Total Pageviews

Tuesday 11 December 2018

හොඳ කුක් කෙනෙක් වෙන්න ඕන නම්....

Image result for cook cartoon image

https://all-free-download.com/free-vector/cartoon-chef.html


මං ඉස්සෙල්ලම උයන්න ගන්නකොට කරපු ගිනි විජ්ජුම්බර බලන් ඉන්නම බැරි තැන, කොළයක් අරගෙන ලියා ගන්න කියලා අපේ අම්මා මට මෙන්න මේ උපදෙස් ටික දුන්නා. ඒ ටික මට හෙන ප්‍රයෝජනවත් උනා එක, එක අවස්ථා වලදි. ළඟදි ඒක අහම්බෙන් මගේ අතට පත්වුනු නිසා, මට හිතුනා කවදා හරි, කාට හරි ප්‍රයෝජනයක් වෙන්නත් එක්ක, ඔන්න ඔහේ ලියලා දානවා කියලා. තමුන්ට දැන් අවශ්‍ය නැතත් මට වගේ දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන්නෙ…


  1. තමුන් මොන තරම් හොඳට උයන්න දැනගත්තත් වැඩක් නෑ, අදාල කෑම දීසිය හදන්න ගන්න අමුද්‍රව්‍ය හොඳ තත්වයේ නැත්නම්, ඒක හංගන්න බෑ. රසයෙන් හරි, පෙනුමෙන් හරි දැනෙනවා. ඒ නිසා හැකි සෑම වෙලාවකම හොඳ තත්වයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න.
  2. කෑම වර්ග ගැන ඕනෑවට වඩා බරපතල විදියට හිතන්න යන්න එපා. එහෙම හිතන්න ගියොත් ඒක එපා වෙනවා. කෑම හදනකොට ඒකෙන් සතුටක් විඳින්න පුරුදු වෙන්න. ඒක එහෙම උනත් බරපතල විදියට හිතන්න ඕන දේ තමයි, තමුන් පාවිච්චි කරන අමුද්‍රව්‍ය ආවෙ කොහෙන්ද කියන එක. දැන් කාලෙ අපි කන හැම දෙයක්ම වගේ රසායන ද්‍රව්‍ය වලින් නාවලා, පොඟවලා තියෙන නිසා, එහෙම නැති එළවලුවක්, විශේෂයෙන්ම පළා කොළ වර්ගයක් වගේ දෙයක් ටිකක් මහන්සි උනොත් ගෙදරම වවා ගන්න පුළුවන්. එහෙම උනාම තමුන් ළඟ තියෙන දෙයක්, තවත් එහෙම ගෙවතු වගාවක් තියෙන කෙනෙකුත් එක්ක හුවමාරු කරගන්න පුළුවන්. (මට මතකයි අපි පුංචි කාලෙ අපේ වත්තෙ හැම තැනම තිබුනු පැෂන් දීලා වෙන ගෙදරකින් ඇඹරැල්ලා ඉල්ලා ගත්තු හැටි. නිකම් අත් දෙක වන වනා ගිහින් ඉල්ලනවට වැඩිය, එයාලත් කැමතියි ඒකට. හැබැයි ඉතින් අපි එයාලට අච්චරක් දුන්නට, අපට දුන්නෙ මෙච්චරයි කියන්න නම් බලන් ඉන්න එපා.) 
  3. බොහොමයක් වෙලාවට සරල, සිම්පල් කෑම තමයි වඩා හොඳ. තමුන්ට ඒ උයන්න යන කෑමක් ගැන මොනවා හරි සැකයක් තියෙනවා නම්, අයින් කරන්න. ඒක උයන්න යන්න එපා.
  4. පිරිසිදුව වැඩ කරන්න ඉගෙන ගන්න. එක වැඩක් කළාම ඒකට ගන්න භාජන, ඉතුරු බිතුරු ඒ වෙලාවෙම අයින් කරලා සෝදලා දාන්න ඕන. නැත්නම් අන්තිමේදි උයලා ඉවර වෙනකොට මහ කන්දක් ඉතුරු වෙනවා සෝදන්න, සුද්ද කරන්න. ඒකෙන්ම ඉවිල්ල එපා වෙනවා. කුක්කා පිරිසිදු නම් එයාගෙ කෑමත් පිරිසිදුයි.
  5. උයන්න කරන්න නවීන පන්නයේ ගැජට් සීයක් විතර ඕන වෙන්නෙ නෑ. මොකක් හරි දෙයක් කරන්න, මේ ලෝකෙ එකම එක විදියක් තියෙන්නෙ බොහොම කලාතුරකින්. ඒ නිසා අළුත් ක්‍රම ඉගෙන ගන්න නිතරම සූදානම් වෙලා ඉන්න ඕන. එක විදියකට බැරි නම් තව විදියකට. තමුන්ටම තමුන්ගෙ අළුත් විදියක් සොයාගන්නත් පුළුවන්. එහෙම තමයි අළුත් රෙසිපි බිහි වෙන්නෙ.
  6. ඉස්සෙල්ලම සොයා ගන්න තමුන් කන්න කැමති මොන වගේ කෑම වර්ගද කියලා. ඒවා උයන්න. එතකොට ඒකට ආසාවක් ඇති වෙනවා.
  7. අන්තිමටම කියන්න තියෙන්නෙ, උයන්න ඕන වෙන මූලික ක්‍රම ගැන හොඳට ඉගෙන ගන්න. හොඳටම. මං කියන්නෙ 'අතැඹුලක් සේ'. ඒවා හොඳට දැන ගත්තම අළුත් ආකාරයේ කෑම තමුන්ටම නිර්මාණය කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්.
ගෙදර උත්සව අවස්ථාවකට කෑම පිළියෙල කිරීම

  1. තමුන්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන් සරල කෑම වේලක් සූදානම් කරන එක තමයි හැම වෙලාවෙම හොඳම දේ වෙන්නෙ. නැත්නම් සංකීර්ණ, ලේසියෙන් උයලා ඉවර කරගන්න බැරි කෑම හදන්න ගිහින් කුස්සිය දෙවනත් කර කර, ගෙදර ඉන්න අනිත් අයටත් බැන බැන, අත් දෙක ඔළුවෙ ගහගෙන එහාට මෙහාට දුවලා වැඩේ අනාගෙන තමයි නවතින්න වෙන්නෙ. එතකොට ගෙදර කෑම දෙන එක එපා වෙනවා.
  2. සමහර කෑම ජාති තියෙනවා කලින් මැරිනේඩ් වෙන්න දාන්න පුළුවන් ඒවා. ඒ වගේ ජාති කලින් දවසෙ පිළියෙල කරලා ශීතකරණයට දාන්න පුළුවන්. විශේෂයෙන්ම මස් වර්ග. එතකොට රසය වැඩියි. එහෙම උනාම පස්සෙන්දට ඒ වැඩේ අඩු වෙනවා. ඒ වගේම අතුරුපසත් පුළුවන් කලින් දවසෙ රෑ හදලා ශීතකරණයට දාන්න. එහෙම උනාම උයන වෙලාවට වැඩ අඩුයි.
  3. මේ වගේ ගෙදර සංග්‍රහයකට මෙනු එකක් පිළියෙල කරන්න කලින්, ආරාධනා කරලා තියෙන ඇත්තන්ගෙන් එයාලා කන්නෙ නැති ජාති, ඇලර්ජි කෑම ජාති, වෙජිටේරියන්ද කියලා එහෙම අහලා දැන ගත්තම කන්න ගියාම වෙන ප්‍රශ්ණ අඩුයි. නැත්නම් අන්තිම මොහොතෙ අච්චර මහන්සිවෙලා උයලා තියෙද්දි අර නොකන අයට කන ජාති ආයෙම හදන්න වෙනවා. ඒකට අවශ්‍ය දේවලුත් තියෙන්න එපායැ. එහෙම උනාම ඒක මහ ජංජාලයක්.
බඩු ගේන්න කඩේ ගියාම…

  1. නිතරම ඕන දේවල් ලිස්ට් එකක් හදාගෙන යන්න. නැත්නම් සමහර වෙලාවට කඩේ යන්නෙම එකක් ගේන්න, අන්තිමට ගෙදර එන්නෙ ඒ ජාතියම නැතුව. ඒක නැතුව උයන්න යන දේ උයන්නත් බෑ. 
  2. බඩු කිහිපයක් විතරක් ගන්න කඩේ ගියා නම් නිතරම බාස්කට් එකකට බඩු ගන්න. බැරි වෙලාවත් ට්‍රොලියක් ගත්තොත් තමුන්ට නොදැනීම ඒක පිරෙනවා පැය බාගයක් යන්නත් කලින්. ඕන ඒවායි, එපා ඒවායි ඔක්කොම.

Image result for kitchen conversion chart

https://firstrategifts.com/products/kitchen-conversion-chart-bbq-meat-temperature-guide-magnets


මේක මේ උත්සව කාලෙ, ඉස්කෝලෙ නිවාඩු කාලෙ මගේ දෝනිලා වගේ කාට හරි ප්‍රයෝජනවත් වේවි කියලයි දැම්මෙ….




11 comments:

  1. අපේ නෝනාට මේක පෙන්වන්න ඕනේ බලන්න.මේ ලගදි හැමදාම අම්මානේ උයන්නේ අද මම උයන්නම් කියලා උයන්න ගිහින් අත පුච්චාගෙන ආවා.එක දැකලා මට හිතුනා හැමදාම එයා ඉව්වා නම් නෝනා කෙනෙක් නැති වේවිදෝ කියලා.:D
    ගෙදර උත්සව වලට දැන් නම් කේටරින් කරන තැනකින් ගන්න එක වඩා පහසුයි.ඇයි වතුර ඇරෙන්න අනිත් හැම එකම ගේනවානේ.

    ReplyDelete
    Replies
    1. //මට හිතුනා හැමදාම එයා ඉව්වා නම් නෝනා කෙනෙක් නැති වේවිදෝ කියලා.:D// :D :D
      ගොඩක් දෙනෙක් එන උත්සවයකට නම් කේටරින් වැඩේ ලේසියි. මං උත්සව අවස්ථාවක් කියලා සඳහන් කළ එක වැරදියි බලාගෙන ගියාම. මට එහෙම ලියැවුනේ අපේ පොඩි කෙල්ල එයාගෙ උපන් දිනේට එන යාළුවොන්ට එයාම කෑම හදන්න ඕන කියන එක හිතේ තිබුනු නිසා වෙන්න ඇති. මට ඕන වුනේ අපි එක පවුලකට දෙකකට වගේ ආරාධනා කළාම කෑම වේලකට, අම්මා මට මතක තියාගන්න කියූ ඒවා කියන්නයි මනෝජ්. එතකොට ගෙදර උයන එක ලාබයිනෙ.

      Delete
    2. //එක දැකලා මට හිතුනා හැමදාම එයා ඉව්වා නම් නෝනා කෙනෙක් නැති වේවිදෝ කියලා.:D//

      අනේ අම්මේ..

      Delete
  2. අද පෝස්ට් එක ගෘහනියන්ටව. මමනම් ඔය උයන වැඩේට උනන්දුවක් ඇත්තෙම නෑ...🙄

    ReplyDelete
    Replies
    1. ගිරහේනියන්ට විතරක් නෙවේ අනේ…
      එහෙනම් සෙන්නත් අපේ මනූගෙ කැටගරියෙ… :D

      Delete
    2. උයන එව්වාට මගෙත් උනන්දුවක් නැහැ,හැබැයි කන එව්වාට නම්.:)

      Delete
    3. මනෝජ්ට නම් තියෙන්නෙ නිවාඩු දවසක අම්මට පොඩ්ඩක් පැත්තකට වෙන්න කියලා, නෝනාත් එක්ක උයන්න පටන් ගන්න. එතකොට ලොකු මෝටිවේෂන් එකක් එන හින්දා, නෝනාත් සුටුස් ගාලා ඕක ඉගෙන ගනීවි. එතකොට කන්න විතරක් බලාගෙන ඉන්න අයටත් තේරේවි වැඩේ හැටි…. :D

      Delete
  3. මේක මරු. තැන්කුයි වේවා!

    මගෙත් ඔය අමුත්තෝ එනකොට හදන රෙසිපිය හරිම ෆික්ස්ඩ්. ඇයි ඉතින් හොඳටම හදන්න දන්න ටික තමයි හදන්නෙ. ඒක හරිම රසයි කියල අමුත්තා කෑවා කියමුකෝ, හැබැයි වැරදිලා වත් කෑම රස වැටිලා අමුත්තා රෑටත් කන්න හිටියොත් අමාරුවේ වැටෙනවා, අනිත් ඒවා අර ස්ටෑන්ඩර්ඩ් එකට හදන්න බෑ ඉතින් :D

    ඔය කූඩයක් ගන්න වැඩේ තමයි වැඩේ. සමහර වෙලාවට වැඩි දෙයක් ගන්න නැහැනේ කියල කූඩයක් ගන්නේ නැතුව අත වන වන යනවා, අන්තිමට බිල් කරන්න එනකොට අතින් කටින් බඩු. :D

    ඔය දේවල් වලට අමතරව මට තියන අනිත් ප්‍රශ්නේ තමයි, ගෙදර රිලැක්ස් එකේ උයද්දී ශේප් එකේ උයාගත්තට, කවුරුහරි කන්න එනවා කියල දැනගත්තම ස්ට්‍රෙස් වෙලා උයන්න ගිහින් මොකක් හරි අවුලක් වෙනවා හැමදාම. ඒ වෙලාවට රිලැක්ස් එකේ ඉන්න විදියට මනස හුරු කරගන්න බෑ තවම.

    ReplyDelete
  4. @ මානවී,

    (මගේ රිප්ලයි බටොං එක සමහර වෙලාවට මං එනකොට ඩියුටි ඕෆ් වෙලා)
    ඔය කූඩ වැඩේ මටත් වෙනවා අනේ. බඩු සංඛ්‍යාව වැඩි වෙනකොට ආපහු ගිහින් කූඩයක් ගන්න තියෙන කම්මැලිකමට, ඔයා කියනවා වගේ අතින් කටින් උස්සගෙන තමයි එන්නෙ.

    මං දන්න විදියට ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න තියෙන එකම ක්‍රමය, දවල් කෑමට නම් එන්නෙ උදේ කෑම කාපු වෙලාවෙ ඉඳලා හෙමින් සැරේ ඇඟට ගන්නෙ නැතුව උයන එක. මං දවසක් ඉස්සෙල්ලම ඕක කළේ මගේ යාළුවා මුණ ගැහෙන්නෙ කාලෙකට පස්සෙ නිසා, එයාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්න තිබුනු වුවමනාවට ඔහොම කලින්ම උයා ගත්තු එක. ගෙදර නැන්දම්මත් හිටිය නිසා දවල් වේගෙන එනකොට මගෙත් කිසිම කලබලයක් පේන්න නැති නිසා එයා බය වෙලා මට වෙලාවට උයාගන්න බැරිවේවි කියලා. එයා මට කතා කරනවා එහෙනම් දුව අපි දෙන්නා එකතුවෙලා අර කට්ටියට කෑම ටික ලෑස්ති කරමු නේද කියලා. එතකොට මං උයලත් ඉවරයි. ට්‍රයි කරලා බලන්න.

    ReplyDelete
  5. ගෙදරින් ගියාට පස්සේ උයන්න ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මියුරුගේ උපදෙස් ටක්කෙටම හරි එකක් ඇරෙන්න. මම අළුත් ගැජමැටික් වලින් ට්‍රයි කරන්න ආසයි. මහා ගොඩක් වියදම් වියදම් කරලා නැතත් මා ගාව හොඳ කලෙක්ෂන් එකක් තියනවා..

    තව එකක් එකතු කරන්න ඕන නම්.. කුස්සියේ මේසේ පුළුවන් තරම් බඩු අඩුවෙන් තියාගන්න එක. උයන්න ඕන කරන බඩු ටික ඒවලොවට එළියට අරන් ආපහු තිබ්බාම ආපහු කුස්සියට යන්න ආසා හිතෙනවා..

    ට්‍රොලි කතාව නම් සහතික ඇත්ත. ඒත් දැන් නම් මට සුපර් මාකට් ගිහින් කිරි බෝතලෙයි පාන් රාත්තලය විතරක් අරගෙන එන්න පුළුවන් කිසි ගින්නක් නැතිව.. හි හි..

    ReplyDelete
    Replies
    1. මාත් මුලදි හරි ආසාවෙන් හිටියෙ එක, එක ජාතියේ භාණ්ඩ පාවිච්චි කරලා බලන්න. පස්සෙ වැඩි හරියක් දේවල් වලින් ඒ හැටි වැඩක් ගන්නෙ නැතුවම, අත් හැරලා දම්ම. දැන් ටික කාලෙකට විතර කලින් නැතුවම බැරි එකක් වගේ උඩ දාගෙන ස්ලෝ කුකර් එකක් අරගෙන ඉව්වෙ නැද්ද ඉවිල්ලක්. අන්තිමට ලයිට් බිල දැක්කම ඉවිල්ලත් එපා වුනා. ආං තියෙනවා දැන් කබඩ් එකක් අස්සෙ මුල්ලක.

      කුස්සියේ බඩු අඩුවෙන් පේන්න තියෙන එක ගැන නම් කියලම වැඩක් නෑ, රූ. බඩු පුරවලා තියෙනකොට යන්නවත් හිතෙන්නෙ නෑ තමා.

      Delete