Total Pageviews

Monday 25 March 2019

හනික වරෙව්...


ජැක්සන් ඇන්තනිගෙ අනිත් භූමිකා ගැන ඒ හැටි පැහැදීමක් නැති වුනත්, ජැක්සන් ඇන්තනි කියන නළුවාටයි ගායකයාටයි මං හරිම ආසයි. රඟ පෑවොත් එකක් ආයෙ කියන්න දෙයක් නෑ. එයා රඟපාපු වේදිකා නාට්‍ය අතරින් 'බෙර හඬ' නාට්‍යය නම් මට මගේ ජීවිතේට  අමතක වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මං කවදාවත් මේ නාට්‍යය වේදිකා ගත වෙනවා බලන්න ගිහින් නෑ. ඒ උනාට මට මතකයි අපි පුංචි කාලෙ ඒක කොටස් වශයෙන් ජාතික රූපවාහිනියෙන් පෙන්නුවා, කිහිප සැරයක්ම. මං 'බෙර හඬ' නාට්‍යය බැලුවෙ එහෙම. මමයි අම්මයි ඕක වැරැද්දුවෙම නෑ. අපි දෙන්නා ඒක බැලුවෙ පණ යනකම් හිනා වෙවී. ඒ කාලෙ කෙට්ටුවට හිටිය ජැක්සන් ඇන්තනි, අර කෝටු අත පය දික් කර, කර නටනවා දැක්කම හිනා යනවා. 



මං මේකෙ පුංචි හරි වීඩියෝ කෑල්ලක් තියෙනවද කියලා සෑහෙන්න හෙව්වා. නිතරම මතුවුනේ රොඩ්නි වර්ණකුලගෙ වර්ශන් එක. රොඩ්ඩත් හොඳට කියනවා උනාට ජැක්සන් ඇන්තනි වර්ශන් එක උපරිමයටම රස විඳපු මට, ඒක එච්චර දිරෙව්වෙ නෑ. මට ජැක්සන්ගෙ වර්ශන් එක පට්ට නැචුරල්. අන්තිමේදි හම්බ වුනා ඒ පරණ වර්ශන් එකේ එක සිංදුවක් විතරක්.
ඒ කාලෙ මට මේ නාට්‍යයේ සිංදු කට පාඩම්. ඒ උනාට දැන් නම් වැඩිය මතක පහළ තියෙන සිංදුව විතරයි. මේ පරණ එකේ රොඩ්ඩත් යක් පුතෙකුට රඟපානවද මන්දා. මූණු අඳුනන්න බෑනෙ. අපි යක්කු අඳුනනවායැ.
බලන්නකො ඔයාලටත් රස විඳින්න පුළුවන්ද කියලා.

මෙන්න සිංදුව:

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්//
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්//
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්.. යකෝ
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...
වැඩේ අමාරුත් නැතේ... තෑගි ටිකත් අපි අතේ...//
රත්තරනින් ගෙවන්නේ... හිරු දෙවියොයි කියන්නේ...////
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්//
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්.. යකෝ
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්////

සාදු සාදු කියල්ලා... ප්‍රීති ගෝසා කරල්ලා...//
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ... කන්ද උඩින් වරෙල්ලා...
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ... කන්ද යටින් වරෙල්ලා...
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා සොයල්ලා...//
ලෝකෙ වටේ ගොහිල්ලා... හරක් හොරා සොයල්ලා...//
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා සොයල්ලා...//
වනන්තරේ සොයාපියෝ... ගල් අරඹේ සොයාපියෝ…//
මරු කතරේ සොයාපියෝ... මිනිස් වාසෙ සොයාපියෝ…//
කඳු මුදුනේ ගං ඉවුරේ වනන්තරේ සොයාපියෝ...//
හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ...//
රන් අබරණ පැළඳගත්ත... මහ පොළවේ රන් වපුරන...//
හිරු දෙවියෝ බලාපියෝ…//
හරක් හොරා හොයාගන්න සියළු දෙවියෝ පිහිට වෙයෝ
හරක් හොරා හොයාගන්න සියළු දෙවියෝ පිහිට වෙයෝ… 





ඒ වගේම මේකෙ හිරු දෙවියන්ට රඟපාන ගාමිණී සමරකෝන් තවම ජීවතුන් අතර ඉන්නවද? තවමත් රඟපානවද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද? බොහොම ස්තුතියි. මට මතකයි අපේ මාමා කෙනෙක් වැඩ කරපු ඉස්කෝලෙක එයාත් ගුරුවරයෙක් විදියට වැඩ කළා ගොඩක් ඉස්සර. එතකොටත් රඟපානවා. 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යයත් මතක් වුනා එහෙම කියනකොට. යූ. ආරියවිමල් එක්ක 'සෝබාව දේ' සිංදුවට ඉස්සෙල්ලම රඟපෑවෙ ගාමිණී සමරකෝන්. ඒ කාලෙ තමයි මං ඒ වේදිකා නාට්‍යය ශාලාවකට ගිහින් නැරඹුවේ. ඒකෙත් ජැක්සනුයි, රොඩ්ඩයි හිටියද කොහෙද. රොඩ්ඩා 'අරක ගෙනෙන් චූන් චෑං' සිංදුව කියනවා මතකයි. ජැක්සන් 'යාළුවෝ... මාළුවෝ...' සිංදුව කියනවා මතකයි. මට මතකයි ජැකා කොහේදි හරි කියලා තිබුනා එයා 'තාරාවෝ...' රඟපෑවෙ කැම්පස් යන කාලෙ කියලා.


ප:ලි: බෙර හඬ බලනවා නම් පේන විදියට ඔරිජිනල් එකද කොහෙද ඔක්කොම කොටස් මෙන්න මේ යූ ටියුබ් චැනල් එකේ තියෙනවා. ඒකෙ ග්‍රැන්විල් රොඩ්‍රිගෝ ඉන්නවා.

https://www.youtube.com/channel/UCYWU4wvhdd_5zRzUD6R2HVQ/videos


34 comments:

  1. මම බෙර හඬ බලද්දී හිටියේ ග්‍රැන්විල් රොඩ්රිගෝ ,
    ඔහුට නම් නළු පෙනුමක් නෑ.
    ඒත් පෙනුමට වඩා යමක් නළුකම බව ඒ රැඟුම් දකිද්දී හිතුනා....
    කොබෙය්යා හොයාගෙනයි ආවේ......

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ග්‍රැන්විල් රඟපෑවෙ කාටද? හිරු දෙවියන්ටද, නැත්නම් මහ යකාටද? ග්‍රැන්විල් මමත් මුලදි එච්චරම ආසා කළ නළුවෙක් නෙවේ. ඒ පෙනුම හින්දා. ඒ උනාට පස්සෙ, පස්සෙ ඒ මනුස්සයා රඟපාපු චරිත හින්දයි අර 'ඔටා දමඤ්ඤං..." කියන සිංදුව හින්දයි ඒ අකමැත්ත නැතිවෙලා ගියා. ඒ එක්කම මතක් උනා 'පහන් කන්ද' (මට මතක විදියට ) ටෙලියත්. ඒකෙ ප්‍රධාන චරිත රඟපාපු දෙන්නම දැන් ජීවතුන් අතර නෑනෙ. ඒක නිෂ්පාදනය කරලා ප්‍රධාන චරිතය රඟපෑවෙ මට මතක විදියට නිල්මිණි වගේ නමක් තියෙන නිළියක්. එයා ටෙලි කිහිපයක රඟපෑවා මතකයි. ප්‍රධාන නළුවා ග්‍රැන්විල්. ඒ උනාට නොමියෙන සිංදුවක් ඉතුරු කළා. අමරසිරි පීරිස්ගෙ 'මලක් උනේ ඇයි නුඹ මට...' මං ආසම සිංදුවක්.
      https://www.youtube.com/watch?v=C8M8dCp3l2c

      //කොබෙය්යා හොයාගෙනයි ආවේ...…// :D :D :D
      කොබෙයියා මළානෙ අනේ...

      Delete
    2. පහන් කන්දෙ හිටපු නිළිය තමාරා දිල්රුක්ශි නේද? එයා මැරුණද? බැන්දට පස්සෙ රඟපෑවෙ නෑ කියලයි මතක

      Delete
    3. එයා ගැන නෙවේ මං කියන්නෙ ඇනෝ. ඇත්තම කියනවා නම් තමාරා ඒ නාට්‍යයේ හිටියද කියලවත් මට මතක නෑ. එයාට වඩා මැදිවියේ වගේ හිටපු කෙනෙක්. එයාගෙ තමයි ප්‍රඩක්ෂන් එකත්. මැරුණෙ ලියුකේමියාව හැදිලා. මට මතකයි ඒ ලේඩි තවත් නාට්‍ය කිහිපයක රඟපෑවා කියලා. පේන විදියට පහන් කන්ද ටෙලිය සම්පූර්ණයෙන්ම වෙබ් එකෙන් අයින් කරලා වගේ. අඩු ගානෙ පින්තූරයක්වත් නෑ.

      Delete
  2. හප්පේ බෙරහඬ ඒ කාලෙ නොවරදවාම බලපු එකක්. රූපවාහිනිය ආපු අලුත..82 අවුරුද්දෙ…

    ඒ කාලෙ ටෙලි නාට්ටි තිබ්බෙ නැතිහින්ද වේදිකා නාට්ටි තමයි රූ ගත කරල පෙන්නුවෙ. ඔය ටෙලිනාට්‍ය කියන නම ආවෙත් ඒ හින්දනෙ. තාමත් ඉතින් කියන්නෙ ටෙලි නාට්ටි කියලම තමයි...හෙහ්...හෙහ්…

    යූ. ආරියවිමල් සහ ග්‍රේස් ආරියවිමල් රඟපාපු කළුවරේ ජරමරේ කියල හිනාවෙලා පණයන නාට්ටියකුත් ඔය කාලෙම පෙන්නුව.ඒක බ්ලැක් කොමඩි කියල අමරිකන් නාට්‍යයක පරිවර්තනයක්.සුසිල් ගුණරත්නගෙ එතකොට රංජිත් සුරංගගෙ තව ධම්ම ජාගොඩගෙ නාට්‍ය කීපෙකුත් එක දිගටම පෙන්නුව ඉරිද රෑ ප්‍රවෘත්ති වලින් පස්සෙ.

    අසූ හතරෙ ජූලි මාසෙ වගෙ දිමුතු මුතු එකේ දේවිකා මිහිරාණි ජනෙලෙන් එලිය බලාගෙන ඉඳල ජයේ මම ඔයාට මේක කියන්න කියල කාලය්ක් තිස්සෙ බලගෙන හිටිය කියල ඔලුව හරවල කාමරේ ඇතුලෙ ඇඳේ වාඩිවෙලා ඉන්න ජයේ දිහාවෙ ඔලුව හරවල බලන්ට එදා එපිසෝඩ් එකට වෙන් කරපු පැට බාගෙම ගත්ත කාලෙ වෙනකල් පැය බාගෙ තිස්සෙම හදල පෙන්නනකල් ඉතිං වේදිකා නාට්‍ය වලින් තමයි අපි රූපවාහිනියෙ බැලුවෙ.

    ඊට පස්සෙ අසූ හතරෙ ජූලි මාසෙ වගෙ ආවා රූපවාහිනියටම කියල හදපු පලවෙනි ටෙලිචිත්‍රපටය.දිමුතු මුතු...ඒකෙ තමයි දේවිකා මිහිරාණි ජයේ මම ඔයාට මේ ටික කියන්ටමයි හිටියෙ කියල ජනේලෙන් එලිය බලගෙන කියල ඔලුව හරවල කාමරේ ඇතුලෙ ඇඳේ වාඩිවෙලා ඉන්න ජයේ දිහා බලන්ට එදා දවසෙ එපිසෝඩ් එකට වෙන් කරපු පැය බාගෙම ගත්තෙ..ජයේට හිටියෙ අමරසිරි කළංසූරිය. ජයේට නංගිල දෙන්නෙක් හිටිය එක්කෙනෙක් ප්‍රියා රණසිංහ. අනික් එක්කෙනා මතක නැත.

    ඔය බෙරහඬ කතාව ග්‍රීක දේව කථාවක් අනුසාරයෙන් ලියාපු එකක්. ඔරිජිනල් කතාවෙ හිරුදෙවියන්ගෙ නම ඇපලෝ. ඇපලෝ කියන්නෙ කොහොමත් ග්‍රීකයින්ගෙ හිරු දෙවියනෙ. එතකොට ඇපලෝගෙ හරක් රංචුව හොරෙන් ගත්තෙ ඇපලෝගෙම කෙනෙක් වන හර්මීස්. හර්මීස් ඒ වෙනකොට ළදරුවෙක්. ඒත් බොහොම කපටි ඥාණයක් තියෙන කට්ට වෙට්ට පිත්තලයෙක්. හර්මීස් ඇපලෝගෙ හරක් රංචුව හොරකම් කරගෙන පස්සෙන් පස්සට දක්කං ඇවිල්ල ගුහාවක දාල වහල තියනව. මිනිහ මේ වැඩ කරන්නෙ හුදෙක් ආතල් එකට. කොහොම හරි වැඩේ අහුවෙනව ඇපලෝට. ඉතිං අන්තිමට හර්මීස් මිනිහම හදපු ලයර් කියන සංගීත භාන්ඩයක් ඇපලෝට තෑගි දීල ඇපලෝව ෂේප් කර ගන්නව.

    ඇක්ෂන් ජැන්ටනි ගැන නම් කතා කරන්නවත් මම කැමති නැහැ.මරා-සාද් බව දුක බව කර්ම ගැන මතක් වෙනකොටත් ඇත්තටම දුකයි. මට දැන් ඔය මිනිහගෙ මූණ දකිනකොට මතක් වෙන්නෙම ඇස් ගෙඩි දෙකත් නෙරවගෙන අපේ ජනමූල නායකයා කියල කියන හැටියි අර බුදු හාමුදුරුවන්ගෙන පැවත එන කේස් එකයි..හෙහ්..හෙහ්..

    Thanks Miyuru.....it was really a very pleasant walk down memory lane…:)

    ReplyDelete
  3. @ Ravi,
    මගේ පෝස්ට් එකටත් වැඩිය දිග මේ කමෙන්ට් එකට මම හරිම ආසයි. මේ හැම දෙයක්ම මතක් කළාට ඔයාටත් බොහොම ස්තුතියි. ඒ 82 කියලා මට මතකත් නෑ. කොහොම හරි ඒක නැවත, නැවත පෙන්නුවා කිහිප වතාවක්. ඒ කාලෙ ටෙලි නාට්ටි කියලා දෙයක් තිබ්බෙ නැති බව නම් මතකයි. පොඩි කාලයයිනෙ තිබ්බෙත් නේද? හවස හයටද පහටද පටන් ගන්නවා. ටියුෂනුත් තිබ්බා මතකද? ඒ කාලෙ නොවරදවාම බලපු එකක් තමයි මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයගෙ පාඩම. ඒ කියලා දෙන විදියට ඒක හොඳටම මතකයෙ රැඳෙනවා වගේම අහන් ඉන්නත් ආසයි. එයාගෙ ඩමියට හැමදාම ගත්තේ දැන් ඔය ලොකු නීතීඥයෙක් වෙලා ඉන්න එයාගෙ පුතාව.
    'කළුවරේ ජරමරේ' නම් ඇත්තටම බලනකොට හිනාවෙලා පණ ගිය නාට්‍යයක්. දැන් වගේ මිනිස්සුන්ව හිනස්සන්න අමු කුණුහරප කිව්වෙ නෑනෙ ඒ කාලෙ. කිව්වත් ඉතින් ළමයින්ට නොතේරෙන්න අයිසිං පාරක් දාල වහලනෙ කියන්නෙ. රංජිත් සුරංගගෙ නාට්‍යකුයි, ධම්ම ජාගොඩගෙ නාට්‍යයකුයි පෙන්නුවා මතක උනාට නම් මතක නෑ. ධම්ම ජාගොඩගෙ නාට්‍යයේ මැණිකේ අත්තනායක හිටියා මතකයි. දැන් කෝ ඒ මනුස්සයා? ඒ නාට්‍යය විකාශය වන කාලෙදිම තමයි ධම්ම ජාගොඩ මැරුණෙ මට මතක විදියට. රංජිත් සුරංගත් මැරුණනෙ. එයාගෙ ටෙලි නාට්‍ය ගැන කියනකොට මතක් වෙන්නෙ අචලා අලස්. ඒ කාලෙ හරිම ලස්සනයි. මට නම මතක නැති උනාට ඒ නාට්‍යයෙන්ද කොහෙද රඟපාන්න ආවෙ. අර දිමුතු මුතු එකේ දේවිකා මිහිරානි ඔළුව හරවනකම් බලාගෙන හිටියා වගේ මට මතකයි අචලව පෙන්නනකොට මේ කතාවෙ එයාගෙ අතේ නියපොත්තෙ ඉඳලම වරුවක් තිස්සෙ පෙන්නන්න පටන් ගන්න හැටි. ඒ කාලෙ දෙන පැය බාගෙන් වැඩි හරියක්ම දැන්වීම් පෙන්නලා ඉතිරි උනොත් විතරක් ටෙලි නාට්‍ය පෙන්වන ක්‍රමයක් තිබ්බෙ නෑනෙ.
    බෙර හඬේ ඔරිජිනල් කතාවට බොහොම ස්තුතියි. ඇත්තම කියනවා නම් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ මේ කියනකම්.
    දේශපාළු සහ ඉතිහාස මහාචාර්ය ජැකා ගැන නම් කියල වැඩක් නෑ.
    මට මේ දැන් අහුවුනා බෙර හඬ කියලා යූටියුබ් චැනල් එකක මේ ඔක්කොම තියෙනවා. මං පෝස්ට් එකත් අප්ඩේට් කරනවා ලින්ක් එක දාලා. මට මේක කලින් අහුවුනේ නෑනෙ. කැමති නම් බලන්න.

    ReplyDelete
    Replies
    1. දැන් බලනකොට මේකෙ හැන්දින්වීමෙම කියනවනෙ ඔය ග්‍රීක කතාව කෙටියෙන්. මට ඒක ඇහිල නැද්ද නැත්නම් ඔළුවට ගිහින් නැද්ද මන්දා. කොහොම උනත් ඒ ග්‍රීක වෙළෙන්දො පේන්න එනවට ඒ කාලෙ මං හරිම අකමැතියි. මට ඕන වුනේ යක්කු ටිකයි හිරු දෙයියොයි බලන්න. ඒ හින්දා අහගෙන ඉන්න නැතුව ඇති. 82 වෙනකොට ගොඩක් පොඩියි.
      මේ ආයෙත් මුල ඉඳලම බලන් යන ගමන්… :D

      Delete
    2. මැණිකේ අත්තනායක : පලිඟු මැණිකේ ද? කැළණි පාලම ද? ( දෙකේම හිටියා) ආ ඇයි මුහුදු පුත්තු?

      Delete
    3. මට මතක හැටියට කලංගේ අනෙක් නංගිට හිටියේ රමණි ෆොන්සේකා ඇයි උඩුබද්දාවේ රාලහාමියි එයාගේ දුව හැටියට රගපෑවේ රුපා ගොමස්. ඔය කළුවරේ ජරමරේ රගපෑවා යු ආරියවිමල් එයාගේ බිරිද ග්‍රෙස් . ධම්ම ජා ගොඩට කලින් තමයි යු ආරියවිමල් මිය යන්නේ. මම හිතන්නේ අසු ගනන් වල මුල හරියේ. කලුවරේ ජරමරේ රගපෑව තවත් නලුවෙක් වු දයා තෙන්නකොන් පසුව ග්‍රෙස්ව විවාහ කරගත්තා.

      Delete
    4. මට හරියට මතක නෑ, මැරෙනකොට විකාශය උනේ මොන නාට්‍යයද කියලා. වේදිකා නාට්‍යයක් වෙන්න ඕන කියලා හිතෙන්නෙ, මගේ හිතේ හොඳට කාවැදුනු දෙයක් තියෙනවා ධම්ම ජාගොඩයි මැණිකේ අත්තනායකයි සිංදුවක් හරි කවි හරි කියනවා මයික්‍රොෆෝන් දෙකක් ඉස්සරහ කොළේකින් බලාගෙන. ඒ වීඩියෝ කෙරුවාව මැදිරියක් ඇතුලෙ පටිගත කරපු එකක් නෙවේ. ස්ටේජ් එකක නාට්‍යයක් යද්දි කරපු එකක් වෙන්න ඕන.

      මට ඒක ගොඩක්ම මතක ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ධම්ම ජාගොඩගෙ ඥාති දුවෙක්, එයාව මාමා වෙන. අපි එයාට කිව්වෙත් ජාගොඩ කියලා. ඒ කාලෙ ධම්ම ජාගොඩව ටීවී එකේ දැක්කම පස්සෙන්දට අපි දුවන් ගිහින් එයාට කියනවා. ඒ ළමයා නම් කවදාවත් මාමා ගැන ලොකුවට කියන්න ආව කෙනෙක් නෙවේ. ඒත් ඔය මරණෙ දවස්වල ඉස්කෝලෙ ආවෙ නෑ.

      Delete
    5. @ කොළොම්පුරේ,
      දිමුතු මුතු එකේ හිටිය අනිත් නළු නිළියො ගැන එච්චර මතකයක් නෑ මට. ඒ මුල් කාලෙ ටීවී බැලුවෙ අහළ පහළ ගෙවල්වල ගිහින්. අපේ ගෙදර ඒ වෙද්දි ටීවී එකක් තිබුනෙ නෑ. එහෙන් මෙහෙන් අහම්බෙන් දකින්න ලැබුනු ඒවා තමයි මතක. වැඩිය රෑ වෙන්න කලින් යන ඒවා නම් හරියටම දවස, වෙලාව මතක තියාගෙන ඉඳලා කොහොම හරි බලනවා. ඒ කාලෙ දැන් වගේ දිනපතාම එකම ටෙලි නාට්ටිය ගියේ නෑනෙ. සතියට දවසයි.

      ස්තුතියි විස්තරේට කොළොම්පූර්.

      Delete
  4. බෙරහඬ සහ ජැක්සන් කියන්නේ ගහට පොත්ත වගේ! ජැක්සන්ගේ අතපය විසිකිරිල්ල ඒ යක්ස ගතියට හරියටම ගැලපුනා. ඒ වගේමයි මධුර ජවනිකා එකේ 'නෙයිනගේ සුදුව'. ඔහුට වඩා ඔබින කෙනෙක් නැහැ ඒ චරිත වලට. ඔහු හැබෑම නළුවෙක්! ( උගේ එළුවා කොටස මම මතක් කරන්නෙත් නැහැ, මට අදාළත් නැහැ)

    මමත් බෙරහඬ බැලුවේ ඔහොම රෙකෝඩ් කරපු එකක්. ඒ වගේමයි රාජකපුරුත් එහෙම බැලුවේ. තාරාවෝ ඉගිලෙති එකේ මම බලපු වර්ෂන් එකේ ජැක්සන් තමයි හිටියේ ද්විත්ව චරිතයේ එකකට. මේ ඔක්කොම බැලුවේ රේකොඩින්! හනේ මතක් වෙනකොටත් ආසයි.

    'හිරු දෙවිඳුගේ හරක් ගත්ත
    හරක් හොරා සොයාපියෝ....'

    මේ ගීතයත් මට කට පාඩම්.

    අන්තිමට බලනකොට මේ නාට්‍ය තුලින් මතුකරපු හාස්‍ය සත්‍යක් වෙලා. ( ඩිෆෙන්ඩරේ හප්පගෙන ගියපු කේස් එකත් එමමයි!!)

    රවී ලියලා තියෙන කළුවරේ ජරමරේ ත් මම බැලුවේ රෙකෝඩ් කරලා. හිනාවෙලා මැරෙනවා. මම හරි ආසයි ඒ හාස්‍යට. ටෙනිසන්ලා ; තිරිමාදුර ; ගිරිරාජ්ල දෙන හාස්‍යට වඩා ඒවා හරි ලස්සනයි ; ව්‍යන්ගයි...

    මම වේදිකා නාට්‍ය පිස්සියක් ඈ !

    ReplyDelete
    Replies
    1. මෙන්න ජැක්සන් සමග තවත් සුපිරි සෙට් එකක් රඟපාන ජයන්ත චන්ද්‍රසිරිගෙ 'අත්' නාට්‍යය තියෙනවා මෙතන. කැමති නම් බලන්න. ඒ කාලෙ බොහොම ජනප්‍රිය වේදිකා නාට්‍යයක්.

      https://www.youtube.com/watch?v=yA0YGNzancU

      Delete
  5. "බෙර හඬ"... සහ ඔය සිංදුව ලාවට මතකයි..... ඉස්සර නිතරම ගියා තමා නේද වේදිකා නාට්‍ය රූපවාහිනියේ.. කැළණි පාලම, හුණුවටයේ කතාව මම ආසම ඒවා...

    ගාමිණී සමරකෝන්ව කාලෙකින් දැක්කෙ නෑ...

    ReplyDelete
  6. හනික වරෙව් කියලා කිව්වාට හනික එන්න බැහැ මැණිකේ කරන්ට් නැහැ.කරන්ට් ආවම තමයි මේ ආවේ.

    ඔය කියන වේදිකා නාට්‍ය නම් මම බලලා නැහැ.මම ජැක්සන් ඉන්න එකම වේදිකා නාට්‍යක් විතරයි බලලා තියෙන්නේ ඒ නෙයිනාගේ සුදුව.
    මේ මෑත කාලයේ නම් ජනප්‍රිය වෙච්චි ගොඩක් නාට්‍ය බැලුවා."දෙයියොත් දන්නේ නැහැ,සිවම්මා ධනපාල,චරිතේ හොරු අරන්,බල්ලොත් එක්ක බැහැ,මල් වඩම් අනවශ්‍යයි" වගේ කිහිපයක්.

    ජැක්සන් ඉස්සර කරපු ගඟ දිගේ ,සලංහන්තේ වගේ රුපවාහිනි වැඩසටහන් එහෙමත් නියමයි."මහා සිංහලේ වංශකතාවත් හොඳයි.හැබැයි එකට ආපු ජේ.ආර්.පි සුරියප්පෙරුම නිසා ලොකු ආසාවක් ඒ වැඩ සටහන ගැන තිබ්බේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි! :D බොහොම ස්තුතියි දුවගෙන ආවට මනෝජ්. මට ඔය කියනකම් ඒ බවක් මතක් උනෙත් නෑ.

      අළුත් ඒවා නම් බලලාම නෑ. මෙහේ ගේනවා සමහර ඒවා නම්. අදටත් ජැක්සන් සිංදු කියන හරි අතීත කතා මතක් කරන හරි වැඩ සටහනකට ආවොත් මට පණිවිඩේ ලැබෙනවා අම්මගෙන්. කොහොම හරි හොයාගෙන බලනවා. හරිම ආසයි 'ඒ' අතීත කතා අහන්න. ලස්සනට පණ පිහිටුවලා කියනවනෙ.

      Delete
  7. @ ලිඛිතා,
    ජැක්සන්ගෙ රඟපෑම් ගැන නම් කියලා වැඩක් නෑ. දේශපාලන රඟපෑම උනත් එහෙම අති සාර්ථක නිසා වෙන්න ඇති වැඩි දෙනාට පේන්නම බැරුව ගියේ. මට හිතෙනවා මේ බෙර හඬේ ජැක්සන් රඟපාපු චරිතෙ රඟපාන්න එයාගෙ බාලම පුතාට දුන්නා නම් දැන්, තාත්තා වගේම ඒක කරාවි කියලා. ශරීරයත් කෝටුනෙ.

    තරාවෝ තමයි මං මුලින්ම රඟහලකට ගිහින් බලපු වේදිකා නාට්‍යය. මොකක් හරි හේතුවක් නිසා, අපි පෝලිමේ ඉන්දැද්දි එදා එතැනට ඇවිත් හිටියා ගුණදාස කපුගේත්. සුදු කලිසමයි, සුදු කුර්තා කමිසෙයි ඇඳගෙන හිටියෙ. මට මතකයි මිනිස්සු එයාව වට කරගත්තු හැටි.

    මේ කතාවෙ දේශපාලන හාස්‍යය අදටත් හරියන්න ලස්සනට දීලා තියෙනවා. මමත් වැඩි හරියක් වේදිකා නාට්‍ය බලලා තියෙන්නෙ රෙකෝඩ් කරපුවා තමයි. සහයට යන්න කෙනෙක් නැති කමට තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ගුණදාස කපුගේනේද තරාවෝ ඉගිලෙති music කරේ??

      Delete
    2. බොහොම ස්තුතියි ඇනෝ ඔත්තුවට. මේක දැක්කම සොයලා බැලුවා. එතකොට දැක්කා, ගුණදාස කපුගේ කියලා මියුසික් කරලා තියෙන්නෙ.

      Delete
  8. @ සෙන්නා,
    ඒ කාලෙ ගොඩක් වේදිකා නාට්‍ය එහෙම විකාශය කළා. සමහර ඒවා ඉස්කෝලෙ විභාගවලට තියෙන හින්දා පවා.

    ගාමිණී සමරකෝන් දැන් නම් රඟපාන්නෙ නැතුව ඇති. වයස ඇතිනෙ දැන්, ජීවතුන් අතර ඉන්නවා නම්. ඒ උනාට කවුරුවත් එයාව ඉන්ටවීව් කරලා තියෙනවාවත් දැක්කෙ නෑ, සෑහෙන කාලෙකින්. එහෙම පිටින්ම අමතක කරලා දාලා. ඒක නම් හරිම පව්.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලියන්න තියෙන කුලෑටිකම පේනවා බ්ලොගේ 2013 දි ලියන්න අරගෙන, තව අවුරුදු හතරකින් ලියන්නම් කියලා ලියලා, 2019 වෙනකොටත් එච්චරම උනාම. ඉතින් මොකේද ගුණ දොස් කියන්නෙ? :D

      පණාපුත්‍රගෙ ලිවිල්ලත් රසයි තමා. ස්තුතියි මතක් කළාට. ඉරිදා දිවයිනේද කොහෙද නේද පලවුනේ?

      Delete
  10. ගාමිණී සමරකෝන් මම කැමතිම නළුවෙක් යූ ආරියවිමල් වගේම.
    http://suratha.lk/sinhala/සුබ-උපන්දිනක්-වේවා-9/
    මේ තාරාවෝ ඉගිලෙති එකේ ඔරිජිනල් එක.බලන්නකො වෙනස
    <a href="https://www.youtube.com/watch?v=7rpnDXumi14>NEINAGE SUDUWA</a>

    https://www.youtube.com/watch?v=dllVtB5RSyQ

    ReplyDelete
    Replies
    1. ලින්ක් දෙකටම බොහොම ස්තුතියි බස්සා. අර ඔරිජිනල් එක කාලෙ තමයි මං බැලුවෙත්.
      අර ලිපිය 2013 ලියන කාලෙ වෙනකොටත් ගාමිණී සමරකෝන් ගොඩක් වයස පාටයි නේද? මට මතක් උනේ අමරසිරි කලංසූරියව. ඒ ලිපියෙ හැටියට දැන් එයාට අවුරුදු හැත්තෑවකට ළඟයි.
      මට හම්බවුනා එයාගෙ ෆේස්බුක් පේජ් එකකුත්. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ ඒකට දාපු ලින්ක් එකක් අනුව අපට ආයෙම එයාව දැක ගන්න පුළුවන් වෙන පාටයි. පහළ තියෙන ලින්ක් එක බලන්නකෝ.
      http://www.sundaytimes.lk/190120/magazine/shooting-of-rodneys-sudu-appachchi-completed-330538.html?fbclid=IwAR2TVPPwwZf1r9uQoXXj6Rl2QZV5V8A5AsyaaKAS2KsXpaiKmDHMBrPXtH0

      Delete
    2. ලින්ක් එක වැඩ නෑ. මේක බලන්න.
      http://www.sundaytimes.lk/190120/magazine/shooting-of-rodneys-sudu-appachchi-completed-

      Delete
  11. ගාමිණී සමරකෝන් බෙරහඬ නාට්‍යයේ රඟ පෑ බවක් මගේ මතකයේ තිබුණේ නෑ. ඔහු දැන් වසර දෙකකට පමණ පෙර අලුත් තාරාවෝ ඉගිලෙති නාට්‍ය කණ්ඩායම සමග සිඩ්නි නගරයට ආවා!

    ReplyDelete
  12. දෙවෙනි යකා තමයි රොඩ්නි වර්ණකුලසූරිය. හොඳට බලනකොට අඳුණා ගන්න පුළුවනි!

    ReplyDelete
  13. @ රසික සූරියආරච්චි,
    ඔව් කකා. මං දැක්කා එයාගෙ ෆේස්බුක් පේජ් එකේ ඒකෙ පෝස්ටරයක්. 2016 අගෝස්තු මාසෙ සිඩ්නි, මෙල්බර්න්, කැන්බරා, බ්‍රිස්බේන්, පර්ත් ස්ටේට්ස් පහටම ගිහින්. එහෙම එකක් ඇහුව බවක්වත් මට මතක නෑ.

    ඔව්, ඔව්. හොඳට බැලුවම අඳුනාගන්න පුළුවන් තමා. :D

    ReplyDelete
  14. "තාරාවෝ ඉගිලෙති " කැමතිම නාට්‍යයක් . සින්දු උනත් තවමත් හොන්දටම රස විඳිය හැකියි.

    ReplyDelete
  15. @ Ajith Dharma,
    ඇත්තමට අදටත් නාට්‍යය දැකලා නැති කී දෙනෙක් ඒ සිංදු රස විඳිනවා ඇද්ද...

    ReplyDelete
  16. අප්ඩේට් වෙන බ්ලොග් එකක් කාලෙකින් දැක්කේ. දිගටම ලියමු මේක.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  17. බෙර හඩේ ලිංක් දුන්නට බොහොම 🙏

    ReplyDelete
  18. බෙර හඩේ ලිංක් දුන්නට බොහොම 🙏

    ReplyDelete
    Replies
    1. ඇවිත් බලලා කමෙන්ට් එකක් දාලා ගියාට අමිලටත් බොහොම ස්තුතියි...

      Delete