Total Pageviews

Sunday 17 November 2019

බුල්ටො ගෙදර...

Image result for bulto toffee no copyright images


මේ කියන කාලෙ වෙද්දි මං බබා ටිකක් ලොකුයි. අම්මා සල්ලි ටිකක් අත මිට මෙලෙව්වම ළඟ තියෙන කඩේට ගිහින් ඒ කියන දෙයක් අරන් එන්නත් බබාට පුළුවන්. ඒ කාලෙ ඉතින් දැන් කාලෙ වගේ නෙවේනෙ. මග දිගට හිටියෙ තනියම පාරෙ යනවා දකිනකොට කොහේද යන්නෙ, කාත් එක්කද යන්නෙ කියලා අහලා ටවුන් එක පැත්තට යනවා නම් බබාවත් පරෙස්සමින් කඩේ ළඟට එක්කන් යන නැන්දලා මාමලා හින්දා බබාගෙ අම්මටත් බයක් දැනුනෙ නෑ වෙන්ටැ. ඉතින් මෙහෙම කඩේට යන බබා දවසක් හිස් වීදුරු බෝතලයක් අරන් ගිහින් ඒකට භූමිතෙල් ගැලුමක් ගේන්න කියලා අම්මා කිව්ව බවක් කඩේ මුදලාලි මාමට කිව්ව එක අහන්න ඔට්ටු නෑ හරිද?

ඉතින් ඔය මේ කතාව කියවන නැන්දලා මාමලා, ආච්චිලා සීයලා හිතන්නෙ, බබාගෙ අම්මා කඩේ යන්න කියලා කියපු සුනංගුවෙන් බබා කඩේ දිව්වා කියලද? නෑ අනේ නෑ. ඔයාලට තේරෙන්නෙ නෑනෙ. බබා පුංචි කාලෙ බබාගෙ අම්මා ලොකු ඉස්කෝලෙ ළමයින්ට ඉගැන්නුව හින්දද කොහෙද අම්මා කවදාවත් සාරිය අඳින්නෙ නැතුව ළඟ පාත කඩේට හරි යන්න ගෙයින් එළියට බැස්සෙ නෑ. හදිසියකට අහළ පහළ ගෙදරකට යන්න උනොත් විතරයි ගවුම හරි සායයි හැට්ටෙයි හරි ඇඳගන යන්නෙ. ඉතින් ඉස්කෝලෙ යන්නෙ නැති වෙලාවට බබාගෙ අම්මා වස කම්මැලියි සාරිය පටලවාගන්න. උපාය දූතයෙක් යවලා කරගන්න පුළුවන් හැම වැඩක්ම එහෙම කරගෙන බැරිම වෙලාවක තමයි සාරිය පටලවන් එළියට බහින්නෙ. එහෙම ගොඩක් වෙලාවට බබාගෙ අම්මගෙ මූණ හරි ලස්සනයි. බබා උනත් කටේ ඇඟිල්ල ගහගෙන, අම්මගෙ මූණ එච්චර ලස්සන මොකද කියලා කල්පනා කර කර අම්මට පේන්න නැති වෙන්න එහෙට මෙහේට යන්නෙ හරි බයෙන්. බබාට ඒ ඇයි කියලා තේරුනේ බබාත් ලොකු වෙලා සාරි අඳින්න ගත්තට පස්සෙ.

ඉතින් ඔය ළඟ කඩේට ගිහින් විතරක් ෂේප් වෙන්න පුළුවන් වෙලාවල් වලට බබාගෙ අම්මා බබාට හරිම හරි ආදරෙයි. බබා කියන ඕනම දෙයක් දෙනවා කඩේට ගිහින් එනවා නම්.
"බබා කඩේ ගිහින් එනව නම් අම්මා බඩුවක් දෙනවා...!" අම්මා කියන්නෙ හරිම ආදරෙන්.
ඉතින් ඔන්න බබාටත් ආස හිතෙනවා අම්මා දෙන්න යන බඩුව ගන්න.
"මොකක්ද...?" බබත් අහනවා.
"අද ඉතුරු සල්ලි වලින් ඔයා කැමති ටොපි ජාතියක් ගන්න." අම්මා රහසෙන් වගේ කියන්නෙ හරි ලොකු දෙයක් වගේ ඇස් දෙක ලොකු කරලා ඔළුව වන වනා.
බබාගෙ ඇස් දෙකත් බබාගෙ අම්මගෙ ඇස් දෙක වගේම ලොකුවෙලා. හිනා කටයි. කටෙන් කෙළත් බේරෙනවා වගේ කඩේ තියෙන ටොපි බෝතල් පේලිය මතක් වෙලා. බබා දැන් කටේ ඇඟිල්ලත් ගහගෙන මතක් කරනවා මොනවද ඒවයෙ තියෙන්නෙ කියලා. නාරං බික්, චයිනා බෝල, හූනු බිජු, මල් තියෙන බට්ටො.... තව එතකොට බුල්ටො..... බුල්ටො මතක් උනා විතරයි බබා සද්දෙට "හා" කිව්වා.

බුල්ටො කන එක බබාගෙ හීනයක්. අම්මත් එක්ක කඩේ ගියාම කොච්චර අරන් දෙන්න කිව්වත් බබාගෙ අම්මා නෙවේ බුල්ටො අරන් දුන්නෙ. එක දවසක් බබා කුරු කුරු ගානවා ඇහිලද කොහෙද කඩේ මුදලාලි නැන්දා අම්මා අහක බලනකම් ඉඳලා එක බුල්ටො එකක් බබාගෙ අත මිට මෙලෙව්වා. බබා ඒක අම්මට පේන්නෙ නැති වෙන්න දිග ඇරලා සුටුස් කියලා කටේ දාගත්තෙ අම්මා මුදලාලි නැන්දටත් අර බබා නෝටි වැඩක් කලාම දෙන ජාතියේ ගුට්ටක් දෙයි කියලා බයේ. අම්මෝ ඒකෙ රස. දැන් බබා මේක කට ඇතුලෙ එහා මෙහා කරන්නෙ අම්මා දිහා බලන්නෙ නැතුව අහක බලාගෙන. වෙනදා ගෙදර එන ගමන් තොරතෝංචියක් නැතුව අම්මත් එක්ක කතා කරන බබා එදා නම් සද්දයක්වත් නෑ. අම්මා කීප සැරයක්ම බබා දිහා හොඳට බැලුවත් එක්ක. එතකොට බබාට කෙළ ගිලින්නත් බයයි. අන්තිමට කටේ පුරවන් ඉන්න කෙළ ටික ගිලින්නෙ ඒක නිකට දිගේ බේරෙන්න ඔන්න මෙන්න තියලා. බබාගෙ වාසනාවට ඒ කාලෙ අර කලින් කතාවෙ කියපු ජාතියේ භූමිතෙල් කරත්ත ගමනින් තමයි ගෙදර ගියේ. හැබැයි බබා නන්නත්තාර උනේ බුල්ටෙ දත් ටිකේ ඇලවෙන්න පටන් ගත්තට පස්සෙ. බබා කට එහාට මෙහාට හරව හරවා ඒක ගලෝගන්න ට්‍රයි කළා, මොන... වෙනදට අම්මට වඩා අඩි කිහිපයක් ඉස්සරහින් හරි අම්මගෙ අතේ වැලමිට ළඟින් එල්ලිලා හරි ගෙදර යන බබා, මෙන්න අම්මට වඩා පහු වෙනවා. බැරිම තැන අම්මා නැවතිලා පස්ස හැරිලා බබා දිහා හොඳට බලලා ඇහුවා, "මොකෝ මහන්සිද?" කියලා. "හ්ම්.." බබා ඔළුව හෙල්ලුවා විතරයි. 

තව අඩියක් විතර ඉස්සරහට තියනකොටම කොහෙදෝ ඉඳලා මතු උනේ බබාට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් උනත්, බබා 'මාගරට් අක්කා' කියලා කිව්ව එක්කෙනා. එයා බබාට හරිම ආදරෙයි. එයා අම්මත් එක්ක කතා කරන ගමන් අම්මගෙ පිටිපස්සෙ හැංගිලා වගේ හිටිය බබා දිහා බලලා, "කොහොමද බබෝ" කියලා අහනකොට බබා එයාත් එක්ක හිනා උනේ දත් ටිකේ ඇලිලා තිබ්බ බුල්ටො ටික මතක නැතුව.
එයාගෙ මූණෙ තිබ්බ හිනාව නැතිවෙලා කට ඇරුනෙ ඉබේම. 
"ආනේ... අර මොකද මියුරුගෙ දත් ටිකට වෙලා තියෙන්නෙ?" එයා ඇහුවෙ බබාගෙ මූණ දිහා බලාගෙනමයි.
වැඩේ වැරදුනු බව බබාටත් තේරුනේ එතකොට. බබා කට තද කරගෙන අම්මගෙ මූණ දිහා බැලුවෙ බයෙන්.
"ඇයි මොකද වෙලා තියෙන්නෙ?" කියලා අම්මා අහනකොට බබා තවත් ටිකක් තද කරලා කට පියා ගත්තා.
ඒක දැකපු අම්මගෙ හිතට ආවෙ සැකයක් බව නළල රැළි කරලා බලපු විදියෙන්ම බබාට තේරුනා.
"මොකක්ද ඔය කටේ තියෙන්නෙ?" අම්මා සද්දෙ දාලා අහනකොට බබාට බය හිතුනා. බබා හී කියලා විරිත්තුවේ මාගරට් අක්කා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න දිහා බලාගෙන.
"ඒ මොනවද ඒ?" අම්මා ඇහුවේ මොකුත් හිතාගන්න බැරුව.
"මුඩලාලි නැඩ්ඩා ඩුන්නා..." බබා කට උල් කරගෙන කිව්වෙ කටේ පිරිලා තිබ්බ කෙළ ටික පරෙස්සම් කරගෙන.
"බුල්ටො නේද?"
බබා ඔව් කියන්න ඔළුව හෙල්ලුවා.

එදා බබාගෙ අම්මා බබාට බුල්ටො එපා වෙන සයිස් දේශනයක් තිබ්බට බබාට බුල්ටො එපා උනේ නැති එක දැනගෙන හිටියෙ බබා විතරයි. ඉතින් මේ ඒ දවසට පස්සෙ පළවෙනි වතාවට බබාට බුල්ටො කන්න චෑන්ස් එකක් වදින්නයි යන්නෙ.

එදා බබා කඩේ ගිහින් අතක් පුරවලා බුල්ටො ගත්තා. දැන් ගෙදර යන්න කලින් මේක කන්න එපායැ. බබා කනවා කනවා ඉවරයක් නෑ. එක පාරක් හයියෙන් විකුව ගමන් දත් ටිකේ ඇලෙනවා. ඊට පස්සෙ දන්න වැඩ ඔක්කොම දාලා දඟලන්න ඕන ඒක ගලෝගන්න. අන්තිමට බබා ඉතුරු බුල්ටො ටික අත මිට මොලවන් ගෙදර ගියා. අම්මා දැක්කොත් කියලා බයට අල්ලට දාඩිය දාලා බුල්ටො ඔතලා තිබ්බ සව් කොළෙත් දිය වෙලා ගිහින්, බුල්ටො ටිකත් අතටම දිය වෙන්න අරන් ගෙදරට යනකොට. 
අම්මා දකියි කියලා බබා කඩෙන් ගත්තු බඩු ටික අම්මට දුන්නෙ බුල්ටො අත පිටිපස්සට කරන්. ඒ උනාට  ඒ වෙනකම් අම්මට පේන කියන්න පුළුවන් බව බබා දැනගෙන හිටියෙ නෑ.
"මොනවද ඔය අතේ පිටිපස්සට කරගෙන ඉන්නෙ?"
බබා බයෙන් බයෙන් අත ඉස්සරහට අරන් දිග ඇරියා.
"බුල්ටො නේද?" අම්මා අහුවෙ බබා දිහා ඔරවලා බලලා.
 "අනේ දරුවො, මං බුල්ටො කන්න එපා කිව්වෙ ඕවා හදන තැන මං දන්න හින්දා. කිසිම පිරිසිදුකමක් නැති ජරාව. ඉන්නවකො මං එක්කන් ගිහිල්ලම පෙන්නන්න. ඒ ගෙදර තියෙන්නෙ මං ඉස්කෝලෙ යන පාරෙ."

ඔන්න ඊට පස්සෙ දවසක් බබා යනවා අම්මත් එක්ක අම්මලගෙ ඉස්කෝලෙට. හවස ඉස්කෝලෙ ඉවර වෙලා එනකොට අම්මා කිව්වා බබාව බුල්ටො ගෙදර පෙන්නන්න එක්කගෙන යනවා කියලා. අම්මයි බබයි ආවා බුල්ටො ගෙදර ඉස්සරහට. පුංචි ගෙයක්. මිදුල පුරා හිටියේ හෙළුවෙන් හිටපු බුල්ටොවලම පාට පොඩි ළමයි හතර පස් දෙනෙක්. ඒ ගෙදර ඉස්තෝප්පුවේ මේසයක් ළඟ ඉඳගෙන කවුදෝ ගෑණු කෙනෙක් බුල්ටො ඔතනවා. එයත් බුල්ටො පාටයි. අපි බලාගෙන ඉද්දි ඒ දූවිලි නාගෙන පස් අත ගගා හිටිය එක ළමයෙක් අර ගෑණු කෙනා ළඟට දුවලා ගිහින් පෙට්ටියකට අත දාලා කළු පාට බුල්ටො එකක් අරන් කටේ දාගන්නවා මං දැක්කා. ඊට පස්සෙ අර හෙළුවෙන් හිටිය තව ළමයෙක් කිරි පණු ගාය හැදිලා වගේ පස්ස කස කසා ගිහින්, ඒ අත නහයට ලං කරලා සුවඳත් බලලා, ඒ අතම දැම්මා අර බුල්ටො පෙට්ටිය ඇතුලට.

ඒක දැකපු බබා අම්මගෙ අතින් ඇද ඇදා කිව්වා "යං යං" කියලා. එදායින් පස්සෙ සෑහෙන කාලයක් යනකම් බබාට බුල්ටො පෙන්නන්න බැරි උනානෙ. ඒත් බබා ලොකු උනාම කෑවා 'ගුණසිරි බුල්ටෝ'. ඒකත් එපා කෙරෙව්වෙ බබාගෙ යාළුවා රශ්මිගෙ මල්ලි. ඒකා බලු බෙටි වලට කිව්වෙ ගුණසිරි බුල්ටො කියලා.



පින්තූරය අන්තර්ජාලයෙනි.

9 comments:

  1. //තව ළමයෙක් කිරි පණු ගාය හැදිලා වගේ පස්ස කස කසා ගිහින්, ඒ අත නහයට ලං කරලා සුවඳත් බලලා, ඒ අතම දැම්මා අර බුල්ටො පෙට්ටිය ඇතුලට// That's the secret ingredient making Bulto irresistible.. LOL

    ReplyDelete
  2. බුල්ටෝ කන්න මම නම් අසා නැහැ.බුල්ටෝ එකේ අනික් එක ඩෙල්ටා ටොෆි එකත් ඒ වගේ ඇලෙන්න ගත්තාම එපා වෙනවා.කට ඇතුලට ඇගිල්ල දාලා තමයි දත් වල ඇලිලා තියෙන එව්වා ගලවලා ගන්න ඕනේ.

    මම ඉස්සර කන්න ආස ටොෆි "වික්ස්" එක.පොල් ටොෆි කන්නත් ආසයි.එක එක පාට ඩයි දාලා හදපු පොල් ටොෆි කටේ තියන් ඉඳලා එකේ පාට දිය වෙලා ගියාම අතට අරන් බලනවා හොරෙන් ඉස්සර පොඩි කාලේ මම.

    ReplyDelete
    Replies
    1. ඔය ටොපි ජාති දෙකෙන්ම ඔය කරදරේ තියෙනවා. ඒත් මං දෙවර්ගයටම ආසයිනෙ. උදේට කෑවම දවල්ටත් රස බලන්න පුළුවන් දත් අස්සෙ ගිහින් තියෙන ඒවායින්. පව්නෙ අනේ පණුවො.

      පොල් ටොපි කටේ දාලා පෙඟුනාම, සුරූස් කියලා තල්ලට තද කරන් උඩට අදිනකොට, ඒ රස ටික ඔක්කොම බඩට ගිහින් පොල් රොඩ්ඩ ඉතුරු වෙනවා. ඒකද අතට අරන් බලන්නෙ? ගෙදර හදනකොට නම් පොල් කුඩු නෙවේ නිසා දාන්නෙ ඒකත් රසයි. මාත් හරිම ආස ජාතියක් පොල් ටොපි. වික්ස් නම් කන්නෙ උගුර අප්සැට් ගියොත් විතරයි.

      Delete
    2. ඔව් ඒ රොඩ්ඩ තමයි.කිරි ටොෆි වලට වඩා පොල් ටොපි රසයි.ඒ උනාට අපේ ගෙවල් වල හැදුවොත් හදන්නේ අර මිල්ක්මේඩ් දාපු කිරි ටොපි .. :(

      Delete
    3. ඒ කිරි ටොපි හදන එක පොල් ටොපි හදනවට වඩා ලේසි හින්දා. අපේ ගෙදරත් මේ දවස්වල අල ටොපි ඉල්ල ඉල්ලා ඉන්නවා. හදන්න ඔන්න මෙන්න තියලා රෙසිපිය මාරු වෙනවා කිරි ටොපි වලට. අල ටොපි හැදිල්ලත් පොල් ටොපි වගේම තමයි. :D

      Delete
  3. මතක විදියට මම පොඩි කාලේ කඩේ යන්නේම බුල්ටෝ කන්න!
    පස්සේ කාලෙක බුල්ටෝ නැති වුනා නේද?
    දැණ් අවුරුදු පහ හයකට ඉස්සෙල්ල යාළුවෙක් මට ගුණසිරි බුල්ටෝ ම අරන් දුන්නා ආසාව යන්නම කියලා.
    මේක දැක්කම ඒ අවුරුදු ගාණකට ඉස්සෙල්ල කෑඅ ඒවත් වමනෙට එනවා වගේ හලෝ

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ බූරූස්... දැක්ක කල්.. හරිම සන්තෝසයි..
      මටත් මතකයි නැතුව තිබුනා වගේ කාලයක්. ඒ කාලෙ ගුණසිරි බුල්ටොවත් දැක්කෙ නෑ. පිට පළාත්වලට විකුණුවෙ නැතුවද දන්නෙ නෑ. ගොඩ කාලෙකට පස්සෙ ආපහු දැක්කා.

      //මේක දැක්කම ඒ අවුරුදු ගාණකට ඉස්සෙල්ල කෑඅ ඒවත් වමනෙට එනවා වගේ හලෝ// :D:D :D ඒ වගේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් දැම්මෙ අපේ පැත්තෙ හදපු ලෝකල් එව්වට විතරයිලු...

      Delete
  4. Miyuru, long time no see. Hope you are doing fine.

    ReplyDelete