ඒ කොල්ලට ලොරියා කියන නම කොහොම වැටුනද කියන්න මං අදටත් දන්නෙ නෑ... හැබැයි මිනිහා අපේ ගමේ මහා විද්‍යාලයේ දිවීමේ ශූරයෙක් කියන එක නම් දැනගෙන හිටියා... කඩවසම් මූණකුත් ෆිට් ඇඟකුත් තිබුනා උනාට මිනිහා කොටා... අඬු දිග කොල්ලො පරද්දගෙන කොට අඬු තිය තියා මේ කොටා වේගෙන් දුවනවා ඒ දවස්වල එක සැරයක් මං දැකලා තිබුණා... මිනිහට ඉගෙන ගන්න නම් බෑ... පොර හෙන කුකුළා... කෙල්ලොත් මිනිහට වැහි වැහැලා... පොරට කවුරු උනත් කමක් නෑ එවෙලෙ දැක්කද, ඒ ඇති...
ඒ දවස්වල මිනිහා අපි ඉස්කෝලෙ යන බස් එකට රියැදුරු ඉන්න පැත්තෙන් නැගලා, අර උස හරියට වෙලා බස් එකේ පිටිපස්සට යනකම් ඉන්න කෙල්ලන්ගෙ මූණු බල බල ඉන්නවා යාන්තම් හිනා වේගෙන... රශ්මියි (මගේ පුංචි කාලෙ යාළුවා ) මායි උස හින්දා අපි දෙන්නට හොඳටම මිනිහව පේනව වගේම එයාටත් අපිව හොඳ හැටි පේනවා... අපිත් ඉතින් මිනිහව කුලප්පු කරන්න ඒවා මේවා කිය කිය ඒ පැත්ත බල බලා හිනා වෙනවා... දත් පෙන්නන්නෙ නැතුව හිනාවේගෙන ඉන්න ලොරියට අන්තිමේදි හයියෙන් හිනා යනවා... අපි ඒක බලන්නයි හැමදාම එහෙම කළේ...
එක දවසක් හවසක මමයි අම්මයි කොහෙදෝ ගමනක් යනවා... බස් එකට නැග්ගම වාඩි වෙන්න ඉඩ තිබුනෙ පස්සෙම සීට් එකේ විතරයි... මං ෆුට්බෝඩ් එකට පිටිපස්සෙන් තියෙන පුංචි ගුහාව ඇතුලෙත්, අම්මා මට අනිත් පැත්තෙනුත් ඉඳගත්තා... බස් එකේ හිටගෙන යන්න තරම් සෙනගක් හිටියෙ නෑ... බස් එක පිටත්වෙන්න අද්දනකොටම කොහෙදෝ ඉඳලා කොල්ලො දෙන්නෙක් දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එකේ එල්ලුනා... මගේ මූණ ඉස්සරහම නිසා වීදුරුව අස්සෙන් මට පෙනුනා උන්ගෙන් එක්කෙනෙක් ලොරියා කියල... උන් දෙන්නා එතැනින් උඩට නගින්න කිසිම උනන්දුවක් උනේ නෑ... එතැන හරි බරි ගැහෙන ගමන් අහම්බෙන් හෝ හිතලම මිනිහා හැරුනා අනිත් පැත්තට... ඒ කියන්නෙ මං හිටිය පැත්තට... දැන් ෆුට් බෝඩ් එකේ යන යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සරහටත් අනෙකා පස්සටත් හැරිලා තමයි ඉන්නෙ... බස් එකේ අපැහැදිලි වීදුරුවෙන් එබිල බලපු ලොරියා දැක්කා මාව... මට දැන් හිනා යනවා හෝ ගාලා... මෙන්න මූ අර සුපුරුදු ළා හිනාවත් දාගෙනම ඉන්නව මගේ පැත්තට හැරිලා... ලොරියගෙ අස්වාභාවික හිටගැනීම මොකක්ද කියලා බලන්න පිටිපස්ස හැරිලා බලපු යාළුවා ඒකට හේතු වූ කාරණාව දැක්කම හිනාවක් දාලා අනිත් පැත්තට හැරුනා...
හයියෝ... කර කියාගන්න දෙයක් නැති වුනේ මටයි... මට ඉස්සරහ බලන්නත් බෑ, පැත්තක් බලන් ඉන්නත් බෑ... මට දැනුනෙ ලොරියගෙ මූණ තියෙන්නෙ මගේ මූණ අසලින්මයි කියලා... කොටා නිසා හරියටම මගේ මූණට සමාන්තරව වීදුරුව අනිත් පැත්තෙන් ඒකගෙ මූණත්තහඩුව... මං හිනාව බොහොම අමාරුවෙන් තද කරගෙන අම්මා දිහා බැලුවම සීන් එක මුල ඉඳන්ම බලන් හිටපු අම්මා, සාරි පොටින් කට වහගෙන හිනාවෙනවා... එතකොට ඉතින් මගේ කටිනුත් හිනාව එළියට පැන්නා... අපි හිනාවෙනවා දැක්ක අහල පහල අයත් මොකද කියල බලන්න අපේ පැත්ත හැරුනම, හිනාවට හේතුව දැකලා ඒ මිනිස්සුත් හිනා වෙන්න ගත්තා... ඒත් ලොරියා නෙවෙයි අර හිටපු විදියෙන් අඟලක්වත් හෙල්ලුනේ... පොරට හොඳටම තේරෙන්න ඇති අනිත් පැත්තෙන් හිටියෙ මගේ අම්මා කියලා... ඒත් ඒකට කිසිම ලැජ්ජාවක්වත් බයක්වත් මොකුත් නෑ, බස් එකෙන් බහිනකම්ම එහෙම තමයි ගියේ...
පස්සෙ කාලෙක මේ ලොරියව දකින්නම නැතුව ගිහින් කාලයත් එක්ක අපිටත් මිනිහා ගැන අමතක වෙලා ගියා... අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙනකොට ආරංචි උනා අපි දන්න අක්කා කෙනෙක් ලොරියත් එක්ක යාළු වෙලාය කියලා... එයා හොඳට සල්ලි තිබුණු පවුලක එක්කෙනෙක්... ඊට වැඩිය විස්තරයක් නම් දැනගන්න ලැබුනෙ නෑ....
දවසක් මමයි, රශ්මියි, රශ්මිගෙ මල්ලියි අපේ ඉස්කෝලෙ මොකක්දෝ වැඩකට ගිහින් ආපහු එනවා බස් එකේ... ඔය එන මාර්ගයේ අපට රේල් පාරක් පහු කරන්නත් තියෙනවා... එදා එතැනට ළඟා වෙනකොට අසාමාන්‍ය විදියට වාහන සංඛ්‍යාවකුයි, සෙනගකුයි හිටියා.... අපේ බස් එකත් අර වාහන පෝළිමේ නැට්ට අල්ලගෙන නැවැත්තුවාම, රියැදුරු තැන එතැන හිටිය කෙනෙකුට කතා කරලා ඇහුවා මොකද වෙලා තියෙන්නෙ කියලා... ඒ මනුස්සයා කිව්වා කවුද කෝච්චියට පැනලා කියලා... අපේ ගමේ නම කියලා එහේ එක්කෙනෙක්ලු කියා කවුදෝ කිව්වම අපි තුන්දෙනා කතා වෙලා ඉක්මනටම බස් එකෙන් බැහැ ගත්තා...
ඔය හරස් පාරෙ ඉඳලා වැඩි දුරක් නෑ ස්ටේෂමට... අපි තුන්දෙනා රේල් පාර දිගේ දිව්වා එතැනට... අපි යනකොට මිනිය බිම තියලා තියෙනවා සුදු රෙද්දකින් වහලා... අපි ඉස්කෝලෙ ඇඳුම් පිටින්ම එතැනට ගිහින් වටපිට බලනකොට එතැන හිටි කෙනෙක් ඇහුවා මෙයා ඔයාලා දන්න කෙනෙක්ද කියලා... අපි කිව්වා අපේ ගමේ කෙනෙක් කියන ආරංචියටයි ආවෙ කියලා... එතකොට ඒ මනුස්සයා අර සුදු රෙද්ද අයින් කරලා මැරිච්ච මනුස්සයගෙ මූණ පෙන්නුවා... ඒ මූණ දැක්කම මගේ හුස්ම හිර වෙනවා වගේ දැනුනා... රශ්මි මගේ අත තද කරලා අල්ල ගත්තා... කාලයත් එක්කත් අනතුරින්වත් වෙනස් නොවුනු හුඟක් කොටටම කොණ්ඩෙ කපල හිටිය ඒ මුහුණ ලොරියගෙ...
අර තරම් සැහැල්ලුවෙන් පිස්සු නට නටා හිටිය කොල්ලට කෝච්චියට පනින්න තරම් වෙන්න ඇත්තෙ මොකක්ද කියල අපට හිතා ගන්නවත් බැරි වුණා... පස්සෙ ආරංචි වුනු විදියට මෙයා සිරාවටම යාළුවෙලා හිටිය අර කලින් කියූ අක්කගෙ ගෙදරින් එයාලගෙ සම්බන්ධය දැනගත්තට පස්සෙ ඒ අක්කට එළියට බහින්න දීලා නෑ... පස්සෙ ගෙදරින් ගෙනාව යෝජනාවකට එයා කැමති වෙලා... ඔය මැරුණු දවසට කලින් දවසෙ තමයි එයාගෙ වෙඩින් එක තිබිලා තියෙන්නෙ... මෙයා යාළුවෙක් එක්ක ඒක තිබුනු හෝටලය ළඟ රැකගෙන ඉඳලා ඒ අක්කව දැකගෙන ඇවිත් තියෙනවා... ඊට පස්සෙන්දා තමයි ඔය වැඩේ කරගෙන තියෙන්නෙ...
මෝඩකම නේහ් ?
ReplyDeleteපිටින් බැලුවම, අපට දැනගන්න ලැබුනු විස්තර අනුව නම් කියන්න පුළුවන් එකම දේ ඒක තමයි සෙන්නා... සමහර විට ඒ අක්කගෙන් පලිගන්න හිතාගෙන කළා වෙන්න පුළුවන්... මොනව උනත් නැති කරගත්තෙ තමුන්ගෙම වටිනා ජීවිතය...
Deleteකතන්දර රාශියකි!
ReplyDeleteඔබා අයියගෙ මරණෙට පස්සෙ මේ බ්ලොගේ පළවුන එකම ඛේදාන්තය මේකයි.
ReplyDeleteපිටතින් හිනාවෙලා ඉන්න හැමෝම ඇතුලතින් හිනාවෙනවා කියන්න බෑ බං.
@ තනි අලියා - මේකෙ මගුල් රිප්ලයි බට්න් එක වැඩ කරන්නෙ නැද්ද කොහෙද... ඇත්තටම බැලුවම කතා කීයක්ද... :D
ReplyDelete@ ඩූඩ්ස් - ඔව්නෙ... ඒ කියනකම් මට මතක් උනේ නෑ මේ දෙවෙනි එකයි කියන එක... ඩූඩ් කියන කතාව සහතික ඇත්ත... හුඟ වෙලාවට මේ වගේ දේවල් කරගන්නෙ ක්ෂණික කේන්තියත් එක්ක එන අනිත් අයට පාඩමක් උගන්නන්න ඕන කියන චේතනාවෙන් වෙන්න ඕන... ඒ ස්ටේජ් එක පහු කර ගත්ත නම් කොහොම හරි, සමහර විට මේ දේ වැලකෙන්න ඉඩ තිබුණා... ඒත් විවිධ මිනිස්සුන්ගෙ මානසික මට්ටම්, දරාගැනීමේ ශක්තිය, සංවේදීකම එකිනෙකාට වෙනස්නෙ... අපි කොහොම කියන්නද පිටින් බලලා....
ReplyDeleteඇත්තටම ඩූඩ් මේක මං මේ වගේ අත්දැකීමක් ලබපු පළවෙනි අවස්ථාව නිසා මේක මට හරියට වැදුනා... සෑහෙන කාලයක් යනකම් අමතක කරන්න බැරි විදියට... පහු කාලෙක ජීවිතේ විවිධ අවස්ථාවල මීට සමාන අත්දැකීම් තව දෙකක් ලැබිලා තියෙනවා... ඒවා මීට වඩා හරිම දුක හිතෙන පසුබිම් කතා වලින් මතු වෙච්චි ඒවා...