Total Pageviews

Monday, 21 January 2019

සුබ අසුබ...


https://play.google.com/store/apps/details?id=com.universl.sinhalaastrologyapp&hl=en

ගොඩක් දේවල්වල සුබ අසුබ කල් තියාම දැනගන්න කැමති අපි, මහ පුදුම ජාතියක් කියලා මට වෙලාවක හිතෙනවා. ඕවා පස්සෙ ගිහිල්ලා චක බ්ලාස් වෙලා ගිය මිනිස්සු ගැන කෝච්චර දැනගෙන හිටියත්, තවමත් අපි එහෙම කරන එක අත හැරලා නෑ. මට හිතෙනවා දැන් ඒවා පස්සෙ යන මිනිස්සු වැඩියි කියලා. මුහුණු පොතට ගියාම දවසකට කී දෙනෙක් ෂෙයා කරගෙන තියෙනවද දේව පින්තූර. මේක ෂෙයා කරගත්තොත් අද දවසට සුබ දෙයක් අහන්න ලැබෙයි කියලා කියූ ගමන්ම ටික් ගාලා ෂෙයා කර ගන්නවා. සමහරු හිතාවි මේ වගේ දෙවල් කරන්නෙ රස්සාවට යන්නෙ නැතුව නිකම් මුහුණු පොතේ වාත වෙවී ඉන්න නූගත් ගැහැණු කියලා. සාමාන්‍යයෙන් කවුරු හරි ඕනෑම ගොන් වැඩක් කළොත් කට්ටිය හිතන්නෙ ඔහොමනෙ. ඒකයි මං එහෙම කිව්වෙ. ඒ උනාට මං දැකපු මේ අය ඔක්කොම වගේ හොඳ රස්සාවල් කරන උගත් මිනිස්සු. ඒ අතරෙ පිරිමිත්. පහු කාලෙක මං දැක්කා කවුරු හරි ගස්ලබු ගෙඩියක පින්තූරයක් දාලා අනේ කවුරු හරි මේ ගස් ලබ්බ ෂෙයා කරගන්න. එහෙම නැතිවුනොත් මේක කුණුවෙලා යාවි වගේ අදහසකින් අරම ෂෙයා කර ගන්න එකට උපහාසයක් විදියට කරපු නිර්මාණයකුත්. මං ඒක නම් ෂෙයා කරගත්තා මගේ මුහුණු පොතේ ඉන්න අරම කරන අයට පේන්න. ටික දවසක් නැතුව ඉඳලා ආයෙමත් පටන් ගත්තා.




මං කලින් කියලා තියෙනවනෙ අපේ පවුලෙ කාටවත් හඳහන් නෑ කියලා. ඉතින් ලංකාවෙ ක්‍රමයට එකක් නැතිවුනාට තමුන්ගෙ උපන් දිනය දන්නවා නම් බටහිර ක්‍රමයට බලා ගන්න පුළුවන් ලග්නය මොකක්ද කියලා. හැබැයි එකක් කියන්න ඕන, තවම මෙහේදි මට මුණ ගැහිලා නෑ කිසිම ඕස්ට්‍රේලියානු කෙනෙක් හඳහන්, ලග්න ගැන කතා කරපු. මේක හරි ලේසි වැඩක් නිසා මටත් හිතුනා මගේ ලග්නය ගැන බලන්න.  ඕක දැනගත්තට පස්සෙ ජාලෙ හඳහන් සයිට් එකකට ගියා මං පලාපල බලන්න. එතකොට තමයි මට තේරුනේ මේ රටවලත් ඒක ලොකු බිස්නස් එකක් කියලා. මගෙ අම්මේ තියෙන ජාති. එක එකා හම්බ කරගන්න අටවලා තියෙන උගුල්. ඒකෙන් ලොකු ආදායමක් ලැබෙන්නෙ නැත්නම් එහෙම මහා පරිමාණයෙන් වෙළඳ ප්‍රචාරණ දීගෙන ඒ වැඩේ කෙරෙන්නෙ නෑනෙ. අද දවසේ පලාපල වගේම හෙට, සතියෙ, මාසෙ, අවුරුද්දෙ විදියට දක්වලා තිබුනා. මං ටික දවසක් ඕක දිගටම බලුවා. අද දවසෙ පලාපල බැලුවෙ හැබැයි දවස අවසානයේ. සමහර ඒවා තිබුනා බොහොම කලාතුරකින් ටක්කෙටම හරි ගියපු. හරියට මටම කියලා තියෙනවා වගේ. වැඩිහරියක් නම් අහලකින්වත් ගිහින් නෑ. සමහර ඒවා බලාගෙන යනකොට  පෙනුනා මුන් එකම අනාවැකිය ලග්න දෙක තුනකට ගෙඩි පිටින් දාලා තියෙන බවත්. තවත් සමහර වෙලාවට එකම දේ දවස් ගණනාවකට කියන බවත්. බලන් ගියාම අපේ අයගෙයි මෙවුන්ගෙයි වැඩි වෙනසක් නෑ. ඔහේ වටේට වනලා දෙනකොට කොහෙන් හරි එකක් දෙකක් හරි යනවා ඇති. කවුරුවත් මාත් එක්ක තරහා වෙන්න එපා එහෙම කිව්වට. සමහරු කියනවනෙ මේක හැබෑ ශාස්ත්‍රයක්ය කියලා. ඉතින් ඒක එහෙම නම්, මොකක් හරි ශාස්ත්‍රයක් ව්‍යාපාරයක් උනහම, ඒකෙ තියෙන සත්‍යතාවයට වඩා එළියට එන්නෙ මුදල් හම්බ කිරීමේ අභිප්‍රායනෙ. එතකොට ඇත්ත කැලේ.

(එක සැරයක් මෙහේ වැඩ සටහනක් ගියා ඕස්ට්‍රේලියාවෙ හොඳම psychic තෝරන්න. අපේ රටේ සයිකික්ලා කරන්නෙ පරල වෙලා ඩෙංකුටු ගහලා මතුරලා හනුමන්තා ගෙන්නලා වගේ දේවල් කරලා උනාට මේගොල්ලො එහෙම මොකුත් කරන්නෙ නෑ. උදාහරණයක් විදියට අතුරුදහන් වෙච්ච කෙනෙක් සොයාගන්න මෙයාලා ළඟට ගියොත් එයාලා කරන්නෙ අදාල පුද්ගලයාට සම්බන්ධ දෙයක් ඉල්ලාගෙන, ඒකෙන් එයාලා කරන දේ කරන එක. බලන් ඉන්නකොට හරිම රසවත්. මට හැබැයි එහෙම කෙනෙක් තවම නම් මුණ ගැහිලා නෑ. ආසයි කෙනෙක් මුණ ගැහිලා බලන්න. ඒ උනාට මට හිතෙන විදියට සෑහෙන ගාණක් අය කරනවා. ඒකත් බොරුවයි ඇත්තයි ඔක්කොම පටලවාගෙන. ඇමරිකාවෙ සමහර වෙලාවට එහෙම අයගෙන් මිනීමැරුම්වල අපරාධකාරයා පවා සොයා ගන්න පොලිසියට ආධාර ලැබිලා තියෙනවා. ගොඩක් අය තමුන්ගෙ මළ ගිය ප්‍රාණකාරයො ගෙන්නන එක වගේ කරන්නෙ. මං දැන් කියන්න යන දේ කලින් කියලා තියෙනවද මන්දා. මං කසාද බඳින්නත් කලින් යුනියෙදි මට මුණ ගැහුනු යාළුවෙක් මගේ අත බලලා කිව්ව කිවිල්ල නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මිනිහා පාකිස්තාන්කාරයෙකුගෙන් සාස්තර බලන්න ඉගෙන ගත්තා කියලයි කිව්වෙ. එයා මගේ ජීවිත කාලෙ අවුරුදු කිහිපයක් ඉස්සරහට කියූ දේවල් නම් එකක්වත් වැරදුනේ නෑ. 100%ම හරි ගියා. ඇත්තම කිව්වොත් මේක මෙතනට අදාල නොවෙන්නෙ ඒ දෙකම සුබ අසුබ බලන්න කරන දෙයක් නොවෙන නිසා. ඒ උනාට මට හිතුනා එකතු කරන්න.)

අපි සුබ අසුබ බලන්නෙ හඳහන් වලින් විතරක් නෙවෙයිනෙ. ඉස්සර මට මතකයි අල්ලපු ගෙදර අන්කල් හරි කැමතියි උදේ පාන්දර අපේ ලොකු නංගිව දකින්න. වෙන මොනවටවත් නෙවේ. එයාව දැක්කම අංකල්ට නස්පුක් වෙන්නම බොන්න ලැබෙනවලු. හැබැයි වැඩි හරියක් උන්දට පෙනුනෙ උදේ පාන්දර රටා තියලා මිදුල පිහිදාන මංතුමීව. මාව දැක්කම මොනවා උනාද දන්නෙ නෑ. ඔය වගේ උදේ පාන්දර හොඳ කෙනෙක් දකින්න, විශේෂයෙන්ම ජනවාරි පළමු වැනිදට, සිංහල අළුත් අවුරුද්ද දවසට වගේ විශේෂ දවස්වලට හොඳ කෙනෙක් දකිනවා කියන එක ඊළඟ අවුරුද්දටම සුබයි කියලයි පරණ අය කිව්වෙ. දැනුත් කියනවද මන්දා. ඔය ඔක්කොම කැපිලා යනවා රාහු කාලෙට, ගෙයින් එළියට බහිනකොට කවුරුහරි කැස්සොත්, හූනෙක් හූණු කෙල්ලෙක් දැකලා චුක් චුක් ගෑවොත් එහෙම. එතකොට ඉතින් තව පොඩ්ඩක් ඉඳලා යන්න කියනවා.

ඉස්සර මට මතකයි අපේ අම්මට මාර වැඩක් වුනා. ඒකාලෙ අම්මා හැම සෙනසුරාදාවකම අත්තම්මටයි බාල මාමටයි කන බොන දේවල් විය හියදම් අරගෙන ගමේ යනවා. මාත් සමහර දවස්වලට බලහත්කාරෙන් එල්ලිලා යනවා. ඒ උනාට අම්මට මාව ගෙනියන එක එපා උනේ මං බාල මාමත් එක්ක ප්ලෑන් ගහලා එහේ නවතින්න දඟලනකොට. එක සැරයක් එහෙම බේරෙන්න බැරිව මාව නවත්තලා ගිහින් අම්මා පස්සෙන්දා උදේම බස් එකේ අඬ අඬා ආවා මාව එක්කන් යන්න. තාත්තා හොඳටම බැනලා අම්මට, මාව තියලා ආවා කියලා. තාත්තගෙ බය තිබුනෙ අවට සර්පයො ඉන්න එක ගැන. ඒ කාලෙ විදුලි බලය තිබුනෙ නැති නිසා චිමිනි ලාම්පුවෙයි, කුප්පි ලාම්පුවෙයි පිහිටෙන් තමයි රෑ කාලෙ ගත කළේ. මං ආසම කලෙත් ඒකට. මට මතකයි ඒ කාලෙ චිමිනියේ බැඳෙන දැලි වල උදේ කාලෙ ඇඟිල්ලෙන් එක එක රූප ඇඳලා, රෑට ඒක පත්තු කළාම වටේ තියෙන ලස්සන. බාල මාමත් හිටපු ගමන් රෑට අතුරුදහන් වෙන නිසා, තාත්තා බයයි අපිව එයාලා කවුරුවත් නැතුව ඉන්දවන්න. ඉතින් අපේ අම්මා ඔය විදියට සෙනසුරාදා යන ගමන් වලදි දවසක් ගෙයින් එළියට බැහැලා වැඩි දුරක් යන්න කලින් ඉස්සරහට මුණ ගැහුනෙ අපේ පැත්තෙ ඒ කාලෙ හිටය, වටේම පූ කර, කර ඇවිදින මහම නසරානි කොල්ලො තුන් දෙනෙක්. එදා අම්මා යන්න ගිය, ගමටම තිබ්බ එකම බස් එක, මගදි කැඩිලා, අම්මා ආත්තම්මට දෙන්න අරන් ගිය බඩු ටිකත් උස්සගෙන හැතැප්ම ගණනාවක් පයින් ගිහින් තිබුනා. ඊළඟ දවසකුත් ඔය කොල්ලො තුන් දෙනාම ඉස්සරහට මුණ ගැහුනු දවසක ආයෙමත් බස් එක මගදි කැඩිලා අම්මා ආපහු ආවා, කලින් සැරේ පයින් ගිහින් කන්න වෙච්ච කට්ට නිසා. තුන් වෙනි වතාවටත් ඔවුන් ඉස්සරහට මුලිච්චි වුනු සැරේ බස් එක නෑ. අපේ ඉතින් ලංගම බස් දුවනවට වැඩිය කැඩිලනෙ. ඊළඟට හතරවෙනි පාරටත් මුන්ව මුලිච්චි උනාම අම්මා ආපහු හැරිලා ඇවිත් නිකම් හිටියා, මූසලයො කියලා බැන, බැන. අද වෙනකොට ඒ මූසලයො කොහේ ඉන්නවද දන්නෙ නෑ. හික්ස්.

එක අවුරුද්දක, අවුරුදු නිවාඩුවට අපේ ගෙදර සෙට් එකම ආත්තම්මලාගෙ ගෙදර ගිහින් ඉන්දැද්දි, දවසක් උදේ පාන්දර නැගිට්ට හැමෝම තේ බිව්වෙ ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන. මට හොඳටම මතකයි මං හිටියේ ගෙදරින් එළියට බහින්න තිබ්බ පඩි තුනේ උඩම පඩියෙ වාඩිවෙලා හිටිය බාල මාමගෙ ඔඩොක්කුවේ. එතන එහා පැත්තෙ අම්මා වාඩිවෙලා හිටියේ ලොකු නංගිව උකුලෙ තියාගෙන. පිටිපස්සෙ තිබ්බ මං නිතරම පස්සෙ අලවගෙන ඇවිද්ද බාග පුටුවෙ වාඩිවෙලා හිටියෙ ආත්තම්මා. ආත්තම්මයි බාල මාමයි ඒකෙ වාඩි උනාට කමක් නෑ. නංගිලා වාඩි උනොත් තමයි තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්නෙ. මහා යුද්දෙකින් පස්සෙ ඒක බේරගන්න මම, ඊට පස්සෙ ඇවිදින්නෙ පුටුව පස්සට තියාගෙන, ඉබ්බා ඉබි කටුවත් එක්ක කෙලින් වෙලා ඇවිදිනවා වගේ. දකින දකින කෙනා හිනා උනාට මට මොකෝ. මට ඕන උනේ මගේ පුටුව බේර ගන්න. තාත්තා හිටියද කියලා මතක නෑ. තාත්තා නැති උනොත් තාත්තගෙ ඔෆිස් එකේ වැඩ නතර වෙයි කියලා හිතලද කොහෙද, ඒ කාලෙ තාත්තා නිවාඩු ගන්නෙ හරිම කලාතුරකින්. අපි ගියාට පස්සෙ පාළුව දරාගන්න බැරුවම ඔන්න එනවා සති අන්තය අල්ලලා. ඊට පස්සෙ මාමලාත් එක්ක විනෝද වෙන හැටියට හිතෙනවා මේ අර එන්නෙ නැතුව හිටිය මනුස්සයමද කියලා.

ඉතින් අපි සෙට් එක උදේ සීතලත් විඳිමින් ඔහොම වාඩිවෙලා ඉන්නකොට පේන්නෙ ලස්සන දර්ශනයක්.  ඉස්සරහ මිදුලෙන් පස්සෙ පොඩි බෑවුමක් තියෙනවා. බෑවුමට පස්සෙත් නොයෙකුත් දේවල් හිටවලා තිබ්බ පොඩි තැන්නක් පහු කළාම තියෙන්නෙ කුඹුරු යාය. ඒකෙන් එහා පැත්තේ පාර. ඒ වෙලාවෙ පාරෙ කවුරුවත් ගියේ නෑ. පාරට එහා ගොඩේ ආයෙමත් කන්ද. කන්දෙ තිබුනෙ තේ ගස් යායක්. ඒ කන්ද පොඩ්ඩක් නගිනකොටම තිබ්බෙ කළුගාද්දර (කළු ගහ අද්දර) ආත්තගෙ ගෙදර. ඒ ගෙදර හිටියෙ ආත්තයි, ආත්තගෙ පුතයි, ලේලියි. මට මතකයි අම්මා කියනවා ආත්තාට හයි හත්තිය තියෙන කාලෙ රසට කෑම හෙම උයන්න පුළුවන් කියලා. ඒ උනාට මේ කියන කාලෙ වෙනකොට උන්දැ අබල දුබලයි. අවුරුදු අනූ ගාණක්වත් වෙනවා ඇති කියලා තමයි කිව්වෙ. ගොඩක් වෙලාවට අපි දකිනවා එයා වදුල වගේ තියෙන ගේ අස්සෙන් හැරමිටිය ගහ ගහා පහලට ඇවිත්, අව්ව වැටෙන තැන්වල ඇණ තියාගෙන වාඩිවෙලා අව්ව තපිනවා. ඉතින් එදා පාන්දර අපි ඔහොම වාඩිවෙලා ඉන්න අතරෙ මං බලාගෙන හිටියෙ ආත්තගෙ ගෙදර දිහා. අනිත් කට්ටිය හිනා වෙවී ලොකු සාකච්ඡාවක්. ටික වෙලාවකින් මං දැක්කා ආත්තා නැගිටලා චීත්තයක් කර වටේට පොරවගෙන ඉස්තෝප්පුවේ කණුවත් අල්ලගෙන හෙමින් සැරේ මිදුලට බහිනවා. උන්දැ හැරමිටිය නැතුව බිත්තියට අත ගහ ගහා ගියේ ගෙයි පිළිකන්න පැත්තට. එයා එහෙම ගිහින් පාර පැත්ත බලාගෙන රෙද්දත් උස්සන් වාඩි උනේ නැතැයි. මං කටත් ඇරන් බලන් ඉන්නකොට එකපාරටම,
"තුඃ නොදකින්, උදේ පාන්දර දැක්ක එක," කියලා කිව්වෙ බාල මාමා විතරක් නෙවේ. අම්මයි ආත්තම්මයිත්.
බැලින්නම් අපි හතර දෙනාම බලන් ඉඳලා තියෙන්නෙ එකම පැත්ත. බාල මාමා මාවත් උස්සගෙනම නැගිට්ටා ආත්තට බැන බැන. ඒ උනාට හැමෝටම පණ යන්න හිනායි වෙච්ච වැඩේට.

එදා දවස අපට කොහොම උනාද කියලා නම් මතකයක් නෑ. මතක තිබුනා නම් බලාගන්න තිබ්බා එහෙම එකක් උදේ පාන්දර දැක්කම මොකක්ද වෙන්නෙ කියලා....



31 comments:

  1. දෙන්නං ජම්බූ, ඔට්ටේලියාවේ ගෙහුං හඳහන් බලන්න පටන් ගන්නවා ඕ යැස්

    ReplyDelete
  2. ඔව්වා ගැන මගෙත් ලොකු විශ්ශවායක් නැහැ.සමහරවිට කවුද දන්නේ අපිටත් ඔහොම කවුරුවත් කියනවාද කියලාත්.

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර අන්කල් නම් ඒ දවස්වල මට හොඳටම හිතෙන් බනින්න ඇති උදේ පාන්දර ඉදලත් කර ගහගෙන මිදුලට එනවට. ඒක නම් ෂුවර්. ඒ වෙලාවට එයා අපේ ගේ පැත්තට එනවා ලොකු නංගි ඇති කියලා හිතාගෙන. ඒ දවස්වල අපි මාරුවෙන් මාරුවට ගේ පිහිදාන එකයි මිදුල පිහිදාන එකයි කළේ.

      Delete
  3. ඉස්සර අපි පොඩි කාලෙ, අපේ ගේ ඉස්සරහින් ටිකට් විකුණන කෙනෙක් යනවා. එක පාරක් අපේ සීයට ඔය ටිකට් එකකින් රුපියල් පන්සීයක් ඇදුන. (මේ ටිකක් ඉස්සර ඉතින්) එදා අපේ සීය කිවුවා, ටිකට් එක ගන්නකොටම එහා ගෙදර ලිඳෙන් බකට් වලට වතුර පුරවගනිපු මාම කෙනෙක් එතනට ආවලු. ඒ නිසා සීය එවෙලේම හිතුවලු මේක ඇදෙයි කියල. අහඹුවක් වෙන්නත් පුළුවන් ඉතින් අපේ එහා ගෙදර ලිඳෙන් තමයි අහල පහල හැමෝම වතුර ගෙනියන්නේ, ඉතින් පාර දිගේ කල, බකට්, කෑන් අරන් කට්ටිය එහෙ මෙහෙ යනවා නිතරම, කොහොමත්. අපි ඕක ටෙස්ට් කරන්න හැදුව, ඊළඟ දවසෙත් සීය ටිකට් ගන්නකොට වතුර පනිට්ටුවක් උස්සන් එතනට ගිහින්. හැබැයි කරන්න බැරි වුණා, කවුද අනේ කැමති බර වතුර පනිට්ටුවක් උස්සන් ගේට්ටුව ලඟට ඇවිදන් යන්න? :P

    මම කලිනුත් කිවුවනේ ඔයාලගේ ගෙදරයි අපේ ගෙදරයි එක වගේ කියල. අපේ අම්මත් ඔහොම අපිවත් අරන්, ආච්චි වයි, මාම වයි, බලල එන්න ගමේ යනව. ඒ වගේම අපේ තාත්තත් හිතන් හිටියේ එයා නැත්නම් දෙපාර්තමේන්තුවම ෂට් ඩවුන් වෙනව කියල තමයි. :D

    හැබැයි අරම උදේ පාන්දර සුභ දසුන් පෙන්නන ආත ලා නම් ඒ කිට්ටුව හිටියේ නැහැ. :(

    ReplyDelete
    Replies
    1. //හැබැයි අරම උදේ පාන්දර සුභ දසුන් පෙන්නන ආත ලා නම් ඒ කිට්ටුව හිටියේ නැහැ.// අපරාදෙ…

      ඔය වතුර කතාව නම් ටිකක් සැරට තියෙනව නේද? විභාගවලට යනකොට, කසාද බඳින්න ගෙයින් එළියට බහිනකොට අම්මල තමයි ඉස්සරහට එන්නෙ පිච්ච මල් දාපු වතුර වීදුරුවකුත් අරගෙන. පව් අනේ... කෙල උනොත් ඔන්න අපි නෙමේ, අම්මගෙයි වැරැද්ද... එයානෙ එළියට බහිනකොට ඉස්සරහට ආවෙ. ඔයගොල්ලන්ටත් තිබුනෙ බාල්දි පුරවලා වතුර අරන් යන්නෙ නතුව සීයගෙ ඉස්සරහට වතුර වීදුරුවක් අරන් යන්න. ස්වීප් එකක් ඇදුන නම් ඒ වගේයැ… ;P

      Delete
    2. ආ... ඒක මතක් වුණේ නැහැනෙ. අපරාදේ වතුර බිබී ගේට්ටුව ලඟට ගියා නම් වැඩේ ගොඩ යන්නත් තිබුණ තමයි.

      ඔය වගේ වැඩ වල දෙපැත්තක් තියනවා ඉතින්. චාරිත්‍රේ smoothly සිදු වුණොත් හොඳයි, හදිසියේ වත් අක්කරතැබ්බයක් වෙලා නොසිතූ දෙයක් වුනොත් ඒක හිතේ තියනවා නේ ඉතින්. අපේ අක්ක පෝරු නගින්න කලින්ම ඒ ගුරුන්නාන්සේ ට කිවුව, පොල් බිඳින්න එපා කියල. සාමන්‍යයෙන් පොල් බිඳින්නේ මාම නේ, අපේ මාම හුළඟටත් වැනෙන සයිස් ලෙඩා දුකා, පොල් ම බිඳින්න පුළුවන් එයාට. අප්පේ ඉතින් පෝරුවෙන් බහිද්දී මේ ගුරුන්නාන්සේ කිවුවෙ නැද්ද,

      "හා දැන් මාම පොල් ගෙඩිය බිඳින්න" කියල..

      දැන් මාම ඇවිත් පිහිය අතට ගත්ත, ඒ උනාට බයයි, ඉතින් මාම අපේ බාප්පට කතා කළා, "මල්ලි මල්ලි මෙන්න මේක බිඳින්න" කියල.

      බාප්පා බිඳින්න හැදුවට පොලේ බිඳුනේ නැහැ, බාප්ප එහෙම ගේ දොර වැඩ කරන කෙනෙක් නෙවෙයි, පස්සේ අර ගුරුන්නාන්සේ ම පැනල ඒක ටක් ගාල බින්දා. හොඳ වෙලාවට අපේ නෑයෝ වැඩියම ඕව කෙයා කරන්නේ නැහැ. නැත්නම් පොලේ පලු දෙක බිඳුණු විදිය බලල ජෝඩුව ගේ විවාහ ජීවිතේ සතුට ගැනයි, ලැබෙන දරුවෝ ගැනයි සාස්තර කියන නෑයෝ ඉන්නවා සමහරුන්ට. :)

      ඔයාට කියන්න, මම ජපන් යන්න කලින්, අපේ අම්ම මාව එකලාසයක් කරලා දාන්න හිතාගෙන මගේ හඳහන බලපු වෙලාවක, ඒ මනුස්සය කියල තියනවා, "කසාද බඳිනකම් මෙයාට රට යන්න බෑ" කියල. ඇත්තටම මම ජපන් යන්න සූදානම් වෙනකොට අක්කරතැබ්බ මහා ගොඩක් වුණා, ඒ හැම වතාවකම අර කතාව ඔලුවට එනව ඉතින්. ප්ලේන් එකේ රෝද නරිට එයාපෝට් එකේ පොලවේ වදිනකම්, මම හිතන් හිටියේ මොකක් ම හරි වෙයි කියල. කොටින්ම මම කරාබු දෙකත් ගලවල ගෙදර තියල ගියේ, මළොත්, මුහුදේ ගිලෙන ශරීරෙකට කරාබු දාන් යනවට වඩා, තියල ගියොත් ගෙදර මිනිසුන්ට රුපියල් දාහකට හරි මේක උකස් කරන්න පුළුවන් නේද කියල හිතල.

      ජපානේ ඉන්නකොට තමයි මම UK ස්කොලර්ශිප්ස් වලට අයදුම් කලේ. ඔය කාලේ කොලුවෙක් මා ගැන ක්‍රෂ් වෙලා හිටිය. මම එයාට අකමැති වුණාට, මූණට කියන්න පවු නිසා මම sugar coat කරලා එයාට කිවුවේ, "අනේ මම බඳින්න කැමති නෑ, බබාලට ආසත් නෑ" කියල. හැබැයි බබාලට නම් ඇත්තටම ආස නෑ. කෝමහරි මෑන්ස් මගේ අත බලා සාස්තරයක් කියන්නද ඇහුව, එයාට ඒවා පුළුවන් ලු, බඳින්නෙත් නැති, බබාල හදන්නෙත් නැති මේ අරුම පුදුම යුවතිය ගැන එයාට හරි curious ලු. ඉතින් ඕක බලල මේකා කියපි, "ඔයා බඳිනවා, බබාලත් ලැබෙනවා, ඒ වගේම ඔයාට ජපානේ ඉඳන් ලංකාවට ගියාට පස්සේ ආයේ ලංකාවෙන් පිට වෙන්න අවස්ථාවක් නෑ" කියල. හැබැයි ඒ වෙද්දී මම ඕව විස්වාස කරන එක ගොඩක් අඩු වෙලා තිබුණෙ, ජපානේ යනකොට වගේ කට්ට සෙට් වුනෙත් නෑ අනේ UK එන වැඩ කටයුතු ඔක්කොම හරිම smoothly සිදු වුණත් එක්ක.

      විශ්වාස කරන එක හොඳයි, හැබැයි හදිසියේ නොසිතූ විදියකට අපබ්‍රංශ දෙයක් වුනොත් ඒක ගණන් නොගෙන වැඩ කටයුතු ටික කරන් යන්න පුළුවන් තරමට හිත ශක්තිමත් නම්. නැත්නම් ඉතින් විශ්වාස කරන එකෙන් වෙන්නේ වාසියකට වඩා පාඩුවක්.

      Delete
    3. මේක කියනකොට මට මතක් උනේ මම නම් පෝරුවෙන් බහිනකොට පොලේ බින්දෙ බාල මාමා. මාත් ඕකට හරි බයෙන් හිටියෙ. අනාගතේට වඩා මේ හත්තිලව් පොල් ගෙඩියක් ගැන. පොල් ගෙඩියකට පුළුවන්ද වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න. පව් අප්පා අපි.
      තවත් සිද්දියක් මතක් උනා. මගේ යාළුවෙකුගෙ අක්කාගෙ වෙඩින් එකේදි මනමාලිට ඇන්දුවට පස්සෙ හෝල් එකට එක්කන් ගිය කාර් එක එලෙව්වෙ දෙවෙනි මනමාලයා. අපි ගියේ ඊට පස්සෙ කාර් එකේ. අරකා කාර් එක එලෙව්වෙ නැද්ද හැටට හැටේ. මනමාලිගෙ අම්මයි තාත්තයි හිටියෙත් මං ගිය කාර් එකේ. ටික වෙලාවක් යනකොට මනමාලි ගිය කාර් එක අපට සොයාගන්නත් බැරි වුනා. හැමෝම බය වෙලා හොඳටම. මෙන්න තව ටිකක් දුර යනකොට අර කාර් එක හැප්පිලා වෙන වාහනේක. දෙවෙනි මනමාලිට හිටිය නංගිගෙ නළල පැලිලා ලේ වැක්කෙරෙනවා. වෙන කාටවත් කරදරයක් වෙලා නෑ. මනමාලි පාර මැද හිටගෙන මල් පොකුර අල්ලගෙන, වේල් තඩියත් එක්ක. අන්තිමේ අරයගෙ නළලට පොඩි ප්ලාස්ටරයකුත් ගහගෙන අපි ගිය වාහනේට මනමාලිව පටවලා, අපි පස්සෙන් ආව වාහනයක හිර වෙලා ගියා. කවුරුවත් කාටවත් කිසිම දෙයක් කිව්වෙ නෑ ඒ ගැන. අඩු ගානෙ අපි, අපිවත් කතා කළේ නෑ ඔය අසුබයි කියන එකේ බයට. ඒත් අනේ උන් දෙන්නා එකට ඉන්නවා තවම දරුවො තුන් දෙනෙකුත් එක්ක.
      ඔයාට වගේ මගේ යාළුවෙකුටත් අපිත් එක්ක එකට වැඩ කරපු හඳහන් බලන කෙනෙක් කිව්වා කවදාවත් රට යන්නෙ නෑ කියලා. එයා හරි ආසාවෙන් හිටියෙ යන්න. ගෑණි හොඳටම අප්සෙට් ගියා ඒක අහලා. අනේ දැන් දරු මල්ලො දීග දීලා බොහොම නිදහසේ ලෝකෙ වටේ ඇවිදිනවා ජෝඩුවත් එක්ක.
      //විශ්වාස කරන එක හොඳයි, හැබැයි හදිසියේ නොසිතූ විදියකට අපබ්‍රංශ දෙයක් වුනොත් ඒක ගණන් නොගෙන වැඩ කටයුතු ටික කරන් යන්න පුළුවන් තරමට හිත ශක්තිමත් නම්. නැත්නම් ඉතින් විශ්වාස කරන එකෙන් වෙන්නේ වාසියකට වඩා පාඩුවක්.// එකඟයි.

      Delete
  4. මම ඒ ලෙවල් ලියල දෙවෙනි පාර කරන්න නුවර ක්ලාස් යන්න නැවතිල හිටිය අපෙ පුංචි මාම ගෙ ගෙදර.

    ඒ මාම දක්ෂ දඩයක්කාරයෙක්..ඒ කාලෙ කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කලේ. රෑට දඩයමේ යනකොට මමත් යනව ආසාවට. කොහොම හරි ඒ ගිය එක දවසකවත් දඩයමක් හරිගියේ නෑ නිකං ආසාවටවත්..

    පස්සෙ පස්සෙ මාම මාව එක්ක යන්න එච්චර කැමැත්තක් නෑ කියල මටත් තේරුන හින්ද මම බලෙන් ප්ලග් වෙන්න ගියෙත් නෑ.

    පස්සෙ කාලෙක මාම මට කිව්වෙ පිංවන්තයො එක්ක ගියාම දඩයම් ලැබෙන්නෙ නැතිලු.ඒ හින්දලු මාව එක්කං යන්ට පස්සෙ පස්සෙ අකමැතිවෙලා තියෙන්නෙ...:)

    ReplyDelete
  5. මට කවදාවත් මුල්ම රිප්ලයි එක දාන්න මේ මළඉලව්ව වැඩ කරන්නෙ නෑ. ඒ හින්දා බලන් ඉඳලා බැරිම තැන, මේකවත් දාලා බලනවා හරියයිද කියලා. සමහරවිට මෙහෙම සුබද දන්නෙ නෑනෙ. ;P

    ReplyDelete
  6. @ ඉවාන් පවුලූශා,
    හී... හී... ඕක මෙහෙත් ජයට යන හින්දා වෙන්නැති දිනපතා පත්තරවලත් ලග්න පලාපල තියෙන්නෙ. මං දැකලා තියෙනවා පිල්ලියො නම් ඕක බලනවා. පාඩු වෙන එකක් නෑ බිස්නස් එක.

    ReplyDelete
  7. @ Ravi,
    මාමා දඩයම් කළේ මොක්කුද? දැන් නම් වල් ඌරො හරියට ඉන්නවලු ඔය පැතිවල.

    මං අහල තියෙනවා රවී මාළු බාන එකටත් ඔහොම කතාවක් කියනවා. පව්කාරයන්ට විතරයි මාළු අහුවෙන්නෙ කියලා. ඉස්සර අපේ තාත්තා මාමලත් එක්ක යනවා මාළු බාන්න. මාමලගෙ පිති වලට අහුවෙනවා අඩු නැතුව. තාත්තා කොච්චර වාඩිලාගෙන හිටියත් කවදාවත් අහුවෙන්නෙ නෑ. අන්තිමට ඒ කාගෙ හරි මාළුවෙක් හොරකම් කරගෙන එයාගෙ කූඩෙට දාන් එනවා ලැජ්ජාවට. හික්ස්.

    ReplyDelete
  8. මමත් ඕවා සතපහකට විශ්වාස කරන්නේ නෑ. ඒත් දැන් දැන් නම් ඕවයේ ඇත්තක් නැත්තෙම නැද්ද කියලා මමත් දැන් ඉන්නෙ දෙගිඩියාවක..

    මේ ලඟදි ධම්මික පෙරේරා කිව්වා එයා ඉස්සර රාහු කාලය පිළිගත්තෙ නෑලු දැන් පිළිගන්නවාලු. එයාට චීනෙක් කිව්වලු එහෙම එකක් තියනවා බොරුනම් ඒ වෙලාවට කරන වැඩ ලියලා බලන්න කිව්වලු. පස්සෙ මෙයා ලියලා බැලුවම 70% ක් විතර අසාර්තක වෙලාලු රාහු කාලය වෙලාවට කරණ වැඩ.. මොකටද නිකන් ඒ වගේ අවධානමක් ගන්නෙ කියලා දැන් මනුස්සයා රාහුකාලය මග හැරලලු වැඩ කරන්නේ.. (දෙරණ 360 14.01.2019).

    සුබ අසුබ කෙසේ වෙතත් මියුරුගේ අතීත කතා ටික මසුරං...

    ReplyDelete
    Replies
    1. මෙහේදි නම් ඇත්තම කිව්වොත් ඔය වගේ දේවල් කිසිම දෙයක් නිකමටවත් ඔළුවට එන්නෙ නෑ සෙන්නා. හොඳ ගමනක් යන්න එළියට බැස්සොත් ආපහු එන්න එපා, බාධා වෙනවා, යන වැඩේ හරියන්නෙ නෑ කියලා කොච්චර නම් පොඩි කාලෙ අහලා තියෙනවද ආත්තම්මලගෙන්. ඒත් දැන්, ගමනක් යන්න වාහනේට නැගලා ආපහු දොර ඇරගෙන ගෙට ආවෙ නැතොත් යන වැඩේ හරියන්නෙ නෑ කියන තරමට ෂෝක් අපි. අනිත් එක තමයි එළියට බහින කොට දකුණු කකුළ ඉස්සරහට තියන්න කියන එක. පොඩි කාලෙ නම් දෙකම එකට ඉස්සරහට තියලයි එළියට බැස්සෙ. දැන් නම් සමහර වෙලාවට කකුල් දෙක තවම තියෙනවා කියල, ඒකම දන්නනවා දවස ඉවර වෙනකොට.
      ඉස්සර මට මතකයි අපි පොඩි උනුයි අපේ අර මහ මොළකාර නැන්දයි හූනන් ඇඟ වැටීමේ පලාපල බලනවා ඈපා ලිතෙන්. ඒකෙ තිබුනනෙ ඔය රාහු කාලෙ එහෙමත්. තවමත් තියෙනවද ඒ ලිත. අපේ ගෙදර ඒකෙන් කෙරුනු එකම දේ තමයි අවුරුදු චාරිත්‍ර වලට වෙලාව බලා ගත්තු එක. එකක් උඩ එකක් අලවලා හෙන ගණකම කාඩ්බෝඩ් එකක් වගේ වෙලා තිබුනා අවුරුදු ගාණක ලිත් ටික.

      Delete
    2. ඈපා ලිත් තාම තියනවා මම හිතන්නෙ. ඔය කිව්වම මතක් වුනේ අපේ සීයලගෙ ගෙදරත් ඔයම තමා...😀

      Delete
    3. සමහර ගෙවල්වල නම් ඕක තිබුනෙ ලී රාමුවක දාලා. අපේ ගෙදර නම් ඉතින් බිත්තියේ තමයි. ඕක අලවන්න පාප්ප හදන්න නැතුව ඇති. ඒ කාලෙ ගම් එහෙම අපේ ගෙදර බොහොම හිඟයි. බත් ඇට වලින් වෙන්නැති අලවන්න ඇත්තෙත්. :D

      Delete
    4. සෙන්නා, දැන් අර ලාංකීය කියන සින්ඩි එකයි, හත්මාළුවයි වැඩ නැද්ද? මට හොයාගන්න බෑ. මං හිතන්නෙ මගේ බ්ලොගේ ඒවයෙ දැන් අප්ඩේට් වෙන්නෙත් නැතුවද කොහෙද? පුළුවන්ද මට කියන්න දැනට හොඳට ක්‍රියාත්මක වෙන සින්ඩි මොනවද කියලයි, ඒවට මේක දාගන්නෙ කොහොමද කියලයි. කිසිම අයිඩියා එකක් නෑ.

      Delete
    5. මම කියවන්න ඕන උනාම බ්ලොග් හොයාගන්නේ අඹගහ යට සින්ඩි එකෙන්. සමහර සින්ඩි වල ටික දවසක් අප්ඩේට් නොවෙන ඒවා ඉවත් කරනවා, නමුත් අඹගහ යට එකේ එහෙම නෑ, ඒ නිසා කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මත් ඒකෙන් බලන් කට්ටිය එනවා මගේ බ්ලොග් එකට.

      ලින්ක් එක.
      http://ambagaha.blogspot.com/

      මේකට මැසේජ් කරන්නකෝ.
      https://www.emailmeform.com/builder/form/q1HtC1K0RW4b2rydL5bVBQsD3

      Delete
    6. මම හිතන්නෙ මියුරු මම සින්ඩි වල නැතිම තරම්..ඉතිං ඔය ගැන උපදෙසක් දෙන්න අමාරුයි.. මම කියවන්න ඕනා බ්‍ලොග් මගේ blog රෝලට දාගෙන ඒකෙන් තමා කියවන්නෙ..

      මම හිතන්නෙ ගොඩක් blog වගේම සින්ඩිත් දැන් අක්‍රිය වෙලා තියෙන්නෙ...

      Delete
    7. "ඒ කාලෙ ගම් එහෙම අපේ ගෙදර බොහොම හිඟයි."

      ඇයි කජු මැලියම් තිබුනෙ නැද්ද? අපේ ගෙදරනම් කජු මැලියම් බෝතලයක් තිබුනා ඒකට ම දාපු කෝටුවක් එක්ක...

      දැන්නම් දැකපු කාලයක් නෑ...ඒවා...🙄

      Delete
    8. සෙන්නා ඔය කිව්වමයි මතක් උනේ. අපේ ගෙදර තිබුනෙ නැතිවට අත්තම්මලගෙ ගෙදර තිබ්බා. ලොකු තීන්ත බෝතලේකට දාලා. ඒකෙ කට වටේට ගල් වෙලා තිබ්බා කජු ලාටු. කෝටුවකුත් තිබ්බා. ඒකත් හැබැයි බෝතලේටම ඇලිලා. එහේ වත්තෙ කජු ගස් තිබ්බ හින්දා අපිත් එකතු කරනවා සමහර වෙලාවට. එකතු කළේ ගස්වල කොළ වලින් ගොටු හදලා ඒවට කියලයි මතක. ස්තුතියි මතකයක් අවදි කළාටයි, සින්ඩි ගැන කිව්වටයි. :D

      Delete
  9. මට තියෙන්නෙත් ඔය විදිහෙ දේවල් සොයන ආසාවමයි.හැබැයි ඉතින් අනාවැකි නම් අන්දයො ගල් ගහන්න වගේ තමයි. ඔබට ඔස්ට්‍රෙලියාවෙද් හමු වුනා වගේම ඇමරිකාවෙ නිව්ඔලියන්ස් වලදි මෙහෙ ඉන්න ශාස්තර කාරයො දකින්න ලැබුණා. ඒත් ඒක ඒ වෙලාවෙ වීදි සන්දර්ශන අතරෙ දැක්ක නිරූපණයක් වගේ හැඟිමක් ඇති වුන නිසා ශාස්තර අහන්න ගියෙ නෑ. පසුව විමසා බලද්දි ඒක වීදි නිරූපණයකට වඩා ගිය දෙයක් බව අහන්න ලැබුණ. තවමත් මිනිසුන් පෞද්ගලිකව මුහුණ දෙන ගැටළු වලදි මෙවැනි දෑ හඹායාම දියුණු රටවලින් වුනත් ඈත්ව නැහැ නොවේදැයි සිතෙනවා.

    ReplyDelete
  10. ඇත්තටම ගුණසිංහ මහත්මයා, මට මගේ සාස්තරකාරයා මුණ ගැහුනෙ ලංකාවෙ යුනි යන කාලෙ. මගේ බැචෙක්. ඕස්ට්‍රේලියාවෙදි නම් දැකලා නෑ ඔය කිව්ව විදියේ වීදි සංදර්ශණයකදිවත්. ප්‍රසිද්ධියේ නැතුවට ගෙවල්වල හරි ඔය පොඩි කඩවල් වගේ අපි දැක්කම යන්නෙ නැති තැන්වල ඇති කියලා හිතෙන්නෙ ඔය සාස්තර කිවිල්ල ක්‍රිස්ටල් රීඩිං කියලා ක්‍රිස්ටල් බෝලයක් බලාගෙන කියන කතාවකුත්, ටැරට් රීඩිං කියලා කාඩ් වගයක් බලාගෙන කියන කතාවකුත් තියෙනවා කියලා දැක්ක නිසා. ඒවයෙ වීඩියෝ තියෙනවා යූ ටියුබ් එකේ. සමහර අයව අපේ වගේම ටීවී ෂෝ වලටත් ගෙන්වනවා. සමහරුන්ව නම් පච කරලම දානවා. සමහරු බේරෙනවා. ගොඩක්ම හැබැයි සයිකික්ලයි, එක, එක බල වලින් ලෙඩ හොඳ කරන අයයි තමයි එහෙම කරන්නෙ. මරු බලන් ඉන්නකොට.

    ReplyDelete
  11. @ එක් මානවිකාවක්23 January 2019 at 22:51
    බොහෝම ස්තුතියි එමා ඔයාගෙ පිළිතුරට. මගේ බ්ලොග් එක මං හිතන්නෙ දැන් තියෙන්නෙ ඒ සින්ඩියේ විතරයි. අනිත් ඒවායින් හැලිලද, හලලද මන්දා. එහෙම ඒවා දැන් තියෙනවද දන්නෙත් නෑ. හොයාගන්නත් බෑ. දැන් ගොඩක් අය එනවා වගේ පේන්නෙ කෙලින්ම ගූගල් කරලා හරි, අනිත් ගෙවල්වල වැල්වල දාලා තියෙන ඒවායින් හරි තමයි.
    ඒ උනාට ඔයාගෙ කමෙන්ට් එක නම් අපතේ යන එකක් නෑ. මේක දකින, අඹ ගහේ නැති වෙන කෙනෙකුට හරි ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
  12. නැකත් , කේන්දර , දේවාල , ජෝතිශය , ගුප්ත විශ්වාස ඇදහිලි වගේ දේවල් නිසා තමයි ලංකාව කොටඋඩ ගිහින් තියෙන්නේ .

    කාලීණ සංවාදයක් . වැදගත් !

    ReplyDelete
    Replies
    1. ඉස්සරට වඩා දැන් සමහර මිනිස්සු ඒවායින් අන්ධ වෙලා ඉන්න එකයි වැඩේ.

      Delete
  13. මට මේව විස්වාස කරන්නත්, නොකරන්නත් දෙකටම හේතු තියෙනවා. ඒ නිසා වැට උඩ.

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත නියනවනෙ, නැද්ද ඉයන්...

      Delete
  14. හුටා! මං පරක්කුද? මට බෝට්‍ටුව මිස් උනාද? සමාවෙන්න ඕනෙ, තදේටම හිම කුණා‍ටුව .

    ජීවිතේ එක්තරා අඳුරුම පරිචේදයකදි, මාත් ඔය සෑස්තර කස්ටිය පස්සෙ ගියා නං තමා. දැන් මුකුත්ම බලන්නෙ නෑ. මේකට හරියන්නෙ බඹරගෙ තියරිය. එයරො ඩයිනමික් තියරි වලට අනුව, බඹරට පියාඹන්න බෑරිලු- ඌගෙ ගරීර ප්‍රමාණය , හැඩයට , ඒ කුඩා පියාපත් හරියන්නෙ නැහැලු. ඒත් ඌ පියාඹනවා. කොහොමද? ඒ ඌ ඔය එයරො ඩයිනමික් තියරි සත්ගපහකට මායිම් නොකරන නිසා.

    ReplyDelete
    Replies
    1. හික්ස්... කුණාටු මැද්දෙ දුක් විඳගෙන ආව බස්සට මෙන්න උණුවෙන් තේ එකක්... අපේ පැත්තෙ බස්සො තේ බොනවා...
      මටත් හිතෙන්නෙ ඔය වගේ දේවල් දැනගෙන හිටියම හරි අමාරුයි කියලා ජීවත් වෙන්න.... හිතට මහ වදයක්...

      Delete
  15. හොද සටහනක් . කොහොමටත් ආගම් , දේශපාලනය සහ තමාගේ දර්ශනය සමාජ ජාල තුලට නොගන්න එකයි හොද . වෙලා තියෙන්නෙ ඒවාට ඕනෑවට වඩා වාල් වෙනවා වගේම ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහ නොකරන එකයි . නිතර ප්‍රතිචාර නොලිව්වත් ඔබේ ලියැවිලි ඔක්කොම කියවන්නෙ ඒ නිසයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ.

      Delete