Total Pageviews

Sunday 25 November 2018

ගේ දොර වැඩ නොදත් එකී....


පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න, පොත් කියවන්න, සෙල්ලම් කරන්න ආසාව තිබ්බට කුස්සියට ගිහින් ඒ වැඩ පළ කරන්න නම් මට තිබුනෙ මහා කම්මැලිකමක්... මොන විදියට හිතුවත් ඒ ගැන ආසාවක් ඇතිකරගන්න මේ මෑතක් වෙනකම්ම මට බැරි වුණා...

අපි පුංචි කාලෙ ගෙදර උදව්වට අම්මගෙ ඥාති සහෝදරියො, ඒ කියන්නෙ මං අර කලින් කතාවල කියල තියෙන නැන්දාද ඇතුළුව කවුරුම හරි හිටිය නිසා අම්ම උනත් කුස්සියට ගිහින් එයාලට උදව් පදව් කළා මිසක් ඉවීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාර අරගෙන තිබුණෙ නෑ... ඒත් අනාගතේ වෙන්න යන නස්පැත්තිය තේරුම් ගත්තු අපේ තාත්තා , මං දහයෙ පන්තියට යනකොට ගෙදර උදව්වට හිටපු අය කසාද බන්දාදීම අතුළු වැඩ කටයුතු කරලා අම්මට කුස්සියේ වගකීම පැවරුවා... අපේ අම්මා කුස්සියේම එල්ලිලා නොහිටියා උනාට අම්මට හරි රසට උයන්න පුළුවන්... තාත්තගෙ රැකියා ස්ථානයේ යාළුවොත්, මගේ යාළුවොත් තමයි අදටත් ඒ ගැන වැඩියම මතක් කරන්නෙ....


ඉතින් අම්ම කුස්සියෙ ලොක්කි උනාට පස්සෙ ඔය එක එක වැඩවලට උදව් කරන්න අපිටත් කතා කරනවා.... ඒත් මළ වදේ හැමදාම බරස්, බරස් ගාල පොල් ගාන්නයි, කඳුළු පෙරාගෙන ලූණු සුද්ද කරන්නයි තමයි වැඩියම හම්බ වෙන්නෙ... ඒ දෙකම මට මහම එපා කරපු දෙකක්... දීපල්ලකො ඔය මිරිස් අඹරන්න කාරිය... ඕක කිව්වම අම්ම කියන්නෙ 'එපාර බැරියැ මිරිස් ගල කකුලක් උඩ අතෑරගෙන මෙතන ඉස්පිරිතාලෙ යන්න වැඩ සිද්ද කරගන්න' කියලා.... එහෙම කරගනීද කියල බලන්න දීල බලකො... මට ඉස්සර ඉඳලම ඔය මිරිස් ඇඹරිල්ල්ට තිබ්බෙ පුදුම ආසාවක්... අන්තිමට මං මිරිස් ගල  ඉස්සෙල්ලම ඇල්ලුවෙ, අම්මල නැති වෙලාවක ලොකු සීයගෙයි මගෙයි දිව්‍ය භෝජනේ වෙච්ච පොල් සම්බෝලෙ හදාගන්න... ඒ උනාට අත්තම්මලහ ගියාම ආත්තම්මගෙ හිරමනේ පොල් ගාන්න නම් මං හරි ආසයි... ඒ හිරමනේ අපේ ගෙදර තිබ්බ එක වගේ කඩෙන් ගත්තු එකක් නෙවේ, සීයා ගස් කොටයකින් හදපු එකක්... ඒකෙ ශේප් එක හරියට ඩයිනෝසරයෙකුගෙ වගේ... මං එහේ ගියාම පොල් ගාන්නෙ ඉල්ලගෙන... හැබැයි වැඩේ කියන්නෙ වාඩි වෙන්න තිබ්බ කෑල්ල දිග හින්දා හරියට මැදින් වාඩි නොවුනොත් ඒක පස්සෙන් උඩ ගිහින් හොම්බ බිම ඇනෙනවා... එහෙම වෙලා මං අනන්ත පස්ස උඩ තියන් ඉඳලා තියෙනවා පොල් එකේ මූණත් ඇනගෙන... පොල් ගෑවෙ මැටි කෝප්පෙට නෙවේ, හෙන පිඟන් තඩියකට...  ඉතින් මං පොල් ගානකොට බාල මාමා තමයි ඇවිත් පිටිපස්සෙන් වාඩිවෙලා ඉන්නෙ...ඔය ටිකටත් අපි කතන්දර, සිංදු කිය කිය තමයි ඒ වැඩේ කරන්නෙ... සිංදු කියනකොට සිංදුවේ තාලෙට තමයි පොල් ගෑම... ඒ හින්දා මං හෙන ආසයි ඒකට...

සමහර දවස්වලට අම්මගෙන් අල රොඩු ගාන්න, බෝංචි කඩන්න, හාල්මැස්සන්ගෙ ඉහටි කඩන්න වගේ කොන්තරාත්තුත් ලැබෙනවා... ඒ ඔක්කොමත් හරි මං සහලෝල යන්නෙ අම්ම ගේ වටේ තියෙන කොස් ගස් දිහා බල බල ඇවිදිනකොට... ගෙඩ්ඩක් බාගත්තොත් මදුළු සුද්ද කරන්න වෙන්නෙ මට... හපොයි කොච්චර අත් දෙකේ පොල්තෙල් ගාගත්තත් කොහොල්ලෑ ඇලෙන එක නම් නවත්තන්න බෑ.... ඒ මදිවට ඕක සුද්ද කරන අතරෙ එතැනට යන එන අය අර සුද්ද කරපුව කටේ දාගන්න එක තමයි මට පේන්නම බැරි.... කන්න ඕන නං තමුන්ම සුද්ද කරගනුකො, මං සුද්ද කරපුවම ගන්නෙ... හුහ්.....ඉතින් ඕක ඉවර වෙන්නෙ ඔතැනට ඇවිත් මදුළු එක දෙක අරන් පැනල දුවන නංගිලා පස්සෙ මං පන්නන්න ගත්තම... බැරිම තැන අම්මා කියනව 'ඔයා යන්න ඉතුරු ටික මංම කරගන්නම්' කියල... මාත් ඉතින් ඉබ්බා දියේ දැම්ම වගේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය නමුත් ඒ බවක් නොපෙන්වා, අම්මට තනියම කොස් හදන්න වෙච්චි එකට දුක් වෙවී තව විනාඩියක්වත් එතන නොරැඳී අතුරුදහන් වෙනවා....

ඊට පස්සෙ නංගිලා ලොකු උනාම මං එයාලට ඒ වැඩ ටික බාරදීලා හෙමීට ශේප් වෙලා යනවා කොහාට හරි නොපෙනෙන්න... එක්කො මං ඒ වෙලාවට බරපතල ඉස්කෝලෙ වැඩ... එහෙම නැත්නම් ඉස්කෝලෙන් බලාගෙන එන්න කියපු නවකතා පොතක් කියවනවා ;)... තාත්තා ගෙදර ඉන්න සති අන්තෙ ඔය වගේ වැඩ වෙනකොට තාත්තට තේරෙනවා මගේ කපටිකම... එතකොට තාත්තා මං ඉන්න තැනට ඇවිල්ලා මට ඇහෙන්න, 'ගේ දොර වැඩ නොදත් එකී, ගත්තු මිනිහ අමාරුවේ, ඒකයි මට කණගාටූ...' කියල කියනව තාලෙට... ඒත් මං නෙවෙයි ඔළුව උස්සල බලන්නෙ... අන්තිමට නංගිල දෙන්නටම දහයෙ පන්තියට විතර යනකොට හොඳට උයන්න, කේක් හදන්න හෙමත් පුළුවන්... ලොකු නංගි නම් දහ දෙනෙකුට උනත් තනියම උයනවා ඒ කාලෙ... මං?... මං හිටියෙ ඒව වළඳන්න විතරයි... ඒ මදිවට මට පොල් ගෙඩියක් බිඳගන්නත් බෑ... සමහර දවස්වලට අම්මා හිතාමතාම මාව විතරක් ගෙදර තියල යනවා දවල්ට උයන්න කියලා... හනේ ඉතින් එහෙමදාට බිඳපු පොල් ගෙඩියක් නැති උනාම, විළි ලැජ්ජාව ඉනේ ඔතාගෙන පොල් ගෙඩියයි, පත මන්නෙයි අරගෙන දුවනවා උඩහ ගෙදරට.... ඒ ඇන්ටි හරි අක්කා හරි තමයි 'අනේ මේ ළමය' කියල හිනා වෙවී ඒක බිඳලා දෙන්නෙ...

එක සැරයක් ඒ ලෙවල් කරල ඉවර උනාට පස්සෙ අර අපේ පන්තියෙ කොල්ලො සෙට් එක ට්‍රිපක් යන්න ලෑස්ති වුණා... ඒකට එකෙක්ගෙ කෙල්ලෙක් අරන් යන්න ඕනවෙලා තනියම එක්කන් යන්න බැරි නිසා මගෙන් ඇහුව එනවද කියලා... මාත් පැනලා හා කිව්වා ගෙදරින් යන්න දෙයිද කියන එක ගැන හිතන්නෙත් නැතුව... ඒ ගමනෙ සංවිධායක උන්නැහේ එපාර පැනලා ඇහුවෙ නැතැයි උයන්න පුළුවන්ද කියලා... මං විරිත්තගෙන කිව්වා පුළුවන් කියලා, ගමන යන්න තිබ්බ ආසාවට... ඌ ඇහුවා මොනවද උයන්න පුළුවන් කියලා... මං කිව්ව සොසේජස් බදින්න, බිත්තර බදින්න හෙම පුළුවන්ය කියල... 

පස්සෙ කාලෙක කසාද බඳින්න අවසර ඉල්ලන්න මනූ අපේ ගෙදර ගියාම අපේ තාත්ත ඉස්සෙල්ලම කිව්වෙ රහට කන්න ඕන නම් කුක් කෙනෙක් ගන්න වෙයි කියල... ඒ වෙලාවෙ හිනාවෙවී අහගෙන හිටියට මනූටත් වැඩේ බරපතලකම තේරෙන්න ඇත්තෙ මං උයාපුව කන්න ගියාම... මං දැනගෙන හිටියෙ කඩෙන් ගත්තු කහ, මිරිස්, තුනපහ දාන්න විතරනෙ... ඒත් අනේ උන්ද කවදාවත්ම මං උයන ඒවා රහ නැතෙයි කියල නෑ, නොකා ඉඳලත් නෑ... ඒත් මං දන්නවනෙ වැඩේ හැටි... කෙල්ලො දෙන්නත් පුංචි කාලෙ සද්ද නැතුව හිටියට පස්සෙ පස්සෙ ඕකට කුරු කුරු ගාන්න ගත්තා.... ඉතින් මට තේරුනා මේකට මොකක්ම හරි කරන්න ඕන කියලා....කාලයත් එක්ක රස පොඩ්ඩක් වර්ධනය උනාට මහ වෙනසක් උනේ නෑ... මං ඊට පස්සෙ ජාලෙන් රෙසිපි හොයන්න පටන් ගත්තා... මේ වෙලාවෙ මං වැඩියම ස්තුති කරන්නෙ අපේ මාරයාට... මං මාරසරණියෙ තිබ්බ පතෝල රෙසිපි එක ඇරෙන්න අනිත් සේරම හැදුවා... හරිම රසයි... පතෝල හැදුවෙ නැත්තෙ මෙහේදි මට කවදාවත් ඒවා සොයාගන්න බැරි වුනු හින්දා... ඒ කෑම වෙන විදිවලට හදන රෙසිපිත් තිබ්බට මට නම් මාරයා කියල තිබුණු විදියට හැදුවම වැඩි රසයක් දැනෙනවා... අපේ ගෙදර කවදාවත් වට්ටක්කා කන්න ආසා නොවුනු පොඩි දුව, මාරයාගෙ රෙසිපියේ විදියට හැදුවම බත් පිඟන් දෙක තුනක් කනවා... ඒ නිසා මාරයාට මාගේ හද පතුලෙන්ම ස්තුතිය...

මං මට වෙච්චි දේ මගේ කෙල්ලො දෙන්නට වෙන්න ඉඩ තිබ්බෙ නෑ... චූටියට දැන් ගොඩක් කෑම ජාති හදන්න පුළුවන්... ගෙදර ඉන්න දාට උදේ කෑම හදන්නෙ එයා... එයාට බඩගිනි උනාමත් ඔය තියෙන දේවල් එකතු කරලා මොන මොනව හරි හදාගන්නවා... ගිය අවුරුද්දෙ අපේ අම්මල ආව වෙලාවෙ අම්මා මට කිව්වා දැන් අක්කල නංගිල තුන් දෙනාගෙ කෑම වලින් රසම ඔයාගෙ කෑම කියලා... ඒත් මං ඒක එච්චර සීරියස් ගත්තෙ නෑ... මට හිතුනෙ කාගෙවත් හිත නරක් කරන්න අකමැති අපේ අම්මා නංගිලා දෙන්නටත් ඕකම කියන්න ඇති කියලා... ඒත් ගිය දෙසැම්බරයෙ අපේ නැන්දම්මයි, මාමණ්ඩියි ආව වෙලාවෙ ලැබුණු ප්‍රශංසා වලින් තමයි ඇත්තටම හිතුනෙ වැඩේ සීරියස්ම තමා කියලා... මාමණ්ඩි බොහෝ වෙලාවට කිව්වෙ දිව්‍යලෝක රසයිනෙ දුව, කියලා... ඒවා ඇහුනම ඇත්තටම මට මං ගැන පුංචි ආඩම්බරයකුත් දැනුනා..

ඒ නිසා  මං වගේ තවත් ගෑණු පරාණ ඉන්නව නම් (මං වගේ අය නම් නැතුවම ඇති මට හිතෙන්නෙ) බය වෙන්නෙ නැතුව ජාලෙ රෙසිපිවලට අත ගහන්න.. සමහර අයගෙ කෑම බ්ලොග්ස්වල ලස්සනට පියවරෙන් පියවර විස්තර කරලා පින්තූරත් එක්ක දාලා තියෙන නිසා හරිම ලේසියි... ඒ වගේම ඒකෙන් තවත් දෙයක් උනා... මං වැඩට යන දාට ගෙදර ස්ටොක් එකේ වැඩි හරියක් ඉවර වෙලා තිබුනොත් ඉස්සර කෑමක් හදාගන්න බැරිව කට බලියගෙන හිටිය මං, ඔය ඉතුරු වෙච්චි පොඩි පොඩි දේවල් එකතු කරලා කටට රසට මොනවාම හරි හදාගන්න පුළුවන් තත්වෙට පත්වෙච්චි එක...

මේ පහළින් තියෙන්නෙ අපේ චූටි දුව අඩුම කුඩුම ටික තියෙන වෙලාවට නිතරම හදන කෑමක්... මං නිතරම මේකට අවශ්‍ය දේවල් ගෙනත් තියන්න වග බලා ගන්නවා... මෙහේ අයට නම් මේක අරුමයක් නෙවේ... පොඩි උන් ඉන්නවා නම් තනියම හදන්න දෙන්න පුළුවන් නිසයි දැම්මෙ...

පයික්ලට්ස් (Pikelets)



අවශ්‍ය ද්‍රව්‍ය:

සෙල්ෆ් - රේසිං පාන් පිටි කෝප්ප 1 (නිකම් පාන් පිටි වලට බේකිං පවුඩර් ටිකක් දාලා හලා ගන්න පුළුවන් මේවා නැත්නම්)
කිරි කෝප්ප 1 (බොන කිරි )
සීනි මේස හැඳි 3 (තමුන්ගෙ රස අනුව වෙනස් කරගන්න පුළුවන්)
බිත්තර 1
සමහරු ලුණු ඉතාම ස්වල්පයකුත් එකතු කරනවා. ඒත් මම එහෙම කරන්නෙ නෑ. මොකද එක සැරයක් ලුණු එකතු කරලා ලුණු රස මතුවුනු නිසා. දානවා නම් බොහොම ප්‍රවේසමට කරන්න.
අපේ දුව බටර් තියෙන වෙලාවට බටර් ටිකකුත් එකතු කරනවා. එතකොට රසය වැඩි වෙනවා. ඒ උනාට බටර් නැති වුණා කියලා අවුලක් නෑ.

ක්‍රමය:
බිත්තරෙයි සීනියි එකට දාලා හොඳින් ගසාගන්න. ඊට පස්සෙ ඒකට කිරි ටික එකතු කරගන්න. ඊට පස්සෙ හෙමින් හෙමින් දිය කර කර පිටි ටිකත් එකතු කරගන්න. මේ සියළුම දේවල් හොඳට මිශ්‍ර කළාම අර පෑන් කේක්වලට හදනවා වගේ දියර මිශ්‍රණයක් ලැබෙනවා. ඒකෙන් ටික ටික හැන්දකින් අරගෙන තෙල් හරි බටර් හරි ගාපු තැටියකට (මගේ දුව මේක හදන්නෙ සෑන්ඩ්විච් ප්‍රෙස් එකෙන්. මං තනියම ලිප පත්තු කරන්න නොදෙන නිසා. උණුසුම අඩු වැඩි කරන්න ඕනත් නෑනෙ.) රවුමක් හිටින්න දාලා, බුබුළු නගිනකොට දෙපැත්ත දාලා රන්වන් පාට වෙනකොට ගන්න එකයි තියෙන්නෙ. හරිම ඉක්මනට හැදෙන නිසා මේ වැඩේ පටන් ගත්තම කොහෙවත් ඈතට යන්න එපා.

අපි මේවා කන්නෙ චූටි බටර් කියුබ් එකකුයි මේපල් සිරප්නුයි එක්ක. ඕනම පැණි ජාතියක් එක්ක කන්නත් පුළුවන්. ජෑම් එක්කත් පුළුවන්. නිකම් කන්නත් පුළුවන්. පොඩි උන්ටම හදන්නත් පුළුවන්. මං සමහර දාට උදේ කෑමට ඉස්කෝලෙ ගෙනියන්නත් දාලා දෙනවා.

පින්තූර ගත්තෙ ජාලෙන්…


27 comments:

  1. මේක මං සෑහෙන කාලෙකට කලින් ලියාපු කතාවක් නිසා මට දැන් මේක එඩිට් කරන්න බෑ. එඩිට් කළාම සේව් කරන්නවත් පබ්ලිෂ් කරන්නව්ත් බෑ. ඒ නිසා පින්තූරෙ අතුරුදහන් වුනත් මේක තිබුනු විදියටම පබ්ලිෂ් කරනවා. කියවන කෙනෙක් ඒකට සමාවෙන්න. මගේ ෆලෝවර්ස්ලා ටිකත් හැලිලා නිසා කවුරු කවදා මේක දකීවිද දන්නෙ නෑ. :'(

    ReplyDelete
    Replies
    1. ෆලෝවර්ස්ලා ටික යාන්තම් දාගත්තා. :)

      Delete
  2. කව්ද කිවිවෙ ෆලෝවර්ස්ලා හැලිලා කියලා.. මේ ඉන්නේ.. හැබැයි පරණ අයනමි් දැන් බොහොම අඩුයි මියුරු. මියුරුගෙ කමෙන්ට් එක දැකලා මට බොහොම සතුටු හිතුනා බ්ලොග්වල ස්වර්ණමය යුගය මතක් වෙලා...

    යමකට උනන්දුව,ආසාව ඇති වුනාම සක්කරයටවත් නවත්තන්න බෑ කියලා තමා මේකෙන්හි හිතන්න වෙන්නේ...

    යමින් එමින් කොස් මදුලු වලට වගකියන එක මාත් කරලා තියනවා...ඔයාට තිබ්බෙ එහෙම කරන උන්ගෙ ඇඟේ කොහොල්ලෑ ගාන්න..😀😀

    ඊළඟ ලිපිය ලබන අවුරුද්දෙද 😜?

    ReplyDelete
  3. කාලෙකින් දැක්කෙ. ඔය මාරයියගෙ කෑම දැක්කම ආසාව එනවා කන්න. මියුරු දැං ජනප්‍රිය යුබට චැනල් එකක් තියෙ අපෙ අම්මා කියල. ඒකත් මරු

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ආවත් ඔයගොල්ලො මෙහෙම ඇවිත් කමෙන්ට් එකක් දාලා යන එකම කොයි තරම් අපූරුද? මේකෙ කෑලි, කෑලි පුරුද්දාගෙනයි ආපහු ආවෙ. සමහර ඒවා වැඩ. සමහර ඒවා අපවත් වෙලා. මොනවා කරන්නද?
      මාරයාගෙ කෑම නම් හරිම නියමයි. එයාත් දැන් වැඩිය ලියන්නෙ නෑ වගෙයි නේද? අපරාදෙ.
      ඔයා කියන චැනල් එක මං ෆලෝ කරනවා දේශකයා. තවත් කිහිපයක් තියෙනවා හොඳටම හොඳ. Anoma's Kitchen කියලා එකකුත් ගොඩාක් හොඳයි.

      Delete
  4. @ සෙන්නා,
    බොහොම ස්තුතියි සෙන්නා. මං අවුරුදු පහකට පස්සෙ පෝස්ට් එකක් දැම්මත් ඉස්සෙල්ලම දුවන් එන කෙනෙක් තමයි ඔයා.
    ගොඩාක් අය හැලිලා වගේ නේන්නම්. මං හිතුවෙ නෑ, ඩූඩ් නම් කීයටවත් යාවි කියලා. එයාට කරදරයක් නැතුව හොඳින් ඉන්නවා නේද? කොහොමද ඔයාලට? ඇත්තටම ඒක ස්වර්ණමය යුගයක් තමයි. හැමෝම අනිවාර්යයෙන් සතියකට සැරයක් වගේ වෙන්න අළුත් පෝස්ට් දැම්මා. ඔක්කොම කමෙන්ට්ස් වලට උත්තර දුන්නා, හැරෙන පරක්කුවෙන්. කියලා වැඩක් නෑ.
    අපේ ලොකු නගා මට ඉන්න දෙන්නෙම නෑ හැම තිස්සෙම කියනවා ආයෙ ලියන්න කියලා. උන්දැ තමයි මගේ ලියන කියන වැඩ වලට මාව උනන්දු කරන්නෙ, බැන බැන. තියෙන එකම හැකියාවකින්වත් කිසි ප්‍රයෝජනයක් ගන්නෙ නෑ කියලා. ඉස්සර වගේම නැතත්, අවුරුද්දකට එකකට වැඩියෙන් ලියන්න බලමු නේද ;)
    කොහොල්ලෑ උලන්න තමයි අර පස්සෙන් පැන්නුවේ. :)

    ReplyDelete
    Replies
    1. ඩූඩට වෙච්ච දෙයක් නෑ... මේල් වලටත් උත්තර නෑ...

      දිගටම ලියමු මියුරු...

      Delete
    2. උත්සාහයක් කරන්නම් සෙන්නා. බොහොම ස්තුතියි.

      Delete
  5. අනේ මංදා, අපිත් එක්ක එකට බ්ලොග් ලියපු ඔක්කොම දැන් බ්ලොග් වලින් හැලිලා ගිහිං. ඔයගොල්ලො වත් ඉඳහිට මෙහෙම ලියද්දි සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් හැලප. හරිම දුකයි දැක්කම. හරියට ළඟින්ම හිටිය යාළුවො නැතිවුනා වගේ. ටික දෙනෙක් හරි තවම රැඳිලා ඉන්න එක කොයි තරම් දෙයක්ද?

      Delete
  6. මම මාස ගාණකින් බ්ලොග් බලන්න අමතක වුනා. අදත් අමිලගේ පෝස්ට් එකක් කියවන්න කියලා ටෙක්ස්ට් එකක් ආවමයි බ්ලොග් කියවන්න මතක් වුනේ. ඒකෙන්ම අඹගහයටට ගොඩ වුනා. මියුරු දැක්කම දුවන් ආවා.

    නිතර නො ආවත් මෙහෙම හරි එබුනම සතුට පරණ එවුන් ලියනව දකින එකයි. හරියට ගමේ කෑමක් හම්බවුනා වගේ.

    ReplyDelete
    Replies
    1. බූරූස්!! මගෙ අම්මේ දැක්ක කල්. හරිම සන්තෝසයි ඇත්තටම. :D ඔයාත් අවුරුදු දෙකකින් විතර ලියලා නෑනෙ නේද? ඒ වුනාට කමෙන්ට් දාන්න නම් ඇවිත් යන්න ඇති. කොහොමින් හරි කෙස් ගහකින් හරි මේකෙ එල්ලිලා ඉන්න එකම මදෑ. ඉස්සර වගේ මේකෙ පැලක් බැඳගෙන ඉන්න වෙලාවක් නැතිවුනාට, කලින් කලට හරි ඇවිත් යනවා. ගොඩ දෙනෙක් යන්නම ගිහින් තියෙන එක ගැන හරිම දුකයි.

      Delete
  7. මියුරුගෙ පයික්ලට්ස් දැක්කාම මතක් වුනේ මම පයික්ලට්ස්වල improved version එක කාලා තියනවා කියලා. පොඩ්ඩිට තාම හදන්න බැරිවුනත් අම්මට හදන්න පුළුවන් වෙයි.
    Savory Dutch Pancakes : https://www.baking-sense.com/2017/02/14/savory-dutch-pancakes/

    ReplyDelete
    Replies
    1. රූවෝ! කොහොමද අනේ දැන්? සංතෝසයි දකින්න ලැබුනම. කොහේද ඉන්නෙ මේ වෙනකොට?
      තැන්කුයි අනේ මේ වර්ශන් එකට. කෙල්ල හදාවි. දැන් පුංචි නෑ එයා. ගොඩක් කෑම ජාති තනියම හදා ගන්නවා. මේක පෙන්නන්න ඕන. ලොකු කෙල්ල නම් මං ඒ කාලෙ වගේම කම්මැලි හින්දා මග අරිනවට මොකුත් කියන්න බෑ. අම්මගෙම දූ උන්දා. බලහත්කාරයෙන් අල්ලා ගත්තු දාට හෝන්දු මාන්දු තමයි. එයාටයි ඕනෙමත්, තනියම වෙන ස්ටේට් එකක ඉන්න නිසා. නිවාඩුවට ගෙදර එනකොට පන් ගහ වගේ. මුල ඉඳලම පෝර දාලා ගන්න ඕන.
      ඔයාලව දකින්න ලැබුනම මේ වගේ බොක්කෙන්ම සතුටුයි අනේ.

      Delete
  8. ගෙදර හුරතලේට ඉඳල එක පාරට කසාද බඳින්න උනාම ඔහොම තමයි, ගණන් ගන්න හොඳ නෑ, මගේ යාළුවො ගොඩක් අයත් උයන්න ඉගෙන ගත්තේ විවාහයෙන් පසු, හැබැයි දැන් නියමෙට උයනවා මදිවට මටත් එක්ක කෑම අරන් ආව ඊට පස්සෙ.

    අපේ ගෙදර කුස්සිය අයිති කරන් හිටියෙ අම්මයි, අක්කයි. මම යනවට කැමති නෑ ඒ පැත්තට වත් (ගියාම වැඩ දෙක වෙන නිසා වෙන්නැති ඉතින්) කොහොමහරි මම විදෙස්ගත වෙනකොට, තුනපහ එහෙම පැක් කරද්දි අම්මා හිනා උනත් එක්ක "දැන් ඔයා ඇත්තට එහෙ ගිහින් උයනවද" කියල අහල. :D උයන්න ගත්තම පරිප්පු එක උයන්න පැයයි, කෑම වේලම උයන්න පැය දෙකාමාරයි. මාළු මිරිස් රසට හොදි එක, රසට උයාගන්න ඉගෙන ගන්න, යෙන් හය හත් දාහක් වටින මාළු ගෙනත් උය උය විසි කරන්න ඇති.

    හැබැයි දැන් දෙයියනේ කියල හොඳින් උයාගන්න පුළුවන්, රෙසිපි බලනවා අලුත් දෙයක් උයද්දි. රසයි කියලත් කියනව කට්ටිය. :)

    අපි බ්ලොග් ලියන්න කියවන්න පටන් ගන්නකොටම ලියන එක නවත්තපු පරපුරේ කෙනෙක් තමයි ඔයා. මම ගොඩක් ලකී කෙනෙක් නෙවෙයි ඉතින් ඒ වගේම මම කියවන්න පටන් ගත්තත් හරි, අපූරු බ්ලොග් ලියපු කීප දෙනෙක් ම නිහඬ වුණා, සහ රවී තුමා කුරුටු පුවක් පුවක් පුවක් ඇහිඳින්න පටන් ගත්ත. පුළු පුළුවන් වෙලාවට ආයේ ලියන්න, අපි ඉන්නවා කියවන්න. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ආදරණීය මානවිකාවිය. ඔන්න අහුවුනා මං වගේ තවත් එක්කෙනෙක්. හරි සතුටුයි ඒ ගැන. ;P ඒ රසයි කියලා අහගන්න තැනට ආවම හෙන සතුටුයි, නැද්ද?
      ඔයා ලකී හින්දා තමයි මං ආයෙ ලියන්න පටන් ගත්තෙ. ;P
      ඉස්සර තරමට නැතුවත්, ටික ටික ලියන්න ගන්න තමයි හිතන් ඉන්නෙ මානවිකා. ඉස්සර නම් මාසෙට පෝස්ට් තුනක්වත් වරදින්නෙ නෑනෙ. දුකයි ඇත්තටම ඒ කාලෙ මතක් වෙනකොට. නිහඬ වුනු බ්ලොග් ගැන එහෙම. රවීතුමා නම් තවම මොනවා හරි ලියනවනෙ නේද? ඩූඩ්, පොඩි කුමාරිහාමි දෙන්නම මං හිතුවෙ නෑ කවදාවත් නවත්තයි කියලා. :( මොනව කරන්නද? අපිවත් ලියමු, නේ?

      Delete
    2. පොඩිඩි කිසිම ආරංචියක් නෑ. මං මේලක් දෙකක් යවල පස්සේ ලව් ලෙටර් එකකුත් යැව්වා. ඒත් නෑ ආරංචියක්

      Delete
    3. අයියෝ ඇත්තද? ඒ කියන්නෙ පොඩ්ඩියි, ඩූඩ්නුයි දෙන්නම එක වගේ. පොඩ්ඩි නවත්වලා අවුරුදු තුනයි, ඩූඩ් නවත්තලා අවුරුදු දෙකයි. මං නම් අවුරුද්දකට සැරයක් හරි ඇවිත් ගියා. ලිව්වෙ නැති උනාට කොහේ හරි ඉඳන් සමහරවිට මේවා කියවනවා ඇති.

      Delete
    4. ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ අපේ විචාරක මහත්තයා යන්නම ගිහින් නේද දේශා. අනේ මං දැනගත්තෙ දැන්නෙ. මං ඒත් බැලුවා ඇයි විචාරක දියණිය ලියන්නෙ කියලා. මං හිතුවෙ දෙන්නම එකට එක බ්ලොග් එකක් ලියනවා ඇති කියලා. ඒ නිසා ඒ බ්ලොග් එකේ ආපස්සට ගියාමයි ඒක දැක්කෙ. :'(

      Delete
  9. අඩේ අපිත් තාම ඇවිත් බලල යනවා, මොනා හරි අලුත් යමක් ලියවිලාද කියලා...

    අපරාදේ කියන්න බැහැ, අපේ අම්මනම් කෙල්ලොය, කොල්ලොය කියල බලන්නේ නැතුව කුස්සියේ වැඩ අපි හැමෝටම සමසේ බෙදල දුන්න කරන්න...
    ඒකෙන් සහ ආසාව නිසා මටත් කෙනෙකුට කන්න පුළුවන් මට්ටමේ කෑම හදන්න හැකියාවක් තියෙනවා...
    අර ඔයා කියපු කෑම එක හදල අපේ කොල්ලට කන්න දීල බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හම්මේ ලොකූ, පුදුම සතුටක් ඔයාලව දැක්කම. මෑතකදි ලියලා නැතුවට, කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කම හිතුනා තවමත් වටේ සැරිසරනවා ඇති කියලා. දැන් කවුරුවත් ඉස්සර වගේ සතියකට දෙකකට සැරයක් පෝස්ට් දාන්නෙ නැතුවා වගේ. මගේ බ්ලොග් ලිස්ට් එකේ තියෙන ඒවායින් අප්ඩේට් වෙන්නෙ බොහොම පොඩ්ඩයි. අවුරුදු ගණන් නැවතුනු ඒවා වැඩියි. ඒත් අනේ අයින්කරන්න බොහොම ලෝබයි. දුකයි. බැරි වෙලා හරි ආවොත් දන්නෙම නැතිවේවි කියලා හිතෙනවා.

      කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටම උයන්න පුළුවන් වෙන එක කොච්චර දෙයක්ද අනේ. බොහොම සතුටුයි උයන්න පුළුවන් කීවම. කැන්ටබරි ඒවා උනත් මොකද, තමුන්ගෙ බඩ පුරවා ගන්න හරි පුළුවන්නෙ. ඒ අතින් ලොකූ ගොඩාක් දියුණුයි. අපේ මැතිතුමා තේ එකක්වත් හදාගන්න ඉගෙන ගත්තෙ අපි මෙහේ ඇවිත් මට නයිට් ෂිෆ්ට් කරන්න වුනු කාලෙ. පාන්දර පහට විතර ගෙදර ඇවිත් නිදාගත්තු එකාට තේ හදලා දීපියෝ කියලා කියන්න බැරිකමටම. ඒ කාලෙ ව්‍යංජන ඉතුරු වෙලා බත් ඉවර උනොත් කඩෙන් තමයි කෑම. දැන් නම් රයිස් කුකර් එකේ බත් එක ගහගන්න පුළුවන් හදිස්සියකට.
      අපේ පොඩ්ඩි අද උදෙත් හැදුවා ඒක ලොකූ. හරිම ලේසියි. හදලා දීලා බලන්න. බොහෝ වෙලාවට කැමති වේවි.

      බොහොම ස්තුතියි හොයලා බලලා යන එක ගැන. :D

      Delete
    2. /// බොහොම සතුටුයි උයන්න පුළුවන් කීවම. කැන්ටබරි ඒවා උනත් මොකද, තමුන්ගෙ බඩ පුරවා ගන්න හරි පුළුවන්නෙ. ඒ අතින් ලොකූ ගොඩාක් දියුණුයි. ///

      දෙයියනේ කියල නිකම් බඩ පුරවගන්න මට්ටමට නෙමෙයි ඊට ටිකක් එහා මට්ටමකට කෑම හදන්න පුළුවන්...

      Delete
    3. ඇත්තටම බොහොම සන්තෝසයි.

      Delete
  10. පුදුම වැඩක්... මගේම බ්ලොග් පෝස්ට් එකක් කියවද්දි මියුරුගෙ කමෙන්ට් එකක් දැකලා මේ ඇත්ති මොනවා කරනවැදැයි බලන්න ආවා... ඔන්න පෝස්ට් එකක් දාලා..!

    ReplyDelete
    Replies
    1. හම්මේ තිස්ස මහත්තයා, මං ඒ පැත්තෙ ගියාම පෙනුනා මේ අවුරුද්දෙ ලියලාම නැති බව. ඉතින් හිතුනා ඔබතුමාත් අර ගොඩේම වෙන්න ඇති කියලා. කොයි තරම් දෙයක්ද මේ පැත්තෙ ඇවිත් යන්න ආව එක.

      මං කලින් ලියලා පල කරලා නැති පෝස්ට් දාහතක් තිබුනා. දැන් ඒවට දාපු පින්තූර එහෙම නැති වෙලා ගිහින්. ඉතින් එකක් එඩිට් කරන්න හදද්දි අකුරක් ගැහුවා විතරයි ඔක්කොම චකබ්ලාස්. ටොපික් එක විතරයි ඉතුරු වුනේ. ඒ හින්දා හිතුවා ඒවා ඒ විදියටම පබ්ලිෂ් කරලා දානවා කියලා.

      සමහර හිනා යන සිදුවීම් වෙද්දි අනේක වාරයක් හිතුනා අපරාදෙ බ්ලොග් එක ලියන කාලෙ නම් මේක ලියලා දාන්න තිබුනනෙ කියලා. ඉතින් එන්න හිතුනා මේ පැත්තට. :D

      Delete
  11. Came back just to read your posts. :)
    Hope you are doing good!

    ReplyDelete
    Replies
    1. Dear Sabith, So glad to see you. I'm doing very well. Hope you too. Thank you so much. :D

      Delete