Total Pageviews

Showing posts with label බෝඩිම. Show all posts
Showing posts with label බෝඩිම. Show all posts

Tuesday, 6 May 2014

අමුතු පත්තරේ...


මං කැම්පස් යන දවස්වල, කාලයක් හිටියෙ ෆෘට් සැලඩ් බෝඩිමක..... ඒකෙ ඉස්කෝලෙ යන ළමයිනුයි, කැම්පස් යන එව්වොයි, කෝස් කරන උනුයි මදිවට රස්සාවලට යන උනුත් හිටියා... අපි හිටියෙ උඩ තට්ටුවේ... අයිතිකාරයො පහළ..... මං හිටපු කාමරේ තමයි ලොකුම එක... ඒකෙ අපි හතර දෙනෙක් හිටියා... හතර දෙනාම කැම්පස් උන්... හැබැයි මං විතරයි රස්සාවක් කළේ...

ඔය කාලෙ තමයි මං ජීවිතේටම වැඩිපුරම ගල් වැලි කෑවෙ බතුත් එක්ක... ඇන්ටිගෙ හාල් ගැරිල්ල ආච්චිට හාල් ගැරිල්ලක්... මගේ අතේ සල්ලි තිබ්බ නිසා මමයි, කාමරේ හිටපු යාළුවෙක් වුනු ඩිලානියි දෙන්නා සමහර දවස්වලට හවසට එළියට ගිහින් කඩේකින් මොනව හරි කාල එනව... ඒ වගේම බිස්කට්, කේක්, චොකලට් වගේ ජාති අනිත් උන්ට හොරෙන් තියාගෙන කාමරේ දොර වහගෙන කෑවා... ඇයි යකෝ බෙදනව කියල කී දෙනෙකුට බෙදන්නද... කාපු චොකලට් ගාන බලා ගත්තැකි මගේ ඇඳ දිහා බැලුවම... ඒ කාලෙ චොකලට් හැම එකටම වගේ ස්ටිකර් හම්බුවෙනවනෙ... අපරාදෙනෙ අය්යො නිකම් හම්බුවෙන එක උනාට ඕව විසි කරන එක... ඉතින් ඕවා අලවලා අලවලා ඇඳ වැහිලා ස්ටිකර් වලින්... අම්මා මං බලන්න ආවම හැමදාම කම්මුලේ අත තියාගන්නව ඕක දැකලා... ඇයි ඉතින් එන එන සැරේට සංඛ්‍යාව වැඩි වෙලානෙ...

Monday, 17 February 2014

පරෙස්සමට තිව්ව දේ....

http://www.livinggreener.gov.au/lifestyle-guides/home-entertainment-technology

කියවන අයට මතක නම් මගේ අර අරිෂ්ඨ කතාවයි, ඉදිකට්ටෙ කතාවයි, ඔන්න මේ සිද්දිය උනෙත් ඒ බෝඩිමේදිමයි... ඉදිකට්ට පෝස්ට් එකට කමෙන්ට් කරපු රාජ් මෙහෙමත් කිව්වා... "මියුරු, අපි සල්ලි එකතුකරල වියදම එවන්නං. ඔයා ආයෙත් ඒ බෝඩිමට ගිහිල්ල ඉදගෙන සිද්ධවෙන කතා ටික පෝස්ට් කරන්න. හොදයිනේ........" එච්චරටම හොඳයි වෙච්චි දේවල්...

අර ඉදිකට්ටෙ කතාවට  පස්සෙ ආයෙ ඇන්ටිලා සෑහෙන කාලයක් යනතුරු අපිව තනියම දාලා කොහේවත් ගියේ නෑ... ඔහොම ඉන්නකොට අන්කල්ගෙ අතිජාත මිත්‍රයෙකුගෙන් එයාලට ආරාධනයක් ලැබුණා අනුරාධපුරේ පැත්තෙ වන්දනා ගමනක් යන්න... ඒක අතහරින්නම ලෝබ හිතිලද කොහෙද එයාල කළේ ඇන්ටිගෙ අයියා කෙනෙකුගෙ දුවෙක්, ගෙදරයි අපිවයි බලාගන්න නවත්වලා ඒ ගමන ගිය එක...

එයා ඊට කලිනුත් අතරින් පතර එහේ ඇවිත් නැවතිලා තිබුණු හින්දා අපි එයා ගැන දැනගෙන හිටියෙ... එයාට හැමෝම කිව්වෙ සුදු අක්කා කියලා... එයාගෙ ගම ගාල්ලෙ උනාට හැමදාම කෝච්චියෙ කොළඹ වැඩට එන කෙනෙක්... ඒ වෙනකොට වයස තිස් පහක් විතර ඇති, හැබැයි කසාද බැඳලා තිබුනෙ නෑ... නියම ජොලි පොරක්... ඕන දේකට ඔට්ටුයි... එයා ආවදාට නිදා ගන්න ගියාම මහ පාන්දර වෙනකම් හිනාවෙ පණ යන කතා කිය කියා ඉන්නවා අපි, ඇන්ටිලා කෑගහනකම් නිදා ගනිල්ලා කියල, සද්දෙට එයාලට නින්ද යන්නෙ නැති උනාම... ඒ නිසා අපි හරිම කැමැත්තෙන් හිටියෙ සුදු අක්කා එන එකට...

ඔන්න එදා හවස වැඩ ඇරිලා සුදු අක්කා බෝඩිමට ආවා... මූණ කට හෝදගත්තු වෙලාවෙ ඉඳන් එයා කළේ ගේ හැම තැනම ඇවිද ඇවිද පරීක්ෂා කරල බලපු එක... එතකොටයි අපි දැක්කෙ අන්කල් ගෙදර ටෙලිෆෝන් එක තියල ගියපු විදිය... ඒක රිං වෙනකොට ඇහෙන්නෙ නැතිවෙන්න සද්දෙ අඩු කරලා රිසීවරය උඩින් හරහට සෙලෝටේප් එකක් ගහලා... හික්ස්... සුදු අක්කා ඒක දැක්ක ගමන් බඩ අල්ලන් හිනාවෙලා අර සෙලෝ ටේප් එක සීරුවට ගලවලා ප්‍රවේසමින් මේසෙ කොණක ඇලෙව්වා... ඒ කරලා හතර වටේම ඉන්න එයාගෙ යාළුවොන්ට කතා කරලා අපටත් කිව්වා කෝල් කරන්න ඕන කෙනෙක් ඉන්නව නම් කතා කරන්න කියලා... ඒ කාලෙ දැන් වගේ ටෙලිෆෝන් හැම ගෙදරකම නොතිබුනු නිසා අපට වැඩිය කෝල් කරන්න කවුරුවත් හිටියෙ නෑ... ඒ මගඩි වැඩේ ඉවරවෙලා සුදු අක්කා බොහොම සීරුවට ආයෙමත් අර සෙලෝටේප් එක අලවලා කලින් තිබුණා වගේම හැදුවා....

මෙදා පාර නම් ඇන්ටි අපට උයන්න ඉතුරු කරලා ගිහින් තිබුණ නෑ... එයාගෙ අපූරු කෑම ටික උයලා ෆ්‍රිජ් එකේ දාලා ගිහින් තිබුණා... ඒ හින්දා අපි කට්ටියට රෑ වෙනකොට කරන්න දෙයක් තිබුණෙ නෑ... ඔය ඇන්ටිලගෙ ගේ තට්ටු දෙකක්... ප්‍රධාන පාරක් අයිනෙ තිබුණු නිසා පල්ලෙහා තට්ටුව සම්පූර්ණයෙන්ම එක එක ජාතියෙ කඩවල් වලට බදු දීලයි තිබුණෙ... එයින් එක කඩයක් තිබුණා ටීවී, කැසට් රෙකෝඩර් අළුත්වැඩියා කරන අතරෙම වීඩියෝ කැසට් පට කුලියට දෙන තැනක්... එකපාරටම සුදු අක්කා කිව්වා අපි වීඩියෝ එකක් බලමු කියලා පහළින් ඉල්ලගෙන ඇවිත්... අපිත් ඉතින් පැනලා හා කිව්වා...එයා ඔතැනින් යන එනකොට ඔය කඩවල ඉන්න අයත් එක්ක කතා බහ කරගෙන යන නිසා වීඩියෝ කඩේ කට්ටියව මෙයා දන්නවා... විනාඩි කිහිපයක් යනකොට ගෑණි රටක් රාජ්ජයක් දිනුවා වගේ වීඩියෝ කැසට් එකක් අරන් ආවෙ කට කනේ තියන්... ඒකෙ කවරයක් තිබුනෙ නැති නිසා අපිට නම බලාගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ....
'ඉංග්ලිෂ් ෆිල්ම් එකක්...' සුදු අක්කා ආඩම්බරෙන් කිව්වා...

ඒක අන්කල්ගෙ ඩෙක් එකට දාලා සෙට් කරලා බලන්න හැදුවට බම්බුව වැඩ කරන්නෙම නෑ... අනේ ඉතින් අපි ඔක්කොමගෙම බලාපොරොත්තු ඔක්කොම සුනේ සුන් වෙලා කට්ටිය හූල්ලන්න ගත්තා...
'මං ගිහින් කඩේ අයියට කියන්නද මේක හදල දෙන්න කියලා...?' සුදු අක්කා අපෙන් ඇහුවා....
ෆිල්ම් එකක් බලන මූඩ් එකේ හිටිය අපි පැනලා ඒකට හා කිව්වා... සුදු අක්කා ආයෙම පහළට දුවලා ආපහු ආවෙ කඩේ අයියයි තව පිරිමි ළමයෙකුයිත් එක්ක... ප්‍රේක්ෂකාගාරය දැක්කම ඒ දෙන්නා මූණෙන් මූණ බලාගන්නව වගේ මට නම් පෙනුනෙ... ඒ දෙන්නා ඒක හදනකම් අපි කට්ටිය කුස්සියට එකතුවෙලා රෑට කෑවා... ඊට පස්සෙ අපි ටීවී එක ඉස්සරහින් බෙඩ් ෂීට් එලාගෙන කොට්ට දාගෙන පුටු ඇදගෙන ඇවිත් හේත්තුවෙලා ඉන්න එහෙම හදාගෙන කතාව බලන්න වාඩි වුණා..

ඔන්න කතාව පටන් ගත්තා... මොකකදෝ මන්දා පින්තූරෙකුත් වැටුණා... දෙබස් ඇහෙන්නෙත් නෑ... ටික වෙලාවක් යනකම් ඒ මොකක්ද එකමයි පෙන්නන්නෙ...
'මොකක්ද යකෝ මේ...' සුදු අක්කට කියැවුණා...
දැන් හැමෝම ඔළු ගෙඩි ඒ අතට මේ අතට ඇල කර කර බලනවා, මොකක්ද මේ කියලා... ඔළු පහළට හරවලා බලනවා උඩ යට මාරුවෙලාවත්ද කියලා...
ඊළඟ රූප රාමු කිහිපයෙන් කට්ටියටම තේරුනා මොකක්ද ඒ පෙන්නලා තියෙන්නෙ කියලා... හයියෝ... අපිට හිනාව නවත්තගන්න බැරි වුණා... පළවෙනි වතාවටයි එහෙම එකක් දැක්කෙ.... 
'එහෙම ඒවත් තියෙනවද..?' කියල සුදු අක්කා අහනකොට කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වුණා....
සුදු අක්කට ලැජ්ජ හිතුනු පාර  එයා අඩියට දෙකට පැනලා ඩෙක් එක ඕෆ් කළා... 
'අරුන්ට මම...!' එයා දත්මිටි කනවා...
අපි එහෙමම අපේ කාමරේට දුවලා ගිහින් ඇඳන්වල වැටිලත් හිනා වුණා.. මෙන්න ඒ අස්සෙ එක්කෙනෙක් බාත් රූම් එකේ වමනෙ දානවා... ඒ අපි අතර හිටපු පොඩිම එකී... සමහරු බනිනවා සුදු අක්කට ඒක ඉවරවෙනකම් බලන්න දුන්නෙ නෑ කියලා...

රෑ නිදාගන්න ගිහින් කට්ටියට නින්ද යන්නෙත් නෑ... සුදු අක්කත් හෙන කල්පනාවක...
'අයියෝ... මං ඉල්ලුවෙ ඔය වගේ වීඩියෝ එකක් කියල අරුන් හිතුවෙ ඇයි?' එයා කියනවා... "ඇයි හත් දෙයියනේ, මං කොහොමද හෙට උන්ගෙ මූණු බලන්නෙ?'
'මං හෙට ඕක උන්ට දීලා හොඳටම බනිනවා, හිටුකො...' කියලා පොරවන රෙද්ද බෙල්ල ළඟටම ඇදගත්තු සුදු අක්කා අන්තිමේ අනිත් පැත්ත හැරුණා...
පස්සෙන්දා එයා මොනව කරගත්තද කියලා දැනගන්න විදියක් තිබුණෙ නෑ... අපි එළියට ගියේ අර කඩේ මග ඇරෙන්න අනිත් පැත්තෙ තිබ්බ ගේට්ටුව ඇරගෙන... හවස් වෙනකොට ගෙදර කට්ටියත් ආවා... 

'මේ ටීවී එකට මොකද කරල තියෙන්නෙ...?' හැන්දෑවෙ නිව්ස් බලන්න ටීවී එක දාන්න ගිය අන්කල් බෙරිහන් දෙනව අපට ඇහුණා... හැමෝම මූණෙන් මූණ බලාගත්තා...

කලින් දවසෙ රෑ වීඩියෝ එක බලන්න කඩේ උන් ඇවිත් මොකක්දෝ ජල්බරියක් කළානෙ... දැන් ටීවී එක පේන්නෙ නෑ... ඇන්ටිත් කාමරේට ඇවිත් අපෙන් ඇහුවා ටීවී එකට මොනව හරි උනාද කියලා... අනේ අහිංසක අපි දන්නවයැ... අපි ඔක්කොම ඔළු ගෙඩි හෙල්ලුවා නෑ කියන්න... අන්කල්ට මල් හතක් පැනලා.... අපේ අන්කල්ට කේන්ති ගියාම එයාගෙ කටහඬ අමුතු වෙනවා... උච්ඡ ස්වරයෙන් ටන් ගන්න කතාව ඉවර වෙන්නෙ කට හඬ හීනිවෙලා ගිහින් ඤාව් සද්දෙකුත් එක්ක... දැන් ඤාව් එකක් නෙවෙයි වැලක්ම ඇහෙනවා... අපි බිරාන්ත වෙලා මොකක්ද වෙන්න යන්නෙ කියලා...
එක්කෙනෙක්වත් එකාට එකා කතාවක්වත් නෑ... සුදු අක්කව පාවලා දෙන්න කොහොමවත්ම බෑ...

අන්තිමේදි අන්කල් පහළට බැහැලා වීඩියෝ කඩේ අයියව එක්කන් ආවා... අපිව බයේ ගැහුනා, සුදු අක්කා මිනිහට බැනලා ගියා නම් පොර අපිව පාවලා දෙයි වත්දෝ කියලා.... මං හෙමින් කාමරෙන් එළියට ගිහින් බිත්තිය අයිනෙ හැංගිලා හොඳට අහුම්කන් දීගෙන බලාගෙන හිටියා...
'මේ මේකෙ වයර් එකක් ගැලවිලානෙ...' කඩේ අයියා අන්කල්ට කියාගෙන ඔළුව උස්සනකොට බිත්තිය අයිනෙන් බෙල්ල දාගෙන හිටිය මාවත් දැක්කා... ඒත් පොර නොදැක්ක විදියට අන්කල්ට පැහැදිලි කරල දෙන්න පටන් ගත්තා... 'කවුරුවත් මොකුත් කරලා නෙවේ... මේ ටීවී එකත් දැන් සෑහෙන්න පරණයිනෙ... ඒකයි...'
ඒක ඇහුනට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ... මං ආපහු කාමරේට දුවල අන්කල් හොරාගෙ අම්මගෙන් පේන අහපු හැටි කිව්වම, එකපාරටම එකියක් ඇහුව, 'එතකොට බං ටෙලිෆෝන් බිල ආපුවම...?'
ඇඟට උනපු ලේ ටික ආයෙත් සැරයක් කොහෙ ගියාද දන්නෙ නැති උණා..

ප.ලි. පස්සෙ කාලෙක මං කසාද බැන්දට පස්සෙ මනූට ඔය සිද්දිය කීවම එයා කියනවා එතැන හයර් කරන්නෙ ඒ ජාතියෙ වීඩියෝ විතරලු... මදැයි!



Sunday, 18 December 2011

ඉදිකට්ට....


මේකත් අර මං කලින් කියපු අරිෂ්ඨ සිද්දිය වෙච්චි බෝඩිමේදි වෙච්චි දෙයක්...

Thursday, 8 December 2011

'සැටලයිට්' නොහොත් 'සැට්' ඇන්ටි....

අර කලින් කතාවල කියපු බෝඩිමට කලින් මං නැවතිලා හිටිය බෝඩිමේ, අයිතිකාර ඇන්ටිලාට එක වත්තෙ ගෙවල් දෙකක් තිබුණ... අපි කෙල්ලො 16ක් හිටියෙ එයාලගෙ අළුත් තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ.... ඉස්කෝලෙ ළමයි, කැම්පස් ළමයි, වැඩට යන කස්ටිය... එකම ෆෘට් සැලඩ් එකක් ඒ බෝඩිම..... ලොකු කාමර හතරයි, එක ෂවර් එකයි, ටොයිලට් දෙකයි.... හාපෝ උදේට හෙන පෝලිම.... කෑම අන්තිමයි.... දිය හොදියි, වැලි බතුයි.... මම නම් හිතුවෙ එතැනින් අයින් වෙලා එනකොට මගෙ උණ්ඩුක පුච්චෙත් ඇන්ටිටම දීල එන්න වෙයි කියල....

Thursday, 1 December 2011

අරිෂ්ඨෙ....


ඔය කැම්පස් ගිය කාලෙ මං නතර වෙලා උන්නු බෝඩිමේම තව කෙල්ලො පස් හය දෙනෙක් නැවතිලා උන්න.... ඉන් එක්කෙනෙක් හරිම කෙට්ටුයි..... හැමදාම නාහෙන් අඬනවා ඇඳුමක් ඇන්දට කිසි ලකයක් නෑ, බට කෝට්ටක එතුව වගෙයි කියල..... ඇත්ත ඒක උනත් අපිට කියතෑක ඒ කියපු එක හරියටම හරි කියල.... අපි ඔය මනෝ විජ්ජාව ගැනත් දන්නව නෙව.... ඉතින් අපි හිත හදන්න නොයෙකුත් ඒව කියනව..... මොනා කිව්වත් ගෑනි දන්නව අපි කියන්නෙ බොරු බව....