිටියා... කඩවසම් මූණකුත් ෆිට් ඇඟකුත් තිබුනා උනාට මිනිහා කොටා... අඬු දිග කොල්ලො පරද්දගෙන කොට අඬු තිය තියා මේ කොටා වේගෙන් දුවනවා ඒ දවස්වල එක සැරයක් මං දැකලා තිබුණා... මිනිහට ඉගෙන ගන්න නම් බෑ... පොර හෙන කුකුළා... කෙල්ලොත් මිනිහට වැහි වැහැලා... පොරට කවුරු උනත් කමක් නෑ එවෙලෙ දැක්කද, ඒ ඇති...

Sunday, 5 June 2016

කාක් ගින්න.....


අපි පුංචි කාලෙ අපේ අම්මලා නොසෑහෙන්න දුක් විඳිනවනෙ කෑම කටක් කවා ගන්න.... රටේ නැති පච දෙස දෙසා (හරි නම් ඒවා ඇති පණ පිටින් අපාගත වෙන්න ) ගේ වටේ ඇවිද ඇවිද හෙමනෙ යාන්තම් බත් ගුලියක් එහාට දා ගන්නෙ... එහෙම දුක් විඳලා කව්ව ගත්ත කාලෙ පහු උනාම ඊළඟට එනවනෙ කොයි තරම් කෑම තිබ්බත් මදි වෙන කාලයක්.... ඕං අපේ ගෙදරත් එහෙව් කාලයක් උදාවෙච්චි...(දැන් මගේ ගෙදරත් ඉන්නව ඒ ජාතියෙ එක්කෙනෙක්... සමහරදාට මං වැඩට ගියාම කෝල් කරලා මනූගෙන් අහනවා මෙයා බඩගින්නෙද, නැතිනම් මොනව හරි කෑවද කියලා... එක දවසක් ඔහොම අහනකොට මනූ කියනවා 'යන්තම් කෑම තියෙන කබඩ් එකේ ලෑලි ටික ඉතුරුවෙලා තියෙනවා තවම' කියලා...) අපේ ගෙදර ඔය ගින්න වැඩිපුරම බලපෑවෙ අපේ ලොකු නංගිට... ගේ ඇතුලෙ කෑම තියෙන්න පුළුවන් කියල හිතෙන සෑම අහුමුල්ලක්ම අවුස්සන උන්දැගෙ ගින්නට අපේ අම්මා කිව්වෙ 'කාක් ගින්න' කියලා.... කාක්කට වගේ ඒ ගින්න නිවෙන්න කොච්චර කෑම තිබ්බත් මදි....


Tuesday, 6 May 2014

අමුතු පත්තරේ...


මං කැම්පස් යන දවස්වල, කාලයක් හිටියෙ ෆෘට් සැලඩ් බෝඩිමක..... ඒකෙ ඉස්කෝලෙ යන ළමයිනුයි, කැම්පස් යන එව්වොයි, කෝස් කරන උනුයි මදිවට රස්සාවලට යන උනුත් හිටියා... අපි හිටියෙ උඩ තට්ටුවේ... අයිතිකාරයො පහළ..... මං හිටපු කාමරේ තමයි ලොකුම එක... ඒකෙ අපි හතර දෙනෙක් හිටියා... හතර දෙනාම කැම්පස් උන්... හැබැයි මං විතරයි රස්සාවක් කළේ...

ඔය කාලෙ තමයි මං ජීවිතේටම වැඩිපුරම ගල් වැලි කෑවෙ බතුත් එක්ක... ඇන්ටිගෙ හාල් ගැරිල්ල ආච්චිට හාල් ගැරිල්ලක්... මගේ අතේ සල්ලි තිබ්බ නිසා මමයි, කාමරේ හිටපු යාළුවෙක් වුනු ඩිලානියි දෙන්නා සමහර දවස්වලට හවසට එළියට ගිහින් කඩේකින් මොනව හරි කාල එනව... ඒ වගේම බිස්කට්, කේක්, චොකලට් වගේ ජාති අනිත් උන්ට හොරෙන් තියාගෙන කාමරේ දොර වහගෙන කෑවා... ඇයි යකෝ බෙදනව කියල කී දෙනෙකුට බෙදන්නද... කාපු චොකලට් ගාන බලා ගත්තැකි මගේ ඇඳ දිහා බැලුවම... ඒ කාලෙ චොකලට් හැම එකටම වගේ ස්ටිකර් හම්බුවෙනවනෙ... අපරාදෙනෙ අය්යො නිකම් හම්බුවෙන එක උනාට ඕව විසි කරන එක... ඉතින් ඕවා අලවලා අලවලා ඇඳ වැහිලා ස්ටිකර් වලින්... අම්මා මං බලන්න ආවම හැමදාම කම්මුලේ අත තියාගන්නව ඕක දැකලා... ඇයි ඉතින් එන එන සැරේට සංඛ්‍යාව වැඩි වෙලානෙ...

Monday, 7 April 2014

චූටි නංගි......


අපේ චූටි නංගිට චූටියි කිව්වට ඉතින් පොඩි කාලෙ ඉඳලම චූටි නැතිලු හොඳේ..... මෙයා ඉපැදුනු දවස්වල කොච්චර චූටිද කියනවා නම් අපේ අම්මට තනියම හරහට අරගෙන මුන්දව නාවන්නවත් බෑ.... ඔය කාරණේ හින්දා අර මං කලින් කතාවල කිව්ව නැන්දට අමතරව අම්මල තවත් නැන්දෙක් එක්කන් ආව....

Tuesday, 11 March 2014

Ansette Australia

Ansett logo.svg

පර්ත් සම්බන්ධ පරණ තොරතුරු සොයද්දි මං මේක දැක්කෙ අහම්බෙන්... මීට කලින් මෙහෙම එයාලයින් එකක් ගැන අහලම තිබ්බෙ නැති නිසා විස්තර ටිකක් හොයන්න හිතුනා... ඒවායින් සමහරක් පහළ...

Ansette Australia Airlines කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වලින් 1936 පටන් ගත්තු ඉතා විශාල එයාලයින් ගෲප් එකක්... හරියට දැන් තියෙන Qantas වගෙයි... සමහර ස්ථානවල කියලා තියෙනවා මේක Sir Reginald Miles Ansett විසින් Ansett Airways Pty. Ltd විදියට 1935 දි පටන් ගත්තාය කියලත්... ඒ කාලෙ මේ මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය මොන තරම් සාර්ථක උනාද කියලා කියතොත් ඒක Victorian Railways එකේ ආදායමට පවා තර්ජනයක් උනාලු... මෙයාලගෙ ගුවන් යානා පළමුවෙනි වතාවට ගමන් කරලා තියෙන්නෙ වික්ටෝරියා ප්‍රාන්තෙ හැමිල්ටන් වල ඉඳලා මෙල්බර්න් දක්වායි.... එක සාර්ථක වෙච්ච පාර තවත් අළුත් ගුවන් යානා ගෙන්වලා අනිත් ප්‍රාන්තවලටත් ගුවන් ගමන් ව්‍යාප්ත කරලා තියෙනවා... 1940 ඉඳලා 1990 දක්වා කාලය තමයි මෙයාලගෙ ස්වර්ණමය යුගය වෙලා තිබිලා තියෙන්නෙ...

මෙයාලා 1993 දි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා... 1993 සැප්තැම්බර් 11 ඉන්දුනීසියාවෙ බාලි වලින් ආරම්භ කරපු ජාත්‍යන්තර ගුවන් ගමන් සේවය, පසුකාලීනව ජපානයේ ඔසාකා වලටත් හොං කොං, සෝල්, තායිපෙයි, ක්වාලා ලම්පූර්, ෂැංහයි, ජාකාර්තා වලටත් ව්‍යාප්ත කරලා... ඒ උනාට වැඩිකල් නොයවාම සෝල්, තායිපෙයි සහ ක්වාලාලම්පූර් ගුවන් ගමන් නතර කරලා තියෙනවා......

Monday, 3 March 2014

මැජික් පෙන්නපු ඉස්කෝලෙ....

මං පුංචි කාලෙ ගියේ කතෝලික පල්ලියක තිබුණු සොන්ටිමෝරියකට... අපේ පැත්ත පළාතටම තිබ්බෙ එකම එක කතෝලික පල්ලියයි... ඒකට සම්බන්ධ කතෝලික පාසැල් දෙකක් තිබුණා...... එකක් කොන්වන්ට් එකක්, අනික මිශ්‍ර පාසැලක්... අපේ අම්මා මේ කියන කාලෙ ඉගැන්නුවේ ඔය මිශ්‍ර පාසැලේ... අම්මට මාව අරන් යන්න එන්න ලේසි නිසා වෙන්න ඕන මාව එතැනට දාන්න ඇත්තෙ... එතැනට යවලා අකුරු උගන්වන පරමාර්ථයක් තියෙන්න නැතුව ඇතියි කියලා මට හිතුනෙ මට බාල නංගිලා දෙන්නම කවදාවත් මොන්ටිසෝරියකට යවලා නැති හින්දා..... ආයෙ ඉතින් උන්දලාව එහෙම යවන්න හේතුවක් තිබුණෙ නෑ තමයි, මොකද මං උන් දෙන්නා අකුරු කියවන්නත් කලින් උන්ට උගන්නන්න පටන් ගත්තනෙ.....

අපේ ගුරුවරු ඔක්කොම සිස්ටර්ස්ලා...  ඔක්කොම තුන්දෙනෙක් හිටියා... තව මදර් කෙනෙකුත් හිටියා හැමදාම උදේට දකින... සුදුම සුදුයි... හැබැයි හෙන බරපතල මූණක් තිබ්බෙ... කාත් එක්කවත් හිනාවක් නෑ... අපි පියානෝ එක ළඟට ගිහින් 'පායනා කාලෙදී - රෑ දවල් මහන්සි වී - කන්න දේ රැස් කරයි කූඹියෝ' කියනකොට පියානෝ එක ගැහුවෙ එයා තමයි... ඔය සිස්ටර්ස්ලා අතරින් මට විශේෂ ආදරයක් පෙන්නපු කෙනෙකුත් හිටියා... අපේ අම්මටත් ඒක දැනිලා මගෙන් ඇහුවා ඒ සිස්ටර්ගෙ නම මොකක්ද කියලා...
'සැලළිහිණියා..' මං ගත් කටට කිව්වා...
'සැලළිහිණියා කියන්නෙ නමක් නෙවේනෙ පුතේ... කුරුල්ලෙක්නෙ...' අම්මා කිව්වා..
'ඒ උනාට ඒක තමයි එයාගෙ නම...'
ඉතින් කොහේ විරුද්ධ වෙන්නද අම්ම... ඒ උනාට මං එදා ඉඳලා හැමදාම ඒ සිස්ටර්ගෙ නම ඇහුවත් ගෙදර එනකොට මං බබාට මතක සැලළිහිණියා කියන එකමයි... කාටද ඒ වගේ බරපතල දිග නම් මතක තියාගන්න පුළුවන්...