Total Pageviews

Showing posts with label අනුන්ගෙ කතා. Show all posts
Showing posts with label අනුන්ගෙ කතා. Show all posts

Monday, 4 February 2013

වෙනස...

අද කියන්න යන්නෙ පොඩි පොඩි කතා හතරක්... මේවා මේ ළඟදි අපට මුහුණ දෙන්න ලැබුණු අත්දැකීම් ටිකක් සහ ඒවා අහගෙන බලාගෙන ඉන්නකොට මට හිතුනු දේ...

අපේ චූටි දුවගෙ හොඳම යාළුවා ෆින්ලේ කියන ගෑණු දරුවා... එයාල දැනට අවුරුදු කිහිපයකට කලින් මෙහාට ආවෙ තස්මේනියාවෙ ඉඳලා.... ෆින්ලේගෙ අම්මා ටමාරා එහේදි කරලා තියෙන රස්සාව ලංකාවෙ සිංහල පවුලක පොඩි දරුවෙකු බලා ගත්තු එක... ඒ පවුලට පින් සිද්ද වෙන්න ටමාරලගෙ හිතේ ලංකාවෙ අය ගැන තියෙන්නෙ බොහොම ප්‍රසන්න හැඟීමක්... තවමත් ඒ ශ්‍රී ලාංකික පවුල ගැන කතා කරන්නෙ බොහොම ආදරයෙන්... ඒ හින්දා වෙන්න ඇති එයාල ආපු ගමන්ම වගේ අපිත් එක්ක බොහොම ලෙන්ගතු උනේ....

මෙහේ තියෙනවා මේ ප්‍රදේශයේ ප්‍රාථමික ඉස්කෝලවල ළමයි එකතු කරලා හදපු බෑන්ඩ් එකක්... අපේ දුවත් ෆින්ලේත් ඒකෙ ගිටාර් ගහන හින්දා මාසෙකට දවස් දෙකක් විතර මුළු බෑන්ඩ් එකම දාලා කරන පුහුණු කිරීම් වලදි ඉස්කෝලෙ ඉවරවෙලා එයාලට යන්න වෙනවා ටිකක් ඈත තියෙන වෙන ඉස්කෝලෙකට.... ටමාරා තමයි මෙයාලගෙ ප්‍රවාහන වගකීම් භාර අරගෙන ඉන්නෙ.... ඒ හේතුව නිසාම මේ පවුල අපිත් එක්ක බොහොම සමීපයි... ෆින්ලේගෙ තාත්තා සෑම්... එයාට ඩැරන් කියල අයියෙකුයි, බ්‍රිට්නි කියල නංගෙකුයි ඉන්නවා...

එක දවසක් බෑන්ඩ් එකේ පුහුණුවීම්වලට ගිහින් ආව චූටි දුව කියනවා, 'අම්මි අද අපි ප්‍රැක්ටිස් යන්න කලින් සෑම්ගෙ ගෙදරට ගියානෙ එයාට සෝෆා එකක් දෙන්න..' කියල... මට පුදුම හිතුනා... 'සෑම් ඉන්නෙත් ෆින්ලෙගෙ ගෙදරනෙ.. එයාට කෙහෙන්ද වෙන ගෙදරක්..? මං කීවා... 'නෑ අම්මි... සෑම් ඉන්නෙ ඩැරන් එක්ක වෙන ෆ්ලැට් එකක... සෑම් එහේ නෑ දැන්...' මට තේරුනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... 'මං ඇහුවා එතකොට කවුද සෝෆා එක ගෙනිච්චෙ..? කියල... 'ටමාරා අරන් ගියේ... පස්සෙ සෑම්නුත් ගෙදරින් පහළට ඇවිත් දෙන්න එක්කම ඒක උස්සල ගේ ඇතුලට ගත්තා...' ඇත්තටම සෑම්නුත් ටමාරාත් වෙන් වෙච්චි බව අපිට අළුත් ආරංචියක් උනා... මොකද පොඩි උන් ගන්න ගියාම වෙනද වගේම ඒ දෙන්නම මුණ ගැහෙනවා අපිට... එයාල කතා කර කර ඉන්නවා දකිනවා.... කිසිම වෙනසක් තේරුනේ නෑ චූටි දුව මේ කතාව කියනකම්... ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අද වෙනතුරුත් ඒ බව අපිත් එක්ක කියල නෑ...

චූටි දුවගෙම තවත් යාළුවෙක් ඉන්නවා ග්‍රේස් කියලා... එයාගෙ තාත්තා ඩේවිඩ්, අම්මා ලෝරා... මෙයාල අයිරිෂ් පවුලක්.. එයාලගෙ ගෙදර නිතරම වගේ පාටි... හැබැයි අනිත් ගෙවල්වල තියෙන ඒවා වගේ නෙවෙයි මේ පාටි... පොඩි උන්ට ඇතිවෙන්න කන්න ලැබෙනවා වගේම දරුවව ගෙනියන දෙමව්පියනුත් සහභාගි කර ගන්නවා... හරියට අපේ ලංකාවෙ වගේ... අකමැති අයවත් බලෙන්ම කතාකරලා කන්න බොන්න දීලා තමයි යවන්නෙ... ඔක්කොම කෑම හදන්නෙ, සංග්‍රහ කරන්නෙ ඩේවිඩ්... ලෝරා නෙවෙයි ඒ කිසි දෙයක් ගැන වද වෙන්නෙ.... ඔහොම ඉඳලා එකපාරටම අර පාටි නැවතුනා... ඩේවිඩ් බොහොම බිසි උනා... ග්‍රේස් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ තවත් ළමයි ටිකක් එක්ක බයිසිකලේ පැදගෙන... සමහර දවස්වලට අම්මා ඇවිත් එක්කන් යනවා... ඔහොම අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සෙ දවසක් ඩේවිඩ් බියර් එකක් බොන්න අපේ මනූට කතා කරලා ඒ බොන ගමන් කියල තිබුණා එයාත් ලෝරාත් ඊට අවුරුද්දකට විතර කලින් වෙන් උනු බව.... ලෝරා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා දරුවො කැමතිවෙලා නෑ අම්මත් එක්ක යන්න... නමුත් සති අන්තෙ අම්මත් එක්ක ඉඳලා එනවා.... නැතිනම් අම්මා මේ ගෙදරට ඇවිත් දරුවොත් එක්ක දවස ගත කරලා යනවා... ඒ තමයි ඩේවිඩ්ගෙ කතාව...

ඉතින් ඔහොම ඔය දෙවලුත් අහගෙන ඉන්න අතරෙ දවසක් මෙන්න මට එනවා කෝල් එකක් මං බොහොම මෑතකදි දැන හඳුනාගත් ලංකාවෙ පවුලක නෝනා කෙනෙක්ගෙන... මෙයාට අපි මාලා කියමු... කෝල් එක පිළිතුරු දෙන්න රිසීවරේ කණේ තියාගත්තු මට එයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ... ගෑණි හෝ ගාල අඬනවා... මොකක් හරි විපැත්තියක් වෙලා කියා නම් තේරුනා... අන්තිමට මං කළේ දඩි බිඩි ගාලා ලැහැස්තිවෙලා එයාලගෙ ගෙදර ගිය එක... මං යනකොටත් මාලා හොටු කඳුළු පෙරාගෙන ෆෝන් එක කණේ ගහගෙන තවත් කවුරුද එක්ක කතාවක්... මොකද වෙලා තියෙන්නෙ බලනකොට මෙයාගෙ මහත්තයා මෙයාව දාලා ගිහින්... නිකම් නෙවෙයි, ගෑණිගෙ කණකර බඩුයි ගෙදර තිබ්බ සල්ලි ටිකයි අතගාගෙන... 'අනේ බලන්න මියුරු.. බලන්න මේ මිනිහා කරපු වැඩේ... දැන් කොහොමද මං ලෝකෙට මූණ දෙන්නෙ... කට්ටිය අහනකොට මං මොනවද කියන්නෙ... මං මේක කිව්වෙ ඔයාට විතරයි...' කිය කිය මාලා විලාප ගහනවා... මට විතරක් කිව්වාය කියල කීවට මං ඉන්දැද්දිම තව කෝල්ස් කිහිපයක් එයාම එක් එක්කෙනාට දිදී විස්තර කියනවා මං අහගෙන, බලාගෙන.... තව කෝල්ස් කිහිපයක් මෙයාට ආවත් එක්ක... අන්තිමට එයා විසින්ම දවස ඉවර වෙනකොට වැඩේට සෑහෙන ප්‍රචාරයක් දීගෙන... 

කොහොමින් හරි දෙපැත්තකට වෙන් උනු දෙන්නා තවමත් දෙන්නගෙ යාළුවොන්ට කිය කියා බැණ අඬගහ ගන්නවා... ෆේස් බුක් එකෙන් පවා වලිය යනවා... ගිය අවුරුද්දෙ අන්තිම මාලි ලංකාවට ගියා මිනිහා හැඳි ගෑවිලා යන්න ගුරුකමක් කරන්න කියල... දැන් මේක දන්න කියන හැමෝටම විහිළුවක් වෙලා... ඇත්තටම විකාරයක් වගේ... සිද්ද වෙච්චි ලැජ්ජා සහගත වැඩ ලිව්වෙ බොහොම අඩු කරලා... පූරුවෙ වාසනාවකටද කොහෙද මේ දෙන්නට දරුවො නෑ... හිටියා නම් දරුවෙකුටවත් පාරෙ බැහැල යන්න ලැබෙන්නෙ නෑ අම්මයි තාත්තයි කරන විගඩම් හින්දා... ඒ අපේ අයගෙ කතා අංක එක...

මේ දෙවෙනි කතාව... දවසක් හැන්දෑවෙ මනූගෙ යාළුවෙක් අපේ ගෙදර එනවා, මනුස්සයා දිහා බැලුවම මතක් උනේ ලංකාවෙ හිඟන්නෙක්ව... මනූට එකපාරටම ඇහුනා 'මොකක්ද බං උඹට උනේ...?' කියලා... මෙයා දරු පවුල පිටින්ම ශිෂ්‍යයෙක් විදියට ඇවිත්, පුදුම කට්ටක් කාලා බොහොම මෑතකදි පුරවැසි භාවය ලබාගත්තු කෙනෙක්... මෙහේ ඉන්න කට්ටිය දන්නවා ඇති දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලක් ශිෂ්‍ය වීසා යටතේ මෙහේ ආවාම විඳින්න වෙන දුක් ගැහැට... මෙයා ඒවා උපරිමයෙන්ම වින්දා... 'අනේ මචං උඹට පුළුවන් නම් මට නවතින්න තැනක් සෙට් කරල දියං... ස්ටුඩන්ට් ඇකමඩේෂන් එකක් උනත් කමක් නෑ..'

පස්සෙ විස්තරේ අහල බලනකොට පුරවැසිභාවය ලැබුණු ගමන් නෝනට දොඩම් ගොඩම බදාගන්න ඕන වෙලා... නෝනා රස්සාවක් කරන්න අකැමැති නිසා මහත්තයා විතරයි රස්සාවක් කරන්නෙ... තනි පඩියෙන් පස් දෙනෙකුගෙ පවුලක් නඩත්තු කරන එක ටිකක් අමාරු වැඩක්... ඒ අස්සෙ නෝනට ඕන උනාලු කාර් එකක්... මේ මනුස්සයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයවෙලා කාර් එකක් අරන් දීලා... ඒත් නෝනට ලයිසන් නෑ..නෝනා නව පාරක්ම ටෙස්ට් එක ෆේල් වෙලා... ඒ උනාට මේ නෝනා එහෙමයි කියලා පහු බැහැලා නෑ... ළමයි තුන්දෙනත් එක්ක කාර් එක එලවගෙන එහෙ මෙහෙ යනවා... මාට්ටු උනදාට ඔක්කොම ඉවරයි... නෝනගෙ වියදමුත් බොහොම සැරයිලු.. ඒ නිසාම දැන් ක්‍රෙඩිට් කාඩ් ණය එකතු වෙලා තියෙනවලු ඩොලර් හතළිස්දාහක්.... ඒ උනාට දැන් නෝනට ඕනලු ගෙයක් ගන්න... අර මනුස්සයා අහනවා කොහෙන් ගෙවන්නද තනි පඩියකින් කියලා... නෝනා පිළිගන්නෙම නැතිලු... අන්තිමට ඒ ගෑණු මනුස්සයා කරලා තියෙන්නෙ මහත්තයගෙ ක්‍රෙඩිට් කාඩ් එකයි, ෆෝන් එකයි තමුන් භාරයට ගත්තු එක... ඒ කරලා ගෙයින් එළියට බැහැලා කෑ ගහ ගහ අහසට වැලි ගහ ගහ තමුන්ගෙ මහත්තයට සාප කරනවලු... අහළ පහළ ගෙවල්වල සුද්දොත් එළියට බැහැල බලනවලු මේ විගඩම මොකක්ද කියල... එවෙලෙම මනුස්සයා ගෙයින් එළියට බැහැල, දරුවො යන්න එපා කිය කියා අඬ අඬා ඇඟේ එල්ලෙද්දි... 'මං කොහොමද මනූ ආයෙ ඒ ගෙදර ඉන්නෙ රෙද්දක් ඇඳගෙන..' ඊළඟ පඩිය හම්බුවෙනකම් සති දෙකක් ජීවත් වෙන්න ඒ මනුස්සයගෙ අතේ ඒ වෙනකොට තිබ්බෙ ඩොලර් එකසිය විස්සයි... දැන් එයා තමුන්ගෙ ගෙදරට ටිකක් ඈතින් කාමරයක් අරන් තනියම ජීවත් වෙනවා...

 මං මේ කතා ටික කිව්වෙ මෙහේ අයගෙයි අපේ අයගෙයි මේ වගේ දෙයකදි හැසිරීමේ වෙනස පෙන්නන්න... දික්කසාදයකදි හරි වෙන්වීමකදි හරි අපේ අය බොහෝ විට වැඩේ චා කරගන්නවා විහින්ම... තමුන්ගෙ හැඟීම් පාලනය කරගන්න බැරි කමින්... අන්තිමට පාරෙ බැහැල යන්න බැරිව අනුන්ටත් විහිළුවක් වෙලා තමයි නවතින්නෙ ප්‍රසිද්ධියේ කුණු සෝදන්න ගිහිල්ලා... අපේ මස්සිනා කියන්න වගේ කක්කා දාලා ඒකට පොල්ලෙන් තලනවා... අන්තිමට අනුන්ගෙ ඇඟේ විතරක් නෙවේ තමුන්ගෙ ඇඟෙත් ජරාව... හැමෝම හදන්නෙ තමුන් නිවැරදිකාරයා කියල අනුන්ට ඔප්පු කරන්න... ඒකෙන් වෙන්නෙ ගෙයි ගිනි පිටට දීමත්, පිටත ගිනි ඇතුලට ගැනීමත්... සමහර වෙලාවට ඔය වගේ දේවලදි අනුන්ගෙ උපදෙස් පතන්න ගියාමත් වැඩේ වරදිනවා... ඒ නොදැනුවත්කමින් හෝ දැනුවත්ව දෙන උපදෙස් වැරදී යාමෙන්... ප්‍රශ්ණෙ සැබෑම තත්වය දන්නෙ තමුන් නිසා (තමුන්ගෙ වැරදි කවුරුවත් අනුන්ට කියන්න යන්නෙ නෑනෙ..) මට හිතෙන විදියට මේ වගේ දෙයකදි නිවැරදි තීරණයක් ගන්න පුළුවන් තමුන්ටමයි...

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි... මේ වගේ දෙයකදි පුළුවන් තරම් ගෙදර බිත්ති හතර ඇතුලත වැඩේ විසඳගන්න උත්සාහ කරන්න... විශේෂයෙන්ම තීරණ ගැනීමෙදි දරුවො ඉන්නවා නම් තවදුරටත් සැලකිලිමත් වෙන්න... මෙහේ නම් කවුන්සලිං වගේ දේවලුත් මේ සම්බන්ධව තියෙනවා... ලංකාවෙත් නැතිවෙන්න බෑ... එවැනි තැනකට ගිහින් උපදෙසක් ගන්න පුළුවන්... මෙහේ මිනිස්සුත් මනුස්සයොනෙ... රටට විහිළුවක් වෙන්නෙ නැතිව ඒ අයට මේ වගේ ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් ඇයි අපේ අයට බැරි...

Wednesday, 23 May 2012

අප්පච්චිගෙ තත්තෙ රැකපු පුතණ්ඩියා....

ඉස්සර අපේ අම්මා කියනව පුංචි කාලෙ මාවත් එක්කරගෙන කොහාට හරි ගියොත් කෑම අල්ලන වෙලාවට අම්ම සහලෝල ගිහින් ඉන්නෙ කියලා.... මොකද කේක් හරි බිස්කට් හරි වගේ ජාතියක් තිබුණොත් ආයෙ තසිමම ඉවර කරලලු පස්ස බලන්නෙ.... ඉතින් අපේ අම්මට හරි ලැජ්ජලු ඔය වැඩේට..... ඒ විතරක් නෙවෙයි.... ගෙදරදි කන්නෙ නැති ජාති, ඔහොම පිට ගෙදරකදි දෙන්න හදනකොට අම්ම කියනවලු, 'අනේ වැඩක් නෑ එයාට ඕවා අල්ලලා... එයා ඕව කනකොට බැරියැ...' කියල... මොන... මෙන්න හිටු කියල කනවලු අම්මට පොළොව පලන් යන්න හිතෙන්න... ඉතින් සමහර අය කියනවලු, 'අම්ම බොරුනෙ කියල තියෙන්නෙ... මේ දරුව යස අපූරුවට කන්නෙ,' කියලා... අනේ පව් අපේ අම්මා... 


මේ පසුබිම් විස්තරයත් එක්ක, හැමදාම මගේ අත්දැකීම් ගැනම ලියන එකේ පොඩි වෙනසකටත් එක්ක අපේ මහත්තයගෙ (මනූගෙ ) පවුලෙ කට්ටිය රස කර කර අදටත් කියන කතාවක් ලියන්නයි හිතුවෙ මේ ගමන.... ඔයාලට මතක ඇතිනෙ මම අර කලින් කතාවෙ කියපු බාල මාමා ගැන.... අන්න ඒ වගේ සම්බන්ධයක් පුංචි කාලෙ ඉඳලා මනූටත් තිබිලා තියෙනවා එයාගෙ බාප්පා කෙනෙක් එක්ක... එයාලගෙ තාත්තගෙ පවුලෙ සහෝදර සහෝදරියො එකොළහක් හිටිය නිසා, පවුලෙ දහ වෙනියා විදියට ඉපදුනු මේ බාප්පා මනූට වඩා වැඩිමහල් අවුරුදු පහළොවක් විතරයි......ඉතින් පුංචි කාලෙ ඉඳලා දෙන්නා හැදිලා වැඩිලා තියෙන්නෙ එකට... අදටත් මනූ එයාගෙ තාත්තට වැඩිය සම්බන්ධයි මේ බාප්පත් එක්ක.... ඒ වගේම තමයි එයාලගෙ තාත්තගෙන් වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම වගේ ඉෂ්ඨ වෙන්නෙත් මේ බාප්පා අතින්....  බාප්පා පස්සෙ කාලෙක උපාධිධාරියෙකු විදියට අනුරාධපුර පළාතෙ ප්‍රධාන රජයේ ආයතනයක ඉතාම උසස් නිලධාරියෙකු වශයෙන් සේවය කළා.... මට මේ ටික කියන්න ඕන උනේ එයාගෙ රැකියා තත්වය, සමාජ තත්වය මේ කතාව රස විඳින්න අත්‍යවශ්‍යම කාරණයක් නිසා.... ඒ කාලෙ එයාල ජීවත් උනේ රජයේ නිල නිවාසයක...  බාප්පට ඉන්නවා දුවෙකුයි, පුතෙකුයි..... දැන් නම් දෙන්නම ගොඩක් ලොකුයි.... මේ කියන සිද්දිය වෙලා තියෙන්නෙ මල්ලිට අවුරුදු හතක් අටක් විතර වෙන කාලෙ....


ඔය කාලෙ දවසක් අනුරාධපුරයේ තිබුණු ආණ්ඩුවේ ලොකු උත්සවයකට බාප්පාත් ආරාධිත අමුත්තෙක් විදියට සහභාගිවෙලා තියෙනව.... මේකට ඇවිත් තියෙනවා බාප්පත් එක්ක එක එක තැන්වල රාජකාරි කරපු ගෑණු පිරිමි සෙට් එකක්ම.... මෙතන ඉඳපු සමහරු ඇමතිලගෙ ලේකම්ලා එහෙම.... ඉතින් කාලෙකට පස්සෙ කට්ටියම මුණ ගැහුනම, යාළුවො පිට පාරෙන් යවන්න බෑ, එයාගෙ තත්වෙට හොඳ මදි එහෙම කළොත් කියලා හිතලා, උත්සවේට දවල් කෑමත් දුන්නු නිසා බාප්පා ගෙදර පොඩිවට  සංග්‍රහයක් ලෑස්ති කරල..... ඉතින් ඔන්න යාළුවො කට්ටිය ඇවිල්ල සංග්‍රහය භුක්ති විඳින වෙලාවෙ, එක යාළුවෙක් ඒ අහළින් පහළින් හොර ගල් අහුල අහුල එහාට මෙහාට යන මල්ලිව දැකලා, 'ආ...පොඩි මෑන්... පොඩ්ඩක් එනවකො බලන්න...' කියලා මල්ලිගෙ අතින් ඇදල ළඟට අරන් එයාගෙ පුටුවෙන්ම වාඩි කරවගෙන මේසෙට තියල තිබ්බ කේක් කෑල්ලක් අරන් මිනිහගෙ අතට දුන්නලු.... ඒ අහළ පහළ බලන් හිටිය බාප්ප දැක්කලු මිනිහා ඒ කෑල්ල කාල ඉවර කරල තව කෑල්ලකට අත ගහනව.... කමක් නෑ පොඩි එකානෙ කියල නොදැක්ක වගේ ඉන්නකොට මිනිහ ඊළඟ එකත් අතට ගත්තලු..... බාප්ප බලන් හිටියලු දැන් නැතුවට දැන් නවතීවි කියල වැඩේ.... මොන... මිනිහ කේක් කෑලි හයකටම වැඩේ දීල.... කොල්ලව අයින් කරගන්න හදනකොට යාළුව කිව්වලු, 'කමක් නෑ බං... ඔහෙ හිටපුවාවෙ...' කියල.... බාප්පට ලැජ්ජාවෙ බැරි උනාලු ඒක බලන් ඉන්නකොට... හරියට කවදාවත් කේක් කාල නෑ වගේ කොල්ල අඹරපු ඇඹරිල්ලට....


ඉතින් කට්ටිය කෑවට පස්සෙ සිසිල් බීම සංග්‍රහයකුත් තිබිලා තියෙනවා.... පුංචි අම්මා බීම අල්ලන අතරෙ, කෝකටත් කියලා බාප්ප හිස් තසිම් ටික අයින් කරල.... මොකද කොල්ල ඒ වෙනකොටත් මේසේට වාඩිවෙලා ඉඳල තියෙන්නෙ.... බැරිවෙලාවත් තසිම් උඩ තියෙන කුඩු ටික ලෙව කෑවොත් කියල බාප්පට හිතෙන්න ඇති..... ඔය බීම එහෙම බොනකොට අපේ අය වීදුරුවල පොඩ්ඩක් ඉතුරු කරනවනෙ.... ඉතින් මේ කට්ටියත් බීලා ආපහු තියපු වීදුරුවල අඩු වැඩි වශයෙන් ටික ටික ඉතුරු කරල තිබුණලු.... ඉතින් බීම බීපු සැනින් සමහර උදවිය නැගිට්ටලු යන්න පිටත්වෙන්න කියලා.... බාප්පත් ඉස්සෙල්ලම නැගිට්ට කට්ටියත් එක්ක කතා කර කර සාලෙට ආවලු, තව කීප දෙනෙක් බීම ටික බොන අතරෙ.... වැඩි වෙලාවක් යන්න කලින් බාප්පට ඇහිලා තියෙනවා කට්ටියක් හිනාවෙනවා..... බාප්ප කෝකටත් කියල කෑම මේසෙ පැත්තට එබිල බලනකොට සාරි පොටින් කට වහගෙන හිනා වෙවී හිටිය බවලත් කෙනෙක් ඇඟිල්ලෙන් පෙන්නුවලු එතන හිටගෙන හිටිය පුතණ්ඩියව.... බැලින්නම් පොර අර බීම කොට ටික දාගෙන එකතු කරනවලු එක වීදුරුවකට.... බාප්පා "හේයි..." ගානකොට මූ අර ටික ගුඩුස් ගාල බීල පැන්නලු පිටිපස්සෙ දොරෙන් එළියට..... මොකෝ ඉතින් යාළුවො බලන් ඉන්දැද්දි කොල්ලගෙ පස්සෙන් එලවන්නයැ.... දත් කූරු කන ගමන් එයාට යාළුවො එක්කත් හිනාවෙන්න උනාලු.... යාළුවො ටික ගිහින් තියෙන්නෙ එතැනම ඇතිවෙන්න හිනාවෙලා..... පස්සෙ නියමෙට කියන්නැති, 'අන්න අරූගෙ කොල්ල මෙහෙම වැඩක් කළානෙ' කියල.... කොහොමද සනීපෙ... 


යක්ෂාරූඪ වෙලා හිටපු බාප්ප යාළුවො ටික නොපෙනී යනකම් ඉඳලා ටවුමට ගිහින් ගෙනාවලු ලොකු කේක් ගෙඩියකුයි, තඩි ෆැන්ටා බෝතලේකුයි..... ඒ වෙනකොට අම්මගෙ ඇඟේ එල්ලිලා හිටිය කොල්ලට කිව්වලු දැන් මේක ඉවර වෙනකම් කාල, බීපිය කියල බීම එකත්.... අනේ ඉතින් ඌත් අඬ අඬා පුළුවන් තරම් කාල, අම්මා මැදිහත් වෙලා බේර ගන්නකම්....






Sunday, 25 December 2011

'මේව නං එයි....'


ඉස්සෙල්ලම කියන්න ඕන මේ සිදුවීම නම් මගේ අත්දැකීමක් නෙවෙයි කියන එක.... මේක ඇත්තටම මගේ යාළුවෙකුගෙ බොස් කෙනෙක්ගෙ අත්දැකීමක්.... මේ යාළුවා වැඩ කරන්නෙ මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක.... හැබැයි අර මං කලින් වැඩ කළාය කියපු එකේ නෙවෙයි, වෙනින් එකක.... ඒ දෙපාර්තමේන්තුවේ නම් මේ කතාව ටිකක් ප්‍රසිද්ධයි කියපු නිසා පසුබිම් විස්තරය මෙතැනින් නවත්වන්නම්.... නැත්නම් මගේ යාළුව මේක කියෙව්වොත් හේම ජාලය හරහා අත දාල මගේ බෙල්ල මිරිකයි.....

මේකයි කතාව.....