Total Pageviews

Thursday 30 August 2012

කේස් එක....



මේකත් මේ අර ගිය සැරේ කියපු ආයතනයෙම වැඩ කරන කාලෙ වෙච්චි දෙයක්.... 
ඒ කාලෙ අපිව අවුරුදු දෙකෙන් දෙකට සෙක්ශන් එකෙන් සෙක්ශන් එකට මාරු කරනවා.... මේ කියන සිදුවීම වෙච්චි දවස්වල මං වැඩ කරපු සෙක්ශන් එකේ හිටිය අයට බොහොමයක් වෙලාවට ආයතනයෙන් පිට යන්න වෙනවා එක එක වැඩ වලට.... දෙන්න තුන්දෙනා වගේම ගැන්සි පිටින් යන්න වෙන වෙලාවලුත් තිබ්බා.... ඒකෙ කස්ටමර් සර්විස් එකක් නැති නිසා සමහරදාට උදෙන් පිටත් උනාම එන්නෙ හවස, පාං කියා ගන්නවත් බැරුව.....

මෙතැන වැඩ කරපු කිහිපදෙනා අතරෙ හිටියා රංජිත් කියල අවුරුදු හතළිස්පහක් විතර පෙනුම තියෙන මනුස්සයෙක්.... පොර ළඟට එනකොට කට්ටිය ටිං ගාලා මාරු වෙන බව මට මෙතැනට ආපු මුල් දවස්වලම තේරිලායි තිබ්බෙ.... ඒත් ඒකට හේතුවක් නම් මට හිතාගන්න බැරි උනා.... ඕක අහන්න ගිහින් කොතනින් පත්තු වෙයිද කියල දන්නෙ නැති හින්දා මාත් නොදැක්කා වගේ හිටියා....

ඔන්න දවසක් රංජිත්ගෙ කේස් එකකට එළියට යන්න ලොක්කගෙන් අවසර අරගෙන ආයතනයෙ වාහනයකුත් ලැහැස්ති  කරගෙන එනකොට එකට වැඩ කරන පිරිමි පරාණ ටික වාෂ්ප වෙලා..... අනේ ඉතින් මේ මනුස්සය එහෙට දුවනව, මෙහෙට දුවනවා වැඩේට යන්න සහයට ඩැනී කෙනෙක් හොයාගන්න.... පැය කාලක් විතර දඟලලාත් පොරට බැරි උනා එකෙක් අල්ලගන්න.... බැරිම තැන මිනිහා ඇවිත් මට කතා කළාම, කේස් එක මොකක්ද කියලාවත් නොදැනම  මං එකඟ උනා යන්න.... ඒ වෙනකොට මට පොර ගැන පව් කියලා හිතිලයි තිබ්බෙ....

ඉතින් අදාල ස්ථානයත් වැඩි කරදරයකින් තොරව සොයාගෙන, ඒ ගෙදරට දාල තිබ්බ පත ගේට්ටුව ළඟට ගිහින් කිහිප වතාවක් බෙල් එක ගැහුවත් නෑ කිසිම ප්‍රතිචාරයක් ගෙදර ඇත්තන්ගෙන්..... දැන් රංජිත්ට මළ පැනලා.... මිනිහගෙ මූණ දැක්කම මට හිනා යනවා.... මං හිනා වෙනකොට මිනිහට තවත් තරහයි.... ඒ ගමන ගැහුවෙ නැද්ද පොර පයින් පාරක් අර ගේට්ටු පතේට.... හම්මා... හෙන ගැහුව වගේ සද්දයක් ආව.... ඒ සද්දෙත් එක්ක කොහෙද හිටපු බලු තඩියෙක් බුරාගෙන ආවෙ නැතැයි අපි දිහාට.... ඌව දැකපු ගමන් රංජිත් කෑ ගැහුවා, 'මියුරුවෝ දුවපං.... ඕකා කයි...' කියලා... මං පස්ස හැරිලා බලනකොට රංජිත් පාර දිගේ දුවනව හිටු කියලා.... ඒ ඇති මට.... මාත් උස්ස ගත්තා දෙපැත්තෙන් සාරිය ටිකක් උඩට... දිව්වා රංජිත්ගෙ පස්සෙන්.... බලු තඩිය එනව කඟවේනා වගේ.....එතකොටම වගේ පාර දිගේ යන්න ආව බයිසිකල්කාරයෙක්... මනුස්සයා තරඟෙට දුවන අපි දෙන්නාවයි, බලු රාලයි දැක්ක ගමන් කෑ ගැහුවා, 'දුවන්න එපා... හෙමිහිට නවතින්න...' කියලා. එතකොට මටත් තේරිලායි තිබ්බෙ දුවලා වැඩක් නෑ කියල... මාත් ඇස් දෙක පියාගෙන එහෙම්ම නැවතුනා.... ඒත් රංජිත් නෙවේ නැවතුනේ....

මෙන්න බොලේ මං නවතිනව දැකපු බලු රාළත් ගියර් එක මාරු කරලා, බ්‍රේක් ගහලා නැවතුනේ නැතැයි ටිකක් ඈතින්.... උගේ බලු ආතල් එක නැති උනාද කොහෙද..... එතකොටම වගේ එතැනට ආපු බයිසිකල්කාරයා ගල් ගෙඩියක් අරගෙන ඌට දමා ගැහුවම මේ දුවන්නෙ බලු වීරයා නගුට පශ්චාත් භාගයේ ගහගෙන..... 'මේ දඩාවතේ යන වල් බල්ලෙක් මිස්... අපරාදෙ මිස්ලා දිව්වෙ... ඌ පැන්නුවෙ ඕගොල්ලො දුවපු නිසා...'
'එතකොට ඌ අර ගෙදර බල්ලා නෙවෙයිද...' මං අර ගේට්ටුව පැත්තට අත දික්කරලා ඇහුවා...
'අපොයි නෑ..' කියලා ඒ මනුස්සයා හිනා උනා.... සික්...

ඔන්න මට එකපාරටම මතක් උනා රංජිත්ව.... මිනිහා පේන මානෙකවත් නෑ..... මං බයිසිකල්කාරයට කිව්වා 'අනේ පොඩ්ඩක් බලනවද අර පාර දිගේ දුවපු මහත්තයව අල්ලගන්න පුළුවන්ද කියලා...'
'මිස් එහෙනම් මෙතැනම ඉන්න....' කියපු මනුස්සයා ගියා රංජිත්ව හොයන්න...
මෙන්න විනාඩි දහයකට විතර පස්සෙ රංජිත් එනව අර මනුස්සයත් එක්ක බයිසිකලේ නැගලා.... ඒක දැකපු මට මැරෙන්න හිනා.... 
'මං යනකොටත් මහත්තය තාම දුවනවා මිස්....' බයිසිකල්කාරයා කට කණේ තියන් කිව්වා.... 



ආපහු ඔෆිස් එකට ඇවිත් සිද්දිය කිව්වම කට්ටිය හිනා උනා බඩවල් අල්ලගෙන... රංජිත්ට කාඩ් කෝටියයි.... අහක හිටපු මටත් එච්චරයි....
'ඕකනෙ අපි රංජියගෙ වැඩවලට ගෑවෙන්න නැත්තෙ....' කියලා එකෙක් කියනකොට මට තේරුනා කට්ටිය වාෂ්ප උනේ ඇයි කියලා උදේ.....
'මෙහෙ දීපං ඔය ෆයිල් එක... මොකක්ද කේස් එක...' කවුරු හරි බලහත්කාරයෙන්ම වගේ ෆයිල් එක අරගෙන බැලුවා.... 'අඩේ, උඹ ඇපොයින්ට්මන්ට් එක දාල තියෙන්නෙ අදට නෙවෙයිනෙ... ලබන බදාදටනෙ...' 

'කෝ...' රංජිත් ෆයිල් එක උදුරගෙන ආපහු බැලුවා....
අනිත් උන් ටිකත් ගිහින් ඌට උඩින් නැමුනා...
'මේ බං... අද නෙවේනෙ....'
'ඔව් නේන්නං...' අන්තිමට රංජිත් පිළිගත්තා....
මට ඌව මරන්න හිතුනා.... 



Sunday 19 August 2012

මකියගෙ පස්ස.........

මේ සිදුවීම උනේ අර මං කලින් කියල තියෙන මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ, පිරිමි රාජධානියේ සේවය කරපු කාලෙ.... මං ටිකක් විතර කියල තියෙනවනෙ එතැන හිටපු එකම ගෑණු පරානෙ මං හින්දා මොනතරම් සීරුවට නූලට වැඩ කරන්න සිද්ද උනාද කියල ඒ කාලෙ.... මං විතරක් හිටපු එකෙන් අපේ පිරිමි සෙට් එක නම් පුදුම විදියට ආතල් ගත්තා මාව බයිට් කරලා.... ඒ සෙක්ශන් එක උපරිම විදියට කස්ටමර් සර්විස් තිබ්බ තැනක්.... කස්ටමර්ස්ලත් 100%ක් වගේම පිරිමි.... හරිම කලාතුරකින් තමයි ගෑණු පරාණයක් ආවෙ.... පිරිමින්ගෙම ලෝකයක්....

ඒ දවස්වල උදේ හවස අපට පොතක් තමයි අත්සන් කරන්න දාල තිබ්බෙ.... දැන් නම් ඒව වෙනස්වෙලා.... ඔය පොත අත්සන් කරන්නවත් මට නැවෙන්න බෑ ඒ කාලෙ.... ඉතින් මෝල් ගහ වගේ කෙලින් හිටගෙන තමයි ඕන මගුලක් කියල අත්සන ගහන්නෙ.... ඔතැනට ගිය අළුත දවසක් හෑන්ඩ් බෑග් එක පැත්තකින් තියලා අත්සන් කරලා ඔළුව උස්සලා බලනකොට ඒක ආ ගිය අතක් නෑ.... ඒ වෙනකොට කස්ටමර්ස්ලා ඇවිල්ලත් නෑ.... මං පණ යනකම් පුළුවන් තැන්වල හෙව්ව හෙව්වා, කට්ටියගෙන් ඇහුවා හොරාගෙ අම්මගෙන් පේන අහන්න වගේ...ම්හු... මට දැන් ඇඬෙන්නත් එනව.... මගේ සබ්බ සකලමනාවම ඒක ඇතුලෙ.... මෙන්න දහයහමාර විතර වෙනකොට අපේ ඩිරෙක්ටර් මහත්තයෙගෙන් පණිවුඩයක් එනවා එයාගෙ ඔෆිස් එකට එන්න කියලා.... එපාර ඒ මොකක්ද හෙන පතේ කියල හිතාගන්න බැරුව මාත් ඇදි ඇදි ගියා ඒ පැත්තට බොක්කෙ බිත්තර තම්බ තම්බ.... මට ඇහැ කොණින් පෙනුනා සමහරු මූණවල් හංගගෙන හිනා වෙනවත් වගේ.... ලොක්කගෙ කාමරේ තිබ්බෙ උඩ තට්ටුවේ... මං යන ගමන් කා.කා.ස. උන්නැහේගෙන් ඇහුව ලොක්ක කතා කරන්නෙ මොකටද කියා දන්නවද කියල... ඌ 'අනේ මන්දන්නෑ මිස්..' කියලා හිනාවෙලා නිකම් හිටියා.... මං ගිහින් කාමරේට ඇතුළු වෙනකොටම දැක්කෙ මොකක්ද.... ලොක්කගෙ මේසෙ උඩ දිලිහි දිලිහි තියෙන මගේ හෑන්ඩ් බෑග් එක.... මට හිතාගන්න බැරි උනා ඒක කොහොම එතැනට ගියාද කියලා....

'මේ බෑග් එක මිස්ගෙ වෙන්නැති නේද?'
ලොක්කා බෑග් එක පෙන්නල ඇහුවා....
'අනේ ඔව් සර්... මං දන්නෑ ඒක කොහොම මෙතැනට ආවද කියල...' මොනව කියන්නද කියලා හිතාගන්න බැරි වුනු හින්දා මං මෝඩ හිනාවක් දාල කිව්වා....
'ඔය නිකම් තියෙනකොට ඇවිදගෙන එන්න හිතෙන්නැති...' ලොක්ක කියපි...
'ඒකට ඇවිදන් එන්න හිතිල තියෙන්නෙ සර්ගෙ මේසෙ උඩටමනෙ' කියල කියන්න හිතුනත් මං කට පියාගෙන බෑග් එකත් අරන් ආපහු හැරෙනකොට ඉස්සරහ වීදුරුවෙන් දැක්ක ලොක්කා එක අතකින් ඇස් දෙක වහගෙන මේසෙ දිහා බලන් හිනාවෙනව.... සික්...වස නෝන්ඩිය... ඔක්කොටම වැඩිය නෝන්ඩියි වැරදිලාවත් බෑග් එක ඇරල බැලුව නම් හෙම.... ඒකෙ තිබ්බ එව්වා... හපොයි.... මං බෑග් එකත් කිහිලි ගන්නගෙන ආපහු සෙක්ශන් එකට එනකොට ඔක්කොම ඉන්නව හිනා වෙවී බලාගෙන... ඒ උනාට මගේ තරහෙන් පිපිරි පිපිරි තිබ්බ මූණ දැකපු ගමන්ම කට්ටිය ටිං ගාල පුටු හරෝගෙන තම තමුන්ගෙ මේසවලට නැමුනා.... එකෙක්වත් ඇහුවෙ නෑ මොකද උනේ කියලවත්.... මං සද්දෙ ඇහෙන්නම බෑග් එක ලාච්චුවට දාල දඩස් ගාලා වැහුවා.... එදායින් එදා මං නෙවෙයි ලාච්චුවට දාල ලොක් කරන්නෙ නැතිව හෑන්ඩ් බෑග් එක තිබ්බෙ....


ඔය කාර්යාලෙ හිටියා අපිත් එක්ක වැඩ කරපු මනුස්සයෙක් මකීම් කියලා.... පොර නියම කාලගෝල කෙනෙක්... වයස පණහකට වැඩි ඇති.... ඇෆ්‍රිකන් කළු... යටි තොල් බරිය එල්ලෙනවා.... මහතයි... කොටයි.... පොර නිතරම වගේ ඇන්දෙ තැඹිලි පාට කලිසමක්.... මිනිහට තිබ්බා මහා පත පස්සක්.... මොනතරම් සල්ලි තිබ්බත් පොර වැඩට ආවෙ මලකඩ කාලා කෑලි හැලෙන සයිස් එකේ පරණ කාර් ලඩියකින්.... මිනිහා කරපු වැඩක් තිබ්බෙ නෑ.... කාගෙ හරි මේසයක් ළඟට පුටුව ඇදගෙන ඕපදූප කියෙව්ව එක තමයි වැඩිපුරම කළේ.... මේ කියන දවස්වල මම වැඩ කරපු සබ් සෙක්ශන් එකේ හිටියෙ අට දෙනයි.... ඒකෙ මේස පුටු ඇරේන්ජ් කරලා තිබ්බෙ හෝර්ස් ෂූ එකක් විදියට.... මම හිටපු පැත්තෙ අපි හතර දෙනෙකුගෙ මේස බිත්තිය අයිනෙන් තියලා අපි වාඩිවෙලා හිටියෙ මේ  හෝර්ස් ෂූ එක ඇතුළු පැත්තෙන්.... මම හිටියෙ එක පැත්තක මුලම.... මකිය හිටියෙත් ඇතුළු පැත්තෙ මැද.... කවුරු හරි කතා කරපු ගමන් පුටුව ඇදගෙන එතැනට යන්න ලේසියිනෙ....


දවසක් මොකක්දෝ ඩොකියුමන්ට් එකක  තිබ්බ වැරැද්දක් සොයා ගත්තු මගේ කෙලින්ම අනිත් පැත්තෙ හිටපු රාජිත, ඒ කොලේ උස්සලා මට පෙන්නුවා...
'මියුරු, මේ බලන්නකො...'
ඒක ඒ මනුස්සයගෙ කටින් පිට වුනා විතරයි මකිය වැහුව එතැනට.... පුටුව එහෙම්ම දාල මිනිහා ගිහින් නැවුනා රාජිතගෙ මේසෙ උඩට....
'දැක්කද...?' රාජිත ආයෙම ඇහුවා...
 මං ඔළුව දාල බැලුවට මට පෙනුනෙ මකියගෙ තැඹිලි පාට කලිසමින් වැහිච්චි රාජපස්ස විතරයි....
'කොහෙද... මට පේන්නෙ පත වට්ටක්ක ගෙඩියක් විතරනෙ...' මං කිව්වා...
ඒක ඇහුනු මට අනිත් පැත්තෙ හිටපු උපාලි, මේසෙක ගැට්ටකින් කැඩිලා අයින් කරලා එයාගෙ මේසෙ අයිනෙන් තියලා තිබ්බ පටිය අරගෙන, උඩ තියාගෙන හිටපු මකියගෙ පස්සට ඇන්නා 'අයින් වෙය...' කියල....
අනේ අර පට්ට ගහ ගහ ඇඳලා බාගෙට දියවෙලා තිබ්බ කලිසමට ඒ ෂොට් එක දරා ගන්න බැරිවද කොහෙද ඒක මැද මූට්ටුවෙන් පැලුනෙ නැතැයි.... මකිය දුන්න වගේ අනිත් පැත්තට නැවිලා 'හේයි..' කියලා අත් දෙකෙන්ම පස්ස රාජයා වහගන්න දැඟලුවා.... ඒත් එතකොට දකින්න ඕන කට්ටිය දැකලා ඉවරයි....හයියෝ... මට හිනා ගිහින් දඟලපු පාර රෝද පුටුවත් පෙරලගෙන මං වැටුනෙ නැතැයි බිම පසඟ පිහිටුවාගෙන..... සිකේ.... හතර විලි ලැජ්ජාවයි.... මං දඩ බඩ ගාල නැගිටගන්න හැදුවත් නැගිටගන්න බැරි වුනා, සාරි පොටේ කොණක් පුටුවෙ රෝදයක් අස්සෙ හිරවෙලා.... අන්තිමට කොහොම හරි නැගිට්ටා සාරි පොටින් පුටුවත් උස්සගෙනම.... කට්ටිය ඕකට මට හිනා වෙන අතරෙ මකිය හෙමින්ම මාරුවෙලා.... ඌ ආගිය අතක් නෑ....

අනේ ඉතින් ඔක්කොම වෙන්නෙ මටමනෙ කියල හිතාගෙන හැමෝගෙම හිනාවට ලක්වෙවී දවස ගත කරලා, පස්සෙන්ද ඇවිත් උදේ පොතේ අත්සන ගහනකොට කට්ටියගෙ මූණුවල අමුතු හිනාවල්... කසු කුසු කුට්ටම් හැමතැනම... ඇයි යකෝ... එපාර මොකක්ද කිය කියා හිත හිතා ඉන්නකොට කා.කා.ස. උන්නැහේ හොරෙන් හොරෙන් මට ඇඟිල්ලෙන් පෙන්නනවා නෝටිස් බෝර්ඩ් එක....
හනේ මට මැරෙන්න හිතුනා.... කවුදෝ ඒකෙ චිත්‍රයක් ඇඳල එල්ලලා කලිසම පැලිලා එලියට ආපු හෙළු පත පස්සකට, බිම වැටිලා  පසඟ පිටුවාගෙන වැඳගෙන ඉන්න ගෑණු පරාණයක්ව....


Tuesday 14 August 2012

නිල ඇඳුමේ රඟ.....

හැමදාම උදේට පොඩි උන් දෙන්නා ඉස්කෝලෙ යවන්න ලැහැස්ති කරනකොට මට නිතරම මතක් වෙන්නෙ අපි පුංචි කාලෙ ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙච්චි හැටි.... පාසැල් නිල ඇඳුම නිසා අපි වින්ද වදයක්... තවමත් එහෙම වෙන්න ඇති.... 

සුදු ගවුම් අයන් කරන එක තරම් පෙන්නන්න බැරි වැඩක් මට තවත් නෑ ඒ දවස්වල.....මොන තරම් පරෙස්සමින් ලස්සනට රැලි තියලා අයන් කරලා ඇඳන් ගියත් එක පාරක් කොහේ හරි වාඩිවුනු ගමන් ඒ ඔක්කොම ඉවරයි.... අනේ අර මහන්සිය.... ඒ මදිවට අපට තව යුද්දයක් තිබුණා..... ඉස්කෝලෙ යන්න හැතැප්ම දහයක් විතර බස් එකෙන් යන්න තිබ්බ නිසා ගොඩ වෙලාවට බස් එකේ පළවෙනි ගමනෙදි තමයි අපට යන්න වෙන්නෙ.... අනේ ඉතින් අර ලස්සනට රැලි තියාගෙන සුදට සුදේ ඇඳන් යන ගවුම ඔක්කොම ඉවරයි, ඒ බස් එකක කල්ප කාලෙකින් වතුර පොදක් නොදැකපු සීට් එකක වාඩි වුනු ගමන්.....අර සීට්වල තියෙන කුණු දහ ජරාව ඔක්කොම එක්කො පිටේ සීල් තියලා, නැත්නම් සායෙ..... අනේ ඉතින් මතක ඇතුව පත්තර කෑලි අරන් ගිහින් සීට් ඌරච්චි කරලා තමයි ඒවයෙ වාඩි වෙන්නෙ.... එහෙම කළත් හේත්තු වෙන්න බෑ....

ඊට පස්සෙ ඉතින් හවස ආපහු එනකොට අර චිරිබිරිච්චි වෙච්චි බස් එක ඇතුලෙ එක එකාගෙ කිහිළි අස්සෙ රිංගලා තනි අණ්ඩෙන් හිටගෙන ඇවිත් ගෙදර එනකොට හොඳ පුස්ඹ.... තමුන්ගෙ දාඩිය විතරක් නෙවෙයි අනිත් උන්ගෙ ඒවත් අරන්නෙ එන්නෙ....දවසක් ඔහොම අපි තුන්දෙනා එනකොට අහම්බෙන් වගේ තාත්ත ගෙදර.... තුන්දෙනා සුවඳ ගහගෙන ගෙට ගොඩ වෙනකොට තාත්තගෙ නහය කඩල යන්නැති... එදාම අම්මට ඕඩරේ දවස් පහට අඳින්න සුදු ගවුම් පහ ගානෙ මහල දෙන්න කියලා.... එතකම් තිබ්බෙ එකාට දෙක ගානෙ... කොට වෙච්චි, පරණ වෙච්චි තුන්වෙනි එකක් පැත්තකින් තිබ්බ.... ඒක ඇන්දෙ නෑ ස්ටයිල් එකට මදි හින්දා..... අළුත් ගවුම් ආවට පස්සෙ ලස්සනට ඇඳන් ගියාට අලි මදිවට හරක් කිව්ව වගේ සති අන්තෙ හෝදපල්ලකො සුදු ගවුම් පහක්.... ඒ විතරක්යැ... අයන් කරන්නත් එපැයි.... ඒ දවස්වල සුදු ඇඳුම්වලට නිල් දාන එක ගැන අම්මා ඇහැ ගහගෙන නොහිටියොත් අපේ සූටි නගා නම් ඊට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ රොබින් කුරුල්ලා වගේ..... අපි හිනාවෙනකොට රණ්ඩුවෙලා අඬලා තමයි පිටත් වෙන්නෙ....

ඒ ඔක්කොමත් හරි...සපත්තු..!! අපි ඒ දවස්වල දැම්මෙ සුදු පාට කැන්වස් සපත්තු... පස්සෙ කාලෙක නම් ඒව වෙනස් උනා.... හප්පොච්චියේ.... සුදු ගවුම් හේදිල්ලත් හරි, සපත්තු සුද්ද කිරිල්ලත් හරි..... ඒවා දාපු අය දන්නව ඇති රඟ.... සුද්ද කරලා, පයිප්ලේ උලල සුදු පාට කරලා, වේලලා.... අනේ ඒ අතින් දැන් ළමයි මොනතරම් වාසනාවන්තද..... ඒ මොනව කළත් එක පාරයි බස් එකේ යන්න ඕන.... බහිනකොට නොයෙකුත් පාටවල්..... ඒක දකිනකොට ඉතින් කකුළ් පාගපු උන්ට හිතෙන් %&$ කිය කියා තමයි යන්නෙ....

ඔන්න ඔය කාලෙ ආව අළුත් සපත්තු ජාතියක් 'නෝර්ත් ස්ටාර්' කියලා.... දන්න අයට නම් හිනාවක් යන්න ඇති නම කියවනකොට..... සුදු කරන්න ඕන නෑ, පණ යනකම් උලන්න ඕන නෑ.... ඉතින් මාත් ගත්ත පැන්න ගමන් ඔයින් දෙකක්.... ආයිස් අප්පා සනීපෙ.... මෙන්න බොලේ සති දෙකක් විතර යනකොට තමයි ප්‍රතිඵල එන්න පටන් ගත්තෙ.... ගෙදර ගිහින් සපත්තු දෙක ගලවල ඉන්නකොට ටික ටික නහය කඩල යන සුවඳක් එන්න පටන් ගත්තා.... වැඩේ තව ටිකක් නැගලා යනකොට අම්ම මට ඕඩර් කළා සපත්තු දෙක එළියෙ ගලවලා අව්වෙන් තියලා ගෙට එන්න.... හප්පට සිරි... අන්තිමේදි මට කකුල් සබන් දාල හෝදගන්නෙ නැතුව ගෙට එන්නත් තහනම්....ඒක තවදුරටත් සාර්ථක වෙච්චි පාර මට රෑටවත් සපත්තු දෙක ගෙට ගන්න තහනම් උනා.... අන්තිමට දවසක් උදේ බලනකොට එක සපත්තුවයි තියෙන්නෙ.... අනික බලුවහන්සෙ කෙනෙක් වළඳලා කරවල කියල හිතාගෙන.....

Sunday 12 August 2012

කාලෙකට පස්සෙ.....

සෑහෙන කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.... ඇත්තටම ලියන්න විතරක් නෙවෙයි, කියවන්නත් ආවෙ වස කම්මැලිකමක්.... තව පෞද්ගලික වැඩත් එක්ක ලියන එක තව තවත් පහු උනා.... නොලියා ඉන්නකොට ලියන්න හිතෙන්නෙම නෑ.... පහුගිය කාලෙ බලන්න නොලැබුනු ලිපි බොහොමයක් තියෙනවා.... යන්න ඕන ඒ පැතිවලත්... මෙහෙම කාලයක් වල් වැදිලා තිබිලා ආයෙ පටන් ගන්නකොට වැඩ ගොඩයි... කවුරුවත් අමනාප නැතුව ඇති කියලා හිතනවා.... මං ගැන සෙව්ව බැලුව අයටත් ගොඩාක්ම ස්තුතියි හොඳේ....

ඊයෙයි, පෙරේදායි ඔබා මාමා වෙනුවෙන් බණක් කියවලා දානයක් දුන්නා පවුලේ කට්ටිය.... මාසයකට කලින්ම නිවාඩු දාලා සැදී පැහැදී හිටියත් අන්තිමේදි ෆ්ලූ එක හැදිලා ඇඳටම වැටුනා මම... මහත්තයා තමයි නියෝජිතයා උනේ... සියළුම බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔබා මාමාට පිං සලකා හාමුදුරුවන්ට පිරිකර පූජා කළා අපිත්.... මේ අවස්ථා දෙකටම විශාල පිරිසක් සහභාගි වුනු බවයි දැනගන්න ලැබුනෙ... ඔබා මාමගෙ පිණටද කොහෙද ඒ දවස් දෙකම හොඳට වැස්ස නැතුව තිබුණා... ඔය අද පාන්දරම පටන් අරන් තියෙන්නෙ පළාතම අඳුරු කරන්, සුළඟත් එක්ක....

ඉතින් එහෙනම්..... හමුවෙමු ආයෙ ඉක්මනින්ම..... :D