Total Pageviews

Monday, 24 February 2014

එලයිසා....


හරි නම් මේ එලයිසාට පර්ත්වල හොඳම ඇඳුම ඇඳපු එක්කෙනාට හිමි තෑග්ග නිතර ලැබෙන්න ඕන... මෙල්බර්න් කප් එක දවසෙ ලස්සන ඩිසයිනර් ගවුමක් ඇඳලා තොප්පියකුත් දාලා ෂැම්පේන් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න ඈ, ඕස්ට්‍රේලියන් දිනය දවසට ඕස්ට්‍රේලියන් කොඩිය දවටගෙන දිනයට අදාල වැකි සඳහන් පුවරු ඔසවාගෙන ඉන්නවා... පර්ත්වල ප්‍රධාන බයිසිකල් රේස් එක තියෙන දවසට බයිසිකල් එකකුත් උස්සගෙන ඒකට සහයෝගය පල කරනවා... මේ විදියට එයාගෙ කෙටි ජීවිත කාලය ඇතුලත එයා පර්ත්වල ප්‍රධාන කොටසක් බවට පත්වෙලා ඉවරයි...

බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරය තුල එහා මෙහා යනකොට එක එක විදියේ ප්‍රතිමා දකින්න ලැබෙනවා... ඉන් එකක් තමා මේ එලයිසා කියන පිහිනන්න සූදානමින් දෑත ඉදිරියට දිගු කරන් වතුරට පනින්න වගේ සිටින කාන්තාවකගෙ ප්‍රතිමාව.... මේ මොහොත වෙනකොට නම් එයා ඉන්නෙ ඔය උඩ පින්තූරෙ පේන්වා වගේ ලොකු පුංචි කුරුල්ලන්නගෙ වසුරු පෙරාගෙන...

ටෝනි ජෝන්ස් තාත්තා සහ බෙන් ජෝන්ස් පුතා විසින් නිම කළ මෙය, මහජනතාවට විවෘත කළේ පර්ත්වල ලෝඩ් මේයර් විසින් 2007 ඔක්තෝබර් 15 වැනිදා...


මේක තියෙන්නෙ ස්වෝන් ගඟේ කලින් පෝස්ට් එකේ දාපු Perth Brewery එක කිට්ටුව... .... (මේ ගඟ ගැන පොඩි හඳුන්වාදීමක් කලින් දාපු රජ්ජුරුවන්ගේ උයන පෝස්ට් එකෙන් කළානෙ...) University of Western Australia වලට බොහොම ආසන්නව...ලස්සන වැඩේ කියන්නෙ ඔය විශ්වවිද්‍යාලයේ ළමයිනුයි, එක එක ජෝක් කාරයොයි එකතුවෙලා කාලෙන් කාලෙට මේක එක එක විදියට සරසන එකයි... සමහර වෙලාවට මේ එලයිසා ඇඳගෙන ඉන්න ඇඳුම්වල තේරුම පෞද්ගලික එකක් වෙන්න පුළුවන්... ඒක දන්නෙ කුඩා කණ්ඩායමක් විතරයි... සමහර දවස්වලට කරලා තියෙන වැඩ දැක්කම හිනාවෙලා පණ යනවා... ඔය ප්‍රතිමාව තියෙන්නෙත් ගොඩබිමින්  මීටර් 15 ක් විතර ඈතට වෙන්න... ඒ හරියෙ වතුර ගැඹුරු නිසා ඕක පයින් ඇවිදන් ගිහින් කරන්නත් බෑ... බෝට්ටුවකින් වෙන්න ඕන ගිහින් කරන්නෙ... ඔය පහළින් තියෙන්නෙ ඒ වගේ අවස්ථාවල් කිහිපයක්...


මේ එලයිසා පර්ත් බයිසිකල් රේස් එකකට සහය පල කරපු අවස්ථාවක්.


ගිය අවුරුද්දෙ අවසන් වටයට තේරුනු ඩොකර්ස් ෆුටි ක්ලබ් එකට සහාය


Breast Cancer Support - Purple Bra Day


එසෙන්ඩන් ෆුටි ක්ලබ් එකේ පුහුණුකරු ජේම්ස් හර්ඩ් ට සහය පල කරමින්


කාගෙ හරි වෙඩින් එකක් වෙන්න ඇති


විලියම් සහ කේට්ගේ රාජකීය මංගල්ලය දවසේ


මෙන්න මේ සයිට් එකට ගිහින් තව ටිකක් බලා ගන්න පුළුවන්...
http://www.randomperth.com/

මේ එලයිසා ප්‍රතිමාවට පොඩි ඉතිහාසයකුත් තියෙනවා... පර්ත් සිටි කවුන්සිල් එක විසින් මේක හදලා තියෙන්නෙ පර්ත් නගරයට අහිමිව ගිය ස්ථානයක් සිහිපත් කරන්න...  මේ එලයිසා හිටගෙන ඉන්න ස්ථානයේ තමයි තිබිලා තියෙන්නෙ  Crawley Bath කියන මිනිස්සුන්ට නාන්න හදලා තිබුණු ස්ථානය... ඒක විවෘත කරලා තියෙන්නෙ 1914දි... මේක ඒ කාලෙ  පර්ත් නගරය තුල ජීවත් වුනු මිනිස්සුන්ට විනෝදය සපයන ස්ථානයක් වෙලා තිබිලා තියෙනවා... මුලින්ම හදපු කොටසේ ඇඳුම් මාරුකරන්න පුළුවන් dressing boxes 106 කුත්, විශාල පාවෙන තාවකාලික පාලම් (pontoons)දෙකකුත්,  spring diving boards ගණනාවකුත් මේකට අයත් උනාලු... ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව අතර වැදගත් හමුවීම් මධ්‍යස්ථානයක් වුනු මෙය, ළමයින්ට පිහිනීම උගන්වන ස්ථානයක් විදියටත් ක්‍රියා කරලා තියෙනවා... ඒත් අතීත උරුමයන් ආරක්ෂා කරන නීති රීතිවලට රැක ගන්න බැරි වුනු මෙම ස්ථානය පසු කාලීනව1964 දි විනාශ කර දමා තියෙනවා...

මේ පහළ පින්තූරෙන් පෙනෙන්නෙ 1918 දි මෙතැන තිබුණු විදිය...




Public baths, Riverside Drive, Perth. Date unknown.

මේ දැන්.. ඔය දකුණු පැත්තෙ ඈතින් පේන්නෙ එලයිසා...


පින්තූර ගත්තෙ මේ තැන් වලින්...
http://www.abc.net.au/news/2013-02-14/the-statue-titled-eliza/4519142 
http://perthdailyphoto.blogspot.com.au/2011_07_01_archive.html
http://www.flickr.com/photos/merufumoto/6168432055/
http://jobanksjo.wordpress.com/
http://bomberblitz.com/forums/index.php?/topic/123-standbyhird/
http://www.newforms.com.au/www/content/default.aspx?cid=737

ඒ වගේම පර්ත් නගරය මැද තියෙනවා කැන්ගරුවන්ගෙ ප්‍රතිමා කිහිපයක්.. පහළ තියෙන පින්තූරෙ තියෙන්නෙ ඉන් කොටසක්.... දවසක් උදේ මං සිටි එකට යනකොට කවුරු හරි ඔය කැන්ගරුවො ඔක්කොටම කණ්නාඩි දාලා... මට හිනා වෙලා පණ ගියා මිසක් පින්තූරයක් ගන්න මතක් උනේ නෑ... ආපහු එතැනින් යනකොට කවුන්සිල් එකෙන් වෙන්නැති ඔක්කොම අයින් කරලා තිබුණා... අපරාදෙ...


http://granbytravels.wordpress.com/2013/04/20/day-39-fremantle-and-perth-australia/




Monday, 17 February 2014

පරෙස්සමට තිව්ව දේ....

http://www.livinggreener.gov.au/lifestyle-guides/home-entertainment-technology

කියවන අයට මතක නම් මගේ අර අරිෂ්ඨ කතාවයි, ඉදිකට්ටෙ කතාවයි, ඔන්න මේ සිද්දිය උනෙත් ඒ බෝඩිමේදිමයි... ඉදිකට්ට පෝස්ට් එකට කමෙන්ට් කරපු රාජ් මෙහෙමත් කිව්වා... "මියුරු, අපි සල්ලි එකතුකරල වියදම එවන්නං. ඔයා ආයෙත් ඒ බෝඩිමට ගිහිල්ල ඉදගෙන සිද්ධවෙන කතා ටික පෝස්ට් කරන්න. හොදයිනේ........" එච්චරටම හොඳයි වෙච්චි දේවල්...

අර ඉදිකට්ටෙ කතාවට  පස්සෙ ආයෙ ඇන්ටිලා සෑහෙන කාලයක් යනතුරු අපිව තනියම දාලා කොහේවත් ගියේ නෑ... ඔහොම ඉන්නකොට අන්කල්ගෙ අතිජාත මිත්‍රයෙකුගෙන් එයාලට ආරාධනයක් ලැබුණා අනුරාධපුරේ පැත්තෙ වන්දනා ගමනක් යන්න... ඒක අතහරින්නම ලෝබ හිතිලද කොහෙද එයාල කළේ ඇන්ටිගෙ අයියා කෙනෙකුගෙ දුවෙක්, ගෙදරයි අපිවයි බලාගන්න නවත්වලා ඒ ගමන ගිය එක...

එයා ඊට කලිනුත් අතරින් පතර එහේ ඇවිත් නැවතිලා තිබුණු හින්දා අපි එයා ගැන දැනගෙන හිටියෙ... එයාට හැමෝම කිව්වෙ සුදු අක්කා කියලා... එයාගෙ ගම ගාල්ලෙ උනාට හැමදාම කෝච්චියෙ කොළඹ වැඩට එන කෙනෙක්... ඒ වෙනකොට වයස තිස් පහක් විතර ඇති, හැබැයි කසාද බැඳලා තිබුනෙ නෑ... නියම ජොලි පොරක්... ඕන දේකට ඔට්ටුයි... එයා ආවදාට නිදා ගන්න ගියාම මහ පාන්දර වෙනකම් හිනාවෙ පණ යන කතා කිය කියා ඉන්නවා අපි, ඇන්ටිලා කෑගහනකම් නිදා ගනිල්ලා කියල, සද්දෙට එයාලට නින්ද යන්නෙ නැති උනාම... ඒ නිසා අපි හරිම කැමැත්තෙන් හිටියෙ සුදු අක්කා එන එකට...

ඔන්න එදා හවස වැඩ ඇරිලා සුදු අක්කා බෝඩිමට ආවා... මූණ කට හෝදගත්තු වෙලාවෙ ඉඳන් එයා කළේ ගේ හැම තැනම ඇවිද ඇවිද පරීක්ෂා කරල බලපු එක... එතකොටයි අපි දැක්කෙ අන්කල් ගෙදර ටෙලිෆෝන් එක තියල ගියපු විදිය... ඒක රිං වෙනකොට ඇහෙන්නෙ නැතිවෙන්න සද්දෙ අඩු කරලා රිසීවරය උඩින් හරහට සෙලෝටේප් එකක් ගහලා... හික්ස්... සුදු අක්කා ඒක දැක්ක ගමන් බඩ අල්ලන් හිනාවෙලා අර සෙලෝ ටේප් එක සීරුවට ගලවලා ප්‍රවේසමින් මේසෙ කොණක ඇලෙව්වා... ඒ කරලා හතර වටේම ඉන්න එයාගෙ යාළුවොන්ට කතා කරලා අපටත් කිව්වා කෝල් කරන්න ඕන කෙනෙක් ඉන්නව නම් කතා කරන්න කියලා... ඒ කාලෙ දැන් වගේ ටෙලිෆෝන් හැම ගෙදරකම නොතිබුනු නිසා අපට වැඩිය කෝල් කරන්න කවුරුවත් හිටියෙ නෑ... ඒ මගඩි වැඩේ ඉවරවෙලා සුදු අක්කා බොහොම සීරුවට ආයෙමත් අර සෙලෝටේප් එක අලවලා කලින් තිබුණා වගේම හැදුවා....

මෙදා පාර නම් ඇන්ටි අපට උයන්න ඉතුරු කරලා ගිහින් තිබුණ නෑ... එයාගෙ අපූරු කෑම ටික උයලා ෆ්‍රිජ් එකේ දාලා ගිහින් තිබුණා... ඒ හින්දා අපි කට්ටියට රෑ වෙනකොට කරන්න දෙයක් තිබුණෙ නෑ... ඔය ඇන්ටිලගෙ ගේ තට්ටු දෙකක්... ප්‍රධාන පාරක් අයිනෙ තිබුණු නිසා පල්ලෙහා තට්ටුව සම්පූර්ණයෙන්ම එක එක ජාතියෙ කඩවල් වලට බදු දීලයි තිබුණෙ... එයින් එක කඩයක් තිබුණා ටීවී, කැසට් රෙකෝඩර් අළුත්වැඩියා කරන අතරෙම වීඩියෝ කැසට් පට කුලියට දෙන තැනක්... එකපාරටම සුදු අක්කා කිව්වා අපි වීඩියෝ එකක් බලමු කියලා පහළින් ඉල්ලගෙන ඇවිත්... අපිත් ඉතින් පැනලා හා කිව්වා...එයා ඔතැනින් යන එනකොට ඔය කඩවල ඉන්න අයත් එක්ක කතා බහ කරගෙන යන නිසා වීඩියෝ කඩේ කට්ටියව මෙයා දන්නවා... විනාඩි කිහිපයක් යනකොට ගෑණි රටක් රාජ්ජයක් දිනුවා වගේ වීඩියෝ කැසට් එකක් අරන් ආවෙ කට කනේ තියන්... ඒකෙ කවරයක් තිබුනෙ නැති නිසා අපිට නම බලාගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ....
'ඉංග්ලිෂ් ෆිල්ම් එකක්...' සුදු අක්කා ආඩම්බරෙන් කිව්වා...

ඒක අන්කල්ගෙ ඩෙක් එකට දාලා සෙට් කරලා බලන්න හැදුවට බම්බුව වැඩ කරන්නෙම නෑ... අනේ ඉතින් අපි ඔක්කොමගෙම බලාපොරොත්තු ඔක්කොම සුනේ සුන් වෙලා කට්ටිය හූල්ලන්න ගත්තා...
'මං ගිහින් කඩේ අයියට කියන්නද මේක හදල දෙන්න කියලා...?' සුදු අක්කා අපෙන් ඇහුවා....
ෆිල්ම් එකක් බලන මූඩ් එකේ හිටිය අපි පැනලා ඒකට හා කිව්වා... සුදු අක්කා ආයෙම පහළට දුවලා ආපහු ආවෙ කඩේ අයියයි තව පිරිමි ළමයෙකුයිත් එක්ක... ප්‍රේක්ෂකාගාරය දැක්කම ඒ දෙන්නා මූණෙන් මූණ බලාගන්නව වගේ මට නම් පෙනුනෙ... ඒ දෙන්නා ඒක හදනකම් අපි කට්ටිය කුස්සියට එකතුවෙලා රෑට කෑවා... ඊට පස්සෙ අපි ටීවී එක ඉස්සරහින් බෙඩ් ෂීට් එලාගෙන කොට්ට දාගෙන පුටු ඇදගෙන ඇවිත් හේත්තුවෙලා ඉන්න එහෙම හදාගෙන කතාව බලන්න වාඩි වුණා..

ඔන්න කතාව පටන් ගත්තා... මොකකදෝ මන්දා පින්තූරෙකුත් වැටුණා... දෙබස් ඇහෙන්නෙත් නෑ... ටික වෙලාවක් යනකම් ඒ මොකක්ද එකමයි පෙන්නන්නෙ...
'මොකක්ද යකෝ මේ...' සුදු අක්කට කියැවුණා...
දැන් හැමෝම ඔළු ගෙඩි ඒ අතට මේ අතට ඇල කර කර බලනවා, මොකක්ද මේ කියලා... ඔළු පහළට හරවලා බලනවා උඩ යට මාරුවෙලාවත්ද කියලා...
ඊළඟ රූප රාමු කිහිපයෙන් කට්ටියටම තේරුනා මොකක්ද ඒ පෙන්නලා තියෙන්නෙ කියලා... හයියෝ... අපිට හිනාව නවත්තගන්න බැරි වුණා... පළවෙනි වතාවටයි එහෙම එකක් දැක්කෙ.... 
'එහෙම ඒවත් තියෙනවද..?' කියල සුදු අක්කා අහනකොට කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වුණා....
සුදු අක්කට ලැජ්ජ හිතුනු පාර  එයා අඩියට දෙකට පැනලා ඩෙක් එක ඕෆ් කළා... 
'අරුන්ට මම...!' එයා දත්මිටි කනවා...
අපි එහෙමම අපේ කාමරේට දුවලා ගිහින් ඇඳන්වල වැටිලත් හිනා වුණා.. මෙන්න ඒ අස්සෙ එක්කෙනෙක් බාත් රූම් එකේ වමනෙ දානවා... ඒ අපි අතර හිටපු පොඩිම එකී... සමහරු බනිනවා සුදු අක්කට ඒක ඉවරවෙනකම් බලන්න දුන්නෙ නෑ කියලා...

රෑ නිදාගන්න ගිහින් කට්ටියට නින්ද යන්නෙත් නෑ... සුදු අක්කත් හෙන කල්පනාවක...
'අයියෝ... මං ඉල්ලුවෙ ඔය වගේ වීඩියෝ එකක් කියල අරුන් හිතුවෙ ඇයි?' එයා කියනවා... "ඇයි හත් දෙයියනේ, මං කොහොමද හෙට උන්ගෙ මූණු බලන්නෙ?'
'මං හෙට ඕක උන්ට දීලා හොඳටම බනිනවා, හිටුකො...' කියලා පොරවන රෙද්ද බෙල්ල ළඟටම ඇදගත්තු සුදු අක්කා අන්තිමේ අනිත් පැත්ත හැරුණා...
පස්සෙන්දා එයා මොනව කරගත්තද කියලා දැනගන්න විදියක් තිබුණෙ නෑ... අපි එළියට ගියේ අර කඩේ මග ඇරෙන්න අනිත් පැත්තෙ තිබ්බ ගේට්ටුව ඇරගෙන... හවස් වෙනකොට ගෙදර කට්ටියත් ආවා... 

'මේ ටීවී එකට මොකද කරල තියෙන්නෙ...?' හැන්දෑවෙ නිව්ස් බලන්න ටීවී එක දාන්න ගිය අන්කල් බෙරිහන් දෙනව අපට ඇහුණා... හැමෝම මූණෙන් මූණ බලාගත්තා...

කලින් දවසෙ රෑ වීඩියෝ එක බලන්න කඩේ උන් ඇවිත් මොකක්දෝ ජල්බරියක් කළානෙ... දැන් ටීවී එක පේන්නෙ නෑ... ඇන්ටිත් කාමරේට ඇවිත් අපෙන් ඇහුවා ටීවී එකට මොනව හරි උනාද කියලා... අනේ අහිංසක අපි දන්නවයැ... අපි ඔක්කොම ඔළු ගෙඩි හෙල්ලුවා නෑ කියන්න... අන්කල්ට මල් හතක් පැනලා.... අපේ අන්කල්ට කේන්ති ගියාම එයාගෙ කටහඬ අමුතු වෙනවා... උච්ඡ ස්වරයෙන් ටන් ගන්න කතාව ඉවර වෙන්නෙ කට හඬ හීනිවෙලා ගිහින් ඤාව් සද්දෙකුත් එක්ක... දැන් ඤාව් එකක් නෙවෙයි වැලක්ම ඇහෙනවා... අපි බිරාන්ත වෙලා මොකක්ද වෙන්න යන්නෙ කියලා...
එක්කෙනෙක්වත් එකාට එකා කතාවක්වත් නෑ... සුදු අක්කව පාවලා දෙන්න කොහොමවත්ම බෑ...

අන්තිමේදි අන්කල් පහළට බැහැලා වීඩියෝ කඩේ අයියව එක්කන් ආවා... අපිව බයේ ගැහුනා, සුදු අක්කා මිනිහට බැනලා ගියා නම් පොර අපිව පාවලා දෙයි වත්දෝ කියලා.... මං හෙමින් කාමරෙන් එළියට ගිහින් බිත්තිය අයිනෙ හැංගිලා හොඳට අහුම්කන් දීගෙන බලාගෙන හිටියා...
'මේ මේකෙ වයර් එකක් ගැලවිලානෙ...' කඩේ අයියා අන්කල්ට කියාගෙන ඔළුව උස්සනකොට බිත්තිය අයිනෙන් බෙල්ල දාගෙන හිටිය මාවත් දැක්කා... ඒත් පොර නොදැක්ක විදියට අන්කල්ට පැහැදිලි කරල දෙන්න පටන් ගත්තා... 'කවුරුවත් මොකුත් කරලා නෙවේ... මේ ටීවී එකත් දැන් සෑහෙන්න පරණයිනෙ... ඒකයි...'
ඒක ඇහුනට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ... මං ආපහු කාමරේට දුවල අන්කල් හොරාගෙ අම්මගෙන් පේන අහපු හැටි කිව්වම, එකපාරටම එකියක් ඇහුව, 'එතකොට බං ටෙලිෆෝන් බිල ආපුවම...?'
ඇඟට උනපු ලේ ටික ආයෙත් සැරයක් කොහෙ ගියාද දන්නෙ නැති උණා..

ප.ලි. පස්සෙ කාලෙක මං කසාද බැන්දට පස්සෙ මනූට ඔය සිද්දිය කීවම එයා කියනවා එතැන හයර් කරන්නෙ ඒ ජාතියෙ වීඩියෝ විතරලු... මදැයි!



Wednesday, 13 March 2013

පන්තිය සෝදපු හැටි....!!

මම නවයෙ පන්තියේ හිටපු කාලෙ ඉස්කෝලෙ ගියේ අනිත් ළමයි වගේ සාමාන්‍ය ක්‍රමයට, උදේ වරුවෙ.... ඒ අවුරුද්ද තමයි අර මං කලින් කතා දෙකක සඳහන් කරපු සමන් ඉස්කෝලෙ ආව අන්තිම අවුරුද්ද... අපේ පන්තිය භාරව හිටියෙ අපට ඉංග්‍රීසි උගන්වපු මැටිල්ඩා මිස්... අඩි පහක්වත් උස නැති අවුරුදු පණහක් විතර වෙච්චි මේ මිස්ට ළමයි කිව්වෙ 'මැටී' කියල... ඒ මිස් හරිම හොඳ අහිංසක කෙනෙක් උනාට, මිස්ට ඒ නම වැටුනෙ ඉංග්‍රීසි පීරියඩ් එකත් එක්ක ළමයින්ට තිබ්බ තරහටමයි.... පව් අපේ මිස්...!

දවසක් උදේ අපි ඉස්කෝලෙ යනකොට පන්තිය ඇතුලෙ බිත්තිය දිගට තිබ්බ කළු ලෑල්ල යට  ගන්න දෙයක් නෑ... කළුම කළු පාට කුඩු තට්ටුවක් පැත්ත පළාතෙම විසිරිලා.... බැලින්නම් කලින් දවසෙ හවස නතරවෙලා බැටරි කුඩු වලින් කළුලෑල්ල කළු කරපු හාල්පාරුවො ටික ඒ වැඩේ කරල ගියා මිසක් බිම සුද්ද බුද්ද කරල ගිහින් නෑ... ටිකක් හොඳට වටපිට බලනකොට එහේ මෙහේ මුළුවල බැටරි බාගත් තියෙනව පෙනුනා... ටික වෙලාවක් යනකොට පන්තියට එන ළමයි බැටරි කුඩු පාගන් ගිහින් පන්තියේ බිම හැමතැනම කළු පාටයි.... සුදු සපත්තුවක් හෙම කාට හරි පෑගුනොත් දෙයියන්ගෙම පිහිටයි... මං කලින් කිව්වනෙ ඔව්ව සුදු කරගන්න නැහුනු නැහිල්ල...

එදා දවසෙ පන්තිය අතු ගාන්න තිබ්බ උන් ඇවිත් පන්තිය අතු ගෑවත් අර කුඩු නෙවේ ගියේ... ඔන්න එතකොට අපේ පන්තියේ කොල්ලෙකුට ගණ දෙවි නුවණක් පහළ උනා.... මැටිල්ඩා මිස් ඉගැන්නුවේ ඉංග්‍රීසි නිසා හැමදාම අපේ පන්තියේ පළවෙනි පීරියඩ් එක ඉංග්‍රීසි.... අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්... පළවෙනි පීරියඩ් එක කට් එක ගහන්න බැරි, නම් ලැයිස්තුව ලකුණු කරන නිසා... ඒ නිසා කොච්චර එපා උනත් පන්තියේ ලැගගෙනම ඉන්න වෙනව.... ඔන්න ඉතින් අර මොළකාරයා ගෙනාපු යෝජනාව තමයි අර ඉතුරු බැටරි කෑලි  ටිකත් කුඩු කරල පන්තිය ඉස්සරහ විනාස කරල දාන එක... එතකොට මිස්ට තියා මොකාටවත් ඇවිත් උගන්වන්න බෑනෙ අර අවීචියෙ... ඒකට එක පයින්ම එකඟ වෙච්චි ඒ වෙනකොට පන්තියේ හිටපු කොල්ලො ටික මොකද කළේ,  අර අහුමුළුවල තිබ්බ බැටරි කෑලි ටිකත් අහුලල උඩ පැන පැන, පොළවෙ ගහල  කුඩුපට්ටම් කරල දැම්ම එක ... 


අන්තිමට මිස් පන්තියට එනකොට ඒක එකම අපායක්... කොටින්ම මිස් පන්තියට ආවෙත් වතුර පාරක බැහැල යනව වගේ සාරියත් ටිකක් උස්සගෙන....
'අයියෝ, මේ මොකක්ද කරල තියෙන්නෙ...?' මිස්ට ඉබේම කියැවුනා...
අන්තිමට සියල්ල පැහැදිලි කරල දීපු ගෝලයො ටිකගෙ  එකම විසඳුම උනේ පළවෙනි පීරියඩ් එකේදි පන්තියේ පුටු මේස පැත්තකට කරල පන්තිය සෝදලා දාමු කියන එක...අනේ අපේ අහිංසක මිසුත් ඒකට රැවටිලා කිව්වා කාට හරි ගිහින් පනිට්ටුවක් අරන් එන්න කියල... අපේ රශ්මි ඉන්නව නේද (මගේ බ්ලොගේ නිතර කියවන අයට නම් මෙයා අමුත්තෙක් නෙවේ... ඒ කාලෙ මගේ හොඳම යාළුවා)... ඔය වගේ නොම්මර එකේ කුණු ගොඩවල් වලට කරගහන්න හොයාගෙන යන්නෙ... නැත්නම් පන්තියේ අච්චර කොල්ලො ඉන්දැද්දි මේ කොහේවත් නැති පනිට්ටුවක් හොයන්න මුන්ද බාර ගන්න ඕනයැ... අනිත් එක දැන් මේ ගේන්න යන පනිට්ටුව තියෙන්නෙ ගුරු මණ්ඩලයෙ වැසිකිළියෙ... ඈයියා..!! කියනකොටම මට හිතුනෙ එහෙම... ඒත් කොහෙද ගැලවීමක්... 

'මට නම් ඕකට  හවුල් වෙන්න එන්න බෑ..' මම කිව්ව... 
'මොනාද බං... ගුරාල රෙxx පනිට්ටුවටයැ...' 
'එහෙනං ඉතින් උඹම ඕක කරගහගෙන වරෙන්... මට නම් කියන්නෙපා ඕක අල්ලන්න...'
'හරි හරී ඉතින්... මං කිව්වයැ උඹට ඒක අල්ලන්න... මං ඒක කරගන්නම්කො... උඹට තියෙන්නෙ මාත් එක්ක එන්න විතරයි...'
අනේ ඉතින් එහෙම කිව්වට පස්සෙ මාත් ගියා උන්දගෙ පස්සෙන් මරන්න ගෙනියන හරක වගේ... 

ඒ කාලෙ අපේ ඔය නවයෙ පන්ති ටික තිබ්බෙ, ඉස්කෝලෙ 'කොරියාව' කියල හඳුන්වපු පැත්තෙ... මොකක් නිසා ඒ නම වැටුනද කියල නම් ඇත්තටම දන්නෙ නෑ... (මට බින්දිව මතක් උනා.. :D) කොරියාවෙ තිබ්බෙ දෙමහල් ගොඩනැගිලි තුනකුයි, කැන්ටින් එකයි, ළමයි පී ටී කරපු පිට්ටනි කෑල්ලයි... ඊට පිටිපස්සෙන් රේල් පාරෙන් මායිම් වෙච්චි පිරිමි වැසිකිළිය සහ කොල්ලො වැසිකිළිය විදියට පාවිච්චි කරපු මහා හබරල ගාල....ඒ වෙනකොට, අර මං 'පොඩ්ඩක් හිටහංකො බං' කතාවෙ කියපු අක්කා නෑව ළිඳ වහලා, ඊට ටිකක් පිටිපස්සට වෙන්න අළුත්ම දෙමහල් විද්‍යාගාරය හැදිලා... ඒ ගොඩනැගිල්ල තිබ්බෙ මේ කියන කොරියාවට වඩා අඩි පහක විතර උසින්... කැන්ටිම ඉස්සරහින් තිබ්බ පඩි පේළිය නැගලා යන්න ඕන එතැනට... එතැනිනුත් පොඩි පඩි පේලියක් නැග්ගම තමයි අර මං ඒ කතාවෙම කිව්ව පන්තිය තිබ්බ ගොඩනැගිල්ලට යන්න පුළුවන් වෙන්නෙ... ඔතැනට ගොඩ උනු ගමන් ඉස්සෙල්ලම මුලිච්චි වෙන්නෙ ස්ටාෆ් රූම් එක... ඒක පහු කරලා පන්ති හතරක් විතර ඉස්සරහට ගියාට පස්සෙ, ඔය කියපු ගොඩනැගිල්ලයි, ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය ඇතුළු අනිත් ඔෆිස් කාමර තියෙන ගොඩනැගිල්ල මේ කියපු ගොඩනැගිල්ලට යා වෙන තැන, උඩ තට්ටුවේ පොඩි පාලම් කෑල්ලක් වගේ හදල තිබ්බට පහළ තට්ටුවේ තිබ්බෙ යූ අකුරක හැඩැති ඉඩකඩක්... එතැන වම් අත පැත්තෙ තමයි ඔය කිව්ව ගුරු මණ්ඩලයෙ වැසිකිළිය තිබ්බෙ... 

යූ අකුරෙ යට කොටසෙ තිබ්බෙ අපේ ඉස්කෝලෙ නිල නොලත් අයිතිකාරය වෙච්චි මාටිං ටිං ටිං අයියගෙ දේවාලෙ නොහොත් වාසභවන...අයිය කිව්වට අවුරුදු පණහක් විතර වයස  ඇති...  උන්ද ඉස්කෝලෙ මුර වැඩේ, පියන් වැඩේ වගේම බෙල් එක ගහන වැඩෙත් කළා... ළමයි කිව්වෙ මිනිහා බෙල් එක ගැහුවෙ මාටිං ටිං ටිං කියලැයි කියල.... ඒක හින්දා තමයි අර නම... එයා ඔය පෝස්ටුව බොහොම ඔළුවට අරගෙන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හොර අල්ලන්න ගිහින්, කොල්ලන්ට කියල සම්බෝල හදවගන්නෙ නැතිව යාන්තමින් බේරුනා එක සැරයක්.... ඊට පස්සෙ මිනිහ එයා විසින්ම එයාගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ රාජකාරිය අයින් කර ගත්ත.... මාටියා පන්තියකට එනකොට ළමයි සහලෝල ඉන්නෙ... මොකද පොර එන්නෙ ප්‍රින්සිපල් උන්නාන්සෙගෙ නියෝග අරගෙන, උන්නැහේගෙන් කැඳවීමක් ලැබෙන ළමයෙක්/ළමයි එක්කරගෙන යන්න... ඒ ඉතින් හොඳකට නම් නෙවෙයි... හැබැයි පොර පපුව ඉස්සරහට දාගෙන ඔය මැසේජ්ජුව අරන් එන්නෙ හෙන සතුටින්... ඒක දැක්කම දෙන්න හිතෙනව මැරෙන්න... 

කතාව වෙන පැත්තකට ඇදුන... නැවතත් කතාවට... ඉතින් මේ කාලෙ අපට හිටිය ප්‍රින්සිපල්තුමා හරිම වසයි... ඒ උනාට එතුමාගෙ කාලෙ අපේ ඉස්කෝලෙ එක්තරා සවර්ණමය යුගයක් කියල කියන්න පුළුවන්... හැම අංශයකම වගේ ළමයි ඒ ලෙවල් පාස් උනේ ඉතාමත්ම ඉහළින්... සමහර අවුරුදුවල ලංකාවෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි හිටියෙ අපේ ඉස්කෝලෙ... ක්‍රීඩා පැත්තෙනුත් එහෙමයි... නාට්‍ය තරග වලින් දිනලා ළමයි ජපානය වගේ රටවල සංචාර වලට පවා ගියා... ඒ වගේම තමයි එතුමා ළමයින්ගෙ විනය සම්බන්ධයෙනුත් ඉතාම තදයි.... නිතරම වගේ ඉස්කෝලෙ වටේ යනවා.... පන්තියේ වැඩ කරන වෙලාවලදි එක ළමයෙකුටවත් හදිසි අවශ්‍යතාවයකට හැර එහෙ මෙහෙ යන්න බෑ... පුස්තකාලෙට පවා ගිහින් බලනවා පන්ති කට් කරන එව්වො ඉන්නවද කියල.... ඒ වගේම තමයි ගුරුවරුන්ටත්... එයාලත් එතුමාට හරි බයයි... ඉතින් මේ කක්කුස්සි බාල්දියක් ගේන්න එළියට බැස්සෙ ඕං ඔහොම කාලෙක...

මං කිව්වනෙ ඔතැන පන්ති හතරක් තියෙනවය කියල... ඔය ගුරු වැසිකිළිය පැත්තට වෙන්න තියෙන පන්ති කාමරය නිතරම හිස්ව තියෙන්නෙ හදිසි අවශ්‍යතාවයකට පොරෝජන ගන්න...ඔන්න ඉතින් අපි අදාල ස්ථානයට යනකොට අර කාමරයෙ උදේම පන්තියක් දාල... අපි කොහේටද යන්නෙ කියල ඒකෙ උන්ට පේන හින්ද මං එතැනම තිබ්බ කණුවට මුවා වෙලා ඉද්දි රශ්මි ගියා වැසිකිළිය ඇතුලට... මාත් එතැන ඉඳන් වටපිට බල බල ඉන්නකොට මට පේනව අපේ අම්මගෙ යාළුවෙක් වෙච්චි සර් කෙනෙක් එනව බාස්කට් බෝල් කෝට් එක මැදින්  ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය පැත්තට...එයාට ළමයි කිව්වෙ 'බොගා' කියල... බොග සම්බන්ධ කාරණාවක් නිසා නෙවෙයි... එයා කතා කරනකොට මහා සද්දෙන් බොග් බොග් ගාන නිසා... ඈත තියාම මාව දැක්ක සර් එකතැනම බ්‍රේක්  ගහල නැවතිලා අහනව 'මොකද ඔය ටොයිලට් එක ගාව කරන්නෙ... ටොයිලට් එක හෝදනවද... ?'  ෂික් විතරක්.. මට හීං දාඩිය දැම්ම... ඕනනැති මගුලක් නෑනෙ මේ මනුස්සයට... ඒ මදිවට ඒක අහපු කැත... උන්දට ඒක අහන්න තිබ්බෙ නැද්ද අර ටොයිලට් කතාව හලල... ලැජ්ජාවෙ බෑ...  මං හීන් සීරුවේ බෙල්ල දික් කරල අර පන්තිය දිහා බැලුව... දොර පැත්තෙ ඉස්සරහම පේලිවල හිටපු කොල්ලො ටිකගෙ ඇස් කුට්ටම් ටික මගේ පැත්තට හැරිලා... උන් ටික අඳුනගත්තු මට ඒ කොන්ක්‍රීට් පොළොව හාරගෙන හාරගෙන ගිහින් ඒක යට හැංගෙන්න හිතුන...මගේම කරුමෙ කියන්නෙ  ඒ සමන්ලගෙ පන්තිය...! මොන මගුලකට එදා උදේ පාන්දරින්ම උන් ටික එතැනට දාල තිබ්බද මන්දා.. නිකං ඉන්න බැරුව ඒක දිහා බලන්න ගිහින් ටින් කිරි ගාගත්ත කියල මට හිතුනෙ දැන් මේ කණුවට මුවාවෙලා ඉන්නෙ මං කියල උන් හොඳටම දැක්ක නිසා... ඒ වෙනකොටත් කන්න වගේ මගෙන් උත්තරයක් බලාගෙන හිටපු සර්ට මං පුළුවන් තරම් හෙමිහිට කිව්ව 'මේ  පනිට්ටුවක් ගෙනියන්න ආව..' කියල.... 'ඒක මිසක්... මං මේ බැලුව..' කියාගෙන උන්ද යන්න ගියා...


සර් ගියාට පස්සෙ මං කණුවට හේත්තු වෙලා මගේ කොණ්ඩෙ ඉස්සරහින් අල්ලලා හයියෙන් පහළට ඇද්දෙ මොන කරුමෙකට මේ ගමන ආවද කියල හිතන ගමන්... කෝ මේ ඇතුලට ගිය එකී... තාමත් නෑ...
'ඒයි රශ්මී...' මං පුළුවන් තරම් හඬ බාල කරල කතා කළා...
'මේ එනව... මේ එනව...' කක්කුස්සිය ඇතුලෙන් ඇහුන...
'මේ ළමය මොකද මෙතැන කරන්නෙ...?' එකපාරටම කණ ළඟ මහා සද්දෙන් ඇහෙනකොට මං උඩ ගිහින් බිම වැටුන.... හැරිල බලනකොට ප්‍රින්සිපල්තුමා... හනේ මොන කරුමෙකට මං මෙතැන හිටියද කක්කුස්සි බාල්දිය ගන්න ඒක අස්සට රිංගන්නෙ නැතුව කියල මට පළවෙනි වතාවට හිතුන...

'පනිට්ටුවක් ගෙනියන්න ආව...' කියල වැසිකිළිය දිහාවට අත දික්කරල ඒ පැත්ත බලන ගමන් කියනකොට මට පෙනුන ඒක ඇතුලෙ ඉඳන් පනිට්ටුවත් අරන් එළියට එන්න ආව රශ්මි, ඒකත් අරගෙනම ස්ලෝ මෝෂන් එකේ රිවර්ස් එකට ආපහු ඇතුලට යනව... මට ඒකිව කන්න කේන්තියි...
'පනිට්ටුවක් මොකටද...?'
'ඊයෙ කළු ලෑල්ල කළු කරපු ළමයි පන්තිය සුද්ද කරල නැතිව බැටරි කුඩු හැමතැනම ගෑවිලා... ඉතින් මිස් කිව්ව පන්තිය සෝදල දාන්න වතුර ගන්න පනිට්ටුවක් ගේන්න කියල...' මං තතන තතනා කිව්ව....

'කවුද මිස්...?'
'මැටි... මැටිල්ඩා මිස්..' තව පොඩ්ඩෙන් මළා...
'මොන පනිට්ටුද මේ වෙලාවෙ... ඉස්කෝලෙ පටන් ගත්ත විතරයි... දුවනව යන්න පන්තියට...'
'හා' කියන ගමන් මං ආපහු හැරිලා යාන්තම් බැලුව අර පන්තිය දිහා... උන්ගෙ ඇස් ස්ප්‍රිං හයි කරපු ගානට දොට්ට පැනලා... කටවල් කිරි හට්ටි වගේ... උං මට හිනා වෙනව... අනෙ අම්මේ... ඊට වඩා හොඳයි මැරුණ නං... ෂික්...
මොහොතකින් වැසිකිළිය ඉඳල එළියට පැන්න රශ්මි මාවත් ඇදගෙන දුවල ඇවිත් නතර උනේ පන්තියේ... ප්‍රින්සිපල්තුමා බලන්නැති ඒ මොකාද කියල... උන්නැහේ හිතුවෙ මං විතරයි ඉන්නෙ කියල...






Wednesday, 6 March 2013

රජ්ජුරුවන්ගේ උයන...


බටහිර ඕස්ට්‍රේලියාවෙ, පර්ත් නගරයේ තියෙන මේ රජ්ජුරුවන්ගේ උයන, එහෙම නැත්නම් Kings Park කියන ස්ථානය පර්ත් නගරයේ තියෙන සුන්දරත්වයෙන් අනූන ස්ථානයක්....ඒ නිසා මෙහේ ජීවත්වෙන හුඟක් අය හැන්දෑව ගත කරන්නට තෝරා ගන්නා තැනක් මේක... මේ ස්ථානය හුඟාක්ම ලස්සන තැනක් නිසා බොහෝ දෙනෙක් තමන්ගෙ විවාහ උත්සව සඳහාත් මෙතැන තෝරා ගන්නවා....

එහි සුන්දරත්වය තවත් වැඩි කරන්නෙ ස්වෝන් ගඟ... නගරය අසබඩින් ගලා යන මෙය ගඟක් වශයෙන් නම් කරලා තිබුණත් ඒක ඇත්ත වශයෙන්ම කලපුවක්... 1829 දි මේ ගඟ ආශ්‍රිතව ජනාවාසයක් ඇතිවෙද්දි තමයි මහජන අවශ්‍යතා සඳහා යැයි පවසමින් මේ උයනට අදාල භූමිය එවකට පැවති රජය විසින් වෙන් කරලා තියෙන්නෙ... මේ උයනෙහිම කොටසක් උද්භිද උද්‍යානයක් වශයෙනුත් සැලකෙනවා....මේ ස්ථානයට අයත් භූමිය වරින් වර කරන ලද එකතු කිරීම් වලින් පසුව අද වෙනකොට හෙක්ටයාර් 400.6 ක් පමණ වන බවයි පැවසෙන්නේ...ඒ උනාට මේකෙන් තුනෙන් දෙකක් විතරම බුෂ් ලෑන්ඩ් එකක් විදියටයි සැලකෙන්නෙ... මෙහි, ප්‍රදේශයට ආවේනික ගස් වැල් වර්ග 319 පමණකුත්, ආවේනික කුරුළු වර්ග 80 පමණ ප්‍රමාණයකුත් ඇති බැව් කියනවා...


මේ පින්තූරෙන් පේන්නෙ රජ්ජුරුවන්ගෙ උයනෙ ඉඳලා බැලුවම පර්ත් නගරයේ කොටසක් දිස්වෙන ආකාරයයි... ස්වෝන් ගඟද මෙහි දැකිය හැකියි... ඔය රතු පාට වහලක් පේන්නෙ Perth Brewery එකේ...
 
ලෝඩ් ජෝන් ෆොරෙස්ට් බටහිර ඕස්ට්‍රේලියාවෙ පාලකයා බවට පත් උනාට පසුව, 1892 දී තමයි මෙම ස්ථානයේ පාරවල් හදලා ගේට්ටු දාලා ක්‍රමවත් විදියට උද්‍යානයක් වශයෙන් සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නෙ... ඒ නිසා එතුමාව සිහි කිරීමට මේක ඇතුලෙ දිවෙන එක පාරක් ෆොරෙස්ට් ඩ්‍රයිව් කියලා නම් කිරීමත්, එතුමාගේ ප්‍රතිමාවක් ඉදිකිරීමත් සිදුවී තිබෙනවා...එසේ උනත් ලෝඩ් ෆොරෙස්ට් මේ උද්‍යානය නම් කරල තියෙන්නෙ 'පර්ත් පාක්' කියලයි.... පසුව 1901 දී 7 වන එඩ්වඩ් බ්‍රිතාන්‍යයේ රජකමට පත්වීම සැමරීම වෙනුවෙන් මෙහි නම 'Kings Park' යනුවෙන් වෙනස් කර තිබෙනවා....


මෙම උයනට ඇතුළු වන්නට තියෙන ෆ්‍රේසර් ඇවන්‍යු එක දෙපස වවා තියෙන විශාල ගම් ගස් පේලි දෙක මෙම ස්ථානයට ගෙනදෙන්නෙ අමුතුම චමත්කාරයක්.... රාත්‍රියට විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි ආලෝකයන් එල්ල කර ඇති මේ ගස් පෙල අමුතුම සිරියක් ගන්නවා...මුලින්ම මේ ගස් පෙල සිටුවා තිබෙන්නේ 1898 වසරේදී වික්ටෝරියා රැජිනගේ ජුබිලි උත්සවය සැමරීමටයි... පසු කාලයකදී ඒකට තවත් ගස් එකතු කර එම ගස් පාමුල එය සිටවූ වසර සහ හේතුව සඳහන් කරමින් පුවරු සිටුවා තිබෙනවා... මේ පුවරු අදත් එහි දැකිය හැකියි...
 


ඒ වගේම තවත් ඇතුලට වෙන්නට ඇති උද්භිද උද්‍යානය තුල ඇති පාරවල් දෙපස තිබෙන්නේ පළමුවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් මියගිය රණ විරුවන් සැමරීමට ඔවුන්ගේ ඥාතීන් විසින් බොහෝ කලකට ඉහත සිටුවන ලද ගස්... අද වෙනකොට ඒවා ඉතාමත් විශාලව වැඩී පාරවල්වලට සෙවන දෙනවා... ඒවා සිටුවා බොහෝ කාලයක් ගත වුවත් ඒ හැම ගහක් යටම අදාල රණ විරුවාගේ නමත්, උපන් දිනය සහ මිය ගිය දිනයත්, මිය ගියේ කුමන සටනකින්ද යන වගත් ගස සිටුවන ලද්දේ කවුරුන් විසින් කවදාද යන වගත් සඳහන් පුවරු දැක ගත හැකියි...



මෙහි ඇති තවත් වැදගත් ස්ථානයක් වෙන්නේ, බටහිර ඕස්ට්‍රේලියාවෙ ප්‍රධාන රණවිරු ස්මාර්කය මෙහි පිහිටා තිබීම... මෙය හඳුන්වන්නේ ANZAC War Memorial කියලා.... ANZAC කියල හඳුන්වන්නේ Australian and New Zealand Army Corps කියන එකයි... 1916 අප්‍රේල් මාසෙ 25 වැනිදා ඉඳලා සෑම වසරකම අප්‍රේල් 25 ANZAC Day වශයෙන් නම් කරලා, පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් සැමරීම එදින හිරු නැගී එන වෙලාවට සිදු කරනවා...මේ පිළිබඳව වැඩි විස්තර දැන ගන්නට කැමති අයට මේ ලින්ක් එකට ගිහින් ඒ පිළිබඳව දැන ගන්නට පුළුවන් වේවි...

http://anzaac.com/index.php?option=com_content&view=article&id=47&Itemid=68




මෙතැන තියෙන්නෙ රජ්ජුරුවන්ගෙ උයනෙ ඉඳලා බැලුවම පර්ත් නගරයට විරුද්ධ පැත්ත පෙනෙන ආකාරයයි....


මේ එතැන ඉඳලා බලනකොට පර්ත් නගරය රෑට පේන හැටි... ඇත්තටම පුදුම ලස්සනක්... ගියාම ගොඩක් රෑ වෙනකම් එන්න හිතෙන්නෙ නෑ....
 
ඒ වගේම මෙහි විවිධ ආකාරයේ ළමා උයන් කිහිපයක්ම දැකිය හැකියි... ඒවා එකිනෙකට බොහෝ ඈතින් පිහිටා තියෙන්නෙ වැඩිහිටියන්ටත් විනෝද විය හැකි ආකාරයටයි... ඒ කියන්නෙ පොඩි කැෆේ එකක්, බාබෙක්‍යු උදුන් සහිත පික්නික් ඒරියා එකක් සහිතයි.... මේ එයින් එකක්....

 
 
 
මේ අර අපි පොඩි කාලෙ මඩ වගුරුවල බැහැගෙන කරපු ඒවා කරන්න හදාපු තවත් පාක් එකක්....
 



මේ ස්ථානයේ රෑට චිත්‍රපටි පෙන්වීමත් කරනවා... ඒකට කියන්නෙ Moonlight Cinema කියලා... මේ තියෙන්නෙ කට්ටිය ඒ වගේ ච්ත්‍රපටියක් නරඹන අවස්ථාවක්... ඒ වගේම සමහර කාලෙට සංගීත සංදර්ශන පවා පැවැත්වෙනවා.... එතකොට නම් වටේටම වහලා ස්ටේජ් ගහගෙන තමයි කෙරෙන්නෙ....

 
 
මේ තියෙන්නෙ මෙතැන තවත් වැදගත් අංගයක් වෙච්චි Tree Top Walk එක.... මේකෙ හැටි නමින්ම හිතාගන්න පුළුවන්නෙ... අවට තියෙන මහා පත ගස්වල මුදුන් අතරින් යන විදියට තමයි මේක හදල තියෙන්නෙ... මේකෙ යනකොට වටපිටාව හරිම ලස්සනට පේනවා...
 
 



මේ තියෙන්නෙ 1966 දි ඉදි කළ බව කියන DNA Tower එක... එහෙම කියන්නෙ ඇයි කියල දැක්කම හිතාගන්න පුළුවනිනෙ... මේක පඩි 101 කින් සමන්විතයි... උඩටම නගින්න පුළුවන්.... මේක හදපු එකේ අරමුණ වෙලා තියෙන්නෙ අවට සුන්දරත්වය උස් ස්ථානයක සිට නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදීමයි....





ගොඩක් පිතූර දැම්ම නිසා කට්ටියට පෝස්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් නිසා, තව කියන්න බොහොමයක් දේවල් තිබුණත් මේ විස්තර ටික මෙතැනින් නවත්වන්නම්... පින්තූර ටිකෙනුයි, පොඩි පොඩි විස්තර වලිනුයි කියවන අයට 'රජ්ජුරුවන්ගේ උයන' ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නැති කියල හිතනවා... :D

Monday, 18 February 2013

චුට්ටක් හිටහංකො බං....



මම ගිය ඉස්කෝලෙ ඉඩ කඩ මදි ප්‍රශ්ණෙ නිසා පන්ති පැවැත්වුනේ දෙවරුවකට කියල මං කියල තියෙනවනෙ... හයේ හතේ පන්තිවල හිටපු ළමයි තමයි ඔය (අ)වාසනාවට හිමිකම් කිව්වෙ.... ඒ වෙනකොට මං හතේ පන්තියේ... අපේ පන්තිය තිබ්බෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකයි ස්ටාෆ් රූම් එකයි අතරෙ.... ලේසි නෑ වැඩේ... හැම තිස්සෙම සීරුවෙන් ඉන්න ඕන.... නැත්නම් ගුරුවරුන්ටයි එහෙමත් නැත්නම් ප්‍රින්සිපල්තුමාටයි මාට්ටු වෙන්නෙ කොයි වෙලේද නෑ....මං ඉස්කෝලෙ යන කාලෙ වැරදිවලට අහුවෙන්න බය ඒ කාලෙ මගේ ගුරුවරු වැඩි දෙනෙක් ගුරුවරියක් වෙච්චි මගේ අම්මගෙ යාළුවො නිසා බවත් මං කලින් කියල ඇති...

 ඔය අපේ පන්තිය තිබුනු දෙමහල් ගොඩනැගිල්ල තිබ්බෙ ඉස්කෝලෙට ඇතුළු වෙන තැනම වම් පැත්තෙ.... පන්තිය ඉස්සරහ පත බාස්කට් බෝල් කෝට් එක... ඒක මැදි කරගෙන අශ්ව ලාඩමක හැඩයෙන් එක පැත්තක පන්ති කාමර එක්ක තවත් දෙමහල් බිල්ඩිමකුත් අනිත් පැත්තෙ ඒ වගේම පුස්තකාලයත් තිබුණා... බිම් මහලෙ තිබුණු අපේ පන්තිය පිටිපස්සෙ තිබුණෙ හිස් ඉඩමක්... ඒ වෙනකොට එතැන විද්‍යාගාරයක් හදන්න සැලසුම් සකස් කරල තිබ්බත්, අපිටත් වඩා උස් පඳුරු වැවිල තිබුණා ඒ ඉඩම් කෑල්ලෙ.... ඒ වගේම ඕකෙ කොණක අනාරක්ෂිත ළිඳකුත් තිබුණු නිසා ළමයින්ට තහනම් කරල තිබ්බෙ ඒ පැත්තට යන එක... ඒ ළිඳ ගොඩක් ගැඹුරු එකක් නමුත් කවදාවත් වතුර හිඳෙන්නෙ නැති එකක් බවත් කටින් කට ගිය කතා වලින් අපි දැනගෙනයි හිටියෙ.... ඒ නිසා පායන කාලවලදි අතින් වතුර ඇදගන්න පුළුවන් විදියට ළිං කටේම පැත්තකින් කොටන් වගයක් දාල කකුළ තියාගන්න පහසු වෙන්න හදල තිබ්බ.... ඔය කියාපු පන්තියේ ඉන්න කාලෙ අපට පන්ති කාමරයෙ පිටිපස්සෙ ජනේල වලින් ඔය ළිඳ හොඳට පේනව.... ඒ උනාට ඒක අපේ අවධානයට එච්චර ලක්වෙච්චි තැනක් නෙවේ....අපිට වෙන වැඩ නැතුවයැ...  නැද්ද...

ඔන්න ඉතින් දැහැමෙන් සෙමෙන් ඔය පන්තියේ රජ කරගෙන ඉන්න කාලෙ හොඳ පෑවිල්ලකුත් ආව.... සමහරදාට අහම්බෙන් අපිට පේනව ගමේ මිනිස්සු ඉස්කෝලෙ වටේට ගහල තිබ්බ කටු කම්බි වැට ඈත් මෑත් කරල, කළ ගෙඩි එහෙම උස්සගෙන ඔය ළිඳ ළඟට ඇවිත් වතුර අරන් යනව හෙම... ඒ නිසාමද කොහෙද ළිඳ වටේ නම් හොඳට සුද්ද බුද්ද කරල තිබ්බ.... ඒත් ඉස්කෝලෙ ළමයින්ට තිබ්බ තහනම එහෙමම තිබුණා... උන්ට එතැනට ගියේ නැතුවට ඉස්කෝලෙ වටේ තිබ්බ ටැප් ටික නියඟෙට හිඳිල නොතිබුනු නිසා වතුර වලින් අහේනියක් තිබ්බෙ නෑ....

මේ කියන දවසෙ අන්තිම පීරියඩ් එකට කලින් එකේ අපට උගන්වන්න නියමිතව හිටිය ගුරුවරයා ඇවිත් හිටියෙ නෑ... අපිත් ඉතින් ටිකක් ඈණුම් ඇර ඇර හේම ඉඳලා එහාට මෙහාට ඇවිද ඇවිද සුපුරුදු පච දෙසිල්ල පටන් ගත්තා... ඔය අන්තිම පීරියඩ් වලදි අපි අනිත් වෙලාවට වඩා පොඩ්ඩක් රිලැක්ස්... මොකද ඒ වෙනකොට හවස හතරහමාර විතර වෙලා නිසා අපේ ප්‍රින්සිපල්තුමා ගෙදර ගොහින්.... ඒ නිසා ගුරුවරුත් රිලැක්ස්.... වැරැද්දක් කරල අහු උනත් ඉස්කෝලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර නිකම් තියෙන මොකද්ද එකේ ටින් කිරි ගාගෙන වෙලාවට ගෙදර යාගන්න නොලැබෙන නිසා ගුරුවරුත් බොහෝ වෙලාවට ළමයි නිශ්ශබ්ද කරගෙන ඉන්න උත්සාහ කරනව මිසක් ලොකුවට දඬුවම් දෙන වැඩ හෙම කරන්න යන්නෙ නෑ.... ඉතින් අපේ කෑගැහිල්ල අනිත් පන්තියට උගන්වන්න බැරි තරමට කංකරච්චලයක් වෙනකොට ඒ ඉන්න ගුරුවරයෙක් තමයි ඇවිත් තරවටු කරල යන්නෙ.... නැතිනම් පන්තිය ඉස්සරහ කොරිඩෝව දිගේ ස්ටාෆ් රූම් එක පැත්තට යන ගුරුවරයෙක් අහම්බෙන් නැවතිලා පන්තිය ඇතුලට හොස්ස පොවලා පොඩ්ඩක් ගෝරනාඩුව දාල යනව.... අපි සැලෙයි එව්වට....

ඒත් මෙදා පන්තිය ටිකක් වෙනදට වඩා නිශ්ශබ්දයි... ඒ නිසාම මොකක්ද මේ අරුමය කියලා ටිකක් වටපිට බලනකොට පෙනුනා පිරිමි ළමයි ටික අර පන්තිය පිටිපස්සෙ ළිඳ පේන ජනේලෙට ගහල තිබ්බ දැලේ එල්ලිලා, අපි දිහාත් සැරින් සැරේ හැරි හැරි බලන ගමන්, සුටු පුටු ගගා මුමුණ මුමුණ මොකක්දෝ දිහා බලන් ඉන්නව හිනාවෙවී.... අපිත් ඉස්සි ඉස්සි බැලුව මොකක් දිහාද මුං බලන් ඉන්නෙ කියල... ඔළුගෙඩි ටිකට වැහිල මොකුත් පෙනුනෙ නෑ... දැන් අපේ කුචුහලේ උපරිමයි.... ඔන්න ඒ ගමන අරුන් කිහිප දෙනෙක් දැල ළඟින් මෙහාට වෙලා ඩබල් දාල ගියා පන්තියෙන් එළියට.... අපි හිතුව ටොයිලට් එකට හරි පුස්තකාලෙට හරි ගියාය කියල... ඔහොම කුට්ටම් කිහිපයක්ම එළියට ගියාට පස්සෙ ඔන්න ඉඩක් පෑදුනා අපිටත් මේ මොකක්ද බොලේ කියල බලන්න...

මාත් අනිත් එවුන් ටිකත් පෙරලගෙන ගියා මොකක්ද කියල බලන්න... ඉතුරු වෙලා හිටපු කොල්ලො ටිකත් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා අපිට ඉඩ දුන්න... අනේ සංසාරේ අර කියාපු ළිඳ ළඟ අක්කා කෙනෙක් නානවා.... උන්ද නාන්නෙ සුදු පාට තුනී දිය රෙද්දක් ඇඳගෙන.... කට්ටියට විෂුවල් මැවෙන්න ඇතිනෙ.... අන්න එහෙම තමා... ඉතින් අපිත් කෙල්ලො කියල නෑ, කට කණේ තියාගෙන බලන් ඉන්නව.... මෙන්න බොලේ ටික වෙලාවක් බලන් ඉන්නකොට අර අපේ පන්තියෙන් පිට වෙලා ගිය කොල්ලො සෙට් එක, තහනම් අඩවියත් පහු කරගෙන සීන් එකට එන්ටර් වෙනව අපිට පෙනුනා... 'අන්න යකෝ ටොයිලට් යන්න ගිය එව්වො...' කවුද කොල්ලෙකුට එහෙම කියැවුනා... එතකොටම ඉස්සෙල්ලට වැඩිය ඉඩ කඩ පෑදෙනව දැනුනම පස්ස හැරිලා බලනකොට කොල්ලො දෙතුන් දෙනෙක් පන්තියෙ ඉතුරු වෙද්දි අනිත් උන් ටිකත් පන්තියේ දොරෙන් පෝලිමට නොපෙනී යනවා දැකගන්න පුළුවන් උනා... එතකොටම කෙල්ලො පොදිය ජනේලෙ ගාව පිරුනු නිසා මං කළේ ළඟම තිබ්බ පුටුවක් ඇදල අරගෙන ඒක උඩට නැග ගත්තු එක....

දැන් මට පේනව අර කොල්ලො ටික ගිහින් අක්කත් එක්ක කතා කර කර අවුරුදු ගාණක් සා පිපාසාවෙන් පෙලිච්චි උන් වගේ එයාගෙන් වතුර ඉල්ලන් බොනව... උන්දැත් උනුත් එක්ක හිනාවෙවී කතා කර කර, නාන එකත් පැත්තකින් තියල වතුර ඇද ඇද කොල්ලන්ගෙ බොකුටු කරගත්තු අත්වලට හෙමින් සීරුවේ වත් කරනවා.... අක්ක දෙකට නැමිල වතුර වත් කරනකොට සමහර කොල්ලො අක්කගෙ පිටිපස්සට ගිහින් ෆොටෝ ගන්නව වගේ අභිනය දක්වනවත් පෙනුන... සමහරුන්ට නවත්ව ගන්න බැරි තරම් හිනායි.... මෙන්න තව චුට්ටකින් පේනව අපේ පන්තියෙ කොල්ලන්ට අමතරව වෙන පන්තියක කොල්ලොත් දෙතුන් දෙනෙක් සීන් එකට එන්ටර් වෙනව... දැන් හෙන කොල්ලො පොදියක් එතැන... මම තව තවත් ඕනෑ කමින් බොහොම උනන්දුවෙන් බලන් හිටිය මොකද වෙන්නෙ කියල...

එකපාරටම මට දැනුන කවුරු හරි පුටුව උඩ නැගල හිටපු මගේ සුදු ගවුමෙ සායෙන් අදිනව... මං හිතුව තව කාට හරි පුටුව උඩට එන්න ඕන වෙලාය කියල... 'ඔය තව පුටු තියෙන්නෙ... එයින් එකක් ගනින්කො මේකම ඉල්ලන්නෙ...' කියල මම පස්සවත් නොබල කිව්වෙ සීන් එක දිහා බලාගෙනමයි... ටිකකින් මට දැනුනා මගේ දකුණු අතේ උඩ බාහුවට කවුරු හරි පොඩි තට්ටුවක් දානව... 'මොනාද බං... චුට්ටක් හිටහංකො... මළ වදේ...' කියල මං මූණත් හපුටු කරගෙන, මගේ අතට තට්ටුව දාපු අත අල්ලගත්තෙ ඇදල අරන් තල්ලු කරල දාන්න හිතාගෙන.... මගේ අතට අහුවුනේ ගොරෝසු පත අතක්... යකෙක් අල්ලගත්ත තරමට බය වෙච්චි මම හෑහ් ගාල හුස්මකුත් අල්ලනගමන් අහුවෙච්චි අත ගසල දාල පස්ස හැරිල බැලුව... යකෝ අපේ විද්‍යා සර්...!!!

මගේ ඉහේ උකුණො හිටිය නම් උන් ටිකත් බිමට පනින්නැති මට දැනුනු ලැජ්ජාවට.... මට කර කියාගන්න දෙයක් නැති උනා... මං දඩි බිඩි ගාල පුටුවෙන් බිමට බහිනකොට වැටෙන්න ගිය පාර සර්ම මාව අල්ල ගත්ත.... පන්තියේ අනිත් කෙල්ලො ටික මුල්ලකට පොදි ගැහිලා අත් වලින් කටවල් වහගෙන ඇස් වලින් පුපුරන්න හිනා වෙනවා... පරිච්චියො.... නිකමටවත් මට කිව්වෙ නෑ සර් එනවැයි කියල....

සර් වචනයක්වත් කතා නොකර ජනේලෙ ළඟට ගිහින් බැලුව මං බලන් හිටිය දිහා.... එයාගෙ කට කොණට හිනාවක් නැගෙනව මං බලාගෙන.... සර් මං දිහාවට නෝන්ඩි බැල්මක් දාල ඇහුව 'අර මේ පන්තියෙ පිරිමි ළමයි ටික නේද ළිඳ ළඟ ඉන්නෙ...?' කියල...මං මොකුත් නොකිය ඉහළට පහළට ඔළුව හෙල්ලුව.... සර් උඩ ඉඳන් පහළට මං දිහා බලල 'පන්තියේ මොනිටර් උනාම ඔහොමද අනිත් අයටත් ආදර්ශයක් වෙන්න හැසිරෙන්නෙ....' කියල ඇහුවෙ හිනාවක්  හංග ගන්න ගමන්.... හත්තිලව්වයි.... මට මං පන්තියෙ මොනිටර් බව මතක් උනේ එතකොට... 'මට අම්මව හම්බු වෙයිනෙ...' කියල මට ඇහෙන්න හෙමින් කියපු සර් කට්ටියටම වාඩිවෙලා නිශ්ශබ්දව ඉන්න කියල ගියේ කොල්ලො රොත්ත අරන් එන්න....ෂික්... වැදගැම්මක් ඇති දෙයක් බලන්න ගිහිල්ල නම් ඒත් කමක් නැ... මේ කෙල්ලෙක් නාන එකක්... හයියෝ...

සර් ගියපු ගමන් මං හැරුනෙ කෙල්ලො ටික දිහාට... 'තොපි නිකමටවත් කිව්වෙ නෑ මට සර් එනවැයි කියල නේද...'
'අපි දැක්කෙත් සර් පන්තිය ඇතුලටම ආවට පස්සෙ බං... අරකි උඹේ සායෙන් ඇද්දෙ ඒ නිසා... කොහෙද... උඹට මේ ලෝකෙ සිහියක් තිබ්බයැ...' කවුදෝ කිව්ව....


Monday, 11 February 2013

අදනෙ දැක්කෙ....

මේ සිදුවීම උනෙත් අර 'මකියගෙ පස්ස' කතාව සිද්දිය උනු ඔෆිස් එකේ වැඩ කරන කාලෙදිමයි... එතැන අපිත් එක්ක වැඩ කළා තිලකසිරි කියල හාදයෙක්... මේ මනුස්සයා හරිම ජොලි පොරක්.. මිනිහා සාමාන්‍යයෙන් දෙයක් කිව්වත් ඒවට දාන ආරළු බූරළුවලට හිනා යනවා... ඒ නිසා තිලකෙත් එක්ක වැඩ කරනකොට වෙලාව ගතවෙනව දැනෙන්නෙනෑ... සමහරදාට මං වැඩ ඇරිලා එනකොටත්, පාරෙදි, මිනිහා කියපුව මතක් උනාම තනියම හිනා යනවා.... අහළ පහළ මිනිස්සු දැක්කොත් පිස්සුය කියල හිතයි කියල බයට හිනාව නවත්තගන්න අත රිදෙන්න කොනිත්තා ගත්තු වාර අනන්තයි....

අපේ ලන්ච් රූම් එකේ තිබුණා ටීවී එකක්... දවසක් අපි කෑම කාලා කයියක් ගහගෙන ටීටී එක දිහා බලන් ඉන්නවා... අපිත් එක්ක හිටියා නලින් කියල අවිවාහක හාදයෙක්... මිනිහා එතකොට කසාද බඳින්න කෙල්ලෙක් හොය හොයා හිටියෙ... එයා හෙව්වෙ ඉටි රූපයක්... ඉතින් අනිත් උන් බනිනවා 'ලස්සන කෙල්ලො බොට කැමති වෙන්න බෝත් හැන්ඩියෙක් වෙන්න එපායැ' කියලා... ඒ මොනව කිව්වත් මිනිහ නෙවේ එයාගෙ ස්ථාවරය වෙනස් කළේ... ඉතින් මේ කියන දවසෙ ඔන්න ටීවී එකේ යනවා බ්‍රිට්නි ස්පියර්ස්ගෙ සින්දුවක්... ඒ කාලෙ එයා දැන් වගේ නෙවෙයි... ලස්සන ස්ලිම් ඇඟක් එහෙම තිබුණා... ඉතින් ඕක බලන් ඉඳලා නලින් කියනවා 'ඔන්න ඔහොම එපායැ කෙල්ලො ඉන්න' කියලා...ඒක ඇහුනු තිලකෙ කියනවා 'ඕකෙ මොන හැඩක්ද බං... ඉඳල හිටල ජිල් බෝලයක් ගහන්න සයිස් බුරියක්වත් තියෙන්න එපායැ..' කියලා....

ඒ කාලෙ අපේ කාකාස මහත්තයා හැමදාම උදේ පාන්දරට අපි එක එක්කෙනාගෙ මේස උඩින්, රත් කරලා නිවපු වතුර බෝතලය බැගින් ගෙනත් තියනවා... ඕක හම්බ වෙන්නෙ දවසට එක සැරයයි... හැමදාම ඉස්සෙල්ලම තමුන්ගෙ වතුර බෝතලේ ඉවර කරගන්නෙ නලින්... ඒ කරලා අනිත් උන්ගෙ වතුර ටික ඉවර කර කර ඇවිදිනවා...තිලකයට ඕක දිරෙව්වෙම නෑ... එක දවසක් නලින් තිලකෙගෙ වතුර බෝතලේට අත ගහනකොටම මූ කියනවා 'මචං අපි කසාද බැඳපු මිනිස්සු.... අපේ කටවල් හොඳ නෑ.. උඹ තනිකඩය හින්දා අපි කට ගහපු බෝතල් වලින් බොන්න යන්න එපා බං' කියලා... හයියෝ... කට්ටිය ඊට පස්සෙ ඕකට තව තව ඒව එකතු කරල කිව්ව... අනේ ඉන් පස්සෙ නලියා කවදාවත්  අනුන්ගෙ බෝතල් වලින් වතුර බොන්න නම් ආවෙ නෑ...

දවසක් අපි වැඩ කරන වෙලාවක ජනේලෙ අයිනට වෙලා පාර බල බල හිටපු උපාලි එක පාරටම කෑ ගැහුව 'අඩේ ඔන්න මචං පුක් නිමලෙය එනව, මං මාරු..' කියල... ඒක ඇහුන විතරයි මිනිහා විතරක් නෙවේ අනිත් උන් ටිකත් පුටු ටිකත් පෙරලගෙනම වගේ එළියට ගියා කොහේ ගියාද දන්නෑ... ඉතුරු උනේ අහිංසක තිලකයා විතරයි... ඒ දවස්වල අපි දෙන්නම ලොකුම ලොක්කත් අත දාපු කේස් එකක් ඉක්මනට ඉවර කරන්න මැරීගෙන වැඩ කරපු හින්දාත්, ලොක්ක සැරින් සැරේ කෝල් කර කර මිනිහගෙන් අරක මේක අහන හින්දාත් මිනිහට හෙල්ලෙන්න විදියක් තිබ්බෙ නෑ... මං තිලකෙගෙ මූණ බලනකොට මිනිහගෙ මූණත් වෙනස් වෙලා දාඩියත් දාල තියෙනව මං දැක්කා... 'ෂිහ්..' කියලා මිනිහා කියපු විදියට මං ඇහුවා 'මොකද තිලකෙ..?' කියලා...
'මියුරු, ඔළුව උස්සලවත් බලන්නෙ නැතුව ෆයිල් එකටම ඔළුව ඔබාගෙන ඉඳින්... මං පස්සෙ කියන්නම් විස්තරේ..' කියල කියපු මිනිහා තවත් ෆයිල් දෙක තුනක් කොහෙන්දෝ ඇදලා අරගෙන  මේසෙ උඩට දැම්මා විතරයි අපේ අංශෙ දොරින් ඇතුළු උනේ උස මහත අවුරුදු හතළිස් පහක විතර පෙනුම ඇති මනුස්සයෙක්...

මම ටක් ගාලා ෆයිල් එක දිහා බලාගත්තා... තිලකෙයා ගජ රාමෙට වැඩ ඔළුව උස්සන්නෙවත් නැතිව...
'ආ තිලකේ... වැඩ වගේ...' පොර කියනව ඇහුනම මං හොරැහින් තිලකසිරි දිහා බැලුවා...
මිනිහට ඇහුනෙ නැති ගාණයි... මටත් ඔළුව උස්සලා බලන්න එපා කිව්ව නිසා මාත් කරබාගෙනම හිටියා උනාට අවධානයෙන් හිටියෙ මොකක්ද මෙතන වෙන්නෙ කියල... වෙනද මෙහෙම දේවල්වලට හිනා ගියාට එදා නම් මොකක්දෝ හේතුවකට මට හිනා ගියෙත් නෑ... 
'ආ... මේ කෙළි පැටික්කියෙකුත් ඉන්නෙ..' ඒත් අපි දෙන්නම සද්ද නෑ...
බැරිම තැන 'මොකක්ද බං ඔච්චර ෆයිල් එකේ මූණ අලවං කරන වැඩේ...?' කියාගෙන මිනිහා මං හිටිය තැන පහු කරලා වටෙන් ඇවිත් තිලකසිරි ගාවට ගිහින් හිටගත්තා විතරයි තිලකය නැගිට්ටා පුටුව පස්සට දාලා විදුලි සැරයක් වැදුන වගේ... බය වෙච්චි පාර මටත් නැගිට්ටවුනේ ඉබේටම... ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිව මමත් හිටියෙ...
ටිං ගාලා මගේ පුටුවත් තල්ලු කරගෙන මිනිහා අනිත් පැත්තට ගියේ 'මේ ලොක්කගෙ කේස් එකක්' කියාගෙන...
'කෝ බං මේකෙ ඉන්න අනිත් උන්..? ඔන්න ඕක ඔය එකෙකුට බාර දීල වරෙන් යන්න මේ කේස් එකට...' කියූ මනුස්සය අතේ තිබ්බ ෆයිල් එකක් පෙන්නුව...
තිලකසිරි නෑහුනා වගේ වෙනින් ෆයිල් එකක් ඇදලා අරගෙන මට එක එක උපදෙස් දෙන්න පටන් ගත්තා අරම කරන්න මෙහෙම කරන්න කිය කියා... අර මනුස්සයත් ටිකක් වෙලා බලන් ඉඳලා 'උඹලට වැඩනෙ... මං පස්සෙ එන්නම්... යන්නම් නංගී..' කියාගෙන දොරෙන් එළියට ගියාට පස්සෙ තමයි තිලකයා හුස්මක් ගත්තෙ හරියට...

පස්සෙ බලනකොට ඒ නිමල් කියන මනුස්සයා සමරිසි පොරක්... ඒ හින්දා කට්ටිය එයාට කියන්නෙ පුක් නිමලයා කියල.... නිමල්ට තමුන් ඉස්සරහ ඉන්න පිරිමියා  කවුරු උනත් කමක් නැතිලු උන් හිටි තැන් බලන්නෙත් නැතිව එහෙන් මෙහෙන් අල්ලනවලු... ඒක තමයි අර අනිත් පුරුෂ පරාණ ටික මිනිහ එනවා කියල ඇහුනා විතරයි පටස් ගාල මාරුවෙලා තියෙන්නෙ...  මිනිහට පොඩි ක්‍රෂ් එකක් තියෙනවලු තිලකසිරි ගැන... තිලකයා බැඳලා තියෙන්නෙ පහුවෙලා නිසා ඒ මනුස්සය හිතල තියෙන්නෙ තිලකෙත් එයා වගේ කියලා... ඉතින් ඒ දවස්වල පස්සෙන් වැටීගත්තු ගමන්මලු... කසාද බැන්දමත් මිනිහ හිතල තියෙන්නෙ තිලකෙ ඒක කළේ ලෝකෙට පේන්න කියලලු... ඒක ඇහුවම නම් මට හිනා ගියා... ඒකට තවත් උල්පන්දම් දීපු සිදුවීමක් උනේ තිලකසිරිට බබාලා නොසිටීමලු... ඉතින් පස්සෙ අර පැනලා ගිය උන් ටික එකා එකා ඇවිත් නිමල් මොනවටද ආවෙ කියල විස්තර අහනකොට තිලකසිරි කිව්ව 'ඌත් එක්ක කේස් කරන්න කතා කරන්නෙ...' කියල... ඒක අහන් ඉඳලා උපාලි කියනවා 'මචං උඹ ඌත් එක්ක කේස් කරන්න යනව නම් පුකට ලෑල්ලක් ගහගෙන හරි ගාඩ් එකක් දාගෙන හරි පලයං... නැත්නම් විසුමක් වෙන්නෑ..' කියල... ඔහොම ඒවා කිය කිය කට්ටිය එදා දවසම ඇතිවෙන්න හිනා උනා...

එදා හිනා උනාට වැඩේ බරපතලකම මට තේරුනේ ඊට සතියකට විතර පස්සෙ... එදා අපි දෙන්නා ආයතනයේ වෑන් එකට අදාල කේස් එකටම සම්බන්ධ ෆයිල් තොගයයි සාම්පල් ටිකයි පටවගෙන හෙඩ් ඔෆිස් යනව ලොක්කව මුණගැහෙන්න... මෙන්න වාහනේ ස්ටාට් කරගෙන වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ ටිකක් හෙමින් ගිය නිසාද කොහෙද, කොහෙදෝ අස්සක ඉඳලා නිමල් පැන්නා වාහනේ ඉස්සරහට... තිලකසිරි ඩ්‍රයිවර් සීට් එක ළඟ තිබ්බ ජනේලෙ වීදුරුව පහත් කරගෙන හිටියෙ ඒ වාහනේ ඒසී තිබ්බෙ නැති නිසා...වාහනේ බ්‍රේක් ගහල නැවැත්තුවා විතරයි ජනේලෙ ළඟට පැනගෙන ආව නිමල් මං ඉන්නව කියල වගේ වගක් නැතුව 'ආ තිලකේ...' කියල කියන ගමන්ම  ජනේලෙන් අත ඇතුලට දාල තිලකසිරිගෙ කළවෙ මිරිකුවා... 'ඒයි.. ගනින් අත අහකට' කියපු තිලකසිරි සුක්කානම අත හැරලා අත් දෙකෙන්ම අරකාගෙ අත ඇදලා අරන් ජනේලෙන් එළියට තල්ලු කරලා වාහනේ රේස් කරගෙන ගියේ ඒ මිනිහට මොනව උනාද කියලවත් බලන්නෙ නැතිව... නිමල් ගැන අහල තිබ්බට මං ඇස් දෙකින් දකිනකම් හීනෙකින්වත් හිතුවෙ නෑ මිනිහ ඒ වගේ වැඩක් කරයි කියල... තිලකසිරි මග දිගටම නිමල්ගෙ අම්මා මතක් කර කර කුණුහරපෙන් බැණ බැණමයි ආවෙ... මං සද්ද නැතිව හිටියා මිනිහට කේන්ති ගිය එක සාධාරණ නිසා...

ඒ සිද්දියටත් පස්සෙ ආයෙම දවසක මමත් තිලකසිරිත් මොකක්දෝ වැඩකට ලොක්කව මුණගැහෙන්න හෙඩ් ඔෆිස් යන්න පිටත් උනා පයින්ම... නිතරම ඔය වගේ කුණු ගොඩවල්වලට මටත් තිලකසිරිටත් යන්න වෙච්චි හේතුවක් තමයි සාරි පොටක් දැක්කම මොන වැරැද්දකටවත් ලොක්ක කඩන් පනින්නෙ නැහැයි කියන මතයත්, තිලකසිරි කිසිම දෙයක් මග ඇරලා යන්නෙ නැතිව අතින් වියදම් කරලා හරි වැඩක නිමාවක් දකින්න උත්සාහ කරන එකෙක් වෙච්චි එකත්... පාරට ඇවිත් ටිකක් දුර යනකොට ඔන්න මට පේනවා නිමල් එනවා අපේ පැත්තට...
'තිලකේ... ඔන්න නිමලය නම් එනවා...' මං අනතුරු හඟවනකොට කලබල වෙච්චි පොර ඇහුව 'කෝ.. කොහෙද..?' කියලා..
'ඔය එන්නෙ ඉස්සරහ'...
අපිව දැක්ක නිමලයගෙ කට කිරි හට්ටිය වගේ... මිනිහත් එක්ක තව කවුද සාරිය ඇඳගත්තු බවලත් කෙනෙකුත් හිටියා... ඒ වෙනකොට තිලකසිරිට පැනගන්න අවස්ථාවක් තිබ්බෙ නෑ...
හිනාවේගෙන අපි ඉස්සරහට ආව නිමල් අර කලින් සිදුවෙච්චි කිසි දෙයක් නොසිදුවූ ගානට 'තිලකෙ.. හෙඩ් ඔෆිස් යනවද?' කියල ඇහුවා...
'ඔව් මචං... ලොක්ක හම්බවෙන්න කියල පොඩි කේස් එකකට..'
'මචං මේ මගෙ අම්මා... පිටකොටුවෙන් පොඩි බඩු වගයක් අරන් දෙන්න කියල එක්කන් ආව..' කියල නිමල් එයාත් එක්ක හිටපු ගෑණු කෙනාව හඳුන්වලා දුන්නා...
ඒක ඇහුනු තිලකසිරි එයා දිහා බලලා, 'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...

Monday, 4 February 2013

වෙනස...

අද කියන්න යන්නෙ පොඩි පොඩි කතා හතරක්... මේවා මේ ළඟදි අපට මුහුණ දෙන්න ලැබුණු අත්දැකීම් ටිකක් සහ ඒවා අහගෙන බලාගෙන ඉන්නකොට මට හිතුනු දේ...

අපේ චූටි දුවගෙ හොඳම යාළුවා ෆින්ලේ කියන ගෑණු දරුවා... එයාල දැනට අවුරුදු කිහිපයකට කලින් මෙහාට ආවෙ තස්මේනියාවෙ ඉඳලා.... ෆින්ලේගෙ අම්මා ටමාරා එහේදි කරලා තියෙන රස්සාව ලංකාවෙ සිංහල පවුලක පොඩි දරුවෙකු බලා ගත්තු එක... ඒ පවුලට පින් සිද්ද වෙන්න ටමාරලගෙ හිතේ ලංකාවෙ අය ගැන තියෙන්නෙ බොහොම ප්‍රසන්න හැඟීමක්... තවමත් ඒ ශ්‍රී ලාංකික පවුල ගැන කතා කරන්නෙ බොහොම ආදරයෙන්... ඒ හින්දා වෙන්න ඇති එයාල ආපු ගමන්ම වගේ අපිත් එක්ක බොහොම ලෙන්ගතු උනේ....

මෙහේ තියෙනවා මේ ප්‍රදේශයේ ප්‍රාථමික ඉස්කෝලවල ළමයි එකතු කරලා හදපු බෑන්ඩ් එකක්... අපේ දුවත් ෆින්ලේත් ඒකෙ ගිටාර් ගහන හින්දා මාසෙකට දවස් දෙකක් විතර මුළු බෑන්ඩ් එකම දාලා කරන පුහුණු කිරීම් වලදි ඉස්කෝලෙ ඉවරවෙලා එයාලට යන්න වෙනවා ටිකක් ඈත තියෙන වෙන ඉස්කෝලෙකට.... ටමාරා තමයි මෙයාලගෙ ප්‍රවාහන වගකීම් භාර අරගෙන ඉන්නෙ.... ඒ හේතුව නිසාම මේ පවුල අපිත් එක්ක බොහොම සමීපයි... ෆින්ලේගෙ තාත්තා සෑම්... එයාට ඩැරන් කියල අයියෙකුයි, බ්‍රිට්නි කියල නංගෙකුයි ඉන්නවා...

එක දවසක් බෑන්ඩ් එකේ පුහුණුවීම්වලට ගිහින් ආව චූටි දුව කියනවා, 'අම්මි අද අපි ප්‍රැක්ටිස් යන්න කලින් සෑම්ගෙ ගෙදරට ගියානෙ එයාට සෝෆා එකක් දෙන්න..' කියල... මට පුදුම හිතුනා... 'සෑම් ඉන්නෙත් ෆින්ලෙගෙ ගෙදරනෙ.. එයාට කෙහෙන්ද වෙන ගෙදරක්..? මං කීවා... 'නෑ අම්මි... සෑම් ඉන්නෙ ඩැරන් එක්ක වෙන ෆ්ලැට් එකක... සෑම් එහේ නෑ දැන්...' මට තේරුනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... 'මං ඇහුවා එතකොට කවුද සෝෆා එක ගෙනිච්චෙ..? කියල... 'ටමාරා අරන් ගියේ... පස්සෙ සෑම්නුත් ගෙදරින් පහළට ඇවිත් දෙන්න එක්කම ඒක උස්සල ගේ ඇතුලට ගත්තා...' ඇත්තටම සෑම්නුත් ටමාරාත් වෙන් වෙච්චි බව අපිට අළුත් ආරංචියක් උනා... මොකද පොඩි උන් ගන්න ගියාම වෙනද වගේම ඒ දෙන්නම මුණ ගැහෙනවා අපිට... එයාල කතා කර කර ඉන්නවා දකිනවා.... කිසිම වෙනසක් තේරුනේ නෑ චූටි දුව මේ කතාව කියනකම්... ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අද වෙනතුරුත් ඒ බව අපිත් එක්ක කියල නෑ...

චූටි දුවගෙම තවත් යාළුවෙක් ඉන්නවා ග්‍රේස් කියලා... එයාගෙ තාත්තා ඩේවිඩ්, අම්මා ලෝරා... මෙයාල අයිරිෂ් පවුලක්.. එයාලගෙ ගෙදර නිතරම වගේ පාටි... හැබැයි අනිත් ගෙවල්වල තියෙන ඒවා වගේ නෙවෙයි මේ පාටි... පොඩි උන්ට ඇතිවෙන්න කන්න ලැබෙනවා වගේම දරුවව ගෙනියන දෙමව්පියනුත් සහභාගි කර ගන්නවා... හරියට අපේ ලංකාවෙ වගේ... අකමැති අයවත් බලෙන්ම කතාකරලා කන්න බොන්න දීලා තමයි යවන්නෙ... ඔක්කොම කෑම හදන්නෙ, සංග්‍රහ කරන්නෙ ඩේවිඩ්... ලෝරා නෙවෙයි ඒ කිසි දෙයක් ගැන වද වෙන්නෙ.... ඔහොම ඉඳලා එකපාරටම අර පාටි නැවතුනා... ඩේවිඩ් බොහොම බිසි උනා... ග්‍රේස් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ තවත් ළමයි ටිකක් එක්ක බයිසිකලේ පැදගෙන... සමහර දවස්වලට අම්මා ඇවිත් එක්කන් යනවා... ඔහොම අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සෙ දවසක් ඩේවිඩ් බියර් එකක් බොන්න අපේ මනූට කතා කරලා ඒ බොන ගමන් කියල තිබුණා එයාත් ලෝරාත් ඊට අවුරුද්දකට විතර කලින් වෙන් උනු බව.... ලෝරා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා දරුවො කැමතිවෙලා නෑ අම්මත් එක්ක යන්න... නමුත් සති අන්තෙ අම්මත් එක්ක ඉඳලා එනවා.... නැතිනම් අම්මා මේ ගෙදරට ඇවිත් දරුවොත් එක්ක දවස ගත කරලා යනවා... ඒ තමයි ඩේවිඩ්ගෙ කතාව...

ඉතින් ඔහොම ඔය දෙවලුත් අහගෙන ඉන්න අතරෙ දවසක් මෙන්න මට එනවා කෝල් එකක් මං බොහොම මෑතකදි දැන හඳුනාගත් ලංකාවෙ පවුලක නෝනා කෙනෙක්ගෙන... මෙයාට අපි මාලා කියමු... කෝල් එක පිළිතුරු දෙන්න රිසීවරේ කණේ තියාගත්තු මට එයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ... ගෑණි හෝ ගාල අඬනවා... මොකක් හරි විපැත්තියක් වෙලා කියා නම් තේරුනා... අන්තිමට මං කළේ දඩි බිඩි ගාලා ලැහැස්තිවෙලා එයාලගෙ ගෙදර ගිය එක... මං යනකොටත් මාලා හොටු කඳුළු පෙරාගෙන ෆෝන් එක කණේ ගහගෙන තවත් කවුරුද එක්ක කතාවක්... මොකද වෙලා තියෙන්නෙ බලනකොට මෙයාගෙ මහත්තයා මෙයාව දාලා ගිහින්... නිකම් නෙවෙයි, ගෑණිගෙ කණකර බඩුයි ගෙදර තිබ්බ සල්ලි ටිකයි අතගාගෙන... 'අනේ බලන්න මියුරු.. බලන්න මේ මිනිහා කරපු වැඩේ... දැන් කොහොමද මං ලෝකෙට මූණ දෙන්නෙ... කට්ටිය අහනකොට මං මොනවද කියන්නෙ... මං මේක කිව්වෙ ඔයාට විතරයි...' කිය කිය මාලා විලාප ගහනවා... මට විතරක් කිව්වාය කියල කීවට මං ඉන්දැද්දිම තව කෝල්ස් කිහිපයක් එයාම එක් එක්කෙනාට දිදී විස්තර කියනවා මං අහගෙන, බලාගෙන.... තව කෝල්ස් කිහිපයක් මෙයාට ආවත් එක්ක... අන්තිමට එයා විසින්ම දවස ඉවර වෙනකොට වැඩේට සෑහෙන ප්‍රචාරයක් දීගෙන... 

කොහොමින් හරි දෙපැත්තකට වෙන් උනු දෙන්නා තවමත් දෙන්නගෙ යාළුවොන්ට කිය කියා බැණ අඬගහ ගන්නවා... ෆේස් බුක් එකෙන් පවා වලිය යනවා... ගිය අවුරුද්දෙ අන්තිම මාලි ලංකාවට ගියා මිනිහා හැඳි ගෑවිලා යන්න ගුරුකමක් කරන්න කියල... දැන් මේක දන්න කියන හැමෝටම විහිළුවක් වෙලා... ඇත්තටම විකාරයක් වගේ... සිද්ද වෙච්චි ලැජ්ජා සහගත වැඩ ලිව්වෙ බොහොම අඩු කරලා... පූරුවෙ වාසනාවකටද කොහෙද මේ දෙන්නට දරුවො නෑ... හිටියා නම් දරුවෙකුටවත් පාරෙ බැහැල යන්න ලැබෙන්නෙ නෑ අම්මයි තාත්තයි කරන විගඩම් හින්දා... ඒ අපේ අයගෙ කතා අංක එක...

මේ දෙවෙනි කතාව... දවසක් හැන්දෑවෙ මනූගෙ යාළුවෙක් අපේ ගෙදර එනවා, මනුස්සයා දිහා බැලුවම මතක් උනේ ලංකාවෙ හිඟන්නෙක්ව... මනූට එකපාරටම ඇහුනා 'මොකක්ද බං උඹට උනේ...?' කියලා... මෙයා දරු පවුල පිටින්ම ශිෂ්‍යයෙක් විදියට ඇවිත්, පුදුම කට්ටක් කාලා බොහොම මෑතකදි පුරවැසි භාවය ලබාගත්තු කෙනෙක්... මෙහේ ඉන්න කට්ටිය දන්නවා ඇති දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලක් ශිෂ්‍ය වීසා යටතේ මෙහේ ආවාම විඳින්න වෙන දුක් ගැහැට... මෙයා ඒවා උපරිමයෙන්ම වින්දා... 'අනේ මචං උඹට පුළුවන් නම් මට නවතින්න තැනක් සෙට් කරල දියං... ස්ටුඩන්ට් ඇකමඩේෂන් එකක් උනත් කමක් නෑ..'

පස්සෙ විස්තරේ අහල බලනකොට පුරවැසිභාවය ලැබුණු ගමන් නෝනට දොඩම් ගොඩම බදාගන්න ඕන වෙලා... නෝනා රස්සාවක් කරන්න අකැමැති නිසා මහත්තයා විතරයි රස්සාවක් කරන්නෙ... තනි පඩියෙන් පස් දෙනෙකුගෙ පවුලක් නඩත්තු කරන එක ටිකක් අමාරු වැඩක්... ඒ අස්සෙ නෝනට ඕන උනාලු කාර් එකක්... මේ මනුස්සයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයවෙලා කාර් එකක් අරන් දීලා... ඒත් නෝනට ලයිසන් නෑ..නෝනා නව පාරක්ම ටෙස්ට් එක ෆේල් වෙලා... ඒ උනාට මේ නෝනා එහෙමයි කියලා පහු බැහැලා නෑ... ළමයි තුන්දෙනත් එක්ක කාර් එක එලවගෙන එහෙ මෙහෙ යනවා... මාට්ටු උනදාට ඔක්කොම ඉවරයි... නෝනගෙ වියදමුත් බොහොම සැරයිලු.. ඒ නිසාම දැන් ක්‍රෙඩිට් කාඩ් ණය එකතු වෙලා තියෙනවලු ඩොලර් හතළිස්දාහක්.... ඒ උනාට දැන් නෝනට ඕනලු ගෙයක් ගන්න... අර මනුස්සයා අහනවා කොහෙන් ගෙවන්නද තනි පඩියකින් කියලා... නෝනා පිළිගන්නෙම නැතිලු... අන්තිමට ඒ ගෑණු මනුස්සයා කරලා තියෙන්නෙ මහත්තයගෙ ක්‍රෙඩිට් කාඩ් එකයි, ෆෝන් එකයි තමුන් භාරයට ගත්තු එක... ඒ කරලා ගෙයින් එළියට බැහැලා කෑ ගහ ගහ අහසට වැලි ගහ ගහ තමුන්ගෙ මහත්තයට සාප කරනවලු... අහළ පහළ ගෙවල්වල සුද්දොත් එළියට බැහැල බලනවලු මේ විගඩම මොකක්ද කියල... එවෙලෙම මනුස්සයා ගෙයින් එළියට බැහැල, දරුවො යන්න එපා කිය කියා අඬ අඬා ඇඟේ එල්ලෙද්දි... 'මං කොහොමද මනූ ආයෙ ඒ ගෙදර ඉන්නෙ රෙද්දක් ඇඳගෙන..' ඊළඟ පඩිය හම්බුවෙනකම් සති දෙකක් ජීවත් වෙන්න ඒ මනුස්සයගෙ අතේ ඒ වෙනකොට තිබ්බෙ ඩොලර් එකසිය විස්සයි... දැන් එයා තමුන්ගෙ ගෙදරට ටිකක් ඈතින් කාමරයක් අරන් තනියම ජීවත් වෙනවා...

 මං මේ කතා ටික කිව්වෙ මෙහේ අයගෙයි අපේ අයගෙයි මේ වගේ දෙයකදි හැසිරීමේ වෙනස පෙන්නන්න... දික්කසාදයකදි හරි වෙන්වීමකදි හරි අපේ අය බොහෝ විට වැඩේ චා කරගන්නවා විහින්ම... තමුන්ගෙ හැඟීම් පාලනය කරගන්න බැරි කමින්... අන්තිමට පාරෙ බැහැල යන්න බැරිව අනුන්ටත් විහිළුවක් වෙලා තමයි නවතින්නෙ ප්‍රසිද්ධියේ කුණු සෝදන්න ගිහිල්ලා... අපේ මස්සිනා කියන්න වගේ කක්කා දාලා ඒකට පොල්ලෙන් තලනවා... අන්තිමට අනුන්ගෙ ඇඟේ විතරක් නෙවේ තමුන්ගෙ ඇඟෙත් ජරාව... හැමෝම හදන්නෙ තමුන් නිවැරදිකාරයා කියල අනුන්ට ඔප්පු කරන්න... ඒකෙන් වෙන්නෙ ගෙයි ගිනි පිටට දීමත්, පිටත ගිනි ඇතුලට ගැනීමත්... සමහර වෙලාවට ඔය වගේ දේවලදි අනුන්ගෙ උපදෙස් පතන්න ගියාමත් වැඩේ වරදිනවා... ඒ නොදැනුවත්කමින් හෝ දැනුවත්ව දෙන උපදෙස් වැරදී යාමෙන්... ප්‍රශ්ණෙ සැබෑම තත්වය දන්නෙ තමුන් නිසා (තමුන්ගෙ වැරදි කවුරුවත් අනුන්ට කියන්න යන්නෙ නෑනෙ..) මට හිතෙන විදියට මේ වගේ දෙයකදි නිවැරදි තීරණයක් ගන්න පුළුවන් තමුන්ටමයි...

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි... මේ වගේ දෙයකදි පුළුවන් තරම් ගෙදර බිත්ති හතර ඇතුලත වැඩේ විසඳගන්න උත්සාහ කරන්න... විශේෂයෙන්ම තීරණ ගැනීමෙදි දරුවො ඉන්නවා නම් තවදුරටත් සැලකිලිමත් වෙන්න... මෙහේ නම් කවුන්සලිං වගේ දේවලුත් මේ සම්බන්ධව තියෙනවා... ලංකාවෙත් නැතිවෙන්න බෑ... එවැනි තැනකට ගිහින් උපදෙසක් ගන්න පුළුවන්... මෙහේ මිනිස්සුත් මනුස්සයොනෙ... රටට විහිළුවක් වෙන්නෙ නැතිව ඒ අයට මේ වගේ ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් ඇයි අපේ අයට බැරි...