
අපි පුංචි කාලෙ අපේ අම්මලා නොසෑහෙන්න දුක් විඳිනවනෙ කෑම කටක් කවා ගන්න.... රටේ නැති පච දෙස දෙසා (හරි නම් ඒවා ඇති පණ පිටින් අපාගත වෙන්න ) ගේ වටේ ඇවිද ඇවිද හෙමනෙ යාන්තම් බත් ගුලියක් එහාට දා ගන්නෙ... එහෙම දුක් විඳලා කව්ව ගත්ත කාලෙ පහු උනාම ඊළඟට එනවනෙ කොයි තරම් කෑම තිබ්බත් මදි වෙන කාලයක්.... ඕං අපේ ගෙදරත් එහෙව් කාලයක් උදාවෙච්චි...(දැන් මගේ ගෙදරත් ඉන්නව ඒ ජාතියෙ එක්කෙනෙක්... සමහරදාට මං වැඩට ගියාම කෝල් කරලා මනූගෙන් අහනවා මෙයා බඩගින්නෙද, නැතිනම් මොනව හරි කෑවද කියලා... එක දවසක් ඔහොම අහනකොට මනූ කියනවා 'යන්තම් කෑම තියෙන කබඩ් එකේ ලෑලි ටික ඉතුරුවෙලා තියෙනවා තවම' කියලා...) අපේ ගෙදර ඔය ගින්න වැඩිපුරම බලපෑවෙ අපේ ලොකු නංගිට... ගේ ඇතුලෙ කෑම තියෙන්න පුළුවන් කියල හිතෙන සෑම අහුමුල්ලක්ම අවුස්සන උන්දැගෙ ගින්නට අපේ අම්මා කිව්වෙ 'කාක් ගින්න' කියලා.... කාක්කට වගේ ඒ ගින්න නිවෙන්න කොච්චර කෑම තිබ්බත් මදි....