Total Pageviews

Showing posts with label පාසැල් කාලෙ. Show all posts
Showing posts with label පාසැල් කාලෙ. Show all posts

Sunday, 19 March 2017

අම්මා ගහපු කණේ පාර දවාලෙ තරු පෙනුනා....

මේ සිද්දිය උනේ මං දහයෙ පන්තියේ O/L විභාගෙට සූදානම් වෙන දවස්වල... හරියටම කිව්වොත් විභාගෙට ඉස්කෝලෙන් පෙනී සිටින ළමයින්ගෙ අයැදුම්පත්‍ර පුරවන කාලෙ.... කතාවෙ කොටස් දෙකක් තියෙන නිසාත් කොටස් දෙකකට කඩල දැම්මම වැදගැම්මක් නැති නිසාත් මේ කතාව ටිකක් දිග එකක් වේවි...

මට මගේම කියල තියෙන්නෙ නම් දෙකක් උනාට පරම්පරා පොජ්ජයි, තාත්තගෙ නමයි එකතුවෙලා එනකොට නම් පහක්.... (මේ නම් පහ මොකක්ද කියල හිතුනෙ කැම්පස් ඉන්න කාලෙ, නම් එකොළහක් තියෙන හාදයෙක් අඳුන ගන්න ලැබුනට පස්සෙ.... අසුවල් අඩවියේ අසුවල් වලව්වෙ අසුවලාගෙ අසුවලා කියල එනකොට ඌට නම් එකොළහක්....) ඉනුත් අර පරම්පරා පොජ්ජ හඳුන්වන කෑල්ලෙ නම් දෙක මහා අපභ්‍රංසයක්... ඕක ඉංග්‍රීසියෙන් ලියන්න ගියාම හෙන අකුරු තොගයක්..... අපේ තාත්තට ඒකත් මදි වෙලාද කොහෙද ලංකාවටම එකක් වෙන්න මගේ පළමුවෙනි නමත් දාල ඒකට පරදින්නෙ නැතිවෙන්න.... ඒකත් ලියන්න ගියාම නුපුරුදු නමක් හින්දා බොහොම ටික දෙනායි හරියට ලියන්නෙ... ඒ දවස්වල තාත්තගෙ ඔෆිස් එකේ කට්ටිය විහිළු කළේ ඒ නම යටින් ශ්‍රී ලංකා කියල ලිව්වම ඇති ලියුම ගෙදරටම එයි කියල....

Friday, 8 July 2016

ලොරියා...

ඒ කොල්ලට ලොරියා කියන නම කොහොම වැටුනද කියන්න මං අදටත් දන්නෙ නෑ... හැබැයි මිනිහා අපේ ගමේ මහා විද්‍යාලයේ දිවීමේ ශූරයෙක් කියන එක නම් දැනගෙන හිටියා... කඩවසම් මූණකුත් ෆිට් ඇඟකුත් තිබුනා උනාට මිනිහා කොටා... අඬු දිග කොල්ලො පරද්දගෙන කොට අඬු තිය තියා මේ කොටා වේගෙන් දුවනවා ඒ දවස්වල එක සැරයක් මං දැකලා තිබුණා... මිනිහට ඉගෙන ගන්න නම් බෑ... පොර හෙන කුකුළා... කෙල්ලොත් මිනිහට වැහි වැහැලා... පොරට කවුරු උනත් කමක් නෑ එවෙලෙ දැක්කද, ඒ ඇති...

Wednesday, 13 March 2013

පන්තිය සෝදපු හැටි....!!

මම නවයෙ පන්තියේ හිටපු කාලෙ ඉස්කෝලෙ ගියේ අනිත් ළමයි වගේ සාමාන්‍ය ක්‍රමයට, උදේ වරුවෙ.... ඒ අවුරුද්ද තමයි අර මං කලින් කතා දෙකක සඳහන් කරපු සමන් ඉස්කෝලෙ ආව අන්තිම අවුරුද්ද... අපේ පන්තිය භාරව හිටියෙ අපට ඉංග්‍රීසි උගන්වපු මැටිල්ඩා මිස්... අඩි පහක්වත් උස නැති අවුරුදු පණහක් විතර වෙච්චි මේ මිස්ට ළමයි කිව්වෙ 'මැටී' කියල... ඒ මිස් හරිම හොඳ අහිංසක කෙනෙක් උනාට, මිස්ට ඒ නම වැටුනෙ ඉංග්‍රීසි පීරියඩ් එකත් එක්ක ළමයින්ට තිබ්බ තරහටමයි.... පව් අපේ මිස්...!

දවසක් උදේ අපි ඉස්කෝලෙ යනකොට පන්තිය ඇතුලෙ බිත්තිය දිගට තිබ්බ කළු ලෑල්ල යට  ගන්න දෙයක් නෑ... කළුම කළු පාට කුඩු තට්ටුවක් පැත්ත පළාතෙම විසිරිලා.... බැලින්නම් කලින් දවසෙ හවස නතරවෙලා බැටරි කුඩු වලින් කළුලෑල්ල කළු කරපු හාල්පාරුවො ටික ඒ වැඩේ කරල ගියා මිසක් බිම සුද්ද බුද්ද කරල ගිහින් නෑ... ටිකක් හොඳට වටපිට බලනකොට එහේ මෙහේ මුළුවල බැටරි බාගත් තියෙනව පෙනුනා... ටික වෙලාවක් යනකොට පන්තියට එන ළමයි බැටරි කුඩු පාගන් ගිහින් පන්තියේ බිම හැමතැනම කළු පාටයි.... සුදු සපත්තුවක් හෙම කාට හරි පෑගුනොත් දෙයියන්ගෙම පිහිටයි... මං කලින් කිව්වනෙ ඔව්ව සුදු කරගන්න නැහුනු නැහිල්ල...

එදා දවසෙ පන්තිය අතු ගාන්න තිබ්බ උන් ඇවිත් පන්තිය අතු ගෑවත් අර කුඩු නෙවේ ගියේ... ඔන්න එතකොට අපේ පන්තියේ කොල්ලෙකුට ගණ දෙවි නුවණක් පහළ උනා.... මැටිල්ඩා මිස් ඉගැන්නුවේ ඉංග්‍රීසි නිසා හැමදාම අපේ පන්තියේ පළවෙනි පීරියඩ් එක ඉංග්‍රීසි.... අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්... පළවෙනි පීරියඩ් එක කට් එක ගහන්න බැරි, නම් ලැයිස්තුව ලකුණු කරන නිසා... ඒ නිසා කොච්චර එපා උනත් පන්තියේ ලැගගෙනම ඉන්න වෙනව.... ඔන්න ඉතින් අර මොළකාරයා ගෙනාපු යෝජනාව තමයි අර ඉතුරු බැටරි කෑලි  ටිකත් කුඩු කරල පන්තිය ඉස්සරහ විනාස කරල දාන එක... එතකොට මිස්ට තියා මොකාටවත් ඇවිත් උගන්වන්න බෑනෙ අර අවීචියෙ... ඒකට එක පයින්ම එකඟ වෙච්චි ඒ වෙනකොට පන්තියේ හිටපු කොල්ලො ටික මොකද කළේ,  අර අහුමුළුවල තිබ්බ බැටරි කෑලි ටිකත් අහුලල උඩ පැන පැන, පොළවෙ ගහල  කුඩුපට්ටම් කරල දැම්ම එක ... 


අන්තිමට මිස් පන්තියට එනකොට ඒක එකම අපායක්... කොටින්ම මිස් පන්තියට ආවෙත් වතුර පාරක බැහැල යනව වගේ සාරියත් ටිකක් උස්සගෙන....
'අයියෝ, මේ මොකක්ද කරල තියෙන්නෙ...?' මිස්ට ඉබේම කියැවුනා...
අන්තිමට සියල්ල පැහැදිලි කරල දීපු ගෝලයො ටිකගෙ  එකම විසඳුම උනේ පළවෙනි පීරියඩ් එකේදි පන්තියේ පුටු මේස පැත්තකට කරල පන්තිය සෝදලා දාමු කියන එක...අනේ අපේ අහිංසක මිසුත් ඒකට රැවටිලා කිව්වා කාට හරි ගිහින් පනිට්ටුවක් අරන් එන්න කියල... අපේ රශ්මි ඉන්නව නේද (මගේ බ්ලොගේ නිතර කියවන අයට නම් මෙයා අමුත්තෙක් නෙවේ... ඒ කාලෙ මගේ හොඳම යාළුවා)... ඔය වගේ නොම්මර එකේ කුණු ගොඩවල් වලට කරගහන්න හොයාගෙන යන්නෙ... නැත්නම් පන්තියේ අච්චර කොල්ලො ඉන්දැද්දි මේ කොහේවත් නැති පනිට්ටුවක් හොයන්න මුන්ද බාර ගන්න ඕනයැ... අනිත් එක දැන් මේ ගේන්න යන පනිට්ටුව තියෙන්නෙ ගුරු මණ්ඩලයෙ වැසිකිළියෙ... ඈයියා..!! කියනකොටම මට හිතුනෙ එහෙම... ඒත් කොහෙද ගැලවීමක්... 

'මට නම් ඕකට  හවුල් වෙන්න එන්න බෑ..' මම කිව්ව... 
'මොනාද බං... ගුරාල රෙxx පනිට්ටුවටයැ...' 
'එහෙනං ඉතින් උඹම ඕක කරගහගෙන වරෙන්... මට නම් කියන්නෙපා ඕක අල්ලන්න...'
'හරි හරී ඉතින්... මං කිව්වයැ උඹට ඒක අල්ලන්න... මං ඒක කරගන්නම්කො... උඹට තියෙන්නෙ මාත් එක්ක එන්න විතරයි...'
අනේ ඉතින් එහෙම කිව්වට පස්සෙ මාත් ගියා උන්දගෙ පස්සෙන් මරන්න ගෙනියන හරක වගේ... 

ඒ කාලෙ අපේ ඔය නවයෙ පන්ති ටික තිබ්බෙ, ඉස්කෝලෙ 'කොරියාව' කියල හඳුන්වපු පැත්තෙ... මොකක් නිසා ඒ නම වැටුනද කියල නම් ඇත්තටම දන්නෙ නෑ... (මට බින්දිව මතක් උනා.. :D) කොරියාවෙ තිබ්බෙ දෙමහල් ගොඩනැගිලි තුනකුයි, කැන්ටින් එකයි, ළමයි පී ටී කරපු පිට්ටනි කෑල්ලයි... ඊට පිටිපස්සෙන් රේල් පාරෙන් මායිම් වෙච්චි පිරිමි වැසිකිළිය සහ කොල්ලො වැසිකිළිය විදියට පාවිච්චි කරපු මහා හබරල ගාල....ඒ වෙනකොට, අර මං 'පොඩ්ඩක් හිටහංකො බං' කතාවෙ කියපු අක්කා නෑව ළිඳ වහලා, ඊට ටිකක් පිටිපස්සට වෙන්න අළුත්ම දෙමහල් විද්‍යාගාරය හැදිලා... ඒ ගොඩනැගිල්ල තිබ්බෙ මේ කියන කොරියාවට වඩා අඩි පහක විතර උසින්... කැන්ටිම ඉස්සරහින් තිබ්බ පඩි පේළිය නැගලා යන්න ඕන එතැනට... එතැනිනුත් පොඩි පඩි පේලියක් නැග්ගම තමයි අර මං ඒ කතාවෙම කිව්ව පන්තිය තිබ්බ ගොඩනැගිල්ලට යන්න පුළුවන් වෙන්නෙ... ඔතැනට ගොඩ උනු ගමන් ඉස්සෙල්ලම මුලිච්චි වෙන්නෙ ස්ටාෆ් රූම් එක... ඒක පහු කරලා පන්ති හතරක් විතර ඉස්සරහට ගියාට පස්සෙ, ඔය කියපු ගොඩනැගිල්ලයි, ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය ඇතුළු අනිත් ඔෆිස් කාමර තියෙන ගොඩනැගිල්ල මේ කියපු ගොඩනැගිල්ලට යා වෙන තැන, උඩ තට්ටුවේ පොඩි පාලම් කෑල්ලක් වගේ හදල තිබ්බට පහළ තට්ටුවේ තිබ්බෙ යූ අකුරක හැඩැති ඉඩකඩක්... එතැන වම් අත පැත්තෙ තමයි ඔය කිව්ව ගුරු මණ්ඩලයෙ වැසිකිළිය තිබ්බෙ... 

යූ අකුරෙ යට කොටසෙ තිබ්බෙ අපේ ඉස්කෝලෙ නිල නොලත් අයිතිකාරය වෙච්චි මාටිං ටිං ටිං අයියගෙ දේවාලෙ නොහොත් වාසභවන...අයිය කිව්වට අවුරුදු පණහක් විතර වයස  ඇති...  උන්ද ඉස්කෝලෙ මුර වැඩේ, පියන් වැඩේ වගේම බෙල් එක ගහන වැඩෙත් කළා... ළමයි කිව්වෙ මිනිහා බෙල් එක ගැහුවෙ මාටිං ටිං ටිං කියලැයි කියල.... ඒක හින්දා තමයි අර නම... එයා ඔය පෝස්ටුව බොහොම ඔළුවට අරගෙන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හොර අල්ලන්න ගිහින්, කොල්ලන්ට කියල සම්බෝල හදවගන්නෙ නැතිව යාන්තමින් බේරුනා එක සැරයක්.... ඊට පස්සෙ මිනිහ එයා විසින්ම එයාගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ රාජකාරිය අයින් කර ගත්ත.... මාටියා පන්තියකට එනකොට ළමයි සහලෝල ඉන්නෙ... මොකද පොර එන්නෙ ප්‍රින්සිපල් උන්නාන්සෙගෙ නියෝග අරගෙන, උන්නැහේගෙන් කැඳවීමක් ලැබෙන ළමයෙක්/ළමයි එක්කරගෙන යන්න... ඒ ඉතින් හොඳකට නම් නෙවෙයි... හැබැයි පොර පපුව ඉස්සරහට දාගෙන ඔය මැසේජ්ජුව අරන් එන්නෙ හෙන සතුටින්... ඒක දැක්කම දෙන්න හිතෙනව මැරෙන්න... 

කතාව වෙන පැත්තකට ඇදුන... නැවතත් කතාවට... ඉතින් මේ කාලෙ අපට හිටිය ප්‍රින්සිපල්තුමා හරිම වසයි... ඒ උනාට එතුමාගෙ කාලෙ අපේ ඉස්කෝලෙ එක්තරා සවර්ණමය යුගයක් කියල කියන්න පුළුවන්... හැම අංශයකම වගේ ළමයි ඒ ලෙවල් පාස් උනේ ඉතාමත්ම ඉහළින්... සමහර අවුරුදුවල ලංකාවෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි හිටියෙ අපේ ඉස්කෝලෙ... ක්‍රීඩා පැත්තෙනුත් එහෙමයි... නාට්‍ය තරග වලින් දිනලා ළමයි ජපානය වගේ රටවල සංචාර වලට පවා ගියා... ඒ වගේම තමයි එතුමා ළමයින්ගෙ විනය සම්බන්ධයෙනුත් ඉතාම තදයි.... නිතරම වගේ ඉස්කෝලෙ වටේ යනවා.... පන්තියේ වැඩ කරන වෙලාවලදි එක ළමයෙකුටවත් හදිසි අවශ්‍යතාවයකට හැර එහෙ මෙහෙ යන්න බෑ... පුස්තකාලෙට පවා ගිහින් බලනවා පන්ති කට් කරන එව්වො ඉන්නවද කියල.... ඒ වගේම තමයි ගුරුවරුන්ටත්... එයාලත් එතුමාට හරි බයයි... ඉතින් මේ කක්කුස්සි බාල්දියක් ගේන්න එළියට බැස්සෙ ඕං ඔහොම කාලෙක...

මං කිව්වනෙ ඔතැන පන්ති හතරක් තියෙනවය කියල... ඔය ගුරු වැසිකිළිය පැත්තට වෙන්න තියෙන පන්ති කාමරය නිතරම හිස්ව තියෙන්නෙ හදිසි අවශ්‍යතාවයකට පොරෝජන ගන්න...ඔන්න ඉතින් අපි අදාල ස්ථානයට යනකොට අර කාමරයෙ උදේම පන්තියක් දාල... අපි කොහේටද යන්නෙ කියල ඒකෙ උන්ට පේන හින්ද මං එතැනම තිබ්බ කණුවට මුවා වෙලා ඉද්දි රශ්මි ගියා වැසිකිළිය ඇතුලට... මාත් එතැන ඉඳන් වටපිට බල බල ඉන්නකොට මට පේනව අපේ අම්මගෙ යාළුවෙක් වෙච්චි සර් කෙනෙක් එනව බාස්කට් බෝල් කෝට් එක මැදින්  ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය පැත්තට...එයාට ළමයි කිව්වෙ 'බොගා' කියල... බොග සම්බන්ධ කාරණාවක් නිසා නෙවෙයි... එයා කතා කරනකොට මහා සද්දෙන් බොග් බොග් ගාන නිසා... ඈත තියාම මාව දැක්ක සර් එකතැනම බ්‍රේක්  ගහල නැවතිලා අහනව 'මොකද ඔය ටොයිලට් එක ගාව කරන්නෙ... ටොයිලට් එක හෝදනවද... ?'  ෂික් විතරක්.. මට හීං දාඩිය දැම්ම... ඕනනැති මගුලක් නෑනෙ මේ මනුස්සයට... ඒ මදිවට ඒක අහපු කැත... උන්දට ඒක අහන්න තිබ්බෙ නැද්ද අර ටොයිලට් කතාව හලල... ලැජ්ජාවෙ බෑ...  මං හීන් සීරුවේ බෙල්ල දික් කරල අර පන්තිය දිහා බැලුව... දොර පැත්තෙ ඉස්සරහම පේලිවල හිටපු කොල්ලො ටිකගෙ ඇස් කුට්ටම් ටික මගේ පැත්තට හැරිලා... උන් ටික අඳුනගත්තු මට ඒ කොන්ක්‍රීට් පොළොව හාරගෙන හාරගෙන ගිහින් ඒක යට හැංගෙන්න හිතුන...මගේම කරුමෙ කියන්නෙ  ඒ සමන්ලගෙ පන්තිය...! මොන මගුලකට එදා උදේ පාන්දරින්ම උන් ටික එතැනට දාල තිබ්බද මන්දා.. නිකං ඉන්න බැරුව ඒක දිහා බලන්න ගිහින් ටින් කිරි ගාගත්ත කියල මට හිතුනෙ දැන් මේ කණුවට මුවාවෙලා ඉන්නෙ මං කියල උන් හොඳටම දැක්ක නිසා... ඒ වෙනකොටත් කන්න වගේ මගෙන් උත්තරයක් බලාගෙන හිටපු සර්ට මං පුළුවන් තරම් හෙමිහිට කිව්ව 'මේ  පනිට්ටුවක් ගෙනියන්න ආව..' කියල.... 'ඒක මිසක්... මං මේ බැලුව..' කියාගෙන උන්ද යන්න ගියා...


සර් ගියාට පස්සෙ මං කණුවට හේත්තු වෙලා මගේ කොණ්ඩෙ ඉස්සරහින් අල්ලලා හයියෙන් පහළට ඇද්දෙ මොන කරුමෙකට මේ ගමන ආවද කියල හිතන ගමන්... කෝ මේ ඇතුලට ගිය එකී... තාමත් නෑ...
'ඒයි රශ්මී...' මං පුළුවන් තරම් හඬ බාල කරල කතා කළා...
'මේ එනව... මේ එනව...' කක්කුස්සිය ඇතුලෙන් ඇහුන...
'මේ ළමය මොකද මෙතැන කරන්නෙ...?' එකපාරටම කණ ළඟ මහා සද්දෙන් ඇහෙනකොට මං උඩ ගිහින් බිම වැටුන.... හැරිල බලනකොට ප්‍රින්සිපල්තුමා... හනේ මොන කරුමෙකට මං මෙතැන හිටියද කක්කුස්සි බාල්දිය ගන්න ඒක අස්සට රිංගන්නෙ නැතුව කියල මට පළවෙනි වතාවට හිතුන...

'පනිට්ටුවක් ගෙනියන්න ආව...' කියල වැසිකිළිය දිහාවට අත දික්කරල ඒ පැත්ත බලන ගමන් කියනකොට මට පෙනුන ඒක ඇතුලෙ ඉඳන් පනිට්ටුවත් අරන් එළියට එන්න ආව රශ්මි, ඒකත් අරගෙනම ස්ලෝ මෝෂන් එකේ රිවර්ස් එකට ආපහු ඇතුලට යනව... මට ඒකිව කන්න කේන්තියි...
'පනිට්ටුවක් මොකටද...?'
'ඊයෙ කළු ලෑල්ල කළු කරපු ළමයි පන්තිය සුද්ද කරල නැතිව බැටරි කුඩු හැමතැනම ගෑවිලා... ඉතින් මිස් කිව්ව පන්තිය සෝදල දාන්න වතුර ගන්න පනිට්ටුවක් ගේන්න කියල...' මං තතන තතනා කිව්ව....

'කවුද මිස්...?'
'මැටි... මැටිල්ඩා මිස්..' තව පොඩ්ඩෙන් මළා...
'මොන පනිට්ටුද මේ වෙලාවෙ... ඉස්කෝලෙ පටන් ගත්ත විතරයි... දුවනව යන්න පන්තියට...'
'හා' කියන ගමන් මං ආපහු හැරිලා යාන්තම් බැලුව අර පන්තිය දිහා... උන්ගෙ ඇස් ස්ප්‍රිං හයි කරපු ගානට දොට්ට පැනලා... කටවල් කිරි හට්ටි වගේ... උං මට හිනා වෙනව... අනෙ අම්මේ... ඊට වඩා හොඳයි මැරුණ නං... ෂික්...
මොහොතකින් වැසිකිළිය ඉඳල එළියට පැන්න රශ්මි මාවත් ඇදගෙන දුවල ඇවිත් නතර උනේ පන්තියේ... ප්‍රින්සිපල්තුමා බලන්නැති ඒ මොකාද කියල... උන්නැහේ හිතුවෙ මං විතරයි ඉන්නෙ කියල...






Monday, 18 February 2013

චුට්ටක් හිටහංකො බං....



මම ගිය ඉස්කෝලෙ ඉඩ කඩ මදි ප්‍රශ්ණෙ නිසා පන්ති පැවැත්වුනේ දෙවරුවකට කියල මං කියල තියෙනවනෙ... හයේ හතේ පන්තිවල හිටපු ළමයි තමයි ඔය (අ)වාසනාවට හිමිකම් කිව්වෙ.... ඒ වෙනකොට මං හතේ පන්තියේ... අපේ පන්තිය තිබ්බෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකයි ස්ටාෆ් රූම් එකයි අතරෙ.... ලේසි නෑ වැඩේ... හැම තිස්සෙම සීරුවෙන් ඉන්න ඕන.... නැත්නම් ගුරුවරුන්ටයි එහෙමත් නැත්නම් ප්‍රින්සිපල්තුමාටයි මාට්ටු වෙන්නෙ කොයි වෙලේද නෑ....මං ඉස්කෝලෙ යන කාලෙ වැරදිවලට අහුවෙන්න බය ඒ කාලෙ මගේ ගුරුවරු වැඩි දෙනෙක් ගුරුවරියක් වෙච්චි මගේ අම්මගෙ යාළුවො නිසා බවත් මං කලින් කියල ඇති...

 ඔය අපේ පන්තිය තිබුනු දෙමහල් ගොඩනැගිල්ල තිබ්බෙ ඉස්කෝලෙට ඇතුළු වෙන තැනම වම් පැත්තෙ.... පන්තිය ඉස්සරහ පත බාස්කට් බෝල් කෝට් එක... ඒක මැදි කරගෙන අශ්ව ලාඩමක හැඩයෙන් එක පැත්තක පන්ති කාමර එක්ක තවත් දෙමහල් බිල්ඩිමකුත් අනිත් පැත්තෙ ඒ වගේම පුස්තකාලයත් තිබුණා... බිම් මහලෙ තිබුණු අපේ පන්තිය පිටිපස්සෙ තිබුණෙ හිස් ඉඩමක්... ඒ වෙනකොට එතැන විද්‍යාගාරයක් හදන්න සැලසුම් සකස් කරල තිබ්බත්, අපිටත් වඩා උස් පඳුරු වැවිල තිබුණා ඒ ඉඩම් කෑල්ලෙ.... ඒ වගේම ඕකෙ කොණක අනාරක්ෂිත ළිඳකුත් තිබුණු නිසා ළමයින්ට තහනම් කරල තිබ්බෙ ඒ පැත්තට යන එක... ඒ ළිඳ ගොඩක් ගැඹුරු එකක් නමුත් කවදාවත් වතුර හිඳෙන්නෙ නැති එකක් බවත් කටින් කට ගිය කතා වලින් අපි දැනගෙනයි හිටියෙ.... ඒ නිසා පායන කාලවලදි අතින් වතුර ඇදගන්න පුළුවන් විදියට ළිං කටේම පැත්තකින් කොටන් වගයක් දාල කකුළ තියාගන්න පහසු වෙන්න හදල තිබ්බ.... ඔය කියාපු පන්තියේ ඉන්න කාලෙ අපට පන්ති කාමරයෙ පිටිපස්සෙ ජනේල වලින් ඔය ළිඳ හොඳට පේනව.... ඒ උනාට ඒක අපේ අවධානයට එච්චර ලක්වෙච්චි තැනක් නෙවේ....අපිට වෙන වැඩ නැතුවයැ...  නැද්ද...

ඔන්න ඉතින් දැහැමෙන් සෙමෙන් ඔය පන්තියේ රජ කරගෙන ඉන්න කාලෙ හොඳ පෑවිල්ලකුත් ආව.... සමහරදාට අහම්බෙන් අපිට පේනව ගමේ මිනිස්සු ඉස්කෝලෙ වටේට ගහල තිබ්බ කටු කම්බි වැට ඈත් මෑත් කරල, කළ ගෙඩි එහෙම උස්සගෙන ඔය ළිඳ ළඟට ඇවිත් වතුර අරන් යනව හෙම... ඒ නිසාමද කොහෙද ළිඳ වටේ නම් හොඳට සුද්ද බුද්ද කරල තිබ්බ.... ඒත් ඉස්කෝලෙ ළමයින්ට තිබ්බ තහනම එහෙමම තිබුණා... උන්ට එතැනට ගියේ නැතුවට ඉස්කෝලෙ වටේ තිබ්බ ටැප් ටික නියඟෙට හිඳිල නොතිබුනු නිසා වතුර වලින් අහේනියක් තිබ්බෙ නෑ....

මේ කියන දවසෙ අන්තිම පීරියඩ් එකට කලින් එකේ අපට උගන්වන්න නියමිතව හිටිය ගුරුවරයා ඇවිත් හිටියෙ නෑ... අපිත් ඉතින් ටිකක් ඈණුම් ඇර ඇර හේම ඉඳලා එහාට මෙහාට ඇවිද ඇවිද සුපුරුදු පච දෙසිල්ල පටන් ගත්තා... ඔය අන්තිම පීරියඩ් වලදි අපි අනිත් වෙලාවට වඩා පොඩ්ඩක් රිලැක්ස්... මොකද ඒ වෙනකොට හවස හතරහමාර විතර වෙලා නිසා අපේ ප්‍රින්සිපල්තුමා ගෙදර ගොහින්.... ඒ නිසා ගුරුවරුත් රිලැක්ස්.... වැරැද්දක් කරල අහු උනත් ඉස්කෝලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර නිකම් තියෙන මොකද්ද එකේ ටින් කිරි ගාගෙන වෙලාවට ගෙදර යාගන්න නොලැබෙන නිසා ගුරුවරුත් බොහෝ වෙලාවට ළමයි නිශ්ශබ්ද කරගෙන ඉන්න උත්සාහ කරනව මිසක් ලොකුවට දඬුවම් දෙන වැඩ හෙම කරන්න යන්නෙ නෑ.... ඉතින් අපේ කෑගැහිල්ල අනිත් පන්තියට උගන්වන්න බැරි තරමට කංකරච්චලයක් වෙනකොට ඒ ඉන්න ගුරුවරයෙක් තමයි ඇවිත් තරවටු කරල යන්නෙ.... නැතිනම් පන්තිය ඉස්සරහ කොරිඩෝව දිගේ ස්ටාෆ් රූම් එක පැත්තට යන ගුරුවරයෙක් අහම්බෙන් නැවතිලා පන්තිය ඇතුලට හොස්ස පොවලා පොඩ්ඩක් ගෝරනාඩුව දාල යනව.... අපි සැලෙයි එව්වට....

ඒත් මෙදා පන්තිය ටිකක් වෙනදට වඩා නිශ්ශබ්දයි... ඒ නිසාම මොකක්ද මේ අරුමය කියලා ටිකක් වටපිට බලනකොට පෙනුනා පිරිමි ළමයි ටික අර පන්තිය පිටිපස්සෙ ළිඳ පේන ජනේලෙට ගහල තිබ්බ දැලේ එල්ලිලා, අපි දිහාත් සැරින් සැරේ හැරි හැරි බලන ගමන්, සුටු පුටු ගගා මුමුණ මුමුණ මොකක්දෝ දිහා බලන් ඉන්නව හිනාවෙවී.... අපිත් ඉස්සි ඉස්සි බැලුව මොකක් දිහාද මුං බලන් ඉන්නෙ කියල... ඔළුගෙඩි ටිකට වැහිල මොකුත් පෙනුනෙ නෑ... දැන් අපේ කුචුහලේ උපරිමයි.... ඔන්න ඒ ගමන අරුන් කිහිප දෙනෙක් දැල ළඟින් මෙහාට වෙලා ඩබල් දාල ගියා පන්තියෙන් එළියට.... අපි හිතුව ටොයිලට් එකට හරි පුස්තකාලෙට හරි ගියාය කියල... ඔහොම කුට්ටම් කිහිපයක්ම එළියට ගියාට පස්සෙ ඔන්න ඉඩක් පෑදුනා අපිටත් මේ මොකක්ද බොලේ කියල බලන්න...

මාත් අනිත් එවුන් ටිකත් පෙරලගෙන ගියා මොකක්ද කියල බලන්න... ඉතුරු වෙලා හිටපු කොල්ලො ටිකත් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා අපිට ඉඩ දුන්න... අනේ සංසාරේ අර කියාපු ළිඳ ළඟ අක්කා කෙනෙක් නානවා.... උන්ද නාන්නෙ සුදු පාට තුනී දිය රෙද්දක් ඇඳගෙන.... කට්ටියට විෂුවල් මැවෙන්න ඇතිනෙ.... අන්න එහෙම තමා... ඉතින් අපිත් කෙල්ලො කියල නෑ, කට කණේ තියාගෙන බලන් ඉන්නව.... මෙන්න බොලේ ටික වෙලාවක් බලන් ඉන්නකොට අර අපේ පන්තියෙන් පිට වෙලා ගිය කොල්ලො සෙට් එක, තහනම් අඩවියත් පහු කරගෙන සීන් එකට එන්ටර් වෙනව අපිට පෙනුනා... 'අන්න යකෝ ටොයිලට් යන්න ගිය එව්වො...' කවුද කොල්ලෙකුට එහෙම කියැවුනා... එතකොටම ඉස්සෙල්ලට වැඩිය ඉඩ කඩ පෑදෙනව දැනුනම පස්ස හැරිලා බලනකොට කොල්ලො දෙතුන් දෙනෙක් පන්තියෙ ඉතුරු වෙද්දි අනිත් උන් ටිකත් පන්තියේ දොරෙන් පෝලිමට නොපෙනී යනවා දැකගන්න පුළුවන් උනා... එතකොටම කෙල්ලො පොදිය ජනේලෙ ගාව පිරුනු නිසා මං කළේ ළඟම තිබ්බ පුටුවක් ඇදල අරගෙන ඒක උඩට නැග ගත්තු එක....

දැන් මට පේනව අර කොල්ලො ටික ගිහින් අක්කත් එක්ක කතා කර කර අවුරුදු ගාණක් සා පිපාසාවෙන් පෙලිච්චි උන් වගේ එයාගෙන් වතුර ඉල්ලන් බොනව... උන්දැත් උනුත් එක්ක හිනාවෙවී කතා කර කර, නාන එකත් පැත්තකින් තියල වතුර ඇද ඇද කොල්ලන්ගෙ බොකුටු කරගත්තු අත්වලට හෙමින් සීරුවේ වත් කරනවා.... අක්ක දෙකට නැමිල වතුර වත් කරනකොට සමහර කොල්ලො අක්කගෙ පිටිපස්සට ගිහින් ෆොටෝ ගන්නව වගේ අභිනය දක්වනවත් පෙනුන... සමහරුන්ට නවත්ව ගන්න බැරි තරම් හිනායි.... මෙන්න තව චුට්ටකින් පේනව අපේ පන්තියෙ කොල්ලන්ට අමතරව වෙන පන්තියක කොල්ලොත් දෙතුන් දෙනෙක් සීන් එකට එන්ටර් වෙනව... දැන් හෙන කොල්ලො පොදියක් එතැන... මම තව තවත් ඕනෑ කමින් බොහොම උනන්දුවෙන් බලන් හිටිය මොකද වෙන්නෙ කියල...

එකපාරටම මට දැනුන කවුරු හරි පුටුව උඩ නැගල හිටපු මගේ සුදු ගවුමෙ සායෙන් අදිනව... මං හිතුව තව කාට හරි පුටුව උඩට එන්න ඕන වෙලාය කියල... 'ඔය තව පුටු තියෙන්නෙ... එයින් එකක් ගනින්කො මේකම ඉල්ලන්නෙ...' කියල මම පස්සවත් නොබල කිව්වෙ සීන් එක දිහා බලාගෙනමයි... ටිකකින් මට දැනුනා මගේ දකුණු අතේ උඩ බාහුවට කවුරු හරි පොඩි තට්ටුවක් දානව... 'මොනාද බං... චුට්ටක් හිටහංකො... මළ වදේ...' කියල මං මූණත් හපුටු කරගෙන, මගේ අතට තට්ටුව දාපු අත අල්ලගත්තෙ ඇදල අරන් තල්ලු කරල දාන්න හිතාගෙන.... මගේ අතට අහුවුනේ ගොරෝසු පත අතක්... යකෙක් අල්ලගත්ත තරමට බය වෙච්චි මම හෑහ් ගාල හුස්මකුත් අල්ලනගමන් අහුවෙච්චි අත ගසල දාල පස්ස හැරිල බැලුව... යකෝ අපේ විද්‍යා සර්...!!!

මගේ ඉහේ උකුණො හිටිය නම් උන් ටිකත් බිමට පනින්නැති මට දැනුනු ලැජ්ජාවට.... මට කර කියාගන්න දෙයක් නැති උනා... මං දඩි බිඩි ගාල පුටුවෙන් බිමට බහිනකොට වැටෙන්න ගිය පාර සර්ම මාව අල්ල ගත්ත.... පන්තියේ අනිත් කෙල්ලො ටික මුල්ලකට පොදි ගැහිලා අත් වලින් කටවල් වහගෙන ඇස් වලින් පුපුරන්න හිනා වෙනවා... පරිච්චියො.... නිකමටවත් මට කිව්වෙ නෑ සර් එනවැයි කියල....

සර් වචනයක්වත් කතා නොකර ජනේලෙ ළඟට ගිහින් බැලුව මං බලන් හිටිය දිහා.... එයාගෙ කට කොණට හිනාවක් නැගෙනව මං බලාගෙන.... සර් මං දිහාවට නෝන්ඩි බැල්මක් දාල ඇහුව 'අර මේ පන්තියෙ පිරිමි ළමයි ටික නේද ළිඳ ළඟ ඉන්නෙ...?' කියල...මං මොකුත් නොකිය ඉහළට පහළට ඔළුව හෙල්ලුව.... සර් උඩ ඉඳන් පහළට මං දිහා බලල 'පන්තියේ මොනිටර් උනාම ඔහොමද අනිත් අයටත් ආදර්ශයක් වෙන්න හැසිරෙන්නෙ....' කියල ඇහුවෙ හිනාවක්  හංග ගන්න ගමන්.... හත්තිලව්වයි.... මට මං පන්තියෙ මොනිටර් බව මතක් උනේ එතකොට... 'මට අම්මව හම්බු වෙයිනෙ...' කියල මට ඇහෙන්න හෙමින් කියපු සර් කට්ටියටම වාඩිවෙලා නිශ්ශබ්දව ඉන්න කියල ගියේ කොල්ලො රොත්ත අරන් එන්න....ෂික්... වැදගැම්මක් ඇති දෙයක් බලන්න ගිහිල්ල නම් ඒත් කමක් නැ... මේ කෙල්ලෙක් නාන එකක්... හයියෝ...

සර් ගියපු ගමන් මං හැරුනෙ කෙල්ලො ටික දිහාට... 'තොපි නිකමටවත් කිව්වෙ නෑ මට සර් එනවැයි කියල නේද...'
'අපි දැක්කෙත් සර් පන්තිය ඇතුලටම ආවට පස්සෙ බං... අරකි උඹේ සායෙන් ඇද්දෙ ඒ නිසා... කොහෙද... උඹට මේ ලෝකෙ සිහියක් තිබ්බයැ...' කවුදෝ කිව්ව....


Wednesday, 23 January 2013

යාළුවෝ....

ලියන්න දේවල් දහසක් තිබ්බත් මාස තුනක් විතර කාලයක් තිස්සෙ නොලිව්වෙ වැඩ අධික කමටත් වඩා කම්මැලිකම නිසාය කිව්වොත් නිවැරදියි.... මොන එකක්ද මන්දා මට ලියන්න හිතුනෙම නෑ.... බාගෙට ලියපු කතා තුනකුත් තියෙනව.... වෙනදට බ්ලොගක් බැලුවොත් කමෙන්ටුවක් කොටන්නෙ නැතුව නොයන මං ඒකටත් කම්මැලි උනා.... ඒත් අද නම් ඇඳෙන් නැගිට්ටෙම මොනව හරි කොටල මිසක් කොම්පියුටරය ළඟින් නැගිටින්නෙ නෑ කියල හිතාගෙනමයි.... එහෙම හිතුවට මේ වෙනකොටත් හත් අට පාරක්ම නැගිටල ගියා, අම්මි බඩගිනියි කියනකොට, මං කොම්පියුටරය ඉස්සරහ වාඩිවෙලා ඉන්න වෙලාවට වෙනද හදාගන්න තේ එකත් හදාගන්න බැරිවෙන අයට තේ හදල දෙන්න හෙම.... අවුරුද්දක් නැහිලා ලැබෙන වාර්ෂික නිවාඩුවට ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත තුනක සංචාරයකට යන්න පෙරුම් පිරුවෙ කාලෙක පටන්... ඒකට අමතර හේතුවක් ගෙනාවෙ මගේ පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙකුගෙ, වසරක ඕස්ට්‍රේලියන් ශිෂ්‍යත්වය....පොඩි අමතර කතාවකුත් කියන්නම්කො මේ එක්කම...

මම කලින් කියල තියෙනවනෙ මං ඉගෙන ගත්තෙ දකුණු පළාතෙ මිශ්‍ර පාසැලක කියල... ඒ වගේම ඉස්කෝලෙ යනකොට අලි ඔළුව දාගෙන හිටපු හැටිත් කිව්වනෙ... මගේ ඔය ආකල්ප වෙනස් කරපු දෙයක් සිද්ද උනේ මං ඕ ලෙවල් පන්තියෙ ඉන්දැද්දි... මගේ පුංචි කාලෙ පටන් බඩ බැඳගත්තු යාළුව රශ්මි ගැන අහල පුරුදුයිනෙ මගේ බ්ලොග් එක කියවපු යාළුවන්ට... මේ කාලෙ වෙනකොට රශ්මිලගෙ පවුලෙ කවුරුවත් ස්ථිර රැකියාවක් නොකරපු නිසාත්, හතර දෙනෙක් ඉගෙන ගත්තු නිසාත් එයාලට ගොඩක් ආර්ථික අපහසුකම් තිබුණා... ඒ නිසා අපේ අම්ම කළේ රශ්මිව එක්කන් ඇවිත් අපේ ගෙදර නවත්තගෙන ඉස්කෝලෙ ඇරපු එක....   රශ්මිට ඉගෙන ගන්න හැකියාවක් තිබුණත් එයාට පොතක් පාඩම් කරන්න බැරි බව මට තේරුණේ මේ කාලෙදි... මොකද ගෑණි පොත අරගෙන යන්නෙ ඇඳට... ඉතින් ටිකකින් ග් ර් ර් ර්...ටොඃ... ගානව ඇහෙනව.... එයා සම්පූර්ණයෙන්ම විභාගවලට ලිව්වෙ පන්තියෙදි උගන්වනකොට ඔළුවට යන දේවලින්.... හැබැයි ඉංග්‍රීසිවලට නම් පන්තියෙ වැඩිම ලකුණු ගත්තෙ එයා... ඒක තමයි එයා ආසාවෙන්ම ඉගෙන ගත්තෙ... පාඩම් කරන්න ඕනත් නැහැනෙ... එහෙම උනාට කවදාවත් පන්තියෙ පහළොස් වෙනියගෙන් පහළට ගියෙත් නැහැ... මොකද අනිත් ලකුණු වලින් මොන තරම් පහළට ගිහින් තිබ්බත් ඉංග්‍රීසිවල ලකුණු ලැබුණු ගමන් ගෑණි රූං ගාල උඩ...

ඉතින් ඔහොම ඉන්න කාලෙ තමයි මට තේරුනේ, මං රශ්මි වෙනුවෙන් මොනවා කළත් එයාගෙ හිතේ මං ගැන තරහක්, ඉරිසියාවක් වගේ දෙයක් තියෙනව කියල... එයා මගේ අනිත් යාළුවොන්ට මං කිව්ව කියල එක එක දේවල් කියල තිබ්බ... එයාල ඒව පිළිගත්තා රශ්මි ඒ වෙනකොට හිටියෙ අපේ ගෙදර හින්දා... එහෙම කරන කොට අනිත් යාළුවො මගෙන් ඈත්වෙලා රශ්මිත් එක්ක වෙනම කඳවුරක් උනා කියන එක මට තේරුනා... ඒකට මගේ හිත හොඳටම රිදුනා... මොකද මං එහෙම දෙයක් රශ්මිගෙන් කවමදාකවත් බලාපොරොත්තු නොවුනු නිසා.... ඔය හේතුව නිසා ඒ ලෙවල් පන්තියට යනකොට අර පහළ පන්තිවල බඩ බැඳගෙන හිටිය යාළුවොන්ගෙන් මං බොහොම ඈත්වෙලායි හිටියෙ...

අපි ඒ ලෙවල් පන්තියට යනකොට, හැමදාම නොයෙක් විදියේ අත්හදාබැලීම් කරන අපේ ඉස්කෝලෙ, එක පන්තියක් හැදුවා ඩී 6 කට වඩා ගත්තු බයෝ, මැත්ස් කරන ළමයි දෙගොල්ලොම දාලා... (ඒ කාලෙ තිබ්බෙ විෂයයන් 8ක්, දුන්නෙ ඩී, සී එස්, එෆ්... දැන් නම් මේවා වෙනස්නෙ... ) එතැනදි අර 1 පන්තියේ ඉඳල ඕ ලෙවල් වෙනකම්ම මාත් එක්ක හිටිය රශ්මි වැටුනෙ වෙන පන්තියකට.... මේ පන්තියෙදි මා වටා එකතු උනා අළුත්ම යාළුවො ටිකක්... විශ්වාස කරන්න මේ ඔක්කොම පිරිමි ළමයි.... උන් අතරෙ අර කෙල්ලො අතර තිබ්බ කුඩුකේඩුකම් මොකුත් තිබ්බෙ නෑ... ආයෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම යාළුවො.... අන්තිමට ඒ පන්තියේ සාර්ථක භාවය කෙසේද කිව්වොත් පන්තියේ හිටපු 50% කට වැඩිය අද වෙනකොට දොස්තරල, ඉංජිනේරුවො, කථිකාචාර්යවරු.... එක මහාචාර්යවරයෙකුත් ඉන්නව කියල ආරංචි උනා.... (මේ අය මෙහෙම වෙද්දි මට මොකද උනේ කියන එක වෙනමම ලිවිය යුතු කතාවක්... ) ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු පහක් හයක් යනකම්ම මේ යාළුකම් බොහොම සමීපව පවත්වාගෙන ආවත්, කට්ටියට රස්සාවල් ලැබිලා එක එක දිහාවලට යන්න සිද්ද උනාම ඒ ළඟ සම්බන්ධකම් ඉබේම නැතිවෙලා ගියා.... පසු කාලෙක අහම්බෙන් තමයි අපිට කතාකරන්නවත් ලැබුණෙ... ඒත් දුරකථනයෙන්.... මෙයින් එක යාළුවෙක් තමයි ඔය ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවට ආව කිව්වෙ....

මෙයාට සමීර කියමු.... සමීර ඉහළම සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්... එයා මගේ පොඩි මස්සිනා එක්ක ළඟින්ම ආශ්‍රය කරපු නිසා මගේ විස්තර, දුරකථන අංක එහෙම දැනගෙනයි හිටියෙ.... (තව දෙයක් කියන්න ඕන... මගේ මහත්තයා හැරුනුකොට අපේ පවුලෙ අනිත් පස් දෙනාම - කසාද බැඳපු අයත් එක්කම - ගියේ එකම ඉස්කෝලෙට... ඒ වගේම මගේ චූටි නංගි ඇරුනහම අනිත් පස් දෙනාම ගියේ එකම විශ්වවිද්‍යාලෙකට... ඒ නිසා බොහෝ වෙලාවට එක්කෙනෙකුගෙ යාළුවො අනිත් අයවත් හොඳටම දන්නවා... ) ඉතින් සමීර මෙහේ ආව ගමන් කළේ ටික ටික අපේ පන්තිවල හිටපු, දැනට කැන්ගරු දේශෙ වසන කට්ටියව එකතු කරපු එක... අන්තිමට එයා හිටපු පළාතෙන් විස්සකට වැඩිය පිරිසක් එකතු කරගෙන ගෙට්ටුවක් දාන්නත් පුළුවන් උනා... ඔය ගෙට්ටුව වෙලාවෙ මගේ විස්තරත් අනිත් අයට ලැබෙන්න සලස්වලා තිබ්බා සමීර විසින්... බලනකොට මගේ පන්තියේම හිටිය යාළුවො, කොල්ලො අට දෙනෙක්ම ඒ අහළින් පහළින් අහුලගෙන තිබ්බා.... මං ඒක දැනගත්තෙ ටික දවසක් යද්දි දුරකථන ඇමතුම් එක එක එන්න පටන් ගනිද්දි... මේ අතරෙ හිටිය එක විශේෂ කෙනෙක් තමයි අර මං කලින් 'යාළුද බලපු හැටි...' කතාවෙ ප්‍රධාන චරිතය... මිනිහ දැන් සිවිල් ඉංජිනේරුවෙක්... මෙතැන එයාගෙ නම කියන්නෙ නැතිව ටී කියන්නම්කො... ටීගෙ පැය දෙකක් විතර දිග පළවෙනි දුරකථන ඇමතුමේදි තමයි අපට ආරාධනය ලැබුණෙ එහේ ඇවිත් යන්න...

ටී මගින් මගටම කිව්වා එයාලගෙ ගෙදර දවස් තුනක්වත් නැවතිලා ඉඳල යන්න ඕන කියල.... ඒත් එයාලට පුංචි දරුවො ඉන්න නිසා වදයක් වෙයි කියලත්, මනු මේ සෙට් එකව ඒ තරම්  නොදන්න නිසාත් අපි නවතින තැන් වෙනම ලැහැස්ති කරගත්තා... අනේ ඒ උනාට ගියාට පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ... අපි ටීලගෙ ගෙදර යනකොට මගුල් ගෙදරක වගේ කෑම බීම ලැහැස්ති කරල, අර පන්තියේම හිටපු කොල්ලො සෙට් එකට එන්න කියල එකම සතුටු සාගරයක්.... උන් ටික මාව පිළිගත්ත හැටි මතක් වෙනකොට ඇහැට කඳුළුත් එනවා.... ඔක්කොගෙම ළමයි ටික එකතු වෙනකොට දහ අටක් විතර... දැන් මතක් වෙනකොට මහ උන් ටිකයි ළමයි ටිකයි කොහොම අර ගෙදර හිටියද කියල හිතාගන්නවත් බෑ.... අවුරුදු පහළොවකට වැඩි කාලයකට පස්සෙ අපිව දැකපු අපිට හිනාව නවත්තගන්න බැරි උනා.... එදා වගේම නොවෙනස්ව හිටියෙ කොල්ලො දෙන්නෙක් විතරයි.... සමහරුන්ගෙ තට්ටෙ පෑදිලා... සමහරුන්ගෙ බඩවල් කට ළඟ... හරියට එයාලගෙ ළමයි වදල තියෙන්නෙ පිරිමි ටික වගේ... ළඟින් ගියත් අඳුන්න බැරිවෙන තරමට වෙනස් වෙලා තිබ්බෙ ටී.... මිනිහට ඉස්කෝලෙ යන කාලෙ ලස්සන කොණ්ඩයක් තිබ්බා... හරියට ඉතින් ඊට පස්සෙ කතාවෙ කැළුම්ගෙ වගේ.... ඒ කොණ්ඩෙන් ගහක්වත් ඉතුරුවෙලා නෑ.... ඒ මදිවට ඉස්කෝලෙ යන කාලෙ උපරිමයට ක්‍රීඩා කරපු ටීව තමයි ලොකුම බඩාට තේරුනෙත්.... ඊට පස්සෙ ඉතින් අපි එකතුවෙලා ඇවිද්දා... හැම ගෙදරකටම ගොඩවෙලා සංග්‍රහ භුක්ති වින්දා.... 31 වෙනිදා රෑ ලොකුම සාජ්ජෙ තිබ්බෙ ටීලගෙ ගෙදර... රෑ එළිවෙනකම් ගිටාර් ගගහා ටින් බෙලෙක්කවලට තල තල සින්දු කිව්වා...නෝනල ළඟ ඉන්නවද බල බල ඉස්සර කරපු කුපාඩි වැඩ, කෙල්ලො පස්සෙ ගිය ඒවා, දැන් උන්ට මොකද වෙලා තියෙන්නෙ කියන ඒව මතක් කරපු එක තමයි ලස්සනම.... මනු ටීගෙ කතාව දැනගෙන හිටියට ටී දන්නෙ නෑනෙ ඒ වග... අනිත් අය හිතුවෙ මනුට තේරෙන්නෙ නෑ කියල ඒ කතාව එහෙන් මෙහෙන් හින්ට් වලින් මතක් කරනකොට... මනුත් නොතේරුනු ගානට හිටිය... ටී හිටිය තිත්ත කසාය බීපු ගොළුව වගේ.... දැන් මතක් වෙනකොටත් හිනා යනව.... ඊට පස්සෙ අළුත් අවුරුද්ද ලබනකොට අපේ ලංකාවෙ ඉන්න යාළුවො සෙට් එකට සුභ පතලා එකම වෙලාවට වෙන වෙනම එස් එම් එස් යවපු එක තමයි අනිත් ලස්සන වැඩේ.... උන්ට හිතාගන්න බැරි උනා කොහොමද මේ එකක් පස්සෙ එකක් මැසේජස් එන්නෙ කියල... පස්සෙ කෝල් කරලා හැමෝම කතා කරල උන්දලාවත් කුලප්පු කරල තිබ්බ.... ඊට පස්සෙ දවසක බ්‍රිස්බේන්වල ඉන්න යාළුවෙක්ව බලන්න එයාලගෙ ගෙදර යනකොට රෑ දොළහත් පහුවෙලා... ඒත් කිසිම මහන්සියක් බලන්නෙ නැතිව හෝටලේටම ඇවිත් අපිව එක්කගෙන ගිහින් කන්න බොන්න දීලා හෝටලේටම ඇරලනකොට පාන්දර දෙකත් පහුයි.... ඇත්තටම මනු විතරක් නෙවෙයි, මමත් පුදුම උනා එයාලගෙන් මට ලැබුණු සැලකිල්ල ගැන...

පස්සෙ ඉතින් මිතුරුකමේ හර්දයාංගම මතක සටහන් රැසක් එකතු කරගෙන අපි එයාලගෙන් සමු අරගෙන ආවත් (අපිව එයාපොර්ට් එකට ඇරළුවෙත් එයාලමයි), අපි සංචාරය ඉවර කරලා ආපහු ගෙදරටම එනකම් සැරින් සැරේ දුරකථන ඇමතුම් දීලා අපේ සුව දුක් අහන්නත්, කරදරයක් නැතිව ඉන්නවද කියල දැනගන්නත් (විශේෂයෙන්ම තැන තැන ඇවිළුනු ලැව් ගිනි හින්දා ) අමතක කළේ නෑ...

ඇත්තටම කාලෙකට පස්සෙ අව්‍යාජ යාළුවො ටිකක් මුණ ගැහිලා වින්ද සතුට කොහේ හරි අකුරු කරල තියන්න ඕන කියල හිතුනු හින්දා අළුත් අවුරුද්දෙ පළමු සටහන මෙහෙම තිබ්බා.....

Tuesday, 14 August 2012

නිල ඇඳුමේ රඟ.....

හැමදාම උදේට පොඩි උන් දෙන්නා ඉස්කෝලෙ යවන්න ලැහැස්ති කරනකොට මට නිතරම මතක් වෙන්නෙ අපි පුංචි කාලෙ ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙච්චි හැටි.... පාසැල් නිල ඇඳුම නිසා අපි වින්ද වදයක්... තවමත් එහෙම වෙන්න ඇති.... 

සුදු ගවුම් අයන් කරන එක තරම් පෙන්නන්න බැරි වැඩක් මට තවත් නෑ ඒ දවස්වල.....මොන තරම් පරෙස්සමින් ලස්සනට රැලි තියලා අයන් කරලා ඇඳන් ගියත් එක පාරක් කොහේ හරි වාඩිවුනු ගමන් ඒ ඔක්කොම ඉවරයි.... අනේ අර මහන්සිය.... ඒ මදිවට අපට තව යුද්දයක් තිබුණා..... ඉස්කෝලෙ යන්න හැතැප්ම දහයක් විතර බස් එකෙන් යන්න තිබ්බ නිසා ගොඩ වෙලාවට බස් එකේ පළවෙනි ගමනෙදි තමයි අපට යන්න වෙන්නෙ.... අනේ ඉතින් අර ලස්සනට රැලි තියාගෙන සුදට සුදේ ඇඳන් යන ගවුම ඔක්කොම ඉවරයි, ඒ බස් එකක කල්ප කාලෙකින් වතුර පොදක් නොදැකපු සීට් එකක වාඩි වුනු ගමන්.....අර සීට්වල තියෙන කුණු දහ ජරාව ඔක්කොම එක්කො පිටේ සීල් තියලා, නැත්නම් සායෙ..... අනේ ඉතින් මතක ඇතුව පත්තර කෑලි අරන් ගිහින් සීට් ඌරච්චි කරලා තමයි ඒවයෙ වාඩි වෙන්නෙ.... එහෙම කළත් හේත්තු වෙන්න බෑ....

ඊට පස්සෙ ඉතින් හවස ආපහු එනකොට අර චිරිබිරිච්චි වෙච්චි බස් එක ඇතුලෙ එක එකාගෙ කිහිළි අස්සෙ රිංගලා තනි අණ්ඩෙන් හිටගෙන ඇවිත් ගෙදර එනකොට හොඳ පුස්ඹ.... තමුන්ගෙ දාඩිය විතරක් නෙවෙයි අනිත් උන්ගෙ ඒවත් අරන්නෙ එන්නෙ....දවසක් ඔහොම අපි තුන්දෙනා එනකොට අහම්බෙන් වගේ තාත්ත ගෙදර.... තුන්දෙනා සුවඳ ගහගෙන ගෙට ගොඩ වෙනකොට තාත්තගෙ නහය කඩල යන්නැති... එදාම අම්මට ඕඩරේ දවස් පහට අඳින්න සුදු ගවුම් පහ ගානෙ මහල දෙන්න කියලා.... එතකම් තිබ්බෙ එකාට දෙක ගානෙ... කොට වෙච්චි, පරණ වෙච්චි තුන්වෙනි එකක් පැත්තකින් තිබ්බ.... ඒක ඇන්දෙ නෑ ස්ටයිල් එකට මදි හින්දා..... අළුත් ගවුම් ආවට පස්සෙ ලස්සනට ඇඳන් ගියාට අලි මදිවට හරක් කිව්ව වගේ සති අන්තෙ හෝදපල්ලකො සුදු ගවුම් පහක්.... ඒ විතරක්යැ... අයන් කරන්නත් එපැයි.... ඒ දවස්වල සුදු ඇඳුම්වලට නිල් දාන එක ගැන අම්මා ඇහැ ගහගෙන නොහිටියොත් අපේ සූටි නගා නම් ඊට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ රොබින් කුරුල්ලා වගේ..... අපි හිනාවෙනකොට රණ්ඩුවෙලා අඬලා තමයි පිටත් වෙන්නෙ....

ඒ ඔක්කොමත් හරි...සපත්තු..!! අපි ඒ දවස්වල දැම්මෙ සුදු පාට කැන්වස් සපත්තු... පස්සෙ කාලෙක නම් ඒව වෙනස් උනා.... හප්පොච්චියේ.... සුදු ගවුම් හේදිල්ලත් හරි, සපත්තු සුද්ද කිරිල්ලත් හරි..... ඒවා දාපු අය දන්නව ඇති රඟ.... සුද්ද කරලා, පයිප්ලේ උලල සුදු පාට කරලා, වේලලා.... අනේ ඒ අතින් දැන් ළමයි මොනතරම් වාසනාවන්තද..... ඒ මොනව කළත් එක පාරයි බස් එකේ යන්න ඕන.... බහිනකොට නොයෙකුත් පාටවල්..... ඒක දකිනකොට ඉතින් කකුළ් පාගපු උන්ට හිතෙන් %&$ කිය කියා තමයි යන්නෙ....

ඔන්න ඔය කාලෙ ආව අළුත් සපත්තු ජාතියක් 'නෝර්ත් ස්ටාර්' කියලා.... දන්න අයට නම් හිනාවක් යන්න ඇති නම කියවනකොට..... සුදු කරන්න ඕන නෑ, පණ යනකම් උලන්න ඕන නෑ.... ඉතින් මාත් ගත්ත පැන්න ගමන් ඔයින් දෙකක්.... ආයිස් අප්පා සනීපෙ.... මෙන්න බොලේ සති දෙකක් විතර යනකොට තමයි ප්‍රතිඵල එන්න පටන් ගත්තෙ.... ගෙදර ගිහින් සපත්තු දෙක ගලවල ඉන්නකොට ටික ටික නහය කඩල යන සුවඳක් එන්න පටන් ගත්තා.... වැඩේ තව ටිකක් නැගලා යනකොට අම්ම මට ඕඩර් කළා සපත්තු දෙක එළියෙ ගලවලා අව්වෙන් තියලා ගෙට එන්න.... හප්පට සිරි... අන්තිමේදි මට කකුල් සබන් දාල හෝදගන්නෙ නැතුව ගෙට එන්නත් තහනම්....ඒක තවදුරටත් සාර්ථක වෙච්චි පාර මට රෑටවත් සපත්තු දෙක ගෙට ගන්න තහනම් උනා.... අන්තිමට දවසක් උදේ බලනකොට එක සපත්තුවයි තියෙන්නෙ.... අනික බලුවහන්සෙ කෙනෙක් වළඳලා කරවල කියල හිතාගෙන.....

Monday, 27 February 2012

අදටත් මට හිතාගන්න බෑ...

ගිය පාර කතාව කියවලා සමහර අය කියලා තිබුණා ඔය අවුරුදු හතර අතරතුර වෙච්චි ඒවාත් ලියන්න කියලා.... ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියටයි මේක ලියන්නෙ... නැත්නම් මං හිතාන හිටියෙ නෑ මේ තරම් විස්තරයක් ලියන්න.... ඇත්තටම ඒ තරම් දිගු කාලයක් තුල වෙච්චි දේවල් අකුරු කරන්න ලේසියට බැරි නොයෙකුත් සිද්දීන් සමුදායක්ම ඔය කාලෙ සිද්ද වුනු නිසා.... ඒ නිසා සිදුවීම් කිහිපයක් ලියලා මේක ඉවර කරලා දාන්නම්.... පස්සෙ කාලෙක කතාවට ගැලපෙන මේ සම්බන්ධ සිදුවීම් තිබුනොත් විතරක් මගේ අතින් මෙයා ගැන ලියවේවි......

Monday, 20 February 2012

ගෑණු ළමයි කැමති නෑ කියන්නෙ කැමතියි කියන එකටද...??


මේ සිදුවීම වෙනකොට මං ඉස්කෝලෙ නවය පන්තියේ විතර... මේ වෙනකොට, මගෙ පස්සෙන් වැටිල අවුරුදු හතරක් විතර වෙන ලයින් එකක අවසාන භාගය තමයි ගෙවිල යමින් තිබුණෙ... ඒ කියන්නෙ මේක මගෙ පස්සෙන් වැටුනෙ මං හයේ පන්තියේ ඉන්දැද්දි.... මේ කියන කාලෙ වෙනකොට අවසාන භාගයට ඇවිත් තිබුණෙ වෙන මොකවත් හින්ද නෙවෙයි, ඒ පිරිමි ළමය අපේ ඉස්කෝලෙන් ඒ ලෙවල් කරල අයින් වෙන කාලෙ ඇවිත් තිබුණු හින්දා.... ඔය අවුරුදු හතර ඇතුලත මහා ගිනි විජ්ජුම්බර ගොඩකුත් සිද්ද වුනා.... ඒවත් කියන්න පුළුවන් එව්ව සැරින් සැරේ කියන්නම්.....

Monday, 23 January 2012

'ඔයා තමයි අපේ ගෙදර.....'


ඉස්සර මං ඉස්කෝලෙ යන්න පටන් ගත්ත කාලෙ වෙනකොට අපේ තාත්ත වැඩ කළේ එයාලගෙ ඔෆිස් එකේ ගමේ බ්‍රාන්ච් එකේ.... ඒ නිසාම ඒ දවස්වල තාත්තට ටිකක් විවේකය තිබුණා අපේ වැඩවලට සහභාගි වෙන්න.... ඉතින් ඒ දවස්වල බින්දුවේ හිටිය මාව ඉස්කෝලෙ ගෙනියන ගේන වගකීම පැවරිලා තිබුණෙ අපේ තාත්තට.... තාත්තගෙ ප්‍රවාහන සේවය සිද්ද උනේ රෝද දෙකකින්... බයිසිකලේ හරස් පොල්ලෙ වාඩිවෙලා හුළං වැදි වැදී ඔය ගමන යන්න මං හරිම ආසයි....අපේ අම්ම ඒ දවස්වල හරියට කෙඳිරි ගෑව රෝද හතරක් ගමු කියල.... තාත්ත නෙවෙයි ඒව කනකටවත් ගත්තෙ.... තාත්ත එහෙම වෙලාවට කිව්වෙ බයිසිකල් පදින එක හොඳ ව්‍යායාමයක් නිසා රෝද හතරකින් එයාට වැඩක් නැත කියල.... ඇත්තටම තාත්තා කළේ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් එකතැන වාඩිවෙලා කරන රැකියාවක් නිසා, ව්‍යායාමයක් කියල දෙයක් එයාගෙ ඇඟට ලැබුණා නම් ලැබුණෙ බයිසිකල් පැදීමෙන්ම විතරයි..... ඔෆිස් එකේ අනිත් අය ඔය බයිසිකලේ නිසා තාත්තට කොච්චර සවුත්තුව දැම්මත් එයා නෙවෙයි ඒකට සැලුනෙ.... අන්තිමට තාත්තගෙ බයිසිකලේට කස්ටිය නමකුත් දැම්ම 'චොපර් එක' කියල.... ඒ උනාට අද අපට තේරෙනව තාත්ත බයිසිකල් පැදපු එක මොනතරම් හොඳද කියල එයාගෙ සෞඛ්‍යය තත්වයත් එක්ක බැලුවම....

Wednesday, 18 January 2012

චූටි නංගිගෙ චක්කරේ.....

අපි තුනේ පන්තියේ ඉන්නකොට අපට නියම වෙලා තිබුණ චක්කර කට පාඩම් කරන්න.... ඕක නැතුව ගණන් හදන්න බැහැනෙ.... මට මතකයි ඒ දවස්වල ගණන් හදන්න ගන්න කොටු රූල් පොත්වල පිට කවරෙ අන්තිම පිටුවෙ 1 ඉඳලා 12ට චක්කර ටිකයි, අනිත් බර, දිග, පරිමාව මණින ඒවයෙ අනුපාතයි දාල තියෙනව.... පස්සෙ කාලෙකදි කොටු රූල් පොත්වල ඒව දාන එක නැවැත්තුව මට මතක විදියට.... එහෙම පොත්වල අච්චු ගහල තිබුණට වැඩක් උනේ නෑ.... මිස් පාඩම් ගන්න වෙලාවට පොත් අනිත් පැත්ත හරවලා ඒවා වහගන්න ඕන.... කට්ටයො වැඩිවෙනකොට මිස් පොත් ටික කලින්ම එකතු කරගන්නව... ළමයින්ට වාසියකට තිබ්බෙ චක්කර පාඩම් ගන්න දවස කලින් කියන එක.... ඒ කිව්ව දවසට පන්තියෙ එව්වො ටික, විශේෂයෙන්ම කොල්ලො උදේ පාන්දරින්ම ඉස්කෝලෙ ඇවිත් චක්කරේ ලියාගන්නව මේසෙ උඩ.... ඉතින් පාඩම් දෙන වෙලාවට මිස් පොඩ්ඩක් අහක බලාගන්නකම් තටම තටම ඉඳලා වෙඩි වගේ කියනව අනිත් පැත්තට හැරුණු ගමන් අරක දිහා බලාගෙන.... මම නම් පුළුවන් ඉක්මනට ඕක පාඩම් කරගත්ත, වෙන මොනවටවත් නෙවේ, ලැජ්ජවෙන්න වෙනවට.... ඒ දවස්වල ඕව බැරි උනාම වේවැල් පාර වදිනව.... එහෙම නැත්නම් පන්තිය ඉස්සරහ දණ ගහගෙන ඉන්න ඕන.... ඒත් නැත්තං පන්තියෙන් එළියට දානව....

Monday, 2 January 2012

මිස්ගෙ බෑග් එක....



මං අර කලින් කියපු "යාළුද බලපු හැටි" කතාවෙ කිව්වනෙ පොඩි කාලෙ ඉගෙන ගත්තු කණිෂ්ඨ විද්‍යාලෙ ගැනත් ඒකෙ උගන්වපු ගුරුවරු වැඩි දෙනෙක් අපේ අසල්වැසියො බවත්....  ඔන්න හතරෙ පන්තියෙදි පළමු වතාවට මං වැටුන අසල්වැසියෙකු නොවුනු මිස් කෙනෙකුගෙ පන්තියට.... ඒ උනාට මිස්ගෙ අයියා අපේ අසල්වැසියො... එයා නිතර අයියලගෙ ගෙදර යන එන නිසා අපිව හොඳට දන්නව.... ඒ කාලෙ අළුත් පන්තියක් පටන් ගන්නකොට පන්තියේ ළමයි පොඩි සම්මාදමක් හෙම දාල පන්තියට ඕන කරන ඉදල්, කොසු, ගුරු මේසෙට ඉටි රෙද්දක්, මල් වාස් එකක්, නාම ලේඛනයට කවරයක් දාන්න බ්‍රවුන් පේපර් කොළයක් නොවැරදීම ගන්නව.... එහෙම ගත්තම පන්තියේ නම ඒ හැම එකකම හණ ගහන එක නම් නොවැරදීම කරනව... නැත්නම් මදි පාඩු වෙනකොට අනිත් පන්තිවල එවුන් ඕක උස්සනව.... ඒත් සමහර වෙලාවට හණ ගහලවත් බේරගන්න බැරිවෙන වෙලාවලුත් තිබුණ.... උස්සපු එවුන් කරන්නෙ ගහල තිබුණු හණ සූරල මකල දාල ඊට උඩින් උන්දලගෙ පන්තියෙ නම ගහගන්න එක... ඒ උනාට ඉතින් තමුන්ගෙ පන්තියෙ භාණ්ඩෙ අඳුනගන්න පුළුවන්නෙ.... ඉතින් දෙගොල්ලො මරාගන්නව... කෙල්ලො ටික ගිහින් කොල්ලොන්ට පණිවුඩේ දීපු ගමන් උන් තමයි වලියට යන්නෙ....

Wednesday, 21 December 2011

යාළුද කියල බලපු හැටි........

මම ඉස්කෝලෙ ගිය පළමු අවුරුදු පහේ ඉගෙන ගන්න ගිය කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති තිබුණෙ බිංදුවෙ ඉඳල පහට යනකම් විතරයි....මේ ඉස්කෝලෙ ඒ පළාතටම තිබුණු හොඳම කණිෂ්ඨ විද්‍යාල වලින් එකක්... එහෙම කියන්නෙ සම්පත් ගොඩක් වගේම බොහොම දක්ෂ ගුරුවරු ටිකකුත් ඒකෙ උගන්වපු නිසා... ඒ හේතුව නිසාම පහේ ශිෂ්‍යත්ව විභාගෙන් ළමයි සෑහෙන ප්‍රමාණයක්  පාස්වෙලා කොළඹ තියෙන ඉහළම පෙළේ පාසැල්වලට ගියා....