මං හැමදාම වගේ උදේට දකිනවා අපේ ගෙදර ඉස්සරහින් හැරමිටියක් ගහ ගහා යන වයසක අන්කල් කෙනෙක්. සුපුරුදු විදියට මගේ හිත එයාට තිබ්බ නම තමයි අන්කල් මාක්. ඉතින් මේ අන්කල් මාක් යනකොට හිස් අතින් ගියාට ආපහු එනකොට බොහෝ වෙලාවට එයාගෙ අතේ මල් පොකුරක් හරි එක මලක් හරි තියෙනවා මං දකිනවා. එයා අර මං කලින් කියපු වයසක මිනිස්සුන්ගෙ ගම්මානෙ පැත්තට යනවා වෙන්න ඇති කියලා මට හිතුනා. මට හිතුනෙ එහේ එයාගෙ නෝනා ඉන්නව ඇති එයාට වෙන්න ඇති මේ මල් අරන් යන්නෙ කියලා. ඔන්න ඉතින් හීනි දුකකුත් මගේ හිතට රිංගුවා, නිකම් මේ පොඩි ආත්මානුකම්පාවක් වගේ එකක්. අනේ ඉතින් අපේ මනුස්සයා කවදාවත් මට මලක් තියා මල් පෙත්තක්වත් ගෙනැත් දීලා නෑ නේද කියලා. ඉතින් ගේම පාළුවෙන්න සුසුමකුත් හෙලල බැලුවම මට කල්පනා උනා එයා යනකොට ඒ පැත්තට ගියත්, ආපහු එහේ ඉඳන් එනකොට නේද මේ මල් අරන් එන්නෙ කියලා. මේක මට හෙන ප්‍රහේලිකාවක්. මොකෝ ඒ මනුස්සයා ළඟට බෙල්ල කඩාගෙන දුවගෙන ගිහිල්ලා අහන්නයැ. අපටත් හිතන්න දේවල් නැතුවට හිතෙන දේවල් කියලා හිත හදාගන්න ඕන උනාට එන්න එන්නම මේ වැඩේ මගේ හිතට කුතුහලයක් ඇති කළා.
ඔන්න දවසක් මං ගමනක් යන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්නකොට මෙන්න එනවා අන්කල් මාක් පොඩි මල් පොකුරකුත් අතේ තියාගෙන. ඒ මනුස්සයා මාව දැකලා නැතුවට මං හැමදාම ඒ මනුස්සයාව දකින හින්දා ඇතිවෙලා තිබ්බ දන්න කියන කෙනෙක් දැක්කා වගේ ඇතිවුනු හැඟීම නිසා මං කන් දෙක ළඟටම කට පළල් කරලා හිනා වුනා. ඒ මනුස්සයා ඒක දැකලද කොහෙද බය වෙලා වගේ මගේ දිහා බලලා, ආපිට මාත් එක්ක හිනාවුනා. මෙහේ කෙනෙක් මුණු ගැහුනම ඇඳුනුවත් නැතත් කෙරෙන සුපුරුදු විදියට "හලෝ, ගුඩ් මෝනිං" කියලා එහෙම කතා කළාට පස්සෙ, හති දම දමා හිටපු අන්කල් හැරමිටියත් පැත්තකින් තියාගෙන බස් හෝල්ට් එකේ තිබ්බ බංකුවෙන් ඉඳගත්තා. ඕං මගෙ චෑන්ස් එක මගේ කුචුහලේ නැති කරගන්න කියල හිතපු මං, මගේ බස් එක ආවත් ඒකෙ නගින්නෙ නැතුව අන්කල් එක්ක කතාවට වැටිලා ටික වෙලාවකට පස්සෙ ඇහුවා කොහෙද මේ මල් ගෙනියන්නෙ කියලා. අන්කල් මාක් මට කියපු පුංචි දේ මගේ හිත පතුලටම කිඳා බැහැපු නිසා මට මේක ඔයාලත් එක්ක බෙදා ගන්නම හිතුනා.
මේ වෙනකොට අන්කල් මාක්ගෙ වයස අවුරුදු 83ක්. එයා මේ උදේ පාන්දර යන්නෙ එයාගෙ 'මෝනිං වෝක්' එකට. එයාගෙ නෝනා නැතිවෙලා දැන් අවුරුදු එකහමාරක් විතර ඇතිලු. එයා ඉන්නෙ තනිවම. දරුවො අහළ පහළ ඉන්න නිසා ඇවිත් බලනවලු. ඒගොල්ලො එයාට එයාලත් එක්ක ඉන්න කියලා කතා කළාට මෙයා යන්නෙ නෑලු. මෙහේ වයසක ඇත්තොත් ඉතින් අපේ අය වගේම මුරණ්ඩුයි. අපේ අයටත් වඩා ස්වාධීනයි. එයා නෝනා නැතිවෙන්න කලින් මෙහෙම උදේට ඇවිදින්න යද්දි ගිහින් තියෙන්නෙ නෝනත් එක්ක. ඉතින් අපේ ගෙදරට උඩහට වෙන්න ගෙදරක ඉන්නවලු නෝනගෙ යාළුවෙක්. එයා මල් වවනවලු. මෙයාලා උදේ ඇවිදින්න යන වෙලාවට එයාත් මිදුලට බැහැලා මල් පාත්තිවලට සාත්තු කරවලු මෙයාලත් එක්ක කතා කරන්න බලාගෙන. ඉතින් නෝනා නැති උනාට පස්සෙ අන්කල් මාක් අර යාළුවාගෙන් කිහිප දවසක් මලක් දෙකක් ඉල්ලා ගත්තලු. අන්කල් මේ මල ගෙනියන්නෙ කොහාටද කියලා දැනගත්තට පස්සෙ ඒ යාළුවා එයා ගෙදර ඉන්නවා නම් හැම දවසකම එයාලගෙ ගේට්ටුව අයිනෙන් අඩුම ගානෙ එක මලක් හරි තියනවලු අන්කල්ට ගෙනියන්න පුළුවන් විදියට.
ඉතින් කොහාටද මේ අන්කල් මාක් මල් ගෙනියන්නෙ?
තමුන්ගෙ නෝනගෙ සොහොනට. එයාගෙ සොහොන් කොත උඩින් තියන්න. එයා අන්තිමට මාත් එක්ක කිව්වා, එයාට හිතෙනවා එයා මේ දේ නෝනා ජීවතුන් අතර ඉන්දැද්දි කළා නම් එයාගෙ නෝනා කොයි තරම් සතුටු වෙයිද කියලා. පපුව පුරවලා ඇදගත්තු දුක් සුසුමක් පිට කරපු අන්කල් මාක් වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා.
ඒ වචන ටිකත් එක්ක එකපාරටම මගේ ඔළුවට ආවෙ මගේ ආදරණීයයන් හැම කෙනෙක්වමයි, මේ මනුස්සයගෙ වයසට එනකම් මම වැරදීමකින් හරි ජීවත් වෙලා හිටියොත් මොන විදියේ පසුතැවීම් මටත් ඉතුරුවෙයිද කියලයි. එදා දවසෙම මගේ ඔළුවෙ වැඩ කළේ ඒ වචන ටික. ඒක කොහොමවත් මගේ හිතින් ඈත් කරන්න මට බැරිවුනා. මං හිතන්න පටන් ගත්තා.
එහෙම හිතද්දි මට හිතුනා අපට මහ ලොකු දේවල් නෙවෙයි, එයාලගෙ හිත්වලට සතුටක් ඇති කරවන පුංචි පුංචි දේවල් ටිකක් කරන්න පුළුවන් නේද අපි ළඟින්ම ඉන්න අය වෙනුවෙන් කියලා. එතකොට මට මතක් වුනේ පහුගිය දවස්වල බෝම්බ ප්‍රහාරයෙන් පවුල් පිටින් මිය ගිය ඇත්තන් ගැන. දරුවො මිය ගිහින් දෙමාපියො ඉතුරු උනා නම්, ඒ දරුවො ජීවත්ව ඉන්දැද්දි තමුන්ට මොන මොනවා එයාලා වෙනුවෙන් කරන්න තිබුනද කියලා ඒ දෙමව්පියන්ට එකසැරයක්වත් හිතන්නෙ නැතුව ඇතිද? ලොකු දෙයක් ඕන නෑ, ඒ දරුවො දකින වෙලාවට පොඩ්ඩක් තුරුළු කරගෙන, පුතේ උඹට මං ගොඩාක් ආදරෙයි කිව්වොත් දවසට කිහිප සැරයක්. මේක පොඩි උදාහරණයක් විතරයි. එහෙම බැලුවොත් කොයි තරම් නම් දේවල් තියෙනවද කරන්න. බොහෝ වෙලාවට අපේ ළඟින්ම ඉන්න ආදරණීයයන් කොයි තරම් අපේ ජීවතවලට වටිනවද කියලා ඒ දේ අහිමි වෙනකම්ම අපට තේරෙන්නෙ නෑ. ඒ නිසා ඒ දේවල් වෙනුවෙන් අද ඉඳලම පුංචි හරි ඉඩක් වෙන්කරගන්න පුළුවන් නම්.......
සමහරවිට හෙට ප්‍රමාද වෙන්න පුළුවන්.
එත් වැඩේ කියන්නේ ප්‍රමාද බව දැනෙන්න ඒ ප්‍රමාදය වෙන්නම ඕනේ ගොඩක් වෙලාවට.මම හිතන්නේ එක මිනිස්සු විදියට අපිට තියෙන දුර්වලතාවයක් වෙන්න ඇති ප්‍රමාදයට කරලින් ඒ ප්‍රමාදය හඳුනා ගන්න බැරි වීම.
ReplyDeleteඇත්ත මනෝජ්. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒක.
Delete:-(
ReplyDeleteකියලා වැඩක් නෑ ලිඛිතා.
Deleteස්තුතියි මියුරු.. සමහර දේවල් restore කරන්න අමාරුයි. උත්සහ කරන්න ඕනා..
ReplyDeleteලොකු දේවල් නැතුව පුංචි දේවල් බැලුවම මහා කාලයක් කැප කරන්නෙ නැතුව හරි කිසිම වියදමක් දරන්න සිදු නොවෙන දේවල් හරි බැලුවම කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද අපට සෙන්නා. සමහර වෙලාවට පොඩි වචනයක් විතරයි වැය වෙන්නෙ.
Deleteඔබ හරි...හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්...
ReplyDeleteමේ පාර නිවාඩුවට ගෙදර ගියානෙ..මම කවදාවත් නැතුව දැන් නින්දෙන් ගොරවනවලු. මෙහෙ මම ඉන්නෙ තනි කාමරයක හින්ද මම ඕක දන්නෙ නෑ.
අපේ ප්‍රියාම්බිකා තොමෝ තමයි කිව්වෙ.."ඔයා පුදුම විදිහටනෙ ගොරවන්නෙ අනේ...මට නින්ද යන්නෙම නෑ" කියල..
කොහොම හරි ඉතින් නිවාඩු මාසෙ ගෙවා ගත්තය කියමුකො. එන්ඩ ලෑස්ති වෙලා අපේ උන්දැ කියනව.." මේ අවුරුද්ද විතරක් ඔහෙ හිටියහම ඇති...ආය යන්න ඕන නෑ" කියල.
මම කිව්ව ඒ ගමන "එහෙනම් ඉතින් තව අවුරුද්දක් විතරයි ඔහෙට නිවී සැනසිල්ලෙ නිදාගන්න වෙන්නෙ" කියල..
ඒ පාර මේ යෝදි කියපි "ආ..ඒක මොකක් හරි කරගන්ට බැරිය..මම පුරුදු වෙන්නෙ වත් නැතැයි තමුන්ගෙ ඔය ගෙරවිල්ලට...ඔහේ එනවකො.." කියල හෙහ්..හෙහ්...
ඉතින් අනේ මාත් කල්පනා කලා ඇත්ත තමයි...Tomorrow may be too late..කියල..මගෙ අර යාලුවගෙ මරණෙත් එක්ක ඒ කල්පනාව තවත් තදින්ම හිතට වැදුන...
ඒ වගේ තදින් හිතට වදින දෙයක් වෙන්නම ඕන රවී, ඕක මතක් වෙන්න. මට අපේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි කෝල් එකක් ඇවිත් ගන්න බැරි උනොත් හෙම, ආයෙ කටහඬ ඇහෙනකම් බඩේ බිත්තර තැම්බෙනවා එක, එක විකාර හිති හිතී.
Deleteඔය ගෙරවිලි කතන්දරේ අපේ ගෙදරත් සිද්ද වෙනවා ගජ රාමෙට. මං අවුරුදු බර ගානක් තිස්සෙ ඉවසා වදාරනවා. හරි හමන් නින්දක් නැති උනාම හරිම අමාරුයි. මනූට නින්ද යන්න කලින් මට නින්ද ගියොත් වැඩේ හරි. අපේ අම්මා තාත්තා ඩබලටත්, මනූගෙ අම්මා තාත්තා ඩබලටත් ඔය ප්‍රශ්ණෙ. දෙන්නා එකිනෙකාට චෝදනා කර ගන්නවා මම නෙමෙයි අනිත් එක්කෙනයි ගොරවන්නෙ කියලා. බලනකොට හතර දෙනාම එකයි. රෑට වඩු මඩුව වගේ. :D
අප්‍රමාදව වැඩකටයුතු කරන්න යන කියමන සඳහා හොඳ උදාහරණයක් ඔබගේ අත්දැකීම. මෙම කරුණ බුදු දහමේත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.
ReplyDeleteඒකනෙ දයාරත්න මහත්මයා. අපි කොයි තරම් ඒ ගැන දැනගෙන හිටියත් මග හැරෙන දේවල් මොන තරමක්ද?
Deleteහරි දුක හිතෙනවා. උපදෙස වැඩි වැඩියෙන් පිළිපදින්න හිතා ගත්ත.
ReplyDeleteවිශේෂයෙන්ම දෙම්ව්පියන් සම්බන්ධ දේවල් වලදි හිතුනු ගමන් එයාලා ලඟට යන්න නැති එක තරම් දුකක් තවත් නෑ.
Deleteසෑහෙන කාලෙකට පස්සෙ, සයුරි… දැක්කම හරි සතුටුයි..
"සෑහෙන කාලෙකට පස්සෙ, සයුරි… දැක්කම හරි සතුටුයි.."
Deleteමෙයාව දන්නවද..?? මමනම් මීට කලින් දැකලා නෑ..
ඇත්තටම? හා… හා...
Deleteඕං බලමු ඉතින්. මාස ගානයි නෑවිත් හිටියේ. ඒ ටිකට ඇල්සයිමර් හදාගෙන :@
Delete:D :D
Delete"ඕං බලමු ඉතින්. මාස ගානයි නෑවිත් හිටියේ. ඒ ටිකට ඇල්සයිමර් හදාගෙන"
Deleteජාතික ලෙඩේනෙ නෝනෙ... :D