Total Pageviews

Wednesday 23 January 2013

යාළුවෝ....

ලියන්න දේවල් දහසක් තිබ්බත් මාස තුනක් විතර කාලයක් තිස්සෙ නොලිව්වෙ වැඩ අධික කමටත් වඩා කම්මැලිකම නිසාය කිව්වොත් නිවැරදියි.... මොන එකක්ද මන්දා මට ලියන්න හිතුනෙම නෑ.... බාගෙට ලියපු කතා තුනකුත් තියෙනව.... වෙනදට බ්ලොගක් බැලුවොත් කමෙන්ටුවක් කොටන්නෙ නැතුව නොයන මං ඒකටත් කම්මැලි උනා.... ඒත් අද නම් ඇඳෙන් නැගිට්ටෙම මොනව හරි කොටල මිසක් කොම්පියුටරය ළඟින් නැගිටින්නෙ නෑ කියල හිතාගෙනමයි.... එහෙම හිතුවට මේ වෙනකොටත් හත් අට පාරක්ම නැගිටල ගියා, අම්මි බඩගිනියි කියනකොට, මං කොම්පියුටරය ඉස්සරහ වාඩිවෙලා ඉන්න වෙලාවට වෙනද හදාගන්න තේ එකත් හදාගන්න බැරිවෙන අයට තේ හදල දෙන්න හෙම.... අවුරුද්දක් නැහිලා ලැබෙන වාර්ෂික නිවාඩුවට ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත තුනක සංචාරයකට යන්න පෙරුම් පිරුවෙ කාලෙක පටන්... ඒකට අමතර හේතුවක් ගෙනාවෙ මගේ පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙකුගෙ, වසරක ඕස්ට්‍රේලියන් ශිෂ්‍යත්වය....පොඩි අමතර කතාවකුත් කියන්නම්කො මේ එක්කම...

මම කලින් කියල තියෙනවනෙ මං ඉගෙන ගත්තෙ දකුණු පළාතෙ මිශ්‍ර පාසැලක කියල... ඒ වගේම ඉස්කෝලෙ යනකොට අලි ඔළුව දාගෙන හිටපු හැටිත් කිව්වනෙ... මගේ ඔය ආකල්ප වෙනස් කරපු දෙයක් සිද්ද උනේ මං ඕ ලෙවල් පන්තියෙ ඉන්දැද්දි... මගේ පුංචි කාලෙ පටන් බඩ බැඳගත්තු යාළුව රශ්මි ගැන අහල පුරුදුයිනෙ මගේ බ්ලොග් එක කියවපු යාළුවන්ට... මේ කාලෙ වෙනකොට රශ්මිලගෙ පවුලෙ කවුරුවත් ස්ථිර රැකියාවක් නොකරපු නිසාත්, හතර දෙනෙක් ඉගෙන ගත්තු නිසාත් එයාලට ගොඩක් ආර්ථික අපහසුකම් තිබුණා... ඒ නිසා අපේ අම්ම කළේ රශ්මිව එක්කන් ඇවිත් අපේ ගෙදර නවත්තගෙන ඉස්කෝලෙ ඇරපු එක....   රශ්මිට ඉගෙන ගන්න හැකියාවක් තිබුණත් එයාට පොතක් පාඩම් කරන්න බැරි බව මට තේරුණේ මේ කාලෙදි... මොකද ගෑණි පොත අරගෙන යන්නෙ ඇඳට... ඉතින් ටිකකින් ග් ර් ර් ර්...ටොඃ... ගානව ඇහෙනව.... එයා සම්පූර්ණයෙන්ම විභාගවලට ලිව්වෙ පන්තියෙදි උගන්වනකොට ඔළුවට යන දේවලින්.... හැබැයි ඉංග්‍රීසිවලට නම් පන්තියෙ වැඩිම ලකුණු ගත්තෙ එයා... ඒක තමයි එයා ආසාවෙන්ම ඉගෙන ගත්තෙ... පාඩම් කරන්න ඕනත් නැහැනෙ... එහෙම උනාට කවදාවත් පන්තියෙ පහළොස් වෙනියගෙන් පහළට ගියෙත් නැහැ... මොකද අනිත් ලකුණු වලින් මොන තරම් පහළට ගිහින් තිබ්බත් ඉංග්‍රීසිවල ලකුණු ලැබුණු ගමන් ගෑණි රූං ගාල උඩ...

ඉතින් ඔහොම ඉන්න කාලෙ තමයි මට තේරුනේ, මං රශ්මි වෙනුවෙන් මොනවා කළත් එයාගෙ හිතේ මං ගැන තරහක්, ඉරිසියාවක් වගේ දෙයක් තියෙනව කියල... එයා මගේ අනිත් යාළුවොන්ට මං කිව්ව කියල එක එක දේවල් කියල තිබ්බ... එයාල ඒව පිළිගත්තා රශ්මි ඒ වෙනකොට හිටියෙ අපේ ගෙදර හින්දා... එහෙම කරන කොට අනිත් යාළුවො මගෙන් ඈත්වෙලා රශ්මිත් එක්ක වෙනම කඳවුරක් උනා කියන එක මට තේරුනා... ඒකට මගේ හිත හොඳටම රිදුනා... මොකද මං එහෙම දෙයක් රශ්මිගෙන් කවමදාකවත් බලාපොරොත්තු නොවුනු නිසා.... ඔය හේතුව නිසා ඒ ලෙවල් පන්තියට යනකොට අර පහළ පන්තිවල බඩ බැඳගෙන හිටිය යාළුවොන්ගෙන් මං බොහොම ඈත්වෙලායි හිටියෙ...

අපි ඒ ලෙවල් පන්තියට යනකොට, හැමදාම නොයෙක් විදියේ අත්හදාබැලීම් කරන අපේ ඉස්කෝලෙ, එක පන්තියක් හැදුවා ඩී 6 කට වඩා ගත්තු බයෝ, මැත්ස් කරන ළමයි දෙගොල්ලොම දාලා... (ඒ කාලෙ තිබ්බෙ විෂයයන් 8ක්, දුන්නෙ ඩී, සී එස්, එෆ්... දැන් නම් මේවා වෙනස්නෙ... ) එතැනදි අර 1 පන්තියේ ඉඳල ඕ ලෙවල් වෙනකම්ම මාත් එක්ක හිටිය රශ්මි වැටුනෙ වෙන පන්තියකට.... මේ පන්තියෙදි මා වටා එකතු උනා අළුත්ම යාළුවො ටිකක්... විශ්වාස කරන්න මේ ඔක්කොම පිරිමි ළමයි.... උන් අතරෙ අර කෙල්ලො අතර තිබ්බ කුඩුකේඩුකම් මොකුත් තිබ්බෙ නෑ... ආයෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම යාළුවො.... අන්තිමට ඒ පන්තියේ සාර්ථක භාවය කෙසේද කිව්වොත් පන්තියේ හිටපු 50% කට වැඩිය අද වෙනකොට දොස්තරල, ඉංජිනේරුවො, කථිකාචාර්යවරු.... එක මහාචාර්යවරයෙකුත් ඉන්නව කියල ආරංචි උනා.... (මේ අය මෙහෙම වෙද්දි මට මොකද උනේ කියන එක වෙනමම ලිවිය යුතු කතාවක්... ) ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු පහක් හයක් යනකම්ම මේ යාළුකම් බොහොම සමීපව පවත්වාගෙන ආවත්, කට්ටියට රස්සාවල් ලැබිලා එක එක දිහාවලට යන්න සිද්ද උනාම ඒ ළඟ සම්බන්ධකම් ඉබේම නැතිවෙලා ගියා.... පසු කාලෙක අහම්බෙන් තමයි අපිට කතාකරන්නවත් ලැබුණෙ... ඒත් දුරකථනයෙන්.... මෙයින් එක යාළුවෙක් තමයි ඔය ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවට ආව කිව්වෙ....

මෙයාට සමීර කියමු.... සමීර ඉහළම සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්... එයා මගේ පොඩි මස්සිනා එක්ක ළඟින්ම ආශ්‍රය කරපු නිසා මගේ විස්තර, දුරකථන අංක එහෙම දැනගෙනයි හිටියෙ.... (තව දෙයක් කියන්න ඕන... මගේ මහත්තයා හැරුනුකොට අපේ පවුලෙ අනිත් පස් දෙනාම - කසාද බැඳපු අයත් එක්කම - ගියේ එකම ඉස්කෝලෙට... ඒ වගේම මගේ චූටි නංගි ඇරුනහම අනිත් පස් දෙනාම ගියේ එකම විශ්වවිද්‍යාලෙකට... ඒ නිසා බොහෝ වෙලාවට එක්කෙනෙකුගෙ යාළුවො අනිත් අයවත් හොඳටම දන්නවා... ) ඉතින් සමීර මෙහේ ආව ගමන් කළේ ටික ටික අපේ පන්තිවල හිටපු, දැනට කැන්ගරු දේශෙ වසන කට්ටියව එකතු කරපු එක... අන්තිමට එයා හිටපු පළාතෙන් විස්සකට වැඩිය පිරිසක් එකතු කරගෙන ගෙට්ටුවක් දාන්නත් පුළුවන් උනා... ඔය ගෙට්ටුව වෙලාවෙ මගේ විස්තරත් අනිත් අයට ලැබෙන්න සලස්වලා තිබ්බා සමීර විසින්... බලනකොට මගේ පන්තියේම හිටිය යාළුවො, කොල්ලො අට දෙනෙක්ම ඒ අහළින් පහළින් අහුලගෙන තිබ්බා.... මං ඒක දැනගත්තෙ ටික දවසක් යද්දි දුරකථන ඇමතුම් එක එක එන්න පටන් ගනිද්දි... මේ අතරෙ හිටිය එක විශේෂ කෙනෙක් තමයි අර මං කලින් 'යාළුද බලපු හැටි...' කතාවෙ ප්‍රධාන චරිතය... මිනිහ දැන් සිවිල් ඉංජිනේරුවෙක්... මෙතැන එයාගෙ නම කියන්නෙ නැතිව ටී කියන්නම්කො... ටීගෙ පැය දෙකක් විතර දිග පළවෙනි දුරකථන ඇමතුමේදි තමයි අපට ආරාධනය ලැබුණෙ එහේ ඇවිත් යන්න...

ටී මගින් මගටම කිව්වා එයාලගෙ ගෙදර දවස් තුනක්වත් නැවතිලා ඉඳල යන්න ඕන කියල.... ඒත් එයාලට පුංචි දරුවො ඉන්න නිසා වදයක් වෙයි කියලත්, මනු මේ සෙට් එකව ඒ තරම්  නොදන්න නිසාත් අපි නවතින තැන් වෙනම ලැහැස්ති කරගත්තා... අනේ ඒ උනාට ගියාට පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ... අපි ටීලගෙ ගෙදර යනකොට මගුල් ගෙදරක වගේ කෑම බීම ලැහැස්ති කරල, අර පන්තියේම හිටපු කොල්ලො සෙට් එකට එන්න කියල එකම සතුටු සාගරයක්.... උන් ටික මාව පිළිගත්ත හැටි මතක් වෙනකොට ඇහැට කඳුළුත් එනවා.... ඔක්කොගෙම ළමයි ටික එකතු වෙනකොට දහ අටක් විතර... දැන් මතක් වෙනකොට මහ උන් ටිකයි ළමයි ටිකයි කොහොම අර ගෙදර හිටියද කියල හිතාගන්නවත් බෑ.... අවුරුදු පහළොවකට වැඩි කාලයකට පස්සෙ අපිව දැකපු අපිට හිනාව නවත්තගන්න බැරි උනා.... එදා වගේම නොවෙනස්ව හිටියෙ කොල්ලො දෙන්නෙක් විතරයි.... සමහරුන්ගෙ තට්ටෙ පෑදිලා... සමහරුන්ගෙ බඩවල් කට ළඟ... හරියට එයාලගෙ ළමයි වදල තියෙන්නෙ පිරිමි ටික වගේ... ළඟින් ගියත් අඳුන්න බැරිවෙන තරමට වෙනස් වෙලා තිබ්බෙ ටී.... මිනිහට ඉස්කෝලෙ යන කාලෙ ලස්සන කොණ්ඩයක් තිබ්බා... හරියට ඉතින් ඊට පස්සෙ කතාවෙ කැළුම්ගෙ වගේ.... ඒ කොණ්ඩෙන් ගහක්වත් ඉතුරුවෙලා නෑ.... ඒ මදිවට ඉස්කෝලෙ යන කාලෙ උපරිමයට ක්‍රීඩා කරපු ටීව තමයි ලොකුම බඩාට තේරුනෙත්.... ඊට පස්සෙ ඉතින් අපි එකතුවෙලා ඇවිද්දා... හැම ගෙදරකටම ගොඩවෙලා සංග්‍රහ භුක්ති වින්දා.... 31 වෙනිදා රෑ ලොකුම සාජ්ජෙ තිබ්බෙ ටීලගෙ ගෙදර... රෑ එළිවෙනකම් ගිටාර් ගගහා ටින් බෙලෙක්කවලට තල තල සින්දු කිව්වා...නෝනල ළඟ ඉන්නවද බල බල ඉස්සර කරපු කුපාඩි වැඩ, කෙල්ලො පස්සෙ ගිය ඒවා, දැන් උන්ට මොකද වෙලා තියෙන්නෙ කියන ඒව මතක් කරපු එක තමයි ලස්සනම.... මනු ටීගෙ කතාව දැනගෙන හිටියට ටී දන්නෙ නෑනෙ ඒ වග... අනිත් අය හිතුවෙ මනුට තේරෙන්නෙ නෑ කියල ඒ කතාව එහෙන් මෙහෙන් හින්ට් වලින් මතක් කරනකොට... මනුත් නොතේරුනු ගානට හිටිය... ටී හිටිය තිත්ත කසාය බීපු ගොළුව වගේ.... දැන් මතක් වෙනකොටත් හිනා යනව.... ඊට පස්සෙ අළුත් අවුරුද්ද ලබනකොට අපේ ලංකාවෙ ඉන්න යාළුවො සෙට් එකට සුභ පතලා එකම වෙලාවට වෙන වෙනම එස් එම් එස් යවපු එක තමයි අනිත් ලස්සන වැඩේ.... උන්ට හිතාගන්න බැරි උනා කොහොමද මේ එකක් පස්සෙ එකක් මැසේජස් එන්නෙ කියල... පස්සෙ කෝල් කරලා හැමෝම කතා කරල උන්දලාවත් කුලප්පු කරල තිබ්බ.... ඊට පස්සෙ දවසක බ්‍රිස්බේන්වල ඉන්න යාළුවෙක්ව බලන්න එයාලගෙ ගෙදර යනකොට රෑ දොළහත් පහුවෙලා... ඒත් කිසිම මහන්සියක් බලන්නෙ නැතිව හෝටලේටම ඇවිත් අපිව එක්කගෙන ගිහින් කන්න බොන්න දීලා හෝටලේටම ඇරලනකොට පාන්දර දෙකත් පහුයි.... ඇත්තටම මනු විතරක් නෙවෙයි, මමත් පුදුම උනා එයාලගෙන් මට ලැබුණු සැලකිල්ල ගැන...

පස්සෙ ඉතින් මිතුරුකමේ හර්දයාංගම මතක සටහන් රැසක් එකතු කරගෙන අපි එයාලගෙන් සමු අරගෙන ආවත් (අපිව එයාපොර්ට් එකට ඇරළුවෙත් එයාලමයි), අපි සංචාරය ඉවර කරලා ආපහු ගෙදරටම එනකම් සැරින් සැරේ දුරකථන ඇමතුම් දීලා අපේ සුව දුක් අහන්නත්, කරදරයක් නැතිව ඉන්නවද කියල දැනගන්නත් (විශේෂයෙන්ම තැන තැන ඇවිළුනු ලැව් ගිනි හින්දා ) අමතක කළේ නෑ...

ඇත්තටම කාලෙකට පස්සෙ අව්‍යාජ යාළුවො ටිකක් මුණ ගැහිලා වින්ද සතුට කොහේ හරි අකුරු කරල තියන්න ඕන කියල හිතුනු හින්දා අළුත් අවුරුද්දෙ පළමු සටහන මෙහෙම තිබ්බා.....