Total Pageviews

Monday, 18 February 2013

චුට්ටක් හිටහංකො බං....



මම ගිය ඉස්කෝලෙ ඉඩ කඩ මදි ප්‍රශ්ණෙ නිසා පන්ති පැවැත්වුනේ දෙවරුවකට කියල මං කියල තියෙනවනෙ... හයේ හතේ පන්තිවල හිටපු ළමයි තමයි ඔය (අ)වාසනාවට හිමිකම් කිව්වෙ.... ඒ වෙනකොට මං හතේ පන්තියේ... අපේ පන්තිය තිබ්බෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකයි ස්ටාෆ් රූම් එකයි අතරෙ.... ලේසි නෑ වැඩේ... හැම තිස්සෙම සීරුවෙන් ඉන්න ඕන.... නැත්නම් ගුරුවරුන්ටයි එහෙමත් නැත්නම් ප්‍රින්සිපල්තුමාටයි මාට්ටු වෙන්නෙ කොයි වෙලේද නෑ....මං ඉස්කෝලෙ යන කාලෙ වැරදිවලට අහුවෙන්න බය ඒ කාලෙ මගේ ගුරුවරු වැඩි දෙනෙක් ගුරුවරියක් වෙච්චි මගේ අම්මගෙ යාළුවො නිසා බවත් මං කලින් කියල ඇති...

 ඔය අපේ පන්තිය තිබුනු දෙමහල් ගොඩනැගිල්ල තිබ්බෙ ඉස්කෝලෙට ඇතුළු වෙන තැනම වම් පැත්තෙ.... පන්තිය ඉස්සරහ පත බාස්කට් බෝල් කෝට් එක... ඒක මැදි කරගෙන අශ්ව ලාඩමක හැඩයෙන් එක පැත්තක පන්ති කාමර එක්ක තවත් දෙමහල් බිල්ඩිමකුත් අනිත් පැත්තෙ ඒ වගේම පුස්තකාලයත් තිබුණා... බිම් මහලෙ තිබුණු අපේ පන්තිය පිටිපස්සෙ තිබුණෙ හිස් ඉඩමක්... ඒ වෙනකොට එතැන විද්‍යාගාරයක් හදන්න සැලසුම් සකස් කරල තිබ්බත්, අපිටත් වඩා උස් පඳුරු වැවිල තිබුණා ඒ ඉඩම් කෑල්ලෙ.... ඒ වගේම ඕකෙ කොණක අනාරක්ෂිත ළිඳකුත් තිබුණු නිසා ළමයින්ට තහනම් කරල තිබ්බෙ ඒ පැත්තට යන එක... ඒ ළිඳ ගොඩක් ගැඹුරු එකක් නමුත් කවදාවත් වතුර හිඳෙන්නෙ නැති එකක් බවත් කටින් කට ගිය කතා වලින් අපි දැනගෙනයි හිටියෙ.... ඒ නිසා පායන කාලවලදි අතින් වතුර ඇදගන්න පුළුවන් විදියට ළිං කටේම පැත්තකින් කොටන් වගයක් දාල කකුළ තියාගන්න පහසු වෙන්න හදල තිබ්බ.... ඔය කියාපු පන්තියේ ඉන්න කාලෙ අපට පන්ති කාමරයෙ පිටිපස්සෙ ජනේල වලින් ඔය ළිඳ හොඳට පේනව.... ඒ උනාට ඒක අපේ අවධානයට එච්චර ලක්වෙච්චි තැනක් නෙවේ....අපිට වෙන වැඩ නැතුවයැ...  නැද්ද...

ඔන්න ඉතින් දැහැමෙන් සෙමෙන් ඔය පන්තියේ රජ කරගෙන ඉන්න කාලෙ හොඳ පෑවිල්ලකුත් ආව.... සමහරදාට අහම්බෙන් අපිට පේනව ගමේ මිනිස්සු ඉස්කෝලෙ වටේට ගහල තිබ්බ කටු කම්බි වැට ඈත් මෑත් කරල, කළ ගෙඩි එහෙම උස්සගෙන ඔය ළිඳ ළඟට ඇවිත් වතුර අරන් යනව හෙම... ඒ නිසාමද කොහෙද ළිඳ වටේ නම් හොඳට සුද්ද බුද්ද කරල තිබ්බ.... ඒත් ඉස්කෝලෙ ළමයින්ට තිබ්බ තහනම එහෙමම තිබුණා... උන්ට එතැනට ගියේ නැතුවට ඉස්කෝලෙ වටේ තිබ්බ ටැප් ටික නියඟෙට හිඳිල නොතිබුනු නිසා වතුර වලින් අහේනියක් තිබ්බෙ නෑ....

මේ කියන දවසෙ අන්තිම පීරියඩ් එකට කලින් එකේ අපට උගන්වන්න නියමිතව හිටිය ගුරුවරයා ඇවිත් හිටියෙ නෑ... අපිත් ඉතින් ටිකක් ඈණුම් ඇර ඇර හේම ඉඳලා එහාට මෙහාට ඇවිද ඇවිද සුපුරුදු පච දෙසිල්ල පටන් ගත්තා... ඔය අන්තිම පීරියඩ් වලදි අපි අනිත් වෙලාවට වඩා පොඩ්ඩක් රිලැක්ස්... මොකද ඒ වෙනකොට හවස හතරහමාර විතර වෙලා නිසා අපේ ප්‍රින්සිපල්තුමා ගෙදර ගොහින්.... ඒ නිසා ගුරුවරුත් රිලැක්ස්.... වැරැද්දක් කරල අහු උනත් ඉස්කෝලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර නිකම් තියෙන මොකද්ද එකේ ටින් කිරි ගාගෙන වෙලාවට ගෙදර යාගන්න නොලැබෙන නිසා ගුරුවරුත් බොහෝ වෙලාවට ළමයි නිශ්ශබ්ද කරගෙන ඉන්න උත්සාහ කරනව මිසක් ලොකුවට දඬුවම් දෙන වැඩ හෙම කරන්න යන්නෙ නෑ.... ඉතින් අපේ කෑගැහිල්ල අනිත් පන්තියට උගන්වන්න බැරි තරමට කංකරච්චලයක් වෙනකොට ඒ ඉන්න ගුරුවරයෙක් තමයි ඇවිත් තරවටු කරල යන්නෙ.... නැතිනම් පන්තිය ඉස්සරහ කොරිඩෝව දිගේ ස්ටාෆ් රූම් එක පැත්තට යන ගුරුවරයෙක් අහම්බෙන් නැවතිලා පන්තිය ඇතුලට හොස්ස පොවලා පොඩ්ඩක් ගෝරනාඩුව දාල යනව.... අපි සැලෙයි එව්වට....

ඒත් මෙදා පන්තිය ටිකක් වෙනදට වඩා නිශ්ශබ්දයි... ඒ නිසාම මොකක්ද මේ අරුමය කියලා ටිකක් වටපිට බලනකොට පෙනුනා පිරිමි ළමයි ටික අර පන්තිය පිටිපස්සෙ ළිඳ පේන ජනේලෙට ගහල තිබ්බ දැලේ එල්ලිලා, අපි දිහාත් සැරින් සැරේ හැරි හැරි බලන ගමන්, සුටු පුටු ගගා මුමුණ මුමුණ මොකක්දෝ දිහා බලන් ඉන්නව හිනාවෙවී.... අපිත් ඉස්සි ඉස්සි බැලුව මොකක් දිහාද මුං බලන් ඉන්නෙ කියල... ඔළුගෙඩි ටිකට වැහිල මොකුත් පෙනුනෙ නෑ... දැන් අපේ කුචුහලේ උපරිමයි.... ඔන්න ඒ ගමන අරුන් කිහිප දෙනෙක් දැල ළඟින් මෙහාට වෙලා ඩබල් දාල ගියා පන්තියෙන් එළියට.... අපි හිතුව ටොයිලට් එකට හරි පුස්තකාලෙට හරි ගියාය කියල... ඔහොම කුට්ටම් කිහිපයක්ම එළියට ගියාට පස්සෙ ඔන්න ඉඩක් පෑදුනා අපිටත් මේ මොකක්ද බොලේ කියල බලන්න...

මාත් අනිත් එවුන් ටිකත් පෙරලගෙන ගියා මොකක්ද කියල බලන්න... ඉතුරු වෙලා හිටපු කොල්ලො ටිකත් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා අපිට ඉඩ දුන්න... අනේ සංසාරේ අර කියාපු ළිඳ ළඟ අක්කා කෙනෙක් නානවා.... උන්ද නාන්නෙ සුදු පාට තුනී දිය රෙද්දක් ඇඳගෙන.... කට්ටියට විෂුවල් මැවෙන්න ඇතිනෙ.... අන්න එහෙම තමා... ඉතින් අපිත් කෙල්ලො කියල නෑ, කට කණේ තියාගෙන බලන් ඉන්නව.... මෙන්න බොලේ ටික වෙලාවක් බලන් ඉන්නකොට අර අපේ පන්තියෙන් පිට වෙලා ගිය කොල්ලො සෙට් එක, තහනම් අඩවියත් පහු කරගෙන සීන් එකට එන්ටර් වෙනව අපිට පෙනුනා... 'අන්න යකෝ ටොයිලට් යන්න ගිය එව්වො...' කවුද කොල්ලෙකුට එහෙම කියැවුනා... එතකොටම ඉස්සෙල්ලට වැඩිය ඉඩ කඩ පෑදෙනව දැනුනම පස්ස හැරිලා බලනකොට කොල්ලො දෙතුන් දෙනෙක් පන්තියෙ ඉතුරු වෙද්දි අනිත් උන් ටිකත් පන්තියේ දොරෙන් පෝලිමට නොපෙනී යනවා දැකගන්න පුළුවන් උනා... එතකොටම කෙල්ලො පොදිය ජනේලෙ ගාව පිරුනු නිසා මං කළේ ළඟම තිබ්බ පුටුවක් ඇදල අරගෙන ඒක උඩට නැග ගත්තු එක....

දැන් මට පේනව අර කොල්ලො ටික ගිහින් අක්කත් එක්ක කතා කර කර අවුරුදු ගාණක් සා පිපාසාවෙන් පෙලිච්චි උන් වගේ එයාගෙන් වතුර ඉල්ලන් බොනව... උන්දැත් උනුත් එක්ක හිනාවෙවී කතා කර කර, නාන එකත් පැත්තකින් තියල වතුර ඇද ඇද කොල්ලන්ගෙ බොකුටු කරගත්තු අත්වලට හෙමින් සීරුවේ වත් කරනවා.... අක්ක දෙකට නැමිල වතුර වත් කරනකොට සමහර කොල්ලො අක්කගෙ පිටිපස්සට ගිහින් ෆොටෝ ගන්නව වගේ අභිනය දක්වනවත් පෙනුන... සමහරුන්ට නවත්ව ගන්න බැරි තරම් හිනායි.... මෙන්න තව චුට්ටකින් පේනව අපේ පන්තියෙ කොල්ලන්ට අමතරව වෙන පන්තියක කොල්ලොත් දෙතුන් දෙනෙක් සීන් එකට එන්ටර් වෙනව... දැන් හෙන කොල්ලො පොදියක් එතැන... මම තව තවත් ඕනෑ කමින් බොහොම උනන්දුවෙන් බලන් හිටිය මොකද වෙන්නෙ කියල...

එකපාරටම මට දැනුන කවුරු හරි පුටුව උඩ නැගල හිටපු මගේ සුදු ගවුමෙ සායෙන් අදිනව... මං හිතුව තව කාට හරි පුටුව උඩට එන්න ඕන වෙලාය කියල... 'ඔය තව පුටු තියෙන්නෙ... එයින් එකක් ගනින්කො මේකම ඉල්ලන්නෙ...' කියල මම පස්සවත් නොබල කිව්වෙ සීන් එක දිහා බලාගෙනමයි... ටිකකින් මට දැනුනා මගේ දකුණු අතේ උඩ බාහුවට කවුරු හරි පොඩි තට්ටුවක් දානව... 'මොනාද බං... චුට්ටක් හිටහංකො... මළ වදේ...' කියල මං මූණත් හපුටු කරගෙන, මගේ අතට තට්ටුව දාපු අත අල්ලගත්තෙ ඇදල අරන් තල්ලු කරල දාන්න හිතාගෙන.... මගේ අතට අහුවුනේ ගොරෝසු පත අතක්... යකෙක් අල්ලගත්ත තරමට බය වෙච්චි මම හෑහ් ගාල හුස්මකුත් අල්ලනගමන් අහුවෙච්චි අත ගසල දාල පස්ස හැරිල බැලුව... යකෝ අපේ විද්‍යා සර්...!!!

මගේ ඉහේ උකුණො හිටිය නම් උන් ටිකත් බිමට පනින්නැති මට දැනුනු ලැජ්ජාවට.... මට කර කියාගන්න දෙයක් නැති උනා... මං දඩි බිඩි ගාල පුටුවෙන් බිමට බහිනකොට වැටෙන්න ගිය පාර සර්ම මාව අල්ල ගත්ත.... පන්තියේ අනිත් කෙල්ලො ටික මුල්ලකට පොදි ගැහිලා අත් වලින් කටවල් වහගෙන ඇස් වලින් පුපුරන්න හිනා වෙනවා... පරිච්චියො.... නිකමටවත් මට කිව්වෙ නෑ සර් එනවැයි කියල....

සර් වචනයක්වත් කතා නොකර ජනේලෙ ළඟට ගිහින් බැලුව මං බලන් හිටිය දිහා.... එයාගෙ කට කොණට හිනාවක් නැගෙනව මං බලාගෙන.... සර් මං දිහාවට නෝන්ඩි බැල්මක් දාල ඇහුව 'අර මේ පන්තියෙ පිරිමි ළමයි ටික නේද ළිඳ ළඟ ඉන්නෙ...?' කියල...මං මොකුත් නොකිය ඉහළට පහළට ඔළුව හෙල්ලුව.... සර් උඩ ඉඳන් පහළට මං දිහා බලල 'පන්තියේ මොනිටර් උනාම ඔහොමද අනිත් අයටත් ආදර්ශයක් වෙන්න හැසිරෙන්නෙ....' කියල ඇහුවෙ හිනාවක්  හංග ගන්න ගමන්.... හත්තිලව්වයි.... මට මං පන්තියෙ මොනිටර් බව මතක් උනේ එතකොට... 'මට අම්මව හම්බු වෙයිනෙ...' කියල මට ඇහෙන්න හෙමින් කියපු සර් කට්ටියටම වාඩිවෙලා නිශ්ශබ්දව ඉන්න කියල ගියේ කොල්ලො රොත්ත අරන් එන්න....ෂික්... වැදගැම්මක් ඇති දෙයක් බලන්න ගිහිල්ල නම් ඒත් කමක් නැ... මේ කෙල්ලෙක් නාන එකක්... හයියෝ...

සර් ගියපු ගමන් මං හැරුනෙ කෙල්ලො ටික දිහාට... 'තොපි නිකමටවත් කිව්වෙ නෑ මට සර් එනවැයි කියල නේද...'
'අපි දැක්කෙත් සර් පන්තිය ඇතුලටම ආවට පස්සෙ බං... අරකි උඹේ සායෙන් ඇද්දෙ ඒ නිසා... කොහෙද... උඹට මේ ලෝකෙ සිහියක් තිබ්බයැ...' කවුදෝ කිව්ව....


Monday, 11 February 2013

අදනෙ දැක්කෙ....

මේ සිදුවීම උනෙත් අර 'මකියගෙ පස්ස' කතාව සිද්දිය උනු ඔෆිස් එකේ වැඩ කරන කාලෙදිමයි... එතැන අපිත් එක්ක වැඩ කළා තිලකසිරි කියල හාදයෙක්... මේ මනුස්සයා හරිම ජොලි පොරක්.. මිනිහා සාමාන්‍යයෙන් දෙයක් කිව්වත් ඒවට දාන ආරළු බූරළුවලට හිනා යනවා... ඒ නිසා තිලකෙත් එක්ක වැඩ කරනකොට වෙලාව ගතවෙනව දැනෙන්නෙනෑ... සමහරදාට මං වැඩ ඇරිලා එනකොටත්, පාරෙදි, මිනිහා කියපුව මතක් උනාම තනියම හිනා යනවා.... අහළ පහළ මිනිස්සු දැක්කොත් පිස්සුය කියල හිතයි කියල බයට හිනාව නවත්තගන්න අත රිදෙන්න කොනිත්තා ගත්තු වාර අනන්තයි....

අපේ ලන්ච් රූම් එකේ තිබුණා ටීවී එකක්... දවසක් අපි කෑම කාලා කයියක් ගහගෙන ටීටී එක දිහා බලන් ඉන්නවා... අපිත් එක්ක හිටියා නලින් කියල අවිවාහක හාදයෙක්... මිනිහා එතකොට කසාද බඳින්න කෙල්ලෙක් හොය හොයා හිටියෙ... එයා හෙව්වෙ ඉටි රූපයක්... ඉතින් අනිත් උන් බනිනවා 'ලස්සන කෙල්ලො බොට කැමති වෙන්න බෝත් හැන්ඩියෙක් වෙන්න එපායැ' කියලා... ඒ මොනව කිව්වත් මිනිහ නෙවේ එයාගෙ ස්ථාවරය වෙනස් කළේ... ඉතින් මේ කියන දවසෙ ඔන්න ටීවී එකේ යනවා බ්‍රිට්නි ස්පියර්ස්ගෙ සින්දුවක්... ඒ කාලෙ එයා දැන් වගේ නෙවෙයි... ලස්සන ස්ලිම් ඇඟක් එහෙම තිබුණා... ඉතින් ඕක බලන් ඉඳලා නලින් කියනවා 'ඔන්න ඔහොම එපායැ කෙල්ලො ඉන්න' කියලා...ඒක ඇහුනු තිලකෙ කියනවා 'ඕකෙ මොන හැඩක්ද බං... ඉඳල හිටල ජිල් බෝලයක් ගහන්න සයිස් බුරියක්වත් තියෙන්න එපායැ..' කියලා....

ඒ කාලෙ අපේ කාකාස මහත්තයා හැමදාම උදේ පාන්දරට අපි එක එක්කෙනාගෙ මේස උඩින්, රත් කරලා නිවපු වතුර බෝතලය බැගින් ගෙනත් තියනවා... ඕක හම්බ වෙන්නෙ දවසට එක සැරයයි... හැමදාම ඉස්සෙල්ලම තමුන්ගෙ වතුර බෝතලේ ඉවර කරගන්නෙ නලින්... ඒ කරලා අනිත් උන්ගෙ වතුර ටික ඉවර කර කර ඇවිදිනවා...තිලකයට ඕක දිරෙව්වෙම නෑ... එක දවසක් නලින් තිලකෙගෙ වතුර බෝතලේට අත ගහනකොටම මූ කියනවා 'මචං අපි කසාද බැඳපු මිනිස්සු.... අපේ කටවල් හොඳ නෑ.. උඹ තනිකඩය හින්දා අපි කට ගහපු බෝතල් වලින් බොන්න යන්න එපා බං' කියලා... හයියෝ... කට්ටිය ඊට පස්සෙ ඕකට තව තව ඒව එකතු කරල කිව්ව... අනේ ඉන් පස්සෙ නලියා කවදාවත්  අනුන්ගෙ බෝතල් වලින් වතුර බොන්න නම් ආවෙ නෑ...

දවසක් අපි වැඩ කරන වෙලාවක ජනේලෙ අයිනට වෙලා පාර බල බල හිටපු උපාලි එක පාරටම කෑ ගැහුව 'අඩේ ඔන්න මචං පුක් නිමලෙය එනව, මං මාරු..' කියල... ඒක ඇහුන විතරයි මිනිහා විතරක් නෙවේ අනිත් උන් ටිකත් පුටු ටිකත් පෙරලගෙනම වගේ එළියට ගියා කොහේ ගියාද දන්නෑ... ඉතුරු උනේ අහිංසක තිලකයා විතරයි... ඒ දවස්වල අපි දෙන්නම ලොකුම ලොක්කත් අත දාපු කේස් එකක් ඉක්මනට ඉවර කරන්න මැරීගෙන වැඩ කරපු හින්දාත්, ලොක්ක සැරින් සැරේ කෝල් කර කර මිනිහගෙන් අරක මේක අහන හින්දාත් මිනිහට හෙල්ලෙන්න විදියක් තිබ්බෙ නෑ... මං තිලකෙගෙ මූණ බලනකොට මිනිහගෙ මූණත් වෙනස් වෙලා දාඩියත් දාල තියෙනව මං දැක්කා... 'ෂිහ්..' කියලා මිනිහා කියපු විදියට මං ඇහුවා 'මොකද තිලකෙ..?' කියලා...
'මියුරු, ඔළුව උස්සලවත් බලන්නෙ නැතුව ෆයිල් එකටම ඔළුව ඔබාගෙන ඉඳින්... මං පස්සෙ කියන්නම් විස්තරේ..' කියල කියපු මිනිහා තවත් ෆයිල් දෙක තුනක් කොහෙන්දෝ ඇදලා අරගෙන  මේසෙ උඩට දැම්මා විතරයි අපේ අංශෙ දොරින් ඇතුළු උනේ උස මහත අවුරුදු හතළිස් පහක විතර පෙනුම ඇති මනුස්සයෙක්...

මම ටක් ගාලා ෆයිල් එක දිහා බලාගත්තා... තිලකෙයා ගජ රාමෙට වැඩ ඔළුව උස්සන්නෙවත් නැතිව...
'ආ තිලකේ... වැඩ වගේ...' පොර කියනව ඇහුනම මං හොරැහින් තිලකසිරි දිහා බැලුවා...
මිනිහට ඇහුනෙ නැති ගාණයි... මටත් ඔළුව උස්සලා බලන්න එපා කිව්ව නිසා මාත් කරබාගෙනම හිටියා උනාට අවධානයෙන් හිටියෙ මොකක්ද මෙතන වෙන්නෙ කියල... වෙනද මෙහෙම දේවල්වලට හිනා ගියාට එදා නම් මොකක්දෝ හේතුවකට මට හිනා ගියෙත් නෑ... 
'ආ... මේ කෙළි පැටික්කියෙකුත් ඉන්නෙ..' ඒත් අපි දෙන්නම සද්ද නෑ...
බැරිම තැන 'මොකක්ද බං ඔච්චර ෆයිල් එකේ මූණ අලවං කරන වැඩේ...?' කියාගෙන මිනිහා මං හිටිය තැන පහු කරලා වටෙන් ඇවිත් තිලකසිරි ගාවට ගිහින් හිටගත්තා විතරයි තිලකය නැගිට්ටා පුටුව පස්සට දාලා විදුලි සැරයක් වැදුන වගේ... බය වෙච්චි පාර මටත් නැගිට්ටවුනේ ඉබේටම... ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිව මමත් හිටියෙ...
ටිං ගාලා මගේ පුටුවත් තල්ලු කරගෙන මිනිහා අනිත් පැත්තට ගියේ 'මේ ලොක්කගෙ කේස් එකක්' කියාගෙන...
'කෝ බං මේකෙ ඉන්න අනිත් උන්..? ඔන්න ඕක ඔය එකෙකුට බාර දීල වරෙන් යන්න මේ කේස් එකට...' කියූ මනුස්සය අතේ තිබ්බ ෆයිල් එකක් පෙන්නුව...
තිලකසිරි නෑහුනා වගේ වෙනින් ෆයිල් එකක් ඇදලා අරගෙන මට එක එක උපදෙස් දෙන්න පටන් ගත්තා අරම කරන්න මෙහෙම කරන්න කිය කියා... අර මනුස්සයත් ටිකක් වෙලා බලන් ඉඳලා 'උඹලට වැඩනෙ... මං පස්සෙ එන්නම්... යන්නම් නංගී..' කියාගෙන දොරෙන් එළියට ගියාට පස්සෙ තමයි තිලකයා හුස්මක් ගත්තෙ හරියට...

පස්සෙ බලනකොට ඒ නිමල් කියන මනුස්සයා සමරිසි පොරක්... ඒ හින්දා කට්ටිය එයාට කියන්නෙ පුක් නිමලයා කියල.... නිමල්ට තමුන් ඉස්සරහ ඉන්න පිරිමියා  කවුරු උනත් කමක් නැතිලු උන් හිටි තැන් බලන්නෙත් නැතිව එහෙන් මෙහෙන් අල්ලනවලු... ඒක තමයි අර අනිත් පුරුෂ පරාණ ටික මිනිහ එනවා කියල ඇහුනා විතරයි පටස් ගාල මාරුවෙලා තියෙන්නෙ...  මිනිහට පොඩි ක්‍රෂ් එකක් තියෙනවලු තිලකසිරි ගැන... තිලකයා බැඳලා තියෙන්නෙ පහුවෙලා නිසා ඒ මනුස්සය හිතල තියෙන්නෙ තිලකෙත් එයා වගේ කියලා... ඉතින් ඒ දවස්වල පස්සෙන් වැටීගත්තු ගමන්මලු... කසාද බැන්දමත් මිනිහ හිතල තියෙන්නෙ තිලකෙ ඒක කළේ ලෝකෙට පේන්න කියලලු... ඒක ඇහුවම නම් මට හිනා ගියා... ඒකට තවත් උල්පන්දම් දීපු සිදුවීමක් උනේ තිලකසිරිට බබාලා නොසිටීමලු... ඉතින් පස්සෙ අර පැනලා ගිය උන් ටික එකා එකා ඇවිත් නිමල් මොනවටද ආවෙ කියල විස්තර අහනකොට තිලකසිරි කිව්ව 'ඌත් එක්ක කේස් කරන්න කතා කරන්නෙ...' කියල... ඒක අහන් ඉඳලා උපාලි කියනවා 'මචං උඹ ඌත් එක්ක කේස් කරන්න යනව නම් පුකට ලෑල්ලක් ගහගෙන හරි ගාඩ් එකක් දාගෙන හරි පලයං... නැත්නම් විසුමක් වෙන්නෑ..' කියල... ඔහොම ඒවා කිය කිය කට්ටිය එදා දවසම ඇතිවෙන්න හිනා උනා...

එදා හිනා උනාට වැඩේ බරපතලකම මට තේරුනේ ඊට සතියකට විතර පස්සෙ... එදා අපි දෙන්නා ආයතනයේ වෑන් එකට අදාල කේස් එකටම සම්බන්ධ ෆයිල් තොගයයි සාම්පල් ටිකයි පටවගෙන හෙඩ් ඔෆිස් යනව ලොක්කව මුණගැහෙන්න... මෙන්න වාහනේ ස්ටාට් කරගෙන වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ ටිකක් හෙමින් ගිය නිසාද කොහෙද, කොහෙදෝ අස්සක ඉඳලා නිමල් පැන්නා වාහනේ ඉස්සරහට... තිලකසිරි ඩ්‍රයිවර් සීට් එක ළඟ තිබ්බ ජනේලෙ වීදුරුව පහත් කරගෙන හිටියෙ ඒ වාහනේ ඒසී තිබ්බෙ නැති නිසා...වාහනේ බ්‍රේක් ගහල නැවැත්තුවා විතරයි ජනේලෙ ළඟට පැනගෙන ආව නිමල් මං ඉන්නව කියල වගේ වගක් නැතුව 'ආ තිලකේ...' කියල කියන ගමන්ම  ජනේලෙන් අත ඇතුලට දාල තිලකසිරිගෙ කළවෙ මිරිකුවා... 'ඒයි.. ගනින් අත අහකට' කියපු තිලකසිරි සුක්කානම අත හැරලා අත් දෙකෙන්ම අරකාගෙ අත ඇදලා අරන් ජනේලෙන් එළියට තල්ලු කරලා වාහනේ රේස් කරගෙන ගියේ ඒ මිනිහට මොනව උනාද කියලවත් බලන්නෙ නැතිව... නිමල් ගැන අහල තිබ්බට මං ඇස් දෙකින් දකිනකම් හීනෙකින්වත් හිතුවෙ නෑ මිනිහ ඒ වගේ වැඩක් කරයි කියල... තිලකසිරි මග දිගටම නිමල්ගෙ අම්මා මතක් කර කර කුණුහරපෙන් බැණ බැණමයි ආවෙ... මං සද්ද නැතිව හිටියා මිනිහට කේන්ති ගිය එක සාධාරණ නිසා...

ඒ සිද්දියටත් පස්සෙ ආයෙම දවසක මමත් තිලකසිරිත් මොකක්දෝ වැඩකට ලොක්කව මුණගැහෙන්න හෙඩ් ඔෆිස් යන්න පිටත් උනා පයින්ම... නිතරම ඔය වගේ කුණු ගොඩවල්වලට මටත් තිලකසිරිටත් යන්න වෙච්චි හේතුවක් තමයි සාරි පොටක් දැක්කම මොන වැරැද්දකටවත් ලොක්ක කඩන් පනින්නෙ නැහැයි කියන මතයත්, තිලකසිරි කිසිම දෙයක් මග ඇරලා යන්නෙ නැතිව අතින් වියදම් කරලා හරි වැඩක නිමාවක් දකින්න උත්සාහ කරන එකෙක් වෙච්චි එකත්... පාරට ඇවිත් ටිකක් දුර යනකොට ඔන්න මට පේනවා නිමල් එනවා අපේ පැත්තට...
'තිලකේ... ඔන්න නිමලය නම් එනවා...' මං අනතුරු හඟවනකොට කලබල වෙච්චි පොර ඇහුව 'කෝ.. කොහෙද..?' කියලා..
'ඔය එන්නෙ ඉස්සරහ'...
අපිව දැක්ක නිමලයගෙ කට කිරි හට්ටිය වගේ... මිනිහත් එක්ක තව කවුද සාරිය ඇඳගත්තු බවලත් කෙනෙකුත් හිටියා... ඒ වෙනකොට තිලකසිරිට පැනගන්න අවස්ථාවක් තිබ්බෙ නෑ...
හිනාවේගෙන අපි ඉස්සරහට ආව නිමල් අර කලින් සිදුවෙච්චි කිසි දෙයක් නොසිදුවූ ගානට 'තිලකෙ.. හෙඩ් ඔෆිස් යනවද?' කියල ඇහුවා...
'ඔව් මචං... ලොක්ක හම්බවෙන්න කියල පොඩි කේස් එකකට..'
'මචං මේ මගෙ අම්මා... පිටකොටුවෙන් පොඩි බඩු වගයක් අරන් දෙන්න කියල එක්කන් ආව..' කියල නිමල් එයාත් එක්ක හිටපු ගෑණු කෙනාව හඳුන්වලා දුන්නා...
ඒක ඇහුනු තිලකසිරි එයා දිහා බලලා, 'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...

Monday, 4 February 2013

වෙනස...

අද කියන්න යන්නෙ පොඩි පොඩි කතා හතරක්... මේවා මේ ළඟදි අපට මුහුණ දෙන්න ලැබුණු අත්දැකීම් ටිකක් සහ ඒවා අහගෙන බලාගෙන ඉන්නකොට මට හිතුනු දේ...

අපේ චූටි දුවගෙ හොඳම යාළුවා ෆින්ලේ කියන ගෑණු දරුවා... එයාල දැනට අවුරුදු කිහිපයකට කලින් මෙහාට ආවෙ තස්මේනියාවෙ ඉඳලා.... ෆින්ලේගෙ අම්මා ටමාරා එහේදි කරලා තියෙන රස්සාව ලංකාවෙ සිංහල පවුලක පොඩි දරුවෙකු බලා ගත්තු එක... ඒ පවුලට පින් සිද්ද වෙන්න ටමාරලගෙ හිතේ ලංකාවෙ අය ගැන තියෙන්නෙ බොහොම ප්‍රසන්න හැඟීමක්... තවමත් ඒ ශ්‍රී ලාංකික පවුල ගැන කතා කරන්නෙ බොහොම ආදරයෙන්... ඒ හින්දා වෙන්න ඇති එයාල ආපු ගමන්ම වගේ අපිත් එක්ක බොහොම ලෙන්ගතු උනේ....

මෙහේ තියෙනවා මේ ප්‍රදේශයේ ප්‍රාථමික ඉස්කෝලවල ළමයි එකතු කරලා හදපු බෑන්ඩ් එකක්... අපේ දුවත් ෆින්ලේත් ඒකෙ ගිටාර් ගහන හින්දා මාසෙකට දවස් දෙකක් විතර මුළු බෑන්ඩ් එකම දාලා කරන පුහුණු කිරීම් වලදි ඉස්කෝලෙ ඉවරවෙලා එයාලට යන්න වෙනවා ටිකක් ඈත තියෙන වෙන ඉස්කෝලෙකට.... ටමාරා තමයි මෙයාලගෙ ප්‍රවාහන වගකීම් භාර අරගෙන ඉන්නෙ.... ඒ හේතුව නිසාම මේ පවුල අපිත් එක්ක බොහොම සමීපයි... ෆින්ලේගෙ තාත්තා සෑම්... එයාට ඩැරන් කියල අයියෙකුයි, බ්‍රිට්නි කියල නංගෙකුයි ඉන්නවා...

එක දවසක් බෑන්ඩ් එකේ පුහුණුවීම්වලට ගිහින් ආව චූටි දුව කියනවා, 'අම්මි අද අපි ප්‍රැක්ටිස් යන්න කලින් සෑම්ගෙ ගෙදරට ගියානෙ එයාට සෝෆා එකක් දෙන්න..' කියල... මට පුදුම හිතුනා... 'සෑම් ඉන්නෙත් ෆින්ලෙගෙ ගෙදරනෙ.. එයාට කෙහෙන්ද වෙන ගෙදරක්..? මං කීවා... 'නෑ අම්මි... සෑම් ඉන්නෙ ඩැරන් එක්ක වෙන ෆ්ලැට් එකක... සෑම් එහේ නෑ දැන්...' මට තේරුනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... 'මං ඇහුවා එතකොට කවුද සෝෆා එක ගෙනිච්චෙ..? කියල... 'ටමාරා අරන් ගියේ... පස්සෙ සෑම්නුත් ගෙදරින් පහළට ඇවිත් දෙන්න එක්කම ඒක උස්සල ගේ ඇතුලට ගත්තා...' ඇත්තටම සෑම්නුත් ටමාරාත් වෙන් වෙච්චි බව අපිට අළුත් ආරංචියක් උනා... මොකද පොඩි උන් ගන්න ගියාම වෙනද වගේම ඒ දෙන්නම මුණ ගැහෙනවා අපිට... එයාල කතා කර කර ඉන්නවා දකිනවා.... කිසිම වෙනසක් තේරුනේ නෑ චූටි දුව මේ කතාව කියනකම්... ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අද වෙනතුරුත් ඒ බව අපිත් එක්ක කියල නෑ...

චූටි දුවගෙම තවත් යාළුවෙක් ඉන්නවා ග්‍රේස් කියලා... එයාගෙ තාත්තා ඩේවිඩ්, අම්මා ලෝරා... මෙයාල අයිරිෂ් පවුලක්.. එයාලගෙ ගෙදර නිතරම වගේ පාටි... හැබැයි අනිත් ගෙවල්වල තියෙන ඒවා වගේ නෙවෙයි මේ පාටි... පොඩි උන්ට ඇතිවෙන්න කන්න ලැබෙනවා වගේම දරුවව ගෙනියන දෙමව්පියනුත් සහභාගි කර ගන්නවා... හරියට අපේ ලංකාවෙ වගේ... අකමැති අයවත් බලෙන්ම කතාකරලා කන්න බොන්න දීලා තමයි යවන්නෙ... ඔක්කොම කෑම හදන්නෙ, සංග්‍රහ කරන්නෙ ඩේවිඩ්... ලෝරා නෙවෙයි ඒ කිසි දෙයක් ගැන වද වෙන්නෙ.... ඔහොම ඉඳලා එකපාරටම අර පාටි නැවතුනා... ඩේවිඩ් බොහොම බිසි උනා... ග්‍රේස් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ තවත් ළමයි ටිකක් එක්ක බයිසිකලේ පැදගෙන... සමහර දවස්වලට අම්මා ඇවිත් එක්කන් යනවා... ඔහොම අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සෙ දවසක් ඩේවිඩ් බියර් එකක් බොන්න අපේ මනූට කතා කරලා ඒ බොන ගමන් කියල තිබුණා එයාත් ලෝරාත් ඊට අවුරුද්දකට විතර කලින් වෙන් උනු බව.... ලෝරා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා දරුවො කැමතිවෙලා නෑ අම්මත් එක්ක යන්න... නමුත් සති අන්තෙ අම්මත් එක්ක ඉඳලා එනවා.... නැතිනම් අම්මා මේ ගෙදරට ඇවිත් දරුවොත් එක්ක දවස ගත කරලා යනවා... ඒ තමයි ඩේවිඩ්ගෙ කතාව...

ඉතින් ඔහොම ඔය දෙවලුත් අහගෙන ඉන්න අතරෙ දවසක් මෙන්න මට එනවා කෝල් එකක් මං බොහොම මෑතකදි දැන හඳුනාගත් ලංකාවෙ පවුලක නෝනා කෙනෙක්ගෙන... මෙයාට අපි මාලා කියමු... කෝල් එක පිළිතුරු දෙන්න රිසීවරේ කණේ තියාගත්තු මට එයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ... ගෑණි හෝ ගාල අඬනවා... මොකක් හරි විපැත්තියක් වෙලා කියා නම් තේරුනා... අන්තිමට මං කළේ දඩි බිඩි ගාලා ලැහැස්තිවෙලා එයාලගෙ ගෙදර ගිය එක... මං යනකොටත් මාලා හොටු කඳුළු පෙරාගෙන ෆෝන් එක කණේ ගහගෙන තවත් කවුරුද එක්ක කතාවක්... මොකද වෙලා තියෙන්නෙ බලනකොට මෙයාගෙ මහත්තයා මෙයාව දාලා ගිහින්... නිකම් නෙවෙයි, ගෑණිගෙ කණකර බඩුයි ගෙදර තිබ්බ සල්ලි ටිකයි අතගාගෙන... 'අනේ බලන්න මියුරු.. බලන්න මේ මිනිහා කරපු වැඩේ... දැන් කොහොමද මං ලෝකෙට මූණ දෙන්නෙ... කට්ටිය අහනකොට මං මොනවද කියන්නෙ... මං මේක කිව්වෙ ඔයාට විතරයි...' කිය කිය මාලා විලාප ගහනවා... මට විතරක් කිව්වාය කියල කීවට මං ඉන්දැද්දිම තව කෝල්ස් කිහිපයක් එයාම එක් එක්කෙනාට දිදී විස්තර කියනවා මං අහගෙන, බලාගෙන.... තව කෝල්ස් කිහිපයක් මෙයාට ආවත් එක්ක... අන්තිමට එයා විසින්ම දවස ඉවර වෙනකොට වැඩේට සෑහෙන ප්‍රචාරයක් දීගෙන... 

කොහොමින් හරි දෙපැත්තකට වෙන් උනු දෙන්නා තවමත් දෙන්නගෙ යාළුවොන්ට කිය කියා බැණ අඬගහ ගන්නවා... ෆේස් බුක් එකෙන් පවා වලිය යනවා... ගිය අවුරුද්දෙ අන්තිම මාලි ලංකාවට ගියා මිනිහා හැඳි ගෑවිලා යන්න ගුරුකමක් කරන්න කියල... දැන් මේක දන්න කියන හැමෝටම විහිළුවක් වෙලා... ඇත්තටම විකාරයක් වගේ... සිද්ද වෙච්චි ලැජ්ජා සහගත වැඩ ලිව්වෙ බොහොම අඩු කරලා... පූරුවෙ වාසනාවකටද කොහෙද මේ දෙන්නට දරුවො නෑ... හිටියා නම් දරුවෙකුටවත් පාරෙ බැහැල යන්න ලැබෙන්නෙ නෑ අම්මයි තාත්තයි කරන විගඩම් හින්දා... ඒ අපේ අයගෙ කතා අංක එක...

මේ දෙවෙනි කතාව... දවසක් හැන්දෑවෙ මනූගෙ යාළුවෙක් අපේ ගෙදර එනවා, මනුස්සයා දිහා බැලුවම මතක් උනේ ලංකාවෙ හිඟන්නෙක්ව... මනූට එකපාරටම ඇහුනා 'මොකක්ද බං උඹට උනේ...?' කියලා... මෙයා දරු පවුල පිටින්ම ශිෂ්‍යයෙක් විදියට ඇවිත්, පුදුම කට්ටක් කාලා බොහොම මෑතකදි පුරවැසි භාවය ලබාගත්තු කෙනෙක්... මෙහේ ඉන්න කට්ටිය දන්නවා ඇති දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලක් ශිෂ්‍ය වීසා යටතේ මෙහේ ආවාම විඳින්න වෙන දුක් ගැහැට... මෙයා ඒවා උපරිමයෙන්ම වින්දා... 'අනේ මචං උඹට පුළුවන් නම් මට නවතින්න තැනක් සෙට් කරල දියං... ස්ටුඩන්ට් ඇකමඩේෂන් එකක් උනත් කමක් නෑ..'

පස්සෙ විස්තරේ අහල බලනකොට පුරවැසිභාවය ලැබුණු ගමන් නෝනට දොඩම් ගොඩම බදාගන්න ඕන වෙලා... නෝනා රස්සාවක් කරන්න අකැමැති නිසා මහත්තයා විතරයි රස්සාවක් කරන්නෙ... තනි පඩියෙන් පස් දෙනෙකුගෙ පවුලක් නඩත්තු කරන එක ටිකක් අමාරු වැඩක්... ඒ අස්සෙ නෝනට ඕන උනාලු කාර් එකක්... මේ මනුස්සයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයවෙලා කාර් එකක් අරන් දීලා... ඒත් නෝනට ලයිසන් නෑ..නෝනා නව පාරක්ම ටෙස්ට් එක ෆේල් වෙලා... ඒ උනාට මේ නෝනා එහෙමයි කියලා පහු බැහැලා නෑ... ළමයි තුන්දෙනත් එක්ක කාර් එක එලවගෙන එහෙ මෙහෙ යනවා... මාට්ටු උනදාට ඔක්කොම ඉවරයි... නෝනගෙ වියදමුත් බොහොම සැරයිලු.. ඒ නිසාම දැන් ක්‍රෙඩිට් කාඩ් ණය එකතු වෙලා තියෙනවලු ඩොලර් හතළිස්දාහක්.... ඒ උනාට දැන් නෝනට ඕනලු ගෙයක් ගන්න... අර මනුස්සයා අහනවා කොහෙන් ගෙවන්නද තනි පඩියකින් කියලා... නෝනා පිළිගන්නෙම නැතිලු... අන්තිමට ඒ ගෑණු මනුස්සයා කරලා තියෙන්නෙ මහත්තයගෙ ක්‍රෙඩිට් කාඩ් එකයි, ෆෝන් එකයි තමුන් භාරයට ගත්තු එක... ඒ කරලා ගෙයින් එළියට බැහැලා කෑ ගහ ගහ අහසට වැලි ගහ ගහ තමුන්ගෙ මහත්තයට සාප කරනවලු... අහළ පහළ ගෙවල්වල සුද්දොත් එළියට බැහැල බලනවලු මේ විගඩම මොකක්ද කියල... එවෙලෙම මනුස්සයා ගෙයින් එළියට බැහැල, දරුවො යන්න එපා කිය කියා අඬ අඬා ඇඟේ එල්ලෙද්දි... 'මං කොහොමද මනූ ආයෙ ඒ ගෙදර ඉන්නෙ රෙද්දක් ඇඳගෙන..' ඊළඟ පඩිය හම්බුවෙනකම් සති දෙකක් ජීවත් වෙන්න ඒ මනුස්සයගෙ අතේ ඒ වෙනකොට තිබ්බෙ ඩොලර් එකසිය විස්සයි... දැන් එයා තමුන්ගෙ ගෙදරට ටිකක් ඈතින් කාමරයක් අරන් තනියම ජීවත් වෙනවා...

 මං මේ කතා ටික කිව්වෙ මෙහේ අයගෙයි අපේ අයගෙයි මේ වගේ දෙයකදි හැසිරීමේ වෙනස පෙන්නන්න... දික්කසාදයකදි හරි වෙන්වීමකදි හරි අපේ අය බොහෝ විට වැඩේ චා කරගන්නවා විහින්ම... තමුන්ගෙ හැඟීම් පාලනය කරගන්න බැරි කමින්... අන්තිමට පාරෙ බැහැල යන්න බැරිව අනුන්ටත් විහිළුවක් වෙලා තමයි නවතින්නෙ ප්‍රසිද්ධියේ කුණු සෝදන්න ගිහිල්ලා... අපේ මස්සිනා කියන්න වගේ කක්කා දාලා ඒකට පොල්ලෙන් තලනවා... අන්තිමට අනුන්ගෙ ඇඟේ විතරක් නෙවේ තමුන්ගෙ ඇඟෙත් ජරාව... හැමෝම හදන්නෙ තමුන් නිවැරදිකාරයා කියල අනුන්ට ඔප්පු කරන්න... ඒකෙන් වෙන්නෙ ගෙයි ගිනි පිටට දීමත්, පිටත ගිනි ඇතුලට ගැනීමත්... සමහර වෙලාවට ඔය වගේ දේවලදි අනුන්ගෙ උපදෙස් පතන්න ගියාමත් වැඩේ වරදිනවා... ඒ නොදැනුවත්කමින් හෝ දැනුවත්ව දෙන උපදෙස් වැරදී යාමෙන්... ප්‍රශ්ණෙ සැබෑම තත්වය දන්නෙ තමුන් නිසා (තමුන්ගෙ වැරදි කවුරුවත් අනුන්ට කියන්න යන්නෙ නෑනෙ..) මට හිතෙන විදියට මේ වගේ දෙයකදි නිවැරදි තීරණයක් ගන්න පුළුවන් තමුන්ටමයි...

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි... මේ වගේ දෙයකදි පුළුවන් තරම් ගෙදර බිත්ති හතර ඇතුලත වැඩේ විසඳගන්න උත්සාහ කරන්න... විශේෂයෙන්ම තීරණ ගැනීමෙදි දරුවො ඉන්නවා නම් තවදුරටත් සැලකිලිමත් වෙන්න... මෙහේ නම් කවුන්සලිං වගේ දේවලුත් මේ සම්බන්ධව තියෙනවා... ලංකාවෙත් නැතිවෙන්න බෑ... එවැනි තැනකට ගිහින් උපදෙසක් ගන්න පුළුවන්... මෙහේ මිනිස්සුත් මනුස්සයොනෙ... රටට විහිළුවක් වෙන්නෙ නැතිව ඒ අයට මේ වගේ ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් ඇයි අපේ අයට බැරි...

Wednesday, 23 January 2013

යාළුවෝ....

ලියන්න දේවල් දහසක් තිබ්බත් මාස තුනක් විතර කාලයක් තිස්සෙ නොලිව්වෙ වැඩ අධික කමටත් වඩා කම්මැලිකම නිසාය කිව්වොත් නිවැරදියි.... මොන එකක්ද මන්දා මට ලියන්න හිතුනෙම නෑ.... බාගෙට ලියපු කතා තුනකුත් තියෙනව.... වෙනදට බ්ලොගක් බැලුවොත් කමෙන්ටුවක් කොටන්නෙ නැතුව නොයන මං ඒකටත් කම්මැලි උනා.... ඒත් අද නම් ඇඳෙන් නැගිට්ටෙම මොනව හරි කොටල මිසක් කොම්පියුටරය ළඟින් නැගිටින්නෙ නෑ කියල හිතාගෙනමයි.... එහෙම හිතුවට මේ වෙනකොටත් හත් අට පාරක්ම නැගිටල ගියා, අම්මි බඩගිනියි කියනකොට, මං කොම්පියුටරය ඉස්සරහ වාඩිවෙලා ඉන්න වෙලාවට වෙනද හදාගන්න තේ එකත් හදාගන්න බැරිවෙන අයට තේ හදල දෙන්න හෙම.... අවුරුද්දක් නැහිලා ලැබෙන වාර්ෂික නිවාඩුවට ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත තුනක සංචාරයකට යන්න පෙරුම් පිරුවෙ කාලෙක පටන්... ඒකට අමතර හේතුවක් ගෙනාවෙ මගේ පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙකුගෙ, වසරක ඕස්ට්‍රේලියන් ශිෂ්‍යත්වය....පොඩි අමතර කතාවකුත් කියන්නම්කො මේ එක්කම...

මම කලින් කියල තියෙනවනෙ මං ඉගෙන ගත්තෙ දකුණු පළාතෙ මිශ්‍ර පාසැලක කියල... ඒ වගේම ඉස්කෝලෙ යනකොට අලි ඔළුව දාගෙන හිටපු හැටිත් කිව්වනෙ... මගේ ඔය ආකල්ප වෙනස් කරපු දෙයක් සිද්ද උනේ මං ඕ ලෙවල් පන්තියෙ ඉන්දැද්දි... මගේ පුංචි කාලෙ පටන් බඩ බැඳගත්තු යාළුව රශ්මි ගැන අහල පුරුදුයිනෙ මගේ බ්ලොග් එක කියවපු යාළුවන්ට... මේ කාලෙ වෙනකොට රශ්මිලගෙ පවුලෙ කවුරුවත් ස්ථිර රැකියාවක් නොකරපු නිසාත්, හතර දෙනෙක් ඉගෙන ගත්තු නිසාත් එයාලට ගොඩක් ආර්ථික අපහසුකම් තිබුණා... ඒ නිසා අපේ අම්ම කළේ රශ්මිව එක්කන් ඇවිත් අපේ ගෙදර නවත්තගෙන ඉස්කෝලෙ ඇරපු එක....   රශ්මිට ඉගෙන ගන්න හැකියාවක් තිබුණත් එයාට පොතක් පාඩම් කරන්න බැරි බව මට තේරුණේ මේ කාලෙදි... මොකද ගෑණි පොත අරගෙන යන්නෙ ඇඳට... ඉතින් ටිකකින් ග් ර් ර් ර්...ටොඃ... ගානව ඇහෙනව.... එයා සම්පූර්ණයෙන්ම විභාගවලට ලිව්වෙ පන්තියෙදි උගන්වනකොට ඔළුවට යන දේවලින්.... හැබැයි ඉංග්‍රීසිවලට නම් පන්තියෙ වැඩිම ලකුණු ගත්තෙ එයා... ඒක තමයි එයා ආසාවෙන්ම ඉගෙන ගත්තෙ... පාඩම් කරන්න ඕනත් නැහැනෙ... එහෙම උනාට කවදාවත් පන්තියෙ පහළොස් වෙනියගෙන් පහළට ගියෙත් නැහැ... මොකද අනිත් ලකුණු වලින් මොන තරම් පහළට ගිහින් තිබ්බත් ඉංග්‍රීසිවල ලකුණු ලැබුණු ගමන් ගෑණි රූං ගාල උඩ...

ඉතින් ඔහොම ඉන්න කාලෙ තමයි මට තේරුනේ, මං රශ්මි වෙනුවෙන් මොනවා කළත් එයාගෙ හිතේ මං ගැන තරහක්, ඉරිසියාවක් වගේ දෙයක් තියෙනව කියල... එයා මගේ අනිත් යාළුවොන්ට මං කිව්ව කියල එක එක දේවල් කියල තිබ්බ... එයාල ඒව පිළිගත්තා රශ්මි ඒ වෙනකොට හිටියෙ අපේ ගෙදර හින්දා... එහෙම කරන කොට අනිත් යාළුවො මගෙන් ඈත්වෙලා රශ්මිත් එක්ක වෙනම කඳවුරක් උනා කියන එක මට තේරුනා... ඒකට මගේ හිත හොඳටම රිදුනා... මොකද මං එහෙම දෙයක් රශ්මිගෙන් කවමදාකවත් බලාපොරොත්තු නොවුනු නිසා.... ඔය හේතුව නිසා ඒ ලෙවල් පන්තියට යනකොට අර පහළ පන්තිවල බඩ බැඳගෙන හිටිය යාළුවොන්ගෙන් මං බොහොම ඈත්වෙලායි හිටියෙ...

අපි ඒ ලෙවල් පන්තියට යනකොට, හැමදාම නොයෙක් විදියේ අත්හදාබැලීම් කරන අපේ ඉස්කෝලෙ, එක පන්තියක් හැදුවා ඩී 6 කට වඩා ගත්තු බයෝ, මැත්ස් කරන ළමයි දෙගොල්ලොම දාලා... (ඒ කාලෙ තිබ්බෙ විෂයයන් 8ක්, දුන්නෙ ඩී, සී එස්, එෆ්... දැන් නම් මේවා වෙනස්නෙ... ) එතැනදි අර 1 පන්තියේ ඉඳල ඕ ලෙවල් වෙනකම්ම මාත් එක්ක හිටිය රශ්මි වැටුනෙ වෙන පන්තියකට.... මේ පන්තියෙදි මා වටා එකතු උනා අළුත්ම යාළුවො ටිකක්... විශ්වාස කරන්න මේ ඔක්කොම පිරිමි ළමයි.... උන් අතරෙ අර කෙල්ලො අතර තිබ්බ කුඩුකේඩුකම් මොකුත් තිබ්බෙ නෑ... ආයෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම යාළුවො.... අන්තිමට ඒ පන්තියේ සාර්ථක භාවය කෙසේද කිව්වොත් පන්තියේ හිටපු 50% කට වැඩිය අද වෙනකොට දොස්තරල, ඉංජිනේරුවො, කථිකාචාර්යවරු.... එක මහාචාර්යවරයෙකුත් ඉන්නව කියල ආරංචි උනා.... (මේ අය මෙහෙම වෙද්දි මට මොකද උනේ කියන එක වෙනමම ලිවිය යුතු කතාවක්... ) ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු පහක් හයක් යනකම්ම මේ යාළුකම් බොහොම සමීපව පවත්වාගෙන ආවත්, කට්ටියට රස්සාවල් ලැබිලා එක එක දිහාවලට යන්න සිද්ද උනාම ඒ ළඟ සම්බන්ධකම් ඉබේම නැතිවෙලා ගියා.... පසු කාලෙක අහම්බෙන් තමයි අපිට කතාකරන්නවත් ලැබුණෙ... ඒත් දුරකථනයෙන්.... මෙයින් එක යාළුවෙක් තමයි ඔය ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවට ආව කිව්වෙ....

මෙයාට සමීර කියමු.... සමීර ඉහළම සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්... එයා මගේ පොඩි මස්සිනා එක්ක ළඟින්ම ආශ්‍රය කරපු නිසා මගේ විස්තර, දුරකථන අංක එහෙම දැනගෙනයි හිටියෙ.... (තව දෙයක් කියන්න ඕන... මගේ මහත්තයා හැරුනුකොට අපේ පවුලෙ අනිත් පස් දෙනාම - කසාද බැඳපු අයත් එක්කම - ගියේ එකම ඉස්කෝලෙට... ඒ වගේම මගේ චූටි නංගි ඇරුනහම අනිත් පස් දෙනාම ගියේ එකම විශ්වවිද්‍යාලෙකට... ඒ නිසා බොහෝ වෙලාවට එක්කෙනෙකුගෙ යාළුවො අනිත් අයවත් හොඳටම දන්නවා... ) ඉතින් සමීර මෙහේ ආව ගමන් කළේ ටික ටික අපේ පන්තිවල හිටපු, දැනට කැන්ගරු දේශෙ වසන කට්ටියව එකතු කරපු එක... අන්තිමට එයා හිටපු පළාතෙන් විස්සකට වැඩිය පිරිසක් එකතු කරගෙන ගෙට්ටුවක් දාන්නත් පුළුවන් උනා... ඔය ගෙට්ටුව වෙලාවෙ මගේ විස්තරත් අනිත් අයට ලැබෙන්න සලස්වලා තිබ්බා සමීර විසින්... බලනකොට මගේ පන්තියේම හිටිය යාළුවො, කොල්ලො අට දෙනෙක්ම ඒ අහළින් පහළින් අහුලගෙන තිබ්බා.... මං ඒක දැනගත්තෙ ටික දවසක් යද්දි දුරකථන ඇමතුම් එක එක එන්න පටන් ගනිද්දි... මේ අතරෙ හිටිය එක විශේෂ කෙනෙක් තමයි අර මං කලින් 'යාළුද බලපු හැටි...' කතාවෙ ප්‍රධාන චරිතය... මිනිහ දැන් සිවිල් ඉංජිනේරුවෙක්... මෙතැන එයාගෙ නම කියන්නෙ නැතිව ටී කියන්නම්කො... ටීගෙ පැය දෙකක් විතර දිග පළවෙනි දුරකථන ඇමතුමේදි තමයි අපට ආරාධනය ලැබුණෙ එහේ ඇවිත් යන්න...

ටී මගින් මගටම කිව්වා එයාලගෙ ගෙදර දවස් තුනක්වත් නැවතිලා ඉඳල යන්න ඕන කියල.... ඒත් එයාලට පුංචි දරුවො ඉන්න නිසා වදයක් වෙයි කියලත්, මනු මේ සෙට් එකව ඒ තරම්  නොදන්න නිසාත් අපි නවතින තැන් වෙනම ලැහැස්ති කරගත්තා... අනේ ඒ උනාට ගියාට පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ... අපි ටීලගෙ ගෙදර යනකොට මගුල් ගෙදරක වගේ කෑම බීම ලැහැස්ති කරල, අර පන්තියේම හිටපු කොල්ලො සෙට් එකට එන්න කියල එකම සතුටු සාගරයක්.... උන් ටික මාව පිළිගත්ත හැටි මතක් වෙනකොට ඇහැට කඳුළුත් එනවා.... ඔක්කොගෙම ළමයි ටික එකතු වෙනකොට දහ අටක් විතර... දැන් මතක් වෙනකොට මහ උන් ටිකයි ළමයි ටිකයි කොහොම අර ගෙදර හිටියද කියල හිතාගන්නවත් බෑ.... අවුරුදු පහළොවකට වැඩි කාලයකට පස්සෙ අපිව දැකපු අපිට හිනාව නවත්තගන්න බැරි උනා.... එදා වගේම නොවෙනස්ව හිටියෙ කොල්ලො දෙන්නෙක් විතරයි.... සමහරුන්ගෙ තට්ටෙ පෑදිලා... සමහරුන්ගෙ බඩවල් කට ළඟ... හරියට එයාලගෙ ළමයි වදල තියෙන්නෙ පිරිමි ටික වගේ... ළඟින් ගියත් අඳුන්න බැරිවෙන තරමට වෙනස් වෙලා තිබ්බෙ ටී.... මිනිහට ඉස්කෝලෙ යන කාලෙ ලස්සන කොණ්ඩයක් තිබ්බා... හරියට ඉතින් ඊට පස්සෙ කතාවෙ කැළුම්ගෙ වගේ.... ඒ කොණ්ඩෙන් ගහක්වත් ඉතුරුවෙලා නෑ.... ඒ මදිවට ඉස්කෝලෙ යන කාලෙ උපරිමයට ක්‍රීඩා කරපු ටීව තමයි ලොකුම බඩාට තේරුනෙත්.... ඊට පස්සෙ ඉතින් අපි එකතුවෙලා ඇවිද්දා... හැම ගෙදරකටම ගොඩවෙලා සංග්‍රහ භුක්ති වින්දා.... 31 වෙනිදා රෑ ලොකුම සාජ්ජෙ තිබ්බෙ ටීලගෙ ගෙදර... රෑ එළිවෙනකම් ගිටාර් ගගහා ටින් බෙලෙක්කවලට තල තල සින්දු කිව්වා...නෝනල ළඟ ඉන්නවද බල බල ඉස්සර කරපු කුපාඩි වැඩ, කෙල්ලො පස්සෙ ගිය ඒවා, දැන් උන්ට මොකද වෙලා තියෙන්නෙ කියන ඒව මතක් කරපු එක තමයි ලස්සනම.... මනු ටීගෙ කතාව දැනගෙන හිටියට ටී දන්නෙ නෑනෙ ඒ වග... අනිත් අය හිතුවෙ මනුට තේරෙන්නෙ නෑ කියල ඒ කතාව එහෙන් මෙහෙන් හින්ට් වලින් මතක් කරනකොට... මනුත් නොතේරුනු ගානට හිටිය... ටී හිටිය තිත්ත කසාය බීපු ගොළුව වගේ.... දැන් මතක් වෙනකොටත් හිනා යනව.... ඊට පස්සෙ අළුත් අවුරුද්ද ලබනකොට අපේ ලංකාවෙ ඉන්න යාළුවො සෙට් එකට සුභ පතලා එකම වෙලාවට වෙන වෙනම එස් එම් එස් යවපු එක තමයි අනිත් ලස්සන වැඩේ.... උන්ට හිතාගන්න බැරි උනා කොහොමද මේ එකක් පස්සෙ එකක් මැසේජස් එන්නෙ කියල... පස්සෙ කෝල් කරලා හැමෝම කතා කරල උන්දලාවත් කුලප්පු කරල තිබ්බ.... ඊට පස්සෙ දවසක බ්‍රිස්බේන්වල ඉන්න යාළුවෙක්ව බලන්න එයාලගෙ ගෙදර යනකොට රෑ දොළහත් පහුවෙලා... ඒත් කිසිම මහන්සියක් බලන්නෙ නැතිව හෝටලේටම ඇවිත් අපිව එක්කගෙන ගිහින් කන්න බොන්න දීලා හෝටලේටම ඇරලනකොට පාන්දර දෙකත් පහුයි.... ඇත්තටම මනු විතරක් නෙවෙයි, මමත් පුදුම උනා එයාලගෙන් මට ලැබුණු සැලකිල්ල ගැන...

පස්සෙ ඉතින් මිතුරුකමේ හර්දයාංගම මතක සටහන් රැසක් එකතු කරගෙන අපි එයාලගෙන් සමු අරගෙන ආවත් (අපිව එයාපොර්ට් එකට ඇරළුවෙත් එයාලමයි), අපි සංචාරය ඉවර කරලා ආපහු ගෙදරටම එනකම් සැරින් සැරේ දුරකථන ඇමතුම් දීලා අපේ සුව දුක් අහන්නත්, කරදරයක් නැතිව ඉන්නවද කියල දැනගන්නත් (විශේෂයෙන්ම තැන තැන ඇවිළුනු ලැව් ගිනි හින්දා ) අමතක කළේ නෑ...

ඇත්තටම කාලෙකට පස්සෙ අව්‍යාජ යාළුවො ටිකක් මුණ ගැහිලා වින්ද සතුට කොහේ හරි අකුරු කරල තියන්න ඕන කියල හිතුනු හින්දා අළුත් අවුරුද්දෙ පළමු සටහන මෙහෙම තිබ්බා.....

Saturday, 22 September 2012

බස් එකේ ගිය පුතා....

කාටත් මතක ඇති නේද අර පෞද්ගලික බස් සේවාව ආරම්භ වෙච්චි කාලෙ ආව පුංචි ඩප්පි බස්.... සමහරු ඒවට ඩප්පි කියල කිව්ව, තවත් සමහරු පාන් බාග කියලත් කිව්ව... මං හිතන්නෙ ගම්වල තමයි මේව වැඩිපුරම දිව්වෙ කියල... ඒවයෙ යනකොට වාඩිවෙන්න ලැබුනත් පහසුවෙන් යන්න බෑ.... බස් එකේ මුල්ලට චිරි බිරිච්චි වෙලා තුන්කුදු ගැහිලා තමයි යන්න වෙන්නෙ... මැදින් වාඩිවෙච්චි එකාට නම් අජරාමර සැප ඔක්කොම ලැබෙනව.... හිටගෙන යන උන්ව, උන්ගෙ අවයව සහ උන්ගෙ කද මළු කරේ තියාගෙන යාමේ වාසනාව වගේම මුල්ලෙ ඉන්න එකා බහින්න ගියාම ලැබෙන සැප වගේ එව්ව.... හිටගෙන යන උන් ගැන නම් ආයෙ කතාකරන්නම දෙයක් නෑ... කොන්ද කෙලින් තියන් යන්න කොහොමටවත් බැරි හින්ද, හතරට පහට නැවිල කාගෙ හරි කිහිල්ලක් යටින් හරි ඔළුව විතරක් දාල හුස්ම ගන්න පොටක් පාදගෙන තමයි යන්නෙ... ආයෙ ඉතින් එන ගඩු හඳවල්, ගං හඳවල් නම් නිමක් නෑ... කවුරු හරි බහින්න ගියාම නම් ඉතින් හිටගෙන ඉන්න පොදියෙන් තුන්කාලකටම බහින්න වෙනව... පිටි පස්සෙන්ම ඉඳගෙන ආවොත් නම් ඉතින් දෙයියන්නෙම පිහිටයි...  

ඔන්න ඔය බස්, පාරෙ දුවපු කාලෙ වෙච්චි සිද්දියක් පත්තරේක තිබුණෙ මෙහෙම.... එක්තරා ගමක ඔය වගේ බස් එකක හිටගෙන යනවලු ටිකක් මොඩ් පහේ නෝන කෙනෙක්... තද රතු පාට ලිප්ස්ටික් එහෙම ගාගෙන.... ඒ කාලෙ දැන් වගේ නෙවෙයි, ගම්වල එහෙම ලිප්ස්ටික් ගාගෙන යන ගෑණු  උදවිය ඇත්තෙම නැති තරම්... ඉතින් මේ නෝනව බස් එකේ ගිය කට්ටියගෙ අවධානයට වැඩිපුර ලක්වෙලා තියෙනව.... මෙහෙම යන අතරෙ බස් එකට නැගල තියෙනව බඩු වගයක් ගෝනියකට දාගත්තු සරම්කාර මනුස්සයෙක්... ගම්වල මිනිස්සුන්ගෙ සුහද බව ගැන කවුරුත් දන්නවනෙ... දැන් ඉතින් මේ මනුස්සය අඳුනනවලු රියැදුරු මහත්තයව.... වැඩිපුර කට්ටිය ඉඳල නෑ හිටගෙන යන්න... ඉතින් මිනිහ පිටිපස්සට යන්නෙ නැතිව දෙකට නැවිල රියැදුරු මහත්තයගෙ කර උඩින් ඔළුව දාගෙන සුහද කතා බහක යෙදිල දැන් ගමන යනවලු... අනේ මෙහෙම යනකොට කොහෙද ඉඳල නොසණ්ඩාල බල්ලෙක් පැන්නලු බස් එක ඉස්සරහින් පාර හරහ.... රියැදුරු මහත්තයත් හිටු කියල ගැහුවලු සුපිරි බ්‍රේක් පාරක්.... අනේ ඉතින් අර හිටගෙන හිටිය උදවිය පොල් පොදිය වගේ ඉස්සරහට විසිවෙලා එක ගොඩේ පෙරලුනාලු... අර නෝන විසි වෙලා ගිය පාර අතට අහුවෙලා තියෙන්නෙ සරම්කාරයගෙ සරම... අයිතිකාරය අල්ලගන්න කලින් උන්ද සරමත් එක්කම බිමට පාත් වෙලා... නෝනට නැගිටගන්න ගිය වෙලාවට සමාන වෙලාවක් ගියාලු සරම අතාරින්න.... එතකම් අර මනුස්සය සරමෙ ඉස්සරහින් අල්ලගෙන පස්ස එළියෙ දාගෙන ඉන්නවලු නෝන සරම අතාරිනකම්... එතකොට තමයි බස් එකේ මිනිස්සු දැකල තියෙන්න ඒ මනුස්සයගෙ තට්ටමක තිබ්බ ලස්සන ලිප්ස්ටික් පාර... බස් එකේ මිනිස්සුන්ට හිනාව නවත්තගන්න බැරිවෙච්චි පාර ලැජ්ජා හිතුනු නෝන, කරකියාගන්න දෙයක් නැතිව මගින්ම බැහැල ගියාලු...

ඉතින් ඔන්න ඔය වගේ බස් එකක දවසක් යන්න උනාලු අර මං කලින් 'අප්පච්චිගෙ තත්තෙ රැකපු පුතණ්ඩියා' කතාවෙ කියපු මලයට.... පොර පොඩියි මේ සිද්දිය වෙනකොට.... මනුගෙ බාප්ප වගේම ලොකු තාත්තත් හිටියෙ අනුරාධපුරේ.... දවසක් ලොකු අම්ම ඇවිත් මල්ලිව එහේ එක්කරගෙන යන්න.... ඒ වෙලාවෙ ගෙදර වාහනේ නොතිබුණු නිසා කවුරුවත් ඉඳල නෑ මේ දෙන්නව ඇරලන්න... ලොකු අම්ම කියා තියෙනව 'මං පුතාව බස් එකේ එක්කන් යන්නං' කියල.... ඒ පාරෙ යන්නෙ අර කිව්ව ජාතියෙ ඩප්පි... ආයෙ සෙනග කට කපල... ඒවයෙ යන්න ඕන වා නම් වා, පෝ නම් පෝ කියල හිතාගෙන... මොකද ටික වෙලාවක් යනකම් හිතාගන්න බෑ තමුන්ගෙ මූණ ඉස්සරහ තියෙන්නෙ තව කාගෙ හරි මූණක්ද වෙන මොකක්ද කියල.... පණ පිටින් බහින්න පුළුවන් වෙයිද කියල ගැරන්ටියකුත් නෑ.... මොකද බස් එකක් යන්නෙ පැයකට විතර සැරයක් හින්ද රියැදුරු මහත්තය හරි අනුකම්පයි බුරුතු පිටින් මග බස් හෝල්ට්වල ඉන්න මිනිස්සු ගැන.... ඒ නිසා දෙකට තුනට නවල හරි දාගන්නව බස් එක ඇතුලට.... හුස්ම ගන්න පුළුවන් විදියට නාහෙ පාදගන්න පුළුවන් වෙන එකම ලොකු දෙයක්... ඒ වෙනකොට මලය කවදාවත් බස් එකක ගිහින් තිබිල නෑ.... ඉතින් පොරත් ලොකු අම්මත් එක්ක බස් එකේ ගිහින්, හවස බස් එකේම ආපහු ආවලු පුදුම සන්තෝසෙකින්..... උඩ පැන පැන අම්ම ළඟට දුවගෙන ආපු පොර කියනවලු, 'අම්මෙ, අම්මෙ... ඒ බස් එකේ ආපු අය නම් හරි ෂෝක්... මට බහිනකම්ම උම්ම දුන්න..' කියල...


Thursday, 30 August 2012

කේස් එක....



මේකත් මේ අර ගිය සැරේ කියපු ආයතනයෙම වැඩ කරන කාලෙ වෙච්චි දෙයක්.... 
ඒ කාලෙ අපිව අවුරුදු දෙකෙන් දෙකට සෙක්ශන් එකෙන් සෙක්ශන් එකට මාරු කරනවා.... මේ කියන සිදුවීම වෙච්චි දවස්වල මං වැඩ කරපු සෙක්ශන් එකේ හිටිය අයට බොහොමයක් වෙලාවට ආයතනයෙන් පිට යන්න වෙනවා එක එක වැඩ වලට.... දෙන්න තුන්දෙනා වගේම ගැන්සි පිටින් යන්න වෙන වෙලාවලුත් තිබ්බා.... ඒකෙ කස්ටමර් සර්විස් එකක් නැති නිසා සමහරදාට උදෙන් පිටත් උනාම එන්නෙ හවස, පාං කියා ගන්නවත් බැරුව.....

මෙතැන වැඩ කරපු කිහිපදෙනා අතරෙ හිටියා රංජිත් කියල අවුරුදු හතළිස්පහක් විතර පෙනුම තියෙන මනුස්සයෙක්.... පොර ළඟට එනකොට කට්ටිය ටිං ගාලා මාරු වෙන බව මට මෙතැනට ආපු මුල් දවස්වලම තේරිලායි තිබ්බෙ.... ඒත් ඒකට හේතුවක් නම් මට හිතාගන්න බැරි උනා.... ඕක අහන්න ගිහින් කොතනින් පත්තු වෙයිද කියල දන්නෙ නැති හින්දා මාත් නොදැක්කා වගේ හිටියා....

ඔන්න දවසක් රංජිත්ගෙ කේස් එකකට එළියට යන්න ලොක්කගෙන් අවසර අරගෙන ආයතනයෙ වාහනයකුත් ලැහැස්ති  කරගෙන එනකොට එකට වැඩ කරන පිරිමි පරාණ ටික වාෂ්ප වෙලා..... අනේ ඉතින් මේ මනුස්සය එහෙට දුවනව, මෙහෙට දුවනවා වැඩේට යන්න සහයට ඩැනී කෙනෙක් හොයාගන්න.... පැය කාලක් විතර දඟලලාත් පොරට බැරි උනා එකෙක් අල්ලගන්න.... බැරිම තැන මිනිහා ඇවිත් මට කතා කළාම, කේස් එක මොකක්ද කියලාවත් නොදැනම  මං එකඟ උනා යන්න.... ඒ වෙනකොට මට පොර ගැන පව් කියලා හිතිලයි තිබ්බෙ....

ඉතින් අදාල ස්ථානයත් වැඩි කරදරයකින් තොරව සොයාගෙන, ඒ ගෙදරට දාල තිබ්බ පත ගේට්ටුව ළඟට ගිහින් කිහිප වතාවක් බෙල් එක ගැහුවත් නෑ කිසිම ප්‍රතිචාරයක් ගෙදර ඇත්තන්ගෙන්..... දැන් රංජිත්ට මළ පැනලා.... මිනිහගෙ මූණ දැක්කම මට හිනා යනවා.... මං හිනා වෙනකොට මිනිහට තවත් තරහයි.... ඒ ගමන ගැහුවෙ නැද්ද පොර පයින් පාරක් අර ගේට්ටු පතේට.... හම්මා... හෙන ගැහුව වගේ සද්දයක් ආව.... ඒ සද්දෙත් එක්ක කොහෙද හිටපු බලු තඩියෙක් බුරාගෙන ආවෙ නැතැයි අපි දිහාට.... ඌව දැකපු ගමන් රංජිත් කෑ ගැහුවා, 'මියුරුවෝ දුවපං.... ඕකා කයි...' කියලා... මං පස්ස හැරිලා බලනකොට රංජිත් පාර දිගේ දුවනව හිටු කියලා.... ඒ ඇති මට.... මාත් උස්ස ගත්තා දෙපැත්තෙන් සාරිය ටිකක් උඩට... දිව්වා රංජිත්ගෙ පස්සෙන්.... බලු තඩිය එනව කඟවේනා වගේ.....එතකොටම වගේ පාර දිගේ යන්න ආව බයිසිකල්කාරයෙක්... මනුස්සයා තරඟෙට දුවන අපි දෙන්නාවයි, බලු රාලයි දැක්ක ගමන් කෑ ගැහුවා, 'දුවන්න එපා... හෙමිහිට නවතින්න...' කියලා. එතකොට මටත් තේරිලායි තිබ්බෙ දුවලා වැඩක් නෑ කියල... මාත් ඇස් දෙක පියාගෙන එහෙම්ම නැවතුනා.... ඒත් රංජිත් නෙවේ නැවතුනේ....

මෙන්න බොලේ මං නවතිනව දැකපු බලු රාළත් ගියර් එක මාරු කරලා, බ්‍රේක් ගහලා නැවතුනේ නැතැයි ටිකක් ඈතින්.... උගේ බලු ආතල් එක නැති උනාද කොහෙද..... එතකොටම වගේ එතැනට ආපු බයිසිකල්කාරයා ගල් ගෙඩියක් අරගෙන ඌට දමා ගැහුවම මේ දුවන්නෙ බලු වීරයා නගුට පශ්චාත් භාගයේ ගහගෙන..... 'මේ දඩාවතේ යන වල් බල්ලෙක් මිස්... අපරාදෙ මිස්ලා දිව්වෙ... ඌ පැන්නුවෙ ඕගොල්ලො දුවපු නිසා...'
'එතකොට ඌ අර ගෙදර බල්ලා නෙවෙයිද...' මං අර ගේට්ටුව පැත්තට අත දික්කරලා ඇහුවා...
'අපොයි නෑ..' කියලා ඒ මනුස්සයා හිනා උනා.... සික්...

ඔන්න මට එකපාරටම මතක් උනා රංජිත්ව.... මිනිහා පේන මානෙකවත් නෑ..... මං බයිසිකල්කාරයට කිව්වා 'අනේ පොඩ්ඩක් බලනවද අර පාර දිගේ දුවපු මහත්තයව අල්ලගන්න පුළුවන්ද කියලා...'
'මිස් එහෙනම් මෙතැනම ඉන්න....' කියපු මනුස්සයා ගියා රංජිත්ව හොයන්න...
මෙන්න විනාඩි දහයකට විතර පස්සෙ රංජිත් එනව අර මනුස්සයත් එක්ක බයිසිකලේ නැගලා.... ඒක දැකපු මට මැරෙන්න හිනා.... 
'මං යනකොටත් මහත්තය තාම දුවනවා මිස්....' බයිසිකල්කාරයා කට කණේ තියන් කිව්වා.... 



ආපහු ඔෆිස් එකට ඇවිත් සිද්දිය කිව්වම කට්ටිය හිනා උනා බඩවල් අල්ලගෙන... රංජිත්ට කාඩ් කෝටියයි.... අහක හිටපු මටත් එච්චරයි....
'ඕකනෙ අපි රංජියගෙ වැඩවලට ගෑවෙන්න නැත්තෙ....' කියලා එකෙක් කියනකොට මට තේරුනා කට්ටිය වාෂ්ප උනේ ඇයි කියලා උදේ.....
'මෙහෙ දීපං ඔය ෆයිල් එක... මොකක්ද කේස් එක...' කවුරු හරි බලහත්කාරයෙන්ම වගේ ෆයිල් එක අරගෙන බැලුවා.... 'අඩේ, උඹ ඇපොයින්ට්මන්ට් එක දාල තියෙන්නෙ අදට නෙවෙයිනෙ... ලබන බදාදටනෙ...' 

'කෝ...' රංජිත් ෆයිල් එක උදුරගෙන ආපහු බැලුවා....
අනිත් උන් ටිකත් ගිහින් ඌට උඩින් නැමුනා...
'මේ බං... අද නෙවේනෙ....'
'ඔව් නේන්නං...' අන්තිමට රංජිත් පිළිගත්තා....
මට ඌව මරන්න හිතුනා.... 



Sunday, 19 August 2012

මකියගෙ පස්ස.........

මේ සිදුවීම උනේ අර මං කලින් කියල තියෙන මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ, පිරිමි රාජධානියේ සේවය කරපු කාලෙ.... මං ටිකක් විතර කියල තියෙනවනෙ එතැන හිටපු එකම ගෑණු පරානෙ මං හින්දා මොනතරම් සීරුවට නූලට වැඩ කරන්න සිද්ද උනාද කියල ඒ කාලෙ.... මං විතරක් හිටපු එකෙන් අපේ පිරිමි සෙට් එක නම් පුදුම විදියට ආතල් ගත්තා මාව බයිට් කරලා.... ඒ සෙක්ශන් එක උපරිම විදියට කස්ටමර් සර්විස් තිබ්බ තැනක්.... කස්ටමර්ස්ලත් 100%ක් වගේම පිරිමි.... හරිම කලාතුරකින් තමයි ගෑණු පරාණයක් ආවෙ.... පිරිමින්ගෙම ලෝකයක්....

ඒ දවස්වල උදේ හවස අපට පොතක් තමයි අත්සන් කරන්න දාල තිබ්බෙ.... දැන් නම් ඒව වෙනස්වෙලා.... ඔය පොත අත්සන් කරන්නවත් මට නැවෙන්න බෑ ඒ කාලෙ.... ඉතින් මෝල් ගහ වගේ කෙලින් හිටගෙන තමයි ඕන මගුලක් කියල අත්සන ගහන්නෙ.... ඔතැනට ගිය අළුත දවසක් හෑන්ඩ් බෑග් එක පැත්තකින් තියලා අත්සන් කරලා ඔළුව උස්සලා බලනකොට ඒක ආ ගිය අතක් නෑ.... ඒ වෙනකොට කස්ටමර්ස්ලා ඇවිල්ලත් නෑ.... මං පණ යනකම් පුළුවන් තැන්වල හෙව්ව හෙව්වා, කට්ටියගෙන් ඇහුවා හොරාගෙ අම්මගෙන් පේන අහන්න වගේ...ම්හු... මට දැන් ඇඬෙන්නත් එනව.... මගේ සබ්බ සකලමනාවම ඒක ඇතුලෙ.... මෙන්න දහයහමාර විතර වෙනකොට අපේ ඩිරෙක්ටර් මහත්තයෙගෙන් පණිවුඩයක් එනවා එයාගෙ ඔෆිස් එකට එන්න කියලා.... එපාර ඒ මොකක්ද හෙන පතේ කියල හිතාගන්න බැරුව මාත් ඇදි ඇදි ගියා ඒ පැත්තට බොක්කෙ බිත්තර තම්බ තම්බ.... මට ඇහැ කොණින් පෙනුනා සමහරු මූණවල් හංගගෙන හිනා වෙනවත් වගේ.... ලොක්කගෙ කාමරේ තිබ්බෙ උඩ තට්ටුවේ... මං යන ගමන් කා.කා.ස. උන්නැහේගෙන් ඇහුව ලොක්ක කතා කරන්නෙ මොකටද කියා දන්නවද කියල... ඌ 'අනේ මන්දන්නෑ මිස්..' කියලා හිනාවෙලා නිකම් හිටියා.... මං ගිහින් කාමරේට ඇතුළු වෙනකොටම දැක්කෙ මොකක්ද.... ලොක්කගෙ මේසෙ උඩ දිලිහි දිලිහි තියෙන මගේ හෑන්ඩ් බෑග් එක.... මට හිතාගන්න බැරි උනා ඒක කොහොම එතැනට ගියාද කියලා....

'මේ බෑග් එක මිස්ගෙ වෙන්නැති නේද?'
ලොක්කා බෑග් එක පෙන්නල ඇහුවා....
'අනේ ඔව් සර්... මං දන්නෑ ඒක කොහොම මෙතැනට ආවද කියල...' මොනව කියන්නද කියලා හිතාගන්න බැරි වුනු හින්දා මං මෝඩ හිනාවක් දාල කිව්වා....
'ඔය නිකම් තියෙනකොට ඇවිදගෙන එන්න හිතෙන්නැති...' ලොක්ක කියපි...
'ඒකට ඇවිදන් එන්න හිතිල තියෙන්නෙ සර්ගෙ මේසෙ උඩටමනෙ' කියල කියන්න හිතුනත් මං කට පියාගෙන බෑග් එකත් අරන් ආපහු හැරෙනකොට ඉස්සරහ වීදුරුවෙන් දැක්ක ලොක්කා එක අතකින් ඇස් දෙක වහගෙන මේසෙ දිහා බලන් හිනාවෙනව.... සික්...වස නෝන්ඩිය... ඔක්කොටම වැඩිය නෝන්ඩියි වැරදිලාවත් බෑග් එක ඇරල බැලුව නම් හෙම.... ඒකෙ තිබ්බ එව්වා... හපොයි.... මං බෑග් එකත් කිහිලි ගන්නගෙන ආපහු සෙක්ශන් එකට එනකොට ඔක්කොම ඉන්නව හිනා වෙවී බලාගෙන... ඒ උනාට මගේ තරහෙන් පිපිරි පිපිරි තිබ්බ මූණ දැකපු ගමන්ම කට්ටිය ටිං ගාල පුටු හරෝගෙන තම තමුන්ගෙ මේසවලට නැමුනා.... එකෙක්වත් ඇහුවෙ නෑ මොකද උනේ කියලවත්.... මං සද්දෙ ඇහෙන්නම බෑග් එක ලාච්චුවට දාල දඩස් ගාලා වැහුවා.... එදායින් එදා මං නෙවෙයි ලාච්චුවට දාල ලොක් කරන්නෙ නැතිව හෑන්ඩ් බෑග් එක තිබ්බෙ....


ඔය කාර්යාලෙ හිටියා අපිත් එක්ක වැඩ කරපු මනුස්සයෙක් මකීම් කියලා.... පොර නියම කාලගෝල කෙනෙක්... වයස පණහකට වැඩි ඇති.... ඇෆ්‍රිකන් කළු... යටි තොල් බරිය එල්ලෙනවා.... මහතයි... කොටයි.... පොර නිතරම වගේ ඇන්දෙ තැඹිලි පාට කලිසමක්.... මිනිහට තිබ්බා මහා පත පස්සක්.... මොනතරම් සල්ලි තිබ්බත් පොර වැඩට ආවෙ මලකඩ කාලා කෑලි හැලෙන සයිස් එකේ පරණ කාර් ලඩියකින්.... මිනිහා කරපු වැඩක් තිබ්බෙ නෑ.... කාගෙ හරි මේසයක් ළඟට පුටුව ඇදගෙන ඕපදූප කියෙව්ව එක තමයි වැඩිපුරම කළේ.... මේ කියන දවස්වල මම වැඩ කරපු සබ් සෙක්ශන් එකේ හිටියෙ අට දෙනයි.... ඒකෙ මේස පුටු ඇරේන්ජ් කරලා තිබ්බෙ හෝර්ස් ෂූ එකක් විදියට.... මම හිටපු පැත්තෙ අපි හතර දෙනෙකුගෙ මේස බිත්තිය අයිනෙන් තියලා අපි වාඩිවෙලා හිටියෙ මේ  හෝර්ස් ෂූ එක ඇතුළු පැත්තෙන්.... මම හිටියෙ එක පැත්තක මුලම.... මකිය හිටියෙත් ඇතුළු පැත්තෙ මැද.... කවුරු හරි කතා කරපු ගමන් පුටුව ඇදගෙන එතැනට යන්න ලේසියිනෙ....


දවසක් මොකක්දෝ ඩොකියුමන්ට් එකක  තිබ්බ වැරැද්දක් සොයා ගත්තු මගේ කෙලින්ම අනිත් පැත්තෙ හිටපු රාජිත, ඒ කොලේ උස්සලා මට පෙන්නුවා...
'මියුරු, මේ බලන්නකො...'
ඒක ඒ මනුස්සයගෙ කටින් පිට වුනා විතරයි මකිය වැහුව එතැනට.... පුටුව එහෙම්ම දාල මිනිහා ගිහින් නැවුනා රාජිතගෙ මේසෙ උඩට....
'දැක්කද...?' රාජිත ආයෙම ඇහුවා...
 මං ඔළුව දාල බැලුවට මට පෙනුනෙ මකියගෙ තැඹිලි පාට කලිසමින් වැහිච්චි රාජපස්ස විතරයි....
'කොහෙද... මට පේන්නෙ පත වට්ටක්ක ගෙඩියක් විතරනෙ...' මං කිව්වා...
ඒක ඇහුනු මට අනිත් පැත්තෙ හිටපු උපාලි, මේසෙක ගැට්ටකින් කැඩිලා අයින් කරලා එයාගෙ මේසෙ අයිනෙන් තියලා තිබ්බ පටිය අරගෙන, උඩ තියාගෙන හිටපු මකියගෙ පස්සට ඇන්නා 'අයින් වෙය...' කියල....
අනේ අර පට්ට ගහ ගහ ඇඳලා බාගෙට දියවෙලා තිබ්බ කලිසමට ඒ ෂොට් එක දරා ගන්න බැරිවද කොහෙද ඒක මැද මූට්ටුවෙන් පැලුනෙ නැතැයි.... මකිය දුන්න වගේ අනිත් පැත්තට නැවිලා 'හේයි..' කියලා අත් දෙකෙන්ම පස්ස රාජයා වහගන්න දැඟලුවා.... ඒත් එතකොට දකින්න ඕන කට්ටිය දැකලා ඉවරයි....හයියෝ... මට හිනා ගිහින් දඟලපු පාර රෝද පුටුවත් පෙරලගෙන මං වැටුනෙ නැතැයි බිම පසඟ පිහිටුවාගෙන..... සිකේ.... හතර විලි ලැජ්ජාවයි.... මං දඩ බඩ ගාල නැගිටගන්න හැදුවත් නැගිටගන්න බැරි වුනා, සාරි පොටේ කොණක් පුටුවෙ රෝදයක් අස්සෙ හිරවෙලා.... අන්තිමට කොහොම හරි නැගිට්ටා සාරි පොටින් පුටුවත් උස්සගෙනම.... කට්ටිය ඕකට මට හිනා වෙන අතරෙ මකිය හෙමින්ම මාරුවෙලා.... ඌ ආගිය අතක් නෑ....

අනේ ඉතින් ඔක්කොම වෙන්නෙ මටමනෙ කියල හිතාගෙන හැමෝගෙම හිනාවට ලක්වෙවී දවස ගත කරලා, පස්සෙන්ද ඇවිත් උදේ පොතේ අත්සන ගහනකොට කට්ටියගෙ මූණුවල අමුතු හිනාවල්... කසු කුසු කුට්ටම් හැමතැනම... ඇයි යකෝ... එපාර මොකක්ද කිය කියා හිත හිතා ඉන්නකොට කා.කා.ස. උන්නැහේ හොරෙන් හොරෙන් මට ඇඟිල්ලෙන් පෙන්නනවා නෝටිස් බෝර්ඩ් එක....
හනේ මට මැරෙන්න හිතුනා.... කවුදෝ ඒකෙ චිත්‍රයක් ඇඳල එල්ලලා කලිසම පැලිලා එලියට ආපු හෙළු පත පස්සකට, බිම වැටිලා  පසඟ පිටුවාගෙන වැඳගෙන ඉන්න ගෑණු පරාණයක්ව....