https://moodsmith.com/thought-action-fusion/
වෙනදා වගේම අදත් උදේ නැගිටලා තේ එකත් හදාගෙන ඉස්සරහ පාර පැත්තෙ ජනෙල් තිර ඈත් කරලා පාර දිහා බැලුවා. මුළු පැත්තම පාළු වෙලා වගේ. අවුරුද්ද අවසානෙ නිවාඩුවට විශ්වවිද්‍යාල ළමයි තම තමුන්ගෙ ගම් රටවල් බලා ගිහින් හින්දද කොහේද, වෙනදට අපේ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකේ පිරිලා ඉන්න ළමයි එක්කෙනෙක්වත් දැන් පේන්න නෑ. මට දැනුනෙ දුකක්. අපි ඉන්නෙ විශ්වවිද්‍යාලයක් කිට්ටුව නිසා මේ පැත්තෙ ගෙවල් වැඩි හරියක් ළමයින්ට කුලියට දීලායි තියෙන්නෙ. ඉතින් හැමදාම අවුරුද්දෙ අන්තිම, පැත්ත පළාතම මේ වගේ පාළුවෙලා යනවා. ඒ ළමයි කවුරුවත් මං කවදාවත් දැන හඳුනාගෙන කතා කරලා නැතුවට (වැඩි දෙනා ආසියාතික රටවල් වලින් ආව අය ), මේ කාලෙට මට දැනෙන්නෙ මහ පාළුවක්. ඒ හැඟීම දැන් නත්තලත් එක්ක බැඳිලා. හැම වෙලාවෙම හිත කියන්නෙ කොහේ හරි ගිහින් පොඩ්ඩක් විනෝද වෙයන්, කාත් එක්ක හරි කෑම ටිකක් හදාගෙන රජ්ජුරුවන්ගෙ උයනට පලයන්, එතකොට ඔය ගතිය මග හැරේවි කියලා. කොහෙද, දවස් පහ වැඩ කරලා ඉවර වෙනකොට පාං කියාගන්න බෑ. ඔහේ වැටිච්ච තැනක වැටිලා ඉන්න හිතෙනවා. එහෙම ඉන්න තිබ්බා දරු පවුලක් නොහිටියා නම්.