clipart library
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා…
පරණ සින්දුවක් මතක් උනා හදිසියේම. 1976 තිරගත වුනු විජයයි මාලනීයි ප්‍රධාන චරිත රඟපෑ ගංගා චිත්‍රපටයේ ගීතයක්. (රවියා ඉතිහාසෙ කියන්න කලින් ඔන්න මංම කිව්වා.)
මට හිනාව ගැන කතා කරන්න හිතුනෙ මගේ ඔෆිස් එකේදි මං ලබපු අත්දැකීම් කිහිපයක් නිසා. අපේ අම්මයි, මමයි, මගේ ලොකු දුවයි හිනා වෙන්න ගියාම ආයෙ බ්‍රේක් නෑ. ඒක හරියට පරම්පරාගත ලෙඩක් වගේ. අපට හිනා වෙන්න හිතන්න ඕන නෑ. නිතරම මූණ සූදානම් වෙලා තියෙන්නෙ හිනා වෙන්න. අපි අපේම ගොන් පාට් වලටත් ඇතිවෙන්න හිනා වෙනවා.
ඉතින් ඔන්න මේ මෑතකදි මාව මාරු කළා අළුත් සේවා ස්ථානයකට. මේකෙ ඉන්න ලොක්කිත් එක්ක වැඩ කරන්න කවුරුවත් කැමති නැති නිසා අපේ ලොක්කි මට වැන්දෙ නැති ටික විතරයි එතැනට යන්න කියලා. මං ආපිට දණ ගහලා වැන්දෙ නැති ටික විතරයි අනේ මාව එතැනට දාන්න එපා කියලා. අන්තිමට එයා කිව්වා එක මාසයක් ඉඳලා බලන්න කියලා. අන්තිමට බෑ කියන්න බැරි කමට මං හා කිව්වා. අනේ එතනට යන්න කලින් දවසෙ රෑ මට හරියකට නින්ද ගියෙත් නෑ. ඩොග් ඩොග් ගාලා පපුව ගැහෙද්දි තමයි වැඩට ගියේ පළවෙනි දවසෙ.
මේ ඇත්තිගෙ නම ලෝරා. එතන වැඩ කරන හැමෝම වගේ බයයි මෙයාට. මං ටිකක් ඈතින් ඉඳගෙන පළවෙනි සති දෙකේ හොඳට බලාගෙන හිටියා මෙයාගෙ කල්කිරියාව. මට තේරුනා ඔය කියන තරම් යකා කළු නැති බව. ලෝරා කියන්නෙ එයා යමක් කරන්න කියලා කෙනෙකුට කියූ ගමන් ඒ කෙනා අනිත් වැඩ ඔක්කොම මොහොතකට පැත්තකට දාලා එයා කියූ වැඩේ කරාවි කියලා බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ එක ඉල්ලීමක්වත් අසාධාරණ ඉල්ලීම් නෙවේ. ඒ වගේම ස්ටාෆ් එකේ කෙනෙකුට මොකක් හරි කරදරයක් උනොත් අනිත් හැම දේම පැත්තකට දාලා එයා තමයි ගිහින් අර කෙනා වෙනුවෙන් කතා කරන්නෙ. වැරැද්දක් උනා නම් ඒක හරි ගස්සන වගකීම භාර ගන්නෙ. හැබැයි කට සද්දයි. කතා කරනකොට හරිම සීරියස්. මූණ හිනාවක් නෑ. මූණට පැනලා තමයි කතා කරන්නෙ. ඉතින් කට්ටිය බයයි. මොන තරම් හිතවත්කමක් තිබ්බත් එයා කියූ දෙයක් නොකළොත් සොරිම තමයි.
මෙයා මං එතැනට අළුතෙන් වැඩට ගියා කියලා පඩේකටවත් මාව ගණන් ගත්තෙත් නෑ. ඒ නිසා මං හිටියෙ ටිකක් ඈතින්. මට මාර ස්ට්‍රෙස් දවසෙම. වැඩ ඉවර වෙනකොට ඉන්න බෑ ඔළුව කැක්කුමේ. අනිත් අයට ඔය වැඩේ හුරු උනාට දවසෙම බුකවගෙන ඉඳලා පුරුද්දක් මට ඇත්තෙම නෑ. මට ඕන සැරින් සැරේ මොකක් හරි පල් මෝඩ කතාවක් හරි කියලා දෙකට නැවිලා හිනා වෙන්න. අනිත් අයත් හිනාවෙලා ඉන්නවා දකින්න. ඔහොම ඉන්නකොට දවසක් ලෝරා ඔෆිස් එකට ආවෙ මොකක් හරි දේකට මළ පැනලා. නිතරම එහෙම හින්දා අනිත් අය ගණන් ගත්තෙ නැතුවට මගේ ඇහැ කොණට මෙයා කොස් ගෙඩිය වගේ මූණ එල්ලන් ඉන්න එක පෙනුනෙ වන වෙච්ච තුවාලයක් වගේ. හැමතිස්සෙම පේනවා, දැනෙනවා. එයා එක පාරක් මොකක්දෝ එකක් කියාගෙන ආපිට හැරිලා බලනකොට මම එයා දිහා බලලා කට හදලා මෝඩ හිනාවක් දැම්මා. අර මොකක්දෝ කියන් ආව කෙනා ඒක නතර කරලා පුදුමෙන් වගේ මොහොතක් මගේ දිහා බලාගෙන ඉඳලා හයියෙන් හිනාවෙන්න ගත්තා. මාත් එයාත් එක්කම හිනා උනේ වෙන කවුරුවත් එයාට එහෙම දෙයක් කරන්න නැතුව ඇති කියලා හිතෙද්දි. ඔය වගේ ගෑණිට අර්ශස් අමාරුව තද වෙලා ඉන්න වෙලාවල්වල ඔෆිස් එකේ කවුරුත් නැතිවෙලාවල් බලලා (බැරිවෙලාවත් බැන්නොත් රෙදිත් නෑනෙ ) මං එයා මගේ පැත්තට හැරෙනකම් ඉඳලා ඔහොම ගොන් හිනාවක් දාන්න පුරුදු උනා. ඒ කරලා අපි දෙන්නම හිනා වෙනවා. සතියක් දෙකක් යනකොට ගෑණිට මාව දැක්කම හිනා යන්න පටන් ගත්තා. අපි අතර පෞද්ගලික කතා බහ පවා සිදුවෙන තරමට හිතවත්කමකුත් ඇතිවුනා. බලනකොට අපි දෙන්නම එකම වයසෙ. ඒ වගේම එකම වයසෙ දරුවො. දෙන්නටම කෙල්ලො. ඉතින් අපි බොහොම සුහදව වැඩ කරගෙන යනවා දැන් මාස හයක් විතර තිස්සෙ.
මං ගිය සතියෙ දවසක එයාට කිව්වා මම එයා එක්ක වැඩ කරන්න ආවෙ අපේ ලොක්කිගෙ බලවත් ඉල්ලීමට මාසයකට විතරයි කියලා. ඇයි ඇහුවම කිව්වා ඔයාට බයට කියලා. ඇත්තටම ගෑණිට හරිම ලැජ්ජා හිතුනා. එයා මගේ අත් දෙකින්ම අල්ලගෙන කිව්වා අනේ ඔයාගෙ යාළුවන්ට කියන්න මගේ කට සැර උනාට හදවත හරිම හොඳයි කියලා. මටත් ඇත්තටම ඕනම කෙනෙකුට ඒක කියන්න පුළුවන් කට ඇරලා. ලෝරා හරිම හොඳ කෙනෙක්. එයාගෙ කටට බයේ කවුරුවත් එයාත් එක්ක හිනා වෙන්නෙවත් නැතුව හිටියෙ. මං හිනා වෙනවා කතා කරනවා දැකලා අනිත් අයගෙ බයත් ගියා. දැන් එයාගෙ අපට පේන ලොකුම වෙනස තමයි ඉස්සර වගේ හැම තිස්සෙම නැට්ටටම තදවෙලා ඉන්නෙ නැති එක. එයා ඉන්නෙ වෙනදට වඩා සැහැල්ලුවෙන්. ඒ අතරතුරේ එයාව පළවෙනි වතාවට හොඳම සේවිකාව විදියට කවුරු හරි අපේම ඔෆිස් එකේ කෙනෙක් විසින් යෝජනා කරලා එයාට ඒ සම්මානයත් ලැබුනා. මාසෙකින් ආපහු යන්න ආව මාත් තවම එතැන වැඩ.
දැනට මාසයකට විතර කලින් අපේ ඔෆිස් එකේ කෙනෙක් වෙන තැනකට මාරුවෙලා ගිහින් ඒ වෙනුවට ආවෙ පැට්‍රික්. එයා අවුරුදු හැටකට වැඩි නම් මිසක් අඩු නැති නිතරම මූණ එල්ලගෙන ඉන්න, ඇත්තම කිව්වොත් මහ මූසල මනුස්සයෙක්. කට්ටිය කියන්නෙ 'පපා පැට්' කියලා. මං ඉතින් නිතරම හැමෝටම විරිත්තගෙන ඉන්න කෙනා නිසා දවසක් මේ මනුස්සයා කියනවා, 'අනේ මටත් පුළුවන් උනා නම් ඔහොම හිනාවෙලා ඉන්න,' කියලා. මං කිව්වා ඉතින් කටයි දත් ටිකයි තියෙන නිසාත්, මූණේ මාංශ පේශීත් වැඩ කරන නිසාත් පපාටත් හිනාවෙලා ඉන්න පුළුවන්නෙ කියලා. එයා කියනවා මගේ මූණ හිනා වෙන්නම හැදිලා තිබ්බට එයාගෙ මූණ එහෙම නෙවෙයිලු. එයාට ගොඩක් ප්‍රශ්ණලු. සතුටෙන් ඉන්නෙ කොහොමද කියලා අහනවා. මං කිව්වා මමත් ජීවිතේ ප්‍රශ්ණ තියෙන සාමාන්‍ය මනුස්සයෙක්. ඒත් එහෙමයි කියලා මං ඒවා කරේ එල්ලගෙන තුන් තිස් පැයේම හොටේ එල්ලගෙන ඉන්නෙ නෑ කියලා. ඒ උනාට එයාට එහෙම ඉන්න බැරිලු. මං කිව්වා පපා එහෙම බෑ කියලා තීරණයක් අරගෙන තියෙන නිසා තමයි හිනාවෙන්න බැරි කියලා.
දැන් මනුස්සයා මාව දකිනකොට කොහේදි දැක්කත් හිනාවෙලා නැත්නම් විරිත්තලාවත් තමයි යන්නෙ. ඒ උනාට අනිත් වෙලාවට ඉන්නෙ කලින් වගේම එල්ලගෙනමයි. අනේ ඉතින් අපි කොහොමද තමුන්ට සතුටෙන් ඉන්න බෑ කියලා තීරණය කරලා ඉන්න මිනිස්සුන් හිනස්සන්නෙ. පපා සතුටෙන් ඉන්නෙ නැති එකට පලි එයාගෙන් වෙන් වුනු නෝනා. නෝනත් එක්ක ජීවත් වෙන දරුවො. ඈතින් ඉඳගෙන ඒ මිනිස්සු කරන දේවල් වලට පපා සමච්චල් කරනවා. නත්තලට එයාලා මෙයාට දෙන තෑගි, ෆාදර්ස් ඩේ එකට දෙන තෑගි සමච්චලයක්. ඒවා අගය කරන්න, ඒ ගැන මැදිහත් සිතින්, ආදරයෙන් බලන්න පුරුද්දක් ඇත්තෙම නෑ. හැම දෙයක් ගැනම තියෙන්නෙ මහම නෙගටිව් වීව් එකක්.
මට මතකයි මං පුංචි කාලෙ නිතරම සෙල්ලම් කරන යාළුවෙකුගෙ තාත්තා හිනා වෙනවා මං කවදාවත් දැකලා තිබුනෙ නෑ. එක දවසක් එයා අපි සෙල්ලම් කර, කර හිටිය තැනට ඇවිත් රබර් නයෙක් විසි කරලා අපිව බය කරලා හිනාවුනු වෙලාවෙ තමයි මං ඉස්සෙල්ලම දැක්කෙ ඒ අන්කල් හිනා වෙනවා. මට හිතුනා හිනා වෙනකොට ඒ මනුස්සයගෙ මූණ නිකම් මලක් පිපෙනවා වගේ කියලා. හරිම සිරියාවයි. ඒත් වැඩිපුර ඉන්නෙ බුකවගෙන.
ඇත්තටම පොඩ්ඩක් හිනාවෙලා ඉන්න එච්චරම අමාරුද?
අතේ හකුරු තියේ නං කොයි ලිඳේත් වතුර රහයි කියන්නේ නිකන්යැ බෝ.
ReplyDelete"පපා පැට්"ට කියන්න අඬන්න හේතු ඕන නං හේතු දාහක් හොයාගන්න පුළුවන් ඒත් හිනාවෙලා ඉන්න ඒ එකක් වත් අදාල නැහැ කියලා.
උන්දටත් ඔය මොනවා කිව්වත් අදාල නෑ සිරිබිරිස්. දැන් මං එනකොට මිනිහට හිනාවෙන්න බෑ කියලා හිතුනොත් ඉක්මනට කොලේක හිනාවෙන මූණක් ඇඳලා මූණ ඉස්සරහින් අල්ලගෙන ඉන්නවා. ඊට වැඩිය කොච්චර ලේසිද හිනාවෙන එක.
Deleteමේ කියවනකොට ඔන්න මටත් එක මුණක් මැවිලා පෙනුනා.අවුරුදු ගානකින් ඒ මුණ දැන් දැකලා නැතත් මට මියුරුගේ පොස්ට් එක කියවනකොට මතක් උනා හිනා වුනොත් එක මේ ලෝකේ තියෙන ලොකුම පාපය වගේ පෙන්වන මුණක්.එහෙම මූණුත් මේ ලෝකේ තියෙනවානේ.
ReplyDeleteපුරුද්දක්ම නැතිකම වෙන්නැති මනෝජ්. කවුරුවත් කිචි කවලවත් හිනස්සලා නැතුව ඇති.
Deleteඔයාට කියන්න පුළුවන්ද මම හිනාවෙලා ඉන්න කෙනෙක්ද, බුකවගෙන ඉන්න කෙනෙක්ද කියලා ?
ReplyDeleteහිනාව වේගයෙන් පැතිරෙන බෝවෙන ලෙඩක්..
සෙන්නා ලියන ඒවා අනුව නම් හිතෙන්නෙ සාමාන්‍ය විදියට හිනාවෙලා ඉන්න කෙනෙක් කියලයි. ඒත් කොහොමද දන්නෙ නෑ… :D
Delete:D
Deleteසිනා නොමසෙන් දසන් දක්වා..අන්න එහෙමයි පුරාන ඉරිසින්නාන්සෙල කියල තියෙන්නෙ..ඇහුනැයි ඔහෙට?
ReplyDeleteපලි - අර ඉතිහාසෙ කියනවයි කියල තියෙන්නෙ මමෙයි? :)
පුරාණ ඉරිසින්නාන්සෙලා කියල තියෙන්නෙ සිනාසෙන් දසන් දක්වා කියලා… ඒක ගාට ගාට වර්තමානෙට එනකොට අර අනිත් පරණ කතා වලට වගේ දැන් ඉන්න ඉරිසින්නාන්සෙලා කාක පාදයක් දාලා 'නොම' කෑල්ලක් එකතු කරලා… ඉතින් කාට කියන්නද අප්පා මේව්වා…
Delete//පලි - අර ඉතිහාසෙ කියනවයි කියල තියෙන්නෙ මමෙයි?// නැහ්… පික්ෂුද… ඒ වෙන කවුද රවියෙක්නෙ… මේ රවියා එහෙම වැඩ කරනවැයි… :p
සිනාව බෝ වෙනවාය කියන එකට හොඳ උදාහරණයක් තමයි මුල් කතාව!
ReplyDeleteඒක නම් ඇත්ත. රසිකටත් සිනා බෝ වේවා! :D
Delete