Total Pageviews

Monday 7 April 2014

චූටි නංගි......


අපේ චූටි නංගිට චූටියි කිව්වට ඉතින් පොඩි කාලෙ ඉඳලම චූටි නැතිලු හොඳේ..... මෙයා ඉපැදුනු දවස්වල කොච්චර චූටිද කියනවා නම් අපේ අම්මට තනියම හරහට අරගෙන මුන්දව නාවන්නවත් බෑ.... ඔය කාරණේ හින්දා අර මං කලින් කතාවල කිව්ව නැන්දට අමතරව අම්මල තවත් නැන්දෙක් එක්කන් ආව....




අපේ ඒ කලින් කිව්ව නැන්දා ගැන දැනගන්න කැමති මීට කලින් කියවලා නැති අය මෙන්න මේ ලින්ක් වලට ගිහිල්ල බලන්නකෝ....
චණ්ඩියා
බිත්තරයක් කළ හදියක්

මේ අළුත් නැන්දා අපේ අම්මගෙ මාමා කෙනෙකුගෙ දුවෙක්... එයා හුඟක් උස මහත කෙනෙක්... එයා තමයි අන්තිමට අපේ මේ 'චූටි' නඟාව පොඩි කාලෙ ආං බාං කළේ... ඔය කාලෙ අපේ ගෙදර එකම යුද්දයයි... තාත්තා වැඩ කළේ දුර පළාතක... තාත්තට කෑම ගෙනියන්න පාන්දර 4.30 ට නැගිටල උයන්න ඕන... තාත්තා වැඩ ඇරිල එන්නෙ අපි නිදාගත්තට පස්සෙ... ඔය නිසා අපි තාත්තව හොඳට දැක්කෙ සති අන්තෙ විතරයි.... අපේ ලොකු නඟාත් ඉස්කෝලෙ යන්නෙ නෑ... ඉතින් ඔය කාලෙ අලි මදිවට හරක් කියල අර මං 'බිත්තරේ' කතාවෙ කිව්ව ලොකු සීයත් අපේ ගෙදර හිටියනෙ... හාපෝ... ඉතින් මේක එකම යම යුද්දයක්.... මේ කාලෙ අර ඉස්සෙල්ලා ඉඳන් හිටපු නැන්දා 1, හැමතිස්සෙම තර්ජනය කළාලු මේ සුමේ තනියම කරන්න බෑ, ගෙදර යනව කියල.... නැන්දා 2 එක්කන් ආවට එයා ආවෙ චූටි නංගිව බලාගන්න නිසා එයත් එතැනින් එහාට මොකුත් කරන්නෙ නෑ.... අනෙ අප්පේ... ඔන්න ඒ ගමන තව එක්කෙනෙක් එක්කන් ආව... එයාගෙ නම 'තිලකා' කියමු.... ඇත්තටම මට එයාගෙ නම දැන් මතකත් නෑ.... අන්තිමට උනේ මොකද නැන්දා 1 සහ 2 ඥාතිකම හිතට අරන් ඔක්කොම කුස්සියේ වැඩ තිලකට බාරදීලා, නැන්දා 1 ලොකු සීයගෙයි, ලොකු නංගිගෙයි ආවතේවත්, නැන්දා 2 චූටි නගාගෙ ආවතේවත් විදියට තමයි වැඩේ ඇදගෙන ගියේ......


වැඩේ ඇදගෙන ගියා කිව්වට ඔය දවස්වල අපේ ගෙදර හරි මරු.... තාත්තත් උදේ පාන්දරම වැඩට යනවනෙ.... ඉතින් මාව ඉස්කෝලෙ එක්කන් ගියේ අපේ පැත්තෙ ගෙදරක වැඩට හිටිය රතු අක්ක කියල කෙනෙක්.... මෙයා අවුරුදු පණහක් විතර කෙනෙක් උනාට ලොකු පොඩි හැමෝම මෙයාට කිව්වෙ රතු අක්ක කියල.... ඒ දවස්වල එයා අපේ අසල්වාසී ගෙවල් කිහිපයකම ළමයි ඉස්කෝලෙ එක්කන් යන එකයි ඉස්කෝලෙන් ගේන එකයි කළා.... අපි ඔක්කොම පොඩි උන් හය දෙනෙක් විතර හිටිය... කිකිළි කුකුල් පැටව් ටික අරන් යනවා වගේ තමයි ඉතින් අපිවත් දක්කන් පාරෙ යනකොට.... මාව ඉස්කෝලෙ පිටත් කළාට පස්සෙ අම්මත් ඉස්කෝලෙ යන්න එළියට බහිනව... ඉතින් ඔන්න අම්මා එළියට බැහැලා පල්ලමේ නොපෙනී යනකොටම අරුන් තුන්දෙනා පටන් ගන්නවලු රණ්ඩු වෙන්න.... ඈ ගාල අඬාගෙන එනවලු ලොකු සීය ළඟට නඩුත් අරගෙන.... ලොකු සීයත් ඉතින් මහා නඩුකාර උන්නාන්සෙ වගේ සාලෙ පුටුවකින් වාඩිවෙලා නඩු විසඳන්න පටන් ගන්නවලු.... නැන්දා 1ගෙ පැත්තට නඩු තීන්දුව දුන්නු දාට සීයට හොඳ රසට තේ ටික, හරියටම වෙලාවට කෑම බීම ටික ලැබෙනවලු.... තිලකගෙ පැත්තට ගිය දාට කෑම රසම රසලු.... නැන්දා 2ගෙ පැත්තට ඇද්ද දාට සීයට පාළුවක් නැතුව කයිය ගහගෙන ඉන්න කෙනෙක් ඉන්නවලු (එයා සීයගෙ මල්ලිගෙ දුවනෙ )..... 


සමහරදාට ඔය නඩු එහෙම ලේසියෙන් විසඳෙන්නෙත් නෑ.... අම්මට ඉස්කෝලෙ ඉවරවෙලා ඇවිත් ගෙට පය ගහන්න වෙන්නෙ නෑ, ඔන්න එකෙක් අඬාගෙන එනව.... ඊළඟට අනිකා.... ඒ බැරිවෙනකොට ඉතුරු එකාත් පටන් ගන්නව.... සමහරදාට අම්ම ඔළුව අල්ලගෙන කෑගහනව.... ඇයි දෙයියනේ ඉස්කෝලෙ යමපල්ලන්ගෙන් බේරිලා ගෙදර ආව ගමන් ඊට හපන්නෙ මේක.... අන්තිමටම බැරි තැන නැන්දා 1ට වගකීම් පවරලා තිලකව ගෙදර යැව්ව..... ඒ වෙනකොට එයාටත් වැඩේ ඇතිවෙලා තිබුණු නිසා ගෑණිත් කැමැත්තෙන්ම වැඩේ බාරගත්තලු....

ඔය කාලෙ වෙච්චි එක සිදුවීමක් මට හොඳට මතකයි... තාත්තට කෑම ගෙනියන්න පාන්දරින් නැගිටල උයන්න ඕන කිව්වනෙ.... අම්ම තමයි වෙලාවට එලාම් එක තියාගෙන නැන්ද 1ව නැගිට්ටන්නෙ... මටත් ඔය එලාම් සද්දෙට ඇහැරෙන නිසා මාත් නැගිටලා පොතකුත් අරන් සාලෙ තිබ්බ මේසෙට වෙනවා.... මේ කියන දවසට කලින් දවසෙ මොකක් හරි දේකට නැන්දලා දෙන්නා රණ්ඩු වුණා... ඒකෙ කේන්තියටද කොහෙද එදා අම්මා නැගිට්ටුවට නැන්දා 1 ඇඳෙන් බැස්සෙ නැති බව මට තේරුනා... මං පැය බාගෙකට විතර පස්සෙ කුස්සිය පැත්තට හොස්ස පොවලා බැලුවම පැත්ත පළාතම කළුවරයි... මං ඒ ගමන අම්මා ගාවට ගිහින් කිව්වා නැන්දා නැගිටලා නැති බව... මල පැනපු අම්මා ඒ වෙනකොට පරක්කුවෙලා තිබ්බ නිසා නැන්දා 2වත් ඇහැරවගෙන කුස්සියට ගියා උයන්න... විනාඩි පහක් විතර යනකොට 'චා....ස්' ගාලා සද්දෙකුත් එක්ක 'හුවෑයි...!' ගාලා කවුදෝ කෑගහන සද්දෙකුත් ඇහුනා... සද්දෙ ආවෙ නැන්දා 1 නිදාගෙන හිටපු දිහාවෙන්... පුටුවත් පස්සට දාලා ඒ පැත්තට දිව්වම මං දැක්කා නැන්දා 2 හිස් පනිට්ටුවකුත් අරගෙන නැන්දා 1ගෙ ඇඳ ළඟ පරල වෙච්ච යකෙක් වගේ බලන් ඉන්නවා... බලනකොට තරහෙන් හිටපු නැන්දා 2, නැන්දා 1ව උදේ පාන්දර වතුර බාල්දියකින් නාවලා, නැගිට්ටෙ නැතුවට... එයාටනෙ ඒ හින්දා නැගිටින්න උනේ... ඒ නැගිට්ටා කියලා උන්දැ ඉව්ව එකක් නෑ... ඇඳුම් මාරු කරගෙන කුස්සියේ හිරමනේ උඩ වාඩිවෙලා ඉකි ගහ ගහ හිටියා දවල් වෙනකම්... පව් උන්දැ...


ඉතින් ඔය අතරෙ අර මං කලින් කිව්ව වගේ අපේ චූටි නංගි නැන්ද 1ගෙ හැඩ රුව ඇතිව උස් මහත් උනා.... මෙයාට වයස අවුරුදු 3ක් විතර වෙනකොට නැන්දා 2 ත් ආපහු ගිහින් නැන්දා 1 විතරයි ආයෙමත් ඉතුරු උනේ.... ඉතින් ඔය නැන්දා ගියාට පස්සෙ අපේ චූටි නගාට කෑම කැවිල්ල මහා සංග්‍රාමයක් උනා... මුන්දා කන්නෙම නෑ.... එහෙම පුළුවන්යැ අර සරීරෙ නඩත්තු කරන්න... ඒ ගමන අම්මලට හෙන උප්පරවැට්ටි තොගයක් දාගන්න උනා මෙයාටයි, කොහොමත් ඔය කාලෙ කෑම නොකන ලොකු නගාටයි කවන්න.... අනේ ඉතින් අම්ම රෑ කෑම කවන්න ගෙයි එළිය පැත්තෙ ලයිට් නිවලා මේ අලි පැටියවත් කර ගහගෙන එළියට යනව.... නැන්දා 1 කෑම පිඟානත් අරන් බත් ගුලි හදාගෙන පස්සෙන් යනව... ලොකු නංගියි මායිත් නැට්ට අල්ලගෙන ඒ පස්සෙන් වැටෙනව.... ඉතින් රෑට බිත්තිය අයිනට ගිහින් හිට ගත්තම හඳ එළියට හෙවනැල්ල වැටෙනවනෙ බිත්තියට.... අම්ම කරන්නෙ ඒ හෙවනැලිවලට කතා හදලා කියනවා බත් ටික කවාගන්න.... අපි තුන්දෙනාගෙ හෙවනැලිවලට නමුත් දාල තිබුණ.... චූටි නංගිගෙ හෙවනැල්ල 'සමන්මලී', ලොකු නගාගෙ 'රුවන්මලී', මගේ 'රන්මලී'.... මං ඔය නම් දාපු දවසෙ මට දාපු නමට ආස නැතුව අම්මත් එක්ක රණ්ඩු වෙලා ඇඬුවත් එක්ක.... ඒත් අම්ම මට බැන්න නංගිටත් වඩා බබා වෙන්න හදනව කියල.... ඒකෙන් සවුත්තු වෙලා ගියපාර මං කටවහගෙන, දාපු නම පිළිඅරගෙන හිටිය... ඒක නිසා ටික දවසක් යනකොට මට ඒ වැඩේ එපා උනා..... ඊට පස්සෙ 'රන්මලීත්' එයාලටම තියාගන්න කියල මං ගියේ නෑ පැත්ත පළාතෙ....

මං කලින් අර 'නම් තියපු හැටි' කතාවෙ කියල තියෙනවනෙ අපේ ගෙදර හිටිය පූස් පරම්පරාව ගැන.... ඉතින් අපේ චූටි නගා තව ටිකක් ලොකු වෙනකොට ඒ කාලෙ හිටිය පූස් පැටිය පුංචි සිංඤ්ඤෝ නොහොත් පුප්පුවාට පුදුම විදියට ආදරේ කරන්න පටන් ගත්ත... ඌත් මෙයාට හරිම ආදරෙයි... පේන මානෙන් එහාට යන්නෙ කන්න බොන්න කක්ක දාන්න විතරයි.... චූටි නගා උදේ නැගිට්ට ගමන්ම කරන්නෙ පූසව හොයාගෙන ඌව තුරුළු කරගෙන, අම්ම උදේ පාන්දර හදලා ඒ වෙනකොට ඇල් වෙලා තියෙන කිරි එකත් අරන් ගේ ඉස්සරහ පඩිය උඩට යන එක.... අර කිරි කෝප්පෙ පූසට බාගයයි, එයාට බාගයයි.... ඒ කරලා මනුස්සයෙකුට කතා කරනවා වගේ අර පූසත් එක්ක කතා කර කර ඉන්නවා හයියෙන් පැයක් දෙකක් විතර.... පූසත් එයා කියන ඒවට ඤාව් කිය කිය අහන් ඉන්නවා හොඳට තුරුළු වෙලා පුරු පුරු ගගා..... 
'ඔයාට මේ ගෙදර කට්ටිය හරියට සලන්නෙ නෑ නේද පැටියො..?'
'ඤාව්...'
'ඒක තමයි.... ඔයාටත් ඒක හොඳට තේරෙනවනෙ... මං දුන්නෙ නැත්නම් කිරි ටිකක්වත් දෙන්න කෙනෙක් නෑනෙ...'
'ඤාව්...' 
'ඒක නේන්නම්. මේගොල්ලො හරිම නරකයි....'
'ඤා....ව්'


ඕක ඒ කාලෙ අපේ අල්ලපු ගෙවල්වලට බොහොම සුපුරුදු දර්ශනයක්.... එයා පහු කාලෙක ඉස්කෝලෙ යන්න පටන් ගත්ත මුල්ම දවස්වල මට මතකයි  අර පූසා කන්නෙ බොන්නෙත් නැතුව චූටි නගා ගලවල දාලා ගිය ඇඳුම් උඩ ලැගගෙන එයා ඉස්කෝලෙ ඇරිලා එනකම් හිටිය හැටි....

ඉතින් ඒ දවස්වල අපි හැමදාම ඉරිදා හවසට සුදු ගවුම් අයන් කරනවා... අපේ උඩ ගෙදර අක්කලා ඒ වෙනකොට  තාවකාලිකව පුංචි ගෙයක් හදාගෙන එයාලගෙ අළුත් ගෙයි වැඩ පටන් අරන් තිබ්බෙ... ඒ තාවකාලික ගෙට ලයිට් අරන් තිබ්බෙ නැති නිසා එයාලා අක්කයි නංගියි ඇඳුම් අයන් කළේ අපේ ගෙදරින්... අපි අයන් කරන්න ගන්නකොට එයාලටත් කියන්න කියලා තිබුණු නිසා අපි ඕක කරන්නෙ හෙන ජොලියෙන්... මහ එපා කරපු වැඩක් නිසා එහෙමවත් දෙයක් තියෙන්නෙ එපායැ...

ඔය කාලෙ චූටි නංගි මරු වැඩකුත් කළා... එයා පුදුම විදියට ඒ උඩ ගෙදර අයට බැඳුනා... ඒ ඇන්ටි මෙයාට හරිම ආදරෙයි... කොටින්ම කිව්වොත් ගෙදරින් බත් එක බෙදාගෙන ඒක කන්න යන්නෙත් එහෙට... ඉතින් අපි කිව්වා ඒ ඉන්නෙ මෙයාගෙ අම්මා කියලා... ඒ කියන වෙලාවට තරහ ගියාට මෙයාගෙ ගමන නතර කරන්න පුළුවන් උනේ නෑ... කළුවර වැටෙනකොට එහේ අක්කා තමයි මෙයාව එක්කන් එන්නෙ...

ඉතින් අර අක්කලා ඇඳුම් අයන් කරන අතරෙ මෙයත් ඒ මේසෙට නිකට තියාගෙන ජනෙල් පඩිය උඩින් වාඩිවෙලා ඒ දිහා බලන් ඉන්නවා... දවසක් එයාලා ඇඳුම් ඔක්කොම මැදලා ඉවර වෙලා ඒ ටික ගෙදර ගෙනියන්න සූදානම් කරන අතරෙ අර රත් වෙච්ච අයන් එක මෙයා ඔය විදියට වාඩිවෙලා හිටිය තැනට ටිකක් එහායින් තියල තිබුණා... ටික වෙලාවක් ඒ දිහා බලන් හිටිය ලොකු නංගි චූටි නංගිට කිව්වා දැන් ඕක නිවිල තියෙන්නෙ, ලෙව කන්න කියලා... ඒ කතාව ඇහිලා හැමෝම හිනා උනා... අර අක්කලා ඇඳුම් ටිකත් අරන් යන්න එළියට බහිනකොට අපිත් ඒ පස්සෙන් ගිහින් ඉස්සරහ දොරෙන් එළියට බැස්සා විතරයි ඇහුනෙ නැතැයි මර විලාපයක්... ආපහු හැරිලා බලනකොට චූටි නංගි දිවත් ඇදගෙන විලාප ගහනවා... අනේ මේ ගොං තඩියා අර ගිනියම් වෙලා තිබ්බ අයන් එක ඇත්තටම ලෙව කාලනෙ...!

pic from http://chemoforbeginners.files.wordpress.com/2012/11/dep_6700130-cute-chubby-girl.jpg?w=150&h=150

69 comments:

  1. හපොයි ඉතින් දිවක් ගෙන්න වුනාද. මටත් මතකයි එක සැරයක් මම ඔහොම් ලනුවක් දීලා අපේ නංගි ආච්චිලාගේ ගෙදර තිබ්බ චිමිනි ලාමපුවේ චිමිනියට නළල තියලා රවුමට පුච්චගෙන හිටියා

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් සාප්පුවෙන් ගේන්න වෙනව බොල... යාන්තම් අම්ම දිව එලියට ඇදල බටර් ගාල සාත්තු කරල බේරල දුන්නා... බොලාගෙ නංගිට වෙච්චි දේත් බලනකොට මෙහෙව් අය්යල අක්කල එක්ක හිටපු නගාලා ඔය තරමෙන්වත් බේරුනා මදෑ... නැද්ද... :D

      Delete
    2. ආපෝ ඔය ඉවානය කොරලා තීන්නෙම ඔය වගේ වසවර්ති වැඩම තමයි! :P :P :D

      Delete
  2. සෑහෙන කාලෙකින් නේද පෝස්ට් එකක් දාන්නෙ?

    ReplyDelete
    Replies
    1. කලින් ගත්තු කාලයේ හැටියට මේක එච්චර කාලයක් නෑ අනේ...

      Delete
  3. හී හී ඇතිවෙන්න හිනාවුණා.. මියුරුට හොඳ මතකයක් තියනවා.. ඒ වගේම හරිම ලස්සනට ලියනවා.. මම ඔක්කොම පෝස්ට් මුල ඉඳන් කියෙව්වා. දිගටම ලියන්න.. සුබ පතනවා ඔයාට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බළල් හාමිනේ... ඔයා බ්ලොග් එකක් ලියන්නෙ නැද්ද...? විවේක අඩු ඇති නේද... :D

      Delete
    2. අපොයි මං බ්ලොග් ලිවිල්ල පටන් ගත්තත් දිගට කරගෙන යන එකක් නැතිවෙයි.. වෙන මොකවත් නෙමේ කම්මැලිකම.... වෙලාවකට ලියන්න ආසත් හිතෙනවා.. බලමුකෝ..

      Delete
    3. ඕන්නොහේ ලියන්න පටන්ගන්න අනේ... එතකොට ලස්සන කතා ටිකක් නිකම්ම ලියැවේවි...

      Delete
  4. මෙවා හරි අගේ ඇති වැඩේ නේ ,අර දිවට මොකෑ වුණේ අයේ කැමක්වත් කන්න පුළුවන් වුනාද ??

    ReplyDelete
    Replies
    1. උන්දට ඕකත් එල්ලගෙන ඉන්න උනා දවසක් දෙකක් කෑම කන්න පුළුවන් වෙන්න කලින්... ලොකු නගා දැඟලුවා ඒක බැන්ඩේජ් කරන්නත්... ඒත් ඒකට නම් උන්ද අහුවුනේ නෑ... :D

      Delete
  5. මියුරු ගොඩක් කාලෙකින්,අපි කොල්ලෙකුට මූණ සුදු වෙන්න නං සොලීග්‍රෑම් ගාන්න කියල ලනුවක් දුන්නා,මු ඇත්තටම ගාගෙන මුණ ඔක්කොම හමගියා.

    ReplyDelete
    Replies
    1. අයියෝ සංසාරෙ... මූණ සුදු කරගන්න දැඟලුව එකාගෙ මූණ හම ගියාම....
      සොලිග්‍රෑම් කියන්නෙ මොනවද කියල මං දන්නෙත් නෑනෙ හැලප... :D

      Delete
  6. ඇත්තටම මියුරු ඔය චූටි නංගිට බ්ලොග් එකක් ලියන්න අදහසක් නැද්ද අඩුම ගානේ මේ පෝස්ටු ටික කියවලා හරි..
    මට මේ රන්මලීගේ කෙරුවාවල් ගැන ඇත්ත දැනගන්න පුදුම කුතුහලයක් තියෙන්නේ!!

    ReplyDelete
    Replies
    1. හී... හී... පොඩි නගා අද මේ දීපංකරේට ගොඩ බැහැපු එක අල්ලලාමයි මේක දැම්මෙ... නගාලා දෙන්නා එක තැන... වෙනදා දෙපොලක ඉන්න නිසා කරදරයක් නෑ... බලමු මේ ගමන...
      ඒ නගා මගේ කෙරුවාවල් ගැන බ්ලොග් ලියන්න ගන්නෙ මං උන්දගෙ ප්‍රේම කතා වස්තුව ලියපු දාට... ඒක නිසා මං ඒක නොලිය නොලිය ලියනවද නැද්ද කියලා නලිය නලිය මේ ඉන්නෙ... :D

      Delete
  7. නැන්දා 1 සහ නැන්දා 2 කතාව දැකලයි මේක මතක් වුණේ!

    මටත් හිටියා නැන්දලා දෙන්නෙක්. ඒ ගොල්ලන්ට මං නං දැම්මේ මෙහෙමයි.

    එක දවසක් මේ දෙන්නා මාව මැදින් තියාගෙන ඇඳක දෙපැත්තේ හිටියා.

    එහා පැත්තේ හිටිය නැන්දා එහා නැන්දා,
    මෙහා පැත්තේ හිටිය නැන්දා මෙහා නැන්දා!

    හැබැයි එහා නැන්දා කියන නම විතරයි රෙජිස්ටර් වුනේ. අනිත් නැන්දා පසුව චූටි නැන්දා වුණා!

    ReplyDelete
    Replies
    1. කකාත් පුංචි කාලෙ මරු නම් දාලා තියෙනවා කට්ටියට... මතකද කලිසම් වලටත් නම් දාලා තිබුණා කියල කිව්වා... :D

      Delete
    2. හොඳටම හිනාවුනා කකා ඒ කතාව කියවලා... නියම නම් ටික... ස්තුතියි ලින්ක් එකට... :D

      Delete
  8. ඔය කාලේ ඔය නැද්දලගේ වයස කීයක් විතර ඇත්ද ? යකෝ උන්ට වෙන වැඩක් තිබිලා නෑ මේ මාර දූතියො තුන්දෙනෙක් බලා ගන්නවා ඇර...:D

    ඉතින් දැන් චූටි නංගි ගොලුද ?

    ReplyDelete
    Replies
    1. නැන්දලා දෙන්නම විසි ගණන්වල මුල වෙන්න ඕන එතකොට... උන්ට මාව නම් බලාගන්න උනේ නෑ, මං උන්ව බලාගත්ත මිස... ඒ දෙන්නට ඒ දවස්වල මාව පේන්න ඇත්තෙ නම් මාර දූතිකාව විදියට තමයි... උන්ගෙ කෙරුවාව බලන් ඉඳල ඔක්කොම කේළම් ටික අම්මගෙ කණේ තිබ්බෙ මමනෙ...

      අපේ පොඩි මස්සිනා මේ කතාව බැලුවොත් නම් හිතයි අනේ මුන්ද එදා ගොළු උනා නම් හොඳෙයි කියලා... :D

      Delete
  9. අම්මෝ මගෙ සරීරයම හිරි වැ‍ටුනා. හරියට මම දිව පුච්ච ගත්තා වගේ...මරු අක්කලා ටිකක් තමයි.. ඔයතරං ඉස්ත්‍රී කන්දරාවක් එක්ක තාත්තා කොහොම ඉහ ගහගෙන හිටියාද මන්දා. අර රෑට රෑ වෙලා ඇවිත් උදේ පාන්දරින් යන නිසා බේරෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙ අපේ ගෙදරට ගොඩ වෙච්චි තාත්තගෙ යාළුවොත් ඔහොම කිව්වලු... ඒ හින්දා මට හිනා ගියා හොඳටම සරත්ගෙ කමෙන්ට් එක දැකලා... තාත්තා ඒ දවස්වල සති අන්තෙටවත් වැඩිය ගෙදර හිටියෙ නෑ... ඇයි අනේ ගෑණුම හත් දෙනෙක්නෙ ලොකු සීයයි තාත්තයි ඇරුනම... :D

      Delete
    2. අපේ පොඩි දවසක් කියනව එයාට තාත්ත ගැන දුකයිලු. අපි ඔක්කොම කාන්තා පාර්ශවේ නිසා

      Delete
    3. අනේ පව්... පොඩි උන්ට හිතෙන දේවල්...

      Delete
  10. හප්පේ ඉතින් නංගිගේ දිවට මොකෑ වුණේ..?දියපට්ට එහෙම දෑම්මයි.

    එක පාරක් අපේ නංගිත් ඔහොම වැඩක් කරගෙන තිබුණා.හෙම්බිරිස්සාවට දුම් අල්ලන්න ගිහින් අපේ ආච්චි එකී අත දාලා තිබුනා අර උතුරන දුම් මුට්ටියට.අතේ හම ගැලවිලා එල්ලෙන්න වුනා.ඩොක්ට කෙනෙක් ගාවට අරන් ගිහින් හම කතුරෙන් කපලා බෙහෙත් දාලා ගෙදර එක්ක ආවේ.

    ReplyDelete
    Replies
    1. දිය පට්ට ආව මතකයක් නම් නෑ මනෝජ්... ඒත් හොඳටම රතුවෙලා තිබ්බා... අර ෂැගී ස්කුබි ඩූ මිරිස් බෝතලයක් කාලා දැවිල්ල ගත්තම, ඒකගෙ දිව ඇදලා දිවට සෝස් හැලුවා වගේ අපේ අම්මත් මෙයාගෙ දිව ඇදලා බටර් ගෑවා... අත ඇරිය ගමන් මෙයා බටර් ටික කාලා දානවා... ඔහොම ව්‍යාපෘතියක් කරලා තමයි යන්තම් උන්දගෙ දිව ගොඩ දාලා දුන්නෙ... :D

      මගෙ අම්මෝ... නංගි කරගත්තු වැඩේ මහ බරපතල දෙයක්නෙ... ඇඟත් හීතල වෙලා ගියා ඒක කියෙව්වම...

      Delete
    2. බටර් ගාන්න තිබුනේ ජෑම් ටිකක් එක්ක,නැතිනම් සිනි එක්ක.පව් නේ නැතිනම් නංගි..:D

      මට මතකයි අපේ නංගිගේ ඇගිලි වල නියපොතු විතරයි ඉතිරි වෙලා තිබුනේ.හැබැයි දැන්නම් ඒ පිච්චුනේ මොන අතද කියලා හොයා ගන්නවත් බැහැ.අලුතෙන් හම හැදිලා.
      ඩොක්ට කිවා ලොකු කෙනෙක්ගේ නම් කැළල හිටිනවා කියලා.එත් මෙයාට එතකොට අවුරුද්දක්,දෙකක් වගේ නිසා ලොකු වෙනකොට කැළල නැති වේවි කිවා.වේලාවට ඒ වගේම වුණා.

      Delete
    3. එව්ව නෑ කියල ඇරෙයි අපේ නගා... ඔය යසට ඇදලා ඇරියෙ... :D

      එහෙම බලනකොට නංගි වාසනාවන්තයි... සමහරුන්ගෙ ඔය වගේ පොඩි කාලෙ පිච්චුනු තැන්වල කැළැල් හිටිනවා කැතට...

      Delete
  11. චූටි නංගිගේ සයිස් එක දැක්කාම හිතුණා බලාගන්ට කවුරු හරි ඕනි වෙයි කියලා...:D

    ReplyDelete
    Replies
    1. දැන් එකව බලාගන්න ඊට වැඩිය සයිස් එකෙක් ලැබිල ඉන්නෙ... අපේ අම්මා ඒ පවුලට තුන් පත් රෑන කියන්නෙ නිකම්යැ පොඩ්ඩි... :D

      Delete
    2. ඔයාටත් හිතෙන දේවල් පොඩ්ඩි.. වෙන වෙන .....

      Delete
  12. ඒකත් මාර කෙස් එකක් වුණා එතකොට ඈ...
    හප්පේ... දිව අනිවා ඉම්පෝට් කොරන්න ඇති නේහ්...

    නැන්දලා කියද්දි මතක් වෙන කතා නං අම්බානෙට තියේ...
    එක්කොත් ඕන නෑ

    ReplyDelete
    Replies
    1. දිව ගොඩදාන්න අම්මා වෙච්චි මහන්සියේ හැටියට ඉම්පෝට් කොරන්න පුළුවන් උනා නම් එයා ඒක කරාවි... නගාට තිබ්බෙ යකා වගේ දිව දොට්ට දාගෙන ඉන්න එකයි, අම්මා බටර් ගෑවම ඒක කන එකයි විතරනෙ...

      ඇයි මහේෂ් නැන්දලාව එච්චරටම අපෝ වෙලාද...? :D

      Delete
  13. හප්පොච්චියෙ මියුරු . කට්ටිය වැඩි වෙලාද කොහෙද ජරමර වැඩි වෙලා තියෙන්නේ . අපේ අම්මගේ නංගිලාත් මාරුවෙන් මාරුවට හිටියා ඒ කාලේ . කෙල්ලොනේ ඒ ගොල්ලන් ඒ දවස්වල . ඔන්න ටික දවසක් ඉන්නවා .තරහ වෙලා යනවා . ආයේ එනවා .
    පොඩි මාමත් ටික දවසක් හිටියා ඕලෙවල් ද කොහෙද කරලා .
    නගා මහත නිසා අම්මට තිබ්බේ කවන්න එච්චර මහන්සි නොවී ඉන්න . හැබැයි ඒ කාලේ ඉතින් වෙනස්නේ නේ .
    අපොයි දිව . මාර භයානක වැඩක්නේ .

    ReplyDelete
    Replies
    1. කට්ටිය වැඩිවෙලා නේන්නම්... කොහොමත් ගෑණු වැඩිවෙනකොට දන්නවනේ...
      නැන්දා 2 තමයි අම්මට ඔහොම ගණන් ඉස්සුවේ... තරහ වෙලා යනවා... ආයෙ ගිහින් නොවඳිනා වැඳුම් වැඳලා එක්කන් එනවා... අම්මට නම් හිටියෙ මල්ලිලා තුන් දෙනෙක් විතරනෙ... බාල මාමා ඔය කාලෙ වෙනකොට ඩියුටි ඕෆ් වෙලා හිටියෙ... එයා බලාගත්තෙ මං පොඩි කාලෙ විතරයි...
      නගාගෙ ඒ මහත මොනව කොරත් අඩු වුනු එකක් නෙවේ බින්දි... ඒක වැඩිවෙන පැත්තටම මිසක් අඩුවෙන පැත්තට ගියේම නැති තරම්... කෑවෙ නැත්නම් කෙල්ල හාමත් වෙයි කිය කියනෙ කරගහගෙන දැඟලුවෙ...
      සිද්දියට පස්සෙ ඒකෙ නිර්මාතෲතුමිය නම් ගිහින් අයන් එකේ පතුල පරීක්ෂා කොරල බැලුවා දිවේ හම තියෙනවද කියලා ඒකෙ ඇලිලා... :D
      භයානක වැඩක් නේන්නම්...

      Delete
  14. උඹලෑ නඟාගේ වටිනාකම දහ ගුණයකින් ඉහල යන සිද්දියක්නේ වෙලා තියෙන්නේ බං. ආයේ ඉතිං කතා කරන්නේ නැති ගෑණියක් කිව්වම කොයි පිරිමියද අකමැති වෙන්නේ?

    උඹලා පොඩි කාලේ අම්මයි තාත්තයි free labor ලබා ගැනීමේ වාසනා ගුණයෙන් යුක්තව ඉඳලා තියෙනවා. හපොයි අපි කාපු කට්ට්ක්! රස්සාවත් නැති වුනා බං එක පාරක්. ළමයි හදන්න ගිහින්.

    ආපහු පරණ මියුරු ආපු එකට මට අප්‍රමාණ සං‍තෝසයි. අර ශාස්ත්‍රීය ලිපි ලියන මීටර් මියුරුත් හොඳ ඇති. නමුත් මම කැමති මේ මියුරුටයි.

    ReplyDelete
    Replies
    1. උන්දැ ඒ දවස් දෙක තුනේ කසාද බැන්ද නම් තමයි ඔය වටිනාකම ඩූඩො... කොහෙද ඒ සන්දියෙ පොඩි එකීනෙ... දවස් දෙක යනකොට කටට පණ ගහලා ආවා...

      අනේ බං මොන ෆ්‍රී ලේබර්ද...? ඔය හැමෝගෙම බැංකු පොත් පිරෙව්වා අම්මයි තාත්තයි... නැන්දා 1 නම් ඒ සල්ලි වලින් රට ගියා... නැන්දා 2 අන්තිමට කසාද බන්දලා දුන්නා පොලිසියේ මහත්තැන් කෙනෙකුට... නියම වැඩේ කියන්නෙ උන්දැට ඉන්නෙත් දූලම තුන්දෙනෙක්... පව් අප්පා...

      උඹලට වෙච්චි දේම අපටත් වෙනවා තව පොඩ්ඩෙන් අපේ එවුන් පුංචි කාලෙ... ලොකු දුවව කරගහගෙන නිවාඩු දාගෙන ඩේ කෙයා ගානෙ ගියා හිඟන්නො වගේ අපි දෙන්නා... ලොක්කි අඩු මාසෙන් බිහි වුනු කෙනෙක් නිසා ඒ කාලෙ වයසට වැඩිය පුංචියි... ඉතින් ගන්නෙ නෑ... අන්තිමට චූටි දුව හම්බුනාට පස්සෙ උතුරෙයි දකුණෙයි වගේ මහ ගෙවල් දෙකේ දරුවො දෙන්නා තියලා වැඩට ගියා... ඊට පස්සෙ දරුවන්ගෙ වාසනාවටද කොහෙද එයාලට දෙවෙනි අම්මා කියල කියන්න පුළුවන් ඩේ කෙයා එකක ටීචර් කෙනෙක් ලැබුණා... අන්තිමට අපි දරුවො ලොකු මහත් කළේ එයාලත් එක්ක... ඒ අක්කයි, නංගියි, අම්මයි අපට කළේ දිවි ඇතිතුරා අමතක නොවන උදව්වක්... ඒක සල්ලි වලින් මනින්න බෑ කවදාවත්...

      ඈ බං... මං කවද්ද ශාස්ත්‍රීය ලිපි ලිව්වෙ... කෝ බලන්න වැරදිලාවත් ලිව්වද කියල...

      මං දන්නව උඹ එව්වට ආස නෑ කියලා... ඒත් බං මේවම දාන්න ගියාම මගේ කතා සරිත් සාගරේ හිඳිලා යනවනෙ බොහොම ඉක්මනටම... ඒ නිසා ඉඳ හිටලා කලවම් මැල්ලුමකුත් කාපල්ල... :D

      Delete
  15. මේක කියවන්න ආපු පාර පරණ කතා මුල ඉඳන් කියෝලා ආවා.
    මට හිනා වෙලා තව මොකක් හරි ලෙඩක් හැදෙනවා තව ටිකෙන්.
    ඇත්තටම ඉස්සර කාලේ මේඩ්ලට වඩා හිටියෙ කවුරු හරි නෑයෙක්නේ ළමයිව බලාගන්න. දැන් නම් මම හිතන්නේ එහෙම කොහෙවාත් නෑ වෙන්න ඇති.
    මගේ කසින්ගේ පොඩි දුව බලාගන්න හිටියේ අවුරුදු දහතුණක විතර කෙල්ලෙක් ලතා කියලා මහව පැත්තෙන් එක්කන් ආවේ. එයාට තිබුනේ ළමයා එක්ක සෙල්ලම් කරන්නයි කවන්නයි විතරමයි. පොඩි එකාට කවන්න පුළුවන් ලතාට විතරමයි. වත්ත වටේ උස්සගෙන ගිහින් කවනවා. හැබැයි පොඩ්ඩක් අහක බලන්න බෑ බබාගේ කෑම එක ලතා කනවා. පොඩි එකත් නාලා එහෙම උදේ දහයට විතර බොනන් තිබුන දොඩම් එක බොන්නේ නෑ අඬ අඬා ඉන්නවා. ඒ වෙලාවට ලතා අනේ බබෝ මටත් ඔය වගේ සැප තිබුනා නම් කියලා පටන් ගන්නවා. පොඩි එකා ඒ කතාවලට ආසාවෙමද කොහෙද තත්පරෙන් ජූස් එක බීලා දානවා. අපි ඉතින් ලතාට වෙනමම දොඩම් එකක් දෙනවා. ආයේ චිකන්. ඒ කාලේ චිකන් සුමානෙට දෙපාරක් විතර කෑවේ. ලතා චිකන් උයපු දවසට උයන හට්ටියත් කෑවා වෙන්න ඕනේ. දැන් ඒ කාලේ අපේ පොඩි එකාට වයස විසි දෙකක් ඒක හින්දා ලතා කොහේ ඉන්නවද කියලා දන්නේ නෑ. ඒ කාලෙත් පුදුම උණකින් හිටියේ කොහොමහ‍රි කොල්ලෙක් අල්ලගන්න.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩට කවුරුවත් සොයාගන්න අමාරු වුනේ මට මතක විදියට අපේ රටේ ගෑණු කට්ටිය මැද පෙරදිග රස්සාවලට යන්න පටන් ගත්තට පස්සෙ... ඒ මුල් කාලෙදි දැන් වගේ මෲග විදියට උන් අපේ අයට සැලකුවෙත් නෑනෙ... රට ඉඳල එන අය ගේන බඩු මුට්ටු හෙම දැක්කම ඔය වගේ ගෙවල්වල වැඩක් පලක් කරගෙන හිටපු අයටත් ආස හිතුනා... අපේ නැන්දා 2 ටත් උනේ ඒක...

      ලතාටත් වෙනම ජූස් එකක් දීපු එක කොච්චර දෙයක්ද... පව්... අපේ ගෙදරටත් ආවා ඔය වගේ ආච්චි කෙනෙක් වැඩට... ළමයගෙ කෑම එක එයා කනවා... බබා කන්නෙ නෑ කියනවා... ඉතුරු ටික ෆ්‍රිජ් එකේ දැම්මම ටික ටික අඩු වෙනවා... දරුවගෙ කිරි එකට පවා ඒ සන්තෑසිය වුණා... අන්තිමේ බැරිම තැන ගෙදර යැව්වා...

      ඔය වැඩට එන කෙල්ලන්ට කොල්ලො උණ නම් තියෙනවා... උනුත් තරුණ වයසෙ ඉන්න උන්නෙ... අපේ ගෙදර හිටපු එක්කෙනෙක් ටෙලිෆෝන් කෝල් දීලම අපට එක්කෙනෙක්ගෙ මුළු පඩියම ඒකෙ බිලට ගෙවන්න උනා එක සැරයක්... ඩීටේල් බිල ගෙන්න්න ගත්තම කොල්ලටයි, සිරසෙ සින්දු ඉල්ලන්නයි තමයි කෝල් කරල තිබ්බෙ... දරුව කොහොමට බලාගන්න ඇද්ද...

      Delete
  16. අපි කවදත් කැමතියි මනසින් ආපහු අපේ ළමා කාලයට යන්න. මේ විස්තරය කියවා මමත් නැන්දලා මාමලා බාප්පලා පුංචි අම්මලා සම්බන්ධ අතීත කතා වලට ආපහු ගියා. බොහොම ලස්සන මතකයක් ඔබට තියෙන බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක... මගේ ජීවිතේ සුන්දරම කාලෙ බොහෝ දේවල් හොඳට මතකයි... මනසින් ළමා කාලයට යන්න කවුරුත් කැමති ඇති ඒ සැහැල්ලු බව ජීවිතේ කිසිදාක ආපහු විඳින්න ලැබෙන්නෙ නැති නිසා... දැන් ඉතින් ඒවා හීනෙන් ගෑ සුවඳක් වාගේ...

      Delete
  17. හෙහ්, මේ කට්ටිය ආංබාං කරන්න ලේසියෙන් බැරි වෙන්න ඇති මං හිතන්නේ ඒ කාලේ.. අනේ හපොයි දිව කිවුවලු.. ඒ ගැන ඉතින් මුකුත් නොකියමි ඔන්න..

    ReplyDelete
    Replies
    1. හප්පා... ආං බාං කිරිල්ල ගැන නම් කියල වැඩක් නෑ...
      //ඒ ගැන ඉතින් මුකුත් නොකියමි ඔන්න..//
      හී...හී..හී...

      Delete
  18. හරි චූටි නංගි කෙනෙක් වගේ පේනව! හැම අතිම්ම!

    ReplyDelete
    Replies
    1. බොට වැඩිය පොඩ්ඩයි පොඩි අලියො... :D

      Delete
  19. යස නැන්දල සැට් එක. ලේලිල ටිකත් තව පොඩ්ඩක් ලොකුවට් හිටිය නම් තමයි තවත් අගේ. එහෙනම් පොලීසියෙන් දාල වත් බැරි වෙනව සාමය රකින්න. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න චන්දන කිව්වමයි මට ඒක හිතුනෙ... ආයෙ මොනවද... එහෙනම් අපෙ අම්මටයි තාත්තටයි ගෙවල් අතෑරල යන්න වෙනව, හිටියොත් පිස්සු හැදෙන නිසා... :D

      Delete
  20. හපොයි කරන්ට් වැදිල නැද්ද.. මට නං සිහි විකල් උනා දිව ගාපු කතාව ඇහුවම..

    ReplyDelete
    Replies
    1. නෑනෙ දේශ්... ඒ වෙනකොට අයන් කරල ඉවරවෙලා නිසා ප්ලග් එක ගලවලයි තිබ්බෙ... නගාට නම් දැනුත් සිහි විකල් වෙනවලු ඔය සිද්දිය මතක් වෙනකොට... :D

      Delete
  21. මගේ දිවත් පිච්චුණා වගේ.... තාත්තට එහෙම මරුවට තියෙන්න ඇති... කොහොම ඉවසගත්තද මන්දා මේ කරච්චලේ...

    ReplyDelete
    Replies
    1. තාත්තා නම් ඕව විඳින්න වැඩිය ගෙදර හිටියෙ නෑ සති අන්තෙවත්... ඒ දවස්වල අම්ම කිව්වෙ අපේ බෝඩිං කාරයාය කියල... :D

      සිතුවිලි සිතු... ඔයාව මේ පැත්තෙ දැක්කෙ අදයි කියලයි මතක...

      Delete
  22. මියුරු හරිම ලස්සනට ලියනවා. එතන ඉන්නවා වගේ හැඟීමක් එනවා. රන්මලීව එපා වෙච්ච හැටි ශෝක්..වැඩිමලා වුනාම ඕක තමයි නේද ලෙඩේ.

    අපේ ගෙදරත් මියුරු අපිට සල්ලි තිබුන කාලේ ඔහොම කට්ටිය හිටියා. ඉන්ද්‍රක්කා,ටේච්චි,පොඩිඅයියා එහෙම කියලා. ඒ තුන්දෙනාම දැන් ජීවතුන් අතර නැහැ. අපේ දුවට පොඩි කාලේ කෑම කවනවා කියන්නේ මාර යුද්ධයක්. මම මේවා බලන් ඉන්න බැරුව පිඟන් විසිකරලා තියෙනවා කේන්තියට. ඊට පස්සේ මායි වයිෆුයි වලි. ඊට පස්සේ ඔක්කොටම වැරදිකාරයා මම. අම්මගෙනුයි වයිෆ්ගෙනුයි බැනුම් අහනවා ඔයාට ළමා කාලයක් තිබුනේ නැද්ද කියලා. දවසක් මම දුවව වඩාගෙන මිදුලේ මාරි බිස්කට් එකක් කවනව. එක පාරටම කාක්කෙක් ඇවිත් කෙල්ලගේ ඔළුවට කොටලා බිස්කට් එක අරන් ගියා. එදා මෙයා බයවුනා. පස්සේ කාක්කට එන්න කියනවා කිව්වාම බයට කනවා. බලන්න කාලය යන ඉක්මන. එයාට දැන් 25ක්.

    ReplyDelete
    Replies
    1. හයියෝ... වැඩිමලා උනාම සිද්දවෙන අසාධාරණකම් නම් කියලම වැඩක් නෑ අරූ... ඉතින් ඉරිසියාවෙන් තරහෙන් පැලි පැලී ඉඳලා අවස්ථාව ලැබුණු ගමන් වාඩුව ගන්නවා...

      //මම මේවා බලන් ඉන්න බැරුව පිඟන් විසිකරලා තියෙනවා කේන්තියට. ඊට පස්සේ මායි වයිෆුයි වලි. ඊට පස්සේ ඔක්කොටම වැරදිකාරයා මම.// හිනා ගියා මේක කියෙව්වම... අපේ තාත්තා ඉස්සර මට කවන්න ගියාම ටිකක් ලොකු කාලෙ, එයාට නිතරම මල පනිනවා... මං ඒ කාලෙ හරිම අකැමැතියි හාල්මැස්සො කන්න... ඕවයෙ කැල්සියම් තියෙනවා, ගුණයි කිය කිය තාත්තා කරන්නෙ අරක මට කොහොම හරි කවන්න බත් ගුලිය හදලා ඒක මුදුනින් හාල්මැස්සෙක් ගහනවා... ඉතින් මට නේද... මං ඉස්සරහ දත් ටිකෙන් හාල්මැස්සා කටේ ගෑවෙන්නෙ නැති වෙන්න අර බත් ගුලියෙ පොඩි කෑල්ලක් අල්ලගෙන බෙරිහන් දෙනවා යටි උගුරෙන්... වෙනදා බැනල එලවන තාත්තා එක දවසක් ඇතිල්ලුවෙ නැද්ද බත් කට මගේ මූණෙ... බත් ටික එතැනම බිම හලල ලතෝනි ගැහුවට කවුරුත් ආවෙ නෑ මාව නලවන්න... තනියම කළේ නවන් වතුර අරගෙන මූණ සෝදගත්තා... ඒ උනාට පස්සෙ මං අහගෙන අම්ම තාත්තට දොස් කියනව එහෙම කළාට... එදායින් එදා බත් කවන්න තාත්ත මාව හෙව්වොත් මං ආයෙ ලොවෙත් නෑ....

      කෙල්ලට කාක්කා කෙටුව උනාට හොඳක් වෙලා තියෙන්නෙ ඒකෙන්... කාලය යන හැටි ගැන නම් කියලම වැඩක් නෑ... 25 කියන්නෙ හොඳම වයස... තව අවුරුදු කිහිපයකින් අරූ සීයා කෙනෙකුත් වෙයි දන්නෙම නැතුව... :D

      බොහොම ස්තුතියි අරූ...

      Delete
  23. මියුරු මේ කථා ලියන භාෂාව හරිම රසවත්...දිගටම කියවගෙන යන්න කිසිම කැම්මැලි කමක් නෑ...අපි පොඩි කාලෙ කතන්දර පොත් වල තිබුන භාෂාවත් මීට ටිකක් සමානයි. නංගිගෙ දිව එදා ගොඩාක් පිච්චිලා තිබුනද ? කෙල්ල කොහොමෙයි බයි කෑවෙ...

    ReplyDelete
    Replies
    1. නංගිගෙ දිව නම් එදා පුදුම දුකක් වින්දා... කෙල්ලට බයි කන්න බැරි වුනා සිරෝ දවස් දෙකක් විතර යනකම්... පානයනුයි දිවේ ගාපු බටරුයි විතරයි...

      බොහොම ස්තුතියි සිරා... මං ඉතින් පරණ මතක ඔහේ හිතට එන විදියට ලියලා දානවා...

      Delete
  24. යකෝ අයන් එකට මූණ කිට්ටු කරනකොට රස්නෙ දැනුනෙ නැද්ද ඔය මෝඩ කෙල්ලට...හෙහ්,හෙහ්, එහෙම නැත්තං ඕකිගෙ දිව තියෙන්ට ඇති අඩි එකහමාරක් විතර...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් රවී... අයන් කරල ඉවර වෙලා වැඩි වෙලාවක් නැහැනෙ...
      මේ සැරේ ආවම ඇදල අරන් මැනල බලන්නෝන... :D

      Delete
    2. මං අපේ නගා ගෙන ඇහුව රවී අහල තිබ්බ එක... එයා කියනව මූණ ලං කරනකොට රස්නෙ දැනුනෙ නැතිලු... සමහර විට අයන් කරන රස්නෙ අස්සෙම හිටපු හින්ද වෙන්නැති... ඉතින් එයාට හිතුනලු ඇත්තටම නිවිල වෙන්නැති ඇත්තෙ කියල... උන්දැගෙ දිවේ තවම ඒ පිච්චුනු තැන කළුපාට පැල්ලමක් වගේ තියෙනව... ඒක එදායින් පස්සෙ පාට වෙනස් උනේම නැතිලු... :D

      Delete
  25. ශා නියමෙට ලියලා තියනවා. පොඩි එවුන්ට ඔහොම ඒවා කිව්වම උන් ඇත්තටම කරනවා. පවුලේ බාලයෝ තමයි ඉතින් ඕවට අහු වෙන්නේ...දවසක් මම කාට හරි කෝමාරිකා කැව්වා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ... අපේ ලොකු නගා තමයි පොඩි එකීට ඔහොම එව්වා කෙරෙව්වෙ... මතකද අර 'අක්කා මට කුරුමිණියකම් කරනවා' කියල කියපු කතාව... :D

      Delete
  26. හරිම ලස්සනයි, ඒ වගේම අපූරු සුන්දර වින්දනීය කිසිම පාළුවක් නැති වාසනාවන්ත ලමා කාලයක් ඔබට තිබිලා තියෙනවා, අම්මේ මමත් පුංචි එකා කාලේ හෙන ඇම්ඩලු :D , දීලා තියෙන්නෙ මරු ගේම්ලූ, අම්මා තමා කියන්නේ, ඔයාගේ නැන්දා 1 සහ නැන්දා 2 වගේ මට හිටියා බාප්පලා දෙන්නෙක්, හැබැයි අපෙ තාත්තා තමයි උන්දැලට නම් දාලා තියෙන්නේ ඒ හාරත බූරුවයි රුවිත බූරුවයි, මංනෙ පවුලෙ බඩ පිස්සා, ඉතිං මං තමයි පිස්සු කෙලලා තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සො.මි. ... අපොයි අර හාරත බූරුවයි, රුවිත බූරුවයි... ඒක කියවලා හොඳටම හිනා උනා... මට මතක් උනේ අපේ දෙන්නට එහෙම කිව්ව නම් කොහොම හිටීවිද කියල... ඇත්තටම ඔයා කිව්වා වගේ මගේ ජීවිතයේ සුන්දරම කාලය තමයි ඒ... සො.මි. පොඩි ඇම්ඩෙක් වෙලා හිටිය නම් හොඳ කතා ටිකක් ඇති... කාලෙකට පස්සෙ ආයෙම ලියන්න අරගෙන වගේ පෙනුනෙ... ඒ කතා ටිකකුත් ලියල දාන්න... :D

      Delete
    2. අනිවා නිවාඩු පාඩුවෙ ඇ :D

      Delete
    3. හරි, හරි... :D

      Delete
  27. අර දිවට මොකද වුනේ ඉතින්?

    ReplyDelete
    Replies
    1. තවම තියෙනවා කළු පාට පැල්ලමකුත් එක්ක... :D

      සමාවෙන්න මේක පල කරන්නත් උත්තර ලියන්නත් ප්‍රමාද උනාට... ටික දවසකින් මේ පැත්තෙ ආවෙ...

      Delete
  28. පුංචි කාලේ මගෙත් අත පිච්චිලා තියෙනව රත්වෙච්ච අයන් එකට..අම්මෝ දුං දානවා...චූටි නංගිගේ දිව පිච්චුණා නම් කොහොම මර විලාපයක් වෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන්...අපොයි දෙයියනේ!

    ReplyDelete