Total Pageviews

Saturday 16 July 2016

මතකය...



මං ලියන කතා බැලුවම අපේ පවුලෙ අයට හරි පුදුමයි මට මෙච්චර දේවල් මතක තියෙන්නෙ කොහොමද කියලා... ඒ සමහරක් ඒවා මං ගොඩාක් පුංචි කාලෙදි වුනු සිදුවීම්... සමහර මතකයන් සම්බන්ධව කියන්න තරම් දිග කතා නැත්තෙ ඒවා නිකම්ම සිදුවීම් දාමයන් හින්දයි... ඒ උනාට සමහර මෑත සිදුවීම් මතකයෙන් ගිලිහිලා තියෙන්නෙ පුදුම විදියට... සමහර පුද්ගලයොත් එහෙමයි... සමහරුන්ව දැක්කම හොඳට පුරුදු කෙනෙක් කියල මතක් උනාට කොහෙදිද මෙයාව දැක්කෙ, කතා කළේ, නම මොකක්ද කියන විස්තර මතකයට එන්නෙම නෑ... ටියුබ් ලයිට්... ඒක පත්තු වෙන්නෙ සමහරවිට ගෙදර ආවටත් පස්සෙ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි... ඒ වැඩේ නම් මහ සවුත්තුම දෙයක්....

Friday 8 July 2016

ලොරියා...

ඒ කොල්ලට ලොරියා කියන නම කොහොම වැටුනද කියන්න මං අදටත් දන්නෙ නෑ... හැබැයි මිනිහා අපේ ගමේ මහා විද්‍යාලයේ දිවීමේ ශූරයෙක් කියන එක නම් දැනගෙන හිටියා... කඩවසම් මූණකුත් ෆිට් ඇඟකුත් තිබුනා උනාට මිනිහා කොටා... අඬු දිග කොල්ලො පරද්දගෙන කොට අඬු තිය තියා මේ කොටා වේගෙන් දුවනවා ඒ දවස්වල එක සැරයක් මං දැකලා තිබුණා... මිනිහට ඉගෙන ගන්න නම් බෑ... පොර හෙන කුකුළා... කෙල්ලොත් මිනිහට වැහි වැහැලා... පොරට කවුරු උනත් කමක් නෑ එවෙලෙ දැක්කද, ඒ ඇති...

Sunday 5 June 2016

කාක් ගින්න.....


අපි පුංචි කාලෙ අපේ අම්මලා නොසෑහෙන්න දුක් විඳිනවනෙ කෑම කටක් කවා ගන්න.... රටේ නැති පච දෙස දෙසා (හරි නම් ඒවා ඇති පණ පිටින් අපාගත වෙන්න ) ගේ වටේ ඇවිද ඇවිද හෙමනෙ යාන්තම් බත් ගුලියක් එහාට දා ගන්නෙ... එහෙම දුක් විඳලා කව්ව ගත්ත කාලෙ පහු උනාම ඊළඟට එනවනෙ කොයි තරම් කෑම තිබ්බත් මදි වෙන කාලයක්.... ඕං අපේ ගෙදරත් එහෙව් කාලයක් උදාවෙච්චි...(දැන් මගේ ගෙදරත් ඉන්නව ඒ ජාතියෙ එක්කෙනෙක්... සමහරදාට මං වැඩට ගියාම කෝල් කරලා මනූගෙන් අහනවා මෙයා බඩගින්නෙද, නැතිනම් මොනව හරි කෑවද කියලා... එක දවසක් ඔහොම අහනකොට මනූ කියනවා 'යන්තම් කෑම තියෙන කබඩ් එකේ ලෑලි ටික ඉතුරුවෙලා තියෙනවා තවම' කියලා...) අපේ ගෙදර ඔය ගින්න වැඩිපුරම බලපෑවෙ අපේ ලොකු නංගිට... ගේ ඇතුලෙ කෑම තියෙන්න පුළුවන් කියල හිතෙන සෑම අහුමුල්ලක්ම අවුස්සන උන්දැගෙ ගින්නට අපේ අම්මා කිව්වෙ 'කාක් ගින්න' කියලා.... කාක්කට වගේ ඒ ගින්න නිවෙන්න කොච්චර කෑම තිබ්බත් මදි....