Total Pageviews

Wednesday 13 March 2013

පන්තිය සෝදපු හැටි....!!

මම නවයෙ පන්තියේ හිටපු කාලෙ ඉස්කෝලෙ ගියේ අනිත් ළමයි වගේ සාමාන්‍ය ක්‍රමයට, උදේ වරුවෙ.... ඒ අවුරුද්ද තමයි අර මං කලින් කතා දෙකක සඳහන් කරපු සමන් ඉස්කෝලෙ ආව අන්තිම අවුරුද්ද... අපේ පන්තිය භාරව හිටියෙ අපට ඉංග්‍රීසි උගන්වපු මැටිල්ඩා මිස්... අඩි පහක්වත් උස නැති අවුරුදු පණහක් විතර වෙච්චි මේ මිස්ට ළමයි කිව්වෙ 'මැටී' කියල... ඒ මිස් හරිම හොඳ අහිංසක කෙනෙක් උනාට, මිස්ට ඒ නම වැටුනෙ ඉංග්‍රීසි පීරියඩ් එකත් එක්ක ළමයින්ට තිබ්බ තරහටමයි.... පව් අපේ මිස්...!

දවසක් උදේ අපි ඉස්කෝලෙ යනකොට පන්තිය ඇතුලෙ බිත්තිය දිගට තිබ්බ කළු ලෑල්ල යට  ගන්න දෙයක් නෑ... කළුම කළු පාට කුඩු තට්ටුවක් පැත්ත පළාතෙම විසිරිලා.... බැලින්නම් කලින් දවසෙ හවස නතරවෙලා බැටරි කුඩු වලින් කළුලෑල්ල කළු කරපු හාල්පාරුවො ටික ඒ වැඩේ කරල ගියා මිසක් බිම සුද්ද බුද්ද කරල ගිහින් නෑ... ටිකක් හොඳට වටපිට බලනකොට එහේ මෙහේ මුළුවල බැටරි බාගත් තියෙනව පෙනුනා... ටික වෙලාවක් යනකොට පන්තියට එන ළමයි බැටරි කුඩු පාගන් ගිහින් පන්තියේ බිම හැමතැනම කළු පාටයි.... සුදු සපත්තුවක් හෙම කාට හරි පෑගුනොත් දෙයියන්ගෙම පිහිටයි... මං කලින් කිව්වනෙ ඔව්ව සුදු කරගන්න නැහුනු නැහිල්ල...

එදා දවසෙ පන්තිය අතු ගාන්න තිබ්බ උන් ඇවිත් පන්තිය අතු ගෑවත් අර කුඩු නෙවේ ගියේ... ඔන්න එතකොට අපේ පන්තියේ කොල්ලෙකුට ගණ දෙවි නුවණක් පහළ උනා.... මැටිල්ඩා මිස් ඉගැන්නුවේ ඉංග්‍රීසි නිසා හැමදාම අපේ පන්තියේ පළවෙනි පීරියඩ් එක ඉංග්‍රීසි.... අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්... පළවෙනි පීරියඩ් එක කට් එක ගහන්න බැරි, නම් ලැයිස්තුව ලකුණු කරන නිසා... ඒ නිසා කොච්චර එපා උනත් පන්තියේ ලැගගෙනම ඉන්න වෙනව.... ඔන්න ඉතින් අර මොළකාරයා ගෙනාපු යෝජනාව තමයි අර ඉතුරු බැටරි කෑලි  ටිකත් කුඩු කරල පන්තිය ඉස්සරහ විනාස කරල දාන එක... එතකොට මිස්ට තියා මොකාටවත් ඇවිත් උගන්වන්න බෑනෙ අර අවීචියෙ... ඒකට එක පයින්ම එකඟ වෙච්චි ඒ වෙනකොට පන්තියේ හිටපු කොල්ලො ටික මොකද කළේ,  අර අහුමුළුවල තිබ්බ බැටරි කෑලි ටිකත් අහුලල උඩ පැන පැන, පොළවෙ ගහල  කුඩුපට්ටම් කරල දැම්ම එක ... 


අන්තිමට මිස් පන්තියට එනකොට ඒක එකම අපායක්... කොටින්ම මිස් පන්තියට ආවෙත් වතුර පාරක බැහැල යනව වගේ සාරියත් ටිකක් උස්සගෙන....
'අයියෝ, මේ මොකක්ද කරල තියෙන්නෙ...?' මිස්ට ඉබේම කියැවුනා...
අන්තිමට සියල්ල පැහැදිලි කරල දීපු ගෝලයො ටිකගෙ  එකම විසඳුම උනේ පළවෙනි පීරියඩ් එකේදි පන්තියේ පුටු මේස පැත්තකට කරල පන්තිය සෝදලා දාමු කියන එක...අනේ අපේ අහිංසක මිසුත් ඒකට රැවටිලා කිව්වා කාට හරි ගිහින් පනිට්ටුවක් අරන් එන්න කියල... අපේ රශ්මි ඉන්නව නේද (මගේ බ්ලොගේ නිතර කියවන අයට නම් මෙයා අමුත්තෙක් නෙවේ... ඒ කාලෙ මගේ හොඳම යාළුවා)... ඔය වගේ නොම්මර එකේ කුණු ගොඩවල් වලට කරගහන්න හොයාගෙන යන්නෙ... නැත්නම් පන්තියේ අච්චර කොල්ලො ඉන්දැද්දි මේ කොහේවත් නැති පනිට්ටුවක් හොයන්න මුන්ද බාර ගන්න ඕනයැ... අනිත් එක දැන් මේ ගේන්න යන පනිට්ටුව තියෙන්නෙ ගුරු මණ්ඩලයෙ වැසිකිළියෙ... ඈයියා..!! කියනකොටම මට හිතුනෙ එහෙම... ඒත් කොහෙද ගැලවීමක්... 

'මට නම් ඕකට  හවුල් වෙන්න එන්න බෑ..' මම කිව්ව... 
'මොනාද බං... ගුරාල රෙxx පනිට්ටුවටයැ...' 
'එහෙනං ඉතින් උඹම ඕක කරගහගෙන වරෙන්... මට නම් කියන්නෙපා ඕක අල්ලන්න...'
'හරි හරී ඉතින්... මං කිව්වයැ උඹට ඒක අල්ලන්න... මං ඒක කරගන්නම්කො... උඹට තියෙන්නෙ මාත් එක්ක එන්න විතරයි...'
අනේ ඉතින් එහෙම කිව්වට පස්සෙ මාත් ගියා උන්දගෙ පස්සෙන් මරන්න ගෙනියන හරක වගේ... 

ඒ කාලෙ අපේ ඔය නවයෙ පන්ති ටික තිබ්බෙ, ඉස්කෝලෙ 'කොරියාව' කියල හඳුන්වපු පැත්තෙ... මොකක් නිසා ඒ නම වැටුනද කියල නම් ඇත්තටම දන්නෙ නෑ... (මට බින්දිව මතක් උනා.. :D) කොරියාවෙ තිබ්බෙ දෙමහල් ගොඩනැගිලි තුනකුයි, කැන්ටින් එකයි, ළමයි පී ටී කරපු පිට්ටනි කෑල්ලයි... ඊට පිටිපස්සෙන් රේල් පාරෙන් මායිම් වෙච්චි පිරිමි වැසිකිළිය සහ කොල්ලො වැසිකිළිය විදියට පාවිච්චි කරපු මහා හබරල ගාල....ඒ වෙනකොට, අර මං 'පොඩ්ඩක් හිටහංකො බං' කතාවෙ කියපු අක්කා නෑව ළිඳ වහලා, ඊට ටිකක් පිටිපස්සට වෙන්න අළුත්ම දෙමහල් විද්‍යාගාරය හැදිලා... ඒ ගොඩනැගිල්ල තිබ්බෙ මේ කියන කොරියාවට වඩා අඩි පහක විතර උසින්... කැන්ටිම ඉස්සරහින් තිබ්බ පඩි පේළිය නැගලා යන්න ඕන එතැනට... එතැනිනුත් පොඩි පඩි පේලියක් නැග්ගම තමයි අර මං ඒ කතාවෙම කිව්ව පන්තිය තිබ්බ ගොඩනැගිල්ලට යන්න පුළුවන් වෙන්නෙ... ඔතැනට ගොඩ උනු ගමන් ඉස්සෙල්ලම මුලිච්චි වෙන්නෙ ස්ටාෆ් රූම් එක... ඒක පහු කරලා පන්ති හතරක් විතර ඉස්සරහට ගියාට පස්සෙ, ඔය කියපු ගොඩනැගිල්ලයි, ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය ඇතුළු අනිත් ඔෆිස් කාමර තියෙන ගොඩනැගිල්ල මේ කියපු ගොඩනැගිල්ලට යා වෙන තැන, උඩ තට්ටුවේ පොඩි පාලම් කෑල්ලක් වගේ හදල තිබ්බට පහළ තට්ටුවේ තිබ්බෙ යූ අකුරක හැඩැති ඉඩකඩක්... එතැන වම් අත පැත්තෙ තමයි ඔය කිව්ව ගුරු මණ්ඩලයෙ වැසිකිළිය තිබ්බෙ... 

යූ අකුරෙ යට කොටසෙ තිබ්බෙ අපේ ඉස්කෝලෙ නිල නොලත් අයිතිකාරය වෙච්චි මාටිං ටිං ටිං අයියගෙ දේවාලෙ නොහොත් වාසභවන...අයිය කිව්වට අවුරුදු පණහක් විතර වයස  ඇති...  උන්ද ඉස්කෝලෙ මුර වැඩේ, පියන් වැඩේ වගේම බෙල් එක ගහන වැඩෙත් කළා... ළමයි කිව්වෙ මිනිහා බෙල් එක ගැහුවෙ මාටිං ටිං ටිං කියලැයි කියල.... ඒක හින්දා තමයි අර නම... එයා ඔය පෝස්ටුව බොහොම ඔළුවට අරගෙන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හොර අල්ලන්න ගිහින්, කොල්ලන්ට කියල සම්බෝල හදවගන්නෙ නැතිව යාන්තමින් බේරුනා එක සැරයක්.... ඊට පස්සෙ මිනිහ එයා විසින්ම එයාගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ රාජකාරිය අයින් කර ගත්ත.... මාටියා පන්තියකට එනකොට ළමයි සහලෝල ඉන්නෙ... මොකද පොර එන්නෙ ප්‍රින්සිපල් උන්නාන්සෙගෙ නියෝග අරගෙන, උන්නැහේගෙන් කැඳවීමක් ලැබෙන ළමයෙක්/ළමයි එක්කරගෙන යන්න... ඒ ඉතින් හොඳකට නම් නෙවෙයි... හැබැයි පොර පපුව ඉස්සරහට දාගෙන ඔය මැසේජ්ජුව අරන් එන්නෙ හෙන සතුටින්... ඒක දැක්කම දෙන්න හිතෙනව මැරෙන්න... 

කතාව වෙන පැත්තකට ඇදුන... නැවතත් කතාවට... ඉතින් මේ කාලෙ අපට හිටිය ප්‍රින්සිපල්තුමා හරිම වසයි... ඒ උනාට එතුමාගෙ කාලෙ අපේ ඉස්කෝලෙ එක්තරා සවර්ණමය යුගයක් කියල කියන්න පුළුවන්... හැම අංශයකම වගේ ළමයි ඒ ලෙවල් පාස් උනේ ඉතාමත්ම ඉහළින්... සමහර අවුරුදුවල ලංකාවෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි හිටියෙ අපේ ඉස්කෝලෙ... ක්‍රීඩා පැත්තෙනුත් එහෙමයි... නාට්‍ය තරග වලින් දිනලා ළමයි ජපානය වගේ රටවල සංචාර වලට පවා ගියා... ඒ වගේම තමයි එතුමා ළමයින්ගෙ විනය සම්බන්ධයෙනුත් ඉතාම තදයි.... නිතරම වගේ ඉස්කෝලෙ වටේ යනවා.... පන්තියේ වැඩ කරන වෙලාවලදි එක ළමයෙකුටවත් හදිසි අවශ්‍යතාවයකට හැර එහෙ මෙහෙ යන්න බෑ... පුස්තකාලෙට පවා ගිහින් බලනවා පන්ති කට් කරන එව්වො ඉන්නවද කියල.... ඒ වගේම තමයි ගුරුවරුන්ටත්... එයාලත් එතුමාට හරි බයයි... ඉතින් මේ කක්කුස්සි බාල්දියක් ගේන්න එළියට බැස්සෙ ඕං ඔහොම කාලෙක...

මං කිව්වනෙ ඔතැන පන්ති හතරක් තියෙනවය කියල... ඔය ගුරු වැසිකිළිය පැත්තට වෙන්න තියෙන පන්ති කාමරය නිතරම හිස්ව තියෙන්නෙ හදිසි අවශ්‍යතාවයකට පොරෝජන ගන්න...ඔන්න ඉතින් අපි අදාල ස්ථානයට යනකොට අර කාමරයෙ උදේම පන්තියක් දාල... අපි කොහේටද යන්නෙ කියල ඒකෙ උන්ට පේන හින්ද මං එතැනම තිබ්බ කණුවට මුවා වෙලා ඉද්දි රශ්මි ගියා වැසිකිළිය ඇතුලට... මාත් එතැන ඉඳන් වටපිට බල බල ඉන්නකොට මට පේනව අපේ අම්මගෙ යාළුවෙක් වෙච්චි සර් කෙනෙක් එනව බාස්කට් බෝල් කෝට් එක මැදින්  ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය පැත්තට...එයාට ළමයි කිව්වෙ 'බොගා' කියල... බොග සම්බන්ධ කාරණාවක් නිසා නෙවෙයි... එයා කතා කරනකොට මහා සද්දෙන් බොග් බොග් ගාන නිසා... ඈත තියාම මාව දැක්ක සර් එකතැනම බ්‍රේක්  ගහල නැවතිලා අහනව 'මොකද ඔය ටොයිලට් එක ගාව කරන්නෙ... ටොයිලට් එක හෝදනවද... ?'  ෂික් විතරක්.. මට හීං දාඩිය දැම්ම... ඕනනැති මගුලක් නෑනෙ මේ මනුස්සයට... ඒ මදිවට ඒක අහපු කැත... උන්දට ඒක අහන්න තිබ්බෙ නැද්ද අර ටොයිලට් කතාව හලල... ලැජ්ජාවෙ බෑ...  මං හීන් සීරුවේ බෙල්ල දික් කරල අර පන්තිය දිහා බැලුව... දොර පැත්තෙ ඉස්සරහම පේලිවල හිටපු කොල්ලො ටිකගෙ ඇස් කුට්ටම් ටික මගේ පැත්තට හැරිලා... උන් ටික අඳුනගත්තු මට ඒ කොන්ක්‍රීට් පොළොව හාරගෙන හාරගෙන ගිහින් ඒක යට හැංගෙන්න හිතුන...මගේම කරුමෙ කියන්නෙ  ඒ සමන්ලගෙ පන්තිය...! මොන මගුලකට එදා උදේ පාන්දරින්ම උන් ටික එතැනට දාල තිබ්බද මන්දා.. නිකං ඉන්න බැරුව ඒක දිහා බලන්න ගිහින් ටින් කිරි ගාගත්ත කියල මට හිතුනෙ දැන් මේ කණුවට මුවාවෙලා ඉන්නෙ මං කියල උන් හොඳටම දැක්ක නිසා... ඒ වෙනකොටත් කන්න වගේ මගෙන් උත්තරයක් බලාගෙන හිටපු සර්ට මං පුළුවන් තරම් හෙමිහිට කිව්ව 'මේ  පනිට්ටුවක් ගෙනියන්න ආව..' කියල.... 'ඒක මිසක්... මං මේ බැලුව..' කියාගෙන උන්ද යන්න ගියා...


සර් ගියාට පස්සෙ මං කණුවට හේත්තු වෙලා මගේ කොණ්ඩෙ ඉස්සරහින් අල්ලලා හයියෙන් පහළට ඇද්දෙ මොන කරුමෙකට මේ ගමන ආවද කියල හිතන ගමන්... කෝ මේ ඇතුලට ගිය එකී... තාමත් නෑ...
'ඒයි රශ්මී...' මං පුළුවන් තරම් හඬ බාල කරල කතා කළා...
'මේ එනව... මේ එනව...' කක්කුස්සිය ඇතුලෙන් ඇහුන...
'මේ ළමය මොකද මෙතැන කරන්නෙ...?' එකපාරටම කණ ළඟ මහා සද්දෙන් ඇහෙනකොට මං උඩ ගිහින් බිම වැටුන.... හැරිල බලනකොට ප්‍රින්සිපල්තුමා... හනේ මොන කරුමෙකට මං මෙතැන හිටියද කක්කුස්සි බාල්දිය ගන්න ඒක අස්සට රිංගන්නෙ නැතුව කියල මට පළවෙනි වතාවට හිතුන...

'පනිට්ටුවක් ගෙනියන්න ආව...' කියල වැසිකිළිය දිහාවට අත දික්කරල ඒ පැත්ත බලන ගමන් කියනකොට මට පෙනුන ඒක ඇතුලෙ ඉඳන් පනිට්ටුවත් අරන් එළියට එන්න ආව රශ්මි, ඒකත් අරගෙනම ස්ලෝ මෝෂන් එකේ රිවර්ස් එකට ආපහු ඇතුලට යනව... මට ඒකිව කන්න කේන්තියි...
'පනිට්ටුවක් මොකටද...?'
'ඊයෙ කළු ලෑල්ල කළු කරපු ළමයි පන්තිය සුද්ද කරල නැතිව බැටරි කුඩු හැමතැනම ගෑවිලා... ඉතින් මිස් කිව්ව පන්තිය සෝදල දාන්න වතුර ගන්න පනිට්ටුවක් ගේන්න කියල...' මං තතන තතනා කිව්ව....

'කවුද මිස්...?'
'මැටි... මැටිල්ඩා මිස්..' තව පොඩ්ඩෙන් මළා...
'මොන පනිට්ටුද මේ වෙලාවෙ... ඉස්කෝලෙ පටන් ගත්ත විතරයි... දුවනව යන්න පන්තියට...'
'හා' කියන ගමන් මං ආපහු හැරිලා යාන්තම් බැලුව අර පන්තිය දිහා... උන්ගෙ ඇස් ස්ප්‍රිං හයි කරපු ගානට දොට්ට පැනලා... කටවල් කිරි හට්ටි වගේ... උං මට හිනා වෙනව... අනෙ අම්මේ... ඊට වඩා හොඳයි මැරුණ නං... ෂික්...
මොහොතකින් වැසිකිළිය ඉඳල එළියට පැන්න රශ්මි මාවත් ඇදගෙන දුවල ඇවිත් නතර උනේ පන්තියේ... ප්‍රින්සිපල්තුමා බලන්නැති ඒ මොකාද කියල... උන්නැහේ හිතුවෙ මං විතරයි ඉන්නෙ කියල...






Wednesday 6 March 2013

රජ්ජුරුවන්ගේ උයන...


බටහිර ඕස්ට්‍රේලියාවෙ, පර්ත් නගරයේ තියෙන මේ රජ්ජුරුවන්ගේ උයන, එහෙම නැත්නම් Kings Park කියන ස්ථානය පර්ත් නගරයේ තියෙන සුන්දරත්වයෙන් අනූන ස්ථානයක්....ඒ නිසා මෙහේ ජීවත්වෙන හුඟක් අය හැන්දෑව ගත කරන්නට තෝරා ගන්නා තැනක් මේක... මේ ස්ථානය හුඟාක්ම ලස්සන තැනක් නිසා බොහෝ දෙනෙක් තමන්ගෙ විවාහ උත්සව සඳහාත් මෙතැන තෝරා ගන්නවා....

එහි සුන්දරත්වය තවත් වැඩි කරන්නෙ ස්වෝන් ගඟ... නගරය අසබඩින් ගලා යන මෙය ගඟක් වශයෙන් නම් කරලා තිබුණත් ඒක ඇත්ත වශයෙන්ම කලපුවක්... 1829 දි මේ ගඟ ආශ්‍රිතව ජනාවාසයක් ඇතිවෙද්දි තමයි මහජන අවශ්‍යතා සඳහා යැයි පවසමින් මේ උයනට අදාල භූමිය එවකට පැවති රජය විසින් වෙන් කරලා තියෙන්නෙ... මේ උයනෙහිම කොටසක් උද්භිද උද්‍යානයක් වශයෙනුත් සැලකෙනවා....මේ ස්ථානයට අයත් භූමිය වරින් වර කරන ලද එකතු කිරීම් වලින් පසුව අද වෙනකොට හෙක්ටයාර් 400.6 ක් පමණ වන බවයි පැවසෙන්නේ...ඒ උනාට මේකෙන් තුනෙන් දෙකක් විතරම බුෂ් ලෑන්ඩ් එකක් විදියටයි සැලකෙන්නෙ... මෙහි, ප්‍රදේශයට ආවේනික ගස් වැල් වර්ග 319 පමණකුත්, ආවේනික කුරුළු වර්ග 80 පමණ ප්‍රමාණයකුත් ඇති බැව් කියනවා...


මේ පින්තූරෙන් පේන්නෙ රජ්ජුරුවන්ගෙ උයනෙ ඉඳලා බැලුවම පර්ත් නගරයේ කොටසක් දිස්වෙන ආකාරයයි... ස්වෝන් ගඟද මෙහි දැකිය හැකියි... ඔය රතු පාට වහලක් පේන්නෙ Perth Brewery එකේ...
 
ලෝඩ් ජෝන් ෆොරෙස්ට් බටහිර ඕස්ට්‍රේලියාවෙ පාලකයා බවට පත් උනාට පසුව, 1892 දී තමයි මෙම ස්ථානයේ පාරවල් හදලා ගේට්ටු දාලා ක්‍රමවත් විදියට උද්‍යානයක් වශයෙන් සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නෙ... ඒ නිසා එතුමාව සිහි කිරීමට මේක ඇතුලෙ දිවෙන එක පාරක් ෆොරෙස්ට් ඩ්‍රයිව් කියලා නම් කිරීමත්, එතුමාගේ ප්‍රතිමාවක් ඉදිකිරීමත් සිදුවී තිබෙනවා...එසේ උනත් ලෝඩ් ෆොරෙස්ට් මේ උද්‍යානය නම් කරල තියෙන්නෙ 'පර්ත් පාක්' කියලයි.... පසුව 1901 දී 7 වන එඩ්වඩ් බ්‍රිතාන්‍යයේ රජකමට පත්වීම සැමරීම වෙනුවෙන් මෙහි නම 'Kings Park' යනුවෙන් වෙනස් කර තිබෙනවා....


මෙම උයනට ඇතුළු වන්නට තියෙන ෆ්‍රේසර් ඇවන්‍යු එක දෙපස වවා තියෙන විශාල ගම් ගස් පේලි දෙක මෙම ස්ථානයට ගෙනදෙන්නෙ අමුතුම චමත්කාරයක්.... රාත්‍රියට විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි ආලෝකයන් එල්ල කර ඇති මේ ගස් පෙල අමුතුම සිරියක් ගන්නවා...මුලින්ම මේ ගස් පෙල සිටුවා තිබෙන්නේ 1898 වසරේදී වික්ටෝරියා රැජිනගේ ජුබිලි උත්සවය සැමරීමටයි... පසු කාලයකදී ඒකට තවත් ගස් එකතු කර එම ගස් පාමුල එය සිටවූ වසර සහ හේතුව සඳහන් කරමින් පුවරු සිටුවා තිබෙනවා... මේ පුවරු අදත් එහි දැකිය හැකියි...
 


ඒ වගේම තවත් ඇතුලට වෙන්නට ඇති උද්භිද උද්‍යානය තුල ඇති පාරවල් දෙපස තිබෙන්නේ පළමුවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් මියගිය රණ විරුවන් සැමරීමට ඔවුන්ගේ ඥාතීන් විසින් බොහෝ කලකට ඉහත සිටුවන ලද ගස්... අද වෙනකොට ඒවා ඉතාමත් විශාලව වැඩී පාරවල්වලට සෙවන දෙනවා... ඒවා සිටුවා බොහෝ කාලයක් ගත වුවත් ඒ හැම ගහක් යටම අදාල රණ විරුවාගේ නමත්, උපන් දිනය සහ මිය ගිය දිනයත්, මිය ගියේ කුමන සටනකින්ද යන වගත් ගස සිටුවන ලද්දේ කවුරුන් විසින් කවදාද යන වගත් සඳහන් පුවරු දැක ගත හැකියි...



මෙහි ඇති තවත් වැදගත් ස්ථානයක් වෙන්නේ, බටහිර ඕස්ට්‍රේලියාවෙ ප්‍රධාන රණවිරු ස්මාර්කය මෙහි පිහිටා තිබීම... මෙය හඳුන්වන්නේ ANZAC War Memorial කියලා.... ANZAC කියල හඳුන්වන්නේ Australian and New Zealand Army Corps කියන එකයි... 1916 අප්‍රේල් මාසෙ 25 වැනිදා ඉඳලා සෑම වසරකම අප්‍රේල් 25 ANZAC Day වශයෙන් නම් කරලා, පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් සැමරීම එදින හිරු නැගී එන වෙලාවට සිදු කරනවා...මේ පිළිබඳව වැඩි විස්තර දැන ගන්නට කැමති අයට මේ ලින්ක් එකට ගිහින් ඒ පිළිබඳව දැන ගන්නට පුළුවන් වේවි...

http://anzaac.com/index.php?option=com_content&view=article&id=47&Itemid=68




මෙතැන තියෙන්නෙ රජ්ජුරුවන්ගෙ උයනෙ ඉඳලා බැලුවම පර්ත් නගරයට විරුද්ධ පැත්ත පෙනෙන ආකාරයයි....


මේ එතැන ඉඳලා බලනකොට පර්ත් නගරය රෑට පේන හැටි... ඇත්තටම පුදුම ලස්සනක්... ගියාම ගොඩක් රෑ වෙනකම් එන්න හිතෙන්නෙ නෑ....
 
ඒ වගේම මෙහි විවිධ ආකාරයේ ළමා උයන් කිහිපයක්ම දැකිය හැකියි... ඒවා එකිනෙකට බොහෝ ඈතින් පිහිටා තියෙන්නෙ වැඩිහිටියන්ටත් විනෝද විය හැකි ආකාරයටයි... ඒ කියන්නෙ පොඩි කැෆේ එකක්, බාබෙක්‍යු උදුන් සහිත පික්නික් ඒරියා එකක් සහිතයි.... මේ එයින් එකක්....

 
 
 
මේ අර අපි පොඩි කාලෙ මඩ වගුරුවල බැහැගෙන කරපු ඒවා කරන්න හදාපු තවත් පාක් එකක්....
 



මේ ස්ථානයේ රෑට චිත්‍රපටි පෙන්වීමත් කරනවා... ඒකට කියන්නෙ Moonlight Cinema කියලා... මේ තියෙන්නෙ කට්ටිය ඒ වගේ ච්ත්‍රපටියක් නරඹන අවස්ථාවක්... ඒ වගේම සමහර කාලෙට සංගීත සංදර්ශන පවා පැවැත්වෙනවා.... එතකොට නම් වටේටම වහලා ස්ටේජ් ගහගෙන තමයි කෙරෙන්නෙ....

 
 
මේ තියෙන්නෙ මෙතැන තවත් වැදගත් අංගයක් වෙච්චි Tree Top Walk එක.... මේකෙ හැටි නමින්ම හිතාගන්න පුළුවන්නෙ... අවට තියෙන මහා පත ගස්වල මුදුන් අතරින් යන විදියට තමයි මේක හදල තියෙන්නෙ... මේකෙ යනකොට වටපිටාව හරිම ලස්සනට පේනවා...
 
 



මේ තියෙන්නෙ 1966 දි ඉදි කළ බව කියන DNA Tower එක... එහෙම කියන්නෙ ඇයි කියල දැක්කම හිතාගන්න පුළුවනිනෙ... මේක පඩි 101 කින් සමන්විතයි... උඩටම නගින්න පුළුවන්.... මේක හදපු එකේ අරමුණ වෙලා තියෙන්නෙ අවට සුන්දරත්වය උස් ස්ථානයක සිට නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදීමයි....





ගොඩක් පිතූර දැම්ම නිසා කට්ටියට පෝස්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් නිසා, තව කියන්න බොහොමයක් දේවල් තිබුණත් මේ විස්තර ටික මෙතැනින් නවත්වන්නම්... පින්තූර ටිකෙනුයි, පොඩි පොඩි විස්තර වලිනුයි කියවන අයට 'රජ්ජුරුවන්ගේ උයන' ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නැති කියල හිතනවා... :D