මේකත් මේ යාලුවෙකුට නමක් දාපු කතාවක්... එක කතාවක් ලිව්වට පස්සෙ නම් කතා හෝ ගාලා මතකයට එන්න පටන් ගත්තා....
අපේ මේ යාලුවගෙ ඇත්ත නම අදටත් මට මතක නෑ..
මිනිහගෙ එක කම්මුලක නහය කිට්ටුවට වෙන්න ලොකු උපන් ලපයක් තිබුනා... ලමයි ඒ නිසා මිනිහට කිව්වෙ 'ලපයා' කියලා...
මමත් ඒ දවස්වල ඕන එකයි නැති එකයි ඔක්කොම ගෙදර ගිහින් අපේ අම්මගෙ කනේ තියනවා. ඒක නිසා අම්මත් ඔය යාලුවො ගැන, එයාලගෙ අන්වර්ථ නාමයන් ගැන එහෙම හොඳට දන්නවා....
දවසක් මම හවස බත් කකා ඉන්නකොට අම්මා කඩේ ගිහින් ගෙදර ආවා... ඇඳුම් මාරු කරන ගමන් අම්ම කියනවා 'අද මට ටවුමෙදි ඔයාගෙ යාලුවෙක් හම්බුනානෙ...'
'කවුද අම්මෙ...?' කන ගමන්ම මාත් ඇහුවා...
'අර පුල්ලියා....' අම්මා කියපි.
මට හිනා ගිය පාර බත් ටිකත් ඉස්මොලේ ගියා.....
යාන්තම් සිහි එලවගත් ගමන් මං ආයෙ ඇහුව 'කවුද පුල්ලියා..?' කියලා.
අම්ම කියනවා 'අර මූනෙ ලපයක් තියෙන්නෙ...' කියලා..
එතකොටයි මට තෙරුනේ අම්මා මේ කියන්නෙ 'ලපයා' ගැන කියලා...
'අය්යෝ අම්මෙ...ඒ පුල්ලියා නෙවේ, ලපයා...' කියලා මං කියනකොට අම්මටත් හිනාව නවත්තගන්න බැරි උනා...
පස්සෙන්දා මම ඕක ඉස්කොලෙ ගිහින් යාලුවන්ට කිව්වාම උන් පන ඇරගෙන හිනාවෙලා කතා උනා මින් පස්සෙ 'අපි ඌට පුල්ලියා කියමු' කියලා .
ඒ වෙනකොට පොර 'ලපයා' කියන එක ගැනත් කෙන්තියෙන් තමයි හිටියෙ... ඉතින් පුල්ලියා කිව්වාම ආයෙ කියන්න ඕනෙ නැහැනෙ... කට්ටියම හොඳ සිංහල ටිකක් අහගත්තා ඒක කියන්න ගිහින්.
පස්සෙ මිනිහට ආරංචි වෙලා කොහොමද නම ආවෙ කියලා.... ටික කාලෙකට පස්සෙ අපේ අම්මා කියනවා 'අනේ පුතේ අර ලමයා දැන් මගේ මූන බලන්නෙත් නැහැනෙ...' කියලා.
මූන බලාවියැ ඒ ලමයට නමක් හැදුවාම...
කොහොම කොහොම හරි අන්තිමට අපේ කට්ටිය නැති තැන මිනිහට කිව්වෙ පුල්ලියා කියලා....
ඔන්න ඔහොමයි අපේ අම්මා මගේ යාලුවෙකුට නමක් දැම්මේ....