Total Pageviews

Sunday 27 October 2019

ඉලාස්ටික් පටියා


Children, Run, Running, Girls, Dirt Road, Road, Forest

මට අවුරුදු අටක් විතර වෙන කාලෙ අර අපේ නුවණක්කාර නැන්දත් ගෙදර ඉන්න සමයක මමයි, අපේ ලොකු මාමගෙ දුව ගයනියි හොල්මන් කතා පොත් සොයාගෙන කියවන්න පටන් ගත්තෙ. ඕක අපේ අම්මට අහුවෙන්නෙ නැති වෙන්න තමයි කළේ. අම්මට අහු උනොත් පොත් ටිකත් ඉවරයි. මොකද කියවීමේ ආනිසංස වලට මුහුණ දෙන්න සිද්ද වෙන්නෙ වැඩිපුරම අම්මට. ඒ මදිවට රෑ ජාමෙට. ඒවා කියවපු කට්ටියට කාමරේකින් කාමරේකට තනියම යන්න බෑ. ගෙයින් පිට පැත්තට හදලා තිබ්බ වැසිකිළියට යන්න බෑ. නැන්දට අපිත් එක්ක යන්න කියන්නත් බෑ. උන්දැ අපිට වැඩිය බයයි. ඉතින් කොහෙද. කට්ටියට චූ බර වෙන, වෙන සැරේට අම්මට අදාල කෙනාව එස්කෝට් කරගෙන යන්න වෙනවා වැසිකිළියට. ඉතින් ඔය වෙලාවට ඔයාලා හිතන්නෙ අපේ අම්මා ජයමංගල ගාතා එහෙම කිය කියා ඔය ගමන අපිත් එක්ක යනවා කියලද? නෑ අනේ. ඒ වෙලාවට කියන්නෙ සොලෝක, සොලෝක! එහෙම ඒවා වෙලා තිබුනා අම්මත් දැනුවත්ව හොල්මන් කතා පොත් කියවලා. ඒ නිසා හොල්මන් කතා වලට තාවකාලික තහනමක් වැටිලයි තිබ්බෙ.



මේ කාලෙ අපේ ගෙවල් ළඟ සමහර ඉඩම් තිබ්බා කැලෑවට ගියපු. අයිතිකාරයො කවුද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ. මේ වගේ සමහර ඉඩම්වල මොන තරම් ගණ සැරේට කැලෑව වැවිලා තිබ්බද කිව්වොත් ඒ පඳුරු අස්සෙ අලියෙක් හැංගිලා හිටියත් පේන්නෙ නැති තරම්. කොහෙන් හරි හදිසියෙම නාග රාජයෙක් එහෙම මතුවෙලා වරදීමකින් ගෙයක් අස්සෙ වදින්න ගිහිල්ලා අහු උනොත් තමයි, ගමේ කට්ටිය ඉඩමෙ අයිතිකාරයා හොයාගෙන ගිහිල්ලා හරි ඉඩම සුද්ද බුද්ද කරවන්නෙ. ඒ උනාට ඉතින් කොයි තරම් ගෙදරින් යන්න එපා කිව්වත් අපි ඔව්වයෙ අස්සෙ රිංගනකොට අලි මතකත් නෑ, නාග රාජයො මතකත් නෑ. වැඩේ කියන්නෙ ඒවයෙ තමයි දං ගස්ද, වෙරළු ගස්ද, පොකුණුද ඔය හැම මගුලම තියෙන්නෙත්.

මේ වගේ එක ඉඩමක් අයිතිවෙලා තිබ්බෙ ඒ කාලෙ ටවුමෙ තිබුනු එකම ඉලෙක්ට්‍රික් බඩු කඩේ මනුස්සයට. ගමේ මිනිස්සු එයාට කිව්වෙ ඉලෙක්ට්‍රික් බාස් උන්නැහේ කියලා. ආච්චිලා සීයලා කිව්වෙ ඉලාස්ටික් බාස් කියලා. අපිට ඌ ඉලාස්ටික් පටියා. ඉලාස්ටික් පටියා අනිත් ඉඩම් අයිතිකාරයො වගේ නෙමේ, හෙන ඔබ්ජෙක්ෂන් එක එයාගෙ ඉඩමට අපි රිංගන එකට. අර තරම් හෙනට පඳුරු ගස් වැවිලා තියෙන එක පීරගෙන, සමහර දවස්වලට මෙයා එනවා අර පොකුණෙන් නාන්න. මිනිහා ඉලෙක්ට්‍රික් බාස් උනාට වැඩිපුරම කළේ වාහන හදන එක. ඒක මොන තරම් මජං රස්සාවක් උනත් ඒකා හැමදාම ඇන්දෙ සුදු සරමක්. ඒක ඉණට තද කරලා කළු පාට පොකට් එකකුත් තියෙන පටියකුත් බැන්දා. මිනිහත් ඒ කාලෙ අපේ ගමේ හිටිය බහුතරයට වඩා ගොඩක් සුදුයි. මං දැකලා නෑ කවමදාවත් මිනිහා ෂර්ට් එකක් නම් ඇඳගෙන ඉන්නවා. ලස්සන සුදු පාට නෝනෙකුයි, බටු ඇට දරුවො දෙන්නෙකුයි මිනිහගෙ කඩේ පිටිපස්සෙ තියෙන ගෙදර හිටියෙ. කරුමෙට වගේ අපි ඉස්කෝලෙ යන්න ඕන මිනිහගෙ කඩේ පහු කරගෙන. විකල්ප මාර්ගයක් නෑ.

කොල්ලො ඉඩමට රිංගලා කිහිප වතාවක් අහු උනාට පස්සෙ, මිනිහා ඒ ළමයින්ගෙ අයිතිකාරයො සොයාගෙන ගිහින් කේළම් කියලා ගුටි අන්නලා තිබ්බ නිසා ගමේ කොල්ලො ටික හිටියෙ මළ පැනලා. ඒ විතරක් නෙමේ, ඉඩම වටේට කටු කම්බි පොටවල් හතරක් විතරත් ගැහුවා. ඒත් අපේ කොල්ලො සැලෙයිද මිත්‍රෝරුනි! කිසිසේත්ම නෑ. වෙනදටත් වැඩියෙන් කම්බි පොටවල් අඹරගෙන, ඇඟ පතවල් සූරගෙන, ලේ පෙරාගෙන ඕක අස්සෙ රිංගුවා. ඉතින් මිනිහා සුදු සරමත් කැහැපොට ගහගෙන, තුවායත් එක කරකට දාගෙන, සබන් කෑලක් දා ගනිපු පනිට්ටුවත් පද්ද පද්දා නාන්න එනකොට, අපේ උන් 'අඩෝ ඉලාස්ටික් පටියා!' කියලා කෑගහන්න පටන් ගත්තා. ඒ වෙලාවට පොර ඉන්නෙ හොඳට අඩියක් එහෙම ගහලා ඇස් දෙකත් රතු කරගෙන. ඉතින් අරම කෑගහන වෙලාවක එතැනින් යන අහිංසකයෙක් උනත් පස්ස නොබලා දුවනවා, කරා නැතා නෑ අහු උනොත් ඉවරයි කියලා දන්න හින්දම. තවත් එකක් තියෙනවා. මිනිහා ඉඩම අයිතිකාරයා උනාට පොරටත් ඒකට ඇතුළු වෙන්න උනේ කම්බි පොටවල් ඈත් කරගෙන. ගේට්ටුවක් නෑ. ඉතින් අනේ දවසක් අර කැහැපොට ගහපු සරමත් එක්ක ඔහොම කම්බි පොටවල් අස්සෙන් රිංගන්න ගිහින් කොල්ලොන්ට මොනවද පෙනිලා උං ලස්සන එව්වා වගයක් කිය කියා මිනිහට හූ තිබ්බා, හැබැයි හැංගිලා ඉඳගෙන. පොර එදා නම් ඒක කාගෙන වටපිට බලන්නෙත් නැතුව පඳුරු අස්සට රිංගා ගත්තා. එදාට පස්සෙ මිනිහා කළේ, කටු කම්බි වැට ළඟට ආවට පස්සෙ අර කැහැපොට ගහගෙන එන සරම පහළට දාලා, ඒක කකුල් දෙක අතරින් ගුලි කරලා අල්ලගෙන කම්බි වැට පනින එකයි.

ඉතින් ඔයගොල්ලො හිතයි කොල්ලො, කොල්ලො කියද්දි, මං මේවා දෑහින් දැක්කා වගේ කියන්නෙ කොහොමද කියලා. මායි ගයනියි, මගේ අතිජාත මිත්‍ර රශ්මියි හිටියෙත් ඔය හිස් ඉඩම් පූ කර කර දං වෙරළු කන කණ්ඩායමේම තමයි. මේ හැම සිද්දියක්ම දෑහින් දැක්කා විතරක් නෙවේ. අරූට ඉලාස්ටික් පටියා කියලත් කෑගැහුවා. අනේ ඉතින් මායි ගයනියි චණ්ඩි වගේ ඒ මිනිහට හැංගිලා ඉඳන් හූ කිව්වට මොකද, ඊට පස්සෙන්දට ඒකාගෙ කඩේ ඉස්සරහින් යන්නෙ පණ බයේ, හොරෙන් ඒ දිහා බල බල. අපේ හොර බැල්මටම මිනිහට තේරෙනව ඇති කලින් දවසෙ තමුන්ට හූ කිව්වෙ කවුද කියලා. දවසක් මං අහම්බෙන් දැක්කා එහෙම පොර වගේ හූ කිව්ව කොල්ලෙක් ඉලෙක්ට්‍රික් කඩේ ළඟට එන්න කලින් පාර පැනලා පාරෙ අනිත් පැත්තට ගිහින් බබා වගේ යනවා අහක බලාගෙන. ඊට පස්සෙන්දා ඉඳලා අපිත් ඒ ක්‍රමයම තමයි අනුගමනය කළේ. එතකම්ම පණ බයේ හිටියෙ උදේ ඉස්කෝලෙ යනකොට කඩේට ඇදලා අරන් දෙකක් අනීවි කියලා. ඇයි ඒ වෙලාවට කඩේ වැඩ පටන් අරගෙන නෑනෙ. මිනිහා ඉන්නෙ අර සුදු සරමත් ඇඳගෙන, පපුව අත ගගා, පාර දිහා බලාගෙන, තේ බිබී. ඉතින් අපේ වික්කිරියාවල් හොඳට ඒ මනුස්සයගෙ දෑහැට පේනවනෙ. සමහර වෙලාවට අරම හොරෙන් බලනකොට මිනිහා අපි දිහා බලාගෙන ඉන්නවද කියලා, මට හිනා යනවා. අනේ ඉතින් මිනිහත් ඔරවගෙන හිටියට යාන්තමින් හිනා වෙනවා වගේත් පේනවා. ඒ වෙලාවට සූර් බැහැලනෙ ඇත්තෙ. ඒ මොනවා උනත් බඩු ෂුවර්ම නෑ ඉතින්.

ඉතින් ඔන්න දවසක් අපි සෙට් එක ඉලාස්ටික් පටියගෙ වත්තට රිංගලා කොල්ලො සෙට් එක පොකුණ ළඟ තිබුනු පොල් වෙරළු ගහේත්, අපි කෙල්ලො ටික ඇඹුල් පේර ගහකත් නැගගෙන ඉන්න වෙලාවෙ අර වනය අස්සෙන් මේකා මතුවුනේ නැතැයි. මිනිහා හිටියෙ අපිට ටිකක් ඈතින්. "ඔහෙ හිටපිය!" කියූ මේකා කඟවේනා වගේ පඳුරු තලාගෙන අපි දිහාවට එනකොට, බඩ පපුව පේර අතු වලටයි කඳටයි සූරාගෙන බිමට බැස්ස අපි තුන්දෙනා හිස් ලූ ලූ අත දිව්වා. නිදිකුම්බා ඇනි ඇනී, කකුල් සීරි සීරි දුවලා වෙව්ල වෙව්ලා කම්බි වැටෙන් රිංගන්න ගිහින් පිටත් හම ගහගෙන යාන්තම් අහළ පහළ ගෙදරක වත්තකට පැනලා පඳුරක් අස්සට ගුලි වෙලා වටපිට බලනකොට ගයනිත් නෑ, රශ්මිත් නෑ. ඈතින් ඇහෙනවා පොර කුණුහරුප කිය කියා කොල්ලන්ගෙ පස්සෙන් පන්නනවා. තව පැත්තකින් ඇහෙනවා හූ කියනවා. "කවුද යකෝ ගල් ගහන්නෙ?" නාලාගිරියා වගේ කුලප්පු වෙලා හිටිය ඉලාස්ටික් පටියා පළාතම දෙදරන්න කෑගහනවා ඇහුනා. ඒ අස්සෙ කවුරු හරි එකෙක් හැංගිලා ඉඳන් මූ දිහාට ගල් පතයකුත් බාවලාද කොහෙද කියලා මට හිතුනා.

අද නම් මහ විනාසයක් වෙන්නෙ කියලා තේරෙද්දි මාව වෙව්ලන්න ගත්තා බයටම. අම්මා දැනගත්තොත් හෙම කෝටුමස් කරලා තමයි පස්ස බලන්නෙ. හැංගිලා හිටිය තැන ගැන කිසිම හැඟීමක් තිබ්බෙ නෑ ඒ වෙලාවෙ. එහෙන් මෙහෙන් එබිකම් කර කර හිටියෙ කොහෙන් කවුරු මතු වෙයිද කියලා. සද්ද බද්ද නැතිවෙලා ගියාට පස්සෙ මට දැනුනා මගේ මූණ කසනවා වගේ. ටික වෙලාවක් යනකොට අත පයත් කසන්න පටන් ගත්තා. මං එහෙමම වටපිට බලනකොටයි දැක්කෙ මං වාඩිවෙලා ඉන්න තැන වටේට තිබුනෙ අර ගෙදර අය පාවිච්චි කරලා බිඳිලා ගිය මුට්ටි වගයක්. මුනින් නවලා එහෙම තියපු මුට්ටි ගණනාවක් තිබ්බා. ඒ අස්සෙ බූව තියන පඳුරු වගයකුත්. මට තේරුනා ඒවා ගෑවිලා තමයි මේ කසන්නෙ කියලා. ගවුමට නිරාවරණය වෙලා තිබ්බ සකල සරුවාංගෙම කසද්දි  ඉලාස්ටික් පටියාවත් අමතක වෙච්ච මම, කස කසාම එතැනින් නැගිට්ටා. මූණයි, අතුයි, කකුලුයි කසනවා නැති වෙන්නම. ටිකක් වෙලා යනකොට මං දැක්කා මගේ අත් දෙක රතුවෙලා පලු දාගෙන එනවා. ඊට පස්සෙ මං අත් දෙක අතෑරලා මූණත් කස කසා ගෙදර පැත්තට ගියා. ගයනියි රශ්මියි ඉන්න ආරංචියක්වත් නෑ. අම්මට පේන්නෙ නැති වෙන්න ගෙට රිංගා ගන්න ඕන කියලා තීරණය කරපු මං, හෙමින් සැරේ කුස්සිය පැත්තෙන් ගෙට කිට්ටු කළා. ඒ වෙලාවෙ හවස පහමාර විතර වෙලා නිසා පොඩි අඳුරු ගතියකුත් තිබ්බා. ඒ වෙලාවට නැන්දා කුස්සියෙ උයන බව දන්න හින්දා, එයාට කතා කරලා දොර අරවා ගන්න ඕන කියලා හිතලා, ග්‍රිල් දාලා නැති ජනේලෙ ළඟට කිට්ටු වෙනකොට මට අහුනා කුස්සියෙ කවුරු හරි සුටුපුටු ගානවා. අම්මද දන්නෙත් නැති හින්දා මං ජනේලෙ ළඟ බිමට පහත්වෙලා හෙමින් සැරේ ඔළුව ඉස්සුවා කවුද ඇතුලෙ ඉන්නෙ කියලා බලන්න. යකඩෝ! මෙන්න අර මාත් එක්ක පේර ගහේ හිටිය ගයනි කොහොමින් හරි ගෙට රිංගගෙන නැන්දා පොල් ගාන තැනින් වාඩිවෙලා එයත් එක්ක කතාව මොකුත් උනේ නෑ වගේ.

මට මළ පැන්නා ඒක දැක්කම. මොනවා හරි කියන්න කියලා කට ගන්නකොටම, එකපාරට මාව දැක්ක ගයනි, 'ඔල්මනක්…. ඔල්මනක්!' කියලා කෑගහගෙන හතරගාතෙන් අඩියක් දෙකක් ගිහින් යාන්තම් නැගිටගෙන  දුවන්න ගත්තා. ඒ සද්දෙට ඔළුව උස්සලා මං දිහා බලපු නැන්දා, ඇස් දෙකත් උඩ තියන් 'හෑයි!' ගාලා කෑගහගෙන, හිරමනෙත් පෙරලගෙනම ගයනි පස්සෙන් දිව්වා. නැන්දා 'අක්කේ, අක්කේ!' කියල අම්මට කෑගහද්දි මං දැනගත්තා මං ඉවරයි කියලා. දෙපාරක් හිතුවෙ නෑ වැසිකිළියට වැදිලා දොර වහගත්තු මං ඒක ඇතුලට වෙලා කන් දීගෙන හිටියෙ කැහිල්ලත් අමතක වෙලා. යකෝ මුං දෙන්නා මට බය උනේ මොන මගුලකටද? මාව අඳුනගන්න බැරුවයැ.

"කෝ, කොහෙද?" කියලා අහගෙන ගිඩිං ගිඩිං ගාලා කුස්සිය පැත්තට එන අම්මගෙ අඩි සද්දෙ මට ඇහෙද්දි මගේ පපුවත් ඒ ගානටම ගැහුනා. ෂික් විතරක්! මේ ගඳ ගහන කක්කුස්සියක් අස්සට රිංගා ගන්නෙ නැතුව එළියෙ කොහේ හරි හැංගුනා නම් කියලා පළවෙනි වතාවට මට මහා පසුතැවීමක් ඇතිවුනා. අම්මා එළියට බැහැලා වටපිට බලනවා කියලා මට තේරෙනකොට මං දැනගත්තා මාව හොයාගන්න තව තත්පර කිහිපයයි කියලා. 
"කවුද ටොයිලට් එකේ ඉන්නෙ?" අම්මා ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහනවා ඇහුනා. "දන්නෑ," කිව්වෙ නැන්දා.
"එහෙනම් ඇතුලෙ ඉන්න කෙනෙක් කොයි වෙලාවක හරි එළියට එන්නෙ නැතැයි" කියූ අම්මා දැන් කක්කුස්සියේ දොර ළඟ මුර. 

හනේ සන්තෝ මං දැන් කොහේ යන්නෙයි? දැන් එළියට බැස්සත් පස්සෙ එළියට බැස්සත් එකම ආනිසංසෙ. ඕං ඔහේ ඕන පශ්චාත්බාගයක් කියලා මං දොරත් ඇරගෙන එළියට බැස්සා.

ඇස් දෙක ලොකු කරගෙන යකා වගේ දොර දිහා බලන් හිටපු අම්මට මාව දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා. ගුටි පෝලිමක් බලාපොරොත්තුවෙන් හිටිය මට හෙනම අඤ්ඤකොරොස්.

"මොන තූත්තුකුඩියක ගියාද ඔය ගරා යක් නැටුමට ලෑස්තිවෙලා වගේ ඉන්නෙ?"ඉණට අත් දෙක ගහගත්තු  අම්මා ඇහුවෙ හිනාව අමාරුවෙන් නවත්තගෙන.


ගරා යක් නැටුමට? කාගෙන්ද මේ, මගෙන්ද අහන්නෙ කියලා ෂුවර් නැති නිසා මං පස්සත් හැරිලා බැලුවා වෙන කවුරු හරි ඉන්නවද කියලා. අම්මා යකා මාක් නැතුව හිනාවෙන එක පපුවට පවං සලනවා වගේ දැනුනට, මට අගක් මුලක් තෝර ගන්න බෑ. අම්මටත් ඒක තේරිලාද කොහෙද මාව අතින් ඇදගෙන ගියේ ගෙයි පිටිපස්සෙ තාත්තා රැවුල කපන්න කණ්නාඩිය එල්ලලා තිබ්බ තැනට. අම්මා කණ්නාඩිය ගලවලා මගේ අතට දීල කිව්වා "බලනවා තමුන්ගෙ මූණ" කියලා.


"හෑයි!" එක බලපු මටත් බය හිතුනා ඒකෙ ඉන්න යකා දැක්කම. යකෝ මේ මමද?
මගේ මූණ කොස් ගෙඩියක් විතර ඇති. ඒ මදිවට අම්මා කිව්වා වගේ ඒක යක් නැටුමකට කළු පාටින් පින්තාරු කරල වගේ. ඉබේම එක අතක් මූණට යනකොට තමයි මට පෙනුනෙ අතේ තියෙන දැලි කන්දරාව. ඒක දැක්කට පස්සෙ හොඳට බලනකොට මං කහපු, කහපු තැන්වල දැලි. ඇඳුම්වල හිට. 


"කොහේද මනුස්සයෝ රිංගුවෙ, මේ දැලි පෙරාගෙන ඉන්නෙ ඉහිං කණිං? ඒ මදිවට මූණත් ඉදිමිලා. මොකෝ උනේ?" ඔන්න අම්මගෙ යකා ටිකෙන් ටික එළියට එනවා.
"හැංගිමුත්තන් කරන්න ගිහින් හැංගුනා ශීලා ඇන්ටිලගෙ ගේ පිටිපස්සෙ. අර පරණ මුට්ටි නවල තියෙන්නෙ. අන්න එතන. ඊට පස්සෙ තමයි…"
"අනේ සංසාරේ, ඇයි මෝඩයෝ ඒ හරියෙ වටේටම තියෙන්නෙ කහඹිලියා ගාලක්නෙ. දැක්කෙ නැද්ද?"
කහඹිලියා! ඒක ඇහුනම මගේ මූණ තව කසන්න ගත්තා.


අන්තිමට අම්මා වරුවක් විතර සෝදලා සෝදලා මාව සාමාන්‍ය තත්වෙට අරගෙන අළුත් පොල් මූණෙ උලලා කහඹිලියා බූව අයින් කළා. නිකං නෙවේ, ජයමංගල ගාථා පසුබිමින් වාදනය වෙද්දි.

පස්සෙන්දා ආරංචි උනා ඉලාස්ටික් පටියා එදා ඉන්නවා දැකපු කොල්ලන්ගෙ ගෙවල් හැම එකටම ගිහින් පැමිණිලි කරලා කියලා. මායි ගයනියි රශ්මියි පණ බයේ හිටියෙ අපේ ගෙවල්වලටත් ඒවි කියලා. ඒත් ආවෙ නෑ. ඊට පස්සෙ අපි පණ බයේ ඉලෙක්ට්‍රික් බඩු කඩේ ළඟින් ගියා උනත් මිනිහා අපි දිහා නිකමටවත් බැලුවෙ නෑ. වැඩි කාලයක් නොගිහින් ඉඩමත් විකිණුවා. ඉඩමෙ ගෙයක් හැදුනා. දං, වෙරළු, පේර ගස් කැපිලා ගියා. පොකුණ ළිඳක් වුනා.

21 comments:

  1. //පස්සෙන්දා ආරංචි උනා ඉලාස්ටික් පටියා එදා ඉන්නවා දැකපු කොල්ලන්ගෙ ගෙවල් හැම එකටම ගිහින් පැමිණිලි කරලා කියලා. මායි ගයනියි රශ්මියි පණ බයේ හිටියෙ අපේ ගෙවල්වලටත් ඒවි කියලා. ඒත් ආවෙ නෑ.//

    එකම ගහේ නැගල හිටපු ගයානිට ඔයාව අඳුනා ගන්න බැරි උනානම්, නැන්දාටත් අඳුනාගන්න බැරි උනානම්, අර ඉලාස්ටික් කාරයා ඔයාව කොහොමවත් අඳුනා ගන්න නැතුව ඇති. රසවත් කතාව.

    ReplyDelete
    Replies
    1. ඉලාස්ටික් කාරයා කොහේ හිටියද දන්නෑ සෑම්, මං හැංගිලා හිටිය තැනින් නැගිටිනකොට. පොර මාව යාන්තම් හරි දකින්න ඇත්තෙ අපිව පන්නන්න මුලින්ම එනකොට. එතකොට දැලි නෑ. කෙල්ලො හින්දා අපිව අතාරින්නැති. :D

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි ඉයන්.

      Delete
  3. හරිම රසවත් කතාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒන්ජල්

      Delete
  4. ඔය කෑලෑ රිංගන එකේ එපාම වෙන්නේ පුංචි පුංචි කටු ඇනෙන එකයි,ඇඟ කසන්න ගන්න එකයි.දැන් ඉතින් කෑලෑ වැදුණු හිස් ඉඩම් නම් හොයන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මනෝජ්. දැන් ඒ මතකයන් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ.

      Delete
  5. අපූරු ලියමනක් මියුරු. ස්තුතියි බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාටත් කෞශල්‍ය.

      Delete
  6. හුඟ කාලෙකින් බ්ලොග් එකක් කියවලා හිනා උනා..

    ReplyDelete
  7. හරිම ලස්සන ළමා කාලයක් තමයි. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මානවී. ඔයාව දැක්කෙ සෑහෙන කාලෙකින්.

      Delete
  8. ඉලස්ටික් පටි දාපු කළිසං දැන් ඇත්තෙම නැද්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තමයි රවී. සෑහෙන කාලෙකින් එහෙම ඇඳුමක් දැක්කෙ නැති බවක් මට මතක් උනෙත් දැන්.

      Delete
  9. වත්තකට පැනලා, අයිතිකාරය එනකොට කොලොප්පං කරල දුවන එකේ තියෙන ආතල් එක දැන් කාලෙ උදවියට හිතාගන්ඩත් බෑ අපෙ හාමුදුරුවනේ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඩ්‍රැකී.. හොර කුරුම්බා කේස් එහෙම නිමක් නෑ. දැන් ළමයි වැඩි දෙනෙක් ඇස් දෙක ෆෝන් වලට ඔබාගෙන ඉන්න විතරයිනෙ දන්නෙ.

      Delete
  10. අන්තිමට පරිසරය වෙනස් වෙන කෑල්ල තමා දුකම හරියා.. ඒත් ඉතින් ඒක තමා වෙන දේත් නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සෙන්නා. දැන් නම් හිස් ඉඩමක් දකින්නෙ කලාතුරකින්. වැඩේ කියන්නෙ ඒ ඉඩම ගත්තෙ අර මං හැංගුනු වත්තෙ ගෙදර අයිති ශීලා ඇන්ටිලාමයි. එයාලා හිටිය ගෙදර විකුණලා මේ වත්තෙ ගෙයක් හැදුවා. ඒ ගෙදර අයියත් අපිත් එක්ක ඉලාස්ටික් පටියට හූ කිව්වා. :D

      Delete
  11. මෙහමත් කෙල්ලො අම්මපා

    ReplyDelete