
මට අවුරුදු අටක් විතර වෙන කාලෙ අර අපේ නුවණක්කාර නැන්දත් ගෙදර ඉන්න සමයක මමයි, අපේ ලොකු මාමගෙ දුව ගයනියි හොල්මන් කතා පොත් සොයාගෙන කියවන්න පටන් ගත්තෙ. ඕක අපේ අම්මට අහුවෙන්නෙ නැති වෙන්න තමයි කළේ. අම්මට අහු උනොත් පොත් ටිකත් ඉවරයි. මොකද කියවීමේ ආනිසංස වලට මුහුණ දෙන්න සිද්ද වෙන්නෙ වැඩිපුරම අම්මට. ඒ මදිවට රෑ ජාමෙට. ඒවා කියවපු කට්ටියට කාමරේකින් කාමරේකට තනියම යන්න බෑ. ගෙයින් පිට පැත්තට හදලා තිබ්බ වැසිකිළියට යන්න බෑ. නැන්දට අපිත් එක්ක යන්න කියන්නත් බෑ. උන්දැ අපිට වැඩිය බයයි. ඉතින් කොහෙද. කට්ටියට චූ බර වෙන, වෙන සැරේට අම්මට අදාල කෙනාව එස්කෝට් කරගෙන යන්න වෙනවා වැසිකිළියට. ඉතින් ඔය වෙලාවට ඔයාලා හිතන්නෙ අපේ අම්මා ජයමංගල ගාතා එහෙම කිය කියා ඔය ගමන අපිත් එක්ක යනවා කියලද? නෑ අනේ. ඒ වෙලාවට කියන්නෙ සොලෝක, සොලෝක! එහෙම ඒවා වෙලා තිබුනා අම්මත් දැනුවත්ව හොල්මන් කතා පොත් කියවලා. ඒ නිසා හොල්මන් කතා වලට තාවකාලික තහනමක් වැටිලයි තිබ්බෙ.