Total Pageviews

Thursday 20 October 2011

රාලහාමි සුප්...!!

මේක මේ පැරනි රසාංගයක්. ඒ කියන්නෙ මම ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්.

මම ගියේ මිශ්‍ර පාසැලකට. අපේ ඉස්කෝලෙ හයේ පන්තියෙ ඉඳලා දහයෙ පන්තියට යනකම් කලේ අවුරුද්දෙන් අවුරුද්දට ඒ ඉන්න ලමයි ටික ඒ විදියටම ඉහල පන්තියට promote කරන එකයි. ඉතින් ඔය අවුරුදු පහම අපි එකම සෙට් එකක් තමයි එකට හිටියෙ. ඒ නිසාම හැමෝම වගේ එකිනෙකා ගැන හොඳට දැනගෙන හිටියෙ. අම්මා, තාත්තා, සහෝදර සහොදරියෝ පවා.

ඉතින් අපි ඉස්කෝලෙ නිවාඩු කාලවලට කිහිප දෙනෙක් එකතු වෙලා යාලුවොන්ගෙ ගෙවල්වල ගියා. හැබැයි නිකම් අත් දෙක වන වනා නෙවෙයි, සල්ලි එකතු කරලා තෑගි බෝග එහෙමත් අරගෙන. ඔය අතරෙ ජම්බු ගස් කේස් එහෙමත් තිබුනනෙ. ඒවට ගියේ කෙල්ලො විතරයි. (දවසක් එහෙම එකකට අපි සිද්දිය කියන්නෙ නැතිව කොල්ලෙක් එක්කන් ගිහින් ඒකා අපිව මරාගෙන කෑවෙ නැති ටික විතරයි.... ;)) ) ඔහොම ගියාම ඉතින් දවසම ගතකරලා, ඇට්ටි හැලෙන්න සෙල්ලම් කරලා, වේලකුත් ගිය තැනින් සප්පායම් වෙලා තමයි ආපහු ගෙදර එන්නෙ. කලින් කියලා arrange කරලාම තමයි හැබැයි ඒ ගමන් ගියේ. ගෙදරින් යන්න දුන්නෙ නම් දන්න කියන දිහාවල්වල විතරයි.ඉතින් ඔය ගිය ගමන් වලදි අර ගෙදර අයිති යාලුවගෙ එක එක හොරත් අහුවෙනවා. ගෙදරට විතරක් සීමා වෙච්චි රහසුත් තියෙනවානෙ, ඔය රහස් නම් ගම් එහෙම. අපි එන්න කලින් යාලුවා ගෙදර අයට ඒ සම්බන්ධව මොන තරම් උපදෙස් දීලා තිබුනත් ටික වෙලාවක් යනකොට ඒ ඇත්තන්ට ඒ බව අමතකයි. පැයක් දෙකක් යනකොට බඩු බනිස්.

ඉතින් ඔන්න ඔහොම දවසක අපි සෙට් එකක් එකතුවෙලා ගියා ජගත් කියලා අපේ යාලුවෙකුගෙ ගෙදර. ඉතින් දවාලට කාලා හමාර කරලා පිස්සු නට නටා ඉන්නකොට ජගත් එකපාරටම කිවුවා 'ඒයි, අජිත්ගෙ ගෙවල් තියෙන්නෙත් මේ ලඟ' කියලා. අජිත් කියන්නෙ අපේ පන්තියෙ හිටපු එක්තරා character එකක්. හැම වාරවසාන විභාගයකදිම bottom side එකෙන් පලවෙනියගෙ cup එක ගැහුවෙ අජිත්. ඒ උනාට පන්තියේ කොල්ලො එකතු වෙලා කරන කුප්ප වැඩ වලදි නම් මිනිහා මුල් තැනක් අරගෙන බැහැලා වැඩ කලා. ඒ මොනව කලත් මේ යාලුවන්ගෙ ගෙවල්වල යන වැඩේට නම් පොර කිසිම දවසක සම්බන්ධ උනේ නැහැ. ජගත් කිව්ව විදියට අජිත් පවුලෙ එකම දරුවා නිසා එයාගෙ අම්මා අජිත්ව ඇහැ පෙන මානෙන් එහාට යවන්නෙ ඉස්කොලෙ යන්න විතරයි.

අජිත්ගෙ ගෙවල් ලඟයි කියලා දැනගත්තහම ඔන්න කට්ටියටම ඕන උනා එහේ යන්න. මම මේ කියන දවස්වල ඉතින් දැන් වගේ නෙමෙයි telephone, mobile කියන ඒවා ගෙවල්වල තිබුනෙ හරිම කලාතුරකින් තැනක. ඒ නිසා කලින් කියලා කරලා යන්න විදියක් තිබුනෙ නැහැ. ජගත් කිව්වට ලඟයි කියල අපට හැතැප්මක් විතර පයින් ගාටන්න උනේ නැතැයි. විනෝදෙන් කෑගගහා ගිය නිසා ඒක එච්චරටම දැනුනෙ නැහැ. ඒ උනාට පායන කාලයක් නිසා අවුව හරිම සැරයි. අජිත්ගෙ ගෙදරට යනකොට හැමෝටම හොඳ ගානට පිපාසෙ. ගේ ඉස්සරහ ටැප් එකක් තියෙනව දැකලා කට්ටියක් එතැනට දිව්ව වතුර බොන්න.

අපි දොරට තට්ටු කලාම අජිත්ගෙ අම්මා ඇවිත් දොර ඇරියා. ජගත් ඇහුවා 'ඇන්ටි, අජිත් ඉන්නවද?' කියලා.
'ආ, ඉන්නවා....පොඩ්ඩක් ඉන්නකෝ..' කියපු අජිත්ගෙ අම්මා මිදුලට බැහැලා, 'රාලහාමී....' කියල කෑගහුවා.
අපිට මැරෙන්න හිනා.
'යකෝ, මූට රාලහාමි කියන වග මම දන්නෙත් අදනෙ...' ජගත් අපි දිහාට හැරිලා හෙමින් කිව්වා.
අජිත්ගෙ අම්මා ඉස්සරහ හිනා වෙන එක හරි නැති නිසා කට්ටිය ඉන්නවා හිනාව තද කරගෙන. මට තමයි කට්ටිය අතරින් හිනාවට බ්‍රේක් නැත්තෙම. ඉතින් හැමෝම මගේ දිහා බලනවා මම කොයි වෙලාවෙ පිපිරෙයිද කියලා.
අම්මා කෑගැහුවට නෑ සද්දයක්. ඒ නිසා එයා ආපහු කතා කලා.
'රාලහාමී...., පුතේ මෙන්න ඔයාගෙ යාලුවො වගයක් ඇවිල්ලා. එන්නෝ...'
අපට එකපාරටම ඇහුනා ලොකු සද්දයක් ගෙයි අනිත් පැත්තෙන්. අජිත්ගෙ අම්මා ඒ පැත්තට ඉක්මනින් යනකොට අපි ටිකත් ගියා ඒ පස්සෙන්. දැක්ක දර්ශනේට අපි හැමෝගෙම හිනාවල් එලියට පැන්නෙ මහා හයියෙන්.
බැලින්නම් ගෙදර වතුර ටැංකියෙන් පහලට දාලා තිබුනු ඉනිමග දිගේ දෙකන්සෙන් වතුර වෑස්සි වෑස්සි අජිත් බහිනවා පහලට ඇඳුමක්වත් ඇඟේ නැතිව...!!
අජිත්ගෙ අම්මා 'අයියෝ මේ දරුවා...' කියාගෙන වැලේ දාලා තිබුනු රෙද්දකුත් ඇදගෙන දුවල ගිහින් අජිත් ඉනිමගෙන් බහිනකොටම එයාගෙ ඇඟේ එතුවා. ගෙයි පිටිපස්සෙන් ගෙට පැනගත්තු අජිත් නෙවෙයි වරුවක් යනකම් එලියට ආවෙ...
අපිත් ඇරියෙ නෑ, මිනිහා එලියට එනකම්ම අපිත් හිටියා.
පස්සෙ අජිත්ගෙ අම්මාම තමයි අපට සීන් එක කිවුවෙ. ඒ දවස්වල පෑවිල්ල නිසා එයාලගෙ ලිඳේ වතුර තිබිල තියෙන්නෙ හරිම අඩුවෙන්. ඉතින් අම්ම ඒ වතුර ටික ටික එකතු වෙන්න ඇරලා ටැංකියට ගහගෙන ප්‍රවේසමෙන් පාවිච්චි කරලා ගෙදර වැඩ වලට.
අපේ අජිත් කරලා තියෙන්නෙ අර මනුස්සයා අමාරුවෙන් එකතු කරගත් වතුර තිබුනු ටැංකියට බැහැලා නිර්වස්ත්‍රයෙන්ම නාපු එකයි...
ඒක දැනගත්තට පස්සෙ අපේ අර ටැප් වතුර බීපු යාලුවො ටිකට හිතුනු දේ කියන්න ඕනෙ නැහැනෙ. උන්ගෙ මූනු ඇඹුල් වෙලා. සමහරු 'ඕක්...' ගානවා, සමහරු 'ඊයියා...' කියනවා, එක යමරයයි. අනිත් එවුන් උන්ට නෝන්ඩිය දානවා 'රාලහාමි සුප්' බිව්වා කියලා.....

එදායින් පස්සෙ අපි කවදාවත් අජිත්ට අජිත් කිව්වෙ නැහැ. මිනිහට 'රාලහාමි' කියන නම  register උනා.
මට මතකයි අපිට ගනන් උගන්නපු සර්නුත් මිනිහට කතා කලේ ' හේ, රාලහාමි...' කියලා. දහයෙ පන්තියට විතර එනකොට අජිත් කිව්වහම කවුරුවත් දන්නෙ නැහැ. අන්තිමට මිනිහා 'රාලහාමි' විදියටම ඉස්කෝලෙ ප්‍රසිද්ධ වුනා...
ලස්සන වැඩේ කියන්නෙ අන්තිමට අපේ අම්මා අජිත්ට කිව්වෙත් 'රාලහාමි' කියලා. අදටත් මිනිහව මගදි දැක්කදාට අම්මා මට කියනවා 'අන්න ඔයගොල්ලන්ගෙ රාලහමි අද ටවුන් එකේ හිටියා...' කියලා.

14 comments:

  1. අයියෝ රාලහාමී. හික් හික් මරු කතාව පව්...රලහාමී...

    ReplyDelete
  2. lol... නදී, ඕක වෙනකොට ඉස්කෝලෙ පටන් ගන්න ඔන්න මෙන්න. ඒ පටන්ගෙන සතියක් විතර යනකම් පොර ඉස්කෝලෙ ආවෙත් නෑ....
    උනුසුම අඩුවෙනකම් ඉඳලා තමයි ආපහු ආවෙ...

    ReplyDelete
  3. ඔය වගේ සිද්දි වල උණුසුම බහින්නෙ නෑ නෙ ලේසියෙන්...:D

    ReplyDelete
  4. ඔවු අනේ.... අන්තිමට ඉතිරිවෙලා තියෙන්නෙ ඔය මතකයන් තමයි... අදටත් මතක් කරලා හිනා වෙන්න පුලුවන්...

    ReplyDelete
  5. රාළහාමි කතාවනම් එලකිරිස්ය....

    ReplyDelete
  6. ලොකු පුතා මල්ලිට තන්කූ.... ජීවිතේ පලමු වතාවටයි මේ වගේ කතා ලියන්න ගත්තෙ... ඒක අනිත් අයට රස විඳින්න පුලුවන් තත්වයක තියෙනවද නැද්ද කියලා හිතේ තිබුනෙ බයක්.... දැන් නම් හිත ටිකක් සැහැල්ලුයි ඔයාලගෙ කොමෙන්ටු දැකලා....

    ReplyDelete
  7. හප්පේ කොහොමද සුප් රහයිද....අපිත් ඔය වගේ එකෙක් ගේ ගෙදර ගිහිල්ලා අම්ම කථාකරේ ඌට කිරිපුතා කියලා..අපිත් ඕක එක එක විදියට වෙනස් කරලා ඌට කාඩ් එකක් ගැහුවා....

    ReplyDelete
  8. @ ඔබ නොදුටු ලොවක්,

    ඔය ප්‍රශ්නෙම කස්ටිය ඇහුව සුප් බීපු එව්වොන්ගෙන් කාලයක් යනකම්....
    කියල වැඩක් නෑ ඔය වගේ දෙයක් අහු උනාම නේද.... මාස ගානකට ඇති.... :D

    ReplyDelete
  9. නියම සිද්දිය...ඉස්කෝලෙ කාලෙ සිද්දි හරි රසවත්

    ReplyDelete
  10. @ පිස්සා පලාමල්ල,

    ජීවත්වෙන තුරාවටම රසේ අඩුවක් නැතිව මතක් කර කර හිනාවෙන්න පුළුවන්...

    මේ පැත්තෙ ආව පළමු වතාව නේද... සාදරයෙන් පිළිගන්නවා පිස්සවත් උගේ පලාමල්ලත්.... බොහොම ස්තුතියි මල්ලි කමෙන්ට් එකට..

    ReplyDelete
  11. මනුස්සයා හෙලුවෙන් නාපු එකට ඔයාලා පින් දෙන්න. බැරිම වෙලාවකවත් අර කිලුටු සරමක් එහෙම ඇඳගෙන නෑවා නම් ආයේ ඉතින් තව විටමින් ටිකකුත් ඒකටම එකතු වෙනවා. :)

    ReplyDelete
  12. @ මධුරංග,

    හයියෝ...හෙළු විටමින්ම මදැයි.... හොඳ වෙලාවට ලංකාවෙ මිනිස්සු කක්ක කරල පස්ස හෝදගන්න පුරුදුවෙලා ඉන්නෙ.... එහෙමත් නොවුන නම් ඉතින්... ඊව්ව්ව්...

    ReplyDelete
  13. අනේ අම්මෝ අක්කෝ හිනාවෙලා පිපිරෙනවා තව ඩිංගෙන් මමත් අන්තිමට කියවන්න ඉතුරු කරන් ඉදලා තියෙන්නේ ඔයාගේ පට්ටම සීන් එකක් හිනා කාලා මැරෙන්නේ මේ සීන් වලට තමයි අයියෝ හික්ස් යාළුවෝ ආවා කිව්වාම ඒ මනුස්සයා හැංගිලා ඉන්නැතිව මොන කෙංගෙඩියකට බිමට බැස්සද දන්නේ නෑ හයියෝ මිනිහා ඒක ඇතුලේ හොදට විටමින් කලත්තන්න ඇති මැරෙන්න හිනා යනවා හලෝ ඇඩෙනවා.උපරිමයි අක්කේ මේකට එන්න ආයේ ලියන බ්ලොග් එකකට ලින්ක් එකක් දාන්න සුපිරි සීන් එක

    ඔන්න අක්කෝ බ්ලොග් එක සුද්දයි මාර සුපිරි කථා සෙට් එකක් සම්මානෙකට වටිනවා ලියන ලස්සනට

    ReplyDelete
  14. හික්...හික්..හික්... යාන්තම් ඉවර කළාද....
    මං ලියපු එකක් කියවල තව කෙනෙකුට විනෝදවෙන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක්...! කියවපු කෙනෙක් ඒක කියල යන එක තවත් සතුටක්...!!
    ඔක්කොම පොස්ට් ටික කියවල ඒ හැම එකටම කමෙන්ට්ස් දැම්මට ගොඩාරියක්ම ස්තුතියි හොඳේ....

    ReplyDelete