Total Pageviews

260812

Sunday, 19 March 2017

අම්මා ගහපු කණේ පාර දවාලෙ තරු පෙනුනා....

මේ සිද්දිය උනේ මං දහයෙ පන්තියේ O/L විභාගෙට සූදානම් වෙන දවස්වල... හරියටම කිව්වොත් විභාගෙට ඉස්කෝලෙන් පෙනී සිටින ළමයින්ගෙ අයැදුම්පත්‍ර පුරවන කාලෙ.... කතාවෙ කොටස් දෙකක් තියෙන නිසාත් කොටස් දෙකකට කඩල දැම්මම වැදගැම්මක් නැති නිසාත් මේ කතාව ටිකක් දිග එකක් වේවි...

මට මගේම කියල තියෙන්නෙ නම් දෙකක් උනාට පරම්පරා පොජ්ජයි, තාත්තගෙ නමයි එකතුවෙලා එනකොට නම් පහක්.... (මේ නම් පහ මොකක්ද කියල හිතුනෙ කැම්පස් ඉන්න කාලෙ, නම් එකොළහක් තියෙන හාදයෙක් අඳුන ගන්න ලැබුනට පස්සෙ.... අසුවල් අඩවියේ අසුවල් වලව්වෙ අසුවලාගෙ අසුවලා කියල එනකොට ඌට නම් එකොළහක්....) ඉනුත් අර පරම්පරා පොජ්ජ හඳුන්වන කෑල්ලෙ නම් දෙක මහා අපභ්‍රංසයක්... ඕක ඉංග්‍රීසියෙන් ලියන්න ගියාම හෙන අකුරු තොගයක්..... අපේ තාත්තට ඒකත් මදි වෙලාද කොහෙද ලංකාවටම එකක් වෙන්න මගේ පළමුවෙනි නමත් දාල ඒකට පරදින්නෙ නැතිවෙන්න.... ඒකත් ලියන්න ගියාම නුපුරුදු නමක් හින්දා බොහොම ටික දෙනායි හරියට ලියන්නෙ... ඒ දවස්වල තාත්තගෙ ඔෆිස් එකේ කට්ටිය විහිළු කළේ ඒ නම යටින් ශ්‍රී ලංකා කියල ලිව්වම ඇති ලියුම ගෙදරටම එයි කියල....