Total Pageviews

Showing posts with label ඔෆිස් කතා. Show all posts
Showing posts with label ඔෆිස් කතා. Show all posts

Sunday, 29 September 2019

සිනහව අතරින්...

Image result for laugh and scowl clip art

clipart library


සිනහව අතරින් කඳුලක් උපන්නා…
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා…

පරණ සින්දුවක් මතක් උනා හදිසියේම.  1976 තිරගත වුනු විජයයි මාලනීයි ප්‍රධාන චරිත රඟපෑ ගංගා චිත්‍රපටයේ ගීතයක්. (රවියා ඉතිහාසෙ කියන්න කලින් ඔන්න මංම කිව්වා.)


Monday, 10 June 2019

ඉඟුරු තේ...

Image result for ginger tea


කවුද කැමති ඉඟුරු තේ බොන්න…? මං... මං...  ඇත්තටම මං හරිම ආසයිනෙ මේ ඉඟුරු තේ වලට. කිරි දාලා හරි, නොදා හරි ඕන විදියක්. ඒ හින්දා කොහේ ගියත් මං උණු වතුර බෝතලයකට ඉඟුරු තේ එකක් සීනි අඩුවෙන් හදලා කිරි නැතිව දාගෙන යනවාමයි.

අපේ ගෙදර ඉන්නවා එක්කෙනෙක් කිරි බොන්නෙ නැති. එයා කිරි වලට අකැමැති බව, මුලින්ම තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. අම්මි කුක්කු බොන කාලෙ කිසි අවුලක් නෑ. ඒ උනාට බෝතලේට බැස්සට පස්සෙ ටික කාලෙකින්ම බොන ප්‍රමාණය ටිකෙන් ටික අඩුවුනා. කිරි ටික බීලා ඉවර කරන්න කිව්වම, අර නිකම් කියනවට කටේ ගහගෙන දත් වලින් තද කරගෙන ඉඳලා, මං එහාට ගිය ගමන් පැනලා දුවනවා. අන්තිමට කිරි බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා ඉස්කෝලෙ යන්න පටන් ගනිද්දි. නෙස්ටොමෝල්ට් දෙන්න උත්සාහ කළා, දෙපාරයි, නැවතුනා. වෙන රස වර්ග ගෙනත් දුන්නා, ම්හු. කිරි, යෝගට් අරහං. ඒ උනාට, නිකම් තේ බිව්වෙත් නැති උනාට, මේ ඉඟුරු තේ නම් ඉතුරු කරන්නෙ නෑ. කොහේ හරි යනකොට මං සාමාන්‍යයෙන් කරන්නෙ කහට හදලා උණුවතුර බෝතලේට වත් කරලා, බෝතලේ ඇතුලටම සීනි ටිකක් දාලා, ඉඟුරු පෙති ටිකකුත් ඒකටම දාන එකයි. එතකොට බොන වෙලාව වෙද්දි වාහනේ තාලෙට ගැස්සි, ගැස්සි යන උණුවතුර බෝතලේ ඇතුලෙ, හොඳට සීනි ටික දියවෙලා ගානට හැදිලා තියෙන්නෙ. කට දන දෙයක් එහෙම කෑවම නියමයි, ගමන් යන වෙලාවලදි. අර කිරි බොන්නෙ නැති කෙනාට වෙනම ඉඟුරු තේ බෝතලයක්ම ඕන. එයාට වෙනම එකක් දුන්නෙ නැත්නම් අනිත් අය බීලා හමාරයි. ඉඟුරු පෙති ටිකත් කාලා තමයි නවතින්නෙ.


Monday, 11 February 2019

රෙනාල්ඩෝ.........

Related image



මේ රෙනාල්ඩෝ කියන්නෙ වයස අවුරුදු හතළිස් පහක් විතර වෙන, මාත් එක්ක වැඩ කරන රොමේනියන් කාරයෙක්. මං මෙයා ගැන අපේ මනූට ඉස්සෙල්ලම කිව්වම, මනූ මට කිව්වා ඔය රොමේනියන් කාරයන්ගෙ කටවල් වලට බ්‍රේක් නැති හින්දා, ඒකට සූදානමින් මිනිහව ආශ්‍රය කරන්න කියලා, පස්සෙ ඤරු ඤුරු ගාන්නෙ නැතුව. එයා මොන රොමේනියන් කාරයෙක් ආශ්‍රය කරලා කිව්වද මන්දන්නෑ, කතාව කිරි ගහට ඇන්නා වගේ හරියටම හරි. පොර යමක් කියන්න ගියාම මේක කියන්නෙ කාටද, අහගෙන ඉන්නෙ කවුද කියලා වගේ වගක් නෑ, දඩාස් ගාලා කියලා දානවා. ඒ හින්දා මිනිහගෙ අවලම් කතා අහගෙන ඉන්න ගිහිල්ලා මට කර කියාගන්න දෙයක් නැතිවුනු වෙලාවල් අනන්තයි.

Monday, 11 February 2013

අදනෙ දැක්කෙ....

මේ සිදුවීම උනෙත් අර 'මකියගෙ පස්ස' කතාව සිද්දිය උනු ඔෆිස් එකේ වැඩ කරන කාලෙදිමයි... එතැන අපිත් එක්ක වැඩ කළා තිලකසිරි කියල හාදයෙක්... මේ මනුස්සයා හරිම ජොලි පොරක්.. මිනිහා සාමාන්‍යයෙන් දෙයක් කිව්වත් ඒවට දාන ආරළු බූරළුවලට හිනා යනවා... ඒ නිසා තිලකෙත් එක්ක වැඩ කරනකොට වෙලාව ගතවෙනව දැනෙන්නෙනෑ... සමහරදාට මං වැඩ ඇරිලා එනකොටත්, පාරෙදි, මිනිහා කියපුව මතක් උනාම තනියම හිනා යනවා.... අහළ පහළ මිනිස්සු දැක්කොත් පිස්සුය කියල හිතයි කියල බයට හිනාව නවත්තගන්න අත රිදෙන්න කොනිත්තා ගත්තු වාර අනන්තයි....

අපේ ලන්ච් රූම් එකේ තිබුණා ටීවී එකක්... දවසක් අපි කෑම කාලා කයියක් ගහගෙන ටීටී එක දිහා බලන් ඉන්නවා... අපිත් එක්ක හිටියා නලින් කියල අවිවාහක හාදයෙක්... මිනිහා එතකොට කසාද බඳින්න කෙල්ලෙක් හොය හොයා හිටියෙ... එයා හෙව්වෙ ඉටි රූපයක්... ඉතින් අනිත් උන් බනිනවා 'ලස්සන කෙල්ලො බොට කැමති වෙන්න බෝත් හැන්ඩියෙක් වෙන්න එපායැ' කියලා... ඒ මොනව කිව්වත් මිනිහ නෙවේ එයාගෙ ස්ථාවරය වෙනස් කළේ... ඉතින් මේ කියන දවසෙ ඔන්න ටීවී එකේ යනවා බ්‍රිට්නි ස්පියර්ස්ගෙ සින්දුවක්... ඒ කාලෙ එයා දැන් වගේ නෙවෙයි... ලස්සන ස්ලිම් ඇඟක් එහෙම තිබුණා... ඉතින් ඕක බලන් ඉඳලා නලින් කියනවා 'ඔන්න ඔහොම එපායැ කෙල්ලො ඉන්න' කියලා...ඒක ඇහුනු තිලකෙ කියනවා 'ඕකෙ මොන හැඩක්ද බං... ඉඳල හිටල ජිල් බෝලයක් ගහන්න සයිස් බුරියක්වත් තියෙන්න එපායැ..' කියලා....

ඒ කාලෙ අපේ කාකාස මහත්තයා හැමදාම උදේ පාන්දරට අපි එක එක්කෙනාගෙ මේස උඩින්, රත් කරලා නිවපු වතුර බෝතලය බැගින් ගෙනත් තියනවා... ඕක හම්බ වෙන්නෙ දවසට එක සැරයයි... හැමදාම ඉස්සෙල්ලම තමුන්ගෙ වතුර බෝතලේ ඉවර කරගන්නෙ නලින්... ඒ කරලා අනිත් උන්ගෙ වතුර ටික ඉවර කර කර ඇවිදිනවා...තිලකයට ඕක දිරෙව්වෙම නෑ... එක දවසක් නලින් තිලකෙගෙ වතුර බෝතලේට අත ගහනකොටම මූ කියනවා 'මචං අපි කසාද බැඳපු මිනිස්සු.... අපේ කටවල් හොඳ නෑ.. උඹ තනිකඩය හින්දා අපි කට ගහපු බෝතල් වලින් බොන්න යන්න එපා බං' කියලා... හයියෝ... කට්ටිය ඊට පස්සෙ ඕකට තව තව ඒව එකතු කරල කිව්ව... අනේ ඉන් පස්සෙ නලියා කවදාවත්  අනුන්ගෙ බෝතල් වලින් වතුර බොන්න නම් ආවෙ නෑ...

දවසක් අපි වැඩ කරන වෙලාවක ජනේලෙ අයිනට වෙලා පාර බල බල හිටපු උපාලි එක පාරටම කෑ ගැහුව 'අඩේ ඔන්න මචං පුක් නිමලෙය එනව, මං මාරු..' කියල... ඒක ඇහුන විතරයි මිනිහා විතරක් නෙවේ අනිත් උන් ටිකත් පුටු ටිකත් පෙරලගෙනම වගේ එළියට ගියා කොහේ ගියාද දන්නෑ... ඉතුරු උනේ අහිංසක තිලකයා විතරයි... ඒ දවස්වල අපි දෙන්නම ලොකුම ලොක්කත් අත දාපු කේස් එකක් ඉක්මනට ඉවර කරන්න මැරීගෙන වැඩ කරපු හින්දාත්, ලොක්ක සැරින් සැරේ කෝල් කර කර මිනිහගෙන් අරක මේක අහන හින්දාත් මිනිහට හෙල්ලෙන්න විදියක් තිබ්බෙ නෑ... මං තිලකෙගෙ මූණ බලනකොට මිනිහගෙ මූණත් වෙනස් වෙලා දාඩියත් දාල තියෙනව මං දැක්කා... 'ෂිහ්..' කියලා මිනිහා කියපු විදියට මං ඇහුවා 'මොකද තිලකෙ..?' කියලා...
'මියුරු, ඔළුව උස්සලවත් බලන්නෙ නැතුව ෆයිල් එකටම ඔළුව ඔබාගෙන ඉඳින්... මං පස්සෙ කියන්නම් විස්තරේ..' කියල කියපු මිනිහා තවත් ෆයිල් දෙක තුනක් කොහෙන්දෝ ඇදලා අරගෙන  මේසෙ උඩට දැම්මා විතරයි අපේ අංශෙ දොරින් ඇතුළු උනේ උස මහත අවුරුදු හතළිස් පහක විතර පෙනුම ඇති මනුස්සයෙක්...

මම ටක් ගාලා ෆයිල් එක දිහා බලාගත්තා... තිලකෙයා ගජ රාමෙට වැඩ ඔළුව උස්සන්නෙවත් නැතිව...
'ආ තිලකේ... වැඩ වගේ...' පොර කියනව ඇහුනම මං හොරැහින් තිලකසිරි දිහා බැලුවා...
මිනිහට ඇහුනෙ නැති ගාණයි... මටත් ඔළුව උස්සලා බලන්න එපා කිව්ව නිසා මාත් කරබාගෙනම හිටියා උනාට අවධානයෙන් හිටියෙ මොකක්ද මෙතන වෙන්නෙ කියල... වෙනද මෙහෙම දේවල්වලට හිනා ගියාට එදා නම් මොකක්දෝ හේතුවකට මට හිනා ගියෙත් නෑ... 
'ආ... මේ කෙළි පැටික්කියෙකුත් ඉන්නෙ..' ඒත් අපි දෙන්නම සද්ද නෑ...
බැරිම තැන 'මොකක්ද බං ඔච්චර ෆයිල් එකේ මූණ අලවං කරන වැඩේ...?' කියාගෙන මිනිහා මං හිටිය තැන පහු කරලා වටෙන් ඇවිත් තිලකසිරි ගාවට ගිහින් හිටගත්තා විතරයි තිලකය නැගිට්ටා පුටුව පස්සට දාලා විදුලි සැරයක් වැදුන වගේ... බය වෙච්චි පාර මටත් නැගිට්ටවුනේ ඉබේටම... ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිව මමත් හිටියෙ...
ටිං ගාලා මගේ පුටුවත් තල්ලු කරගෙන මිනිහා අනිත් පැත්තට ගියේ 'මේ ලොක්කගෙ කේස් එකක්' කියාගෙන...
'කෝ බං මේකෙ ඉන්න අනිත් උන්..? ඔන්න ඕක ඔය එකෙකුට බාර දීල වරෙන් යන්න මේ කේස් එකට...' කියූ මනුස්සය අතේ තිබ්බ ෆයිල් එකක් පෙන්නුව...
තිලකසිරි නෑහුනා වගේ වෙනින් ෆයිල් එකක් ඇදලා අරගෙන මට එක එක උපදෙස් දෙන්න පටන් ගත්තා අරම කරන්න මෙහෙම කරන්න කිය කියා... අර මනුස්සයත් ටිකක් වෙලා බලන් ඉඳලා 'උඹලට වැඩනෙ... මං පස්සෙ එන්නම්... යන්නම් නංගී..' කියාගෙන දොරෙන් එළියට ගියාට පස්සෙ තමයි තිලකයා හුස්මක් ගත්තෙ හරියට...

පස්සෙ බලනකොට ඒ නිමල් කියන මනුස්සයා සමරිසි පොරක්... ඒ හින්දා කට්ටිය එයාට කියන්නෙ පුක් නිමලයා කියල.... නිමල්ට තමුන් ඉස්සරහ ඉන්න පිරිමියා  කවුරු උනත් කමක් නැතිලු උන් හිටි තැන් බලන්නෙත් නැතිව එහෙන් මෙහෙන් අල්ලනවලු... ඒක තමයි අර අනිත් පුරුෂ පරාණ ටික මිනිහ එනවා කියල ඇහුනා විතරයි පටස් ගාල මාරුවෙලා තියෙන්නෙ...  මිනිහට පොඩි ක්‍රෂ් එකක් තියෙනවලු තිලකසිරි ගැන... තිලකයා බැඳලා තියෙන්නෙ පහුවෙලා නිසා ඒ මනුස්සය හිතල තියෙන්නෙ තිලකෙත් එයා වගේ කියලා... ඉතින් ඒ දවස්වල පස්සෙන් වැටීගත්තු ගමන්මලු... කසාද බැන්දමත් මිනිහ හිතල තියෙන්නෙ තිලකෙ ඒක කළේ ලෝකෙට පේන්න කියලලු... ඒක ඇහුවම නම් මට හිනා ගියා... ඒකට තවත් උල්පන්දම් දීපු සිදුවීමක් උනේ තිලකසිරිට බබාලා නොසිටීමලු... ඉතින් පස්සෙ අර පැනලා ගිය උන් ටික එකා එකා ඇවිත් නිමල් මොනවටද ආවෙ කියල විස්තර අහනකොට තිලකසිරි කිව්ව 'ඌත් එක්ක කේස් කරන්න කතා කරන්නෙ...' කියල... ඒක අහන් ඉඳලා උපාලි කියනවා 'මචං උඹ ඌත් එක්ක කේස් කරන්න යනව නම් පුකට ලෑල්ලක් ගහගෙන හරි ගාඩ් එකක් දාගෙන හරි පලයං... නැත්නම් විසුමක් වෙන්නෑ..' කියල... ඔහොම ඒවා කිය කිය කට්ටිය එදා දවසම ඇතිවෙන්න හිනා උනා...

එදා හිනා උනාට වැඩේ බරපතලකම මට තේරුනේ ඊට සතියකට විතර පස්සෙ... එදා අපි දෙන්නා ආයතනයේ වෑන් එකට අදාල කේස් එකටම සම්බන්ධ ෆයිල් තොගයයි සාම්පල් ටිකයි පටවගෙන හෙඩ් ඔෆිස් යනව ලොක්කව මුණගැහෙන්න... මෙන්න වාහනේ ස්ටාට් කරගෙන වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ ටිකක් හෙමින් ගිය නිසාද කොහෙද, කොහෙදෝ අස්සක ඉඳලා නිමල් පැන්නා වාහනේ ඉස්සරහට... තිලකසිරි ඩ්‍රයිවර් සීට් එක ළඟ තිබ්බ ජනේලෙ වීදුරුව පහත් කරගෙන හිටියෙ ඒ වාහනේ ඒසී තිබ්බෙ නැති නිසා...වාහනේ බ්‍රේක් ගහල නැවැත්තුවා විතරයි ජනේලෙ ළඟට පැනගෙන ආව නිමල් මං ඉන්නව කියල වගේ වගක් නැතුව 'ආ තිලකේ...' කියල කියන ගමන්ම  ජනේලෙන් අත ඇතුලට දාල තිලකසිරිගෙ කළවෙ මිරිකුවා... 'ඒයි.. ගනින් අත අහකට' කියපු තිලකසිරි සුක්කානම අත හැරලා අත් දෙකෙන්ම අරකාගෙ අත ඇදලා අරන් ජනේලෙන් එළියට තල්ලු කරලා වාහනේ රේස් කරගෙන ගියේ ඒ මිනිහට මොනව උනාද කියලවත් බලන්නෙ නැතිව... නිමල් ගැන අහල තිබ්බට මං ඇස් දෙකින් දකිනකම් හීනෙකින්වත් හිතුවෙ නෑ මිනිහ ඒ වගේ වැඩක් කරයි කියල... තිලකසිරි මග දිගටම නිමල්ගෙ අම්මා මතක් කර කර කුණුහරපෙන් බැණ බැණමයි ආවෙ... මං සද්ද නැතිව හිටියා මිනිහට කේන්ති ගිය එක සාධාරණ නිසා...

ඒ සිද්දියටත් පස්සෙ ආයෙම දවසක මමත් තිලකසිරිත් මොකක්දෝ වැඩකට ලොක්කව මුණගැහෙන්න හෙඩ් ඔෆිස් යන්න පිටත් උනා පයින්ම... නිතරම ඔය වගේ කුණු ගොඩවල්වලට මටත් තිලකසිරිටත් යන්න වෙච්චි හේතුවක් තමයි සාරි පොටක් දැක්කම මොන වැරැද්දකටවත් ලොක්ක කඩන් පනින්නෙ නැහැයි කියන මතයත්, තිලකසිරි කිසිම දෙයක් මග ඇරලා යන්නෙ නැතිව අතින් වියදම් කරලා හරි වැඩක නිමාවක් දකින්න උත්සාහ කරන එකෙක් වෙච්චි එකත්... පාරට ඇවිත් ටිකක් දුර යනකොට ඔන්න මට පේනවා නිමල් එනවා අපේ පැත්තට...
'තිලකේ... ඔන්න නිමලය නම් එනවා...' මං අනතුරු හඟවනකොට කලබල වෙච්චි පොර ඇහුව 'කෝ.. කොහෙද..?' කියලා..
'ඔය එන්නෙ ඉස්සරහ'...
අපිව දැක්ක නිමලයගෙ කට කිරි හට්ටිය වගේ... මිනිහත් එක්ක තව කවුද සාරිය ඇඳගත්තු බවලත් කෙනෙකුත් හිටියා... ඒ වෙනකොට තිලකසිරිට පැනගන්න අවස්ථාවක් තිබ්බෙ නෑ...
හිනාවේගෙන අපි ඉස්සරහට ආව නිමල් අර කලින් සිදුවෙච්චි කිසි දෙයක් නොසිදුවූ ගානට 'තිලකෙ.. හෙඩ් ඔෆිස් යනවද?' කියල ඇහුවා...
'ඔව් මචං... ලොක්ක හම්බවෙන්න කියල පොඩි කේස් එකකට..'
'මචං මේ මගෙ අම්මා... පිටකොටුවෙන් පොඩි බඩු වගයක් අරන් දෙන්න කියල එක්කන් ආව..' කියල නිමල් එයාත් එක්ක හිටපු ගෑණු කෙනාව හඳුන්වලා දුන්නා...
ඒක ඇහුනු තිලකසිරි එයා දිහා බලලා, 'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...

Thursday, 30 August 2012

කේස් එක....



මේකත් මේ අර ගිය සැරේ කියපු ආයතනයෙම වැඩ කරන කාලෙ වෙච්චි දෙයක්.... 
ඒ කාලෙ අපිව අවුරුදු දෙකෙන් දෙකට සෙක්ශන් එකෙන් සෙක්ශන් එකට මාරු කරනවා.... මේ කියන සිදුවීම වෙච්චි දවස්වල මං වැඩ කරපු සෙක්ශන් එකේ හිටිය අයට බොහොමයක් වෙලාවට ආයතනයෙන් පිට යන්න වෙනවා එක එක වැඩ වලට.... දෙන්න තුන්දෙනා වගේම ගැන්සි පිටින් යන්න වෙන වෙලාවලුත් තිබ්බා.... ඒකෙ කස්ටමර් සර්විස් එකක් නැති නිසා සමහරදාට උදෙන් පිටත් උනාම එන්නෙ හවස, පාං කියා ගන්නවත් බැරුව.....

මෙතැන වැඩ කරපු කිහිපදෙනා අතරෙ හිටියා රංජිත් කියල අවුරුදු හතළිස්පහක් විතර පෙනුම තියෙන මනුස්සයෙක්.... පොර ළඟට එනකොට කට්ටිය ටිං ගාලා මාරු වෙන බව මට මෙතැනට ආපු මුල් දවස්වලම තේරිලායි තිබ්බෙ.... ඒත් ඒකට හේතුවක් නම් මට හිතාගන්න බැරි උනා.... ඕක අහන්න ගිහින් කොතනින් පත්තු වෙයිද කියල දන්නෙ නැති හින්දා මාත් නොදැක්කා වගේ හිටියා....

ඔන්න දවසක් රංජිත්ගෙ කේස් එකකට එළියට යන්න ලොක්කගෙන් අවසර අරගෙන ආයතනයෙ වාහනයකුත් ලැහැස්ති  කරගෙන එනකොට එකට වැඩ කරන පිරිමි පරාණ ටික වාෂ්ප වෙලා..... අනේ ඉතින් මේ මනුස්සය එහෙට දුවනව, මෙහෙට දුවනවා වැඩේට යන්න සහයට ඩැනී කෙනෙක් හොයාගන්න.... පැය කාලක් විතර දඟලලාත් පොරට බැරි උනා එකෙක් අල්ලගන්න.... බැරිම තැන මිනිහා ඇවිත් මට කතා කළාම, කේස් එක මොකක්ද කියලාවත් නොදැනම  මං එකඟ උනා යන්න.... ඒ වෙනකොට මට පොර ගැන පව් කියලා හිතිලයි තිබ්බෙ....

ඉතින් අදාල ස්ථානයත් වැඩි කරදරයකින් තොරව සොයාගෙන, ඒ ගෙදරට දාල තිබ්බ පත ගේට්ටුව ළඟට ගිහින් කිහිප වතාවක් බෙල් එක ගැහුවත් නෑ කිසිම ප්‍රතිචාරයක් ගෙදර ඇත්තන්ගෙන්..... දැන් රංජිත්ට මළ පැනලා.... මිනිහගෙ මූණ දැක්කම මට හිනා යනවා.... මං හිනා වෙනකොට මිනිහට තවත් තරහයි.... ඒ ගමන ගැහුවෙ නැද්ද පොර පයින් පාරක් අර ගේට්ටු පතේට.... හම්මා... හෙන ගැහුව වගේ සද්දයක් ආව.... ඒ සද්දෙත් එක්ක කොහෙද හිටපු බලු තඩියෙක් බුරාගෙන ආවෙ නැතැයි අපි දිහාට.... ඌව දැකපු ගමන් රංජිත් කෑ ගැහුවා, 'මියුරුවෝ දුවපං.... ඕකා කයි...' කියලා... මං පස්ස හැරිලා බලනකොට රංජිත් පාර දිගේ දුවනව හිටු කියලා.... ඒ ඇති මට.... මාත් උස්ස ගත්තා දෙපැත්තෙන් සාරිය ටිකක් උඩට... දිව්වා රංජිත්ගෙ පස්සෙන්.... බලු තඩිය එනව කඟවේනා වගේ.....එතකොටම වගේ පාර දිගේ යන්න ආව බයිසිකල්කාරයෙක්... මනුස්සයා තරඟෙට දුවන අපි දෙන්නාවයි, බලු රාලයි දැක්ක ගමන් කෑ ගැහුවා, 'දුවන්න එපා... හෙමිහිට නවතින්න...' කියලා. එතකොට මටත් තේරිලායි තිබ්බෙ දුවලා වැඩක් නෑ කියල... මාත් ඇස් දෙක පියාගෙන එහෙම්ම නැවතුනා.... ඒත් රංජිත් නෙවේ නැවතුනේ....

මෙන්න බොලේ මං නවතිනව දැකපු බලු රාළත් ගියර් එක මාරු කරලා, බ්‍රේක් ගහලා නැවතුනේ නැතැයි ටිකක් ඈතින්.... උගේ බලු ආතල් එක නැති උනාද කොහෙද..... එතකොටම වගේ එතැනට ආපු බයිසිකල්කාරයා ගල් ගෙඩියක් අරගෙන ඌට දමා ගැහුවම මේ දුවන්නෙ බලු වීරයා නගුට පශ්චාත් භාගයේ ගහගෙන..... 'මේ දඩාවතේ යන වල් බල්ලෙක් මිස්... අපරාදෙ මිස්ලා දිව්වෙ... ඌ පැන්නුවෙ ඕගොල්ලො දුවපු නිසා...'
'එතකොට ඌ අර ගෙදර බල්ලා නෙවෙයිද...' මං අර ගේට්ටුව පැත්තට අත දික්කරලා ඇහුවා...
'අපොයි නෑ..' කියලා ඒ මනුස්සයා හිනා උනා.... සික්...

ඔන්න මට එකපාරටම මතක් උනා රංජිත්ව.... මිනිහා පේන මානෙකවත් නෑ..... මං බයිසිකල්කාරයට කිව්වා 'අනේ පොඩ්ඩක් බලනවද අර පාර දිගේ දුවපු මහත්තයව අල්ලගන්න පුළුවන්ද කියලා...'
'මිස් එහෙනම් මෙතැනම ඉන්න....' කියපු මනුස්සයා ගියා රංජිත්ව හොයන්න...
මෙන්න විනාඩි දහයකට විතර පස්සෙ රංජිත් එනව අර මනුස්සයත් එක්ක බයිසිකලේ නැගලා.... ඒක දැකපු මට මැරෙන්න හිනා.... 
'මං යනකොටත් මහත්තය තාම දුවනවා මිස්....' බයිසිකල්කාරයා කට කණේ තියන් කිව්වා.... 



ආපහු ඔෆිස් එකට ඇවිත් සිද්දිය කිව්වම කට්ටිය හිනා උනා බඩවල් අල්ලගෙන... රංජිත්ට කාඩ් කෝටියයි.... අහක හිටපු මටත් එච්චරයි....
'ඕකනෙ අපි රංජියගෙ වැඩවලට ගෑවෙන්න නැත්තෙ....' කියලා එකෙක් කියනකොට මට තේරුනා කට්ටිය වාෂ්ප උනේ ඇයි කියලා උදේ.....
'මෙහෙ දීපං ඔය ෆයිල් එක... මොකක්ද කේස් එක...' කවුරු හරි බලහත්කාරයෙන්ම වගේ ෆයිල් එක අරගෙන බැලුවා.... 'අඩේ, උඹ ඇපොයින්ට්මන්ට් එක දාල තියෙන්නෙ අදට නෙවෙයිනෙ... ලබන බදාදටනෙ...' 

'කෝ...' රංජිත් ෆයිල් එක උදුරගෙන ආපහු බැලුවා....
අනිත් උන් ටිකත් ගිහින් ඌට උඩින් නැමුනා...
'මේ බං... අද නෙවේනෙ....'
'ඔව් නේන්නං...' අන්තිමට රංජිත් පිළිගත්තා....
මට ඌව මරන්න හිතුනා.... 



Sunday, 19 August 2012

මකියගෙ පස්ස.........

මේ සිදුවීම උනේ අර මං කලින් කියල තියෙන මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ, පිරිමි රාජධානියේ සේවය කරපු කාලෙ.... මං ටිකක් විතර කියල තියෙනවනෙ එතැන හිටපු එකම ගෑණු පරානෙ මං හින්දා මොනතරම් සීරුවට නූලට වැඩ කරන්න සිද්ද උනාද කියල ඒ කාලෙ.... මං විතරක් හිටපු එකෙන් අපේ පිරිමි සෙට් එක නම් පුදුම විදියට ආතල් ගත්තා මාව බයිට් කරලා.... ඒ සෙක්ශන් එක උපරිම විදියට කස්ටමර් සර්විස් තිබ්බ තැනක්.... කස්ටමර්ස්ලත් 100%ක් වගේම පිරිමි.... හරිම කලාතුරකින් තමයි ගෑණු පරාණයක් ආවෙ.... පිරිමින්ගෙම ලෝකයක්....

ඒ දවස්වල උදේ හවස අපට පොතක් තමයි අත්සන් කරන්න දාල තිබ්බෙ.... දැන් නම් ඒව වෙනස්වෙලා.... ඔය පොත අත්සන් කරන්නවත් මට නැවෙන්න බෑ ඒ කාලෙ.... ඉතින් මෝල් ගහ වගේ කෙලින් හිටගෙන තමයි ඕන මගුලක් කියල අත්සන ගහන්නෙ.... ඔතැනට ගිය අළුත දවසක් හෑන්ඩ් බෑග් එක පැත්තකින් තියලා අත්සන් කරලා ඔළුව උස්සලා බලනකොට ඒක ආ ගිය අතක් නෑ.... ඒ වෙනකොට කස්ටමර්ස්ලා ඇවිල්ලත් නෑ.... මං පණ යනකම් පුළුවන් තැන්වල හෙව්ව හෙව්වා, කට්ටියගෙන් ඇහුවා හොරාගෙ අම්මගෙන් පේන අහන්න වගේ...ම්හු... මට දැන් ඇඬෙන්නත් එනව.... මගේ සබ්බ සකලමනාවම ඒක ඇතුලෙ.... මෙන්න දහයහමාර විතර වෙනකොට අපේ ඩිරෙක්ටර් මහත්තයෙගෙන් පණිවුඩයක් එනවා එයාගෙ ඔෆිස් එකට එන්න කියලා.... එපාර ඒ මොකක්ද හෙන පතේ කියල හිතාගන්න බැරුව මාත් ඇදි ඇදි ගියා ඒ පැත්තට බොක්කෙ බිත්තර තම්බ තම්බ.... මට ඇහැ කොණින් පෙනුනා සමහරු මූණවල් හංගගෙන හිනා වෙනවත් වගේ.... ලොක්කගෙ කාමරේ තිබ්බෙ උඩ තට්ටුවේ... මං යන ගමන් කා.කා.ස. උන්නැහේගෙන් ඇහුව ලොක්ක කතා කරන්නෙ මොකටද කියා දන්නවද කියල... ඌ 'අනේ මන්දන්නෑ මිස්..' කියලා හිනාවෙලා නිකම් හිටියා.... මං ගිහින් කාමරේට ඇතුළු වෙනකොටම දැක්කෙ මොකක්ද.... ලොක්කගෙ මේසෙ උඩ දිලිහි දිලිහි තියෙන මගේ හෑන්ඩ් බෑග් එක.... මට හිතාගන්න බැරි උනා ඒක කොහොම එතැනට ගියාද කියලා....

'මේ බෑග් එක මිස්ගෙ වෙන්නැති නේද?'
ලොක්කා බෑග් එක පෙන්නල ඇහුවා....
'අනේ ඔව් සර්... මං දන්නෑ ඒක කොහොම මෙතැනට ආවද කියල...' මොනව කියන්නද කියලා හිතාගන්න බැරි වුනු හින්දා මං මෝඩ හිනාවක් දාල කිව්වා....
'ඔය නිකම් තියෙනකොට ඇවිදගෙන එන්න හිතෙන්නැති...' ලොක්ක කියපි...
'ඒකට ඇවිදන් එන්න හිතිල තියෙන්නෙ සර්ගෙ මේසෙ උඩටමනෙ' කියල කියන්න හිතුනත් මං කට පියාගෙන බෑග් එකත් අරන් ආපහු හැරෙනකොට ඉස්සරහ වීදුරුවෙන් දැක්ක ලොක්කා එක අතකින් ඇස් දෙක වහගෙන මේසෙ දිහා බලන් හිනාවෙනව.... සික්...වස නෝන්ඩිය... ඔක්කොටම වැඩිය නෝන්ඩියි වැරදිලාවත් බෑග් එක ඇරල බැලුව නම් හෙම.... ඒකෙ තිබ්බ එව්වා... හපොයි.... මං බෑග් එකත් කිහිලි ගන්නගෙන ආපහු සෙක්ශන් එකට එනකොට ඔක්කොම ඉන්නව හිනා වෙවී බලාගෙන... ඒ උනාට මගේ තරහෙන් පිපිරි පිපිරි තිබ්බ මූණ දැකපු ගමන්ම කට්ටිය ටිං ගාල පුටු හරෝගෙන තම තමුන්ගෙ මේසවලට නැමුනා.... එකෙක්වත් ඇහුවෙ නෑ මොකද උනේ කියලවත්.... මං සද්දෙ ඇහෙන්නම බෑග් එක ලාච්චුවට දාල දඩස් ගාලා වැහුවා.... එදායින් එදා මං නෙවෙයි ලාච්චුවට දාල ලොක් කරන්නෙ නැතිව හෑන්ඩ් බෑග් එක තිබ්බෙ....


ඔය කාර්යාලෙ හිටියා අපිත් එක්ක වැඩ කරපු මනුස්සයෙක් මකීම් කියලා.... පොර නියම කාලගෝල කෙනෙක්... වයස පණහකට වැඩි ඇති.... ඇෆ්‍රිකන් කළු... යටි තොල් බරිය එල්ලෙනවා.... මහතයි... කොටයි.... පොර නිතරම වගේ ඇන්දෙ තැඹිලි පාට කලිසමක්.... මිනිහට තිබ්බා මහා පත පස්සක්.... මොනතරම් සල්ලි තිබ්බත් පොර වැඩට ආවෙ මලකඩ කාලා කෑලි හැලෙන සයිස් එකේ පරණ කාර් ලඩියකින්.... මිනිහා කරපු වැඩක් තිබ්බෙ නෑ.... කාගෙ හරි මේසයක් ළඟට පුටුව ඇදගෙන ඕපදූප කියෙව්ව එක තමයි වැඩිපුරම කළේ.... මේ කියන දවස්වල මම වැඩ කරපු සබ් සෙක්ශන් එකේ හිටියෙ අට දෙනයි.... ඒකෙ මේස පුටු ඇරේන්ජ් කරලා තිබ්බෙ හෝර්ස් ෂූ එකක් විදියට.... මම හිටපු පැත්තෙ අපි හතර දෙනෙකුගෙ මේස බිත්තිය අයිනෙන් තියලා අපි වාඩිවෙලා හිටියෙ මේ  හෝර්ස් ෂූ එක ඇතුළු පැත්තෙන්.... මම හිටියෙ එක පැත්තක මුලම.... මකිය හිටියෙත් ඇතුළු පැත්තෙ මැද.... කවුරු හරි කතා කරපු ගමන් පුටුව ඇදගෙන එතැනට යන්න ලේසියිනෙ....


දවසක් මොකක්දෝ ඩොකියුමන්ට් එකක  තිබ්බ වැරැද්දක් සොයා ගත්තු මගේ කෙලින්ම අනිත් පැත්තෙ හිටපු රාජිත, ඒ කොලේ උස්සලා මට පෙන්නුවා...
'මියුරු, මේ බලන්නකො...'
ඒක ඒ මනුස්සයගෙ කටින් පිට වුනා විතරයි මකිය වැහුව එතැනට.... පුටුව එහෙම්ම දාල මිනිහා ගිහින් නැවුනා රාජිතගෙ මේසෙ උඩට....
'දැක්කද...?' රාජිත ආයෙම ඇහුවා...
 මං ඔළුව දාල බැලුවට මට පෙනුනෙ මකියගෙ තැඹිලි පාට කලිසමින් වැහිච්චි රාජපස්ස විතරයි....
'කොහෙද... මට පේන්නෙ පත වට්ටක්ක ගෙඩියක් විතරනෙ...' මං කිව්වා...
ඒක ඇහුනු මට අනිත් පැත්තෙ හිටපු උපාලි, මේසෙක ගැට්ටකින් කැඩිලා අයින් කරලා එයාගෙ මේසෙ අයිනෙන් තියලා තිබ්බ පටිය අරගෙන, උඩ තියාගෙන හිටපු මකියගෙ පස්සට ඇන්නා 'අයින් වෙය...' කියල....
අනේ අර පට්ට ගහ ගහ ඇඳලා බාගෙට දියවෙලා තිබ්බ කලිසමට ඒ ෂොට් එක දරා ගන්න බැරිවද කොහෙද ඒක මැද මූට්ටුවෙන් පැලුනෙ නැතැයි.... මකිය දුන්න වගේ අනිත් පැත්තට නැවිලා 'හේයි..' කියලා අත් දෙකෙන්ම පස්ස රාජයා වහගන්න දැඟලුවා.... ඒත් එතකොට දකින්න ඕන කට්ටිය දැකලා ඉවරයි....හයියෝ... මට හිනා ගිහින් දඟලපු පාර රෝද පුටුවත් පෙරලගෙන මං වැටුනෙ නැතැයි බිම පසඟ පිහිටුවාගෙන..... සිකේ.... හතර විලි ලැජ්ජාවයි.... මං දඩ බඩ ගාල නැගිටගන්න හැදුවත් නැගිටගන්න බැරි වුනා, සාරි පොටේ කොණක් පුටුවෙ රෝදයක් අස්සෙ හිරවෙලා.... අන්තිමට කොහොම හරි නැගිට්ටා සාරි පොටින් පුටුවත් උස්සගෙනම.... කට්ටිය ඕකට මට හිනා වෙන අතරෙ මකිය හෙමින්ම මාරුවෙලා.... ඌ ආගිය අතක් නෑ....

අනේ ඉතින් ඔක්කොම වෙන්නෙ මටමනෙ කියල හිතාගෙන හැමෝගෙම හිනාවට ලක්වෙවී දවස ගත කරලා, පස්සෙන්ද ඇවිත් උදේ පොතේ අත්සන ගහනකොට කට්ටියගෙ මූණුවල අමුතු හිනාවල්... කසු කුසු කුට්ටම් හැමතැනම... ඇයි යකෝ... එපාර මොකක්ද කිය කියා හිත හිතා ඉන්නකොට කා.කා.ස. උන්නැහේ හොරෙන් හොරෙන් මට ඇඟිල්ලෙන් පෙන්නනවා නෝටිස් බෝර්ඩ් එක....
හනේ මට මැරෙන්න හිතුනා.... කවුදෝ ඒකෙ චිත්‍රයක් ඇඳල එල්ලලා කලිසම පැලිලා එලියට ආපු හෙළු පත පස්සකට, බිම වැටිලා  පසඟ පිටුවාගෙන වැඳගෙන ඉන්න ගෑණු පරාණයක්ව....


Monday, 9 January 2012

විජේ අයියා....

මං මෙයා ගැන දිග විස්තරයක් කිව්වනෙ මගේ කලින් පෝස්ට් එකක.... ඒකම ආයෙ ලියන එකේ තේරුමක් නැති හින්දා ඒක නොකියවපු උදවිය මෙන්න මේ කලින් පල කළ පෝස්ට් එක කියවලා පොර මොන වගේ කෙනෙක්ද කියල දැනගන්න හොඳේ....
http://miyuruworld.blogspot.com/2011/12/blog-post_29.html#more

Thursday, 29 December 2011

''කේන්ති යන්නැද්ද මහත්තය... මං කියල මොනව කොරන්නෙයි....'

මේ කියන කාලෙ මං කැම්පස් යන ගමන් මගේ දෙවෙනි රස්සාව කරනව... එතකොට මට යාන්තම් අවුරුදු විස්සක් විතර ඇති... අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ මගේ බොස්ලා නිදහසේ ඉගෙන ගන්න වැඩ ටික කරගෙන යන්න මට උපරිම නිදහස දීලයි තිබුණෙ... හැබැයි කොහොම හරි දවසේ වැඩ කොටස ඉවර කරන්න ඕන.... එදිනෙදා වැඩ ටික නම් මට කරදරයක් උනේ නෑ... ඒත් සමහර වැඩ නම් වෙලාවට කර ගත්තෙ සති අන්තෙ වැඩ කරල.... මං නැති අතරෙ එන හදිසි වැඩ කරල දුන්නෙ මගෙ යාළුවො.... ඒ කාලෙ මේ යාළුවන්ගෙන් මට ලැබුණෙ පුදුම සහයෝගයක්... ඒ වැඩිදෙනෙක් මට වඩා අවුරුදු දහයකටත් වැඩිය වැඩිමහල් විවාහකයො.... පොඩි එකා නිසා මට හොඳට සැලකුව.... ඒ යාළුකම් කිසිම වෙනසක් නැතිව අදටත් තියෙනව...

Friday, 11 November 2011

කුඩු කෑ විත්තිය.........



කාලයක් මම වැඩ කළා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක... මං වැඩ කළ අංශෙ වැඩිපුරම හිටියෙ පිරිමි.... ඔවුන් ඔක්කොම වගේ කසාද බැඳපු අවුරුදු තිහ හතළිහ වයස් පරාසයෙ හිටපු අය... මං තමා පොඩිම එකාත් අලුත්ම එකාත් උනේ.... ඒ උනාට වැඩ කරන්න ගියාම නම් ගෑනු පිරිමිකම්වත්, ලොකු පොඩිකම්වත් නෑ දෙගොල්ලොම එක හා සමානව බැහැල වැඩ කරන්න ඕන යම් යම් ටාගට්වලට යන්න... ඉතින් මට කෑම වෙලාවට කෑම කන්න උනෙත් මේ අයත් එක්ක.... ඒක හරියට දඬුවමක් වගේ.... ඇයි මුන් ටික කණ පිරෙන්න කියන කුණුහරප ටිකත් අහගෙන ඉන්න එපායැ... ඒ මදිවට ඔක්කොම මාතෘකා ගෑනු ගැන... උදේ වැඩට එනකොට දැකපු ගෑනියෙකුගෙ හරි, වෙනත් අංශෙක වැඩ කරපු ගෑනියෙකුගෙ හරි මොකක් හරි දෙයක් අල්ලගෙන කුණුහරපයක් කියල හිනාවෙන එක තමයි වැඩිපුරම කළේ... මං නැති වෙලාවට මටත් එච්චරයි තමා කියල මට හිතුන... සාරිය ඇඳන් වැඩට ගිය නිසා ඇඳුමෙන් ප්‍රශ්නයක් නොවුනට සාරි පොටට එහෙන් මෙහෙන් කටු ගහගෙන වැඩිය හෙල්ලෙන්නෙ නැති විදියට තමයි ඒකත් ඇඳගෙන ගියේ...  අපොයි වින්ද දුකක් ඒ කාලෙ....