Total Pageviews

Sunday 16 December 2018

සිතිවිලි...


Related image

https://moodsmith.com/thought-action-fusion/

වෙනදා වගේම අදත් උදේ නැගිටලා තේ එකත් හදාගෙන ඉස්සරහ පාර පැත්තෙ ජනෙල් තිර ඈත් කරලා පාර දිහා බැලුවා. මුළු පැත්තම පාළු වෙලා වගේ. අවුරුද්ද අවසානෙ නිවාඩුවට විශ්වවිද්‍යාල ළමයි තම තමුන්ගෙ ගම් රටවල් බලා ගිහින් හින්දද කොහේද, වෙනදට අපේ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකේ පිරිලා ඉන්න ළමයි එක්කෙනෙක්වත් දැන් පේන්න නෑ. මට දැනුනෙ දුකක්. අපි ඉන්නෙ විශ්වවිද්‍යාලයක් කිට්ටුව නිසා මේ පැත්තෙ ගෙවල් වැඩි හරියක් ළමයින්ට කුලියට දීලායි තියෙන්නෙ. ඉතින් හැමදාම අවුරුද්දෙ අන්තිම, පැත්ත පළාතම මේ වගේ පාළුවෙලා යනවා. ඒ ළමයි කවුරුවත් මං කවදාවත් දැන හඳුනාගෙන කතා කරලා නැතුවට (වැඩි දෙනා ආසියාතික රටවල් වලින් ආව අය ), මේ කාලෙට මට දැනෙන්නෙ මහ පාළුවක්. ඒ හැඟීම දැන් නත්තලත් එක්ක බැඳිලා. හැම වෙලාවෙම හිත කියන්නෙ කොහේ හරි ගිහින් පොඩ්ඩක් විනෝද වෙයන්, කාත් එක්ක හරි කෑම ටිකක් හදාගෙන රජ්ජුරුවන්ගෙ උයනට පලයන්, එතකොට ඔය ගතිය මග හැරේවි කියලා. කොහෙද, දවස් පහ වැඩ කරලා ඉවර වෙනකොට පාං කියාගන්න බෑ. ඔහේ වැටිච්ච තැනක වැටිලා ඉන්න හිතෙනවා. එහෙම ඉන්න තිබ්බා දරු පවුලක් නොහිටියා නම්.





ආපහු අළුතෙන් මෝදුවුනු බ්ලොග් ඇල්මේනියාව නිසා ජාලෙ අතරමං වෙලා හිටිය මම උඩ ගියේ වෙලාව දැක්කම. බුදු කිරි හබේස්! (අහන්න එපා මේක කොහෙන් ආව එකක්ද කියලා. අනිත් අය බුදු කිරි අප්පොච්චියේ කියලා කියනකොට ලොකු නංගියි, මමයි කිව්වෙ ඔහොම) උයලා වැඩට යන්න ලෑස්ති වෙන්නම තියෙන්නෙ තව පැය දෙකයි. මොනවද ඉක්මනට උයා ගන්න පුළුවන් දෙයක් තියෙන්නෙ කියලා බැලුව මං, එළවළු බතක් හදලා මස් ටිකක් ඉව්වා. මෙහෙම බත ඉක්මනට හදාගන්න පුළුවන් උනේ මං කලින්ම කැරටුයි, ලීක්ස්නුයි, ලූණු කොළයි කපලා ෆ්‍රිජ් එකේ දාලා තිබුනු හින්දයි. බත් වලට 'ශාන් මැලේ බිරියානි මික්ස්' එක එකතු කරලා ගත්තම එක රසයකුයි, එහෙම නැතුවම තව රසයකුයි ගන්න පුළුවන් හින්දා, මං කට්ටියගෙ දිවවල් රවට්ටනවා ලේසියෙන්ම. තිබුනෙ ලෑම්බ් වගයක් නිසා ඒකටම අල ටිකක් දාලා, කිරිත් දාලා හදාගත්තා වෑංජනයක මදි පාඩුවටත් එක්ක.

වැඩට යන්න ලෑස්තිවෙන්න ගිහින් ඇඳුමක් අතට අරගෙනත් ආපහු පැත්තකින් තියලා ෆෝන් එකෙන් බැලුවෙ දවසේ කාලගුණය ගැන. කලින් දවසෙ නිවුස් වලින් ඊයෙ  මහ ලොකුවට රස්නෙයි කියලා කිව්ව හින්දා අත් කොට බ්ලවුස් එකක් ඇඳගෙන වැඩට ගිහින් හෙන පරිප්පුවක් කෑවා මං. හවස් වෙනකොට කොහේද නැති හුළඟක් ඇවිත් පැත්ත පළාතම හීතල කරලා දැම්මා. වැඩ ඉවර වෙලා එළියට බැස්සෙ වෙව්ල වෙව්ලා. අපි මේ දවස්වල එක දවසක් ඇතුලත සෘතු හතරම විඳිනවා. මරු කාළගුණේ. ඉතින් වැඩට එනකොට ග්‍රීස්ම සෘතුවට ලෑස්තිවෙලා, ආපහු යන වෙලාවට ශීත සෘතුවට මාරු වෙන්න පුළුවන් විදියේ ඇඳුම් ඇඳගෙනයි දොට්ට බහින්න ඕන. ෆෝන් එකෙන් අද සෙල්සියස් 28 කියලා පෙන්නුවට කෝකටත් කියලා මං පිටිපස්ස දොරෙන් එළියට බැහැලා බැලුවා. අප්පා! මට නම් සීතලයි තවම. අව්ව තිබුනට සුළඟ. ඕන්නොහේ ඕන පුxx කියලා මං ජැකට් එකත් දාගෙන ගිහින් බස් එකට නගිනකොට, බස් එකේ ග්‍රීස්ම සෘතුවට ලෑස්තිවෙලා හිටිය සුද්දො මං දිහා බැලුවෙ ඒලියන් කෙනෙක් දිහා බලනවා වගේ. මමම විතරයි ජැකට් එකක් ඇඳගෙන හිටියෙ. ඇයි හත්තිලව්වේ මට සීතලයි! ඒ උනාට ඇතුලෙ සීතලක් දනුනෙ නැති හින්දා සීට් එකේ වාඩිවුනු ගමන්, මං හෙමින් සීරුවේ එහාට මෙහාට ඇඹරිලා ජැකට් එක ගලවලා උකුල උඩින් තියාගෙන ඒක වැහෙන්න උඩින් බෑග් එක තියා ගත්තා.

හප්පා, දුකේ බෑ. බස් එකෙත් හිටපු සේනාව එක බැල්මකින් ගණන් කරන්න පුළුවන්. මං ජනේලයෙන් අනිත් පැත්ත බැලුවා. පාරවලුත් පාළුවට ගිහින්. තැනින් තැන ළමයෙක් දෙන්නෙක් යනවා පේනවා. සමර් කෝස් එක කරන අය වෙන්න ඇති කියලා මට හිතුනා. සමහර පාළු ගෙවල් ඉස්සරහ ළමයි නිවාඩුවට ගම් රටවල්වල යන්න කලින් තියලා තියෙන රී සයිකල් බින්ස් අරන් ගිහින් නෑ. ඒවායෙ පියනවල් ඇරිලා කුණු හුළඟේ පාවෙනවා. තව දවසක් දෙකක් යනකොට කවුන්සිල් එකෙන් ඒවි ඒවා අහුලන්න. මේ ළමයින්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනෙ ඒ බින්වලට දාන්න ඕන දේවලුයි, එපා දේවලුයි. ඒවා ඇතුලෙ උඩින්ම තියෙන ප්ලාස්ටික් බෑග් පෙනුනු ගමන්, බින් කාරයා ස්ටිකර් එකක් අලවලා ඒවා එහෙමම තියෙන්න ඇරලා යනවා. කවුරු හරි ඉතින් දකින කෙනෙක් බලන් ඉන්න බැරිකමට ඒක අයිනකට ඇදලා දානවා. නැත්නම් ඉතින් බින් අයිතිකාරයො නිවාඩු ගිහින් එනකම් ඒක පාර අයිනෙනෙ.

බස් එක හැරෙව්වෙ වයසක මිනිස්සුන්ගෙ ගම්මානෙ පැත්තට. මේ ටික බස් එක යන්නෙ හරිම හෙමින්. හිටපු ගමන් අතුරු පාරවල් වලින් ප්‍රධාන පාරට දාන වයසක අය එලවන කාර් බේරන්නයි, කහ ඉරි වලින් ට්‍රොලි තල්ලු කරගෙන බොහොම අමාරුවෙන් තනිවම හරි, කවුරු හරි එක්ක හරි හෙමින් සීරුවේ පාර මාරුවෙන වයසක ඇත්තො යනකම් ඉවසීමෙන් බලන් ඉන්නයි ලේසියි එහෙම උනාම. මේ පාර අයිනෙ හොඳට අව්ව වැටෙන තැන්වල හදලා තියෙන බංකුවල වාඩිවෙලා අව්ව තපින වයසක කණ්ඩායම් ඉන්නවා. හැමදාම වගේ එකම සෙට් එක එකට ඉන්නෙ. අද ඒ බංකුවක තනියම වාඩිවෙලා, මං වගේ ජැකට් එකකුත් දාගෙන ඔහේ නිනව්වක් නැතුව තනිවම දුර ඈතක් බලාගෙන ඉන්න වයසක නෝනාගෙ මූණෙ නම් තිබ්බෙ බොහොම වේදනාවක්. සමහරවිට අසනීපෙන්ද දන්නෙ නෑ. එහෙම නැත්නම් මේ උත්සව කාලෙ එයාව බලන්න එන්න කවුරුවත් නැතුවද දන්නෙ නෑ. මං ඒ දුක් සිතුවිලි වලට වැඩි දුරක් යන්න නොදී ආපහු මගේ ළඟට ඇදලා ගත්තා.

අන්න අදත් බස් හෝල්ට් එකේ ඉන්නවා අර ගොං ගෑණි. වෙනදා වගේම සිගරට් එකෙ අදින ගමන් තමයි බස් එකට අත දැම්මෙ. ඩ්‍රයිවර් බලන් ඉන්න ඕන එයා ඒකෙ අන්තිම උගුර ඇදලා, බස් හෝල්ට් එකේ බංකුව උඩ තියලා තියෙන එයාගෙ අඩුම කුඩුම ටික එකතු කරගෙන, මොනවා හරි අමතක උනාද කියලා සෝදිසි කරලා බස් එකට නගිනකම්. ඒ කරලා අර බඩු ටික බිමින් තියලා පර්ස් එක අරගෙන ගනිනවා සල්ලි සත පහේ ඒවයෙ ඉඳලා. දවසක් ඩ්‍රයිවර් කෙනෙක් කිව්වා ගන්න කියලා ස්මාර්ට් රයිඩර් එකක් (අපේ ඉලෙක්ට්‍රොනික් සීසන් එක ). තියෙනවලු එකක් බෑග් එකේ. මොන රෙද්දකට තියාගෙන ඉන්නවද මන්දා ප්‍රයෝජනයක් ගන්නෙ නැත්නම්. මං තවත් මේකෙ දාන්න බැරි දේවලුත් සුටු පුටු ගාලා හිතෙන් මුමුණා ගත්තා.

බස් එක පිටත් වෙනකොට මං බෙල්ල දාලා බැලුවෙ ඩොලරස් ඉන්නවද කියලා බස් හෝල්ට් එකේ. කොහොමද දන්නෙ එයාගෙ නම ඩොලරස් කියලා. අනේ මන්දා. බලනකොට ඒ නම හිතට ඇවිත් තියෙන්නෙ ඉබේම. ඈ ලස්සන,  අවුරුදු හැට පහක් විතර වෙන, ලස්සනට ඇඳ පැළඳලා එන සීදේවි සුදු නෝනා කෙනෙක්. එයා සතියකට දවසක් විතර මේ බස් එකේ සිටි එකට යනවා. මං ඊළඟ හෝල්ට් එක දිහා ඈත තියාම බැලුවෙ එයාගෙ යාළුවා පීටර් ඉන්නවද කියලා. පීටර් කියන්නෙ ඒ අවුරුදු අසූවක් විතර පෙනුම තියෙන වයසක, සුදු මහත්තයට මගේ හිත තියාපු නම. එයා මං බස් එකේ වැඩට යන හැම සතියෙ දවසකම මොනවටදෝ මන්දා සිටි එකට යනවා. වින්ටර් එකේදි පට්ට සීතලෙත් එහෙමයි. හයියෙන් වැස්සොත් විතරයි එන්නෙ නැත්තෙ. අයියෝ, අද නෑනෙ. වැස්සකුත් නෑ. මොකද දන්නෙ නෑ. අසනීපයක්වත්ද? මේ කවදාවත් කතා කරලා නැති, හිනාවෙලා නැති, නොදන්නා මනුස්සයා ගැන මගේ හිත වද වෙන තරමක්.

අනේ අන්න අර බස් හෝල්ට් එක පිටිපස්සෙ හිටිය වයසක උන්දැගෙ ගෙදර අස් කරනවා. එයා ඉස්තෝප්පුවේ වාඩිවෙලා පාර බලාගෙන ඉන්න පුටුවත් අයින් කරලා. කරදරයක් වෙලා වත්ද? නෑ හොඳින් ඇති. මීට වඩා හොඳ ගෙයක් හම්බුවෙලා ඒකට මාරු වෙන්න ඇති. මං ගිය සතියෙත් එයාව දැක්කද කොහෙද? අප්පා, අන්න අර තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ තියලා තියෙන රෙදි වැටේ ඒ ගෙදර ආච්චිගෙ පත අන්ඩීස් දෙකක් වනලා අදත්. මේ මනුස්සයට ලැජ්ජාවක් නැති හැටි. ඒ ගෙදර පහළ තට්ටුව පාරට පහළින් තියෙන නිසා, බස් එකේ යන කෙනෙකුට උඩ තට්ටුව පේන්නෙ ජනේලෙට අඩි කිහිපයක් එහායින්. උන්දැ බස් එකේ යන්නෙ නැත්නම් ඒක දන්නෙ නැතුව ඇති. උන්දැට ලැජ්ජ නැත්නම් මට මොකද? ඒත් හැමදාම ඔය ගේ පහු කරලා යන වෙලාවට මට ඔය රෙදි වැට දිහා නිකම්ම බැලෙනවා. ෂික්, කැත පුරුදු. අනිත් දවසෙවත් අහක බලාගෙන යන්න ඕන.

"හැචෑ...හැචෑ...හැචෑ... හැචෑ...."

එකපාරටම ඇහුනු ගෝසාවට මං උඩ ගිහින් බිම වැටුනා. බැලින්නම් ඔසී ආදි වාසී සෙට් එකක්ම බස් එකට නැගලා. පට්ට වයසක උන්දැ කෙනෙක් දක්වාම එක එක වයස්වල කට්ටිය හිටියා. එක්කෙනෙක් මාව පහු කරගෙන යද්දි මං නහය අල්ලා ගන්නෙ නැතුව හිටියෙ බොහොම අමාරුවෙන්. ඔක්කොමල්ලා ඇවිත් මං හිටිය හරියෙ වටේට වාඩිවෙලා කතා කරන්න ගත්තා. සුද්ද ඉංගිරිසිත් එක්ක. ආයෙ ඉතින් කොහේ හිතන්නද මං. හිතන්න දෙයක් නෑ, වචන වලින්ම හම්බු වෙනවා බඩු, කණට කිසි, කිසි ගාලා හිතන්න කලින්ම.




23 comments:

  1. මෙන්න මං කැමති වර්ගයේ ලිපියක්. මිනිස්සු නිරීක්ෂණය කරන එක මගෙත් ප්‍රියතම විනෝදාංශයක්. මං මේ උඩගෙදර මී ආදරේ කියවල එන ගමන්. මම ඉතිස් බකමූණා නෙව? මීයෝන්ට කොහොමත් ආදරෙයි.

    ඔහෙ වැඩිහිටි ගම්මාන තියනවද? ෂා නියමයිනෙ, පැන්ෂන් ගත්ත කාලෙක ඝර්මකලාපීය කැනේඩියන් බස්සෙකුට චෑන්ස් එකක් ගන්න බැරිද දන්නෙ නෑ, නේද? එක අතකට දන්න යකා හොඳයි කියල ඔන්න ඔහේ මෙහෙම ඉන්නවා..

    ඉස්සර මමත් හිටියා වැඩිහිටි නිවාසයක් ගාව තට්‍ටු බිල්ඩිමක. මගේ වැඩේම චෑන්ස් එකක් ලැබුනොත් බැල්කනියට ඇවිල්ලා, එයාලගෙ වැඩ බලන එක. එක්කෙනෙක් හිටියා. උදේට කෑම ගෙනැල්ලා වටේම ලේනුන්ට බෙදනවා. එක ලේනෙක් හිටියා පාරත් පැනලා කෑම කන්න දුවගෙන එන. තව මහත්තයෙක් හිටියා පූසෙක් තරං බලු නකුටෙක්ව ඇවිද්ද වන. සීතකාලෙට බල්ලට කෝට් අන්දලා, සපත්තු දම්මනවා.මං කිව්වෙ බලු මහත්තයා කියලයි. ඕකා මාත් එක්ක තරහයි, දු‍ටු තැන බුරනවා. මං දවසක් විරිත්තලා සිංහලෙන් "බැල්ලිගෙ පුතා " කියලා මහත්තයා දිහා බලලා "නයිස් ඩෝගී" කියල හිනා වුනා.

    ReplyDelete
    Replies
    1. Age Care Village. මෙහේ දැන් වයසක ජනගහණය වැඩි හින්දා මේවා වැඩියි. මේ කියන එකේ නම් සල්ලි ඇති නැති හැටියට තාරාතිරම් කිහිපයක අළුත්, පරණ, තට්ටු ගෙවල් තියෙනවා. ගෙවල් පන්සීයකට වැඩිය ඇති මං හිතන්නෙ. මම හරිම ආසයි එයාලගෙ චර්යාවන් බලන් ඉන්න. ඒ පිටට පෙනෙන්න තියෙන එක එක ගෙවල් වටා මගේම හිතෙන් ගෙතුනු කතන්දර තියෙනවා මට. නිතර පෙනෙන කෙනෙක් නම් එයාට නමකුත් වැටෙනවා ඉබේම. අන්තිමේදි හිතට දැනෙන්නෙ එයාල පවුලේම අය වගේ. දකින්න නැතිවුනාම ඉතින් නොයෙකුත් දේවල් හිතෙනවා.

      ඔය සත්තුන්ට කන්න දෙන එක සමහර වයසක ඇත්තන්ගෙ ලොකු විනෝදාංශයක්. දැනට අවුරුදු කිහිපයකට කලින් අපේ ගෙවල් ළඟත් එක්කෙනෙක් හිටියා උදේ පාන්දර හය වෙනකොට ගලා කියන ගිරව් වගේ සුදු පාට කුරුල්ලන්ට කෑම දාන. හෙන රොත්තක් එනවා එයා කෑම දුන්නු හිස් ඉඩම දිහාට. දවසක් ඒ මනුස්සයා මාත් එක්ක කියනවා එයා එක සැරයක් ගණන් කළාලු තුන්සිය හැට ගාණක් කුරුල්ලො. ඒක නැවතුනේ ඉඩමෙ තට්ටු බිල්ඩිමක් හැදුනට පස්සෙ.

      බලු මහත්තයාට කියූ කතාව ඇහුවම හිනා ගියා. අයිතිකාරයාට තේරුනා නම් බස්සා කියූ දේ. තැන්කුයි උඩගෙදර ඔත්තුවට. මං කලින් ගිහින් තිබ්බෙ නෑ.

      Delete
    2. උඩගෙදර පොඩ්ඩක් පරණ පෝස්ට් අවුස්සන්න, ෂුවර් එකට හම්බවෙයි මැණික්.ජීවිතේ සැඳෑ සමය ගෙවන, කියන්න කතා ගොඩක් තියෙන මහත්තයෙක්.ඒවා ජීවිත අත්දැකීම්, ඉගෙන ගන්න දේ බොහොමයි,if you know how to read between lines . ඒ වගේම රසවත්.

      Delete
    3. ගියා ඒ පැත්තට. නිතර ලියන කෙනෙක් වගේ. උත්සාහ කළේ ලියන්නෙ මොන වගේ වයසක ඉන්න කෙනෙක්ද කියලා සොයා ගන්න කමෙන්ට් කරන්න කලින්. ස්තුතියි බස්සා හඳුන්වා දීමට. ඔක්කොම කියවන්න ඕන.

      Delete
    4. //උත්සාහ කළේ ලියන්නෙ මොන වගේ වයසක ඉන්න කෙනෙක්ද කියලා සොයා ගන්න කමෙන්ට් කරන්න කලින්//

      මගේ ලියවිලි කියවද්දී වයස කීයක් විතර කියල හිතුනද දන්නෑ, නේ? :)

      Delete
    5. ඒක් මානවිකාතුමීට විෂිම එව්වායින් පාක් දාලා දෙඤ්ඤං.... ;P

      නෑ අනේ, ඇත්තටම ඔය බස්සා කියලා තියෙන අහිංසක උගුල කියන කතාව බලනකොට හිතුනා තරුණ පිරිමි ළමයෙක් වෙන්නැති කියලා. ඊළඟට මං බැලුව සෙනෙහස කියන එකේ ගෑණු කෙනෙකුගෙ පින්තූරයක් දාලා මට දැනුනු විදියට උපන් දින සුභ පැතුම් කවි පෙලක් එකතු කරලා තිබුනා. පහුගිය දවස්වල හැදූ අම්මා සහ වැදූ අම්මා ගැන බොහෝ කතා කියවන්න ලැබුනු නිසාත්, ඒ කවියෙ තිබුනු දෙයක් නිසා හිතුනා ලියනකෙනා කවුද, මොන වයසක ඉන්න කෙනෙක්ද කියලා දැනගෙනම කමෙන්ට් කරන්න ඕන කියලා. ඒකට බස්සගෙ උඩ කමෙන්ට් එක ලොකු උදව්වක් වුනා. අපි දාන සමහර නස්පුක් කමෙන්ට් හරියට නොදන්න වැඩිහිටි කෙනෙකුට දාන එක හරි නෑනෙ. ඒකයි. :D

      Delete
    6. // ඒක් මානවිකාතුමීට විෂිම එව්වායින් පාක් දාලා දෙඤ්ඤං //

      අඩේ, එතකොට එමාට අවුරුදු සීයක් වයස ද?

      // අපි දාන සමහර නස්පුක් කමෙන්ට් හරියට නොදන්න වැඩිහිටි කෙනෙකුට දාන එක හරි නෑනෙ //

      ඒකනෙ අපි මියුරුට කමෙන්ට්ස් නොදා කියෝලා විතරක් යන්නෙ.. ඒ වුනාට මේ කමෙන්ට් එක දැක්කහම කට කහන්ට කහන්ට වගේ වුනා..

      Delete
    7. නෑ...නෑ... වැරදියි... වැරදියි.... ඒ මං කියලා තියෙන්නෙ විසි පහ ගැනනෙ අය්යො... ඕකවත් තේරෙන්නෙ නැද්ද මන්දා මේ ළමයින්ට... (යූකේ පැත්තෙන් ගල් ගෙඩියක් පාත්වෙදෝ කියා බයෙන් ඔළුව පහත් කරගෙන වටපිට බලමින්) :D

      හොරෙන් කියවලා කමෙන්ට්ස් නොදා යන එවුන් අල්ලගන්න අටෝපු උගුලක් මේක, දන්නවද? අහුවුනානෙ හූ...හූ… ;P

      මානවීගෙ හැබෑ නම එමා කියලා මං දැනගත්තෙ දැන්නෙ බූරා. තැන්කුයි කිව්වා ඔන්න.

      Delete
    8. ඔයා කියන එක මට තේරෙනවා, වැඩිහිටි කෙනෙකුට කමෙන්ට් කරද්දී ටිකක් ගරු සරු ඇතුව කතා කරන්න එපයි ඇත්තටම. කටින් කියන වචනෙකුත් ආයේ ගන්න බැරි එකේ, දැකලා වත් නැති කෙනෙකුට අන්තර්ජාලේ ලියන දෙයක් කල්පනාවෙන් ලියන්න ඕන තමයි.

      මම අරක ඇහුවේ විහිලුවට, ඒ උනාට ඔයා කියපු වයස මගේ ඇත්ත වයසට වඩා අඩුයි, ඒ නිසා යූ කේ පැත්තේ ඉඳන් හාදු වැස්සක් එවන්න තිබුණා නම් හොඳයි කියල හිතුනා ඔන්න.

      නැත්නම් මල් වැස්සක් එවන්නද, ටොෆී වැස්සක් එවන්නද? :)
      ඔය මල් වැහි සහ ටොෆි වැහි තියෙන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක. මම බැලුව ඒකෙ වීඩියෝ එකක් හොයාගන්න පුළුවන් ද කියල. ඒක හොයන්න ගිහින් මේක හම්බුණා, වයිෆයි වලින් බලන්නකෝ. හාදු එවන්න දුර වැඩි නිසා හුරතල් වීඩියෝ එකක් එවුව ඔන්න.

      https://www.youtube.com/watch?v=lOuCzNMfu-Y

      මගේ නම එමා නෙවෙයි අනේ, ඔය කට්ටිය කියන ඒවට අහු වෙන්නෙපා :D එක් මානවිකාවක් කියන එක කෙටි කරලා සමහර වෙලාවට එමා කියනවා, සමහර වෙලාවට මානවි කියනවා, සමහට වෙලාවට මානවික්ස් ((c) රවී තුමා) කියනවා. ඕන නමක් කියන්න, ඒ වගේම කවුරු කවුරුත් දිගටම ලියන්න කියන එක තමයි මගේ පැතුම. :)

      Delete
    9. එමා කියන එක දැන් කණට නිතර ඇහෙන නමක් හින්දා ඒකෙ වෙනසක් දැනුනෙ නෑ මට, බූරා කියනකොට. නිදාගන්නත් ගියාට පස්සෙ, තැපෑලෙන් වගේ මගේ ටියුබ් ලයිට් එක පත්තුවුනේ.

      අර කිව්ව ජාතියේ ටොපි, මල් වැහි වස්සන්න පුළුවන් නම් නියමයි නැද්ද? වීඩියෝ එක නම් නියමයි. :D

      Delete
    10. අඩේ බූරා, මං මේ දැන්නෙ දැනගත්තෙ මීට කලින් කවදාවත් ඔබතුමාගෙ බ්ලොගේ පැත්තෙ මං ගිහින් නැති බව. හිතා ගන්නත් අමාරුයි, කොහොමද එහෙම උනේ කියලා. සොරි වෙන්නෝනෙ. :(

      Delete
    11. මොන බ්ලොග් එක ගැන ද ඔයා ඔය කියන්නෙ? මට මගේම කියලා බ්ලොග් එකක් නෑ නෙවැ. :-O

      කාලෙකට ඉස්සර පොඩ්ඩිත් එක්ක එක්කහු වෙලා Game of Thrones නම් translate කලා ඕං...

      Delete
    12. ඒක තමයි අනේ. අර ගොඩාරියක් කල් ලියලා, ලියලා ඊයෙ පෙරේදා නවත්තලා තියෙන එක. ;P

      Delete
  2. මේක මම ඊයේ කියෙව්වා, අද කමෙන්ට් කලාට. මේක හරි ජොලි ලියමනක්, මමත් බස් එකේ නිතර යන නිසාද මන්ද.

    වැඩිහිටි ගම්මානයක් නම් මරු ඇති, එයාල මූණ බලලා හිනා වෙන පරම්පරාව නේ, නේද? අලුත් ජෙනරේෂන් එකේ හැමෝම ෆෝන් බලාගෙන නේ බස් එකේ යන්නෙ (මමත් ඇතුළුව ඉතින්. හී..) ජපානේ ඉන්න කාලේ නම් ඒ කිට්ටුව පබ්ලික් ස්විමින් පූල් එකක් තිබුණා සමර් එකේ අරින. දවසට පැය එකහමාරේ ඒවා දෙකක් විතරයි අරින්නේ. පැය එකහමාරේ එක සෙෂන් එකකට යෙන් එකසිය පනහයි. හරිම ලාබයි ජපානේ අනිත් ඒවා එක්ක බලද්දි. ඕකට ගියාම මටත් ගොඩක් වෙලාවට මුණගැහෙනවා වැඩිහිටි ජපන්නු. එයාල හරිම ආසයි අපි එක්ක කතා කරන්න, ඒ වගේම හරිම සුන්දර, ඉන්ටරස්ටින් මිනිස්සු. හැබැයි එයාලට ඉංගිරිසි බෑ, මට ජපන් බෑ, ඉතින් මොකෝ කරන්නෙ.

    මුලින්ම ඔයා සමර් ස්කූල් කිවුවට මට ටිකක් වෙලා ගියා තේරුම් ගන්න. මම ඔයාගේ ලියමන් කියවල තිබුණට, මගේ ඔලුවේ තිබුණේ ඔයාලා උතුරු අර්ධගෝලයේ තියන රටක ඉන්නවා වගේ. මෙහෙත් සමර් එකට අප්පිරියා වෙන්නේ ඇඳුම් තෝරන එක. දවල්ට අවුව නිසා, ඒ වැටෙන අවුවට ලෝබ කමේ පරිසර හිතකාමී විදියට රෙදි අඩුවෙන් වැය කරලා මහපු ඇඳුමක් ඇඳන් යනව. ඒ උනාට හවස් වෙනකොට අඳින්න තව මොනවහරි අරන් යන්න ඕන. ජැකට් එකක් ඇන්දොත් අර ෆැෂන් එක වැහෙනවා. (වහන්න නම් අඳින්නේ මොකටද කියල හිතෙනවා එතකොට) ඒ උනාටජැකට් එක බෑග් එකේ දැම්මොත් ඒක ෆුල් පිරෙනවා. ඔයාට වුනා වගේ ජැකට් බූට් ඇඳන් ඉන්නකොට මිනිස්සු කට ඇරන් මගේ දිහා බලන් ඉඳල තියනවා ගොඩක් වෙලාවට. එයාලට පුරුදු වුනාට, අපිට සීතලයි නේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. මූණ බලලා හිනා වෙනවා වගේම, එයාලා හරි ආසයි කතා කර, කර ඉන්න. අපේ අම්මලාගෙත් දැන් දැන් ඒ ගතිය මං දකිනවා. හප්පා, අළුත් කට්ටිය නම් මූණෙ හැපෙනකම් දන්නෙ නෑනෙ කොහේද යන්නෙ කියලවත්. මං කාලෙකට ඉස්සර මේ ගැන පෝස්ටුවක් ලිව්වා, පල කළේ නම් නෑ. අවුස්සලා බලන්න ඕන.
      ඇඳුම්වල වග නම් කතා කරන්න එපා. පොඩි උනුත් ඉස්කෝලෙ යන්න මගට ගිහින් ආපහු ගෙදර එනවා ජැකට් සොයාගෙන. දවල්ට දාඩිය දාන නිසා ඒක ඉස්කෝලෙදි ගලවපු තැන තියලා ගෙදර එනවා නිකම්ම. ඊළඟ දවසට සොයන්න ඕන තව එකක්. බෑග්වල දාගන්නත් බෑනෙ, ඔයා කිව්වා වගේ. කියලා වැඩක් නෑ.

      Delete
    2. ඔව් දැන් අපේ අම්මලත් කතා කර කර ඉන්න කැමති කාලේ. කෝල් කලාම හැම විස්තරයක්ම කියනවා, අපි අහන් ඉන්නකොට ආසයි එයාල.

      මෙහෙ ටීනේජ් ල හරිම unpredictable. මත්ද්‍රව්‍ය භාවිත කරන අයත් ටිකක් වැඩිපුර ඉන්නවා ඒ අතරේ. ඉතින් බස් එකකදී වගේ නොදැනුවත්ව වත් eye contact වෙන එක සමහර විට නොසිතූ ප්‍රශ්නයකට මුල් වෙන්න පුළුවන්, මොකද සමහර වෙලාවට එයාල කරන දේ එයාල දන්නෙත් නැහැ. ඒ නිසා ගැලවිජාවට වගේ ෆෝන් එක බලන් යන එක ඇඟට ගුණයි සමහර වෙලාවට. හැම වෙලාවේම නෙවෙයි, සිකුරාදා හවස, වීක් එන්ඩ් එකේ එයාල එලියට යන වෙලාවට වගේ තමයි ඉතින්.

      එහෙම බැලුවම වැඩිහිටියෝ ඉන්න ගම්මානය නම් හරිම ශෝක් ඇති අනේ.

      Delete
    3. හප්පා එහෙම තත්වයක්ද තියෙන්නෙ? තවම මෙහේ එච්චරම දරුණු තත්වයක් නෑ. එහෙනම් අර හැරී පොටර්ගෙන් එයාගෙ ඉන්විසිබ්ල් බ්ලැන්කට් එකවත් ඉල්ලා ගන්න. ඔය පැත්තෙනෙ ඉන්නෙ. :D

      වැඩිහිටි ගම්මානයේ හැංගිලා මොන තරම් කතා ගොඩක් ඇද්ද මානවී. ඒවා අහගන්න තිබුනා නම් කියලා අනන්ත හිතිලා තියෙනවා.

      Delete
    4. මම ලියපු කමෙන්ට් එක ආයේ කියෙව්වම මටම බය හිතුණ. හී.. මෙහෙමයි, ඒ කියන තරම් භයානක නෑ, නමුත් සමහර වෙලාවට රංචු බස් එකට නැග්ගම බය හිතෙනවා. මම ඉතින් කොහොමත් ලැජ්ජ බයට හැදිච්චි කෙල්ල වෙච්චි. :P ඒකයි අරම කිවුවෙ.

      නැත්නම් මෙහෙ එන්න ඉන්න මිනිස්සුත් බය වෙයි, හපොයි.

      Delete
    5. //මම ලියපු කමෙන්ට් එක ආයේ කියෙව්වම මටම බය හිතුණ//මේක කියෙව්වම මට හොඳටම හිනා ගියා. මටත් ඔහොම ඒවා වෙනවා. ලියලා දැම්මට පස්සෙ හිතෙනවා මොකද්ද හත්තිලව්වෙ මං ඒ ලිව්වෙ කියලා. ඔයා කියන දේ මට තේරෙනවා. එහෙම වෙලාවල් නම් තියෙනවා තමයි.
      //නැත්නම් මෙහෙ එන්න ඉන්න මිනිස්සුත් බය වෙයි, හපොයි.// :D

      Delete
  3. කදිම වියමනක් දැන් තමා අහම්බෙන් හරි ගොඩ වෙන්න ලැබුණෙ. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා...

      Delete
  4. මියුරුගෙන් මම නොකියවපුම ජාතියේ කතාවක්. හරිම අමුත්තක් තියනවා මේ ලියවිල්ලේ... මටත් දවසක් හිතුනා හිතෙන දේවල් ලියලා පෝස්ට් එකක් දාන්න. ඒත්, එකක් පස්සේ එකක් වැල නොකෙඩී එන, එකකට එකක් සම්බන්ධ නැති වැල්වටාරම් ගොනු කරගන්න එක කවදාවත් කරනන් බැරි වැඩක් කියලා හිතිලා අල්ලලා දැම්මා...

    මියුරු ආයේ යකා වගේ ලියන එකනම් හරිම ජාති.. මියුරුගේ පෝස්ට් එකක් බ්ලොග් රෝලේ උඩට ඇවිත් තියනවා දකින හැම වේලේකම මම බ්ලොග් ආශ්‍රය පටන් ගත්තු කාලේ මතක් වෙනවා.. හරිම සුන්දර හැඟීමක් එනවා හිතට එතකොට.. අතීත මතකයන් හැම වෙලේම සුන්දරයි නේද.. ඒකාලේ දී කොච්චර දුක්බර ඒවා වුනත්...

    ReplyDelete
    Replies
    1. මටත් මේ අදහස පහල උනාට පස්සෙ, මාත් හිතුවා කොහොමද ගොඩ යන්නෙ කියලා. මට අර වැඩිහිටි ගම්මානෙ දකින හැම වෙලාවකම හිතෙන දේවල් දාන්න පෝස්ට් දහයක්වත් ඕන වෙයි. ඒවා දැන් කෑලි, කෑලි එකතුවෙලා දිග කතන්දර වෙලා. ඇත්තම කියනවා නම් මගේ ඔරිජිනල් පෝස්ට් එක ගොඩක් දිගයි. එහෙන් මෙහෙන් එඩිට් කරලා තමයි ආදි වාසීන් ළඟින් සිතිවිලි නතර උනේ.

      ඇත්තම කිව්වොත් සෙන්නා මං දැන් හැමදාම දවසකට සැරයක් ඒ අපේ පරණ ඇත්තන්ගෙ බ්ලොග්වලට ගිහින් බලනවා එකින් එක. මට හරිම දුකක් දැනෙනවා ඒවා දැක්කම. ඒ කාලෙ කමෙන්ට්ස් වලින් රණ්ඩු වුනු හැටි, විහිළු කරගත්තු හැටි මතක් වෙනකොට ඇස් වලට කඳුළුත් එනවා. ඒ කාලෙ නම් ඇත්තටම හරිම සුන්දරයි. අනේ ආයෙත් ඒ වගේ කාලයක් එනවා නම්....

      Delete