මේකත් මේ අර ගිය සැරේ කියපු ආයතනයෙම වැඩ කරන කාලෙ වෙච්චි දෙයක්....
ඒ කාලෙ අපිව අවුරුදු දෙකෙන් දෙකට සෙක්ශන් එකෙන් සෙක්ශන් එකට මාරු කරනවා.... මේ කියන සිදුවීම වෙච්චි දවස්වල මං වැඩ කරපු සෙක්ශන් එකේ හිටිය අයට බොහොමයක් වෙලාවට ආයතනයෙන් පිට යන්න වෙනවා එක එක වැඩ වලට.... දෙන්න තුන්දෙනා වගේම ගැන්සි පිටින් යන්න වෙන වෙලාවලුත් තිබ්බා.... ඒකෙ කස්ටමර් සර්විස් එකක් නැති නිසා සමහරදාට උදෙන් පිටත් උනාම එන්නෙ හවස, පාං කියා ගන්නවත් බැරුව.....
මෙතැන වැඩ කරපු කිහිපදෙනා අතරෙ හිටියා රංජිත් කියල අවුරුදු හතළිස්පහක් විතර පෙනුම තියෙන මනුස්සයෙක්.... පොර ළඟට එනකොට කට්ටිය ටිං ගාලා මාරු වෙන බව මට මෙතැනට ආපු මුල් දවස්වලම තේරිලායි තිබ්බෙ.... ඒත් ඒකට හේතුවක් නම් මට හිතාගන්න බැරි උනා.... ඕක අහන්න ගිහින් කොතනින් පත්තු වෙයිද කියල දන්නෙ නැති හින්දා මාත් නොදැක්කා වගේ හිටියා....
ඔන්න දවසක් රංජිත්ගෙ කේස් එකකට එළියට යන්න ලොක්කගෙන් අවසර අරගෙන ආයතනයෙ වාහනයකුත් ලැහැස්ති කරගෙන එනකොට එකට වැඩ කරන පිරිමි පරාණ ටික වාෂ්ප වෙලා..... අනේ ඉතින් මේ මනුස්සය එහෙට දුවනව, මෙහෙට දුවනවා වැඩේට යන්න සහයට ඩැනී කෙනෙක් හොයාගන්න.... පැය කාලක් විතර දඟලලාත් පොරට බැරි උනා එකෙක් අල්ලගන්න.... බැරිම තැන මිනිහා ඇවිත් මට කතා කළාම, කේස් එක මොකක්ද කියලාවත් නොදැනම මං එකඟ උනා යන්න.... ඒ වෙනකොට මට පොර ගැන පව් කියලා හිතිලයි තිබ්බෙ....
ඉතින් අදාල ස්ථානයත් වැඩි කරදරයකින් තොරව සොයාගෙන, ඒ ගෙදරට දාල තිබ්බ පත ගේට්ටුව ළඟට ගිහින් කිහිප වතාවක් බෙල් එක ගැහුවත් නෑ කිසිම ප්රතිචාරයක් ගෙදර ඇත්තන්ගෙන්..... දැන් රංජිත්ට මළ පැනලා.... මිනිහගෙ මූණ දැක්කම මට හිනා යනවා.... මං හිනා වෙනකොට මිනිහට තවත් තරහයි.... ඒ ගමන ගැහුවෙ නැද්ද පොර පයින් පාරක් අර ගේට්ටු පතේට.... හම්මා... හෙන ගැහුව වගේ සද්දයක් ආව.... ඒ සද්දෙත් එක්ක කොහෙද හිටපු බලු තඩියෙක් බුරාගෙන ආවෙ නැතැයි අපි දිහාට.... ඌව දැකපු ගමන් රංජිත් කෑ ගැහුවා, 'මියුරුවෝ දුවපං.... ඕකා කයි...' කියලා... මං පස්ස හැරිලා බලනකොට රංජිත් පාර දිගේ දුවනව හිටු කියලා.... ඒ ඇති මට.... මාත් උස්ස ගත්තා දෙපැත්තෙන් සාරිය ටිකක් උඩට... දිව්වා රංජිත්ගෙ පස්සෙන්.... බලු තඩිය එනව කඟවේනා වගේ.....එතකොටම වගේ පාර දිගේ යන්න ආව බයිසිකල්කාරයෙක්... මනුස්සයා තරඟෙට දුවන අපි දෙන්නාවයි, බලු රාලයි දැක්ක ගමන් කෑ ගැහුවා, 'දුවන්න එපා... හෙමිහිට නවතින්න...' කියලා. එතකොට මටත් තේරිලායි තිබ්බෙ දුවලා වැඩක් නෑ කියල... මාත් ඇස් දෙක පියාගෙන එහෙම්ම නැවතුනා.... ඒත් රංජිත් නෙවේ නැවතුනේ....
මෙන්න බොලේ මං නවතිනව දැකපු බලු රාළත් ගියර් එක මාරු කරලා, බ්රේක් ගහලා නැවතුනේ නැතැයි ටිකක් ඈතින්.... උගේ බලු ආතල් එක නැති උනාද කොහෙද..... එතකොටම වගේ එතැනට ආපු බයිසිකල්කාරයා ගල් ගෙඩියක් අරගෙන ඌට දමා ගැහුවම මේ දුවන්නෙ බලු වීරයා නගුට පශ්චාත් භාගයේ ගහගෙන..... 'මේ දඩාවතේ යන වල් බල්ලෙක් මිස්... අපරාදෙ මිස්ලා දිව්වෙ... ඌ පැන්නුවෙ ඕගොල්ලො දුවපු නිසා...'
'එතකොට ඌ අර ගෙදර බල්ලා නෙවෙයිද...' මං අර ගේට්ටුව පැත්තට අත දික්කරලා ඇහුවා...
'අපොයි නෑ..' කියලා ඒ මනුස්සයා හිනා උනා.... සික්...
ඔන්න මට එකපාරටම මතක් උනා රංජිත්ව.... මිනිහා පේන මානෙකවත් නෑ..... මං බයිසිකල්කාරයට කිව්වා 'අනේ පොඩ්ඩක් බලනවද අර පාර දිගේ දුවපු මහත්තයව අල්ලගන්න පුළුවන්ද කියලා...'
'මිස් එහෙනම් මෙතැනම ඉන්න....' කියපු මනුස්සයා ගියා රංජිත්ව හොයන්න...
මෙන්න විනාඩි දහයකට විතර පස්සෙ රංජිත් එනව අර මනුස්සයත් එක්ක බයිසිකලේ නැගලා.... ඒක දැකපු මට මැරෙන්න හිනා....
'මං යනකොටත් මහත්තය තාම දුවනවා මිස්....' බයිසිකල්කාරයා කට කණේ තියන් කිව්වා....
ආපහු ඔෆිස් එකට ඇවිත් සිද්දිය කිව්වම කට්ටිය හිනා උනා බඩවල් අල්ලගෙන... රංජිත්ට කාඩ් කෝටියයි.... අහක හිටපු මටත් එච්චරයි....
'ඕකනෙ අපි රංජියගෙ වැඩවලට ගෑවෙන්න නැත්තෙ....' කියලා එකෙක් කියනකොට මට තේරුනා කට්ටිය වාෂ්ප උනේ ඇයි කියලා උදේ.....
'මෙහෙ දීපං ඔය ෆයිල් එක... මොකක්ද කේස් එක...' කවුරු හරි බලහත්කාරයෙන්ම වගේ ෆයිල් එක අරගෙන බැලුවා.... 'අඩේ, උඹ ඇපොයින්ට්මන්ට් එක දාල තියෙන්නෙ අදට නෙවෙයිනෙ... ලබන බදාදටනෙ...'
'කෝ...' රංජිත් ෆයිල් එක උදුරගෙන ආපහු බැලුවා....
අනිත් උන් ටිකත් ගිහින් ඌට උඩින් නැමුනා...
'මේ බං... අද නෙවේනෙ....'
'ඔව් නේන්නං...' අන්තිමට රංජිත් පිළිගත්තා....
මට ඌව මරන්න හිතුනා....