කාලාන්තරයකට පස්සෙ දාන පළමුවෙනි පෝස්ටුව... මං නැති අතරෙ මේ පැත්තෙ ඇවිත් හොයපු බලපු, වල් කොටලා ගිය, ලියන්නෙ නැතිවට බැනපු හැමදෙනාටම බොහොම ස්තුතියි හොඳේ.... ඔන්න ආයෙ ලියන්න ගත්ත....
බාගෙට ලියපු කතාවකුත් තියෙද්දි අළුත් කතාවක් ලියන්න හිතුනෙ බින්දිගෙ අවුරුදු කතාව කියෙව්වට පස්සෙ.... හැමෝගෙම පොදු අවුරුදු කතාවට අමතරව වෙනස්ම විදියක අවුරුදු අත්දැකීමක් මට තියෙන හින්දා....
මං පුංචි කාලෙ මට මතකයි අවුරුදු එනකොට බලන බලන හැමතැනම අමුතුම වෙනසක් පෙනුනු හැටි..... පරිසරයත් අමුතුයි.... ගස් කොළං පවා හරියට අළුත් වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ..... මිනිස්සුත් අමුතුයි.... වෙනදට මූණ බලල ඔළුව හොල්ලලා ගියාට හිනාවෙන්නෙ නැති මිනිස්සුත් මේ කාලෙට හිනා වෙනවා.... අපි වගේ පොඩි උන් ගැන වෙනදා වගේ හොයල බලන්න අම්මලට වෙලාවක් නැති හින්දා අපට රජ මගුල්.... මට මතකයි අහල පහළ ගෙවල්වල ගෑණු උදවිය හතර පස් දෙන විතර එක ගෙදරකට එකතු වෙලා කැවිලි පෙවිලි හදන හැටි.... අද එක ගෙදරක කැවුම් හැදුවා නම් හෙට තව ගෙදරකට එකතුවෙලා මුං අතිරස හදනවා.... තව ගෙදරකට එකතුවෙලා කේක් හදනවා..... ඔය විදියට එක එක කැවිලි ජාතියට අදාල එක්ස්පර්ට්ලා ඉන්න ගෙවල්වලට එකතුවෙලා තමයි වැඩේ කෙරෙන්නෙ.... අපේ ගෙදර හැදුවෙ කිරි ටොපියි, අළුවායි....එහෙම දාට මං හොර අල්ල අල්ල බලන් ඉන්නෙ ටින් කිරි ටින් ටික එකතු කරගන්න.... ඒකෙ ගෑවිලා තියෙන ටින් කිරි ටික ලෙවකන්න..... මං අහල පහල ගැවසෙනව දකිනකොට අපේ අම්මට හරි කේන්තියි ඔය දවස්වලට..... ගෙදර පිට අයත් ඉන්දැද්දි අලජ්ජකම් කරනව කියල.... ඒ හින්ද තරහටම අම්ම ටින් එක පුළුවන් තරම් හූරලාම අරගන්නව ලෙවකන්න දෙයක් නැතිවෙන්න..... ඒත් ඉතින් පෙරේතකමට බෙලෙක්ක ලෙවකන්න ගිහින් දිව කපා ගත්තු දවසුත් නැතුව නෙවෙයි..... කිරි ටොපි හදලා අයින් කළාට පස්සෙ ඒ හදපු භාජනේට උණු වතුර දාලා අර ගෑවිලා තියෙන ඒවා දිය කරගෙන හදාගන්න බීම එක එහෙම කොහොමද.... හික්ස්.... කරපු පෙරේතකම් තමයි වැඩිය මතක..... ඕක කරල තියෙන අය දන්නව ඇති රස...හ්ම්ම්ම්ම්....
ඉතින් ඔය කාලෙට කරන කැවිලි හැදිලි, ගෙවල් අස් කිරිලි, අළුත් ඇඳුම් මැහිලි ඔක්කොම වේලපහින් ඉවර කරන් අපි පේවෙලා බලන් ඉන්නෙ අපේ මාමලා සෙට් එක එනකම්.... ඒ කාලෙ අපේ ලොකු මාමා ඇරුනම අනිත් අය අවිවාහකයි.... ඔය සෙට් එකටම එකතුවෙන අම්මගෙ මාමා කෙනෙකුගෙ පුතෙකුත් හිටියා.... එයා හේමසිරි බාප්පා..... මේ සෙට් එකම අවුරුද්දට ගෙදර එන්නෙ එකට එකතුවෙලා එකම දවසෙ.... තනියම නෙවෙයි... තව ඒ වගේම යාළුවො සෙට් එකකුත් එක්ක..... අවුරුද්දට ඔහොම එන කණ්ඩායමේ අනිවාර්යයෙන්ම හය හත් දෙනෙක් විතර ඉන්නවා.... ඒ එනකොට තෑගි බෝග විතරක් නෙවෙයි, සර්පිනාවක් ඇතුළු සංගීත භාණ්ඩත් කර ගහගෙන තමයි එන්නෙ..... කලින්ම එන දිනේ කියල අම්මට ලියුමක් එන නිසා එදාට උදේ ඉඳන් මග බලන් ඉන්නෙ කට්ටිය ඈතින් මතු වෙනකම්...... හැමදාම බරට බර බෑග් එකක් කරේ එල්ලගෙන සර්පිනාවත් කරේ තියාගෙන ඉස්සෙල්ලම මතුවෙන්නෙ කළු මාමා, අම්මගෙ බාලම මල්ලි..... ඊට පස්සෙ අනිත් සෙට් එක.... ඒ එන්නෙත් අහළ පහළ ගෙවල්වල අය මෙයාල පාර දිගේ පෙළට එනව දැක්කම අහන ප්‍රශ්ණවලට කෑගහ ගහ උත්තර දෙන ගමන්මයි....... සද්දෙ ඇහෙනකොටම මං පිම්ම ගහල දුවනව පාරට.... ගිහින් මොනව හරි මට උස්සන් එන්න පුළුවන් දෙයක් තිබ්බොත් ඒකත් අතට අරන් තමයි මං නට නට ගෙදරට ගොඩ වෙන්නෙ..... ඒ එනකොට අපේ ගෙදර හෙන බත් මැලයක් හෙම ලෑස්ති පිට තියෙන්නෙ.... කාලා එහෙම ඉවර වෙලා කට්ටිය කතාවට බැස්සම අහළ ගම් හතකට ඇහෙන්න සද්දෙයි.... කතාව විතරක් නෙවෙයි, හිනාවත් එහෙම තමා..... මමත් ඉතින් එක්කෙක්කෙනාගෙ කට දිහා බල බල කාගෙ හරි ඔඩොක්කුවකට වෙලා කකුල් පද්ද පද්දා හිනාවෙවී අර කියන ඒවා අහගෙන ඉන්නව..... අපේ මාමල සෙට් එකයි, අම්මයි, තාත්තයි ඔහොම වෙලාවට ආමන්ත්‍රණය කරගන්න විදියකුත් තිබුණා..... තාත්තට කිව්වෙ 'සුදු පුතා' කියල... අම්ම 'දුව'.... කළු මාම 'කළු හාමිනේ'.... ඔය වගේ.... ඒ කාලෙ මං කොච්චර ඇහුවත් ඒක ඇතිවුනේ කොහොමද කියල කවුරුවත් මට කිව්වෙ නෑ..... මං ඉතින් හිතාගත්ත මොකක් හරි කුණුහරපයක් වෙන්න ඇති කියල..... මොකද මෙයාල එකතු උනාම මට නොතේරෙන්න ඔය වගේ නෝටි කතා කියල උගුඩුවො වගේ ඉන්න හරි දස්සයි..... පස්සෙ කාලෙකදි නම් මං ඒව අල්ලගත්ත....
මෙයාල මේ එන්නෙ අළුත් අවුරුද්දට දවස් හතර පහකට කලින් නිසා කඩවල්, හොර තිප්පොලවල් එහෙම ඒ වෙනකොටත් ඇරලා.... ඒ නිසා හවස් වෙනකොට කට්ටිය ගාණට පල්ලම් බැහැලා පොඩි මීවිතකින් එහෙම සප්පායම් වෙලා තමයි ආපහු ගෙදර එන්නෙ..... 'සුදු පුතා' අමධ්‍යප සංගමේ නිසා කවුරුවත් ගෙදරට ගේන්නෙ නෑ..... ඒ වෙලාව වෙනකොට ගෙදර රෑට එහෙම උයල ඉවර කරලා කවුරුත් වගේ සාලෙට එකතුවෙලා තමයි ඉන්නෙ.... ඒ වගේම ඔය ගෙදර තියෙන හැඳි, බෙලෙක්ක වගේ සංගීත භාණ්ඩ ටිකත් සාලෙ කොනකින් තියලා, පුටු ටික හෙම අස් කරලා බිත්තිය අයිනට ඇදලා, බිම පැදුරු දාලා ලෑස්ති කරලා තියෙන්නෙ කට්ටිය ආපහු එනකොට..... සමහරවිට අපේ ගෙදරද දන්නෑ මුලින්ම පැදුරු පාටි පටන් ගත්තෙ...හික්ස්.... කට්ටිය ඉතින් ඇවිල්ලා පොඩි විවේකයක් හෙම අරගෙන, මගදි හම්බවුනු පරණ යාළුවො ගැන විස්තර හෙම කියන ගමන් සංගීත භාණ්ඩ ටිකත් ටියුන් කරගෙන ඔන්න පටන් ගන්නවා සින්දු කියන්න..... මේ සාජ්ජෙ නතර වෙන්නෙ පාන්දර එකට දෙකට විතර...... ඒ අතරතුර තේ වඩි දෙක තුනක් විතර යනවා ඇරෙන්න කෑමක් නෑ..... කෑම කන්නෙ සාජ්ජෙ නතර උනාට පස්සෙ..... අහළ පහළ ගෙවල්වල කට්ටියත් නිදි නැතුව ඔය පාන්දර වෙනකම් සින්දු අහගෙන ඉන්නවා..... කවුරුවත් කවදාවත් කිසිම විදියක චෝදනාවක් කළේ නෑ.... පහුවදාට සමහර අය වෙන සින්දු යෝජනා කළ අවස්ථාත් තිබුණ.... අපරාදෙ කියන්න බෑ මගෙ මාමලා සෙට් එකට ගායනා හැකියාව උපරිමෙන්ම පිහිටලා තියෙනවා.... ඒ නිසා ඕනම කෙනෙකුට කැත නැතුව අහගෙන ඉන්න පුළුවන්..... එයාල කවදාවත් බයිලා සින්දු කිව්වෙ නෑ මට මතක විදියට.... නූර්ති ගී වගේම සම්භාව්‍ය ගණයට වැටෙන සින්දුයි, ජනප්‍රිය සින්දුවල තාලෙට එයාලම නිර්මාණය කරගනිපුවයි තමයි කිව්වෙ..... සමහර දවස්වලට අපි කැසට් පීස් ඉවරවෙනකම් ඒව ටේප් කරනව...... ඒ කාලෙ නංගිල පුංචි නිසා උන්දලට ටිකක් රෑ වෙනකොටම වැටුනු තැන්වල නින්ද යනව... ඒත් මට නෙවේ යාන්තමින්වත් නිදිමතක් එන්නෙ..... මම නිදාගන්නෙ අර කට්ටියත් එක්ක කෑම කාලා එයාලත් නිදාගන්න ගියාට පස්සෙ..... එයාල කෑම කන අතරෙ අම්මා සාලෙ ලෑස්ති කරනවා අර පැදුරුවලටම බෙඩ් ෂීට්, කොට්ට, පෙරවන රෙදි දාලා නිදාගන්න..... ඒ මොනතරම් පහුවෙලා නිදාගත්තත් පස්සෙන්දා හත විතර වෙනකොට කට්ටිය නැගිටිනවා.... එවෙලට තමයි හොඳම හරිය තියෙන්නෙ.....
පස්සෙන්දා නැගිට්ටම දහ පාළොස් දෙනෙකුට යන්න තිබ්බෙ එකම ටොයිලට් එකට.... වැඩේ බරපතල උනේ සුටුස් ගාල රාජකාරිය කරන් එන කට්ටිය වගේම ගිහින් ඒකෙ පදිංචි වෙන කට්ටියත් හිටපු නිසා..... 'සුදු පුතාත්' එහෙම පදිංචි වෙන කෙනෙක්.... ඒ නිසා හැමෝම බලන්නෙ එයා යන්න ඉස්සරින් පැන ගන්න.... එහෙම වෙලාවට තාත්ත ගිහින් ටොයිලට් එක කිට්ටුව කොහේ හරි හැංගිලා ඉඳල ඇතුලෙ එකා එළියට ආව ගමන්ම ටක් ගාල රිංගගන්නවා.... ඉතින් අනිත් උන් යනු බොරු..... බලන් ඉඳල වැඩක් නැති නිසා ඔය අතරතුර යන්න ඕන වෙන කට්ටිය දුවනව අල්ලපු ගෙදරට.... අනේ ඒ මිනිස්සුත් මොනවත් කියන්නෙ නෑ.... ඔය සිදුවීම් ටික ඔහොම වෙන අතරෙ සාලෙට එකතුවෙලා උදේ තේ කට්ට ගහන ගමන් කට්ටිය පටන් ගන්නවා කලින් දවසෙ සාජ්ජෙ විවේචනය කරන්න.... ඔය අතරතුර හිනාවෙලා පණ යන කතා එහෙම අනන්තයි.... සමහරදාට කවුරුහරි ඒවා හොරෙන් ටේප් කරලා පස්සෙ ඇහෙන්න සලස්වනවා..... සමහර කතා ඇහෙනකොට ඒවා කියපු උන්ට පොළොව පළාගෙන යන්න හිතුනු වෙලාවලුත් තිබ්බ..... ඔය කටයුතු ටික ඉවර වෙලා උදේට කෑම කන වෙලාව එනකොට තමයි මගේ හිත හීනියට හීනියට රිදෙන්න ගන්නෙ..... කෑම කාලා ඉවරවෙලා මාමල තෑගි බෙදන වග දන්නව උනාට මට ඕන ඒක නෙවෙයි.... මාමලත් එක්ක ගමේ යන්න.... තාත්තගෙ පස්සෙන් නහයෙන් අඬ අඬා කොච්චර ඇවිද්දත් තාත්ත නෙවෙයි ඉඩ දෙන්නෙ එයාලත් එක්ක යන්න.... අම්මට කිව්වට වැඩක් නෑ.... අම්ම ඇඟ බේරගන්නෙ තාත්තගෙන අහල යන්න කියල.... අන්තිමට මාමලට ගමේ යන්න කලින් හැමදාම ඇඳේ වැටිල කොට්ටෙ බදන් අඬන මාව නලවන්න වෙනව..... තාත්ත ඉතින් අවුරුදු ඉවර උනු ගමන්ම මාව ගමේ එක්කන් එනව කියන දේසපාලු පොරොන්දු දීල මං අඬන එක කොහොම හරි නවත්තගන්නව..... ඒත් මම ශරීරයෙන් ගෙදර හිටියට මගේ හිත ගමේ යනව මාමලත් එක්ක.... මගේ පපුව පැලෙන්නෙ නැති ටික විතරයි.....
'ඉතින් පුතේ අපි ගමේ යනවනෙ.... අඬන්නැතුව ඉන්න.... අර නංගිලත් ඉන්නෙ...' කටේ ඇඟිලි ගහන් මං අඬන දිහා බලාගෙන වටේ කැරකෙන නංගිලාව පෙන්නලා අම්ම මගේ ඔළුව අත ගගා කියනව එහෙම වෙලාවට.....
'එයාලට මොකෝ... එයාල දන්නවයැ මං වගේ.....'
අම්ම ඉන් එහාට කතා නොකරන්නෙ කතාව ඇත්ත බව දන්න හින්ද....
නංගිලා කවදාවත් මාමලත් එක්ක එහෙම විනෝදෙන් ඉඳල නෑ..... එයාල අම්මයි තාත්තයි නැතුව කොහෙවත් ගියේ නෑ.... ඉතින් උන් දෙන්නට තේරෙනවය තමුන්ට මග ඇරෙන්නෙ මොනවද කියල....
ප.ලි. පෝස්ටුව ගොඩක් දිග වැඩි වෙන නිසා ඉතුරු ටික දාන්නම් ඊළඟ පෝස්ටුවෙන්.... මගේ අවුරුදු තවම ඉවර නෑ... දෙවෙනි කොටස පටන් ගන්නෙ ගමෙන්....
මන් එක . අපි තරඟෙට අවුරුදු ගැන ලියමු මියුරු . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . ''ඇත්තටම නංගිලා දන්නවය එයාලට මග ඇරෙන්නේ මොනවද කියල ''
ReplyDeleteඅනේ ඔව් බින්දි.... ලියමු, ලියමු..... කවදා හරි කවුරුම හරි කියවයිනෙ නේද මෙහෙමත් කාලයක් තිබිලා තියෙනව කියල..... :D
Deleteඇති යන්තම්......
ReplyDeleteපස්සෙ එන්නම් කියවන්ඩ...
හික්ස්.... හා...හා....ඉඩ තියෙන වෙලාවක ඇවිත් කියවලා යන්නකෝ.....
Deleteඊළඟ කෑල්ලත් කියවලාම මොනවහරි ලියන්නම්කො..
ReplyDeleteඉතින් මේ පාර අවුරුදු කොහොමෙයි?
අර බින්දි කියල තියෙනව වගේ 'සෝ බෝරින්' මෙයා..... පොඩි උන් නම් විනෝද උනා අවුරුදු උත්සවයකට ගිහින්..... හැම ජාතියෙම වගේ කැවිලි කෑවා.... ඒ උනාට කිසි ගතියක් නෑ.....
Deleteමේ ඇවිත් තියෙන්නෙ මියුරු අක්ක අවුරුදු කතා සමඟින්......ඊළඟ කොටසත් දාන්න අපි බලන් ඉන්නව.......
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteහෆ්ෆා..යාන්තම් ඇවිදින්.....සුභ අලුත් අවුරුද්ද්ක් වේවා..!!
ReplyDeleteඑසේම වේවා....!! :D
Deleteහිනියට මහේ හිත් පොච්ජටත් වෙදනාවක් මතු උනා අපේ පොඩිකාලේ...ආච්චිලගේ මහගෙදර මතක්වෙලා...දැන් ඒවා අතීතයේ වැලලීලා ගොඩාක් කල්...ම් ආ අක්කට සුබ අලුත් අවුරුද්දක්...අපි පොඩියට බ්ලොග් අවකාශේ අවුරුදු උත්සවයකුත් තිබ්බ නොවැ..
ReplyDeleteමල්ලිටත් එසේම වේවා.....!!
Deleteඅතීතය මතක් වෙනකොට හිත රිදෙනව තමයි රාජ්... දැන් ගම ඇතුළු හැමදේම වෙනස්වෙලානෙ.....
සයිබර් අවුරුදු උත්සවය ගැන මේ දවස් ටිකේ කියවගෙන යනවා.... කට්ටිය හොඳට විනෝද වෙලා තියෙන පාටයි.... අපට ඉරිසියයි අනේ ඕවට......
කියලා වැඩක් නෑ.. ආසාවේ බෑ මෙ කතා අහද්දිත්..
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩ.
ඇත්තටම මේ පරණ කතා ලියද්දි මට හිතුනා කට්ටියට මේවා අහල දැන් එපා වෙලා ඇති කියල.... අර කතා ලියන් ආව එක නැවතුනේ මට එහෙම හිතුනට පස්සෙ.... ඒ සිතුවිල්ල පහළ උනාම මට ආයෙ ලියන්නම හිතුනෙ නෑ.... ආයෙ ලියන්න ඕන කියල හිතුනෙ බින්දිගෙ අවුරුදු කතාව කියෙව්වට පස්සෙයි....
Deleteඒ පරණ කතා එපා නොවෙන කොටසකුත් ඉන්න හින්ද නවත්තන්න එපා.
Deleteබොහොම ස්තුතියි ක්සැන්ඩර්....
Deleteසුභ අලුත් අවුරුද්ද්ක් වේවා..!!
ReplyDeleteඑසේම වේවා කවිකාරියේ....!!
Deleteමෙදා පාර අවුරුද්දට දෝනිත් ළඟ හිටියද....?
මම හිතුවෙම අක්කා මේ බ්ලොග් නොලියන්නේ ලංකාවට ඇවිත් වෙන්නැති කියලා... උත්සවේට ගිහින් හෙව්වත් අක්කත් ඇවිත් හිටියේ නෑනේ කොහොමෙයි සැප සනීප... මම මේ බ්ලොග් කියවන්න ලියන්න එන්නෙත් අවාරෙට අඹ වැටෙනවා වගේ ඉතිං අක්කටයි පවුලේ හැමෝටමයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... මේ සැරේ අවුරුද්දට ගමේ ගියේ නෑනේ නුවර ගියේ ඔයාට වෙච්චි පොරොන්දුව තාම එහෙම්මයි තියෙන ෆොටෝ ටිකින් හරි ගම ගැන ලියලා දානවා ලඟදිම...
ReplyDeleteගැමියටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව.....!!
Deleteලංකාවට එන්න ලැබෙන්නෙ නෑනෙ මේ වගේ කෙටි නිවාඩු වලදි.... ඉස්කෝලවල නිවාඩු ලැබෙන්නෙ සති දෙකයි.... දවසක්වත් දරුවන්ගෙ ඉස්කෝල පාඩු වෙනවට මම කැමති නෑ ඇත්තටම..... ඒ නිසා ආවොත් එන්න වෙන්නෙ දෙසැම්බර්වල තමා....
දැන් ඔයාගෙ විභාගෙ ඉවරයි නේද... වැඩේ තියෙන්නෙ මේ පැත්තෙ එන්න ගත්තම කුඩු ගැහුව වගෙයි.... නෑවිත් ඉන්නකොට එන්න හිතෙන්නෙම නෑ.....
ගම ගැන කතාව එනකම් මාත් බලන් ඉන්නවා.... මේදවස්වල මග ඇරුනු පෝස්ට් ටික කියවනවා.....
විභාගේ ඉවර නෑ අක්කෝ අගෝස්තු තියෙන්නේ... ඒක නෙමෙයි හොඳින් බැරිනම් නරකින් හරි කැම්පස් යනවා කියලා ඕං විවෘත විශ්ව විද්‍යාලෙට යනවා හෙට ඉඳන්.. ගම ගැන කතාවේ පිංතූර තාම ලැබෙමින් පවතී...
Delete"ඒක නෙමෙයි හොඳින් බැරිනම් නරකින් හරි කැම්පස් යනවා......."
Deleteඅන්න එහෙම තමයි ඉන්න ඕන....
හයියෝ මටත් හිතෙන දේවල්.... මං හිතුවෙ විභාගෙ ඉවරයි කියල..... එහෙම නම් ගැමියෝ ඒ කතාව දාමු අගෝස්තු වලින් පස්සෙ හොඳේ.... දැනට හොඳට පාඩම් කරගන්නකෝ.....
අවුරුදු නැති අපට මේවා කියවන එකම සතුටක්නේ..
ReplyDeleteඇත්ත මමත් පහුගිය ටිකේ නැතුවට මේ පැත්තට ඇවිත් ගියා මගේ අප්ඩේට් වෙලාවත් නැද්ද කියලා බලන්න...
ඇත්තම කියනවා නම් දිනේෂ් මං හීනෙකින්වත් හිතුවෙ නෑ මං නැති බව දැනේවි කියල.... මං බ්ලොග් එක ලියන්න අරන් වැඩි කාලෙකුත් නැති නිසා....
Deleteබොහොම ස්තුතියි සෙව්ව බැලුව එකට..... :D
එහෙම කොහොම හැංගිලා ඉන්නද අක්කේ... නොකියම හැංගිලා ඉද්දි අපි හොයනවා කොහොමත්... :)
Delete:D
Deleteඔව් ඔව්.. මං හිතුවා ඔබා මාමා පස්සෙන් ඔයාලත් කැන්ගරු දේසේ ඉන්දල මෙහෙට එන්න ඇති කියලා. මාර්තු වල ඉඳල බ්ලොගේ පාලු වෙද්දී හිතුනෙම මියුරු ලංකාවට ගොඩ බහින්න ඇති සද්ද නැතුව කියලා,
Deleteමොනතරම් දෙයක්ද එහෙම යන්න පුළුවන් උනා නම්.... ඒත් ඉස්කෝල නිවාඩු ප්‍රශ්ණෙ තියෙනවනෙ.... ඉතින් දෙසැම්බර්වල ලැබෙන මාස දෙකකට කිට්ටු නිවාඩුවට තමයි.....
Deleteඅවුරුදු කියන්නේ ඉස්සරනම් මට මාර අවුරුදු... දැන් නම් කිසි ගතියක් නෑ. ගස් වැල් නෑ, කජු පුහුලම් නෑ... අඩුම ගානේ කොහෙක් තියා උංගේ පිහාටුවක්වත් දකින්න නෑ... ඉස්සර මං වින්ද අවුරුදු එක්ක බලද්දී මේ මොන අවුරුදුද කියලා හිතෙනවා අක්කේ...
ReplyDeleteඒක නේන්නම්.... අද කාලෙ අවුරුදුය කියන එකේ ඒ කාලෙ තිබ්බ බොක්කටම වදින ගතිය නැහැනෙ.... ඉස්සර වගේ ඒක දැන්නෙන්නෙ නැහැ ඇඟටවත් හිතටවත්.....
Deleteසුභ අලුත් අවුරුද්දක් මියුරු අක්කා! ඔයාගේ ලිපියක් කියවීමේ ආසාවකින් පෙලුනේ කාලෙක ඉඳලා!
ReplyDeleteඑසේම වේවා සාබිත්....!!
Deleteඅනේ මං ඇත්තටම හිතුවෙ මගේ මේ පරණ කතා අහල ඔයාලට එපා වෙලා ඇතිය කියල......
ඉස්සර අවුරුද්ද ලඟම එනව කියල දැනෙන්න ගන්නෙ අර පුංචි ලා කොළ කහ සමනල්ලු බුරුතු පිටිං පියාඹන්න ගන්නවත් එක්ක. ඊට පස්සෙ කොහා. කැවුං, කොකිස් තෙලේ බැදෙන සුවඳ එතකොට වෙඩි බෙහෙත් සුවඳ. උණ වෙඩි සද්දෙ... කොච්චර දේවල්ද?
ReplyDeleteඒකට දැං... ඉස්සර අවුරුදු කාලෙ වගෙ දහයෙන් පංගුවක්වත් දැනෙන්නෑ. මේපාර ගෙදර ගිහිල්ල වැඩි හරියක්ම කරේ ටීවි එක ඉස්සරහ කට බලියං හිටපු එක.
සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ!
එසේම වේවා මල්ලි ඔයාටත්...!!
Deleteඅනේ ඔය සමනල්ලු ගැන නම් කියන්න මට ලොකු කතාවක් තියෙනවා... අද කාලෙ උන් දකින්නවත් නැහැනෙ නේද.... දැන් උන් සිරීපාදෙ යන්නෙ නැතුව ඇති.... සමනල් මතකයත් එක්ක හිතට ලොකුම ලොකු දුකක් දැනුනා..... දැන් ඉස්සර වගේ රතිඤ්ඤා සද්ද ඇහෙන්නෙත් නැද්ද....
දැන් ඉතින් අපට පුරුදු කරන්නෙ ටීවී එක ඉස්සරහ ඉඳන් අවුරුද්ද සමරන්න නෙව.... :D
අපෝ මතක් කරන්න එපා ..අලි කයිවාරු . එදාට විතරක් අමුතු හෙළ බසක් මවාගෙන කය්ය ගහනවා . සින්දුවක් දැම්ම නම් ඊට හොඳයි
Deleteඒක නම් ඇත්තම තමයි බින්දි... මහ විහිළුවක් වගේ....
Deleteටින් කිරි ලෙව කාපු හැටි නම් මාරයි....:D ඔයා වගේ තමයි පොඩි කාලේ මාත් හරි ආසයි ටින් කිරි වලට. අතීතයේ මතකය ඉතාමත්ම රසබරව කියල තියනවා මියුරු...ඉතුරු ටිකත් ඉක්මණ්ටම කියන්න..:)
ReplyDeleteෂ්ෂ්ෂ්.... කාටවත් කියන්න එපා හොඳේ... පොඩි කාලෙ විතරක් නෙවේ... මම නම් දැනුත් එහෙමයි.... කිරි ටොපි හදන්න කියල ටින් කිරි ගෙනත් ෆ්‍රිජ් එකේ දාගෙන හොරෙන් කනවා..... අන්තිමට එහෙම කරපු වෙලාවෙ පොඩි දෙන්නට අහුවෙලා උන් දෙන්නත් මට හොරෙන් ඒක කන්න පටන් අරන්.... අනේ ඉතින් ඒක මහත්තයට මාට්ටු උනාට පස්සෙ බඩු බින් එකේ.... නිකම් නෙවේ.... පොඩි උන්ටත් පෙරේතකම් උගන්නනවා කියන චෝදනාවත් එක්ක..... :(
Deleteඅන්තිම කැවුම් ටික හන්ගන් කාපු මන් වගේ
Deleteහික්...හික්...හික්... ඔය ඉන්නෙ තව කට්ටිය....
Deleteආආ... මේ ඇවිත් ඉන්නේ කාලෙකට පස්සේ.
ReplyDeleteහරි අපුරුයි අක්කේ ඔයාගේ අතීත අවුරුදු මතකෙනම්...
මට ඉරිසියා හිතුනත් එක්ක මේ කතාව කියෙව්වට පස්සේ.
අපිට තිබ්බ තරම් ලස්සන ළමා කාලයක් අපෙන් පස්සේ ඉන්න පොඩි එවුන්ට නැහැ වගේම අපිට කලින් හිටපු පරම්පරා වලට තිබ්බ තරම් ලස්සන ළමා කාලයක් අපිටත් තිබිල නැහැ වගේ බලාගෙන යනකොට.
උඹේ ලියවිල්ල නියමයි අක්කේ, එක හුස්මට කියවගෙන ගියා
කමෙන්ට් එකක් කොටලම නිදා ගන්න හිතුනා, මේක කියෙව්වට පස්සේ.
ඒ තරම් හිතට වැදුනා...
මමත් ඔයාට අවුරුද්දට සුබ පැතුවේ නැද්ද කොහෙද...
එහෙනම්, ඔයාටයි පවුලේ හැමෝටමයි සුබ නව වසරක් වේවා කියල පතන්නම්කෝ....
ජය...!
ලොකු පුතාටයි පවුලේ අයටයිත් එසේම වේවා...!!
Deleteදැන් ඔයා ඉන්නෙ ලංකාවෙද නැත්නම් සුපුරුදු තැනමද..... මට මතක අවුරුද්දෙන් පස්සෙ ආපහු යනවා කිව්ව වගෙයි.....
බින්දියි මමයි ලියන්නෙ එකම කාලෙක සමරපු අවුරුදු ගැන මට හිතෙන්නෙ.... මොකද පොඩි පොඩි වෙනස්කම් තිබුනට බොහොමයක්ම අත්දැකීම් එක සමානයි...... ඔබා මාමලගෙ අවුරුදු ඊටත් වෙනස් ඇති..... එන්න එන්න අවුරුදු ගතිය අඩුවේගෙන ගිහිල්ලා නේද....
බොහොම ස්තුතියි ලොකු පුතා.... ඔයාල රස වින්දා නම් එච්චරයි මටත් ඕන....
ඊරිශියායි අප්පා.
ReplyDeleteඔයාගේ කතවායි බින්දිගේ කතාවයි කියවලා මම පැය කිහිපයක්ම අවුරුදු මතක අස්සේ ගිලිලා හිටියේ. අන්තිමට තරහටම සුපර් මාකට් එකට් ගිහින් පොල් බිස්කට් උස්සන් ඇවිත් තනියම පැකට් එකෙන්ම භාගයක් කෑවා.
ඉස්සර අවුරුදු දවසට මම වැඩියම කන්නේ වැලිතලප.ඒවත් හදන්නේ පොල් වලින් නේ,
අනේ පව්.... ඔයා ඉන්න රටට අපේ රටේ කැවිලි ජාති ගෙන්වන්නෙ නැතිද... හදන අයත් නැද්ද.... මෙහේ නම් අපේ රටේ කුළු බඩු විකුණන තැන්වල කැවිලි පැකටුත් විකුණන්න තියෙනවා.... සමහර සිංහල ගෙවල්වල අවුරුදු කාලෙට ඕඩර් අරන් හදනවා.....
Deleteවැලිතලප නම් හදන්න එච්චරම අමාරු කෑමක් නෙවෙයි මං හිතන්නෙ.... අපේ නැන්දම්ම ගෙදර හදන එකම කැවිල්ල..... ඒක හදන්න අමාරු නම් එයා කවදාවත් ඒකට අත ගහන්නෙ නෑ කියන එක මට ෂුවර් නිසා කාගෙන් හරි පොඩි රෙසිපියක් ඉල්ලගෙන ට්‍රයි එකක් දීල බලන්නකෝ..... :D
අපොයි මන් ට්‍රයි කළා . හරි ගියේ නැහැ . අපේ අම්මල හදන්නේ පිට්ටු තම්බලා . සමහරු සව් වලිනුත් හදනවලු .
Deleteනැන්දම්මගෙන් රෙසිපිය අහගන්න ඕන බලන්න... මොකද එයා ඔය දෙකෙන් එකක්වත් කරනවා නම් මං දැකල නැහැ....
Deleteපැදුරු පාටි නම් නියමයි. මියුරුටත් අර මාමලාට තිබුනු ගායන හැකියාව ඒ ලෙසින්ම පිහිටලා ඇති නේද? ලස්සන අතීතයක්. වර්තමානය එච්චර ලස්සන නැත්තේ ඇයි?
ReplyDeleteමටත් යාන්තම් සින්දුවක් කියාගන්න පුළුවන්.... ඒත් මාමලට වගේ බැහැ.... බබාල දෙන්නටම පුළුවන්..... මහත්තයටත් පුළුවන් හොඳට..... නංගිලත් මං වගේම තමා.... එයාලගෙ මහත්තුරුන්ටත් හොඳටම සින්දු කියන්න පුළුවන් වගේම සංගීත භාණ්ඩ වයන්නත් පුළුවන්.... ඉතින් හිතාගන්න පුළුවන් නේද අපි ඔක්කොම එකතු උනාම..... ඒත් අනේ අපි ඔක්කොම අන්තිමටම මහගෙදරට එකතු උනේ සුනාමි ආව දෙසැම්බරයේ......
Deleteවර්තමානය බොහොම කෘතිම, ඇස් බැන්දුමක් වගේ දෙයක් නිසා වෙන්නැති පොඩ්ඩියේ......
මාත් කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවා.
ReplyDeleteඅක්කා පොඩි කාලෙද ටින් කිරි ටින් ලෙව කාල දිව කපාගත්තෙ...හික්ස්....
මං නම් මෑතකදිත් කපා ගත්තා...:D
ඇත්තම කිව්වොත් පොඩි කාලෙ කන්තලේ අපේ සීයගෙ ගෙදරදි සාජ්ජ දාලා නටලා විනෝද වුනු අවුරුදු කාලෙ මටත් මතක් වුනා.
දැන් සීයත් නෑ,සාජ්ජත් නෑ.
දිව නම් කපාගත්තෙ පොඩි කාලෙ තමා... දැන් නම් ඇඟිලි ටික.... හික්ස්....
Deleteදැන් මිනිස්සුන්ට ඒ වගේ විනෝද වෙන්න කාලෙකුත් නෑ, කාලයක් තිබ්බත් උවමනාවකුත් නෑ මං හිතන්නෙ නිසූපා.....
ශා ශා... මියුරු අක්කා ගොඩක් කාලෙකින්.... ඔයා නැතුව පාලුවෙන් හිටියේ ලස්සන පරණ කතාවක් අහන්න...
ReplyDeleteබොහොම ස්තුතියි ශානි... ඔන්න එහෙනම් කියවන්නකෝ අනිත් කොටසත් ළඟදීම....
Deleteලස්සන මතක ගොන්නක්.... ආස හිතෙන විදිහට ලියලා තියෙනවා..
ReplyDeleteබොහොම ස්තුතියි තාරා.... මට මතක විදියට ඔයා ආව පළමුවෙනි දවස වගෙයි.... මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා ඔයාව....
Deleteඉඳල හිටලා ගිහිං බැලුවා මිහිරිට මොකද වුනේ කියල.පෙන්න හිටියේ නැහැ.
ReplyDeleteඔයා ඒ කාලේ හොඳට විඳලා තියෙනවා.අපි අපේ මාමලත් එක්ක ඔය විදියට ලඟින් ආශ්‍රය කරලා නැහැ.මම කලිනිත් කමෙන්ට් එකක දාල තියෙනවා නේ.ඒත් ඒ වගේ අතීතයක් තිබිලා දැන් රොබෝලා වගේ ජිවත් වෙද්දී දුකක් කලකිරීමක් දැනෙනවා.
ලැබුවා වූ අළුත් අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක් වේවා!!
ඔයාටත් එසේම වේවා...!!
Deleteමට ආරංචි උනා අසාර් මල්ලි මං ගැන හෙව්වා කියල.... බොහොම ස්තුතියි හෙව්ව බැලුවට හොඳේ....
අවුරුදු ගොඩක් වෙනස් විදියට වින්ද අයට දැන් අවුරුදු නිකම් විහිළුවක් වගේ...... ඒක හින්දම වෙන්න ඇති දැන් ඒ දවසුත් අනිත් දවස්ම වගේ වෙලා තියෙන්නෙ.... වෙනදට වඩා කැවිලි ටිකක් කන එක විතරයිනෙ වෙනස....
බින්දිගේ පෝස්ට් එක බලලා මෙතනට ආවේ. ඊරිසියාවේ බෑ.
ReplyDeleteනියමයි ඔයාගේ අවුරුදු මතක
බොහොම ස්තුතියි නිකී මේ පැත්තෙත් ඇවිත් කියවලා කමෙන්ට් එකකුත් දාල ගියාට....
Deletelassana kathawa Miyuru.part 2 ikmanata danna :-)
ReplyDeleteඅනිවාර්යයෙන්ම..... බොහොම ස්තුතියි....
Deleteමටනම් මේ වගේ අත්දැකීම් නැහැ :(
ReplyDeleteඒ උනාට වෙනස් විදියෙ අත්දැකිම් ඇතිනෙ.... නත්තල් අත්දැකීම් හෙම.... අපට එව්ව නැහැනෙ.....
Deleteහල්ල්ලෝ අක්කා.. කාලෙකින් සද්දේ නැති නිසා අපි හිතුවා මැටෙර්නිටී ලීව් ගිහින් කියලා...
ReplyDeleteඉතින් ඉතින්.. කොහොමද ජීවිතේ.. සුබම සුබ අළුත් අවුරුද්දක්ම වේවා
එසේම වේවා...එසේම වේවා...!!
Deleteකිව්වොත් ඔහොම කතාවක්ම තමා..... දැන් නම් ඉතින් මැටර්නිටි ලීව් යන්න වෙන්නෙ ලබන ආත්මෙ තමා.... ජීවිතේ වෙනදා වගේම ගෙවිලා යනවා... කොහොමද ඉතින් ලහියට....?
හොඳින් ඉන්නවා අක්කා.. අලුත් රැකියාවක් ලැබුණා.. ඒක නිසා කාර්ය බහුලයි.. රස්සාවල් දෙකකුයි ඉගෙනගන්න එකයි දරු පවුලකුයි .. මේ ඔක්කොම නඩත්තුව ලේසි නෑ නේ :)
Deleteමම හිතන විදියට අදම තමා මේ පැත්තට ගොඩ වුනේ.. අයියෝ දැන්නම් අවුරුදු ඉවර වෙලානෙ..තියන පොඩ්ඩත් යන්න කලින් අනිත් ලිපියත් දාන්න. දැන්නම් ඉතින් මොඩර්නයිසේශන් නිසා අවුරුද්දෙ තිබුන පරණ ගතිය ගිහින්... මෙදා පොටේ අපේ අම්ම කිරිබත් ඉව්වෙත් ගෑස් ලිපේ
ReplyDeleteපළමු වතාවට මේ පැත්තෙ ගොඩ උනු ඔයාව සාදරයෙන් පිළිගන්නවා වගේම බොහොම ස්තුතියි කමෙන්ට් එකටත් හොඳේ.....
Deleteඅපේ අම්මත් එහෙමයි... නැකැත් වෙලාවට ඒ කියල තිබුනු පැත්ත බලාගෙන ගෑස් ලිප ඕන් කළාලු.... හික්ස්....
කාලෙකට පස්සේ ලස්සන පෝස්ට් එකක්...ආපහු නම් අතුරුදහන් වෙන්න එපා හොඳේ...:)
ReplyDeleteනෑ... නෑ... ආයෙ අතුරුදහන් උනොත් කියලම තමයි.... හික්ස්.... ස්තුතියි සයුරි....
Deleteලොකු පුතා මම හිතපු ටික කියලා නේ. ඇත්තටම අපිට කලින් පරම්පරා විඳපු ඒ ලස්සන අපිටත් අපි විඳපු අත්දැකීම් අපේ පහල පරම්පරා වලටත් විඳින්න නැතිවෙන එක ගැන දුකයි. ඉස්සරහට අපේ දරුවෝ ගැන හිතනකොට බයෙත් බෑ. ඒ එක්කම මියුරුටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා. ආපහු කතා ටික දාන්න පටන්ගන්න. අපි එනවා කියවන්න.
ReplyDeleteපරක්කු වෙලා හරි ඔයාටත් එසේම වේවා කියල පතනවා...!!
Deleteහැමදේම වෙනස් වෙලා ක්සැන්ඩර්.... මගේ ගම ඒ කාලෙ මොන තරම් සුන්දර උනත් මූලික අවශ්‍යතා ඉටු කරගන්න ඒ පළාතෙ මිනිස්සු පුදුම දුකක් වින්දෙ.... ගමට බාහිර ලෝකෙත් එක්ක තිබ්බ එකම සම්බන්ධෙ ඒ පැත්තට තිබ්බ තනි බස් එක විතරයි.... ඒක කැඩුනුදාට ගම තනිවෙලා.... දැන් ඒවා ඔක්කොම වෙනස්වෙලා... නවීන පහසුකම් ඔක්කොම තියෙනවා..... පරණ ගම ගැන හිතේ ලොකු ලෝබ කමක් වෙනස් වෙච්චි එක ගැන ලොකු දුකක් තිබ්බට ඒ පළාතෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිතවලට දැන් මොනතරම් සහනයක් ඇත්ද... මම එහෙම හිතලා හිත හදාගන්නවා.... :(
"... අන්තිමට මාමලට ගමේ යන්න කලින් හැමදාම ඇඳේ වැටිල කොට්ටෙ බදන් අඬන මාව නලවන්න වෙනව....." හපොයි දෙයියනේ!
ReplyDeleteම්ම්ම් ලස්සන අතීතයක් තිබිල තිබේ ඔබට... අපි කාටත්...
නැන්දල මාමල තාම - අඩුගනනේ එයාලගේ දරුවන් වත් මෙහෙම එකතු වෙනවද තාම? - මම කමෙන්ට් කියෙව්වෙ නෑ
සමාවෙන්න ඕන පිළිතුරු පමා උනාට.
Deleteඅනේ මොන එකතු වීමක්ද? අවුරුද්දට බුලත් දෙන්න නම් හැමෝම එනවා, තම තමුන්ට ඉඩ තියෙන වෙලාවට. එච්චර තමා. දැන් ඔය මං කිව්ව හේමසිරි බාප්පා ජීවතුන් අතරත් නෑ.