Total Pageviews

Monday 10 June 2019

ඉඟුරු තේ...

Image result for ginger tea


කවුද කැමති ඉඟුරු තේ බොන්න…? මං... මං...  ඇත්තටම මං හරිම ආසයිනෙ මේ ඉඟුරු තේ වලට. කිරි දාලා හරි, නොදා හරි ඕන විදියක්. ඒ හින්දා කොහේ ගියත් මං උණු වතුර බෝතලයකට ඉඟුරු තේ එකක් සීනි අඩුවෙන් හදලා කිරි නැතිව දාගෙන යනවාමයි.

අපේ ගෙදර ඉන්නවා එක්කෙනෙක් කිරි බොන්නෙ නැති. එයා කිරි වලට අකැමැති බව, මුලින්ම තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා. අම්මි කුක්කු බොන කාලෙ කිසි අවුලක් නෑ. ඒ උනාට බෝතලේට බැස්සට පස්සෙ ටික කාලෙකින්ම බොන ප්‍රමාණය ටිකෙන් ටික අඩුවුනා. කිරි ටික බීලා ඉවර කරන්න කිව්වම, අර නිකම් කියනවට කටේ ගහගෙන දත් වලින් තද කරගෙන ඉඳලා, මං එහාට ගිය ගමන් පැනලා දුවනවා. අන්තිමට කිරි බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා ඉස්කෝලෙ යන්න පටන් ගනිද්දි. නෙස්ටොමෝල්ට් දෙන්න උත්සාහ කළා, දෙපාරයි, නැවතුනා. වෙන රස වර්ග ගෙනත් දුන්නා, ම්හු. කිරි, යෝගට් අරහං. ඒ උනාට, නිකම් තේ බිව්වෙත් නැති උනාට, මේ ඉඟුරු තේ නම් ඉතුරු කරන්නෙ නෑ. කොහේ හරි යනකොට මං සාමාන්‍යයෙන් කරන්නෙ කහට හදලා උණුවතුර බෝතලේට වත් කරලා, බෝතලේ ඇතුලටම සීනි ටිකක් දාලා, ඉඟුරු පෙති ටිකකුත් ඒකටම දාන එකයි. එතකොට බොන වෙලාව වෙද්දි වාහනේ තාලෙට ගැස්සි, ගැස්සි යන උණුවතුර බෝතලේ ඇතුලෙ, හොඳට සීනි ටික දියවෙලා ගානට හැදිලා තියෙන්නෙ. කට දන දෙයක් එහෙම කෑවම නියමයි, ගමන් යන වෙලාවලදි. අර කිරි බොන්නෙ නැති කෙනාට වෙනම ඉඟුරු තේ බෝතලයක්ම ඕන. එයාට වෙනම එකක් දුන්නෙ නැත්නම් අනිත් අය බීලා හමාරයි. ඉඟුරු පෙති ටිකත් කාලා තමයි නවතින්නෙ.


ඔය සිද්දිය ඊයෙ අපි ගිය ගමනකදි වුනු නිසයි, මට මේ කතාව මතක් වුනේ.

ඔයාලට මතක ඇතිනෙ මං කලින් කියලා තියෙනවා, අර පිරිමි රාජධානියේ මං කරපු රස්සාව ගැන. අන්න ඒ කාලෙ තමයි මේ කියන සිදුවීම උනේ. ඒ දවස්වල අපේ ඔෆිස් එකේ වැඩ කරන කම්කරු සේවකයො තුන් දෙනෙක් හිටියා. එයාලා කරන වැඩ වලට නිතරම කීයක් හරි හැමෝම අත මිටි කරන නිසා, මේ කට්ටිය නොකළ වැඩක් නෑ. මොන වැඩේ තිබුනත් කවුරු හරි මොනවා හරි කරලා දෙන්න කීවොත්, "හා, හරි, මහත්තයා, මං කරන්නම්," කියලා කියනවා මිසක්, මොන වෙලාවකවත් බෑ කියන්නෙ නෑ. ඉතින් මොවුන්ට බරපතල රාජකාරියක් පැවරිලා තියෙන වෙලාවක උනත්, කඩේට ගිහින් කෑම එකක් ගෙනැත් දෙන්න කිව්වොත්, ඒ ගැන කියන්නෙ නැති නිසා, සමහර වෙලාවට කෑම එක කනකොට බඩ පණුවො ඇති තරම් බල්ටි ගහලා බැරිම තැන විශ්‍රාම ගිහිල්ලත් එක්ක. ඒක ගේන්න කිව්ව එකා වෙන කෙනෙකුගෙ පතෙන් කන්නෙත් නෑ දැන් ගෙනෙයි, දැන් ගෙනෙයි කියලා. අනේ ඉතින් පණ යනකම් එහාට මෙහාට දුවලා රාජකාරියත් ඉවර කරලා, කඩෙන් බත් එක අරන් එනකොට, මිනිහට දෙකන්සෙන්ම දාඩියෙන් නෑවිලා. පව් කියලා හිතෙනවා මට නම්.  මං ඕක ගැන කිව්වම අනිත් උන් කියනවා, අපි එහෙම වැඩ බාර දුන්නෙ නැත්නම් උන්ට කීයක් හරි අමතරව සොයා ගන්න ලැබෙන එක නැති වෙනවනේ කියලා. 

ඉතින් මේ අය ඔය අමතර වාසි හින්දා සති අන්තයකවත් ගම් රටවල් වලට යන්න මැලියි. ආයතනය පැය විසි හතර පුරාම දුවන එකක් නිසා, ඒකෙ තියෙන රෙස්ට් රූම්වල තමයි නැවතිලා ඉන්නෙත්. පවුල් පන්සල් ගැන ඇහුවම එයාලට සල්ලි යැව්වම ඇතියි කියනවා. අපේ එකෙක් ළඟ හිටියොත් කියනවා, "මගෙ යාළුවො මං එනතුරු, උන්දැ බලාගයි නිරතුරු" කියලා. ඒවටත් හිනාවෙලා ඔහේ ඉන්නවා.

ඉතින් ඔය එක්කෙනෙක් තමයි අපට මේසවල් උඩට උදේට උණු වතුර තියන්නෙ. එක්කෙනාට එක ගානෙ බෝතල් තිබුනා. දවස ඉවර වෙන්න කලින් වතුර ටික ඉවර උනොත් නම් ආයෙ උණු වතුර ලැබෙනවා බොරු. එතකොට ඇල් වතුර තමයි. ඒකෙ සවුක්කිය තත්වෙ ගැන කිසිම විශ්වාසයක් නැති හින්දා කට්ටිය හොරයි ඒක බොන්න. බෝතල් නම් සෝදනවා ඇති කියලා හිතුනා ඒවා ජරා වෙලා නැති හින්දා.

තව එක්කෙනෙක් හවස තුන වෙනකොට අපට හොඳ රස ඉඟුරු තේ එකක් දෙනවා. ඒක ඒ වෙලාවට අමෘතය වගේ. හැමෝම වගේ පෙර මග බලන් ඉන්නෙ ඒක ලැබෙනකම්. ඒවා බොන්නෙ නැතුව කිරි තේ ඉල්ලන අයට, ටින් කිරි තේ තමයි. මේ කාලෙ වෙනකොට හැබැයි, මගේ ඉඟුරු තේ ආසාව ඒ හැටි මෝරලා තිබුනෙ නෑ. කාලෙන් කාලෙට අත්තම්මලාගෙ ගෙදර ගියාම ලැබෙන එකට ආසා කළා උනාට, ඒකට තදබල ආසාවක් ඇතිවෙලා තිබුනෙ නෑ. ඔෆිස් එකේදි මහන්සි වෙලා ඉන්න වෙලාවට ලැබෙන මේ ඉඟුරු තේ එක නම් හරිම රස හින්දා ඔන්න මෝදු උනා ඉඟුරු තේ ආලෙ. සමහරදාට මං දෙකක් ඉල්ලගෙන බිව්ව දවසුත් තිබුනා.  තේ බෙදන වෙලාව වෙනකොට ඉතින් ටිකක් ඒ පැත්තට වැඩි අවධානයකින් තමයි හිටියෙත්. සතියකට සැරයක් තමයි තේවල සල්ලි ගෙව්වෙ. සල්ලි එකතු කරන දවසට තේ හදන කෙනා එනවා පොතකුත් අරගෙන. හැමදාම වැඩිපුරම තේ බීලා තිබුනෙ මං නිසා, මම තමයි වැඩි ගානක් ගෙව්වෙ.

ඉතින් මේ කියන කාලෙ අපේ ඔෆිස් එක තිබුනෙ දිගම දිග කොටස් වලට වෙන් කරලා නැති ශාලාවක. ඒකෙ වෙනස්, වෙනස් දේවල් කෙරෙන වෙන, වෙන කොටස් තිබුනට, ඒවා එකකට එකක් සම්බන්ධ නිසා, පහසුවට තමයි එහෙම තිබුනෙ. ඒකෙ එක පැත්තක කොණෙන් පහළට බහින්න ඕන ටොයිලට්ස් වලට. ඒ පඩි පෙළට වැඩිය මීටර් පහක් හයක් මෑතින් තිබුනු, හැමෝම අත සෝදන සින්ක් එක ළඟ තමයි, අපේ මිනිහා ඉඟුරු තේ හැදුවෙ, බඩු භාණ්ඩ සෝදන්න ලේසි හින්දා. මෑන්ට ඔය වැඩේටම පොඩි මේසයක් එහෙමත් එතැන තියලා තිබුනා, බඩු ටික තියාගන්න. ඒ සින්ක් එක නම් සෝදනවා ඇත්තෙ සතියකට විතර සැරයක් වෙන්න ඕන.මං කට්ටිය ඕකෙන් අත සෝදනවා දැකලා තිබුනට, කවදාවත් දැකලා තිබුනෙ නෑ කෙළ ගහනවා එහෙම. එහෙමයි කියලා ඒක කළේ නෑ කියලා කියන්නත් බෑනෙ.  ගඳ ගැහුවෙ නැතුවට මේ ඇත්තො කරන කොට පාරවල්වල වැඩ ගැන දන්න හින්දා, මෙයාලා කරන්න ඇත්තෙ ගඳ ගහන්නෙ නැති වෙන්න මොනවා හරි කෙමිකල් එකක්වත් දාන එක වෙන්න ඕන. එතැන වැඩ කරපු මුළු කාලය ඇතුලතම ඒක ලස්සනට පිරිසිදුවට නොතිබුනු නිසායි මං එහෙම හිතුවෙ.

ඉතින් දවසක් මං ඔය තේ හදන වෙලාවක, ටොයිලට් ගිහින් එන ගමන් තේ කාරයා ළඟට ගියේ, පුටුවෙ වාඩි වෙන්න කලින් තේ එකක් ඉල්ලගෙන එතැනම ඉඳන් ඒක බීලා යන්න කියන අදහසින්. මං යනකොට මිනිහා සින්ක් එක ඇතුලට අත දාගෙන බර වැඩක්. ළඟට ගියාමයි දැක්කෙ පොර අර ජරා සින්ක් එකට දාගෙන තේ වලට දාන ඉඟුරු තලනවා. හප්පෝ…. ඒ වෙනකම් බීපු ඉඟුරු තේ එළියට එන්න වගේ ආවා ඒක දැක්කම. මං දැක්කා කියලා මිනිහට වගේ වගක් නෑ. මං ඇහුවා ඕක ඇතුලෙද ඉඟුරු තලන්නෙ කියලා. හැමදාම මෙහෙම තමයි මිස් කරන්නෙ කියලා කිව්ව ඒ යෝදයා, තවත් ලොකු ඉඟුරු කෑල්ලක් සින්ක් එක ඇතුලට දාලා පේපර් වේට් එකක් අරගෙන තලාගෙන තලාගෙන ගියා….

picture: powerofpositivity.com

26 comments:

  1. මුකුත් අවුලක් නැහැ. ඉඟුරු වල තියන විෂබීජ නාශක හැකියාව නිසා තේ එකේ, සින්ක් එකේ පමණක් නොවෙයි, පේපර් වේට් එකෙත් විෂබීජ නැසෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඇති සෑම් මට ඒකෙන් බඩේ අමාරුවක්වත් හැදුනෙ නැත්තෙ. හැබැයි මං ඊට පස්සෙ නම් බිව්වෙ නෑ. බොරු ලෙඩක් කියල මග හැරියා.

      Delete
  2. ඉඟුරු තේ බොන්න මමත් හරි කැමතියි. හැමදාම ලැබෙනවා. හැබැයි ඉඟුරු තලන්නෙ සින්ක් එකේ දාලා නම් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපට ලැබිච්ච එක තරම් ගුණ නැතුව ඇති හැලපෙ… :D

      Delete
  3. හුඟක් තැන්වල යතාර්තය ඕක තමා මියුරු.. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි..

    ReplyDelete
    Replies
    1. අපි රහ කර කර කන ජරාව හදන තැන්වල පිටිපස්සට ගියාම එහෙම තමයි. දවසක් මං මොකක් හරි අහම්බයකින් කෑම කාපු කඩේක පිටිපස්සට ගියා. ඒකෙ පිටි ගෝනි තියල තිබුනෙ ජරා ටොයිලට් එකක් ඇතුලෙ. මතක් වෙනකොටත් බඩ දඟලනවා. ඕක එක තැනක දෙකක ඇරුනම බොහොමයක් තැන්වල වෙන දෙයක් වෙන්න ඕන.

      Delete
  4. සමහරු ඉඟුරු තලන්නෙ කටේ දාලා හපලයි කියලාත් කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම…! හිතාගන්න පුළුවන් මනෝජ්… :D

      Delete
  5. හි! රජවාසලට කළුදොදොල් හදපු හැටි මතක් වුනා..
    කියන කොට එහෙමයි! කරනකොට මෙහෙමයි ස්මීවානි කීවලු.

    මමත් ගියා දවසක් කතරගම කළුදොදොල් හදන තැනක් බලන්න. රජවාසල දොදොල් හාදය කියපු ආකාරයටම උඩුවියන් සහ පාවඩ නම් දාල තිබුන. කට්ට කලු පාටයි. හත් අවුරුද්දකින් වත් සෝදල නෑ. හැබැයි නියම රස කළුදොදොල්..

    ReplyDelete
    Replies
    1. එහෙමලුනෙ රස වැඩි කරනව කියන්නෙ තෙලිදිය. ඒ වගේම පාටත් ගාණට ගන්න වෙන්න ඇති. වටපිටේ තියෙන ඒවත් එක්ක ඇනිලා පදමට එනකොට හෙන රසලු. :D

      Delete
  6. කඩ කෑම කන්නත් ලොකු මනාපයක් නැත්තේ ඒකනේ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ..එහෙම යනව නම් ටොයිලට් රෝල් දෙක තුනක්වත් බෑග් එකේ දාගෙන තමයි යන්න වෙන්නෙ… :D

      Delete
  7. ජැක්සන් ඇන්තනි එක පාරක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් කිවුවා ඔහොමම කතාවක්.

    නාට්‍ය ඉවර වෙලා යන ගමන් හැමදාම එකම තැනකින් ඉඟුරු තේ බොන්න පුරුදු වෙලා හිටියලු. දවසක් ගිහින් බලන් ඉන්නකොට තේ හදන කෙනා කටේ තියන් හිටපු මොකක් හරි තේ එකට දාල හැඳිගානවා දැක්කලු. මොකක්ද දැම්මෙ කියල ඇහුවම ඒ මනුස්සය නිදිමරගාතේ "ඉඟුරු ඉඟුරු" කිවුවලු. එදායින් පස්සේ ඉඟුරු තේ බිවුවේ නැහැලු.

    මම මඩකලපුවේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක ට්‍රේනින් ඉන්න කාලේ හවසට හම්බෙනවා තේකක්. මොන තේ කොලද මන්ද අනේ කිසිම කහට රහක් නැහැ මඩ වගේ. සල්ලි ඉතුරු කරන්න ලාබ මොකක් හරි ගේනවා ඇති. එහෙ වතුර බොන්නත් අමාරුයි කිවුල වගේ. ඉතින් සයිට් ඔෆිස් එකේ ෆිල්ටර් එකක් තියල තිබුණ, ඕකට වතුර පිරෙව්වෙත් තේ හදන කෙනා තමයි. දවසක් මටයි මගේ යාළුවාටයි අහු වුනා, මෙයා ෆිල්ටර් එකට පුරවන්න වතුර ගන්නේ ටොයිලට් එකේ ටැප් එකෙන්. තේ හදන්නෙත් එහෙම්මම තමයි. ඒ වෙලාවේ මිනිහා ගැලවිල්ලට අපට කිවුවා "මේවා ෆිල්ටර් එකට දාන්න කලින් උණු කරනවා මිස්" කියල.

    නෑ එහෙම උණු කරන්නේ නෑ, ඒ වෙලාවේ එයා බොරු තමයි කිවුවෙ.

    පස්සෙ අපේ PM ට කොහොමහරි සල්ලි ටිකක් හම්බෙලා වතුර බෝතල් මිලදී ගන්න පටන් ගත්ත. එතකම් ඉතින් ටොයිලට් වතුර තමයි බිවුවෙ. :D

    ReplyDelete
    Replies
    1. හයියෝ… මට හිතාගන්න පුළුවන් කතා දෙක ගැනම. කඩේ එකා කටින් හපල වෙන්නැති ඉඟුරු දාන්නෙ තේ එකට. අර දැන දැනම ටොයිලට් වතුර බොන්න සිද්ද වුනු එක නම් කියල වැඩක් නෑ. ඒ මිනිහ බිව්වෙත් ඒවමද? කිවුල් වතුර වලින් තේ හැදුවම නම් කිසිම රසක් නෑ තමයි. මාත් ඒක අත්විඳලා තියෙනවා.

      ඔයාව දැක්කෙ සෑහෙන කාලෙකින් මානවී. හරිම සතුටුයි. :D

      Delete
    2. මෙන්න මේකෙ 34.07 ඉඳන් බලන්නකො. ඉඟුරු තේ කතාව තියනවා ඒකෙ. මොබයිල් ඩේට වලින් බලන්න එපා වයිෆයි වලින් බලන්න හොඳේ. :)

      https://www.youtube.com/watch?v=TN6iDPsCvpM&t=3348s

      ටිකක් බිසී වෙලා හිටිය අනේ. සමහර වෙලාවට කියෙව්වට කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ ඔෆිස් එකේදී අකවුන්ට් එකට ලොග් වෙන්න කම්මැලි කමට.

      ඇරත් ඉතින් පහුගිය මාසයක් දෙකක් කාලේ රටේ සිදු වුණු දේවල් එක්ක කවුරුවත් වැඩිය මුකුත් ලිවුවෙත් නැහැනේ ඉතින්. :(

      Delete
    3. ස්තුතියි මානවී ලින්ක් එකට. ඒ මුළු වීඩියෝ එකම බැලුවා, ඔයා කියූ කතාවත් එක්ක. :D
      ඔයා කියන්නෙ ඇත්ත. මාත් හිටියෙ මොනව කියන්නද මොනව ලියන්නද කියල හිතාගන්න බැරුව.:'(

      Delete
  8. මේ පැත්තට ආවෝ...ආවෝ...හරිම රහයි ලියවිලි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කිඹුලී. :D

      Delete
  9. ලංකාවේ නවම් මාවතේ මන්දිරේ පැත්තට වෙන්න පොඩි ජොයින්ට් එකක් තියෙනවා එතනත් මරැ ප්ලේන් ටී එක.. මේක දැකලා මම වෙත්තිගේ කඩේට (තිරිකුණාමලේ තරැව ) ගිහින් කට්ට සම්බෝල එක්ක පොල් රොටියක් කාලා ඉගුරැ තේකක් බීලා ආවා..වින්ටර් එකට හැන්දැවට නියමයි..මියුරැ තරැව පැත්තේ ගිහින් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තරුව දැන් වහල නේද? වෙන කට්ටියක් කරන්නෙ එතන. ඒකත් විකුණන්න දාලා කියල ආරංචියක් ආවා. එකම එක දවසක් ඒකෙන් ඉඟුරු තේ බිව්වා. ගෙනාව නෝනගෙ ඇඟිලි ටික තේ එකේ. වීදුරුවෙ පිටතින් අල්ලන්න පුළුවන්කම තියෙද්දි වීදුරු කටෙන් අල්ලගෙන තමයි තේ ගෙනාවෙ. එවෙලෙම අප්පිරිය හිතුනා.
      ඒකෙ පිටිපස්සට එහෙම ගිහින් තියෙනවද? :p

      Delete
    2. හපොයි ඔව්. මුලින්ම මැනිං රෝඩ් තියෙනකාලෙ මම නිකමට නම දැකලා ගොඩ වැදුනා. වෙත්තිට මාව හිතට අල්ලලා ගිහින් එදා කොත්තු රොටී වලට අමතරව පාන්ගෙඩියකුත් දුන්නා....මම ඔය වැඩි වැඩ කොරන්නේ නැනේ..කැවද මාරැ..මොකට ඕකේ කිචන් එකට යනවද මන්දා..මොකෝ පිඟන් හොදන්න ඕනැ..හික් 😅😅..(ඇත්ත කියන්න මොකටද ඕකේ කිචන් එකට ගියේ) :-)

      Delete
    3. ගියේ කෑම ඕඩරේ පරක්කු වෙනවට. පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා ඉස්සරහත් කවුරුවත් හිටියෙ නැති නිසා.

      Delete