Total Pageviews

Monday 30 January 2012

අත්තම්මගෙ හපන්කම........



මං පුංචි කාලෙ හරිම ආසයි අපේ අම්මලගෙ මහ ගෙදර යන්න.... ඒ ගම ඔය කාලෙ ගමක තියෙන සුන්දරත්වයෙන් අනූනයි.... මට ඒ කාලෙ දැනුනෙ ඒක සුරංගනා ලෝකයක් වගේ..... එක පැත්තකින් ඇහැට පේන තෙක් මානෙ නිලට නිලේ දිලෙන වෙල් යාය.... අනිත් පැත්තෙන් ගඟ..... ගෙයි පිටිපස්සෙන් මහ කන්ද..... පළතුරු, සමනළයො, කුරුල්ලො වගේම සතා සරුපයත් මදියි නොකියන්න....

Monday 23 January 2012

'ඔයා තමයි අපේ ගෙදර.....'


ඉස්සර මං ඉස්කෝලෙ යන්න පටන් ගත්ත කාලෙ වෙනකොට අපේ තාත්ත වැඩ කළේ එයාලගෙ ඔෆිස් එකේ ගමේ බ්‍රාන්ච් එකේ.... ඒ නිසාම ඒ දවස්වල තාත්තට ටිකක් විවේකය තිබුණා අපේ වැඩවලට සහභාගි වෙන්න.... ඉතින් ඒ දවස්වල බින්දුවේ හිටිය මාව ඉස්කෝලෙ ගෙනියන ගේන වගකීම පැවරිලා තිබුණෙ අපේ තාත්තට.... තාත්තගෙ ප්‍රවාහන සේවය සිද්ද උනේ රෝද දෙකකින්... බයිසිකලේ හරස් පොල්ලෙ වාඩිවෙලා හුළං වැදි වැදී ඔය ගමන යන්න මං හරිම ආසයි....අපේ අම්ම ඒ දවස්වල හරියට කෙඳිරි ගෑව රෝද හතරක් ගමු කියල.... තාත්ත නෙවෙයි ඒව කනකටවත් ගත්තෙ.... තාත්ත එහෙම වෙලාවට කිව්වෙ බයිසිකල් පදින එක හොඳ ව්‍යායාමයක් නිසා රෝද හතරකින් එයාට වැඩක් නැත කියල.... ඇත්තටම තාත්තා කළේ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් එකතැන වාඩිවෙලා කරන රැකියාවක් නිසා, ව්‍යායාමයක් කියල දෙයක් එයාගෙ ඇඟට ලැබුණා නම් ලැබුණෙ බයිසිකල් පැදීමෙන්ම විතරයි..... ඔෆිස් එකේ අනිත් අය ඔය බයිසිකලේ නිසා තාත්තට කොච්චර සවුත්තුව දැම්මත් එයා නෙවෙයි ඒකට සැලුනෙ.... අන්තිමට තාත්තගෙ බයිසිකලේට කස්ටිය නමකුත් දැම්ම 'චොපර් එක' කියල.... ඒ උනාට අද අපට තේරෙනව තාත්ත බයිසිකල් පැදපු එක මොනතරම් හොඳද කියල එයාගෙ සෞඛ්‍යය තත්වයත් එක්ක බැලුවම....

Wednesday 18 January 2012

චූටි නංගිගෙ චක්කරේ.....

අපි තුනේ පන්තියේ ඉන්නකොට අපට නියම වෙලා තිබුණ චක්කර කට පාඩම් කරන්න.... ඕක නැතුව ගණන් හදන්න බැහැනෙ.... මට මතකයි ඒ දවස්වල ගණන් හදන්න ගන්න කොටු රූල් පොත්වල පිට කවරෙ අන්තිම පිටුවෙ 1 ඉඳලා 12ට චක්කර ටිකයි, අනිත් බර, දිග, පරිමාව මණින ඒවයෙ අනුපාතයි දාල තියෙනව.... පස්සෙ කාලෙකදි කොටු රූල් පොත්වල ඒව දාන එක නැවැත්තුව මට මතක විදියට.... එහෙම පොත්වල අච්චු ගහල තිබුණට වැඩක් උනේ නෑ.... මිස් පාඩම් ගන්න වෙලාවට පොත් අනිත් පැත්ත හරවලා ඒවා වහගන්න ඕන.... කට්ටයො වැඩිවෙනකොට මිස් පොත් ටික කලින්ම එකතු කරගන්නව... ළමයින්ට වාසියකට තිබ්බෙ චක්කර පාඩම් ගන්න දවස කලින් කියන එක.... ඒ කිව්ව දවසට පන්තියෙ එව්වො ටික, විශේෂයෙන්ම කොල්ලො උදේ පාන්දරින්ම ඉස්කෝලෙ ඇවිත් චක්කරේ ලියාගන්නව මේසෙ උඩ.... ඉතින් පාඩම් දෙන වෙලාවට මිස් පොඩ්ඩක් අහක බලාගන්නකම් තටම තටම ඉඳලා වෙඩි වගේ කියනව අනිත් පැත්තට හැරුණු ගමන් අරක දිහා බලාගෙන.... මම නම් පුළුවන් ඉක්මනට ඕක පාඩම් කරගත්ත, වෙන මොනවටවත් නෙවේ, ලැජ්ජවෙන්න වෙනවට.... ඒ දවස්වල ඕව බැරි උනාම වේවැල් පාර වදිනව.... එහෙම නැත්නම් පන්තිය ඉස්සරහ දණ ගහගෙන ඉන්න ඕන.... ඒත් නැත්තං පන්තියෙන් එළියට දානව....

Monday 9 January 2012

විජේ අයියා....

මං මෙයා ගැන දිග විස්තරයක් කිව්වනෙ මගේ කලින් පෝස්ට් එකක.... ඒකම ආයෙ ලියන එකේ තේරුමක් නැති හින්දා ඒක නොකියවපු උදවිය මෙන්න මේ කලින් පල කළ පෝස්ට් එක කියවලා පොර මොන වගේ කෙනෙක්ද කියල දැනගන්න හොඳේ....
http://miyuruworld.blogspot.com/2011/12/blog-post_29.html#more

Monday 2 January 2012

මිස්ගෙ බෑග් එක....



මං අර කලින් කියපු "යාළුද බලපු හැටි" කතාවෙ කිව්වනෙ පොඩි කාලෙ ඉගෙන ගත්තු කණිෂ්ඨ විද්‍යාලෙ ගැනත් ඒකෙ උගන්වපු ගුරුවරු වැඩි දෙනෙක් අපේ අසල්වැසියො බවත්....  ඔන්න හතරෙ පන්තියෙදි පළමු වතාවට මං වැටුන අසල්වැසියෙකු නොවුනු මිස් කෙනෙකුගෙ පන්තියට.... උනාට මිස්ගෙ අයියා අපේ අසල්වැසියො... එයා නිතර අයියලගෙ ගෙදර යන එන නිසා අපිව හොඳට දන්නව.... කාලෙ අළුත් පන්තියක් පටන් ගන්නකොට පන්තියේ ළමයි පොඩි සම්මාදමක් හෙම දාල පන්තියට ඕන කරන ඉදල්, කොසු, ගුරු මේසෙට ඉටි රෙද්දක්, මල් වාස් එකක්, නාම ලේඛනයට කවරයක් දාන්න බ්‍රවුන් පේපර් කොළයක් නොවැරදීම ගන්නව.... එහෙම ගත්තම පන්තියේ නම හැම එකකම හණ ගහන එක නම් නොවැරදීම කරනව... නැත්නම් මදි පාඩු වෙනකොට අනිත් පන්තිවල එවුන් ඕක උස්සනව.... ඒත් සමහර වෙලාවට හණ ගහලවත් බේරගන්න බැරිවෙන වෙලාවලුත් තිබුණ.... උස්සපු එවුන් කරන්නෙ ගහල තිබුණු හණ සූරල මකල දාල ඊට උඩින් උන්දලගෙ පන්තියෙ නම ගහගන්න එක... උනාට ඉතින් තමුන්ගෙ පන්තියෙ භාණ්ඩෙ අඳුනගන්න පුළුවන්නෙ.... ඉතින් දෙගොල්ලො මරාගන්නව... කෙල්ලො ටික ගිහින් කොල්ලොන්ට පණිවුඩේ දීපු ගමන් උන් තමයි වලියට යන්නෙ....