Total Pageviews

Wednesday 23 May 2012

අප්පච්චිගෙ තත්තෙ රැකපු පුතණ්ඩියා....

ඉස්සර අපේ අම්මා කියනව පුංචි කාලෙ මාවත් එක්කරගෙන කොහාට හරි ගියොත් කෑම අල්ලන වෙලාවට අම්ම සහලෝල ගිහින් ඉන්නෙ කියලා.... මොකද කේක් හරි බිස්කට් හරි වගේ ජාතියක් තිබුණොත් ආයෙ තසිමම ඉවර කරලලු පස්ස බලන්නෙ.... ඉතින් අපේ අම්මට හරි ලැජ්ජලු ඔය වැඩේට..... ඒ විතරක් නෙවෙයි.... ගෙදරදි කන්නෙ නැති ජාති, ඔහොම පිට ගෙදරකදි දෙන්න හදනකොට අම්ම කියනවලු, 'අනේ වැඩක් නෑ එයාට ඕවා අල්ලලා... එයා ඕව කනකොට බැරියැ...' කියල... මොන... මෙන්න හිටු කියල කනවලු අම්මට පොළොව පලන් යන්න හිතෙන්න... ඉතින් සමහර අය කියනවලු, 'අම්ම බොරුනෙ කියල තියෙන්නෙ... මේ දරුව යස අපූරුවට කන්නෙ,' කියලා... අනේ පව් අපේ අම්මා... 


මේ පසුබිම් විස්තරයත් එක්ක, හැමදාම මගේ අත්දැකීම් ගැනම ලියන එකේ පොඩි වෙනසකටත් එක්ක අපේ මහත්තයගෙ (මනූගෙ ) පවුලෙ කට්ටිය රස කර කර අදටත් කියන කතාවක් ලියන්නයි හිතුවෙ මේ ගමන.... ඔයාලට මතක ඇතිනෙ මම අර කලින් කතාවෙ කියපු බාල මාමා ගැන.... අන්න ඒ වගේ සම්බන්ධයක් පුංචි කාලෙ ඉඳලා මනූටත් තිබිලා තියෙනවා එයාගෙ බාප්පා කෙනෙක් එක්ක... එයාලගෙ තාත්තගෙ පවුලෙ සහෝදර සහෝදරියො එකොළහක් හිටිය නිසා, පවුලෙ දහ වෙනියා විදියට ඉපදුනු මේ බාප්පා මනූට වඩා වැඩිමහල් අවුරුදු පහළොවක් විතරයි......ඉතින් පුංචි කාලෙ ඉඳලා දෙන්නා හැදිලා වැඩිලා තියෙන්නෙ එකට... අදටත් මනූ එයාගෙ තාත්තට වැඩිය සම්බන්ධයි මේ බාප්පත් එක්ක.... ඒ වගේම තමයි එයාලගෙ තාත්තගෙන් වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම වගේ ඉෂ්ඨ වෙන්නෙත් මේ බාප්පා අතින්....  බාප්පා පස්සෙ කාලෙක උපාධිධාරියෙකු විදියට අනුරාධපුර පළාතෙ ප්‍රධාන රජයේ ආයතනයක ඉතාම උසස් නිලධාරියෙකු වශයෙන් සේවය කළා.... මට මේ ටික කියන්න ඕන උනේ එයාගෙ රැකියා තත්වය, සමාජ තත්වය මේ කතාව රස විඳින්න අත්‍යවශ්‍යම කාරණයක් නිසා.... ඒ කාලෙ එයාල ජීවත් උනේ රජයේ නිල නිවාසයක...  බාප්පට ඉන්නවා දුවෙකුයි, පුතෙකුයි..... දැන් නම් දෙන්නම ගොඩක් ලොකුයි.... මේ කියන සිද්දිය වෙලා තියෙන්නෙ මල්ලිට අවුරුදු හතක් අටක් විතර වෙන කාලෙ....


ඔය කාලෙ දවසක් අනුරාධපුරයේ තිබුණු ආණ්ඩුවේ ලොකු උත්සවයකට බාප්පාත් ආරාධිත අමුත්තෙක් විදියට සහභාගිවෙලා තියෙනව.... මේකට ඇවිත් තියෙනවා බාප්පත් එක්ක එක එක තැන්වල රාජකාරි කරපු ගෑණු පිරිමි සෙට් එකක්ම.... මෙතන ඉඳපු සමහරු ඇමතිලගෙ ලේකම්ලා එහෙම.... ඉතින් කාලෙකට පස්සෙ කට්ටියම මුණ ගැහුනම, යාළුවො පිට පාරෙන් යවන්න බෑ, එයාගෙ තත්වෙට හොඳ මදි එහෙම කළොත් කියලා හිතලා, උත්සවේට දවල් කෑමත් දුන්නු නිසා බාප්පා ගෙදර පොඩිවට  සංග්‍රහයක් ලෑස්ති කරල..... ඉතින් ඔන්න යාළුවො කට්ටිය ඇවිල්ල සංග්‍රහය භුක්ති විඳින වෙලාවෙ, එක යාළුවෙක් ඒ අහළින් පහළින් හොර ගල් අහුල අහුල එහාට මෙහාට යන මල්ලිව දැකලා, 'ආ...පොඩි මෑන්... පොඩ්ඩක් එනවකො බලන්න...' කියලා මල්ලිගෙ අතින් ඇදල ළඟට අරන් එයාගෙ පුටුවෙන්ම වාඩි කරවගෙන මේසෙට තියල තිබ්බ කේක් කෑල්ලක් අරන් මිනිහගෙ අතට දුන්නලු.... ඒ අහළ පහළ බලන් හිටිය බාප්ප දැක්කලු මිනිහා ඒ කෑල්ල කාල ඉවර කරල තව කෑල්ලකට අත ගහනව.... කමක් නෑ පොඩි එකානෙ කියල නොදැක්ක වගේ ඉන්නකොට මිනිහ ඊළඟ එකත් අතට ගත්තලු..... බාප්ප බලන් හිටියලු දැන් නැතුවට දැන් නවතීවි කියල වැඩේ.... මොන... මිනිහ කේක් කෑලි හයකටම වැඩේ දීල.... කොල්ලව අයින් කරගන්න හදනකොට යාළුව කිව්වලු, 'කමක් නෑ බං... ඔහෙ හිටපුවාවෙ...' කියල.... බාප්පට ලැජ්ජාවෙ බැරි උනාලු ඒක බලන් ඉන්නකොට... හරියට කවදාවත් කේක් කාල නෑ වගේ කොල්ල අඹරපු ඇඹරිල්ලට....


ඉතින් කට්ටිය කෑවට පස්සෙ සිසිල් බීම සංග්‍රහයකුත් තිබිලා තියෙනවා.... පුංචි අම්මා බීම අල්ලන අතරෙ, කෝකටත් කියලා බාප්ප හිස් තසිම් ටික අයින් කරල.... මොකද කොල්ල ඒ වෙනකොටත් මේසේට වාඩිවෙලා ඉඳල තියෙන්නෙ.... බැරිවෙලාවත් තසිම් උඩ තියෙන කුඩු ටික ලෙව කෑවොත් කියල බාප්පට හිතෙන්න ඇති..... ඔය බීම එහෙම බොනකොට අපේ අය වීදුරුවල පොඩ්ඩක් ඉතුරු කරනවනෙ.... ඉතින් මේ කට්ටියත් බීලා ආපහු තියපු වීදුරුවල අඩු වැඩි වශයෙන් ටික ටික ඉතුරු කරල තිබුණලු.... ඉතින් බීම බීපු සැනින් සමහර උදවිය නැගිට්ටලු යන්න පිටත්වෙන්න කියලා.... බාප්පත් ඉස්සෙල්ලම නැගිට්ට කට්ටියත් එක්ක කතා කර කර සාලෙට ආවලු, තව කීප දෙනෙක් බීම ටික බොන අතරෙ.... වැඩි වෙලාවක් යන්න කලින් බාප්පට ඇහිලා තියෙනවා කට්ටියක් හිනාවෙනවා..... බාප්ප කෝකටත් කියල කෑම මේසෙ පැත්තට එබිල බලනකොට සාරි පොටින් කට වහගෙන හිනා වෙවී හිටිය බවලත් කෙනෙක් ඇඟිල්ලෙන් පෙන්නුවලු එතන හිටගෙන හිටිය පුතණ්ඩියව.... බැලින්නම් පොර අර බීම කොට ටික දාගෙන එකතු කරනවලු එක වීදුරුවකට.... බාප්පා "හේයි..." ගානකොට මූ අර ටික ගුඩුස් ගාල බීල පැන්නලු පිටිපස්සෙ දොරෙන් එළියට..... මොකෝ ඉතින් යාළුවො බලන් ඉන්දැද්දි කොල්ලගෙ පස්සෙන් එලවන්නයැ.... දත් කූරු කන ගමන් එයාට යාළුවො එක්කත් හිනාවෙන්න උනාලු.... යාළුවො ටික ගිහින් තියෙන්නෙ එතැනම ඇතිවෙන්න හිනාවෙලා..... පස්සෙ නියමෙට කියන්නැති, 'අන්න අරූගෙ කොල්ල මෙහෙම වැඩක් කළානෙ' කියල.... කොහොමද සනීපෙ... 


යක්ෂාරූඪ වෙලා හිටපු බාප්ප යාළුවො ටික නොපෙනී යනකම් ඉඳලා ටවුමට ගිහින් ගෙනාවලු ලොකු කේක් ගෙඩියකුයි, තඩි ෆැන්ටා බෝතලේකුයි..... ඒ වෙනකොට අම්මගෙ ඇඟේ එල්ලිලා හිටිය කොල්ලට කිව්වලු දැන් මේක ඉවර වෙනකම් කාල, බීපිය කියල බීම එකත්.... අනේ ඉතින් ඌත් අඬ අඬා පුළුවන් තරම් කාල, අම්මා මැදිහත් වෙලා බේර ගන්නකම්....






Thursday 17 May 2012

ආදරණීය ඔබා මාමා අවසන් ගමනට සැරසී.....




මොන තරම් අහළ පහළ ජීවත් උනත් මම හැබැහින් දැකලා නැති ඔබා මාමා වෙනස් වෙලයි කියලයි අන්තිම පේලියේ උග්ගුසිංඤ්ඤෝ කිව්වෙ...





අවුරුදු උත්සවයෙදි ගත්තු පින්තූරයක් තමයි රාමු කරලා තියල තිබුණෙ....




සියළු බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔබා මාමට මල් පොකුරක් තිබ්බා අපි.....



ප.ලි. මේ සම්බන්ධ සියළුම පින්තූර පල කරනු ලබන්නේ පවුලේ සාමාජිකයන්ගේ සම්පූර්ණ අවසරය ඇතිව බව කරුණාවෙන් සලකනු මැනවි.