Total Pageviews

Saturday, 16 July 2016

මතකය...



මං ලියන කතා බැලුවම අපේ පවුලෙ අයට හරි පුදුමයි මට මෙච්චර දේවල් මතක තියෙන්නෙ කොහොමද කියලා... ඒ සමහරක් ඒවා මං ගොඩාක් පුංචි කාලෙදි වුනු සිදුවීම්... සමහර මතකයන් සම්බන්ධව කියන්න තරම් දිග කතා නැත්තෙ ඒවා නිකම්ම සිදුවීම් දාමයන් හින්දයි... ඒ උනාට සමහර මෑත සිදුවීම් මතකයෙන් ගිලිහිලා තියෙන්නෙ පුදුම විදියට... සමහර පුද්ගලයොත් එහෙමයි... සමහරුන්ව දැක්කම හොඳට පුරුදු කෙනෙක් කියල මතක් උනාට කොහෙදිද මෙයාව දැක්කෙ, කතා කළේ, නම මොකක්ද කියන විස්තර මතකයට එන්නෙම නෑ... ටියුබ් ලයිට්... ඒක පත්තු වෙන්නෙ සමහරවිට ගෙදර ආවටත් පස්සෙ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි... ඒ වැඩේ නම් මහ සවුත්තුම දෙයක්....


2012 අන්තිම, පරණ ඉස්කෝලෙ යාළුවො හමුවුනු එක ගැන මං කියලා ඇති... ඒ වෙලාවෙ මට සමහරුන්ගෙ සුපුරුදු මූණු දැක්කට නම් මතකයට එන්නෙම නෑ... 'ඒ, උඹේ නම මොකක්ද' කියලා අහන්නයැ... බැරිම තැන එකෙක්ව පැත්තකට ඇදගෙන තමයි අහගත්තෙ... 'ඇයි බං උඹට මතක නැද්ද... ඒ අර අහවලානෙ...' අන්තිමට හිතෙනව හැබෑ නේන්නං, කොහොමද මට ඒකව අමතක උනේ කියලා... ඒකට පොඩි පොඩි සාධාරණ හේතුත් තියෙනවා හැබැයි... අවුරුදු විස්සකට විතර පස්සෙ පළමු වතාවට දකිනකොට, හොඳට තිබ්බ කොණ්ඩෙ ගිහිල්ලා තට්ටෙ පෑදිලා, ස්පෝට්ස් කරලා ෆිට් බොඩි හදාගෙන හිටි උන්ගෙ කටවල් ළඟට බඩවල් ඇවිල්ලා, තප්පදෝරු උනහම කාටද දෙයියනේ අඳුනගන්න පුළුවන්....

අපේ මනූ ළඟදි දවසක් කියනවා එයාත් එක්ක එකම ඉස්කෝලෙ, අල්ලපු පුටුවෙ අවුරුදු හතරක් ඉඳගෙන හිටපු යාළුවාව ඊට අවුරුදු හතර පහකට විතර පස්සෙ මුණ ගැහුනම වෙච්චි දේ... ඒ යාළුවා ළඟට මෙයා ගිහින් කතා කළාම ඇහුවලු 'මචං උඹ කවුද' කියලා... අන්තිමට මල පැනපු පාර මෙයා මොකුත් නොකියා එන්න ඇවිත්... තවමත් ඒ ගැන කතා කරන්නෙ තරහින්... අවුරුදු හතර පහක් කියන්නෙ නම් එකටම හිටපු යාළුවෙක් අමතක වෙන්න තරම් කාලයක් නෙවෙයි.... ඒත් මං කිව්ව මට වෙන වැඩේ... ඒ උනාට තවම හිතට සවුත්තුයි එයාගෙ...

ඒ අස්සෙ වෙනින් කෙනෙකු කිව්ව තවත් කතාවකුත් මතක් වුණා... කතාව මට කීව කෙනා ඒ වෙනකොට වෛද්‍ය ශිෂ්‍යයෙක්... මිනිහා කියනවා එයා දවසක් වෝඩ් එකේ ඉන්නකොට එයාත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙක් ආවලු ඉස්පිරිතාලෙට... මේ යාළුවා ජේලර් කෙනෙක්... ඇවිත් තියෙන්නෙ හිරකාරයෙක් අරගෙන... ඉතින් ඒ මනුස්සයා මේ පරණ යාළුවා දැක්කම ළඟට ඇවිත් කතා කළාලු 'සර්' කියලා... මං ඇහුවා තමුන්ගෙ පන්තියේ හිටපු කෙනෙක් එහෙම කතා කළාම ලැජ්ජා හිතුනෙ නැද්ද කියලා... එයා කියනවා යාළුවා උනත් එහෙම තමයිලු කතා කරන්න ඕන, තනතුරට සරිලන ගරු නම්බු දීලා... අන්තිමට දොස්තර උනාම මගෙනුත් එයා බලාපොරොත්තු වෙන්නෙ සර් කියලා කියව ගන්නද කියල මට හිතුනා එහෙම කිව්වම... ඉගෙන ගන්න කාලෙ එහෙම නම්...

පුංචි කාලෙ වෙච්චි සිදුවීම් දෙකක් තියෙනවා අදටත් මගේ හිතේ හොල්මන් කරන... මොකද ඒ සිදුවීම් වෙනකොට මං ගොඩාක් පුංචි නිසාත්, කතාවට සම්බන්ධ ප්‍රධාන චරිත ගැන දැනගත්තෙ ගොඩක් ලොකු උනාට පස්සෙ නිසාත්... ඒ එක සිදුවීමක් සිද්ද වුනේ පුංචි කාලෙ මගේ යාළුවා රශ්මිලගෙ ගෙදරදි... රශ්මිලගෙ තාත්තා හොඳට කන බොන කෙනෙක්... ඒක අපේ පළාතෙ සියළු සත්වයෝ දන්නවා... එයා මේ කියන කාලෙ නිල නොලත් බාර් එකකුත් කළා... ඒකත් ප්‍රසිද්ධ රහසක්... එක දවසක් අපේ ගෙදර සෙල්ලම් කර කර හිටපු රශ්මියි මමයි සෙල්ලම ඉවර කරලා එයාලගෙ ගෙදර ගියා... අපි යනකොට එයාලගෙ ඉස්තෝප්පුව වගේ තිබ්බ කෑල්ලට තිබුණු දොර ඇරලා තිබ්බට මැද සාලෙට ඇතුළු වෙන දොර අඩවන් කරලයි තිබ්බෙ... අපිටත් ගානක් නෑ, අපිත් ආපු වේගෙටම ඒ දොරත් ඇරගෙන සාලෙට ඇතුළු වුණා... සාලෙ ඉඳගෙන හිටපු දෙන්නා අපි දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන... අපි කවුද කියලා අඳුන ගත්තට පස්සෙ ඒ දෙන්නගෙ මූණුවල පොඩි හිනාවක් නැගුනා... එයාලා ඉස්සරහ පුටු දෙක ළඟට ලං කරලා තිබුනු ස්ටූල් එක උඩ තිබ්බෙ අරක්කු බෝතලයකුයි, පොඩි වීදුරු දෙකකුයි... මේ දෙන්නගෙන් එක්කෙනෙක් රශ්මිගෙ තාත්තා... අනිත් කෙනා හාමුදුරු කෙනෙක්... අපි ඒ ස්ථානය පහු කරලා යනකොටම වගේ අර හාමුදුරුවො සිවුර අස්සට අත දාලා තවත් අරක්කු බෝතලයක් අරන් ස්ටූල් එක උඩින් තිබ්බා... අපි ඕකත් බලාගෙනම කුස්සිය පැත්තට යනකොට රශ්මිගෙ අම්මා කුස්සියට වෙලා බයිට් හදනවා... එයා අපිට කිව්වා ආයෙ සාලෙ පැත්තට යන්න එපාය, එළියෙ ඉඳගෙන සෙල්ලම් කරන්නය කියලා... ඔය සිදුවීම මට කවදාවත් අමතක උනේ නෑ හාමුදුරු කේස් එක නිසා... ඒ හාමුදුරුවන්ගෙ හැඩ රුව මගේ හිතින් මැකිලා ගියෙත් නෑ... පස්සෙ කාලෙක, එක්තරා දේශපාලන යුගයක ලංකාවෙ ප්‍රසිද්ධියට පත් වෙච්ච හාමුදුරු කෙනෙක්ගෙ රූපෙ නිතර දෙවේලෙ පත්තර වලින්, රූපවාහිනියෙ දකින්න ලැබෙනකොට මගේ මතකය ආයෙ අළුත් වුණා... ඒ හාමුදුරුවන්ගෙ නමට ඉස්සරහින් තියෙන ගමේ නමත් අපේ අල්ලපු ගමක නමක්.... ඔන්න මගේ මතකය අළුත් වුණා... මට මතක් උනා බොලේ මේ අර හාමුදුරුවො නේද කියලා...

ඔය අනිත් සිදුවීම සිද්ද උනේ ඉස්කෝලෙ දෙසැම්බර් නිවාඩු කාලෙක නුවර ගුන්නෑපානෙ ඥාති නිවසක නිවාඩුව ගත කරන්න ගිහිල්ලා... ඒ අයගෙ ගෙදරක් කුලියට දීලා තිබුණා මගේ වයසෙම ළමයි ඉන්න පවුලකට... මං එහේ ගියාම වැඩිපුරම සෙල්ලම් කළේ ඒ අයත් එක්ක... එක දවසක් හදිසියේම ඒ ළමයෙක් කිව්වා අපි යමු සුදු සීයා බලන්න කියලා... ඕං එපාර කට්ටියත් එක්කම දිව්වා ඊට ගෙවල් කිහිපයක් ඈතින් තිබුණු සුදු සීයගෙ ගෙදරට... එතරම් විශාල නොවුනු ගෙදර ඉස්තෝප්පුව වගේ තිබුණු කෑල්ලෙ බාග බිත්තිවලට උඩින් වහලට වෙනකම් දැල් ගහලා තිබුණා... එතැනින් ඇතුළු වෙන්න තිබුණු දොර වහලා තිබුණට ගෙට ඇතුළු වෙන දොර නම් ඇරලයි තිබුණෙ... ඒ දොරෙන් ගෙයි පිටිපස්සට යනකම්ම පෙනුනා... මගේ යාළුවො සෙට් එකම දුවලා ගිහින් ඒ වේගෙටම අර දැලේ එල්ලුනා... එතකොට නැගුනු ලොකු සද්දෙට මට බය හිතුනත් මාත් ගිහින් ඒකෙම එල්ලුනා... එතකොටයි මං දැක්කෙ ඉස්තෝප්පුවේ බිත්තියට හේත්තු කරලා තිබ්බ චිත්‍ර තොගය... මං සිහිසන් නැතුව බලන් හිටියෙ ඒවා දිහා... සමහර ඒවා බිත්තිය පැත්තට හරවලා තිබුණට කිහිපයක් උඩ අතටත් හරවලා තිබ්බා... ඒවා හරිම ලස්සනයි... වැඩි හරියක් අමුතුම ශෛලියකට ඇඳපු කාන්තා රූප... හරිම අමුතුයි... මෙන්න බොලේ එක සැරේම බිම හිටපු කෙනෙක් නැගිට්ටෙ නැතැයි... මගේ පපුව දඩ දඩ ගාලා ගැහෙන්න ගත්තා හරියට හොරකමක් කරලා අහුවුනා වගේ... අර ළමයි නම් කිසිම වෙනසක් පෙන්නුවේ නෑ... 'ආ සුදු සීයෙ, අද චිත්‍ර අඳින්නෙ නැද්ද?' කියලා එක්කෙනෙක් ඇහුවම සුදු සීයා වචනයක්වත් නොකිය හිනාවෙලා අර ඇරලා තිබ්බ දොරත් වහගෙන ගේ ඇතුලට ගියා... මට තේරුනේ එයා අපි ආවාට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැයි කියලයි... මේ සුදු සීයා නමටම ගැලපෙන විදියට සුදුම සුදුයි... වැඩිහරියක් සුදු වෙලා තිබ්බ කොණ්ඩෙ උරහිස ළඟට එනකම් වැවිලා තිබ්බා... කමිසයක් නැතුව සරමක් ඇඳගෙන හිටපු සීයා, අපි එනකොට හිටියෙ ඉස්තෝප්පුවේ සිමෙන්ති පොළොවෙ නිදාගෙන... අපේ සද්දෙට ඇහැරෙන්න ඇත්තෙ... තරහා ගියාද දන්නෙ නෑ කියලා මට හිතුනු නිසා ආයෙ ඒ ළමයි සුදු සීයා චිත්‍ර අඳිනවා බලන්න යන්න කතා කළාට මං ගියේ නෑ... පස්සෙ කාලෙක ලංකාවෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුගෙ පින්තූරෙයි එයාගෙ චිත්‍රයි දකිනකොට මාව උඩ ගිහින් බිම වැටුනා, මේ අපේ සුදු සීයා නේද කියලා... ඒ ජෝර්ජ් කීට් මහත්මයා... සුදු සීයගෙ මුහුණුවර මට වැරදුනත් අර චිත්‍ර ශෛලිය නම් වරදින්න කිසිම විදියක් නෑ... ඒ නිසා අදටත් මං විශ්වාස කරනවා මං එදා දැක්කෙ මේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියාමයි කියලා...

මතකය ගැන මට පුදුම හිතුනු සිදුවීමක් උනේ අපේ චූටි නංගිගෙ වෙඩින් එක දවසෙ... ඒකට සහභාගි වුනා මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා මස්සිනාගෙ දැන හැඳුනුම්කම මත.... මට එතුමාව මුලින්ම මුණ ගැහුනෙ මං මුල්ම කාලෙ රාජකාරි කරපු තැනකදි... එතුමා ආවෙ රාජකාරී වැඩකට අපේ ලොක්කව මුණ ගැහෙන්න... ඒ උනාට වැඩේ කරන්නෙ කවුද කියලා අහගෙන ලොක්කා ළඟට යන්න ඉස්සරින් එතුමා මං ළඟට ඇවිත් වැඩේ කෙරීගෙන යන බව තහවුරු කරගත්තා... ඒ වෙලාවෙ මගේ නමත් අහගත්තා... එදාට පස්සෙයි මේ වෙඩින් එක දවසෙ මුණ ගැහුනෙ... ඒ වෙනකොට ඒ සිදුවීම සිදුවෙලා අවුරුදු හයක් හතක් ගිහින්... ඒ වැඩ කළ තැනින් ඉවත්වෙලා ඒ වෙනකොට මං වෙනත් රැකියාවක... කසාද බැඳලා දරුවෙකුත් ඉන්නවා... කලින්ට වැඩිය මහතුත් වෙලා... මහාචාර්යතුමාට දොරින් ඇතුළුවෙලා ශාලාවෙ පුටුවකින් ඉඳගන්නම සෑහෙන වෙලාවක් ගියා, කලා ලෝකෙ අඳුනන පිරිසකුත් වැඩේට සහභාගිවෙලා හිටිය නිසා... එතුමා යන එන තැන් හැම එකකදිම එහෙම වෙන්න ඇති... දවසකට කී දෙනෙක් කියලා නම් මුණ ගැහෙනවද... විශ්වවිද්‍යාලෙ ළමයිම ගත්තොත් අවුරුද්දකට අළුත් මූණුම නම් කීයක්ද... එතුමා ඉඳගන්නකම් ඉඳලා මං එතැනට ගිහින් ඇහුවා 'සර්ට මාව අඳුනන්න පුළුවන්ද' කියලා... එතුමා තත්පර කිහිපයක් මගේ දිහා බලන් ඉඳලා කිසිම දෙගිඩියාවක් නැතුව හිනාවෙලා ඇහුවා 'මියුරු නේද?' කියලා... 


පින්තූරය ගත්තෙ http://blog.powerscore.com/gre/bid/140805/GRE-Word-of-the-Day-Agnostic

21 comments:

  1. මූණු මතක තියා ගන්න එක මට මහ වේදනාවක්. මම පුදුම දුකක් විඳින්නේ ඔය නිසා. පුදුම අපහසුතාවයන්ට පත් වෙනවා.

    මතකය ගැන තමයි මගේ ඩෙනිමෙ අන්තිම පෝස්ට් එක ලියලා තියෙන්නේ. කොහෙද උඹලා එනවයැ අපි ආවට.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ඩූඩ්ස්... ඒකට මුහුණ දීපු එකෙක්ම තමයි දන්නෙ ඒකෙ හැටි... විළිලැජ්ජයි බං සමහර වෙලාවට.....

      අනේ ඩූඩෝ.... මේ එනවා,,, මේ එනවා... මං ලියන ඕනම ගොං කතාවකට වරද්දන්නෙ නැතුව කමෙන්ට් එකක් දාල යන අයගෙන් එක්කෙනෙක් උඹ... ඒක මං කොහොම අමතක කරන්නද....

      ඒක නෙවෙයි... උඹ දන්නවද... අද මං මේක අල්ලන් ඉන්නව දැකල මනූ අහනව මොකද බ්ලොග් එක අල්ලගෙන කාලෙකට පස්සෙ කියලා... මං කිව්ව මං මේක නවත්තල දාන්න හදන්නෙ කියලා... එයා කියනව ඉතින් අපරාදෙනෙ ලු... ඔය යාළුවො ටිකත් නැතිවෙනව නේද අහනව.... පුළුවන් විදියකට කරගෙන යන්නලු.... හික්ස්... ඒ දවස්වල චුරු චුරු ගාපු හැටි එයාටත් අමතක වෙලාද කොහෙද.... :D

      Delete
    2. අඩෝ මොකක්ද කිව්වේ ??? නවත්වන්න...!!?? හෙහ් මැරුම් කන්න තමා ඔය... ග්ර්ර්ර්ර්ර්ර්

      සැරින් සැරේ නිදාගෙන හරි කමන්නෑ මේක ඇදන් යන්න මියුරු...

      නවත්තන්න එපා !

      Delete
    3. අඩෝ මැරුං කන්නෙපා බ්ලොග වහලා. උඹ උස්සගෙන ඉන්නවෑ. උඹ මේකට බිං කුලිය ගෙවනවෑ. ලියන්න කම්මැලිනං බ්ලොග ඔහෙ තියෙද්දෙන් ආයෙ හිතුන දවසක ලියන්න. අපි තවම උඹේ බ්ලොග රෝලෙ එල්ලගෙන ඉන්න නිසා පෝස්ට් එකක් දාපු ගමන් අපි දන්නවා.

      Delete
    4. @ සෙන්නා & ඩූඩ්ස්,
      මගෙ අම්මෝ... කමෙන්ට්ස් දෙක දැක්කම බය හිතුනා... ඒ හින්දා දැන් මේ ටික ටික එක එක පැතිවල ගිහින් කියවනවා... මොනව හරි ලියලා එනවා... ඔයාලගෙ පැතිවලත් ගියා...
      පොඩ්ඩ පොඩ්ඩ බලන්නම්කො ආයෙ ට්‍රැක් එකට වැටෙන්න පුළුවන්ද කියලා හොඳේ... බොහොම ස්තුතියි දෙන්නටම... ඇත්තම කියනව නම් මට හරිම පුදුමයි ඔයාල තාමත් මගේ බ්ලොගේ එල්ලගෙන ඉන්න එක ගැන... මං හිතුවෙ මං ආ ගිය තැනක්වත් දැන් නැතුව ඇති කියලා...

      Delete
  2. මටත් ඔහොම වෙනවා අප්පා.. ස්මහර උන් ඇවිත් ආ මචං කොහොමද කියලා විස්තර අහලා කතා කරනවා... මම උඩින ශේප් කරගෙන යන ගමන් යටින් කල්පනා කරනවා කවුද යකෝ මූ...මතක් වෙන්නෙම නෑනෙ කියලා...

    ඇයි අර ඝණ ගෙඩියගෙ නම හෙලි නොකළේ.. හොරුන්ව හන්ගන් ඉන්න නිසා තමා උන් උපාසක මූන දාගෙන තව තවත් වැරදි කරන්නේ...

    මනූට වෙච්ච වැඩේනම් කණග‍ටුදායකයි.. අවුරුදු හතර පහක් නම් ඇත්තටම එච්චර ලඟින් හිටපු කෙනෙක්ව අමතක වෙන්න කාලයක් නෙමේ.. ඒ අමතක වීමෙන් ඊඅ පුද්ගලයට මොකක් හරි වාසියක් ඇති...

    ReplyDelete
  3. මියුරු මේ කොටස ලිව්වේ මමද කියලාත් හිතුනා.

    ඔය නම් ගම් පුද්ගලයෝ අමතක වෙන එකට මගේ නම් පිලියම අපේ අක්කාගෙන් කාගෙ කවුද ඔක්කොම දේවල් අහගන්න එක. සමහරවෙලාවල් තියෙනවා කෙලින්ම මූණට කියනවා මට මතක නෑ ඒ කවුද ඔයා කියලා. ඒක අවුලක් නැතිව ගොඩ දාගන්න පුළුවන් පැනි මූණකුත් මට තියෙනවා.

    ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට අවුරුදු තිහ හතලිකක් ගිහිනුත් දැකපු නැති මිනිස්සුත් අඳුනගන්න පුළුවන්. හිටිගමන් එහෙම ගිහින් මම ඔයා අහවලා නේද අහලා කතා කරනවත් එක්ක. මම හිතන්නේ මේ හැමදේම අපිට ඒ ඒ පුද්ගලයා තියෙන මතකය ආදරණීය වෙන තරමට වෙන්න ඕනේ.

    rangi

    ReplyDelete
  4. සමහර අයට කොච්චර කල් ගතවුනත් අපිව මතකයි. ඒක එක එක්කෙනාගේ මතක ශක්තිය අනුව වෙනස් වෙනවා. තව එකක් ගෑනු දරුවෙ නම් කාලේ ගත වෙද්දි පිරිමි අයට වඩා වේගෙන් වෙනස් වෙන නිසා අවුරුදු ගානක් තිස්සෙ මුන නොගැහුන කෙනෙක්ට සෑහෙන කාලෙකින් හම්බෙන ගෑනු ලමයෙක් අදුනගන්න බැරි වෙන එක සාධාරණයි.

    ReplyDelete
  5. @ සෙන්නා,
    සෙන්නට නම් එහෙම හරි කතා කරන්න පුළුවන් උනා... කවුද කියල අඳුනගන්න බැරුව මොනවා කොහොම කතා කළාද බං... මොනව උනත් ලොකු දෙයක් එහෙම ෂේප් කරගන්න හැකියාව තියෙන එක...

    මට එතෙන්දි පිළිකුල දැනුනෙ ගණ ගෙඩියා ගැන විතරක් නෙවෙයි සෙන්නා... ඒකට අරක්කු දුන්න රෂ්මිගෙ තාත්තා ගැනත්... එවුන්ට බයිට් හදන්න කියනකොට අර අසරණ අම්මට මොනව හිතෙන්න ඇද්ද... ඒ මනුස්සයා ජීවත්ව ඉන්නකම් ඔහොමමයි... අදටත් මතක්වෙනකොට දුක හිතෙනවා...

    සෙන්නා කියනවා වගේ මනූගෙ යාළුවට හිතුනද දන්නෙ නෑ බැරි වෙලාවත් තේ එකක්වත් අරන් දෙන්න වෙයිදෝ කියලා....

    ReplyDelete
  6. @ රංගි,
    හික්ස්... බලනකොට ඒ අතින් රංගි වාසනාවන්තයි.... මටත් තිබ්බ නම් ඒ වගේ පැණි මූණක්... ඒ වගේ වෙලාවට මගේ මූණ දකිනකොට නම් කතා කළ එකාට හිතෙනව ඇති මාව අල්ලලා හොලවල හොලවල පියවි ලෝකෙට ගන්න... ඇයි ඉතින් එහෙම වෙලාවට මං දඟලන්නෙ මේ කවුද කියල මතක් කරගන්නනෙ... :D

    ReplyDelete
  7. @ මඩයා,
    ඇත්ත මඩයා... සමහර අය නම් කොච්චර කල් ගත උනත් මට මතකයි...

    "තව එකක් ගෑනු දරුවෙ නම් කාලේ ගත වෙද්දි පිරිමි අයට වඩා වේගෙන් වෙනස් වෙන නිසා අවුරුදු ගානක් තිස්සෙ මුන නොගැහුන කෙනෙක්ට සෑහෙන කාලෙකින් හම්බෙන ගෑනු ලමයෙක් අදුනගන්න බැරි වෙන එක සාධාරණයි."
    මට වෙලා තියෙන්නෙ ගෑණු දරුවට පිරිමි ළමයි අඳුනගන්න බැරි වෙච්චි එකනෙ....හික්ස්... අර කලින් එක්කෙනෙක් වගේ මඩයත් හිතාගෙන ඉන්නෙ මං පිරිමි කෙනෙක් කියලද දන්නෙ නෑ මගේ නම හින්දා...ඒක එහෙම නොවුනත් ගෑණු ළමයි නම් රූපයෙන් ඉක්මනට වෙනස් වෙන එක සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. නෑ මං දන්නවා ඔයා ගෑල්ලමයෙක් කියලා. මං අර කතාව කිව්වෙ ඔයාගේ යාලුවෙක්ට එක ලගම හිටපු යාලුවා අවුරුදු කීපයකට පස්සෙ අදුන ගන්න බැරි වුන සීන් එක හිතේ තියන්

      Delete
    2. ආ ඒක මිසක්.... ඒ අපේ ගෙදර උන්දට වෙච්ච දෙයක් අනේ... එතනත් කෙල්ලෙක් නෑ... පප්පල දෙන්නෙක් මිසක්... ඒකට කමක් නෑ මඩයො... මනූ කියන්නෙ අපෙ උන්ද... :D

      Delete
    3. oya harima lucky ne. George Keet wa daka ganna aasaawen un mata ehema chance ekak labune ne. eyaage chitra walata mama harima asai.

      Delete
    4. පොඩි කාලෙ මට කිව්ව නම් මං සුදු සීයව පෙන්නන්න එක්කන් යනවනෙ... කියන්න එපැයි අනේ... ;P

      Delete
  8. සුනිල් ආරියරත්න මහතාගේ නිහතමානී කම. සමහර අයට අඳුණ ගත්තත් ඒබව කියන්න මදි කමක් වෙනවා.

    ReplyDelete
  9. " මං කිව්ව මං මේක නවත්තල දාන්න හදන්නෙ කියලා... "

    නුවර කුමාරිත් පොල්ලෙන් ගැහුව වගෙ නැවැත්තුව, මල්මියත් නැවැත්තුව ඔයත් නවත්තල දාන්නද හදන්නේ ?



    ReplyDelete
  10. @ ඉයන්,
    ඇත්ත ඉයන්... මහාචාර්යතුමාගෙ නිහතමානිකමම තමයි...

    ReplyDelete
  11. @ පැණිකු,
    ආයෙ ඇවිත් දොරවල් ඇරියෙ නම් එහෙම හිතාගෙන තමයි... ඒත් ආපහු පරණ ට්‍රැක් එකට වැටෙනකොට ආස හිතෙනවා... බලමුකො...

    ReplyDelete
  12. මුහුණු වගේම පාරවල් මතක තියාගන්ඩත් මට හරිම අමාරුයි...
    sinhalabloggala.

    ReplyDelete
  13. ඔය කියන සංඝයා ගැන මම හිතන්නෙ මම දන්නවා...නම කියන්න හැකි උනත් මම ඔහුගේ චරියාවට දක්වන අප්පිරියාව නිසා නොකියමි.

    ReplyDelete