Total Pageviews

Sunday 23 December 2018

ර්ර්..රාජ්ජ ෂඟ බෝ හිෂ දී දුගියාට්ඨා....

Drunk Monkey Stock Vector - 18085504
www.123rf.com/clipart


"මචං, අරූට හොඳටම වැඩියි. පොඩ්ඩක් ගාඩ් එක දීගෙන හිටපං, උඹට පුළුවන් නම්. මං බිසී බං අර පැත්තෙ."
"හරි, උඹ බය නැතුව උඹේ වැඩේ කරගෙන පලයං. මං බලා ගන්නම්."



මේ දෙබස හුවමාරු උනේ ඊයෙ පෙරේදා අපේ අයගෙ අවුරුද්ද අවසාන පාටියකදි, මනූයි සංවිධායක මණ්ඩලයෙ හිටිය එයාගෙ යාළුවෙකුගෙයි අතරෙ. මනූ සෝෂල් ඩ්‍රින්කර් කෙනෙක් උනාට කොහේදි බිව්වත් එයා ඒක කරන්නෙ ගානට, ආපහු ගෙදර යන්න වෙන්නෙ වාහනේ එලවගෙන කියන එකත් මතක තියාගෙන. ඒ නිසා මේ වගේ බොඩි ගාඩ් කොන්තරාත්තු කට්ටිය එයාට බය නැතුව දීලා යනවා පියවි සිහියෙන් ඉන්න නිසාත්, ඒ වගේ දෙයක් බාර ගත්තම අන්තිමේ දක්වාම වැඩේ වගකීමක් ඇතුව කරන නිසාත්. අපේ දුවලා දෙන්නා, එයාලගෙ යාළුවොත් එක්ක බරට කතා බහ. අපේ මේසෙ හිටියෙ මනූයි, මමයි විතරයි. කට්ටියට කන්න වගේම බොන්නත් තිබුනා ඇතිවෙලා නැති වෙන්නම. ඉතින් සමහරු නැති වෙන්නම බීලා. මං ඒ වගේ තැන්වලදි බලාගෙන ඉන්නෙ සමහර පිරිමි වෙරි මත පිටින් දාලා කරන, පියවි සිහියෙන් කරන්න බැරි, එහෙම කරනකොට අනිත් අය ඉවසන් ඉන්නෙ නැති වැඩ දිහා. වෙරි මතේ පිටින් දාලා කෙරුවම, කට්ටිය කියන්නෙ "ඌ බීලා හිටියෙ. සිහියක් පතක් නැතුව කරන දේවල්," කියලනෙ. එහෙම වෙලාවට කරන ඕනම බලු වැඩකට සමාව දෙන්නෙ "ඌ බීලනෙ හිටියෙ," කියන වාක්‍යයෙන්.

මං මේ කියන උඩ දෙබස ඇතිවුනේ මෙහේ බොහොම වැදගත් රස්සාවක් කරන, ඒ වගේම වැදගත් රස්සාවක් කරන නෝනාත්, පුංචි දරුවො දෙන්නාත් එක්ක පාටියට ඇවිත් තිබුණු තරුණ මහත්තයෙක් ගැන. මේක එයාගෙ හැසිරීම ගැන අපි දැක්ක පළවෙනි වතාව නෙවේ. බිව්වොත් මිනිහා හැමදාම මෙහෙමයි. ඒ එක්කම කියන්න ඕන, මිනිහා නොබී ඉන්න වෙලාවලදි මං දැකපු දෙයක් තමයි, මේ මනුස්සයා අපි සාමාන්‍යයෙන් කියන විදියට කිව්වොත් ටිකක් පැණි හලන ඇඹල ගණයේ හාදයෙක් කියන එක. මේ වගේ පාටි වලට ගියාම මං දැකලා තියෙනවා පොර සමහර ඇහැට කණට පේන්න ඉන්න ගෑණුන්ගෙ ඇඟටම ගොඩ වෙනවා. ඒ අයත් විවාහක වගේම තමුන්ගෙ මහත්තුරු එක්ක ඇවිත් ඉන්න අය.

ඒ වෙනකොට මේ හාදයා මේසයක් උඩ තියලා තිබුනු මල් වාස් එකක දාලා තිබ්බ මල් ටික අතට අරගෙන, අනිත් අයගෙ ඇඟවල් වලට ඒකෙන් සැරින් සැරේ පහර දෙමින් සංගීත කණ්ඩායමේ වාදනයට නටනවා, කපුවා පරල වෙලා වගේ. මං පොඩ්ඩක් බෙල්ල දාලා බැලුවා එයාගෙ නෝනා හිටිය දිහා. ඒ මනුස්සයා තව ගෑණු කෙනෙක් එක්ක කතා කර, කර හිටියට එයාගෙ ඇස් දෙක තිබුනෙ තමුන්ගෙ මහත්තයා දිහා. දරු පැටව් දෙන්නත් අම්මා ලඟින් වාඩිවෙලා බලන් ඉන්නවා. සිංදුව නැවතුනාට පස්සෙ මිනිහා අර මල් මිටියත් අරගෙන ඒ ළඟම මේසෙක තමුන්ගෙ හිතවතියක් එක්ක කතා බහේ යෙදිලා හිටිය, ලස්සන, විවාහක නෝනා කෙනෙක් ළඟට ගිහින්, එතන තිබුනු එයාගෙ මහත්තයා වාඩි වෙලා හිටිය පුටුවෙන් වාඩි වුනා. ඒ නෝනගෙ මහත්තයා ඒ වෙද්දි වෙන තැනකට ගිහින්. මං කලිනුත් දැකලා තියෙනවා මේ ලස්සන නෝනට මිනිහ බැල්ම දාගෙන ඉන්නවා. මෙන්න බෝලේ ඒ ගමන මේ මිනිහා එක අතක් අර නෝනගෙ කර වටේට දාලා, අනිත් අතේ තිබුනු මල් ටික එයාගෙ මූණෙ අතුල්ලන ගමන් සිංදුවක් කියනවා, "ර්රුචි ල්ලාලනීඊඊ අහන්න.... එක ප්පාර මා මර්රන්න..." ඒ මනුස්සයා එහාට මෙහාට නැවෙනවා මේකාගෙන් බේරෙන්න. එයාත් එක්ක කතා කර, කර හිටිය අනිත් ගෑණු කෙනා කටත් ඇරගෙන පුදුමයෙන් බලන් ඉන්නවා.
මං මනූව තල්ලු කළා, "යන්න අනේ. අර මිනිහව අහකට ඇදලා ගන්න. නැත්නම් මහා විනාසයක් තමයි වෙන්නෙ එයාගෙ මහත්තයා ආවොත්. පාටි වාටි ඔක්කොම ඉවරයි."
මනූ ඒ පැත්තට යද්දි මං වටපිට බැලුවෙ ඒ මහත්තයා කොහේද ඉන්නෙ කියලා බලන්න. මට සොයා ගන්න බැරි වුනා. මනූ එතැනට යද්දි තවත් එයාගෙ යාළුවෙකුත් ඇවිත් දෙන්නා එක්ක එකතු වෙලා මිනිහව නැගිට්ටලා අරගෙන ආපහු කට්ටිය නට, නටා හිටපු තැනටම තල්ලු කළා.

මනූ ආපහු ඇවිත් මං හිටිය තැනින් වාඩිවුනා විතරයි, ඒ මනුස්සයාගෙ නෝනා දරුවො දෙන්නත් එක්ක අපි ළඟට ආවා. "අනේ අය්යෙ, මං දරුවො දෙන්නත් එක්ක ගෙදර යනවා. ඔයාට පුළුවන් නම් අපේ එක්කෙනාව ගෙදරට ගෙනත් දානවද? ලොකුම ලොකු උදව්වක්," එයා මනූගෙන් ඇහුවෙ අත් දෙකම එකතු කරලා. මට හරිම දුක හිතුනා. ඒ නෝනට ඇත්තටම එතන රෙද්දක් ඇඳගෙන තව දුරටත් රැඳිලා ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ අර මිනිහා කරන විකාර වැඩ හින්දා. මිනිහා ඒ වෙනකොට නට, නටා හිටිය ගෑණුන්ගෙ අත් අල්ලගෙන හෙන විකාරයක්. මනූ ඒකට පොරොන්දු උනාට පස්සෙ එයා දරු පැටව් දෙන්නත් එක්ක යන්න ගියා මිනිහට කියන්නෙවත් නැතුව.

රෑ වෙනකොට පාටියට ඇවිත් හිටිය අය එකා දෙන්නා ආපහු යන්න පටන් ගත්තා. පොඩි දෙන්නගෙ යාළුවොත් ගිය නිසා ඒ දෙන්නත් අපි ළඟින් වාඩිවෙලා හිටියෙ බාගෙට නිදිමතේ. මටත් වුවමනාව තිබ්බා ගෙදර යන්න. ඒ උනාට දැන් අර පිස්සව එයාගෙ ගෙදරට දාලානෙ යන්න වෙන්නෙ. ඒ වෙනකොට මිනිහගෙ අතේ මල් මිටිය තිබුනෙ නෑ. ඇඳගෙන හිටිය කමීසෙත් කලිසමේ බෙල්ට් එකෙන් එළියට ඇවිත්, කොණ්ඩෙත් අවුල්වෙලා. මිනිහගෙ උත්සාහය කට්ටියත් එක්ක වාද වලට පැටලෙන්න. ඒකට කවුරුවත් අනුග්‍රාහකයෙක් මුණ ගැහුනෙ නැති නිසා මනූ හැදුවෙ මිනිහව එළියට අරන් ගිහින් කාරෙකට දාගන්න. ඔන්න යාන්තම් පොරව තල්ලු කරගෙන එළියට ගියා. අපිත් ඒ පස්සෙන් ගියා. ඒ වෙනකොට ගොඩ දෙනෙක් වාහනවලට නැගලා ගෙවල් වලට යන්න පිටත් වෙමින් හිටිය නිසා, ලොකුම අභියෝගය උනේ මිනිහව එයින් එකකට යට නොවී තියා ගන්න එක. මනූ හිටියෙ මිනිහගෙ අතින් තදට අල්ලාගෙන. මෙන්න අර වාහන නවත්වන තැන මැදට ගියාට පස්සෙ මිනිහා කෑ ගහනවා, "මට චූ බරයි, යකෝ," කියලා. මිනිහා සැනෙන් නැවතිලා කලිසම ගලවනවා. මං පොඩි දෙන්නව ආපහු හරවගෙන හෝල් එක තියෙන තැනට ආපහු ගියා. මං දැක්කා මනූ සෑහෙන සටනක් දීලා මිනිහව ඇදගෙන පාක් එකේ අඳුරු තැනකට යනවා.

ටික වෙලාවකින් දෙන්නම ආපහු මතුවුනා. මං දරුවො දෙන්නත් එක්ක අපේ කාර් එක තිබුනු තැනට ගියා. එතැනට අල්ලපු බේ එකේ නවත්තලා තිබ්බ වාහනයකුත් යන්න හදනවා. අඳුනන කට්ටියක්. පොඩි ළමයි වගයකුත් හිටියා පිටිපස්සෙ. ඒ දරුවො මේ මනුස්සයාව දන්නවා. ඒ එක පිරිමි දරුවෙක් ජනේලෙ වීදුරුව පහත් කරලා මෙයාට කිව්වා, "අන්කල්, අපි යනවා," කියලා.
"ආ, කොහොමද පුතාලා? හොඳට ඉගෙන ගන්නව නේද උඹලා?"
කවුරුවත් සද්ද නෑ. අර පොඩි දරුවගෙ මූණෙ තිබ්බ හිනාව මැකිලා ගියා.
"උඹලා හොඳට ඉගෙන ගත්තෙ නැතොත් හෙම, ගහනවා කණ පැලෙන්න," මේ බූරුවා කිව්වෙ කම්මුලට ගහන්න වගේ අතකුත් හදාගෙන අර දරුවා දිහාට යන ගමන්. බය වෙච්ච පාර එයා ඉක්මනට වීදුරුව උඩට දා ගත්තා. වාහනේ දොර අරින්න ගිය මනූ, ආපහු ඇවිත් මිනිහව පස්සට ඇදලා ගත්තා.
"මියුරු, ඔයා දරුවො දෙන්නත් එක්ක ආපහු හෝල් එකට යන්න. එතන තවම කට්ටිය ඉන්නවා. වැඩි වෙලාවක් යන්නෙ නෑ. මං මෙයාව දාලම එන්නම්," කියූ මනූ අපි ආපහු හෝල් එකට යනකම් ඉඳලා, අර මිනිහවත් බොහොම අමාරුවෙන් වාහනේට දාගෙන එයාගෙ ගෙදර එක්කන් ගියා. ඒ සිදුවීමට පස්සෙ තවත් උත්සව අවස්ථා කිහිපයකදි අපි ආපහු මුණ ගැහුනත් අර පිස්සු නටපු මනුස්සයගෙ නෝනාවත් දරුවොන්වත් ඒ කිසිම එකකට සහභාගි උනේ නෑ. මිනිහා ආවෙ තනියම. ඒ වගේම අර කරේ අත දාගත්තු නෝනගෙ මහත්තයයි මේ මනුස්සයයි අතරෙ තිබුනු හිතවත්කමත් ඒකෙන් පළුදුවෙලා ගියා.

මට මේ කතාව ලියන්නම හිතුනෙ මේ කාලෙ තියෙන උත්සව වලට සහභාගිවෙලා කන්න බොන්න විනෝද වෙන්න හැමෝම කැමති හින්දත් මේ වගේ දර්ශන අඩු වැඩි වශයෙන් බොහෝ අවස්ථාවල දැක ගන්න ලැබෙන හින්දත්. පැය කිහිපයක බීමත් කමත් , ඩෙනා නැටිල්ලත් හින්දා තමුන්ගෙ ආත්ම ගෞරවයත්, තමුන්ගෙ නෝනගෙ ගෞරවයත්, යාළුකමුත් නැති කරගෙන මොනවටද? විශේෂයෙන්ම පවුල් පිටින් සහභාගිවෙන උත්සව වලදි සීමාවක් ඇතුව හැමදේම සිද්ද වෙනවා නම් කාටවත් කරදරයක් නෑ. යාළුවො විතරක් එකතුවෙලා බොනකොට වෙන දෙයක් ඉතින් තම තමුන් අතරෙ. බීමත්කම බොහොම කෙටි කාලයයි තියෙන්නෙ. ඒ උනාට ඒ කෙටි කාලය ඇතුලතදි තමුන් හැසිරෙන විදියෙ ප්‍රතිඵල දීර්ඝ කාලීනව තමුන්ටම අත්විඳින්න ලැබෙනවා. ඒකෙන් වෙන්නෙ තමුන්ට අනිත් මිනිස්සු අතරෙ තිබුනු ගෞරවයයි පිළිගැනීමයි නැතිවෙලා, තමුන්ව බීගත්තම අමනුස්සයෙක් වගේ හැසිරෙන කෙනෙක්, මහ බේබද්දෙක් කියලා හංවඩු ගැහෙන එකයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න උත්සව සතුට අත් විඳින්න, අනිත් අයට කරදරයක් නොවෙන විදියට. ඒ වගේම බිව්වායින් පස්සෙ වාහනයක් එලවන්න සිද්ද වෙනවා නම් ආරක්ෂාව ගැනත් හිතන්න. අර මනුස්සයා හින්දා කී දෙනෙක් නම් අපහසුතාවයට පත්වුනාද කියලා හිතනකොට, මේ කාලයත් එක්ක මට මේක ලියන්නම හිතුනා. 


එහෙනම් සියළුම දෙනාට ප්‍රීතිමත් නත්තලක් වගේම, 2019 අවුරුද්ද  සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම සෑහෙන කාලයක් බ්ලොග් ලිය ලියා ඉඳලා ඒවා අතහැරලා දාලා ඉන්න සියළුම දෙනාට ආපහු ඇවිත් ලියන්න පටන් ගන්න අළුත් අවුරුද්දේ සිත් පහල වේවා! බ්ලොග් කියවන අයට, ලියන අය තව තවත් දිරිමත් කරලා වචනයක් ලියන්න සිත් පහළ වේවා! තමුන්ගෙ බ්ලොග් කියවලා හොරෙන් යන්නෙ නැතුව, ලියපු එකට ගෞරවයක් විදියට කමෙන්ට් දාන කිහිප දෙනා වෙනුවෙන් වචනයක්වත් ලියන්න බ්ලොග් ලියන ඇත්තන්ටත් සිත් පහළ වේවා!


Related image

29 comments:

  1. මියුරුටත් පවුලේ හැමෝටමත් ලබන්නාවූ නව වසර වාසනාවන්ත සුභ නව වසරක් වේවා...

    (ඉස්සර රූපවාහිනියේ කටපාඩම්ය වෙනකම්න යන මේ සුභ පැතුම අනිත් අයට මතකයිද මන්දා..)

    බීපු අයගේ බොරු සෝබන විගඩම් ගැන කතා නොකර ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. රූටත් රූගෙ පවුලේ අයටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
      මතකයි... මතකයි... හී..හී..

      Delete
  2. බොහෝදේ සිතට එන නමුත්
    කිසිත් නොකියාම යමි.

    කාලීන මාතෘකාවක්. හොඳ නිරීක්ෂණයක්.

    ඔබ සැමට ප්‍රිතිමත් නත්තලක් සහ සුභ නව වසරක් පතමි.

    ReplyDelete
    Replies
    1. බස්සාටත් බස්සාගේ පවුලේ අයටත් එසේම වේවා...

      Delete
  3. ඒ මිනිහගේ නෝන අර අත්දෙක එකතු කරල මිනිහව ගෙනත් දාන්න කියපු එකටනම් දුක හිතුනා. මම ඒ තත්ත්වයේ හිටියානම් ඕන වෙලාවක ඕන විදිහකට එන්නෙ නැතැයි කියලා මම යන්න යනවා.

    මේවගේ අය තමයි ටිකක් බීල ශේප් එකේ ඉන්න අයටත් බොන එක නැති කරන්නේ.

    ඔබටත් 2019 සතුටුදායක වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. හරිම පව් ඉයන්. මෙයාව එක්කන් ගෙදර යනකොට එයාගෙ අම්මයි තාත්තයිත් සංචාරයකට ඇවිත් ගෙදර ඉඳලා තියෙනවා. ඒ මිනිස්සුන්ට ලැජ්ජයිලු පුතාව වරු කරන් එනකොට.

      ඔය විදියට පාටි වලට ගිහින් බීලා චා වෙච්ච සමහරුන්ට නම් නෝනලා ගාඩ් එක දාගෙන ඉන්නෙ. බොන්න දෙන්නෙම නෑ. ඒ හින්දා කටේ තියන්නවත් ලැබෙන්නෙ නෑ. මොනව කරන්නද ඉතිහාසෙ හොඳ නැති උනාම... හී...හී..

      බොහොම ස්තුතියි ඉයන්.

      Delete
    2. ඉයන්ටත් සියළු සිතුම් පතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා කියලා පතනවා

      Delete
  4. අනේ ඒ කාන්තාව කොච්චර පව් ද? ඇත්තටම මම වුණා නම් කරන්නෙත් ඉයන් කරපු දේම තමයි. සැමියාව එක්ටැම් ගේක දාල තියන්න බෑ තමයි, වෙන කෙල්ලෝ දිහා බැලුවට, ටිකක් බිව්වට කමක් නෑ තමයි, නමුත් මේ දේ නම් ඉවසන සීමාවට එහා.

    බීමත් කම, සිහියෙන් ඉන්නකොට කරන්න බැරි දේවල් කිරීම සඳහා excuse එකක් කරගන්නා අය මටත් හමුවෙලා තියනව.

    ඔයාගේ ප්‍රාර්ථනාව හරිම ලස්සනයි. ඔයාටත් මේ නිවාඩු දවස් ටික ලස්සනට එන්ජෝයි කරලා, ලබන අවුරුද්දේ පැතුම් ඔක්කොම ඉටු කරගන්න ලැබේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මානවී ඒ වගේ වෙලාවක මොන තරම් අපහසුතාවයට පත් වෙනවද? කොටින්ම ලැජ්ජයිනේ. දරුවො දෙන්නත් බලාගෙන ඉන්දැද්දි.

      //බීමත් කම, සිහියෙන් ඉන්නකොට කරන්න බැරි දේවල් කිරීම සඳහා excuse එකක් කරගන්නා අය මටත් හමුවෙලා තියනව.// මට ඔය වගේ විගඩම් වලට හොඳටම තරහ යන්නෙ මෙන්න මේ වගේ අවස්ථා වලදි. මනූ මට සමහර වෙලාවට බනිනවා නිකම් ලේ කෝප කරගන්නවා කියලා.

      ආපහු බ්ලොග් ලෝකෙට පය ගැහුවට පස්සෙ ඒ ප්‍රාර්ථනාව කරන්නෙ කොයි වෙලාවෙද කියලා හිටියෙ. මං හැමදාම පරණ එක්කෙනෙක් ලියූ දැනට පාළුවට ගිහින් තියෙන බ්ලොග් එකක් බලලා හිත කොනිති ගහගෙන එනවා. ඇත්තම කිව්වොත් මං ඉස්කෝලෙන් අවුට් වෙලා සෑහෙන කාලයක් උනාට අදටත් ඉස්කෝලෙ ගිය අන්තිම දවස මතක් වෙනකොට හිතට පුදුම වේදනාවක් දැනෙනවා. ඊට පස්සෙ ඒ වගේ මොන තරම් අවස්ථාවල් ආවත් අර වගේ දැනිලා නෑ. ආයෙමත් ඒ වගේම පියේහි විප්පයෝ දුක්ඛෝ ඇති වුනේ මේ බ්ලොග් ආගමනයත් එක්ක. හැමතිස්සෙම හිතෙන්නෙ ආපහු ඒ අයත් ඇවිත් ලියන්න අරගෙන අර කලින් තිබුනා වගේ ස්වර්ණමය යුගයක් නැවත උදාවේවා කියලයි.

      බොහොම ස්තුතියි මානවී.

      Delete
    2. ඔයාටත් සියළු සිතුම් පතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා කියලා පතනවා.

      Delete
  5. සමහර චරිත බිව්වම චාටර් තමා.. එක්කො ඔය මියුරු කිව්වා වගේ උන් බොරුවට රඟනවා..නැත්නම් ඇත්තටම අසිහියෙන්.. කොහොම කළත් එ්කෙන් තමන්ටයි, පවුලෙ අයටයි වෙන අගෞරවය අඩු වෙන්නෙ නෑ....


    මියුරුටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. පියවි ලෝකෙට ආවට පස්සෙ කාටවත් මූණ දෙන්න බෑ. අර ගහගත්තු ටෑග් එකත් යන යන තැන පස්සෙන් එනවා. කට්ටිය කියන්නෙ 'ආපෝ එයාද, බිව්වොත් නම් අනාතයි' කියලනෙ.

      සෙන්නාටත් පවුලේ අයටත් එසේම වේවා!

      Delete
  6. බීවාම ඔහොම් අහ්ටමයි කියන එක හදාගත්ත කතාවක්නේ, ඔන්න කන පැලෙන්න එකක් දුන්නම වෙරිත් හිදෙනවා , ආයේ එහෙම එන්නෙත් නෑ. බොරුනම් එක පාරක් කරලා බලන්නකෝ, ඉඉට පස්සේ බිව්වම මොනවා නැතත් කනේ පාර දීපු කෙනාව හොඳට මතකයි

    ReplyDelete
    Replies
    1. මේ, දැන් බ්ලොග් එක ලියන්නද්ද?

      Delete
  7. මම නම් අදටත් අමද්‍යපයි. පටන්ගන්න අදහසකුත් නැහැ. බොන උන් ඉවසන්න පුළුවන් මේ වගේ කාලකණ්නි වෙන්න බොන උන් තමා මට පේන්න බැරි.

    ReplyDelete
    Replies
    1. හැමදාටම එහෙම ඉන්න අඟහරුවා. 'තමුන්ගේ තරම දැනගෙන කල් අරින' අය ගැන කාවටත් අවුලක් නෑ, මං හිතන්නෙ. වෙරි මත කියන එක පිටින් දාගෙන කරන බලු වැඩ තමයි අල්ලන්නෙ නැත්තෙ. සමහර එහෙම එවුන්ට ඒ විදියට සිහි නැතිව පිස්සු නටන්න තරම් වෙරි නෑ කියලා හොඳටම පේනවා.

      Delete
  8. ඇයි තව සමහරු ඉන්නේ බිලා ඔහොම හැසිරිලා පස්සේ ඒ ගැන රස කර කර කියවන උනුත්.

    එනිවේ මියුරු ගේ බ්ලොග් එකේ මම නොකියවපු පොස්ට් එකක් නැහැ මම හිතන්නේ.එහෙම කියවපු එව්වා කිහිපයයි තියෙන්නේ.2019 ඉතින් තව තවත් ලියන්න පුළුවන් වෙන්න කියලා පතනවා.ඒ වගේම ලබන නව වසර හැම අතින්ම මියුරුටත් පවුලේ හැමටත් ප්‍රීතිමත් නව වසරක් වෙන්න කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මනෝජ්. අනුන්ට හානියක් වෙන්නෙ නැතුව ඕන දෙයක්. යාළුවො විතරක් ඉන්න තැනකදි බීලා පිස්සු කෙළලා, ඒවා ගැන කියලා හිනා උනත් කමක් නෑ. අපිත් හිනා වෙනවා එහෙම ඒවා කියනකොට.
      අළුත් අවුරුද්දෙත් ලියන්න තමයි බලාපොරොත්තුව මනෝජ්. ඔයාත් මට නිතරම කමෙන්ට් දාන කෙනෙක්. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට. මනෝජ්ටත් පවුලේ සියළු දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  9. @ ඉවාන්,
    ඔයාගෙ කතාව හරියටම හරි. වෙරි මරගාතෙ පිස්සු නැටුව හින්දා කරපු, කියපු දේවල් මතක නතුව ඇති කියලා, ඒවා මතක් කරලා දෙන්න ට්‍රයි කරන්නකො බලන්න. සමහරු පියවි සිහියෙන් හිටපු උන්ට මතක නැති දේවලුත් මතක් කරන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. මෙයත් බීලද කොහෙද? ප්‍රශ්නේ කතරගම, උත්තරේ අම්පාරේ

      Delete
    2. අනේ ඉවානෝ ඔබතුමාට කියන්ට, මගේ ඔය රිප්ලයි බටොං එක රාහු කාලෙට වැඩ කොරන්නෙ නෑ නෙව. ඉතිං ඒකයි මේ යට නැට්ටෙ එල්ලන්ට උනේ උත්තරේ. ෂමාවෙන්ට මයෙ අප්පා....

      ඇයි බං පෙනුනෙ නැද්ද අර අනිත් උන්ට දාපු නැති @ඉවාන් කියලා එකක් දාලා තියෙනවා. ආන්න ඒකයි ඒ. ;P

      Delete
    3. පට්ට පල් පච, ටොම් කෙබර , දාර කෙප්ප මේවා අපිට කරන කුදම්මබේ සැලකිලි ඕඕ යේස්

      Delete
    4. අනේ නෑ දෙයියො ඇත්තමයි කියන්නෙ.

      ඒක නෙවෙයි ඉවානෝ... උඹ බීලා නේද? :D

      Delete
    5. මේක මම එතන අහපු ප්‍රශ්නේ මග අරින්න කරපු කූඨ උපක්‍රමයක් නේ ද??

      Delete
    6. මගෙන්ද බුදු අප්පොච්චියෙ ඇහුවෙ?
      අඟහරුතුමාට උත්තරය: මේ ලියනවා... මේ ලියනවා...මේ... මේ...

      Delete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා! //බ්ලොග් කියවන අයට, ලියන අය තව තවත් දිරිමත් කරලා වචනයක් ලියන්න සිත් පහළ වේවා! තමුන්ගෙ බ්ලොග් කියවලා හොරෙන් යන්නෙ නැතුව, ලියපු එකට ගෞරවයක් විදියට කමෙන්ට් දාන කිහිප දෙනා වෙනුවෙන් වචනයක්වත් ලියන්න බ්ලොග් ලියන ඇත්තන්ටත් සිත් පහළ වේවා! // ඔබේ ප්‍රාර්ථනාව සපල වෙන්නත් එක්ක මේ කමෙන්ට් එක ;)

    ReplyDelete
    Replies
    1. හී...හී... මංගලා. එසේම වේවා කිව්වා!

      බොහොම ස්තුතියි. :D

      Delete
  11. I have seen people like this here in USA too. Those day when we were in School of University there were people who drank for the greed. They wanted to get their money's worth, so tried to drink as much as possible.
    But now most of us do good jobs and have no problem in getting a good brand of liquor and finishing the whole bottle at home, if we want to. Even then some people over drink at parties and make a fool of themselves.

    ReplyDelete
    Replies
    1. //Those day when we were in School of University there were people who drank for the greed. They wanted to get their money's worth, so tried to drink as much as possible.// :D
      //some people over drink at parties and make a fool of themselves.// Precisely.
      Thanks for joining in Ano.

      Delete