ලියන්න දේවල් දහසක් තිබ්බත් මාස තුනක් විතර කාලයක් තිස්සෙ නොලිව්වෙ වැඩ අධික කමටත් වඩා කම්මැලිකම නිසාය කිව්වොත් නිවැරදියි.... මොන එකක්ද මන්දා මට ලියන්න හිතුනෙම නෑ.... බාගෙට ලියපු කතා තුනකුත් තියෙනව.... වෙනදට බ්ලොගක් බැලුවොත් කමෙන්ටුවක් කොටන්නෙ නැතුව නොයන මං ඒකටත් කම්මැලි උනා.... ඒත් අද නම් ඇඳෙන් නැගිට්ටෙම මොනව හරි කොටල මිසක් කොම්පියුටරය ළඟින් නැගිටින්නෙ නෑ කියල හිතාගෙනමයි.... එහෙම හිතුවට මේ වෙනකොටත් හත් අට පාරක්ම නැගිටල ගියා, අම්මි බඩගිනියි කියනකොට, මං කොම්පියුටරය ඉස්සරහ වාඩිවෙලා ඉන්න වෙලාවට වෙනද හදාගන්න තේ එකත් හදාගන්න බැරිවෙන අයට තේ හදල දෙන්න හෙම.... අවුරුද්දක් නැහිලා ලැබෙන වාර්ෂික නිවාඩුවට ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත තුනක සංචාරයකට යන්න පෙරුම් පිරුවෙ කාලෙක පටන්... ඒකට අමතර හේතුවක් ගෙනාවෙ මගේ පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙකුගෙ, වසරක ඕස්ට්‍රේලියන් ශිෂ්‍යත්වය....පොඩි අමතර කතාවකුත් කියන්නම්කො මේ එක්කම...
මම කලින් කියල තියෙනවනෙ මං ඉගෙන ගත්තෙ දකුණු පළාතෙ මිශ්‍ර පාසැලක කියල... ඒ වගේම ඉස්කෝලෙ යනකොට අලි ඔළුව දාගෙන හිටපු හැටිත් කිව්වනෙ... මගේ ඔය ආකල්ප වෙනස් කරපු දෙයක් සිද්ද උනේ මං ඕ ලෙවල් පන්තියෙ ඉන්දැද්දි... මගේ පුංචි කාලෙ පටන් බඩ බැඳගත්තු යාළුව රශ්මි ගැන අහල පුරුදුයිනෙ මගේ බ්ලොග් එක කියවපු යාළුවන්ට... මේ කාලෙ වෙනකොට රශ්මිලගෙ පවුලෙ කවුරුවත් ස්ථිර රැකියාවක් නොකරපු නිසාත්, හතර දෙනෙක් ඉගෙන ගත්තු නිසාත් එයාලට ගොඩක් ආර්ථික අපහසුකම් තිබුණා... ඒ නිසා අපේ අම්ම කළේ රශ්මිව එක්කන් ඇවිත් අපේ ගෙදර නවත්තගෙන ඉස්කෝලෙ ඇරපු එක.... රශ්මිට ඉගෙන ගන්න හැකියාවක් තිබුණත් එයාට පොතක් පාඩම් කරන්න බැරි බව මට තේරුණේ මේ කාලෙදි... මොකද ගෑණි පොත අරගෙන යන්නෙ ඇඳට... ඉතින් ටිකකින් ග් ර් ර් ර්...ටොඃ... ගානව ඇහෙනව.... එයා සම්පූර්ණයෙන්ම විභාගවලට ලිව්වෙ පන්තියෙදි උගන්වනකොට ඔළුවට යන දේවලින්.... හැබැයි ඉංග්‍රීසිවලට නම් පන්තියෙ වැඩිම ලකුණු ගත්තෙ එයා... ඒක තමයි එයා ආසාවෙන්ම ඉගෙන ගත්තෙ... පාඩම් කරන්න ඕනත් නැහැනෙ... එහෙම උනාට කවදාවත් පන්තියෙ පහළොස් වෙනියගෙන් පහළට ගියෙත් නැහැ... මොකද අනිත් ලකුණු වලින් මොන තරම් පහළට ගිහින් තිබ්බත් ඉංග්‍රීසිවල ලකුණු ලැබුණු ගමන් ගෑණි රූං ගාල උඩ...
ඉතින් ඔහොම ඉන්න කාලෙ තමයි මට තේරුනේ, මං රශ්මි වෙනුවෙන් මොනවා කළත් එයාගෙ හිතේ මං ගැන තරහක්, ඉරිසියාවක් වගේ දෙයක් තියෙනව කියල... එයා මගේ අනිත් යාළුවොන්ට මං කිව්ව කියල එක එක දේවල් කියල තිබ්බ... එයාල ඒව පිළිගත්තා රශ්මි ඒ වෙනකොට හිටියෙ අපේ ගෙදර හින්දා... එහෙම කරන කොට අනිත් යාළුවො මගෙන් ඈත්වෙලා රශ්මිත් එක්ක වෙනම කඳවුරක් උනා කියන එක මට තේරුනා... ඒකට මගේ හිත හොඳටම රිදුනා... මොකද මං එහෙම දෙයක් රශ්මිගෙන් කවමදාකවත් බලාපොරොත්තු නොවුනු නිසා.... ඔය හේතුව නිසා ඒ ලෙවල් පන්තියට යනකොට අර පහළ පන්තිවල බඩ බැඳගෙන හිටිය යාළුවොන්ගෙන් මං බොහොම ඈත්වෙලායි හිටියෙ...
අපි ඒ ලෙවල් පන්තියට යනකොට, හැමදාම නොයෙක් විදියේ අත්හදාබැලීම් කරන අපේ ඉස්කෝලෙ, එක පන්තියක් හැදුවා ඩී 6 කට වඩා ගත්තු බයෝ, මැත්ස් කරන ළමයි දෙගොල්ලොම දාලා... (ඒ කාලෙ තිබ්බෙ විෂයයන් 8ක්, දුන්නෙ ඩී, සී එස්, එෆ්... දැන් නම් මේවා වෙනස්නෙ... ) එතැනදි අර 1 පන්තියේ ඉඳල ඕ ලෙවල් වෙනකම්ම මාත් එක්ක හිටිය රශ්මි වැටුනෙ වෙන පන්තියකට.... මේ පන්තියෙදි මා වටා එකතු උනා අළුත්ම යාළුවො ටිකක්... විශ්වාස කරන්න මේ ඔක්කොම පිරිමි ළමයි.... උන් අතරෙ අර කෙල්ලො අතර තිබ්බ කුඩුකේඩුකම් මොකුත් තිබ්බෙ නෑ... ආයෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම යාළුවො.... අන්තිමට ඒ පන්තියේ සාර්ථක භාවය කෙසේද කිව්වොත් පන්තියේ හිටපු 50% කට වැඩිය අද වෙනකොට දොස්තරල, ඉංජිනේරුවො, කථිකාචාර්යවරු.... එක මහාචාර්යවරයෙකුත් ඉන්නව කියල ආරංචි උනා.... (මේ අය මෙහෙම වෙද්දි මට මොකද උනේ කියන එක වෙනමම ලිවිය යුතු කතාවක්... ) ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු පහක් හයක් යනකම්ම මේ යාළුකම් බොහොම සමීපව පවත්වාගෙන ආවත්, කට්ටියට රස්සාවල් ලැබිලා එක එක දිහාවලට යන්න සිද්ද උනාම ඒ ළඟ සම්බන්ධකම් ඉබේම නැතිවෙලා ගියා.... පසු කාලෙක අහම්බෙන් තමයි අපිට කතාකරන්නවත් ලැබුණෙ... ඒත් දුරකථනයෙන්.... මෙයින් එක යාළුවෙක් තමයි ඔය ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවට ආව කිව්වෙ....
මෙයාට සමීර කියමු.... සමීර ඉහළම සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්... එයා මගේ පොඩි මස්සිනා එක්ක ළඟින්ම ආශ්‍රය කරපු නිසා මගේ විස්තර, දුරකථන අංක එහෙම දැනගෙනයි හිටියෙ.... (තව දෙයක් කියන්න ඕන... මගේ මහත්තයා හැරුනුකොට අපේ පවුලෙ අනිත් පස් දෙනාම - කසාද බැඳපු අයත් එක්කම - ගියේ එකම ඉස්කෝලෙට... ඒ වගේම මගේ චූටි නංගි ඇරුනහම අනිත් පස් දෙනාම ගියේ එකම විශ්වවිද්‍යාලෙකට... ඒ නිසා බොහෝ වෙලාවට එක්කෙනෙකුගෙ යාළුවො අනිත් අයවත් හොඳටම දන්නවා... ) ඉතින් සමීර මෙහේ ආව ගමන් කළේ ටික ටික අපේ පන්තිවල හිටපු, දැනට කැන්ගරු දේශෙ වසන කට්ටියව එකතු කරපු එක... අන්තිමට එයා හිටපු පළාතෙන් විස්සකට වැඩිය පිරිසක් එකතු කරගෙන ගෙට්ටුවක් දාන්නත් පුළුවන් උනා... ඔය ගෙට්ටුව වෙලාවෙ මගේ විස්තරත් අනිත් අයට ලැබෙන්න සලස්වලා තිබ්බා සමීර විසින්... බලනකොට මගේ පන්තියේම හිටිය යාළුවො, කොල්ලො අට දෙනෙක්ම ඒ අහළින් පහළින් අහුලගෙන තිබ්බා.... මං ඒක දැනගත්තෙ ටික දවසක් යද්දි දුරකථන ඇමතුම් එක එක එන්න පටන් ගනිද්දි... මේ අතරෙ හිටිය එක විශේෂ කෙනෙක් තමයි අර මං කලින් 'යාළුද බලපු හැටි...' කතාවෙ ප්‍රධාන චරිතය... මිනිහ දැන් සිවිල් ඉංජිනේරුවෙක්... මෙතැන එයාගෙ නම කියන්නෙ නැතිව ටී කියන්නම්කො... ටීගෙ පැය දෙකක් විතර දිග පළවෙනි දුරකථන ඇමතුමේදි තමයි අපට ආරාධනය ලැබුණෙ එහේ ඇවිත් යන්න...
ටී මගින් මගටම කිව්වා එයාලගෙ ගෙදර දවස් තුනක්වත් නැවතිලා ඉඳල යන්න ඕන කියල.... ඒත් එයාලට පුංචි දරුවො ඉන්න නිසා වදයක් වෙයි කියලත්, මනු මේ සෙට් එකව ඒ තරම් නොදන්න නිසාත් අපි නවතින තැන් වෙනම ලැහැස්ති කරගත්තා... අනේ ඒ උනාට ගියාට පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ... අපි ටීලගෙ ගෙදර යනකොට මගුල් ගෙදරක වගේ කෑම බීම ලැහැස්ති කරල, අර පන්තියේම හිටපු කොල්ලො සෙට් එකට එන්න කියල එකම සතුටු සාගරයක්.... උන් ටික මාව පිළිගත්ත හැටි මතක් වෙනකොට ඇහැට කඳුළුත් එනවා.... ඔක්කොගෙම ළමයි ටික එකතු වෙනකොට දහ අටක් විතර... දැන් මතක් වෙනකොට මහ උන් ටිකයි ළමයි ටිකයි කොහොම අර ගෙදර හිටියද කියල හිතාගන්නවත් බෑ.... අවුරුදු පහළොවකට වැඩි කාලයකට පස්සෙ අපිව දැකපු අපිට හිනාව නවත්තගන්න බැරි උනා.... එදා වගේම නොවෙනස්ව හිටියෙ කොල්ලො දෙන්නෙක් විතරයි.... සමහරුන්ගෙ තට්ටෙ පෑදිලා... සමහරුන්ගෙ බඩවල් කට ළඟ... හරියට එයාලගෙ ළමයි වදල තියෙන්නෙ පිරිමි ටික වගේ... ළඟින් ගියත් අඳුන්න බැරිවෙන තරමට වෙනස් වෙලා තිබ්බෙ ටී.... මිනිහට ඉස්කෝලෙ යන කාලෙ ලස්සන කොණ්ඩයක් තිබ්බා... හරියට ඉතින් ඊට පස්සෙ කතාවෙ කැළුම්ගෙ වගේ.... ඒ කොණ්ඩෙන් ගහක්වත් ඉතුරුවෙලා නෑ.... ඒ මදිවට ඉස්කෝලෙ යන කාලෙ උපරිමයට ක්‍රීඩා කරපු ටීව තමයි ලොකුම බඩාට තේරුනෙත්.... ඊට පස්සෙ ඉතින් අපි එකතුවෙලා ඇවිද්දා... හැම ගෙදරකටම ගොඩවෙලා සංග්‍රහ භුක්ති වින්දා.... 31 වෙනිදා රෑ ලොකුම සාජ්ජෙ තිබ්බෙ ටීලගෙ ගෙදර... රෑ එළිවෙනකම් ගිටාර් ගගහා ටින් බෙලෙක්කවලට තල තල සින්දු කිව්වා...නෝනල ළඟ ඉන්නවද බල බල ඉස්සර කරපු කුපාඩි වැඩ, කෙල්ලො පස්සෙ ගිය ඒවා, දැන් උන්ට මොකද වෙලා තියෙන්නෙ කියන ඒව මතක් කරපු එක තමයි ලස්සනම.... මනු ටීගෙ කතාව දැනගෙන හිටියට ටී දන්නෙ නෑනෙ ඒ වග... අනිත් අය හිතුවෙ මනුට තේරෙන්නෙ නෑ කියල ඒ කතාව එහෙන් මෙහෙන් හින්ට් වලින් මතක් කරනකොට... මනුත් නොතේරුනු ගානට හිටිය... ටී හිටිය තිත්ත කසාය බීපු ගොළුව වගේ.... දැන් මතක් වෙනකොටත් හිනා යනව.... ඊට පස්සෙ අළුත් අවුරුද්ද ලබනකොට අපේ ලංකාවෙ ඉන්න යාළුවො සෙට් එකට සුභ පතලා එකම වෙලාවට වෙන වෙනම එස් එම් එස් යවපු එක තමයි අනිත් ලස්සන වැඩේ.... උන්ට හිතාගන්න බැරි උනා කොහොමද මේ එකක් පස්සෙ එකක් මැසේජස් එන්නෙ කියල... පස්සෙ කෝල් කරලා හැමෝම කතා කරල උන්දලාවත් කුලප්පු කරල තිබ්බ.... ඊට පස්සෙ දවසක බ්‍රිස්බේන්වල ඉන්න යාළුවෙක්ව බලන්න එයාලගෙ ගෙදර යනකොට රෑ දොළහත් පහුවෙලා... ඒත් කිසිම මහන්සියක් බලන්නෙ නැතිව හෝටලේටම ඇවිත් අපිව එක්කගෙන ගිහින් කන්න බොන්න දීලා හෝටලේටම ඇරලනකොට පාන්දර දෙකත් පහුයි.... ඇත්තටම මනු විතරක් නෙවෙයි, මමත් පුදුම උනා එයාලගෙන් මට ලැබුණු සැලකිල්ල ගැන...
පස්සෙ ඉතින් මිතුරුකමේ හර්දයාංගම මතක සටහන් රැසක් එකතු කරගෙන අපි එයාලගෙන් සමු අරගෙන ආවත් (අපිව එයාපොර්ට් එකට ඇරළුවෙත් එයාලමයි), අපි සංචාරය ඉවර කරලා ආපහු ගෙදරටම එනකම් සැරින් සැරේ දුරකථන ඇමතුම් දීලා අපේ සුව දුක් අහන්නත්, කරදරයක් නැතිව ඉන්නවද කියල දැනගන්නත් (විශේෂයෙන්ම තැන තැන ඇවිළුනු ලැව් ගිනි හින්දා ) අමතක කළේ නෑ...
ඇත්තටම කාලෙකට පස්සෙ අව්‍යාජ යාළුවො ටිකක් මුණ ගැහිලා වින්ද සතුට කොහේ හරි අකුරු කරල තියන්න ඕන කියල හිතුනු හින්දා අළුත් අවුරුද්දෙ පළමු සටහන මෙහෙම තිබ්බා.....
සන්තෝෂයි ආයේ ආවාට . කොච්චර සතුටක්ද පාසල් යාළුවන් ආයේ මුණගැහෙන එක . වචන වලින් සතුට උතුරනවා ලිපිය පුරාම
ReplyDeleteස්තුතියි අනේ ඔයාට... දැන් නම් ලැජ්ජයි එහෙම ඇහෙනකොට... ඇයි අනේ කී සැරයක් කියල කට්ටිය ඔහොම කිව්වද... හික්ස්...
Deleteඇත්තටම පරණ යාළුවො මුණ ගැහෙන එක නම් ලොකුම සතුටක් බින්දි...
නැවත අවදි වීම පිළිබඳව මාගේ හද පිරි සතුට.. :-)...
ReplyDeleteලිපිය කියවලා කමෙන්ට් කරන්නෙ පස්සෙ...
ස්තුතියි ඔයාටත් සෙන්නා... අර අනිත් බ්ලොග්වල කියල තිබ්බ ඒව මං දැක්ක හොඳේ... හික්ස්...
Deleteහොඳයි ආයෙ එන්නකෝ....
ප.ලි.
ReplyDeleteදැන් මේක කොටලා ආයේ නිදා ගන්න එහම යන්නේ නැහැ ඔන්න
මමත් මේ ඕක කියන්න කියලා හිටියෙ බින්දි.. මෙදා සැරේ නිදා ගත්තොත් ගහනවා වතුර එකක්..
Deleteබින්දි: එහෙම නොකරන්න හිතාගෙන තමයි ආයෙ පටන් ගත්තෙ නම්.. පුළුවන් තරම් උත්සාහ කරනව ඒකට....
Deleteසෙන්නා: හප්පෝ ලොක්කගෙ සැර... ;p
පරණ යාලුවෝ මුන ගැහෙන එක තරම් තවත් සතුටක් කොහේද නේද ?
ReplyDeleteගොඩක් කලකින් ඔයාව දැක්කෙ . සතුටුයි ආයෙත් ආවට . ඉතින් දිගටම ලියනවා නේද ?
බොහොම ස්තුතියි ඔයාටත්... ඒක නම් කියල වැඩක් නෑ අනේ... දිගටම ලියන්න තමයි මේ සැරේ නම් හිතාගෙන ඉන්නෙ ගිම්හානි...
Deleteකාලෙකින් මියුරුව ඇවිල්ල!! අනේ ලියපංකො වදේ මොනව හරි...
ReplyDeleteමේ ලියන්න තමයි හදන්නෙ වදේ... පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ... :D
Deleteමේ ඉන්නෙ එළ සෙට් එකම. ජනුවයි මියුරුයි. උඹලා දෙන්නගෙන් වැඩිය කම්මැලි එකී කවුද කියලා තෝරන්න අමාරුවෙන් මම හිටියෙ. නමුත් දැන්නම් ජයග්‍රාහිකාව උඹයි මියුරු.
Delete:D
අපොයි දෙයියනේ ගහපු කප් එක... හී...හී...
Deleteපරණ යාළුවෝ එකට එකතුවුනාම රස සාගයක් තමා..
ReplyDeleteකොහොම වුනත් ටී ගේ හැසිරීම නම් වටිනවා..මට නිකම් මැවිලා පෙනුනා..
වෙල්කම් බැක් මියුරු..
ඔයාටත් ස්තුතියි රූ, ලියන්නෙ නැති එකට නිතර බැණ බැණ හිටියටත්... ටීගෙ හැසිරීම ගැන නම් කියලම වැඩක් නෑ...මිනිහ මං එන්න කලින්ම නෝනට කියල තියෙනව ඉස්කෝලෙ යන කාලෙ අපි දෙන්නගෙ නම් එකතු කරල යාළුවො විහිළු කළාය කියල... කාගෙ හරි කටින් මොනව හරි කියවෙයි කියල ගැලවිජ්ජාවට වෙන්නැති... හික්ස්...
Deleteඕවා ගැනනම් ලියලා ඉවරයක් කරන්න බැරි තරම් නේද ? කාලයත් එක්ක අමතක වෙලා ගිය යාලුවො ඔහොම හම්බුනාම මාර සතුටක් තමා දැනෙන්නෙ.. ඔය ටී බ්ලොග් ලියන එහෙම කෙනෙක්ද ? දවසක් හරී කියලා තිබුනා ඕස්ට්‍රේලියාවෙ ඉඳන් බ්ලොග් ලියන තට්ටයෙක් ගැන... හෙහ් හෙහ්...
ReplyDeleteබ්ලොග් එකේ අකුරු වල පාට හරි අමාරුයිනෙ කියවන්න.. බැරිද කළු පාට කරන්න ? මට නිකන් බොඳ වෙලා වගේ පේන්නෙ.. වයසට ගිහින්ද මංදා...
අඩේ ඇත්තටම ඔයාට පේන්නෙ මොන පාට අකුරුද සෙන්නෝ... මම මේකට දාල තියෙන්නෙ සුදු පාට බැක්ග්‍රවුන්ඩ් එකේ කළු පාට අකුරු එන විදියට... මට නම් පේන්නෙ එහෙමයි...
Deleteටී නම් බ්ලොග් ලියන්න වෙලාවක් තියෙන කෙනෙක් නෙවෙයි... හැබැයි මං ලියන බව නිකම් හරි දැන ගත්තොත් කොහොම හරි වෙලාවක් සොයාගෙන බලාවි... කවදාවත් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ.... බුදු අම්මේ...
මම හිතන්නෙ මගෙ ඔෆිස් කම්පියුටර් එකේ අවුලක්.. මෙන්න දැන් හොඳට පේනවා..
Deleteඇති යාන්තම්... :D
Deleteමොන මගුලක ගිහිල්ල හරි .. ආපහු බ්ලොග් එකට ආපු එක නම් මසුරන් ...ය.
ReplyDeleteඉස්තූතියි කුමාරයෝ...
Deleteදැන් නැවතත් ලියමු දිගටම....
ReplyDeleteඒක තමයි මේ අවුරුද්දෙ බලාපොරොත්තුව නලීන්...
Deleteසුමියුරු අවදි වෙලා මිහිරි කතාවක් කියල අළුත් අවුරුද්දේ වැඩ පටන් ගන්න. ගන්න පුරුෂ ශක්තිය අතට. (කෙල්ලෙක් වුනාට කමක් නැහැ.)
ReplyDeleteඔය දකුණු පළාතේද? මට මතක නුවර පැත්තේ කෙනෙක් වගේ...
පරණ යාළුවො එක්ක කාලෙකට පස්සේ එකට ඉඳල ආයෙත් ආවාම මාසයක් වගේ තනියෙන් හිනා වෙන්න පුළුවන්. අර හිටපු පැය ගැන ඇතුලත සිද්ද වුන දේවලුත් එක්ක.
ඕං වැඩ ඇල්ලුව අළුත් අවුරුද්දට...
Deleteදකුණු පළාතෙ නේන්නම්... මහත්තය නම් මධ්‍යම පළාතෙ... ඒක කිව්වමයි මතක් උනේ... මේ එකතු වෙච්චි යාළුවොන්ගෙන් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ලව් කරල කසාද බැඳපු උන් දෙන්න හැරුනම අනිත් සෙට් එකම කසාද බැඳල තිබ්බෙ මධ්‍යම පළාතින්...
අයියෝ හිනා වෙන එක ගැන නම් කියල වැඩක් නෑ... මේ දවස්වල ඒ ටික කාලෙ ගත්තු පින්තූරවලට හිනා වෙනවා... ලස්සන වැඩේ කියන්නෙ, අපේ මනූට පුළුවන් ඕන තැනක ගිහින් ඕන කෙනෙක් එක්ක හොඳට සෙට් වෙන්න උන්ගෙම එකෙක් වගේ... දැන් ගෙදෙට්ට කෝල් කරල අපේ උන් ඉස්සෙල්ලම අහන්නෙ මනුවා කෝ කියල....
පරණ යාලුවො මුන ගැහෙන එක මොන තරම් ආතල් එකක්ද කියලා මම දන්නවා. මියුරු ආයි නින්දට නොවැටී දිගටම ලියපියෝ...
ReplyDeleteඔය ඉන්නෙ අත්දැකීම් තියෙන කට්ටිය...
Deleteමේ ලියනවෝ....
බිතු සිතුවම් රූ නේදෑ???
ReplyDeleteඅපිත් අවුරුදු 33 කට කලින් හතර පහේ පන්තිවල හිටල දැන් විසිරිලා ඉන්න අය එක්කහු කරල දැම්ම නෙව ගෙට්ටුවක් දෙසැම්බරයේ!
කල් ඇතිවම මම දොර ජනෙල් වැසිය හැකි තැනක් රෙස්ටුරන්ට් එකේ බුක් කලා කලින්ම
නැතිනම් ඒ සද්දෙට අනෙක් මිනිස්සු නැගිට යනව සිකුරුයි
මතක් කර කර සතුටු විය හැකියි තමා අප්ප
අනේ කියල වැඩක් නෑ නේද... හැමෝම එකිනෙකා පරයා කතා කරනවනෙ... මොනතරම් නම් තොරතුරු තියෙනවද හුවමාරු කරගන්න... දශක කිහිපයක ඒවානෙ අප්පා..
Deleteඑදා 31 වෙනිදා රෑ අපේ සද්දෙට අපිත් හිතුවෙ අහල පහල අය පැමිණිලි කරල පොලෝසියෙනුත් එයි කියල.... ගෑණු ටික කෑ ගහනව සද්දෙ අඩු කරපියෝ කිය කිය... මොන... ඕන නම් ඒ කියපු වෙලාවට විනාඩියක් ඉන්න ඇති....
මියුරු අක්කා කාලෙකට පස්සෙ.. :)
ReplyDeleteපරණ යාළුවො හම්බවුණාම බ්‍රේක් හොයාගන්න වෙන්නෙ නෑනෙ.. :D කොයිතරම් සතුටුද.. තවමත් ඒ මතක ආයෙත් බෙදාගන්නවට එකතුවෙලා..
ආයෙ ලියමු ඉතින් නේද දිගටම..
අයියෝ කියල වැඩක් නෑ... එකෙක්ගෙවත් කටවල්වලට බ්‍රේක් නෑ...
Deleteදිගටම ලියන්න තමා බලාපොරොත්තුව නන්දු.... :D
අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තු එක හොඳයි. මේ පැත්ත පාලුවට ගිහින් තිබුනේ. :)
ReplyDelete//වාර්ෂික නිවාඩුවට ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත තුනක සංචාරයකට යන්න පෙරුම් පිරුවෙ කාලෙක පටන්.//
ඉතින් ප්‍රාන්ත තුනකම ඇවිද්දද? වික්ටෝරියාවටත් ආවද? :D
//මිනිහට ඉස්කෝලෙ යන කාලෙ ලස්සන කොණ්ඩයක් තිබ්බා... හරියට ඉතින් ඊට පස්සෙ කතාවෙ කැළුම්ගෙ වගේ.... ඒ කොණ්ඩෙන් ගහක්වත් ඉතුරුවෙලා නෑ.... ඒ මදිවට ඉස්කෝලෙ යන කාලෙ උපරිමයට ක්‍රීඩා කරපු ටීව තමයි ලොකුම බඩාට තේරුනෙත්.... //
මේවා අහන කොට නම් බයත් හිතෙනවා. හී හී...බැඳගන්න උදවිය අවුරුදු ගානකින් කොහොම වෙයිද කියලා.
හොඳ යාලුවෝ කියන්නේ තමන්ගේම පවුලේ කොටසක් වගේ. සමහර විට නෑයින්ටත් වඩා වටිනවා.
වික්ටෝරියාවල සති දෙකක් හිටියා පොඩ්ඩි... මේ කියපු දේවල් සිද්ද උනේ එහේදි තමා....
Deleteහයියෝ.... වයසට යනකොට යන කල ගැන නම් කියල වැඩක් නෑ... සමහරුන්ගෙ කොණ්ඩ විතරක් නෙවේ, ඊට වඩා දශකයකට වැඩි කාලයකට පස්සෙ ආපු රැවුලුත් සම්පූර්ණයෙන්ම සුදු වෙලා... ඒ උනාට දරුවො පුංචි පැටවු.... ආයෙ කියන්න බෑ පොඩ්ඩි... නිතර ජිම් එකට යන්න පුරුදු කරන්න අනේ... එතකොට නම් ටිකක් බේරිලා ඉන්න පුළුවන් වෙයි... හික්ස්...
හොඳ යාළුවොන්ගෙ වටිනාකම ගැන නම් කියලම වැඩක් නෑ තමයි පොඩ්ඩි... විඳලම බලන්න වටිනවා...
අැත්ත කතාව තමයි හොඳ යාලුවො ටිකක් හම්බවෙනව කියන්නෙ ලැබෙන්න තියන හැමදේව ලැබෙනව වගේ දායක්!
ReplyDeleteඒක නම් ඇත්ත අලියෝ... අලියත් මොකද දැන් අලි සීන් ලිවිල්ල නවත්තලා...?
Deleteහරිම සුන්දර අතීතෙක මිහිරියාව. මේ අත් දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට සතුටුයි. හැබැයි ඔන්න ආයි පාළුවට අරිනව එහෙම නෙවෙයි.
ReplyDeleteකියල වැඩක් නෑ චන්දි.... හරිම සුන්දර දවස් කිහිපයක් ගත උනේ...
Deleteආයෙ පාළුවට අරින්නෙ නැතිව ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ නම්.... බලමුකෝ...
හොද ලිපියක් මියුරු.අදමයි මේ පැත්තට ආවේ
ReplyDeleteස්තුතියි යසිරු...
Deleteනියමයි.... ඉස්කෝලේ කාලේ යාළුවො ආයෙත් හම්බ වෙනවා කියන්නේ ඉතිං ආයි කියන්න වචන නෑ.....
ReplyDeleteකියල වැඩක් නෑ සමනළී.. ස්තුතියි ඔයාටත්... :D
Deleteයාළුවෝ හම්බවෙනවා කියන්නේ ඉතින් ආයේ කතා කරලා පිස්සු කෙලින්න ගියාම ඇඩ්‍රස් නැතිවෙන තැනක නේ. ඊටත් පරණ යාළුවෝ කිව්වම අවරුදු ගානකින් දෙන්න කොච්චර අප්ඩේට්ස්ම තියනවද?
ReplyDeleteආයෙ මොනවද ක්සැන්ඩර්... මෙහේ මිනිස්සු පොඩ්ඩ එහා මෙහා වෙනකොට පොලිසියට කෝල් කරනවනෙ... එදා 31 වෙනිද රෑ තිබ්බ සද්දෙට 31 වෙනිදම නොවුන නම් අනිවාර්යයෙන්ම ගෙදරට පොලෝසියෙනුත් එනව.... අහළ පහළ කට්ටිය මල් වෙඩි සංදර්ශනය බලන්න ගිහින් ඉඳලද කොහෙද...
Deleteකෙල්ලොන්ට වඩා කොල්ලොන්ගේ මිත්‍රකම් අව්‍යාජයි. ප්‍රශ්නයක් තිබ්බත් ගහගෙන මරාගෙන ඉවරයක් කරගන්නවා ඇරෙන්න. යාලුවෝ එකතුවෙලා සිංදුවක් කියලා පරන මතක අවදි ක්අරලා හිනාවෙන කොට අපේ හිත්වල තියෙන බර ප්‍රශ්ණ කොහේ යනවද නෑ. පුදුමාකාර මානසික සුවයක් දැනෙන වේලාවක් ඒක. මිස්වෙලා තිබුන පෝස්ට් එකක් අද කියෙව්වෙ. :)
ReplyDeleteසමාවෙන්න සාබිත් ඔයාගෙ කමෙන්ට් එකට උත්තරයක් දාන්න පරක්කු උනාට.... ඔයා කියන එක ඇත්ත... ඒක මට මගේම අත්දැකීම් වලින් කියන්න පුළුවන්....
Delete